ආදරය කියන්නේ අපූරුම සුන්දර මනෝභාවයක්...ඒක අර්ථ කථනය කරන්නට අපි අපේම නිර්නායකයන් යොදාගන්නවා.ඉතින් පහුගිය දවසක මගෙ මල්ලි මට වට්ස් ඇප් කලා එයාට හමුවුණ දිනපොතක පිටු කීපයක්. ඔව්..ඔව් අනුන්ගේ දිනපොත් බලන එක බොහොම නරක පුරුද්දක් .....ඒක ඇත්ත ...ඒත් ඉතින් අපි කුතුහලය ඇති අයනෙ .....කියවන්න හිතෙන්න ඇති....ඉතින් ඒ පිටු ටික කියෙව්වාම මටත් ඒ දිනපොත ඉල්ලගන්න හිතුණා.....කියවන්න.....
.
ඒ දිනපොත ලියල තිබුණෙ 1972 ට කලින් වසරක කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගන ගත්ත තරුණියක්....වසර මොකක්ද කියල බලාගන්න ලැබුණෙ නෑ...පිටුවල ලියපු කොටස් පමණක් එවා තිබුණ නිසා....ඇයගේ ඒ පෞද්ගලික දිනපොතේ ඒ පිටු පුරාම තිබුණේ ඇයගේ පෙම්වතා ගැන....ඉතින් ඒ ආදරයේ සුන්දරත්වය හරිම ආදරණීයව මගෙ හිතටත් කාන්දු වුණා.....
.
ඒ තරුණ පෙම්වතුන් හමුවෙලා තිබුණේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේදි....ඉතින් ඒ තරුණයා ඇයව බලාගත් ආකාරය ඇයගේ හිතේ හරිම ඉහල තැනක තිබුණා...ඒ වගේම ඔහු වෙතින් ඇය ලද ආදරය වගේම කුඩා තිලිණයන් ගැන ඇය හරිම සතුටින් ලියා තිබුණා.....ඒ වගේම ඇය ආර්ථිකව යහපත් තත්වයක නොවූ නිසා ඔහුට කිසිවක්ම රැගෙන දෙන්නට බැරිකම ගැන ඇය විස්සෝප වෙලා තිබුණා... " ඒ වෙනුවට මගේ හදවතේ ඇති ආදරය ඔයාට දෙන්නම් ..." කියලා ඇය ලියා තිබුණා.....
.
ඔහු රැගෙන දුන් සාරිය හැඳගෙන දෙන්නා "සාති" බලන්නට ගිය හැටි ඇය ලියා තිබුණා ..එල්පින්ස්ටන් එකේ අක්කරපහ බලන්නට ගිය බවකුත් ලියා තිබුණා....එදා ඇය ඇඳන් යන්න ඇත්තේ ඒ කාලේ විලාසිතාව වුණ මිනි ගවුමක් වෙන්න ඇති...අර තරුණයා ක්‍රේල් කොණ්ඩෙ පැත්තකට පීරලා බෙල්බොටම් කලිසම එක්ක ඇඟට ම හරියන ශර්ට් එකක් අඳින්න ඇති....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ.....
.
ඒ යුවතියගේ හිතේ තම පෙම්වතා ගැන තිබුණේ හිතම නිවන ඔසුවක් වගේ හැඟීමක්....ගෙදරින් බැනුම් ඇසූ වෙලාවක ඇය සිය පෙම්වතා ළඟ උන්නා නම් හිත නිවෙයි කියලා සිතුවා....ඒ අපූරු ආදරය දිනපොතේ පිටු ගාණක තිබුණා.....
.
ආදරය අකුරු කරන්නට අපි කෙතරම් සමත්ද කියල මං තාම හිතනවා...ඒ දෙන්නගේ ආදරය කිසිදාක නැසුණේ නෑ...නමුත් ලෝකය ට පේන්න ආදරය ප්‍රකාශ කිරීමක් තියෙන්න නැතුවා ඇති ඒ යුගයේ.......
පසුවදන....
ඒ යුවල 1972 දි විවාහ වුණා....ඇත්තෙන්ම ඒ දෙන්නා විජය මාලිනී වගේ ඒ මගුල් පින්තූරෙ.....දරු තුන් දෙනෙක් ගේ දෙමවුපියො වුණ ඒ දෙන්නා ගෙ අතරේ තිබ්බෙ පාඩම් කියාදෙන ආදරයක්....ඉතින් 2004 වසරේ තමන්ගෙ පෙම්වතා තනිකරල ඇය ක්ෂණිකව දෑස් පියාගත්තා ..සමහර විට ඇයගේ අවසන් සුසුම් නික්මෙන්නට ඇත්තේත් ඔහු ඇයව දෑතට ඔසවාගෙන රෝහලට ගෙනියන්න සූදානම් වෙන මොහොතේ වෙන්නත් ඇති.. මොකද ඒ දෙන්නා එකිනෙකාගෙන් වෙන්වුණේ නෑ සිත්වලින්......
දැනට මේ සටහන ලියන මොහොතේත් මගේ ජංගම දුරකථනයේ ඒ දිනපොතේ පිටු වල පින්තූර තියනවා...නමුත් අර සුන්දර තරුණයා ඇයගේ මතකය එක්ක ඈත සුන්දර ගමක ඉන්නා හෙයින් මම ඒ පිටු මෙයට අමුණන්නේ නෑ .....
ආදරය කියන්නේ අන්න එහෙම දෙයක්....කවදා කොහේ කෙලෙසක ඇතිවේද නොදන්නා . ..කෙසේ පවතීද කෙසේ වියැකේද නොදන්නා....
එය සුන්දරම හැඟීමක් කරගන්න එක ඇත්තේ අපේ අතේමයි......
ඉතින් අවසානයේ ලියන්නම්.....ඒ අපූරු පෙම්වතුන් දෙන්නා තමයි මගේ අම්මයි තාත්තායි..
No comments:
Post a Comment