Sunday, February 27, 2022

07. හත්වෙනි කොටස ( හසරැල් සැලුණාවේ )

 



මා අසල තිරිංග තද කොට නැවතුන සුදු පැහැති මෝටර් රථයෙන් වහ වහා බිමට බසිමින් උන්නේ සරෝජ් හිරිපිටියය. ඔහු අඩියට දෙකට මවෙතට දුවගෙන ආවේ බෙහෙවින් කලබල ස්වරූපයෙනි. කාර්‍යාල ඇඳුමින් සැරසී උන් ඔහු මේ මොහොතේ දී මෙවන් තැනක හමු වීමද අහම්බයකි.

"නිවී කොහෙද මේ යන්නේ?"

අසරණව බලා ඉන්නා මගේ අතෙහි උඩ බාහුව තදින් ග්‍රහණය කරගත් ඔහු අසද්දී මම වටපිට බැලුවේ පාසල් වේලාව අවසාන වී මහා වේලාවක් නොමැති හෙයින් දන්නා හඳුනන අය දුටුවහොත් වන ගැටලුව ගැන බියෙනි. එහෙත් ඉද්ද ගැසූවා සේ දිගට ඇදෙන මාවතේ කිසිදු වාහනයක් හෝ මිනිසෙකු නොමැත.

"ගෙදර"

මා වියළි දෙතොල යාන්තමින් මෑත්කොට පවසා ගතිමි. 

"ගෙදර මේ පාරේ?"

සරෝජ් හිරිපිටියගේ දෑස දෙසම බලා උන් මම හිස වැනීමි. මේ පාර නිවසට යන්නට මා හට ඇති කෙටිම පාරය. පාසලේ සිට සාමාන්‍යයෙන් නිවසට කිලෝමීටර් තුනකට ආසන්න දුරක් මා හට ඇවිදයාමට ඇති මුත් මේ පාරේ යනවිට එම දුර කිලෝමීටර් දෙකක් දක්වා අඩු වෙයි.

"ඉතින් හැමදාම යන්නෙ පයින්ද?"

ඔහු ඇසුවේ වේදනාබර දෑසින් අදහාගත නොහුණුසේය. සමහරක් විට මෙවන් සිදුවීම් ඔවුන්ගේ ජීවිතයේ අසාවත් නැතුවා වන්නට ඇත.

"නෑ බස් එකේ.අද ඒක කැඩිලලු. මං ඉතින් පයින් යන්න ආවා"

මගේ ගතට මේ දැඩි අව්වේ සිටීම ද බොහෝ වෙහෙසකර ය.දහදිය බිඳු නළල දෙපසින් රූරා හැලී බෙල්ල පිටුපස ඇති කෙස් රොදවල් හරහා ගලා යයි. එම දා බිංදු වලින් යට ගවුම නැහැවී හමාරය. 

"මම මේ ක්ලයන්ට් කෙනෙක්ගෙ වැඩකට ගිහින් එන ගමන්.අහම්බෙන් ඔයාව දැක්කේ පහුවෙනකොටම"

ඔහු සිටියේ කාර්යාල ඇඳුමෙනි. ලා නිල් ඉරි වැටුනු සුදු පැහැති අත් දිග කමිසය, තද නිල් පැහැ ටයි පටිය ,කලු දිග කලිසම සමඟින් මුහුණ පෙනෙන්නට ඔප දැමූ කළු සපත්තු මගේ එක ඇස් බැල්මකටම ග්‍රහණය විය. මා ඕනේ සුදු පැහැයට වඩා අවපැහැ ගැහුනු කහ පැහැයකට හුරු දාඩියෙන් නැහැවුනු සුදු ගවුම ඇඳගෙනය. මගේ පාවහන් ගවුමටම නොදෙවෙනිය.මේ මොහොතේ දී වඩවඩාත් පෙනුමෙන් ඔහුත් මාත් අහසත් පොළවත් මෙන් අන්ත දෙකක විය. ඒ ගත වූ නිහඬතාවය විනාඩියක් පමණ යනතුරු එසේම පැවතුණි. 

"නගින්න"

ඔහු මගේ අත නොහැරම කාරයේ ඉදිරිපස දොර විවෘත කළේය. 

"අනේ අයියේ මම පයින් යන්නම්"

මම වෙහෙසින් යුතුව වුව පැවසුවෙමි.මේ වෙලාවේ ගෙදර කිසිවෙකු නොමැති වීමම මට සහනයකි. එහෙත් මේ ලෙස ඔහු හා යායුතු නැතැයි මගේ සිතම මට කියයි. 

"තව කිලෝමීටර් කීයක් පයින් යන්නද හදන්නේ මැට්ටෝ?"

සරෝජ් හිරිපිටිය ඔහුගේ ජංගම දුරකථන මුහුණත මට පෙන්නුවේය. ඒ අනුව මේ ස්ථානයේ සිට අප නිවසට කිලෝමීටර් දෙකකට ආසන්නය. මා මේ ගමන මෙලෙස යන පළමු වතාව මෙය නොවන බව මම ඔහුට නොකියූවෙමි. එසේ කියන්නට මට කිසිදු වුවමනාවක් ද නොවීය. මගේ ගැටලු, අපහසුතා මා සමග මේ අන්දමටම තිබිය යුතුය.

"මං එක්ක යන්න බයද නැත්නම් අකමැතිද?"

සරෝජ් හිරිපිටියගේ හඬ ගැළපුණේම ඔහුගේ දෙවන නමටය.නිසල් වූ ඔහුගේ නමද හඬද සැබැවින්ම නිසංසලය. අවැඩක් අසිතක් ඉතින් සිතන්නේ කෙලෙසද? මම කෙල බිඳක් කිරීමට වෙර දැරීමි උගුර කට වේලී ගොස් ඇති හෙයින් එයද අපහසුය. මම බිම බලාගෙනම හිස දෙපසට බැලුවෙමි.

"අනේ නෑ අයියේ. එහෙම නෙවෙයි "

මම වදන් ගලපාගන්නට වෙර දැරීමි.

"මං දන්නවා. අර කුඩම්මායි පාලිකායි දකී කියලා ඔයා බයයි."

සරෝජ් හිරිපිටිය මා ඉදිරිපස අසුනේ හිඳුවමින් පැවසීය. ඔහු මගේ සිත කියෙව්වාක් බඳු විය. නිවසේ මා පසුවන තත්ත්වය නිලීකා ඔහුට පවසා තිබෙන්නට බොහෝ විට ඉඩ ඇත.  රිය ඉදිරිපස කොටසේ සීතල වතුර බෝතලයක් දැක හිත කෙතරම් ආසක්ත වී ද යත් සරෝජ් හිරිපිටිය රියදුරු අසුනට බර වනවිට මම එය විවර කොටගෙන බීගෙන යමින් උන්නෙමි. මට තිබූ හදිසියට දිය බිඳක් මුවෙන් ගිලිහී උගුර දෙසින් ගෙල හරහා ළමැදට වැටී නිවී ගියේය. සරෝජ් හිරිපිටිය ඉදිරිපස කැබි හෝලය විවෘත කර අතට ගත් තෙතමනය සහිත ටිෂූ පෙට්ටියකින් කිහිපයක් ඇද මා අත තැබීය. ඉන්පසු එයින් මුහුණ පිස දා ගන්නයි මට ඇසින් පැවසීය. 

ඒ සමඟම කාරයේ වායු සමීකරණය ද වැඩි කළේය සිත ගත දැවූ දාහය අතුරු දහන් වෙමින් පැවතුණි. මම මුදු සුවඳක් සහිත වූ එම තෙතමනයෙන් මුහුණ ගෙල පිස දා ගනිමින් උන්නෙමි.දවසක් තිස්සේ දාඩිය දූවිලි එක්ව මොහොතින් ගත දැවූ අප්‍රසන්න දාඩිය ගඳ නිවී යන්නට වූයේය. සැණෙකින් මම වතුර බෝතලය බී අවසන් කළ ද මට තව තවත් පිපාසය දැනේ.

"තව වතුර නැද්ද?"

නිවේතා යනු මහ සැලකිලිමත් නොහැදුණු කෙල්ලකයි සරෝජ් හිරිපිටියට වැටහෙන්නට ඇත්දැයි නොසිතාම මම ඇසුවෙමි.

"එහෙම වතුර බොන්න හොඳ නෑ. ඊළඟට මාගේ කාර් එකේ සී එච් යූ ගියාම මට තමා හෝදන්න වෙන්නේ"

සරෝජ් අයියා රථය පණගන්වමින් සිනා වූයේය. සී එච් යූ, සී එච් යූ.. මම හිසකේ රැල්ලක් අඹරමින් කල්පනා කළෙමි. පන්තියේ කෙල්ලන් මට ටියුබ් ලයිටයයි පවසන්නේ නිකම්ම නොවන බව මම දනිමි. 

ඔවුන්ගේ සමාජ ආශ්‍රය මට අහිමි හෙයින් ඔවුන්ගේ භාෂාවන් සහ පාරිභාෂික මාලාව මට නුහුරුය. එහෙත් ඔහු කියූදේ විනාඩි ගණනකට පසු වැටහී මටද සිනා ගියේය.

"ඇයි නිවී වතුර බෝතලයක් අරන් යන්නෙ නැත්තේ ඉස්කෝලේ?"

සරෝජ් හිරිපිටිය සෙමින් රිය ධාවනය කරන අතර ඇසුවේය. මම පොත් බෑග් එක ඇද දුර්වර්ණ ප්ලාස්ටික් බෝතලය ඔහුට පෙන්වූයෙමි. අද දවසට මගේ කුසෙහි ඇත්තේ මේ වතුර බෝතලය පමණක්ම බව ඔහු නොදන්නේය. ඒ වතුර මට අවශ්‍ය වන්නේ කුසගින්න හා පවස දෙකම නිවාගන්නට බව ඔහු නොදන්නේය. මගේම අවාසනාවට ඒ මොහොතේ මගේ බඩ කෑගසන්නට විය. සරෝජ් හිරිපිටිය මාවත අයිනේ රිය යළි නවතා මවෙත හැරුණේ විමසුම් නෙතිනි.

"උදේටයි ඉන්ටවල් එකටයි කෑවෙ මොනවද ?"

ඔහු දෑස මග හැර මම ඉවත බැලීමි. වාහනය නවතා තිබුණේ සිසිල් සෙවනින් ගස් වියනෙන් වටවූ මාවතකය. පයින් එන දවසක මම මොහොතකට නැවතී විඩා නිවන මේ මාරගසින් සෙවන වූ මාවතේ වාහන යන්නේ ඉඳහිටය. මම බිම බලා ගත්තේ නිරුත්තරවය. සරෝජ් හිරිපිටිය මගේ පිළිතුරක් ලැබෙන තුරු මදෙස බලා හිඳී. 

"නිවී කාලා නෑ නේද ඔයා? මේ මොන තිරිසන්නු ද අප්පා"

සරෝජ් හිරිපිටියගේ වදන් ඇරඹුණේ මෘදුවය එහෙත් අවසන් කළේ කෝපයෙන් ස්ටීරියන් වීලයට අතින් තදින් පහර දෙමිනි. ඒ මොහොතේ මගේ දෙනෙත් තුළ පිරෙමින් තිබු කඳුලූ කොපුල් දිගේ ගලා ආවේය. අසරණ භාවය හා වේදනාව එක්ව ගත්කළ ඉතින් ආත්මානුකම්පාව උතුරා ගලායයි. මම ඉකි ගසමින් දෙපා මත හිස තබාගෙන හැඬුවෙමි. මහහඬින් සොටු සූරමින් ගවුමේ පිසිමින්ම හැඬුවෙමි. මට කිසිදු ලැජ්ජාවක් දැනුණේ නැත. මෙතුවක් කල් හිතේ තදව තිබූ දුක වේදනාව ලැජ්ජාව වේලි බැඳ උන් දියවරක් කඩාගෙන ගලා බසින්නා සේ මා නෙතු දෑලේ ගලා හැලුණි. 

"අපි යං නිවී"

ඔහු මට හඬන්නට දී නිහඬව බලා උන්නේය ගතවූ කාලයකට පසු සුසුමක් පමණක් හෙලා මහිසට අත තබා ඔහු මඳක් එහෙමෙහෙට කළේය.කුඩා වියේ දිනක සීයාගෙ සහ අත්තම්මාගේ සෙවණේ දී විඳි ඒ ආදරණීය පහස කල්ප කාලාන්තරයකට පසුව මට යළි දැනුණි.සරෝජ් රිය පණ ගන්වා මඳ දුරක් ධාවනය කර හදිසියේම වෙළඳසලක් අසල නවතා එතුළට දිවගියේය. කුඩම්මා ඇතුළු සියල්ලන් නිවසේ දැනට නැති බව දැනගත් සරෝජ් හිරිපිටිය මා හට දිවා ආහාර පාර්සලයක් මෙන්ම තවත් යම් යම් දෑ සහිත බෑගයක් අත පත්කළේ බහින්නට පෙරය.

"ගෙදර ගිහින් බත් එක කන්න. ඔයා අනික් දේවල් හංගලා තියාගෙන බඩගිනි උනාම හොරෙන් හරි කන්න නිවී"

සරෝජ් ඉදිරියේ බොරුවට අනේ මට එපා කියමින් ළතැවෙන්නට මට අවැසි නොවීය ඒ අතින් නිවේතා යනු මහම මහ අමුතු කෙල්ලක් බව ඔහු වටහා ගන්නට ඇත. යන්නම් පමණක් ඇසින් කියූ සරෝජ් හිරිපිටිය මා බැස්ස වූ තැන සිට නොපෙනී යන තුරුත් මම බලා උන්නෙමි. අතට ගුලි ව තිබුණේ ඔහු මුහුණ පිසලාගන්නට දුන් තෙත් වූ ටිෂූ කීපයයි. බෑගයේ පැති පොකට්ටුවට දමාගත්තේ ඔහුගේ රථයේ තිබී මා බී අවසන් කල වතුර බෝතලයයි .ඒ සියල්ලම අර පෙරදා වියළි සේපාලිකා මල් සමඟ කාඩ් බෝඩ් පෙට්ටියක සුරක්ෂිත වනු ඇත. මම යළිත් ඒ ටිෂූ කිහිපයක් හෙමිහිට නැහැපුඬුවලට අල්ලා සුවඳ බැලීමි. 

නිවසට පැමිණි පසු කාමරයේ මේසය මත බත් පාර්සලය දිගහැරගෙන මා කන්නට පටන් ගත්තේ සුදු ගවුම පිටින්මය. එතරම් ප්‍රණීත කෑම පාර්සලයක්.. මට කිහිපවරක්ම කෑම හිර වූයේ කලබලයටමය. සරෝජ් හිරිපිටිය උන්නානම් නිහඬ දෑසින් සිනාසෙමින් මා කන අන්දම බලා සිටිනු ඇත. අවසාන බත් ඇට කීපයද එකතු කළේ සූරමින් මෙනි.එයද එක් කොට ගෙන ගිලදැමූයේ දැඩි ලෝභකමිනි. ඒ බත් කොලය අකුලා කුණු ගොඩ දමා ගිනි කූරක් ගසා ගිනි තැබූයේ සියලු සහතික මකාලන්නටය. නැතහොත් කෑ සියල්ල වමාරන්නට පහර වදින්නේ තාත්තාගෙනි.

ඉන්පසු කාමරයට විත් ඇඳ මත හිඳිමින් ඉතිරි බෑගය තුළ වූ දේ පිරික්සීමි. බිස්කට් පැකට් දෙක තුනක්,චොක්ලට් එකක්,පළතුරු පාන දෙක තුනක් සමඟ ඇපල් ගෙඩි හයක් සමග කුඩා ලියුම් කවරයක් විය. ලියුම්කවරය විවර කළ මට එහිවූ සියයේ නෝට්ටු හයත් සමග කුඩා තුණ්ඩුවක් දිස්වීය. 

"නිවී කිසිම දෙයක් හිතන්න එපා ඉස්කෝල තියන කැන්ටිමෙන් හොඳට කන්න. මේ සල්ලි අහු නොවෙන්න තියාගන්න"

ඕනෑම දෙයක් ගන්නට ඉඩ ඇත. එහෙත් මට සරෝජ් හිරිපිටියගේ මුදල් ගන්නට නොහැක. ඔහු සහ මා අතර කිසිදු බැඳීමක් සබඳතාවයක් ආදරයක් නැත. නමුත් යමෙක් අනුකම්පාවට ලක් වීමේ සීමාවක් ඇත. මේ මුදල යළි ඔහු අත පත්කළ යුතු බව මම තරයේ සිතා ගනිමි. නිවේතා වන මා තමන්ගේ ආත්ම අභිමානය ගැන ඉහළින් සිතුවා නොවේ. මගේ ජීවිතයේ එබඳු අභිමානාත්මක හැඟීම් නිවැසියෝ පාගා පොඩිකර දමා අවසානය. එහෙත් සරෝජ් හිරිපිටිය මත මා මුදල්මය කාරණා සම්බන්ධව යැපිය යුතු නම් නොවේ.

කෙසේ හෝ බිස්කට් සහ සෙසු ආහාරයන් සඟවා තබා ගත් හෙයින් වෙනදාරෑ මැදියමේ මා ඇහැරවා තබන උදර ආම්ලිකතාවය මෙතැන් පටන් මා හට නොවීය.අනෙකුත් කෙල්ලන් හා සමානව මම ද රස මසවුළු බිදීමට චොක්ලට් පෙත්තක් කන්නට ආසා කලෙමි. මාස තුන හතරකින් නිලීකා හමුනොවන හෙයින් මෑතකදී ඇයගෙන් හෝ එසේ නොලැබුණි. ඒ ඉතින් සරෝජ් අයියා දුන් චොක්ලට් පෙත්ත කොනිති ගසමින් කෑවෙමි. අවසානයේ චොක්ලට් දවටනය පවා මගේ සංරක්ෂිත එකතුවට එක් විය.

                                                                              ***

කාලය ගෙවී ගියේ විටෙක ඉබි ගමනේය. එසේ වූ දිනවල ජීවිතය පිරුණේ සංකාවෙන්ය. ශෝකයෙනි .කුඩම්මා සහ පාලිකා අක්කාත් අනන්ත අප්‍රමාණ වෙනස්කම්වලින් මගේ ජීවිතයේ හෙම්බත් කළහ. විටෙක මේ ජීවිතයේ බෙහෙවින් බර වැඩි යැයි සිතෙන්නට පටන්ගත්තද කුමක්දෝ අදිසි බලවේගයක්ව සරෝජ් හිරිපිටිය මා ඉදිරියටම තල්ලු කරමින් උන්නේය .කෙතෙක් හිත කලකිරී වේදනාවෙන් බරිතව හඬා වැටෙන මොහොතක වුවද ඔහුගේ සටහන් පොතක අවසන් පිටුවේ ලියා තිබූ වැකියක් පවා මා වැටුණ තැනින් යළි ඔසවා තබන උදාන වාක්‍යයක් වූ බව මට මතකය.

සරෝජ් හිරිපිටිය විටෙක දුර සිට ද විට ඉතා ළං ළංව ද මා හට මේ කරන්නා වූ බලපෑම මගේ සිතට වදයක් වූයේ නැති බව ඉඳුරා කිව යුතුය .ඇත්තෙන්ම ඔහු මා හට දැක්වූයේ සානුකම්පිත ආකල්පයක් යැයි මම හිතන්නට හුරු වෙමින් වුණෙමි . එහෙත් ඔහු මට සැමවිටම සුවිශේෂී පුද්ගලයෙක් විය .ලේ බැම්මෙන් බැඳුණ තාත්තා මා පය වැකුණු කුණු ගොඩක් සේ ඉවත හළ ද මම ඔහුට වෛර නො කළෙමි. පාලිකා අක්කා සිය ලෙයින් නූපන්නද තාත්තා ඇයට මා ඉදිරිපිටම බොහෝ සේ ආදරය පෑවේය. 

ඉතින් සිත නො රිදුනා යැයි කියන්නට පුළුවන්ද? රිදුනි. බොහෝසෙයින් රිදුනි. ජීවිතය මා හට දී මා හැර ගිය අම්මාගේ සුසුමක හෝ උණුසුමක් නොලද මා තාත්තා ඇස් පනාපිට සිටියදීම ඒ සෙනෙහස විඳ ගන්නට අසමත් වූ අසරණ අවාසනාවන්තියක් වීමි .

වැඩිමහල් වූ හෝ බාල සහෝදරයන් තබා කිසිදු පිරිමි ඥාතියෙකු නොවූ මේ ජීවිතයේ මා හට ලං වූ එකම පුද්ගලයා වූයේ සරෝජ් හිරිපිටිය පමණකි .ඉතින් ඔහු නිරන්තරයෙන්ම වුණේ මගේ ජීවිතයේ සුවිශේෂීම ස්ථානයකය. 

ඒ ප්‍රේමය යැයි මට කීමට නොහැක. මම ප්‍රේමය නොහඳුනන්නියෙක්මි. ආදරයේ රසාලිප්ත මතකයන් අත්දැකීම් මා කිසිවිටෙක විඳ නැත .සමකාලීන යුවතියන් මා පසු පසුකොට ප්‍රේමය ඉසව් අතික්‍රමණය කළ ද මම ඒ විෂය සම්බන්ධයෙන් ඉතා ළදැරියක් පමණක්ම වීමි.

                                                                             ***


ඉන්පසු සරෝජ් හිරිපිටිය මගේ නෙත් මානයට පැමිණියේ ඉඳහිටකය. එහෙත් ඔහු නිලීකා අත මා හට විටින් විට ඉගෙනුමට අවශ්‍ය වූ දේ එව්වේය. මුල්ම දිනයෙන් පසු ඔහු මා වෙත මුදල් දීම නැවතුනේ මා නිලීකා අත එය ආපසු යැවූ හෙයිනි.

"සරෝජ් අයියා මට මේ කරන උදව් ඉහටත් උඩින් කෙල්ලෙ. අනේ ඒ උනාට මට සල්ලි නම් එපා උඹට තේරෙනවනෙ. අයියට කියපන් තරහ වෙන්න එපා කියලා"

මා මුදල් සහිත කවරය ආපසු නිලීකා අත යැව්වේ වෙන දෙයක් වුණාවේ යයි සිතාය.නිලීකා මෙන්ම සරෝජ් හිරිපිටියද එයින් උරණ නොවිණි. ඔවුන්ගේ මා සම්බන්ධයෙන් වූ ආකල්පය එතරම්ම සවිමත් එකක් විය.

ඉතින් මා උසස් පෙළ විභාගය වෙත හිතේ හයියක් ඇතිව පිය ඔසවනු ඇතැයි සිතීම උගහට නොවීය. වසර දෙක පියා සලා මෙන් යන්නට ඇත. උසස් පෙළ විභාගයට දින කිහිපයක් තබා පාසල් නිවාඩු දුන් අතර පාසල් අවසන් දවසේ පුරුදු අන්දමින් සරෝජ් හිරිපිටිය මනෙතු ඉදිරිපස සිනා නොමැති එහෙත් පසන් වතින් හිටගෙන උන්නේය.

"යං"

එපමණක්ම පවසා රියෙහි ඉදිරිපස දොර විවෘත කළ ඔහු මා රියට නැඟුණු පසු ඒ වසා දමා රියදුරු අසුනට ගොඩ විය .අප දෙදෙනා අතර වූයේ වචන සීමිත, හැඟුම් අසීමිත අප්‍රකාශිත බන්ධනයක් යැයි මට හැඟෙයි. ඔහු ඇතැම් විට විනාඩි ගණනක් යනතුරුම වදනක්වත් නොදොඩා උන්නේය. මම පොත් බෑගය මත දෑත පටලා ගෙන සුසුම් හෙලමින් බලා උන්නෙමි. පුරුදු මාර ගස් හෙවණේ රිය නවතා සරෝජ් හිරිපිටිය මා දෙසට හැරී නිහඬව බලා උන්නේය. මම කිසිත් නොකියාම ඉදිරිපස වීදුරුවෙන් මාවත දෙස බලා උන්නෙමි.

"නිවී විභාගය හොඳට ලියන්න ඕනේ තේරුණාද?"

විනාඩි ගණනකට පසු ඔහු මුවග රැඳුණු මන්දස්මිතය සහිතව ම'හිසට අත තබා පැවසීය. ඉතින් මට හැඬුණි.ඉකි ගසා හැඬීමි. විනාඩි කිහිපයක් හඬා අවසන පුරුදු අන්දමින් අත තැබූ ටිෂූ කිහිපයෙන් මම මුහුණ පිසදා ගතිමි.මේ සියල්ල සිදුවන්නේ කල්තියා සැකසුන තිර පිටපතකට අනුවදැයි සිතෙන තරමටම මම සන්සුන් වුණෙමි.

"ඔයාට ජීවිතයේ ගොඩ එන්න නම් ඉගෙන ගන්නම වෙනවා. නිවී, සාමාන්‍ය කෙල්ලෙකුට විඳින්න නොවෙන තරමේ දුක් කරදර ඔයා දැනටමත් දරාගෙන ඉන්නවා. ඒත් මේ හැමදේම ඉවරයක් වෙන්න ඕනේ .ඔයා හරිම ස්ට්‍රෝංග් කෙල්ලෙක් නිවී. හිතට ධෛර්යය ගන්න. ඔයාට මේක කරන්න පුළුවන්"

ඔහු දිව්‍යමය ස්වරයකින් එවදන් පැවසුවා සේ මට හැඟී ගියේය. ඉතින් මම ගුහාගතව උන් මානසිකත්වයෙන් මිදීගියෙමි. ශරීරයේ බියෙන්, ලජ්ජාවෙන්, වෙනස්කම් හා කුරිරුකම් වලට ලක්වීමෙන් ගල්ගැසී මිදී නිවුණු ලේ ධාරාවෝ රුධිරවාහිනී පුරා නව ජවයකින් ගලා යන්නාක් පටන් ගත්තා සේ මට දැනෙමින් තිබුණි. 

"ඔයාට පුලුවන්"

මේ වදන් දෙක මා වැටී සිටි අගාධයෙන් ඉහලටම ඔසවා තැබීය. මම මට සපථ කර ගත්තෙමි.

"ඔව් මට පුලුවන්. මම මේක කරනවා"

මම යළිදු සරෝජ් හිරිපිටිය දෙස බැලුවේ ඒ සිනහව මුව තබාගෙනය. මගේ ඒ සිනහවේ අර්ථය ඔහු වටහාගත්තේය. සමහරක් හැඟීම් කියන්නට වචන ඕනෑම නැති බව මට ඉතින් පසක්විය.

"ගුඩ් ගර්ල්. මේ ඒ හයියට මම දෙන තෑග්ග මේ පෑන. මම මේ පෑන ගත්තේ ඔයාට එක්සෑම් එකට ලියන්න. මේක ගෙදර අරන් ගිහින් ටිකක් ලියන්න. නැත්නම් විභාගෙට ලියන්න අලුත් පෑනකින් හුරු නැති වේවි. මේ තියෙන ඒකට දාන තීන්ත බට ටික. හැම පේපර් එකට අලුත් බටයක් දාලා ටිකක් ලියල හුරු කරගෙන යන්න තේරුණාද?"

ඔහු මා අත තැබූ ඒ කුඩා පාර්සලය මම ළයට තුරුලු කොට ගත්තේ දැඩිව හිත පුරා යන ආත්ම විශ්වාසයක් සමගය.  සරෝජ් හිරිපිටිය අත රැඳි ඔරලෝසුව දෙස බලා යමු කීවේ වෙලාව ගෙවී යන හෙයිනි. මම සිතට ක්ෂණිකව ආ සිතුවිල්ලෙන් ආසන පටිය ගලවා ඔහු වෙත හැරුණෙමි. පාසල් යන දිනක හෝ තාත්තාට වැඳ ආශිර්වාදය ලබන්නට අහිමි වූ මා දෑත් එක්ක පහත් වූයේ සරෝජ් හිරිපිටියගේ දෙපා මතටය. ඔහු සිය සුරත මා හිස තැබුවේ ඉතා සෙමිනි.

"මේ පළමුවැනි වගේම අන්තිම දවස මට වඳින තේරුණාද? මගේ ආශිර්වාදේ ඔයා එක්ක තියෙනවා. ඒ නිසා මීට පස්සෙ වඳින්න බැහැ"

අතැඟිල්ලකින් සියුම්ව මගේ කන් පෙත්තක් මිරිකා ලූ ඔහු මා නිවසට ආසන්න මාවතට ඇරලවා යන්නට ගියේය. මම ඉතිරි කෙටි දුර පැමිණියේ අලුතින්ම උදාවූ ජවයද රැගෙනය. ඉතින් කප්පරක් දුක්සුසුම් දරන ජීවිතේ සිනාමලක් ඉබේම පීදී තියෙන්නට ඇත.


                                                                             ***

මගේ මුහුණෙන් එහෙම සිනහවක් පවා නුහුරට දකින පාලිකා අක්කා මා දෙස බලා උනේ විමසුම් නෙතිනි. මම ඇයට ද සිනහවක් පා කාමරයට වැදී වහා පෑන් සහිත පාර්සලය සඟවා තැබීමි. විනාඩි ගණනකින් පාලිකා කාමරයට වැදුනේ මගේ පොත් බෑගය ද ඩැහැ ගනිමිනි.

"උඹට මොකද්ද එකක් වැහිලා මේ ටිකේ. මූණේ පෙම්පාට උතුරනවා. ඇත්ත කියපං උඹට කොල්ලෙක් ඉන්නවා නේද? අද ගියේ ඌව හම්බෙන්න නේද?"

පාලිකා අක්කා උමතුවෙන් මෙන් මගේ බෑගය තුළ වූ පොත් එකිනෙක පිටු පෙරළමින් මේසය මතට විසි කලාය. ඇත්තෙන්ම ඇයට මානසික ආබාධයක්දැයි සිතෙන තරමටම ඇය මා දෙස සැකයෙන් බලන්නට වූවාය.

"මට ඇති කොල්ලෙක් නෑ අක්කේ. අනේ මගේ පොත් ඔහොම විසිකරන්න එපා"

මම ඇය අතින් බිමට විසිකෙරුණ පොතක් මේසය මත තබමින් පැවසුවෙමි. පාලිකා අක්කා සිටින්නේ ඇයගේ විවාහය පමාවීම සම්බන්ධව දැඩි ලෙස කාංසාවෙනි. ඉතින් සැකය හැම විටම ඇය සිත තුළ ඔඩුදුවන්නේය.පොත් සියල්ල ද ඇද දමා අවසානයේ කිසිත් සාක්ෂියක් නොවූ හෙයින් වේගවත්ව හුස්ම ගනිමින් මදෙස බලා උන් ඇය කාමරයෙන් පිටතට ගියේ හිස් වූ පොත් බෑගයෙන් මා හට දමාගසාය. මම නිහඬවම බිම විසිරගිය පොත් ටික එක්කර මේසය මතින් තැබුවෙමි.

ඇයගේ මේ හැසිරීම් නිමා වන්නට ඇයට අනේ යහපත් කඩවසම් සැමියකු ලැබේවා යැයි පතන්නට මට අද ද හැකිය. මේසා මට කුරිරුකම් කළ ද ඇය සම්බන්ධව මට ඇත්තේ අනුකම්පාවක්ම පමණකිය.

ජීවිතය එතැන් පටන් ගත වූයේ බොහෝ ඒකාකාරීවය .අනාගතය පිළිබඳ ජීවිතය පුරාම පැවතුණු කුදු මහත් බලාපොරොත්තු දිය බිඳක් හෝ නොමැතිව කේඩෑරි වී ගිය මල් ගසක් සේ ඔහේ තිබෙන්නට ඇත.

සුපුරුදු පරිදි පාලිකා අක්කාගේ සහ කුඩම්මාගේ බැලමෙහෙවරකම් සහ කුදුමහත් ගැහැට විඳ දරා ගනිමින් මම දවසැරීමි.

උදෑසන උදාවත්දීම පටන් ගන්නා සියලුම කාර්යයන් අවසන් වනුයේ රාත්‍රී නින්දට මොහොතකට පෙරය. 

එද ...අඩු ලුහුඬුකම් ගැන අත පසුවීම් ගැන දෝෂාරෝපණ විනා කිසිදු ප්‍රශංසාවක් මට ඔවුන්ගෙන් ලැබුණම නැත .තාත්තා ටිකෙන් ටික මා වෙතින් තවදුරටත් දුරස් වෙමින් සිටියේය.

                                                                                  ***

උසස් පෙළ ප්‍රතිපල පැමිණි දා මා මගේ ජීවිතයේ බෙහෙවින් සතුටු වූ එක් දිනයක් විය .අතිශය උසස් සාමාර්ථයක් නොවූවද සියලුම විෂයන් සමත් වී විශ්ව විද්‍යාල පිවිසුමට හැකි මට්ටමේ සාමාර්ථයක් ලබා ගැනීමට මම සමත් වී සිටියෙමි. එහෙත් ඒ කාරණයම පාලිකා අක්කා සහ කුඩම්මා මා සම්බන්ධව තිබූ ආකල්පයන් තව තවත් දරදඬු ප්‍රතිපත්තියක් කරා ගෙන යන්නට හේතු වූයේ මගේම අවාසනාවටය. ඔවුන් කිසිදා මා හට විශ්ව විද්‍යාලයට යාමට ඉඩ නොදෙන බව මම දැන උන්නෙමි .

උසස් පෙළ ප්‍රතිඵල ආ පසු පාසලට අප කැඳවනු ලදුව අපගේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සිදුවිය. ඇත්තෙන්ම එදින පාසල් යන්නට මා හට නිසි සුදු ගවුමක් පවා තිබුණේ නැත. මා නොසිතුවාට මා ගතින් බොහෝ ලෙස වැඩී තිබුණි .සැප පහසුවක් හෝ සුඛෝපභෝගී යැයි කිවහැකි කිසිවක් මට නොලැබුනද මා ගතින් සහ හැඟීම්වලින් වැඩුණු දැරියක්ව සිටියෙමි. අවසානයේ නිලීකාහට ඇමතුමක් දී ඇයගේ සුදු ගවුමක් ගෙන්වාගැනීමට මට සිදු වූයේ පාලිකා අක්කා සහ කුඩම්මාගේ දැඩි දෝෂාරෝපණ මධ්‍යයේය .

"ඕක කාගෙන් හරි දැන ගන්නවා මිසක් මොකට ඉස්කෝලෙට යනවද?"

කුඩම්මා කෑගැසුවේ මා පාසැල් යාමට අවශ්‍ය බව දැන්වූ වහාමය .

"ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්නෙත් නැති එකේ මට මේ දවසට ගිහින් එන්න දෙන්න කුඩම්මේ"

මම ඇයම අභියස බැගෑපත්වීමි. අවසානයේ බොහෝ නොරුස්සන සුළු මුහුණක් මවා ගත් ඇය, 

"ගෙදර වැඩ ටික ඔක්කොම කරලා යන දිහාක ගිහින් ඉක්මනට ආවාට මට කමක් නැහැ .හැබැයි අතන මෙතන රස්තියාදු ගහන්න යනවා නෙවෙයි. මමයි වගකියන්න ඕන මොනවා හරි කරදරයක් වුනොත්.තියන වදේ මදිවට.." 

ඇය ඉවත බලාගෙන පැවසුවාය . පාලිකා අක්කා පරල වූයේ මා සුදු ගවුම ඇඳ පිටතට පැමිණ මොහොතේ සිටය .හරිහමන් මුහුණ බලන්නට කණ්ණාඩියක් හෝ නැති වුවද පිටත නාන කාමරයේ වූ කැඩී ගිය වීදුරුවෙන් මම මගේ මුහුණ දෙස එදා උදෑසන මොහොතක් බලා වුණෙමි. ඇත්තෙන්ම නිවේතා සුන්දර යුවතියක් බවට පත්වෙමින් උන්නාය.

පාලිකා අක්කාට දරාගන්නට නොහැකි වූයේ මගේ ඒ පෙනුම විය යුතුය .පාලිකා අක්කා කෙතෙක් සාත්තු කළද ඇයගේ හිසකේ හෝ සම නිසියාකාර පෙනුමක් හෝ හැඩයක් ගත්තේ නැති තරම් විය .එහෙත් මේ වන විට මගේ කොණ්ඩය පිට මැද්දක් කරා දික් වී තිබුණි.අඩුම තරමින් තෙල් සාත්තුවක් හෝ කරන්නට මට ඉඩක් කඩක් වේලාවක් හෝ පහසුකමක් තිබුණේ නැත.නමුත් මගේ වාසනාවකට හෝ අවාසනාවකට මගේ හිසෙහි වැඩෙමින් පැවතුනේ ඉතා ඝනව සහ රැළි සහිතවය.

"මේකිට බලන්න තරම් ප්‍රතිපල එන්නෙ කොහෙද අම්මෙ. ටියුෂන් වත් ගියෙ නැතුව. මේ යන්නෙ කොල්ලෙක් බලන්න" 

පාලිකා අක්කා පුපුරා හැලුණාය.ඇත්තෙන්ම ඇයගේ ස්වරූපය පවා මා බියගන්වන සුලුවිය. 

                                                                                    ***


"මේ තරම් ගැටළු තත්වයන් තිබියදීත් නිවේතාගේ මේ ප්‍රතිඵලය මට පුදුමාකාර සතුටක් ගෙනාවා. ඔය දරුවා මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ?"

උසස් පෙළ පංති භාර ගුරුතුමිය රත්නායක මහත්මිය මා හට ඇමතුවේ ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ දමා ආපසු හැරෙමිනි.

"මට තේරෙන්නේ නැහැ මැඩම් .ඉස්සරහට මොනවාද කරන්නේ කියන එක ගෙදර අයගෙන්ම තමයි අහන්න වෙන්නේ" මම බිම බලාගෙන පැවසුවෙමි.

"මෙච්චර කාලෙකට ඔය දරුවාට ගෙදර මිනිස්සු කරපු දෙයක් නැහැනේ .ඇත්තමයි දරුවෝ ඔයා ඔයාගෙම උනන්දුවෙන් ඔය විදිහට කරගත්තා මිසක අනිත් ළමයින්ට තියෙන පහසුකම් ඔයාට තිබුණනම් ඔයා දිස්ත්‍රික් රෑන්ක් එකක් පවා දානවා මට ෂුවර්"

රත්නායක මහත්මිය විස්සෝප වූයේ ඇය මාගේ සියලු තතු දැන උන් හෙයිනි .මම බිම බලාගෙනම සිනාවෙන්නට උත්සාහ දැරීමි.එම සිනහව බොහෝ දුරකට කිට්ටු වූයේ හැඬීමකට මිස හදවත පතුලෙන් ආ සිනාවකට නම් නොවේ .

"පුතේ ඔයාට කැම්පස් යන්න හොඳටම ළකුණු ඇති .ඒ නිසා ඔයා අනිවාර්යෙන්ම මේ තීරණය නම් වෙනස් කරන්න එපා"රත්නායක මහත්මිය පැවසුවේ සමුගන්නා මොහොතේ දී මගේ හිස යළිත් අත ගාමිනි.


                                                                            ***


යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින )


5 comments:

  1. හරි ඔන්න අවසානයටම ආවා...
    දැන් ඉතින් මග බලා ගෙන ඉන්ට ඉඩ තියන්ට නම් එපෝ...

    ReplyDelete