(නිවේතාගේ අතීත සටහන්)
ජීවිතය මේ තරම්ම අභියෝගාත්මක වුවද කටුක වුවද එකක් වේයැයි මා කිසිදු දිනක සිහිනෙනුදු නොසිතුවෙමි. එහෙත් අභාග්‍යසම්පන්න වසර ගණනාවකට පසු මම අද නිදහසේ හුස්ම ගනිමි. මානවී මගේ එකම වස්තුව කිසිත් ජීවිතයේ බරක් නොමැතිව සුරතල් පුලුන් වලසා තුරුළු කොටගෙන නිදන්නීය.දීර්ඝ ගුවන් ගමනකට පසු ගතට දැනෙන්නාවූ වෙහෙස ඇයව ඉක්මනින් නින්දට ලඟා කොට ඇත. ගතට කෙතෙක් වෙහෙස දැනුනද සිතට දැනෙන්නේ කියා නිමකළ නොහැකි නිදහසකි.
ජීවිතය හෙට සිට වෙනස්ම මාවතක ගමන් අරඹනු ඇත. එය සුබවාදී ව භාරගන්නට මට ශක්තිය ඇතැයි මම විශ්වාස කරමි.
මානවී සමගින් මා නවාතැන් ගත්තේ නිලීකාගේ නිවසේ තාවකාලිකවය. ශ්‍රී ලංකාවෙන් පිටවී ඕස්ට්‍රේලියාවට ලඟා වන තුරුත් ඇයගේ අනුදැනුම උපදෙස් අවවාදයන් එක මොහොතකට බිඳී ගියේ නැත. එකම පාසලේ එකම පන්තියේ එකාවන් වූ මිත්‍රත්වය ජීවිතයේ අසීරුම මොහොතේ දී මා බාර ගන්නට සැදීපැහැදී උන්නාය.
"අද මේ මොහොත ඉඳන් අර කුණු වෙච්ච දුක්වුණ ජීවිතේ අයිති අතීතෙට.ඒ ඔක්කොම මතකයෙන් මකාදාලයි උඹ මගේ ගේ ඇතුලට එන්නේ"
ඇය කුලී රියෙන් බැස නිවෙසට මා ඇතුල් වන මොහොතේ මගේ දෙවුරට අත තබා දෑසට එබී ගෙනම අවධාරණය කළාය.මම දීර්ඝ සුසුමක් හෙලා සිනාසෙන්නට වෙර දැරීමි. ඒ අතීතය දුක්ඛිතය. අප්‍රසන්නය. නිලීකා පවසන අන්දමටම කුණුවී ගඳ ගසන අතීතය ඉතින් හෙට දවසට මවිසින් රැගෙන යා යුතු නොවේමය.
"කෙල්ල නිදිනේ. ඩිනර් ගත්තෙත් නැද්ද?"
අඩකට වඩා ඉතිරි වී තිබූ ආහාර බඳුනට එබී බලා නිලීකා ඇසුවේ සයනය මත හරහට වැටී නිදනා මානවී දෙසද බලමිනි.
"මහන්සි ඇති"
මගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඇය මානවීගේ හිස සෙමින් පිරිමැද්දාය.නිලීකාට දරුවන් නොවූ හෙයින් ඇය මානවීට කවදත් බොහෝ සෙයින් ආදරය කළාය.ලංකාවට පැමිණෙන හැම වාරයකම මානවී වෙනුවෙන් තෑගි මල්ලක් ඇයගේ ගමන් බෑගය අතර නිරතුරුවම රැඳුණේය.
"එහෙනම් නිදාගන්න.හෙට කතා කරමු"
නිලීකා මදක් නැඹුරුවී මානවීගේ කොපුලක් සිපගත්තාය. අම්මා තරමටම ඇයට ආදරය කරන නැන්දෙකු සිටින මගේ දියණිය කෙතරම් වාසනාවන්ත දැරියක්ද ? මානවී සයනයේ හරි අතට ඔසවා තබා අසල වැතිරී කොට්ටයක් ඔසවා ඇඳට හේත්තුවීමි.
මෙහි ආ පසු උණුවතුරෙන් ගත දෝවනය කරද්දි මුළු ශරීරය පුරා වූ තුවාල කැලැල් මගේ ජීවිතයේ නිලීකා විසින් අමතක කළ යුතුයැයි පවසන ඒ දුක්ඛිත අතීතය මට යළි යළිත් මෙනෙහි කර දුන්නේය. ඉතින් අද අවසානම දවස මේය. මේ සියල්ල එකින් එක පෙළ ගස්වා මතක් කරමි. අදින් පසු ඒ සියලුම වේදනාවන් සපිරි අවුරුදු විසිහත මගේ ජීවිතයෙන් වලදා දමන්නෙමි.හෙටින් පසුව නිවේතා රසාදරී ගමගේ අලුත්ම..ඔව්.. අලුත්ම ගැහැනියක් වනු ඇත.
***
උසස් පෙළ විභාගය නිමා වූදා කෙල්ලන් රොත්තම පාරට පැන්නේ මහා යුද්ධයක් නිමා වුවාසේ ප්‍රීතියෙනි. ඒ විභාගය අවසන් වූ ප්‍රීතිය හා හරි හරියට මුසු වූයේ දහතුන් වසරක් එකා හා වැටී ගෙවූ පාසල් දිවියේ අවසානයේ පිළිබඳ ශෝකයකි.මුවග සිනහව සමග මුසු වූයේ නෙත් වලින් උතුරා ගලා ගොස් කොපුල් වල පැල්ලම් තැබූ කඳුළු උල්පත්වල ශේෂයන්ය. වසර දහ තුනක් පුරා ඉඳහිට දවසක අකමැත්තෙන් ද ඉතිරි හැම දවසක්ම කැමැත්තෙන්ද පිවිසි පාසැල් බිමේ නීත්‍යානුකූල සිසු භාවයට සමු දෙන දිනය අත ළඟටම එන තුරා කිසිවෙකුට එය නොතේරේ.
බාලිකා පාසලේ උස් උස්ව නැගෙන විලෝ ගස් පේළිය පසුකොට ගෙන කලු පැහැයෙන් මායිම් සලකුණු කළ පාසල් මාවත දිගේ අපි ඇවිද එමින් සිටියෙමු.
"සුද්දි හෙටින් පස්සෙ ඉස්කෝලේ එන්න වෙන්නේ නෑ කියලා හිතෙනකොටත් දුකයි නේද බං?"
නිලීකා මගේ උරහිසට නහය අතුල්ලමින් කොඳුරයි. මා ඉගන ගත් පාසල සාමාන්‍ය එකක් වූ හෙයින් අපගේ උසස්පෙළ විභාගයද පැවතුනේ නිලීකා උගත් පාසලේමය.ඉදින් දින කිහිපයක් ඇය හා මට යලිත් ගතකරන්නට හැකිවිය.
"ඊයා බං හොටු නොගා හිටපන්කෝ"
මම ඇයට පහරක් ගසා ඉවතට පැන්නෙමි. හිතේ ඇති දඟකාරකම්වල නිමාවක් නැත. එහෙත් අද සිට අපේ ජීවිත කොහේ නම් ගසාගෙන යනු ඇත්ද? මේ සා සැහැල්ලුවක් ඉතින් අදින් පසු කොහේ කොහි නම් වේවිද?
"උඹ මොකද කරන්න හිතන් ඉන්නේ මම නං සතියක්ම නිදාගන්නවා ඔක්කොටම කලින්"
නීලිකා දෑත් දෙපසට දිගු කර ඈනුමක් හැරියේ හැකිනම් එතනම වැටී නිදා ගන්නවා යන තරමේ කම්මැලිකමකිනි. නින්ද යනු පරම සැපතය යන දහම නිලීකා අදහන්නට ගත්තේ හතේ පන්තියේ මා සමග එකම පාසලට ගිය කාළයේ සිටමය.
"ගෙදර ගිහින් බලන්න ඕන නිලී. කුඩම්මා කියන දෙයක් තමානේ අන්තිම තීන්දු තීරණය"
මට සුසුමක් හෙලුණේ කුඩම්මා සිහිවීය. ඇය ඉස්සර කුඩාකල ඇසූ සුරංගනා කතාවල ඉන්නා කුඩම්මාගේ ස්වරූපයම ගත්තාය. පිටට පෙනෙන්නට කෙනෙහිලිකම් නොකළ ද ඇයගේ පල නොකියා පලා බෙදන න්‍යායය නිතරම දිගු වූයේ මා දෙසටමය. ජීවිතයේ හැම විටම මට බෙදුණේ අඩුවක් නැති දුකම පමණි.
නිලීකාගෙන් සමුගෙන නිවසට පැමිණෙන විටද හවස තුන පමණට වන්නට ඇත. අනිත් කෙල්ලන් බීච් යන්නට සුදානමින් ආවද මට එයට අවසරයක් නොමැත. වැරදීමකින් හෝ එසේ ගියානම් තාත්තා ගේ කනට කතාව යන්නේ එක හතවෙමිනි. ඉතින් එවිට තාත්තාට මා දහ අට වියෙහි බව අමතක වේ. අල්මාරිය උඩ ඇති වේවැල මගේ දෑතේ සහ පිටේ රස බැලූවේ එහෙම නිරපරාදේ කුඩම්මා තාත්තා ඇවිස්සූ දිනවලය. තාත්තා කෝපාවිෂ්ටව පහර දෙන තුරු දොර රෙද්දට එහාපසින් සිට බලා සිටින කුඩම්මාගේ මුහුණේ සහ දෑසේ නලියන්නේ සන්තුෂ්ටිය එක්ක යන සිනහවකි.
ඉතින් මම එවන් දෑට ඉඩ නොතබා සිටින්නටම වෙර දරමි. තාත්තාගේ වේවැල් පහර වැදී රිදුම් දෙන ගතට වඩා මට දැනෙන්නේ ඔහු මුවින් පිටවෙන හිත කීරි ගස්වන අවලාදයන්ය.
"උපන් ගමන් මහඑකීව මරාගත්ත කාලකන්නි එකී මට වත් නිදහසේ ඉන්න දීපන්"
එම වදන් මා ඇසූ වාර ගණන අනන්ත අප්‍රමාණය. මා උපන්දාම අම්මා මිය ගිය බව ඔවුන් පවසන්නේ ඒ වරද මා පිට පටවා තබාය. ඉදින් එසේ මිය ගිය අම්මා ගැන ද මා ගැනද මට ඇති වන්නේ පුදුමාකාර තරහකි.
"ගියතැනක මාවත් අරන් ගියේ නැත්තේ ඇයි අම්මේ"යැයි සිතමින් හුදකලාව හඬා වැටුණු වාර මා දිවියේ ගිණිය නොහැකි තරම් විය.
"ආ මේ ඉන්නේ මැඩම් විභාගය ඉවර වුණේ එකට නේද? දැන් තුනයි.ගියාද බෝයිෆ්‍රෙන්ඩ්ගෙන් සමුඅරන් එන්න"
පාලිකා අක්කා ගේ දොරකඩ අවුරා ගෙන සිටින්නීය. මම විඩාපත් වතින් ඇය දෙස නිහඬව බලා උන්නෙමි. විභාගය ඉවර වී පාරට එන විට බසය ගොසිනි. ඉතින් ඊළඟ බසයට තවත් විනාඩි හතළිස් පහක් ගෙවී ගොස් නිවසට පැමිණෙන්නට ඇති කිලෝමීටර් භාගය ද ගෙවුණු පසු තුනට මිස ඊට පෙර නිවසට ඒමට නොහැකි බව පාලිකා අක්කාටම නොවැටහෙන්නට විදියක් නැත. බීරි අලින්ට වීණා වයන්නා සේ සිටින ඇයට හේතු පැහැදිය යුතුද නැත.
"මොකෝ කටේ පිට්ටුද?"
දොර අසලට ආ මා උරහිසින් අල්ලා තල්ලු කර දමා ඇය අසනා විට කුඩම්මා ද එතැනය. අඩු තරමේ පාලිකා අක්කාගේ හැසිරීම වළක්වන්නටවත් කුඩම්මාට කිසිදු අවශ්‍යතාවයක් නොවූ තරම්ය.
"ඔන්න ඔයා මෙහෙට වෙලා ගෙට එන්න දෙන්න. දැන් ඇති ඔය"
කුඩම්මා තවත් වෙලාවකට පසු එසේ කියමින් ගෙතුළට ගියාය. පාලිකා අක්කාගෙන් හිරිහැර විඳීම මට ඒ වනවිට පුරුද්දක්ම වී තිබුණි. ඒ අවසරයෙන් මමද ගෙතුළට වැදුණේ ඉදිරියේදී මේ නිවසේ ජීවත්වීම කෙතෙක් අසීරු වනු ඇත්දැයි මනසින් විශ්ලේෂණය කරමිනි. ගතවූ සම්පූර්ණ කාලයටම වඩා මේ ඉදිරිය මට අසීරු වන බව පමණක්ම මම දනිමි.
මගේ කුඩා කාමරයේ සයනයට මොහොතක් බරදුන් මට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා පටන් මේ දක්වා මගේ ජීවිතය ගලා ගිය අන්දම මොහොතකට සිහිවිය. ඇත්තෙන්ම ජීවිතය ගැන සටහන් තබන්නට තරම් දෙයක් මාහට ඇතිවන්නට පටන් ගත්තේ සාමාන්‍යපෙළ ලියූ යුගයේ පටන්‍මය.
මා උපත ලද දාම අම්මා මියගොස් තිබුණි. අත්තම්මා සහ සීයාගෙ භාරයේ වසර පහක් වැඩුණු මා යළි තාත්තාගේ නිවසට ආවේ අත්තම්මා සහ සීයා හදිසි අනතුරකින් මිය ගියහෙයිනි. මේ වනවිට තාත්තා කුඩම්මා සමඟ විවාපත්ව උන්නාය.කුඩම්මා ඇයගේ පෙර විවාහයේ දියණියද සමගින් හුදකලාව උන් කතක්යැයි පැවසුවද සත්‍යම හේතුව වූයේ ඇය තාත්තා සමඟ ඇති කරගත් සබඳතාවය හේතුවෙන් ඇයගේ සැමියා ඇයව දික්කසාද කොට දමා තිබීමය.
කුඩම්මා සහ පාලිකා අක්කා එදා ඔවුන්ගේ නිවසට ආ මා හට සැලකුවේ තම සැනසුම අහිමි කරන්නට ආ සැතිරියකට පරිද්දෙනි. ඉන්පසු මා අද වනතුරු වින්දේ ඒ කෙනහිලිකම්මය.
මා එදා පටන් ජීවත්වූයේ මුළුතැන් ගෙයට යාබද කුඩා කාමරයකය. අවම වාතාශ්‍රයක් ඇති, සුවපහසුවක් නොමැති, ඉඩකඩ සීමිතව තිබූ ඒ කුඩා කුටිය නිවසට එක් වන්නට ඇත්තේ මුළුතැන්ගෙයට අවශ්‍ය දෑ ගබඩා කර තබන ගබඩා කාමරයක් ලෙසය. නැතහොත් කවදා හෝ සේවිකාවක් සිටි දිනක ඇයට ඉඩකඩක් ලෙසය. අදාල කාමරයට අවැසි නානකාමර, වැසිකිළි පහසුකම් සලසා තිබුණේ නිවසේ පිටුපස දොරින් බැහැරට ගිය පසු නිවසට යාබදවය. කුඩා දැරියකගේ ආරක්ෂාව පිළිබඳව වගක් ඇති වැඩිහිටියෙක් මේ නිවසේ නොවූ අතර ඒ අනවධානය පැවතුණේ මා සඳහාම පමණි. පාලිකා අක්කා කාමරයේ විදුලි බල්බය කුඩම්මා දමනා තුරු සාලයෙන් කාමරයට ගියේ නැත.
කෙසේ වතුදු වයස අවුරුදු පහේ සිට මා ජීවත් වූයේ ඒ කාමරයේය. ඇඳක්, පුටුවක්, මේසයක් පමණක්ම තිබූ කාමරයේ මා සතු ඇඳුම් ටික අසුරා තබා ගත්තේ තරමක් විශාල කාඩ්බෝඩ් පෙට්ටි දෙකක ය. ඒ බොහෝ ඇඳුම් පාලිකා අක්කා භාවිතයෙන් ඉවත් කළ ඒවාය. කිසිදු හාහෝවක් නොඅසා ලද දෙයින් තෘප්තිමත් වන්නට මා උගත්තේ වයස අවුරුදු පහේ සිටමය.
සාම්ප්‍රදායික නවකතාවක චරිතයක් සේම මටද සිදුවූයේ නිවසේ කුදුමහත් වැඩකටයුතු එකකට පසු එකක් ලෙස කර දී පාසල් යන්නටය. කෙතෙක් නිවසේ කටයුතුවලට කාලය වැය කළ ද කුඩම්මාගෙන් හොඳක් අහන්නට ලැබුණේම නැතිබව මගේ සිතේ ඇති කළ වේදනාත්මක මතකය සදාකල්ම කළු පැල්ලමක් ව ඉතිරිවී තිබුණේය.
පාලිකා අක්කා කිසිදු ගෘහස්ථ වැඩ කටයුත්තකට සහභාගී නොවුණා සේම කුඩම්මා ඇයව බෝනික්කියක් සේම සැප පහසුවෙන් තබා සියලු කටයුතු මා වෙතට පවරාලූයේ කන්නට බොන්නට සහ ඉන්න සිටින්නට දෙනවාට හිලව්වට යැයි ප්‍රසිද්ධියේම අඟවමිනි.
මගේ ජීවිතයේ කුඩාම විය සම්බන්ධව මා හට ඇත්තේ එතරම් පැහැදිලි මතකයන් නොවේ. එහෙත් මගේ ජීවිතයේ අද දක්වා විසිරී යන කරුණු කාරණාවන් පටන් ගත්තේ මා සාමාන්‍ය පෙළ විභාගය ලියූ කාලයේ සිටය.එහෙයින් මේ සටහන් පෙළ මා ලියා තබන්නේ ඒ වකවානුවේ සිටය.
සත්තකින්ම මේ සියල්ල ලියා තැබීමේ අරමුණ කුමක්දැයි පැහැදිලි නැත.නමුත් කවදා හෝ දිනයක මානවී මේ සියල්ල කියවිය යුතුයැයි මට සිතේ. එමෙන්ම සිතේ තද වී ඇති මගේ අතීත මතකයන් මෙසේ ලියා තැබීමෙන් මා හට යම්තාක් දුරට මානසික ඉහිල් වීමක් ලැබේයැයි මම විශ්වාස කරමි .
***
ඒ මා සාමන්‍යපෙළ විභාගයට ලියූ කාලයයි. සාමාන්‍ය පෙළ විභාගය නිමා වූ දාට පසුදා සිටම මා පත්වූයේ නිල නොලත් මෙහෙකාර ධූරයටය. උදෑසනින් පිබිද සියලුම ඉවුම්පිහුම්, අතුපතු ගෑම්,පවිත්‍ර කිරීම්, නානකාමර වැසිකිලි පිරිසිදු කිරීම් එකකට පසු එකක් ලෙස අණදීම් ආකාරයෙන් මවෙත ගොඩ ගැසූ කුඩම්මා සුළු පමාවකට නිරන්තර බැණවැදීම් සහ අවලාද නිමා නොවූ තරම් මාහට එල්ල කළාය .
ජීවිතය ඉතින් දුක මතින් ඔහේ ගලාගියද ඒ කිසිම විටෙක මුවින් නොබැන කිසිදු කඳුළක් නොසලා සිටින්නට තරම් මා හිත් පිත් නැති යාන්ත්‍රික ජීවිතයකට ඉතින් පත්වෙමින් තිබුණි. කුඩම්මා මාහට ශාරීරිකව හිංසනයන් නොකළාය. එයට සරිලන්නට වාග් ප්‍රහාරයන් මෙන්ම මානසික බිඳ වැට්ටවීම් ඇය අතින් නොඅඩුවම සිදුවිය. පාලිකා අක්කා විටෙක කොණ්ඩයෙන් ඇද රිදවීම්, යන එනමග තල්ලු කර දැමීම් ආදිය ආදී ශාරීරික හිංසනයන්ට මා ලක් කළද මා වෙනුවෙන් හඬක් ඒ නිවසේ කිසිම මුවකින් නැගුනේ නැත. තාත්තා උන්නේද නෑසූ කන්ව දෙනෙත් අඳ සේ .ඉතින් සියල්ල දරාගත් පසු රාත්‍රී අඳුරට ඉඳහිටක මුසුවන දරාගත නොහුණු වේදනාව කඳුලක් වී කොට්ටඋරයට උරා ගත්තා පමණි.
කුඩම්මාගේ ඥාතීන් නිවසට පැමිණෙන දිනවල මා හට පැවරුණු වැඩ කටයුතු වල නිමක් නොවූ තරම්ය. මේ කිසිම දිනයක මුළුතැන්ගෙයින් ඔබ්බට මා පියඔසවා නැත. කුඩම්මාගේ පාර්ශ්වයේ කාන්තා සමූහය ද ඇය මෙන්ම උද්දච්ච භාවයෙන් හිස උදුම්මා ගත් අයම විය. ඔවුන් කිසිත් ළතෙත් බවක් කාරුණික බවක් ජීවිතයේ තැවරුණු අය නොවූ හෙයින් මා හට ඒ ඥාති පාර්ශ්වය ගැන ද කිසිදු ඇල්මක් ප්‍රසාදයක් නොවූ තරම්ය.
තාත්තාගේ කෲර ගති ලක්ෂණ හේතුවෙන් ඔහුගේ ඥාති පාර්ශවයන් හෝ අම්මාගේ පස ඥාති පාර්ශ්වයන් අතහැරී ගොස් බොහෝ කල්ය. සියලු අයහපත් දේ අතරට එක්ව යන්නේ අයහපතම පමණක් බව මට වූයේ තාත්තා කුඩම්මා සහ පාලිකා අක්කාගේ ක්‍රියාකලාපයන්ය. ජීවිතයේ ඉන්න හිටින්නට සෙවනක් හා අල්ප මාත්‍ර ලෙසින් ආහාර බිඳක් ද ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථාවද ලබා ලබාදුන් හේතුවෙන්ම මම තවදුරටත් ඔවුන්ගේ යටතේ සිටිනුයේ මේ ස්ථානයෙන් එළියට බැස්සහොත් මා හට යාමට කිසිදු සෙවණක් නොමැති හෙයිනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඉඩහසර ලැබුණහොත් මට මේ පියසෙන් මිදී යා හැක. අනාගතය පිළිබඳ සුබ සිහින දකින්නට මම බිය වෙමි. එය මගේ ජීවිතය මට කියා දුන් මගේ ඉරණමේ ශෝකාකුල භාවයයි.
පාලිකා අක්කා සාමාන්‍ය පෙළ ද යාන්තමින් සමත්වූයේ ද දෙවතාවක්ම උත්සාහ කිරීමෙන් අනතුරුවය. ඉල්ලන ඕනෑම දෙයක් ඒ මොහොතේම ලබාදී ඈ නරක් කළේම කුඩම්මාය. තාත්තාද කුඩම්මා පවසන ඕනෑම දෙයකට හා හ්ම් ගෑවා මිසක ඊට එරෙහි වූයේ නැති තරම්ය. ඉදින් පාලිකා අක්කාහට ඉගෙනීමක් හෝ විභාගය සමත් වීමක් ගැන කිසිදු බරක් පතළක් තිබුණේ නැත.
"මොකෝ ඉගෙනගෙන විභාග පාස් කරලා කෙල්ලව රස්සාවකට යවන්න කියලද? ඒ නිසා විභාගවල ප්‍රතිඵල ගැන මටනං ගානක්වත් නැහැ"
කුඩම්මා සිය පුරාජේරුව පාලිකා අක්කාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව දිනයේවත් නැවැත්වූයේ නැත.
"හැබැයි ඉතින් හැමදාම අනුන්ගෙන් කකා බිබී මෙතැනම වැටිලා ඉන්න අයට මගේ කෙල්ලගේ ප්‍රතිඵල ගැන වද නොවී තමන්ට ගාමන්ට් රස්සාවකට හරියන ගානටවත් විභාග පාස් වෙන්න හිතට ගත්තොත් හොඳයි. තව තවත් නම් ඉතිං පිනට කකා ඉන්න හිතන් ඉන්නවනම් ඒවත් හිතෙන් අත ඇරගෙනම"
කුඩම්මා මුළුතැන් ගේ තුළ රාත්‍රියට උයමින් සිටිනා මට ඇසෙන්නට පැවසූයේ උපහාසය මුසු වදනිනි. මම කිසිත් හඬක් නොනගා සිනාවතින් සිටීමද ඇයට විටෙක තරහ උපද්දන්නක් විය.
"නිවේතා, මම මේ කීවේ තමන්ට තේරුණාද?"
ඇය තවත් හඬ තීව්‍ර කළාය. මම එයට ද හිසවනා මගේ පාඩුවේම වැඩ කටයුතු කළෙමි.
මා සාමාන්‍ය පෙළ ඒ නවයක් ගෙන සමත් වූ දා කුඩම්මා සහ පාලිකා අක්කාගේ මුහුණ වල අබ පුපුරන්නා සේම වූ නොරිස්සුම වඩ වඩාත් දැනෙන්නට විය. තාත්තා වචනයක් හෝ නොපවසා ඉවත බලා උන්නේය. සුබ පැතුමක් යනු මට සිහිනයක්ම විය. පාසලට ඇතුළු වූ දා සිට කිසිදු දෙමාපිය රැස්වීමකට ම'නිවසෙන් පැමිනියේ නැත. පණිවුඩ යවා ගෙන්වා ගන්නට තරම් මා අත වැරදි හෝ මා සම්බන්ධ පැමිණිලි පාසලට නොවුණු අතර පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්ව නගරයේ බාලිකාවට යාමට ලද අවස්ථාව පවා අපේ නිවැසියෝ ඉවතට හළහ.
ඉතින් පාසලේ ගුරු භවතුන් මෙන්ම බොහොමයක් සිසුසිසුවියන් මා හට කළේ හැකිතාක් උදව්ය .ඉඳහිටක සිත් රිදවා ලන අවඥා බර වදන් ඇනුම්පද සෝපහාසයන්ද නො වූවා නොවේ .නමුත් වැඩි හරියක් වුණේ පුදුමාකාර ලෙන්ගතු සිත සිත් ඇත්තවුන්ය.
නිලීකා මට හමුවුණේ හය පන්තියේදීය .පදිංචිය මාරු කොට ගමට ආ නිලීකා ගමේ පාසලට තාවකාලිකව ඇතුළු වූයේ නගරයේ බාලිකා පාසලේ පුරප්පාඩුවක් ලැබෙන තුරුය. ඉතින් වසරකට නොඅඩු කාලයක් නිලීකාගේ ඇසුර මට ලැබිණ.නිලීකා පමණක් නොව ඇයගේ දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරුත් නිලීකාහට සමානවම මා හට සැලකූහ. තාත්තා ඇතුළු නිවැසියන්ගේ දරාගත දරාගත නොහැකි වෙනස්කම් සියල්ල උසුලා සිටින මා හට නිලීකා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් උදව් කළේ ඉතා රහසිනි.මන්ද යත් එය දැනගැනීම පවා මගේ අයහපතට හේතුවන බව සියල්ලන්ම මැනවින් වටහා ගත් බැවිනි .
නිලීකා හතේ පන්තියෙදී නගරයේ බාලිකා පාසලට අස් වී ගිය ද ඇයගේ මිත්‍රත්වය පැවතුණේ නොවෙනස්වමය .හැකි සැම විටම මා හට අවැසි පොත් පත් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මවෙත ලබාදුන්නේ ඇයගේ නිවැසියන් වෙතින් ඇය හරහාය .ඉතින් අනවශ්‍ය ආඩම්බරයක් උද්දච්ච කමක් පෙන්වා ඒ ලෙන්ගතුකම් ප්‍රතික්ෂේප කරන්නට මා හට කිසිදු අවශ්‍යතාවයක් නොවූයේ මේ වන විට මා අසරණභාවයේ අඩියටම කුඩම්මා සහ පාලිකා අක්කා විසින් ඇද දමා තිබූ හෙයිනි . අමතර පන්ති යාමේ කිසිදු හැකියාවක් නොවූ මා හට නිලීකා තමන්ගේ පෞද්ගලික පන්ති වල සටහන් සහ ප්‍රශ්න පත්‍ර සියල්ල මුද්‍රණ පිටපත් ගෙන ලබා දුන්නාය. අමතර පන්තියාමක් තබා පාසලේ පැවැත්වූ අමතර පන්තියකට පවා ඉඳහිට සහභාගි වූ මා හට ඒ දවස පුරාම අසන්නට ලැබුනේ අවලාදයන් පමණි. ඉතින් ඒ නමය යනු නිවේතා වන මාගේ ජීවිතයට ගෙනාවේ සතුටක් වුව මෙය බෙදා ගන්නට මා හා සිටියේද නිලීකා පමණි.
"සාමාන්‍ය පෙළට ඒ නමයක් ගත්තා කියලා හුඟාක් ඉහළින් වැජඹෙන්න හිතන් ඉන්නව නම් එහෙම වැජඹෙන්න තමන්ට තැනකුත් හොයාගන්න වෙයි"
කුඩම්මා මගේ සිතේ වූ අන්තිමම සන්තුශ්ටිය පවා සුණු විසුණු කළේ එලෙසය.
උසස් පෙළට විද්‍යා විෂයන් හදාරන්නට මා මනා සුදුසුකම් සපුරා තිබුණද කුඩම්මා සහ පාලිකා අක්කා එයට කිසිසේත්ම මා හට ඉඩක් නොදෙන බව දැන උන්නෙමි .මන්ද විද්‍යා විෂයයන් හදාරන්නට නම් මා නගරයේ පාසලකට යා යුතු වූ හෙයිනි. ඉතින් එයට සිහිනෙනුදු මා හට ඉඩක් නොලැබෙන බව මම ඒ වන විට ද දැන උන්නෙමි. විද්‍යා විෂයයන් හැදෑරීම පිළිබඳ ඉතින් මට මුල සිටම සත්‍ය වශයෙන්ම සිහින දැකීමක් නොවීය. මගේ සිහින රැකියාව වූයේ ගෘහ නිර්මාණ ශිල්පයයි.ඉතින් ඒ සඳහා ද මා හට ඉඩක් නොමැති වීමට බොහෝ විට ඉඩ ඇති නිසා වාණිජ විෂයයන් හැදෑරීම ප්‍රමාණවත් බවට මම හිත හදා ගත්තෙමි.
කාන්තාවකට වල කපන්නෙ තවත් කාන්තාවක් කියනවනෙ...
ReplyDeleteඅනික් කොටහ කවදවගෙ එයිද.
බොහොම ස්තුතියි ඔන්න අද දැම්මා
Delete++++++++++🙏👌😊
ReplyDelete+++++
Deleteනියමයි.. සමාවෙන්න පරක්කු උනානේ මේ දවස්වල වෙන කතාවක ටැපලිලා එකසිය ගානට...
ReplyDeleteඅක සිට කියවමි..
බොහොම ස්තුතියි . මටත් ඒ ඔත්තුව දෙන්නකෝ
Deleteඅප්පේ... පට්ට සංවේදියි නේ...
ReplyDelete