" අපි පොඩි දරුවො නෙවෙයි....නේද...ම්ම්...ඉතින් කතාකරන්න කෙලින්....මෙතන ඉන්නෙ ඔයයි මායි විතරයි..." උදාර මඩුගල්ලේ තවත් ඇය දෙසට හැරෙමින් කීවේය... වාහනයෙන් එපිට මාවත නොපෙනෙන තරමට මහ වැසිය....සඳමිණි වින්ඩ්ස්ක්‍රීනය මත දෝරේ ගලා යන වැහි බිඳු දෙස ඉකිය ගිල ගනිමින් බලාඋන්නාය.... හිත පිරී ඇත්ද ....හිස් වී ඇත්ද .....ඇයටම සිතාගත නොහැක...
.
" සඳ.....මේ බලන්න.." සඳමිණි ඒ ඇමතුමෙන් තිගැස්සුණාය....බියංකා මිතුරුකමට කියනවාට වඩා උදාර මඩුගල්ලේ ගේ ගැඹුරු හඬින් ඒ නම ඇසෙද්දී ඇය වෙවුලා ගියාය.....
.
" හරි....දැන් වෙවුලලා ම වෙන ලෙඩක් හැදෙනව ..මේ අහන්න...මං කියන දේ ... මං වචන වලින් ආදරය කියන්න දන්නෙ නෑ සඳ.... ඒත්...මං ආදරය කරන්න දන්නව....."
සඳමිණි වශීකෘතව ඒ වදන් අසා උන්නාය ..... ඒ තරම් සොඳුරු ලෙසින් ආදරය කියාපෑමක්...ඇය ඔහු ගේ දෑස් දෙස නොබලා බිම බලා ගත්තාය...
.
" මේ තරම් කාලයකට මම ගැහැනු දිහා බලලවත් නෑ කියල ඔයාට බොරු කියන්න මට ඕන නෑ....ඒත් මට දුරදිග ගිය සම්බන්ධතා තිබිල නෑ....සාමාන්‍ය ඩේ අවුට්ස් , ෆ්‍රෙන්ඩ්ශිප්ස් තිබ්බ....ඒත් මට මගෙ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඕනයි කියන හැඟීම මේ වෙනකල්ම තිබුණෙ නැහැ....." උදාර සුසුමක් හෙලා තවමත් ඉදිරිය බලා ඉන්නා ඇය දෙස බලා සිටියේය.... ඇය තවමත් ජීව්තයේ අඳුරු සෙවනැලි නිසා දුකිනි....
.
" මං ඔයා ගැන හැමම හැම දේම දන්නව ....ඒ හැම කාරණයම මම හොයාගත්තෙ ...ඔයාව මට ඕනයි කියන හැඟීම හිතට එන්න ගත්තු මොහොතෙ ඉඳන්...."
.
" මං ඩිවෝස් වෙච්ච ගෑනියෙක් සර්..... මම කෙල්ලෙක් නෙවෙයි ....මම ශාරීරිකව වගේම මානසිකවත් සෑහෙන්න යූස් වෙච්ච.....ඇබියුස් වෙච්ච කෙනෙක්.....මගෙ ජීවිතේ ම මහ තුවාලයක්...සර්....එහෙම ජීවිතේකට හවුල් වෙලා අනේ ඔය වටිනා ජීවිතේ නාස්ති වෙන්න දෙන්න මට බෑ සර් ...." සඳමිණි ජීවිතේ තිබූ අන්තිම දිරිය බිඳුවත් එක්කාසු කොට ගෙන කියාගත්තාය ..... ඒ වදන් වල ගැබ් ව ඇති මහා වේදනාව උදාරට වැටහිණි....
.
" මෙච්චර කාලයක් මම ඔයාට මාව අධ්‍යයනය කරන්න ඉඩ දුන්නෙ....අන්න ඒ නිසා ....හැඟීම් පාලනය කරන් ඔයාට මාව අඳුනගන්න දුන්නෙ මෙන්න මේ තැනට එන්න ඕන නිසා....ඒ හැමදෙයින්ම ඔයාට ගොඩ එන්න තනියම ඉන්න කාලය අවශ්‍ය නිසයි...දැන් ඉතින් මගේ කාලය ...මේ..."
උදාර ගේ හඬ බොහෝ පැහැදිලි ය... තමා ඇය සම්බන්ධව දරන අදහස ඇය වටහා ගත යුතුය ...
.
" ඔයාට තව කාලය ඕන්නම් ඒක දැන් කියන්න .....හැබැයි තනිවම නෙවෙයි ඔයාට ඔය ඝට්ටනයෙන් එලියට එන්න දැන් මගේ අත අල්ලගන්න වෙනව......තවත් ඔයාට තනිවම විඳවන්න අයිතියක් නෑ ...." සඳමිණි හුස්ම නොගෙන බලා උන්නාය...මේ පවසන්නේ ඔහුගේ අයිතියයි....මෙතුවක් කල් ඉවසා බලා උන් ඔහුගේ අයිතියයි....
.
" මං මගේ ජීවිතේ ට ආයෙ පිරිමියෙක් ඕන නෑ කියන තීරණය අරන් උන්නෙ සර්..."
සඳමිණි බිඳුණ හඬින් කීවාය..... පිරිමි සංහතියම එපා කලේ සුධීරය....ඒ පිළිකුල අදටද හිත පාරවා ලයි....
" හිතන් උන්නෙ.....හ්ම් ....ඒ කොයි කාලෙද...තාමත් එහෙමද....?" උදාර මඩුගල්ලේ දෑත පපුවට බැඳගෙන ඉදිරියට හැරී ඇසීය....
.
සඳමිණි නිරුත්තර ව බලා උන්නාය...ඔහු ඒ සියලු තීරණ අතික්‍රමණය කොට ඇති බව කෙලෙස කියන්නද.....සඳමිණි නිහඬවම බිම බලා උන්නාය....
.
" තවමත් එහෙම්මද....ඒ එපා කියන පිරිමි කුලකයටද මාත් අයිති ..... කියන්න...." උදාර ඇස් වසා ගෙන ම ඇසීය..... ඒ හඬ නිවුණුය..සෙනෙහැතිය...ලොබ උපදවයි.....
.
" සර් ව මට ඒ තැනට දාන්න කිසිම දාක බෑ සර්.... මෙච්චර කල් විඳෙව්ව ජීවිතේ මං වින්දා නම් ඒ සර් නිසා ... සර් කියන්නෙ මට වටින කෙනෙක්...." සඳමිණි හැඟීම්බර ව කියාගත්තාය.... ඇයගේ හිත ඒ දේ කියාගත්තාට පසු මඳක් සැහැල්ලු විය....
.
" ඉතින් එහෙනම් ඇයි....මගෙන් ඈත් වෙලා ඉන්නෙ....ඇයි මට ඔයාව අයිති නොවෙන්නෙ....ඇයි මට ආදරය කරන්න ඉඩ නොදෙන්නෙ...." උදාර මඩුගල්ලේ ඇසීය....තව දුරටත් සඳමිණි ගේ උකුල මත වූ දෝත ඇය සතු නොවීය...ඒ දෑතම උදාර මඩුගල්ලේගේ දෑත තුළ උණුසුමින් සැඟව ගියේය... මහා වැසි ඇද හැලී නිමා වෙන්නට ළං ව ඇත.....සඳමිණි දෑස් උතුරා යන කඳුලු වලකා නොගනිමින් උන්නාය....
.
" මට මේ දේ කරන්නට හිත හදාගන්න බෑ සර්...." ඇය හැඬුම් අතරින්ම කෙඳිරුවාය....
.
" මට ආදරෙයිද....?" උදාර ඒ කිසිවක් නෑසුණ හඬින් ඇයගේ දෙනෙතට එබී බලා ඇසීය...සඳමිණි දෑස් සගවා ගත්තාය....ඇයගේ දෝත මුදාහල ඔහු සිය දෝතට ඇයගේ මුහුණ හසුකරගත්තේය....
.
" කියන්න ....ඔව් ද නෑද ...?"
.
සඳමිණි ඒ දෝතේ මුහුණ සඟවා ගත්තාය..... නිහඬ බව ඇසුරේ ඇයගේ අප්‍රකාශිත කැමැත්ත එසේ හැඟවී ගියද ....උදාර තවත් මොහොතක් එසේම උන්නේය.....
.
" අද ඇනෙක්සියට යන්න ඕනද නැද්ද.... කට ඇරල කතා නොකලොත් මෙතනම තමයි ඉන්න වෙන්නෙ ළමයට....." උදාර සඳමිණි ගේ කණට සෙමින් කෙඳිරුවේය....
.
" අනේ සර්..... " සඳමිණි ඔහුගෙන් මිදෙන්නට තැත් කලාය.....
.
" කියන්න එහෙනම්..... "
.
" ඔව් දෙයියනේ ඔව්...." සඳමිණි සිය දෑතින් මුහුණ වසා ගත්තාය ...කුලුඳුලේම ආදරය පැවසූ පෙම්වතියක් තරමටම ඇය ලැජ්ජාවෙන් උතුරා යමින් තිබුණි......
.
ප්‍රේමය හිත් දෙකක් පුරා දෝරේ ගලා යන විට...ලෝකයම අපරිමිත තරම්ම සුන්දර බව ඔවුන් ගේ හිත් වලට දැනෙමින් තිබිණ.....සඳමිණි ගේ හිස සිය ගෙල යටට තද කරගෙන මොහොතක් දෙකක් හුස්මත් නොඅල්ලා උන් උදාර මඩුගල්ලේ ...සෙමින් ඇය සිය ග්‍රහණයෙන් මුදාලීය....
.
" රෑ වෙනව....යමු දැන්...." උදාර මහත් ලොබින් මෙන් ඇය දෙස බලා සිටිමින් කීවේය....සඳමිණි බිම බලාගෙන හිස සෙලෙව්වාය.....
.
ඇය ඉන්නේ කෙතරම්ම වික්ශිප්ත භාවයකද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ...උදාර යළිත් වරක් සෙමෙන් ඒ හිසට අත තබා එක් වරක් පිරිමැද්දේය ...
.
" පරෙස්සමින් යන්න සර්....තෙරුවන් සරණයි...." වාහනයෙන් බසින්නට මොහොතක් තබා ඒ දෙනෙත් යළි පැටලුණ මොහොතේ සඳමිණි මිමිණුවාය ....උදාර මඩුගල්ලේ ගේ වත ඔප් නැංවී තිබුණේ ආදරණීයම සිනහවකිනි......
.
****************************************
ඇනෙක්සියේ දොර වසා ඇඳුම් පිටින්ම ඇඳට වැටුණ සඳමිණි ඉකිගසමින් හැඬුවාය....ඒ කිනම් වූ හැඟීමකින් දැයි ඇය නොදත්තාය...ප්‍රේමය ජීවිතය පුරාටම දරා ගත නුහුණු හැඟීමක්ව පැතිරෙන විට හැම පෙම්වතියක්ම මෙසේ හඬන්නේදැයි ඇයට සිතුණි...සිය දෑත්, කොපුල් , හිස පුරා සෙමින් දැවටුණ ඒ උණුසුම් දෑතේ ස්පර්ශය දරාගත නුහුණු ඈ යළි යළිත් ඉකිගසමින් හැඬුවාය ....
.
ජංගමය හෙමින් නාදවත්දී ඇය ඇස් හැරගන්නට බැරිතරම්ම හඬා අවසන් ය ....
.
" සඳ...මොකෝ බං ඔය...උඹට සනීප නැද්ද ..." නාසය බර වූ හඬින් සඳමිණි පිළිතුරු දෙන විට බියංකා කලබල වූවාය....
.
" අනේ බී...මට තේරෙන්නෑ බී...." සඳමිණි ගේ හැඬුම යළිත් අලුත් විය....
.
" අනේ බං ....මාව බය නොකර කියපන්කො...සුධීරයා වත් ආයෙ ආවද ...මොකක් වත් කරදරයක් ද ..කියහන්කො බං..." බියංකා කෑගසන්නට වූවාය...
.
" නැහ්..නැහ්...අනේ නෑ....සර්...සර්...එයා...." සඳමිණි පැටලෙන හඬින් කීවාය...
.
" ඇයි මොකෝ සර්....මොකද උනේ..."
.
සඳමිණි සෙමින් සෙමින් සැකෙවින් කීවාය....... බියංකාගේ කිංකිණි හිනා හඬ ජංගමය පුරා දෝංකාර දුන්නේය...
" ඇයි වදේ.... මේ ගෑනි අඬා වැටෙන්නෙ නිකම් සර් බලහත්කාරකමක් කලා වගේනෙ...හනෙ අම්මේ සඳ උඹ නම් ......"
" අනේ හිනාවෙන්නෙපා බී...හෙට මං කොහොමද වැඩට යන්නෙ....මට බෑ බං ...ගිහින් කොහොමද ඒ කාමරේ එයා එක්ක ඉන්නෙ....අනේහ්..." සඳමිණි තැවුණාය....
.
සිය මිතුරියගේ ජීවිතය ප්‍රේමයෙන් උතුරා යන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය බියංකා ට සැනසුම් සුසුමක් හෙළිණි....පමා වී පැමිණි ප්‍රේමයෙන් ඇයට සිත මෙසේ සොඳුරු රිදුමින් තවාගන්නට ඉඩ දී බියංකා සමුගත්තාය....
.
************************************
.
උදාර මඩුගල්ලේ නිවසට ආවේ ජීවිත කාලයේම නොදැනුණ සතුටක් හිත රඳවාගෙනය ...සිය ගෙල පාමුලට හිස සිරකරගත් පසු ඇයගෙන් දැනුණ සිහින් උණුසුම ඔහු නවමු පෙම්වතෙක් බවට හරවා හමාරය....ඇයව මොහොතක් සිපගන්නට සිත කල බලකිරීම ඔහු පාලනය කර ගත්තේ....ඇයට මේ සියල්ල දැනටමත් බර වැඩි බව වටහා ගෙනය......
.
මේ ප්‍රේමය ඉතාම ඉවසිලි වන්ත එකක් විය යුතු බව....ඔහු අපූරුවට වටහා ගෙන තිබුණි....
******************************************************************************
උදාර මඩුගල්ලේ අතවූ පොත පසෙක තැබීය...
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වස්සානේ හි පද අතර සිත යළි යළි අතරමං වෙමින් තිබිණ..
ඔහු යළිත් ඒ පිටුව සෙමින් පෙරළා බලා උන්නේය....
සෙනේහය පිරී ගිය ඔබෙ නයන නිල් පොකුණ..
දිය නිලන වැසි සමේ රැල් නගා උතුරාය..
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුණු ව ගිය ලේ නහර
වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට - සීතලයි මගෙ සිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න- ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
කවියෙහි මුඛ්‍ය අදහස කුමක් වුවත් කියවන හැම කවියකම ඇය රැඳෙන්නට පටන්ගෙනය....ජීවිතේ හැම ලේ නහරයකම ඒ ප්‍රේමය උතුරා යමින් තිබෙයි.... සිත ඉල්ලු සෙනෙහස දැන් තමා අතට පත් ව ඇත .....ඒ කෙතරම්ම සුන්දර හැඟීමක්ද.....
.
උදාර පොත පසෙක තබා ජංගමය අතට ගත්තේය....වේලාව දහය පසු වී ඇත....
.
කල්පනා කර කර ඉන්නව මිසක කන්නවත් නැතුව ඇති අද......
.
ඔහු ට සිතුනි....
ජංගමය කීප වරක් නාදවෙත්ම එහා පසින් සම්බන්ධ විය.....
.
" හෙලෝ....මොකද කරන්නෙ....?" ඔහු ගේ හඬ බෙහෙවින්ම ආදරණිය විය ..සඳමිණි නිහඬවම අසා උන්නාය ..... ඇය තවමත් සිතාගත නුහුණු හැඟීමකය....
.
" කියන්න....කෝ ඇයි කතා නොකරන්නෙ...." ඔහු නැවත ඇසීය.....
.
" ඉන්නවා....සර්...." ඇය සෙමින් මිමිණුවාය....
.
" කෑම කාලද දැන්...."
.
"හ්ම්ම්...."
" ඇත්තමද.....කෑවද....?"
.
" උදේ උයල ෆ්‍රිජ් එකට ටිකක් දාල එන්නෙ....රත් කරන් කෑවා ...." සඳමිණි සැහැල්ලු වෙමින් උන්නාය....
.
" දැන් නිදාගන්න....හෙට හමුවෙමු ..... " උදාර පැවසීය....
.
" හ්ම්ම් .හා...සර් කෑවද...?"
.
" ඔව්...."
"තෙරුවන් සරණයි සර්...."
සඳමිණි ගේ සිහින් හඬ ගලා එන ජංගමය ද අතැතිව උදාර දෑස් පියාගත්තේය.....ඇය පසෙකින් නිදන දිනයක සිහින ඔහු සිත තුළ මැවෙමින් පැවතුණි......
.
***********************************
ප්‍රේමය සඳමිණි මෙන්ම උදාරද නැවුම් පෙම්වතුන් කර තිබිණ..
එහෙත් ඔවුන් සිය බැඳීම අනෙක් අයගෙන් සඟවා රැක ගත්තේ....හැම පැත්තක්ම ගැන මනාව සිතමිනි....
නෙතඟ බැල්මක මඳහසක දැවටෙන ආදරය ජීවිතය පුරාම පැතිර ගොසිනි....බියංකා සඳමිණිගේ ජීවිතයේ සතුට දෙස බලා උන්නේ දැඩි සතුටකිනි....
.
මේ දෙන්නව කලින් මුණගස්වන්න ඉරණමට බැරිවුණ හැටි......
.
***********************************
උදාර මඩුගල්ලේ සිය දැන ඇඳුණුම් කම් සමග පළපුරුද්ද භාවිත කර සඳමිණි උසස් අධ්‍යාපනය වෙත යොමු කලේය....මුලින් මඳක් අදිමදි කලද....උදාරගේ වචනයට පිටුපා යාමට නොහැකි කම ඇය ඒ තීරණය ගන්නට පොළඹවා ලීය......
.
කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය ඔස්සේ දර්ශනපති උපාධියකට ලියාපදිංචි වූ සඳමිණි යළිත් අධ්‍යාපනය හදාරන්නට පටන් ගත්තාය...උදාර ඇය නිසි ආකාරයෙන් මෙහෙයවූයේ අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙමිනි....
.
කෙසේවතුදු චාරිකාවට පසු නීලිකා ගේ සැකමුසු බැල්මේ ප්‍රතිපලයක් ලෙස පෙරේරා මිස් යමක් සැක කරමින් උන්නාය.... ගැහැණු ඉව යනු පුදුමාකාර ඉවකි...අනුන්ගේ දේ සොයන්නා වෙත ඇති ඉව ඊටත් වඩා දස දහස් ගුණයකි....
**************************************
ඉඳහිටක දවසක වැරැන්ඩාවේ හුදෙකලා වන මොහොතක ප්‍රේමය සිත පුරා උතුරා යන නිමේෂයක...යළිදු සඳමිණි කවිකාරියක වන්නට පටන් ගෙන තිබිණ....අවුරුදු පහක කාලයක් හිත ගොලුව තිබූ හෙයින් කිසිම අකුරක් නොලියවුණ බව සැබෑය....අතිශය වේදනාකාරී ඒ අතීතය සියලුම ප්‍රේමණීය සිතුවිලි ගිනිබත් කල හැටි කිසිසේත්ම අමතක කල නොහැක.....
.
ජංගමයේ මුහුණත දිස් වෙන උදාර මඩුගල්ලගේ රුව දෙස බලා හිඳිමින් සඳමිණි යළි යළිත් තම ජීවිතයේ මේ අපූර්ව වෙනස ගැන යළි යළිත් සිහිකලාය....කෙතෙක් සිතුවද....ඒ සොඳුරු හැඟුමන් නම් නිමක් නොවේ.......
.
නමුණුකුල ගමනට පසු උදාර වෙතින් ලද සේයාරූ සියල්ල ජංගමයට හරවා ගත් පසුව.... දවසේ තනිවුණ එකම මොහොතක හෝ ඒවා යළි යළිත් පිරික්සීම සඳමිණි ට පුරුද්දක්ව තිබිණ....මේ තරම්ම සොඳුරු ලෙස තමා ගේ ඉරියව් කැමරාවට හසුකර ගන්නට ඔහුට හැකිවූයේ ඔහුගේ ඇති ආදරණීය බව නිසාමය......
~~~~~*******~~~~~*******~~~~~~*****
කඳු ශිඛර , ගිරිහෙල්ද
තැනිතලා මල් තුහින
ඉසියුම්ම සොඳුරු තැන් කැටිව එක්කොට තබා ගත් රූ
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා දුරක සිට සෙනෙහසින් බලා උන් හැටි...
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....
~~~~~~********~~~~~~***********~~~~~~~*****
අතවූ කොලයේ ඉබේම සටහන් වූ හැඟීම් දෙස ඕ මොහොතක් බලා උන්නාය...සිත කවිකාර හැඟුම් වලින් උතුරා යයි....සඳමිණි ජංගමය ගෙන හෙමින් එය අකුරු කොට බියංකා වෙත යැව්වාය....
.
" සඳ ....අනේ සඳ....උඹ ආයෙ ලියනවා......මට මාරම මාරම හැපී කෙල්ලේ.....උඹ කොච්චර සතුටින් ද කියන්න ආයෙ මට වචන ඕන්නෑ....අලුතින්...." හැරෙන මොහොතින් බියංකා ගේ ඇමතුම සඳමිණි ට එකම වචනයක් හෝ කීමට ඉඩ නොතබා ගලා ගියේය.....
******************************************************************************
උදාර මඩුගල්ලේ කාර්‍යාල කාමරයේ එහෙට මෙහෙට නොසන්සුන්ව ඇවිදයන්නට විය... සිතෙහි පැවතුණ සතුට සැනසුම ඉරිතලන කාරණා උදාවෙමින් පවතී.....
.
අක්කාගේ ඇමතුම ඔහු බෙහෙවින් නොසන්සුන් කර තිබිණ....මේ ඉරිදාවේ ඇය කොළඹ එන බවත් එන්නේ නිශාකා දුනුකේ බණ්ඩාර සම්බන්ධව යෝජනාව ස්ථීර කරගනු පිණිස බවත් ඔහු ට ඇය දැන්වූයේ දැන් ය.....නිශාකා දුනුකේ බණ්ඩාර ගැන අල්පමය හෝ හැඟීමක් ඔහු තුළ නැත....සඳමිණි මිසක ජීවන සහකාරිය වීමට අන් කිසිවෙක් සුදුසු ද නොවේ.....එය ස්ථීර වී හමාරය.....
.
සඳමිණි දෑස් අයාගෙන උදාරගේ මේ නොසන්සුන් හැසිරීම දෙස බලා උන්නාය..පසුගිය දින කිහිපයේම ඔහු උන්නේ පුදුමාකාර සතුටකිනි....එහෙත් කාර්‍යාලය තුළදී ඔවුන් අතර වූ රාජකාරි බැඳීම අකුරටම පවත්වාගන්නට ඔහු සමත් විය....එය දෙදෙනාගේම ගරුත්වය සහ ආයතනයේ සහ රැකියාවේ ගරුත්වය වෙනුවෙන් විය....
ඉඳහිටක දෑස් දෙස ඇස් පිය නොහෙළා බලා සිටීමක්, ආදරණීයම සිනහවක් මිස අන් කිසිවක් කාර්‍යාලය තුළදී හුවමාරු නොවන්නට තරම්ම උදාරගේ හැසිරීම් පරිණත විය.....සඳමිණි ඒ ඇසුරට දිනෙන් දිනම බැඳෙන්නට වූවාය....
.
" හවස මං එනකල් ඉන්න හෝල්ට් එකේ...." එක් වරම සඳමිණි දෙසට හැරුණ උදාර මඩුගල්ලේ පැවසීය...කිසිත් නොකියා හිස පමණක් වනා ඇය හා කීවාය ....
*********************************************************************************
සුපුරුදු මං තීරය අසල වාහනය නවත්වන තුරු උදාර වචනයක් හෝ කතාකලේ නැත...සඳමිණි ට මහා නරක දෙයක ඉඟි වැටහෙමින් තිබිණ....
.
ආසන පටය ගලවා සඳමිණි දෙසට හැරුණ උදාර මඩුගල්ලේ ඇය දෙසට නැඹුරුව ඇයගේ ආසන පටියද ලිහිල් කර දැම්මේය....ළං ළං ව තිබෙනා උදාර ගේ මුහුණ දෙස බලා නොසිට සඳමිණි හුස්ම අල්ලා ඉහලට තදකොට ගත්තේ ඒ මොහොතේය....
.
"කොච්චර කල් ඔහොම බය වෙවී ඉන්නවද මට..." උදාර ඇයගේ කම්මුලකට අතින් තට්ටු කරමින් ඇසීය....සඳමිණි මුදු සිනහවක් පෑවාය.... හිතේ ඇත්තේ සුන්දරම ගැස්මකි...
.
" සර්...... මොකුත් ප්‍රශ්නයක්ද....මට බය හිතෙනවා ..." සඳමිණි බිඳුණු හඬින් පැවසුවාය.....
.
උදාර මඩුගල්ලේ ඇයගේ සුරත හෙමින් අල්ලාගත්තේය...ඒ ස්පර්ශයන් පවා ආදරණීය බවින් අනූනය.....සඳමිණි මහත් ලොබින් ඒ බැම්මෙහි දැවටුණාය....
.
" ප්‍රශ්නයක් තමා....හැබැයි ඒක මට ප්‍රශ්නෙකුත් නෙවෙයි එක අතකට...
අක්කා ඉරිද එනවලු..මංගල්ලයක් තීන්දු කරන්න...." උදාර ඇයගේ අතැඟිලි සිය ඇඟිලි අතර පටලා ගනිමින් කීවේය....
හිස ඉහත්තාවේ අකුණු පුපුරන්නාක් බඳු හැඟීමක් සඳමිණි ට දැනී ඇය තිගැස්සී ගියාය....ඇස් කෙවෙනි අසල දැවිල්ලකි.... ජීවිතයේ සිහින දකින්නට ගත්තා පමණි....අනේ....එය සුණුවිසුණු වන්නට තැත් දරන්නේද.....වදනකින් නොකීවද උදාර මඩුගල්ලේ වෙත මුලු සිතම බැඳී හමාරය..ඔහු නැතිව හෙටක් ගැන සිතන්නේ කෙසේද ...?
" සඳ .....මේ බලන්න...."උදාර ඇයගේ නිකටට අත තබා සෙමින් එසවීය....සඳමිණි ඒ දෑස් දෙස නොබලා ඉන්නට වෙර දැරුවාය....ඇස් වල පිරීයන කඳුලු වලකා ගනිමින් ඇය තදින් ඇසිපිය ගැසුවාය....
.
" මං අඬන්න දෙයක් කීවද දැන් ...ම්ම්ම්...." උදාර ඇයගේ මුහුණ බලෙන් මෙන් තමා වෙතට හරවා ගත්තේය ....
.
" සඳ .... අපි ඉක්මනින් බඳිමු....." උදාර ගේ හඬ සිහිනෙන් මෙන් සඳමිණි ගේ සවන් පත් වල ගැටෙන්නට විය.....
.
" අ .ක්..කා...එතකොට ...." සඳමිණි ඉකිය වලකා ගනිමින් ඇසුවාය.....
.
" අක්කා ගේන තොරොම්බල් කරත්ත වලට මං කවදත් කැමති වුණේ නෑ නෙ ....අද මම මගේ ජීවිතේ ට හරියනම කෙනා තෝරගෙන ඉන්නව ...මම හැමදේම තීරණය කරල ඉවරයි.... අක්කා මේකට කැමති වෙන්නෙ නෑ සඳ....මට ඔයාට බොරු කියන්න ඕන නෑනෙ...ඒ වලව් මාන්නෙ එයාගෙ ඔලුවම කාලා තියෙන්නෙ....." උදාර නිවී සැනසිල්ලේ කියවාගෙන යයි.... ඔහුට ඒ සිදුවීම ඉතා සුලු දෙයක් සේය...එහෙත් මෙය එතරම්ම ලඝු කල හැකිද....
.
" ඒත්....මං නිසා සහෝදරකම් බිඳෙයි...ගිය ආත්මයක මං කාගෙ හරි ජීවිත වලට වින කරන්න ඇති...ඒකනෙ මට අම්මා නැතිඋනා අකාලයෙ ...තාත්තා මාව අතෑරියා...පවුලෙ තනි ළමයා උනා...කසාදෙ කැඩුණා....මේ ආත්මෙත් මට පව් පුරවගන්න බෑ දෙයියනේ....." සඳමිණි හැඬුම් හඬින් කීවාය..... පපුව ඇතුළෙන් එන රිදුම අතිමහත් ය...මේ නොලැබිම ජීවිතයට මේ තරම්ම උරුම කම් කියන්නේද.....
.
" මාව අතාරින්න පුලුවන් ද ඒ ඔක්කොටම බෑ බෑ කියල එතකොට ......" උදාර තරමක කේන්තියෙන් ඇසීය....තමා ඇය කේන්ද්‍ර කොට ලෝකයක් තනා ගන්නට සියලු බාධකයන් අබිභවා යන්නට තැත් දරන විට...ඇය ලෝකයට බියෙන් තමා වෙතින් මිදෙන්නට බලයි....උදාර ඇය අතහැර වීදුරුවෙන් එපිට බලාගත්තේ ය.... ඔහුගේ හිතේ මඳ නොරිස්සුමක් ඇතිවිය ....එහෙත් සඳමිණි පවසන්නේ ඇයගේ ජීවිත අත්දැකීම් වලින් පෙළුණු වේදනාවෙන් බව ඔහු දැන සිටියේය ...
.
" අනේ....මං එහෙම කීවෙ නෑනෙ....තරහ ගන්නෙ ඇයි...ඉතින් ...." සඳමිණි උදාරගේ අඳුරු වූ වත දෙස බැගෑපත් ව බලමින් ඇසුවාය...උදාර නිහඬවම ඉවත බලා උන්නේය....ඇයට තව වෙහෙසෙන්නට ඉඩ දිය යුතුයැයි ඔහුට සිතිණ....හිතුවක්කාර කමක හැඟීමකින් ඔහු ඉවතම බලා උන්නේය...
.
" අනේ ....සර්...මේ බලන්නකො.... අනේ ඉතින් ....සමාවෙලා මේ බලන්නකො...." සඳමිණි කෙතෙක් ඇවිටිලි කලද උදාර නෙතඟ බැල්මක් වත් ඇය දෙස නොහෙළීය....අවසන දෝතින්ම ඔහු වැළඳ ගත් සඳමිණි ඔහු ළයට හිස තබා ගත්තාය .....
උදාර සෙමින් පහත් වී ඒ හිස් මුදුන සිප ගත්තේය....
.
" අපිට අපි නැතුව ඉන්න බෑ කියන එක දැන්වත් පිළිගන්න සඳ...." ඔහු සෙමින් ඒ හිස අතගාමින් පැවසීය .....
.
සඳමිණි ඇයගේ ලෝකයේ සුරක්ෂිතම දෑත තුළ දෑස් පියා නිහඬ වූවාය...
************************************
අක්කා දුම්මල වරම ගත් අයෙක් මෙන් විසිත්ත කාමරයේ ඒ කොණටත් මේ කොණටත් ඇවිද යනු උදාර නිවි සැනසිල්ලේ බලා උන්නේය....නිශාකා දුනුකේ බණ්ඩාර සහ පවුලේ අය පැමිණීම වලක්වමින් අක්කා පමණක් කැඳවීමේ හේතුව ඇය දැනගත් මොහොතේසිට ඇය කියවීම අඩුකලේ නැත....කොහොමටත් අක්කා කියවන්නට පටන් ගත් විට පැය ගාණක් කියවාද හති වැටෙන්නියක් නම් නොවේ...
.
" මම දීපු වචනයක් බිඳපු ගෑනියෙක් නෙවේ මෙච්චර කාලෙකට...අන්න ඒකයි මට දුක...." ඇය දබරැඟිල්ල උදාරගේ මුහුණට ලෙලවමින් පැවසුවාය....
.
" අක්කා..එකක්...මේ මගෙ ජීවිතේ .ඔයා එහෙම ඒ මිනිස්සුන්ට තීරණ දෙන්න වචන දෙන්න මගෙන් ඇහුවද....මං මගේ ජීවිතේ ගැන ඒ තීරණේ අරන් ඉවරයි....." උදාර මඩුගල්ලේ ඇයගේ මුහුණටම කියාදැම්මේය... මේ සා තම ජීවිතය පාලනය කරන්නට වෙර දරන සොහොයුරිය ගැන අප්‍රසාදයක් හිතේ මතුවෙමින් පවතී....
.
" ආ...හ..හා...මේ එහෙම එකක් එහෙනම්....කොහෙ එකියක්ද....වලව් පැලැන්තියකට පෑහෙන්න පුලුවන් පවුලකින් නෙවෙයි නම්....වහාම වහාම උඹ ඒක අතහැරල දාන්න ඕන...නැත්තං උඹෙයි මගෙයි සහෝදර කම් ඉවරයි කියලා හිතාගනින්...." මඳක් හතිලමින් පැවසූ ඇය....අසල වූ අසුනකට ඇද වැටුණාය...
" නෑ ..එයා එහෙම කෙනෙක් නෙවෙයි...වලව් පැලැන්තියකට අයිතිත් නෑ...එයාට එයාගෙ කියල කිසිම කෙනෙකුත් නෑ....නමුත් එයා තමයි මගේ තේරීම....එච්චරයි " උදාර අසුනෙන් නැගී සිටියේය....
.
" උඹට ආයෙ එක වතාවක් ඔය තීරණේ වෙනස් කරන්න මම අවස්ථාවක් දෙනව...හෙට වෙද්දි තීරණය වෙනස් කරන් ඉන්නව ..මම බලාගන්නම් නැත්නම්...." අක්කා දොරද මහ හඬින් වසා ගෙන පිටව ගියාය....
.උදාර සුසුමක් හෙලා කාමරයට වැදුණේය.....මේ සටන ඇරඹීමක් පමණි....එහෙත් දැන් ආපසු හැරීමක් නැත....මේ සම්බන්ධයෙන් අක්කාට කල හැකි දෙයක් ද නැත....
.කෙසේ වතුදු ඉක්මනින් සඳමිණි හා විවාහය ගැන කතාබස් කල යුතු යැයි උදාර කල්පනා කලේය.....
අප්පට සිරි...
ReplyDeleteවලව්???
පෙනෙන්ටම බැරි දෙයක්...