"මොකද හසිත ඩොක්ටර්ස්ලා කියන්නේ?"
සරෝජ් හිරිපිටිය පෞද්ගලික රෝහලේ ලොබිය තුළ හිඳ ගනිමින් හසිතගෙන් විමසූවේ ඇඟිලි තුඩින් නළලත තදින් තෙරපා ගනිමිනි. පෙරදා මැහුම් දැමූ තුවාලයේ වේදනාවද විටින් විට මතු වෙමින් පවතිනුයේ උදේ අදාළ වේදනානාශක මාත්‍රාව තවමත් නොගත් හෙයින් විය යුතුය.නමුත් ඊට එහා මේ අනපේක්ෂිත සිදුවීම හදවත දවාලයි.
"සර් බෙහෙත් ටික.."
සංජය බෙහෙත් කවර සහ වතුර බෝතලයද ගෙන ඔහු වෙත පැමිණියේ ඒ මොහොතේමය.
"තැන්ක්ස් කොල්ලෝ මට උදේ බෙහෙත් ටිකත් මිස් වුණා. ඉවසන්න බැරිව උන්නේ "
බෙහෙත් පෙති ටික අතට ගෙන කවරය යළි සංජය අත තබමින් සරෝජ් හිරිපිටිය පැවසීය.
"එක්කෙනෙක් මදිවට දෙන්නෙක්ම අමාරුවේ වැටිලා බෑ සර්. මේ වෙලාවේ සර්වත් පොඩ්ඩක් ඔලුව කෙලින් කරන් පරිස්සමින් ඉන්න"
සංජය මඳක් තදින් පැවසුවේය. ඔහු තම ප්‍රධානියා බව සැබවි. එහෙත් මානුෂීය ගුණාංග වලින් පිරි මෙවන් මිනිසෙකු තම සේවා කාලය තුළ තමන්හට හමුව නැත.ඔහු රැකබලා ගැනීමම තමාගේ වගකිමක් ලෙස සංජය සැලකුවේය. හසිත එවදන් වලට හිස වැනුවේ සංජයගේ වදන් අනුමත කරන්නාක් මෙනි. සරෝජ් හිරිපිටිය එබස් නෑසුනා සේ බෙහෙත් පෙති උගුරට දමා වතුර උගුරු දෙකක් පානය කොට නැවත වතුර බෝතලය සංජය අත තැබීය.
"ඩොක්ටර්ස්ලා කියන්නේ හෙඩ් ඉන්ජරි එක නම් දැන් ස්ටේබල් වෙලා කියලා. ඒත් චුට්ටක් රිකවර් වෙනකල් තත්වෙ කියන්න බෑ කියනවා"
හසිත සුසුමක් හෙලා පැවසුවේය. මේ රෝගී සයනයෙහි වැතිර සිසුන් සිටින්නේ තමාගේ නැන්දණිය නොව..ඇය තමාගේම අම්මා බඳුවිය. මානවී සමග ප්‍රේම සම්බන්ධය සැළවූ දා පටන් ඇය තමා හට සැලකුවේ තමන්ගේම දරුවකුට සේය.
"බබී තාම මේක දන්නේ නැහැ දැනගත්ත වෙලාවට තමයි ප්‍රශ්නෙ.දන්නවනේ අම්මයි දුවයි ගැන ඉතින්"
හසිත පැවසුවේ ඉතා වෙහෙසකර බවිනි.
මේ වන විටත් මානවී අම්මාට ඇමතුම් දෙන්නට උත්සාහ කරනු ඇත.ජංගම දුරකතනය ක්‍රියා විරහිතව නොමැති හෙයින් එය නාද වනු ඇත.ස්ථාවර දුරකථනයේ වයරය නිවේතා අතටම කැඩී ආ හෙයින් විසන්ධිව ඇත.
"වැඩිය කලබල නොකර කෙල්ලට විස්තර කියන්න හසිත"
සරෝජා හිරිපිටිය සිය නළලතට අතින් තට්ටු කරමින් පැවසුවේ නොසන්සුන්වය. කෙසේවෙතත් ඇයට මෙවන් ඉරණමක් උදා විය යුතු නොවේ.ජීවිතයේ කිසිවෙකුට හිරිහැරයක් කරදරයක් නොකළ ඇය, අනුන් වෙනුවෙන්ම සිත් වේදනා විඳි ඒ සොඳුරු ගැහැනිය පිළිබඳ උපන් වේදනාවෙන් සරෝජ් හිරිපිටියගේ සිත දැවී ගියේය.
"අම්මට උදේ මම කෝල් කලේ ඊයෙ පෙරේදත් එයා ටිකක් අවුල් ගතියෙන් උන්න නිසා.එදා හොස්පිට්ල් ගිහින් ආව දවසේ ඉඳන් එයා ටිකක් අවුලෙන් උන්නේ"
හසිත සිය ඇමතුම දීමට හේතුව සරෝජ හිරිපිටිය ඉදිරියේ පවසා උන්නේය.ඔහුට තිබුණේ බරපතළ පසුතැවුමකි.සිය ඇමතුමට පැමිණීම නිසා ඇද වැටීම හේතුවෙන් මෙසේ වූවායයි සිතීමම ඔහුට බලවත් පසුතැවීමක් ගෙන ආවේය .
"ඒත් හසිත ඩොක්ටර්ස්ලා කියන්නේ නිවීට සෑහෙන කාලයක ඉදලා හයි බ්ලඩ් ප්‍රෙෂර් තිබිලා කියලනේ. මේ මනුස්සයා ඔයාලටවත් කිව්වේ නැද්ද බෙහෙත් අරගෙනද හරි පිළිවෙලකට?"
සරෝජ් හිරිපිටියගේ වදන් වලට යම් තද බවක් එක්වෙමින් තිබුණි.
"අම්මි වීපී කොතලාවලගෙන් බෙහෙත් ගන්නවා. එයා අපට වත් ගමන් වලට යන්න එන්න දෙන්නේ නැහැ. තනියම යන්නේ නමුත් එයාගේ වැඩ නීට්නෙ අංකල්. බෙහෙත් නොබී ඉන්න ඇති කියලා හිතන්න අමාරුයි"
හසිත පැවසුවේ කල්පනාවෙන් යුතුවය. ඈත කොරිඩෝරය මතුව ඔවුන් වෙතට එන වෛද්‍යවරයා දුටු වහාම හසිත නැගී උන්නේය. සරෝජ් හිරිපිටිය අත ඔසවා වෛද්‍යවරයාට සන් කලේ නැගී සිටින්නට උත්සාහ දරමිනි.
"හා හා ඇමතිතුමා ඔහොම ඉන්න. ඊයෙ පෙරේදා ඉන්ජර්ඩ් වුණ ගමන්නේද මේ ? නැගිටින්න ඕනේ නැහැ"
වෛද්‍යවරයා ඈත සිටම ඔහු වෙත අත ඔසවා පවසමින් පැමිණියේය.
"මොකද ඩොක්ටර් අම්මිට?"
හසිත ඇසූවේ නොඉවසිල්ලෙනි.
"එයා රිකවර්ඩ්. අපි එයාව අදට අයිසීයූ තියෙනවා.හෙට අනිද්දා සමහර විට ඊට පස්සේ අපිට එයාව නෝමල් වෝඩ් එකකට දාන්න තමයි තීරණය"
වෛද්‍යවරයා හසිත සහ සරෝජ් හිරිපිටිය දෙදෙනාටම පොදුවේ පැවසීය.
"සර්ජරි එක අපි හිතුවට වඩා බරපතළ එකක් වුණා. කොහොම හරි මැනේජබල්. නමුත්?"
වෛද්‍යවරයා කතාව නවතා සුසුමක් හෙලා සිනාසෙන්නට තැත් දැරීය. සරෝජ් හිරිපිටිය සිතාගත නොහැකි අදිසි හැඟුමකින් වෙවුලා ගියේය.ඔහු නිහඬවම වෛද්‍යවරයා දෙස බලා උන්නේය.
"එයාගේ වම් පැත්ත පැරලයිස් වෙලා තියෙන්නෙ.දකුණු පැත්තේ ඔලුව වැදුණත් එක්කම එයාගේ හයිපර්ටෙන්ෂන් එකේ බලපෑමත් එක්කම අභ්‍යන්තර ලේ ගැල්මක් වෙලා තියෙනවා.ඉතින් දැනට වම් පැත්ත වැඩ කරන්නේ නැහැ. විල් සී අපට එයාට බෙහෙත් වගේම තෙරපිවලින් එක්ක හෙල්ප් කරන්න පුළුවන් වෙයි. විශ්වාසය තියාගම්මු"
වෛද්‍යවරයා ඔවුන්ගෙන් සමුගෙන ගියේ එසේ කියමිනි. අකුණු සහසක් හිසවට පිපිරුවා වැනිය. සරෝජ් හිරිපිටිය හෙලූ සුසුම් මහා වේගයෙන් හසිතට දැනුණි.
"මං කිව්වෙ හසිත , මේ මනුස්සයා හරියකට බෙහෙත් බීලා නෑ.නැත්නම් හයිපර්ටෙන්ෂන් එන්න විදියක් නෑනෙ"
සරෝජ් පැවසුවේ වේදනාව සහ තරහා දෙකම මුසු ස්වරයෙනි. හසිත නිහඬව හිස වැනුවේය.
"අංකල්, අපිට බලන්න දෙන්නේ නැහැනේ අම්මිව. ඒ නිසා දැන් අපි ගෙදර යමුද?"
සරෝජ් හිරිපිටිය දෙස බලමින් හසිත විමසුවේය.සරෝජ් සිටියේ සුසුමක් හෙළමිනි.
"පුතා මට නිවීගේ ගෙදර යතුර දෙන්න"
ඔහු හසිත වෙත අත පෑවේ එසේ කියමිනි. හසිත කිසිදු පැකිලීමක් නොමැතිව යතුරු ඔහු අත තැබීය.
"දැන් අපේ ගෙදර යමු.එහේ පස්සේ යමු අංකල්"
හසිත පැවසුවේ සරෝජ් හිරිපිටියගේ මුහුණේ පවත්නා කම්පනය දැකය. ඔහුටද විවේකය අවශ්‍ය මොහොතකි මෙය.
"නෑ පුතා අයෑම් ඕකේ.මම යතුර ආපහු එන ගමන් ඔයාට දෙන්නම්. මට එතන බලන්න ඕනේ"
සරෝජ් හිරිපිටිය හසිතගේ උරහිසට තට්ටුවක් දමමින් රිය වෙත ගියේ සංජීවටද අමතමිනි. හසිත සුසුමක් හෙලා ඔහු සමගම රිය අංගනයට විත් ඔහුට සමු දුන්නේය.
"සංජය මම ලොකේෂන් දාලා ඇති එහෙට යමු"
සරෝජ් හිරිපිටිය මොන්ටෙරෝ රථයේ පසුපස අසුනට වී දෑස් පියා ගත්තේ එසේ කියමිනි. පෙරදාට වඩා,ගඩොල් පහර වැදුණු තුවාලයට වඩා දැන් තදින් දැනෙන්නේ හිතේ අලුතින් ඇතිවූ තුවාලයකි.දෑස් කෙවෙණි උතුරා පිරෙන්නට එන කඳුළු සමගින් ඇමතිවරයාගේ මුවද ඇදවී වේදනාවෙන් බරවිය.
"සර් අපි ලොකේෂන් එකට ආවා"
සංජය අමතන තුරුත් සරෝජ් හිරිපිටිය උන්නේ දෑසම තදකොට පියාගෙනය. අසුනේ පසෙක වූ ටිෂූ පෙට්ටියෙන් අතට ඇද ගත් කිහිපයකින් මුහුණ පිසදාගෙන ඔහු රියෙන් බිමට බැස්සේය.
"වාහනේට වෙලා ඉන්න මම ඉක්මනට එන්නම්"
සරෝජ් හිරිපිටිය සංජය නවතලූයේ එසේ කියමිනි. කළු පැහැයෙන් පින්තාරු කළ ගේට්ටුව විවරකොට ඇතුල්වූ සරෝජ් හිරිපිටිය සුසුමක් හෙලුවේ හරිත වර්ණයෙන් දිදුලන මනාලෙසට නඩත්තු කළ "මයි හෙවන් - my heaven" දෙස මොහොතක් බලා සිටය .ගහකොළක දැවටෙන මද නල පවා නිවේතා නැති සොවින් වැළපෙන්නාසේය.
කලිසම් සාක්කුවෙන් යතුර අතට ගත් සරෝජ් හිරිපිටිය ඉදිරි දොර විවෘත කොට නිවසට ඇතුළු විය. කැඩී බිඳී ගොස් තිබූ මල් බදුන් කිහිපය සහ බිම පෙරළී තිබූ දුරකථනයේ කොටස් වෙත ඔහුගේ දෑස් යොමුවූයේ එසැණින්මය. සිමෙන්ති ගෙබිම ලේ පහරක් මිදී ගොසිනි .තවදුරටත් වලකා ගත නොහුණු කඳුළක් හෙමින් ගලා එන දැනෙද්දී සරෝජ් හිරිපිටිය නිවේතාගේ කාමරය වෙත පිය එසවීය.
එකිනෙකට යාබද වූ කාමර දෙකෙන් මුල් කාමරය ඇයගේ විය. ඔහු දොර මඳක් තල්ලු කොට දමා ඇතුළට ඇවිද ආවේය. කිසිදා පැමිණ නොතිබුණද මේ නිවස තමාට ඉතා හුරු බවක් දැනෙන්නේ මන්දැයි සරෝජ් හිරිපිටිය යළි යළිත් කල්පනා කළේය. මේ සියල්ල නිවේතාගේ සිහිනයන්ය. නිවේතාගේ පිළිවෙල,කලාත්මක බව ,දක්ෂතා සියල්ලම මුළු මිදුල, ගෙවත්ත, මුලුතැන්ගෙය පමණක් නොව නිදන කාමරයේද නොඅඩුව පැවතුණි.සරෝජ් හිරිපිටිය කාමරය සිසාරා එකම බැල්මක් හෙලීය.
ඉන්පසු සෙමින් ඇවිද ගොස් ඇයගේ යහනේ හිඳ ගත්තේය. ලා රෝස පැහැය සහ පීච් පැහැය එකට මුසු කළ ඇතිරිල්ල සහ පීච් පැහැගත් කොට්ට දෙක එදින උදයේ සැකසූ අන්දමටය. ඔහු සුසුමක් හෙලා ඇයගේ සයනයේ වැතිරුණේය.
"අපේ ජීවිතවලට මේ තරම් වරදින්න අපි කොච්චර අවාසනාවන්තද සුද්දි"
ඔහු තමාටම කියාගත්තේ නිවේතාගේ ඇඳ අසල වූ කුඩා කබඩය මත මඳ සිනහවක් පා සිටින ඇයගේ සේයාරුව අතට ගනිමිනි.ඒ සිනහව.. කවදත් තමා වශී කළ කට කොනකින් නැගුණු සුන්දර සිනහව දෙස මොහොතක් බලා උන් සරෝජ් හිරිපිටිය සේයාරුව පසෙක තබා ඇද පසෙක වූ කුඩා කබඩය විවෘත කළේය.සම් බැම්මෙන් බැඳී තරමක් ලොකු පොතක් එහි වූයේ උඩින්මය. ඊටත් යටින් තවත් එබඳුම පොත් කිහිපයකි.සරෝජ් හිරිපිටිය ඒ සියල්ල අතට ගත්තේය.
එකින් එක පෙරලා බැලුවේය.ඔහුගේ මුවඟට වේදනාව අතරින්ම සිනහවක් ද මතුවී ආවේය. අසල වූ නවා තැබූ රෙදි බෑගය අතට ගෙන සේයාරුව සහ පොත් කීපය එයට දමා ගන්නා විටම කාමරයට දිව එන අඩි ශබ්දය ඔහු ඇඳෙන් නැගිට්ටවාලීය.
"අනේ එයා අම්මා අම්මා"
මානවී හඬාගෙන සරෝජ් හිරිපිටියගේ තුරුලට වැදුනාය.හසිත ඇය පසුපස හති ලමින් දිව ආවේය.
"ඊසි..ඊසි.. චූටි දුව. අම්මා හොඳින්. ශී විල් බී ඕකේ සූන්. මේ බලන්න ඔයාට මෙහෙම අඬන්න හොඳ නෑ. දුවන්න හොඳ නෑ.චූටි මැණික"
සරෝජ් හිරිපිටිය බෑගය පසෙක තබා ඇය සන්සුන් කරන්නට වෙර දැරීය. තවත් විනාඩි ගණනක් හඬා වැටුණ මානවී ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වන තුරුම සරෝජ් හිරිපිටිය ඇයගේ හිස අත ගෑවේ ඇයව නිවේතාගේ යහනේ හිඳුවමිනි.
"මට අම්මව බලන්න ඕනෑ"
ඉද්ද ගැසුවා සේ නැගී උන් මානවී එකහෙලාම පැවසුවාය.
"අම්මිට සර්ජරි එකක් කරලා ඉන්නේ. මේ අහන්න චූටි දුව අම්මා වෝර්ඩ් එකට දාන දානකල් මේ සිටුවේශන් එකේ අපිට එයාව බලන්න යන්න බෑ .ඒක එයාට වගේම ඔයාටත් රිස්ක්. ඔයා ඒක තේරුම් ගන්න ඕනේ.දැන් හසිත එක්ක ගෙදර යන්න.මං ඔන්න එයාගෙ කබඩ් එකේ කබඩ් එකට පැන්නා. රහස් ගබඩාව මගේ භාරයට ගත්තා. බලමු මොනවද මේකේ තියෙන්නෙ කියලා"
සරෝජ් හිරිපිටිය සිනාවෙන්නට තැත් දරමින් පැවසුවේය. මානවී කඳුළු අතුරින් සිනහා වුණා ය
"මට වත් ඕවා බලන්න දුන්නේ නැහැ එයා ඔක්කොම හොර වැඩ ඕක යතුරු දාගෙන කළේ. දැන් මේ ටික ඔයාට අහුවුණ එක හොඳ වැඩේ. එයාට හොඳම වැඩේ"
සරෝජ් මානවීගේ හිසකේ අවුල් කරමින් මද සිනහවක් පා හසිත වෙතට ඇය ලංකළේය.
"අපි යං එහෙනම්"
තිදෙනාම නිවේතාගේ කාමරයෙන් පිටව ආවේ සිත්වල ඊයම් බරු එල්ලුවා සේ මහත් බරක් ඇතිවය.
"ගස්කොලන්වලට කාවහරි එවල වතුර දම්මවන්න හසිත"
සරෝජ් හිරිපිටිය අවට සිසාරා බලමින් පැවසුවේය.
"නැත්තං අම්මි ගෙදර එනකොට අපිට ඇඩ්මිට් වෙන්නයි වෙන්නේ"
හසිතද එයට ඌණ පූර්ණය සැපයුවේය. කඳුළු අතුරින්ම දෙදෙනාගේ මුවග මද සිනහා උදාවිය.
***
සරෝජ් හිරිපිටිය සිය නිවසට විත් ගත දොවා ගත්තේ මෙවන් කාලයක පිටතට ගොස් නිවසට ඒම පවා අවදානම්කාරී බැවිනි. සිරිදාස විසින් සාදාගෙන ආ උණුසුම් කෝපි කෝප්පය කාමරයේ බැල්කනියේ කුඩා මේසය මත තැබූ සරෝජ් හිරිපිටිය නිවේතාගේ නිවසේ සිට ගෙන ආ රෙදි බෑගය තුළ වූ පොත් ටික පිටට ගත්තේය.
"මහත්තයා රෑට කෑමට මොනවද හදන්න ඕන?"
සිරිදාස සුපුරුදු පැනය අසන්නේය. ආහාරයක් ගන්නටවත් හිතට ප්‍රියබවක් නැත.එහෙත් ඖෂධ ගන්නා හේතුවෙන් ආහාර ගත යුතුමය.
"සුප් එකක් ඇති සිරී.අර නිවෙන්නෙ නැති භාජනේට දාලා අස්කරල ඔයා නිදාගන්න.මම ඒක රෑවෙලා බොන්නම්"
සිරිදාස පිටව ගිය පසු සරෝජ් මඳක් නිවුණ කෝපි බඳුණ තොළගාමින් බෑගයේ වූ පොත් පිරික්සීය.
එකම ප්‍රමාණයේ පොත් හතරකි. බැලූ බැල්මට දිනපොත් සේ නො වුවද නිවේතාගේ විවිධාකාර සුකුරුත්තං වැඩ ඒ පොත් කිහිපයේ ද අඩු නැතිව තිබුණේය. ඇය ලියන්නට පටන් ගෙන තිබුණාය.සරෝජ් හිරිපිටිය ඒ අකුරු අතර අතරමං වූයේ ඔහුට ද නොදැනුවත්වය.
යලි හමුවෙමු
කිත්මා වාසනා දහනායක
(විසිරි සිහින)
ඔන්ට මේ කොටහත් කියෙව්ව....
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteවාව්...
ReplyDeleteඔයා තව එකක් පටන් අරන් නේ???
මුල ඉදන්ම එන්නම්...
+++++
ReplyDelete+++ thank you
Deletehmmmm
ReplyDeleteඔන්න මෙතැනට ආවා...
ReplyDeleteපුංචි ඉල්ලීමක් තියෙනවා...
පුලුවන් නම් අකුරු ටිකක් ලොකු කරන්ටකෝ...
මේ තියෙන විදිහට කියවන්ට අමාරුයි...
අතීත කතාවක් දැන ගන්ට ලැබෙයි වගේ...
කතාව ගලා ගෙන යන විදිහ ෂෝයි...