Sunday, July 4, 2021

2021(16 ) දිනපොතකින් සතියක් 01.07.2021 - 04.07.2021

මගේ ඉස්සර බ්ලොග් එක ලිව්ව කාලෙ මම ලිව්වා දිනපොතක්...ඒකෙ අන්තර්ගත වුනේ ඒ ඒ සතියෙ මම කල කී දේවල්...රැකියාවෙ වගේම යන එන මග තොට දකින කියන අත්දැකීම් ඒ දිනපොත් සටහනේ ලියවුණා....

ඉතින් මට ආයෙමත් හිතුනා දිනපොතක පිටු ලියන්න සතියකට පාරක්..  මේ ජුලි මාසෙ ඉඳලා

මේ විසිරිගෙ දිනපොත...

එන්න කියවන්න




*******************************************************

 2021. 07.01 බ්‍රහස්පතින්දා 



මේ දවස්වල ඉතින් අන්තර්ජාලය ඔස්සේ උගන්වන වැඩකටයුතු එහෙම යෙදිලා තියෙන්නෙ. මම ඉතින් ගෙදර ඉඳන් ඉස්පිරිතාලෙට ගිහින්  ගෙවල්වල ඉන්න ළමයින්ට සූම් ක්ලාස් කරනවා. ඕක අහන අහන එක්කෙනා මගෙන් අහන්නෙ ඉතින් අනේ ගෙදර ඉඳන් ඔය ක්ලාස් එක කලා නම් මොකෝ කියල. ඔහෙලයි මායි කැමති වුනාට සෞඛ්‍ය බලධාරීනුයි රජයයි අකමැති නම් මක්කොරන්නයැ.

තරුණ වයසෙ ඉන්න සිසුන් සමූහයක් එක්ක වැඩකරන කොට ඇත්තෙන්ම මතක් වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් මමත් මේ වගේම ඉගනගන්න ආව හැටි.

එදාට වඩා අද ඇති වෙනස තාක්ෂණය අතින් ලෝකය ඉස්සරහට යෑම. ඒ වගේම එදාට වඩා සිසුන් සහ ගුරුවරුන් අතර සුහදත්වයේ වෙනසක් මට දැනෙනව.එදා ඇත්තෙන්ම අපි අපට උගන්නපු ඒ ගුරුවරුන්ට දැක්වුවෙ භය පක්ෂපාත හැඟීමක්.අද අපි ඒ දේ අපේ සිසුන් වෙතින් බලා නොඉන්න තැනට හැඩගැහීමම හොඳ දෙයක්.

එදා උන්න ගුරුවරුත් අපි ඔවුන්ට බිය විය යුතුයි කියල හිතන්න නැතුව ඇති. නමුත් අදට වඩා එදා අපිත් අපේ ගුරුවරුත් අතර තිබ්බෙ දුරස්ත බවක්.

කොහොම වුනත් උගන්නන එකත් හිතන තරම්ම ලේසිපාසු එකක් නම් නෙවෙයි

ඉතින් කම්පියුටරෙයි ෆෝන් එකයි අන්තර්ජාලයයි අතරේ ජීවිතේ ගෙවිලා යනවා

*****************************************************

2021 07 02  සිකුරාදා




රජයේ සේවකයන්ට සතියට දවස් දෙකක්  විශේෂ නිවාඩු ගන්න පුලුවන්නෙ. අපිට ඒ වුනාට පුලුවන් එකයි. ඉතින් අද මම ඒ නිවාඩුව ගත්තා. බඩු ටිකක් ගන්න කියලා ආර්පිකෝ එකට ගිහින් ඉන්න වෙලාවෙ ඔන්න කණට වැටුණ දෙබසක් මේක.


අම්මා කෙනෙක් දොස් කියන්නේ ඇයගේම නෑදෑ කන්තාවක් එක්ක තමන්ගෙ ඉලන්දාරි පුත්‍රයාට. කොල්ලා නෑහුණා වගේ බිම බලාගෙන ඉන්නවා. ප්‍රශ්නෙ අද කාලෙ කාටත් පොදු ප්‍රශ්නෙම තමා.


කොල්ලා ඔන්ලයින් ඉස්කෝලෙට වඩා ගේම් ගහනවා කියන එක. අම්මයි අර නැන්දයි දෙන්නා කොල්ලගෙ පලු අරිනවා. මාත් රාක්කයක බඩු තෝරන ගමන් ඇන්ටනාව දාන් අහන් උන්නා.

" මොකෝ ඉතින් මේ කෙට්ටුත් වෙලා? "

අර නැන්දා කොල්ලගෙන් අහනවා.

"ගෙදරනෙ ඉන්නෙත් ඉතින් හොඳට කන්න පුලුවන්නෙ"

ආයෙම අම්මා ඇවිස්සුනා.

"මොන.ගේම්ම ගහනවනෙ.පිඟාන අතේ තියාගෙනත් ගේම් ගහනවා. ඉතින් කෑම ඇඟට අල්ලන්නෙ නෑ. මම දැක්කා කොහෙද කවුරුහරි කියලත් තිබ්බා ගේම් ගහන ළමයි කෙට්ටු වෙනව කියලත්."

ඇත්තටම එහෙම වෙනවලුද ????

ඔන්ලයින් ඉගැන්නිල්ලත් එක්කම එන අනෙක් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දරුවන් මේ මෙවලමට ඇබ්බැහි වීම. ඉතින් මේකෙ හිතකර දේ වගේම අහිතකර දේත් එමට.


ඊයෙ නිව්ස් වලට කියනවා ඇහුණා.. අවුරුදු පහලොවේ දුවෙක්ව අන්තර්ජාලය ඔස්සේ අපචාර වලට විකිණිලා කියල.මේ තරම් ඛේදවාචකයන් අහද්දිත් හිතට හරිම අවුල්. අම්මලා තාත්තලා ඇහැ ගහන්ම ඉන්න ඕන කාලයක් මේක නම්.

අදින් ඉතින් හුඟක් දෙනාගේ සතිය ඉවරනෙ.


එහෙනම් හැපි වීක්කෙන්ඩෙකක් වේවා කාටත් 

****************************************************

2021.07 .03 සෙනසුරාදා






සතියක් ගෙවෙන්න ඔන්න මෙන්න ඉතින්..මේ දිනවල ඉරිදාව විතරයි ගෙදර ඉන්න ඉතුරු වෙන එකම දවස.

අපි ඉතින් අදත් වැඩ තමා. 

පොත් මාරුකරන්න පුස්තකාලෙට යන්නත් බෑ. ගෙදර තියන පොත් ආයෙම කියවන්න ගන්නකොට ඊලඟට උනේ මොකක්ද කියලා මතක් වෙනවනෙ.

අන්තර්ජාල කියවීම එන්න එන්නම ඇහැට අමාරුයි.

මේ දවස් වල ඉතින් ලද ඉඩෙන් මම කරන ප්‍රධානම වැඩේ තමා චිත්‍ර ඇඳිල්ල. චිත්‍ර කිව්වට ඒවා මණ්ඩල චිත්‍ර. ඒක නිකම් භාවනාවක් වගේ වැඩක්. ඉවසීමත් ටොන් ගානෙන් ඕන වෙනවා. ඒ වගේම මේ ඔස්සේත් ඉවසීම තවත් ප්‍රගුණ වෙන්න අරගෙන.

ඔය ඉතින් හොස්ස ලඟින් මැස්සා යන්න බෑ වගේ අවුලක් මේ දවස් වල තියේ නම් ඔන්න ට්‍රයි එකක් දෙන්න. මගේ මුහුණුපොතේ නම් මම ඇඳපුවා දානවා. වෙලාවක පෝස්ට් එකක්ම ඒ ගැන දාන්නම්කො.


***************************************************

2021. 07. 04 ඉරිදා




දන්නෙම නැතුව ඉරිදාත් උදාවෙලා. කාලය දුව යන්නෙ හැල්මෙ. ඉතින් කොරෝනා නිසා අපේ ජීවිත ඒකාකාරී වෙලා කියලා කියන හුඟක් අය අතරෙ මම තාම විවිධත්වයෙන් යුතුව ජීවිතේ ගෙවන්න ක්‍රම හොයමින් ඉන්නවා.

 

කොරෝනා එක්ක ඉතින් ගෙවත්තේ වගාව නම් ලාවට වගේ අල්ලලා ගියා. වම්බටු, කෙසෙල්, මුකුණුවැන්න, අමුමිරිස්, අඟුණ වගේම වවපු පළතුරු ජාති වලින් එක වේලකට හරි දෙයක් එකතුවුණා. ඒ ඔක්කොටම වඩා වටින්නේ මානසිකව ගහකොල එක්ක ඉද්දි දැනුණ සුවය. 

කොල්ලො දෙන්නා නම් ටිකක් කම්මැලි ඕවට උදව් වෙන්න.අපෙ එක්කෙනා නම් බොහොම උදව් කලා වගාවන් වලට, නෙලපු පලදාව රහයි කියල කාලත් උදව් කලා . ඒකත් වටිනවනෙ.

තියන පොඩි ඉඩේ හරි ගහක් කොලක් වවන්න.ඉඩ නෑම නම් භාජනවල උනත් කමක් නෑ. ඒක මැජික් එකක් වගේ හිත සනසනවා

මේ සතිය අදින් ඉවරයිනෙ ..ඉතින් හෙට ඉඳන් ආයෙ අලුත් සතියක්.මම ලබන ඉරිදාට ආයෙ දිනපොත එක්ක එන්න බලන්නම්කො.ඊට කලින් ලියනවා වෙන ඒවත්



මම 

විසිරි

Friday, July 2, 2021

2021 ( 15 ) Butterfly stories

 සමනලයෙක් කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද කියල අපි දන්නවනෙ. ඉතින් සමනලයෙක්ගෙ රුව බලන අපි කීයෙන් කී දෙනාද ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් බිත්තරේකින් පටන් අරන් දළඹු කාලයක් පහුකරලා සමනලයෙක් වෙන හැටි දැකල තියෙන්නෙ.


අටෝ රාසියක් විනෝදාන්ශ අතරේ සමනල්ලු ඇතිකරන එකත් විනෝදාන්ශයක් වෙච්ච විසිරිට ඔන්න හිතුණලු ඒ කතන්දරයක් පියවරෙන් පියවර රූගත කරල බ්ලොග් එකට දාන්න.


එහෙනම් අපි යමුකො සමනල් චාරිකාව දිගේ...


COMMON MORMON  කියන්නෙ ලස්සන සමනල් වර්ගයක්.එයාලගෙ වර්ග කීපයක් ඉන්නවා.ම ඒ වර්ගයට ආසම ඒ බිත්තරෙන් ඇවිල්ල දලඹුවෙක් වෙලා එළියට එනකල්ම එන්නෙ මොනවර්ගෙ එක්කෙනාද කියල කියන්න අපි නොදන්න නිසයි. 

( මේ රූප දෙක නම් අන්තර්ජාලයෙන් ගත්තේ )







මේ සමනල් අම්මා බිත්තර දාන්නේ කරපින්චා ගහක.සමහර වෙලාවට එයාල දෙහි දොඩම් කුලයේ ගස් වලත් බිත්තර දමනවා.




ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් එකේ බිත්තර තමා දාන්නෙ. 



ඒකක් වීඩියෝ කරගන්නනම් තාම බැරිඋනා මට


ඉතින් ඔන්න දවසකට දෙකකට පස්සෙ බිත්තරේ පුපුරවාගෙන පණු පැට්ටෙක් එලියට එනවා.මේ හැම දලඹුවෙක්ගෙම බූව නම් නෑ.මෙයාලගෙත් නෑ. ඉතින් මේ එන පණු බබා ඉස්සෙල්ලම කන්නෙ තමන් උන්න බිත්තරේ කට්ට. රහ ඇති නෙ ඒක.




 ඉන් පස්සෙ අර බිත්තර කට්ට කාලා උන්දෑ කරපින්චා ගහේ ළපටි කොළ වලට හිටු කියලා වැඩේ දෙන්න ගන්නව.කන තරමටම මලපහත් කරනවා.




ටික ටික ලොකු වෙන්නෙ කන අතරෙම තමා.


ඉතින් විලෝපිකයන්ගෙන් අනතුරු එන්න ගන්නෙ මෙයාල ඇහැට පෙන්න ගන්න කොට. 



මම ඒවෙලාවට මෙයාල ඉන්න අත්ත පිටින්ම මගේ සන්රක්ෂණ ස්ථානයට අරන් එනවා.ඉන් පස්සෙ සමනල අම්මා වෙන්නෙ මම. උදේට හවසට අලුත් අතු කන්න දිදී මලපහ කරපුවා අස් කරනවා.




ඉතින් ඔහොම ඔහොම ලොකු වෙනවා එයාල


ඉන් පස්සෙ එයාලගෙ හැඩේ හරිම ලස්සනයි. එයාලගෙ මූණත් හුරතල් පාටවෙලා



ඔහොම කාල කාල දවසක එයාල භාජනයේ බිත්තිය දිගේ නැගලා නිසොල්මන් වෙන්න ගන්නව. ආයේ කන්නෙ නෑ ඉතින්.




ඉතින් ඉන්පස්සෙ එක තැනක ඇලිලා වක්‍ර වෙනවා. සියුම්ම නූල් දෙකකින් එයාල භාජනේට බැඳිලා ඉන්නෙ




ඉතින් ඉන් පස්සෙ ආයෙ හැඩේ වෙනස් වෙන්න ගන්නව.ඔහොම වෙලා දවස් ගාණක් ඉන්න මේ අය කිසිම හැලහොල්මනක් නම් නෑ


ඔන්න ඉතින් දොරට වඩින දවස.




මේ ඉන්නේ මට තාම හම්බවුන වර්ගය. මුලම එකේ උන්න අම්මාගේ හැඩය තියන කෙනෙක් එනකල් මාත් මගබලන් ඉන්නවා.එයාල පරිසරයට මුදාහරින්න කලින් ආයෙ අතට වෙලා ඉන්නව ටිකක් වෙලා. ඉන් පස්සෙ පියාඹලා යන්නම යනවා



සමනල්ලු ඇතිකරන්න ආස නම් ඔවුන්ට එන්න මල් වවන්න. මල් පිපෙන ඒවා.බාලොලියා හෙවත් ගඳපාන, බලුනකුට, දහස් පෙතියා , Tridax






 ඒ වගේම එයාලගෙ පණුවන් දලඹුවන්ට කන්න හිතකර ගස් වර්ග වවන්න 

බෝමි , කුරුඳු, අනෝදා, උගුරැස්ස, අඟුණ, බලුනකුට, දෙහි දොඩම් වගෙ ඒවා....




 




මේක අප්ලෝඩ් කරන්න ප්‍රධානම හේතුව වුණේ පාසල් යන දරුවන්ට මේක පාඩමක් විදියට පාසලේ උගන්වන බව කීප දෙනෙක්ම මට කිව්ව එකයි. මුහුණුපොතේ මේ සමනල කතන්දර කීපයක්ම මම ඒ අය වෙනුවෙන් දැම්මා. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේකෙනුත් ගන්න 

ස්තුතියි එහෙනම්

Tuesday, June 29, 2021

2021 (14) ඔබෙන් ඒ වෙනස අරඹන්න

ඔබෙන් ඒ වෙනස අරඹන්න...




මෙම සටහන සොයා ගනු ලැබ ඇත්තේ westminster abbey හි ඇති ඇංග්ලිකන් බිෂොප් වරයෙකු ගේ සොහොන් කොතේ සටහන්ව තිබියදී ය.

" මා තරුණ අවධියේ දී නිදහස්ව ගත කළ අතර මගේ කල්පිතයන් ට සීමාවන් නොවීය .මට අවශ්‍ය වූයේ ලෝකය වෙනස් කිරීමට ය. මා වයසින් සහ නුවණින් වැඩෙත්ම මා වටහා ගත්තේ ලෝකය කිසිදා වෙනස් නොවන වගය .එහෙයින් මම මගේ කල්පිතය මඳක් කුඩා කර මගේ රට පමණක් වෙනස් කරන්නට තීරණය කළෙමි .

නමුදු එය ද වෙනස් කළ නොහැකි බව මට පසුව වැටහී තිබිණි .

ඉන් තවත් කලකට පසු මම මගේ පවුල පමණක්... ඔව්.. මගේ සමීපතමයන් වන පවුල පමණක් වෙනස් කළ යුතු යැයි සිතීමි. නමුත් ඒ කිසිවක් ම ඉටු නොවීය.

දැන් මා මගේ මරණ මංචකයේ පසුවෙමි ... එක් වනම මට වැටහිණි.මා විසින් පළමුව මාවම වෙනස් කලා නම්....එසේනම් එය උදාහරණ කොට ගෙන මට මගේ පවුල වෙනස් කරන්නට තිබුණි....
.
ඔවුන්ගේ එම සුබවාදී වෙනස සහ උනන්දුව මත මට මගේ රට ට වෙනසක් ඇති කරන්නට ඉඩ තිබුණා සේම ලෝකයද ඉන්පසු වෙනස් කරන්නට හැකිවන්නට ඉඩ තිබුණි."

ඉතින් වෙනස ඔබෙන් අරඹන්න....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

පරිවර්තනය කලේ විසිරි ❤️

2021 (13) මට මාව දැනුන තැන


ජීවිතේ ගැන ආපස්සට හිතුවොත් ස්තුතියි කියන්න හිතෙන තැන් හුඟාක් හමුවෙනව....
.
ඒත් මම කියන මනුස්සයා පරිසර ජීවියෙක් කරන්න අඩිතාලම මට වැටුනෙ අපේ ගමේ මහ ගෙදරින් ......
.
ඉතින් නිස්කාංසුවේ කල්පනා ලෝකෙක ගිලෙන වෙලාවක අන්න ඒ සුන්දර කුඩා ජීවයෙන් පිරිලා තිබ්බ අපේ ඒ නිවහනට මම ස්තුති වන්ත වෙනව...
.
නිල්වලා ගං මිටියාවතට නුදුරු බිමක මීට දශක ගණනාවකට එහා මතකයක ඇවිදිනකොට මට හමුවෙනව කෙට්ටු කෙසඟ කෙල්ලක්....එයා උන්න ඒ නිවහන විදුලි බලය නැති ලාම්පු එලියෙන් පොත් බලන ගෙදරක්....
.
රෑ හත වෙද්දි අම්මා තාත්තා මල්ලිල ආච්චි සීයා එක්ක කෑම කාල සීයාගෙන් කතා අහල නිදාගන්න යන අපූරු උණුසුම් නිවහනක්....
.
උදේ ම කාමරේ ජනේලෙ ඇරියම හීන් හීතල හුලඟක් එක්ක කෝපි ගස් වල මල් පිපෙන කාලෙට ඒ සුවඳ මුසු වෙන .....
මිදුල ඉස්සරහ කහ රෙද්දක් එලපුව වගේ ඇහැල මල් හලන රූස්ස ඇහැල ගහකුයි....ගෙදරට එන වැලිපාර කෙලවර ඇට්ටේරියා මල් ගහකුයි තිබ්බ ගෙදරක්.....
.
උදේට නැගිටලා මල් සුවඳ ඉහිරුණ උදේම සුදු වැලි මිදුල පොල්ලතු රටා තියෙන්න අතුගාපු, හැන්දෑවට පාට පාට හෙන්දිරික්ක මල් වට්ටි නෙලල ආත්තම්මා ට බුදුන් වඳින්න හදල දීපු නිවහනක්.....
.
ගේ වටේට තියන වපසරියෙ අඹ , පේර, ලාවුලු, දොඩං, අනෝදා ඈ කී නොකී පල දරන...උදේම උඩින් කෝපි ඉහුණ උණු එළකිරි වීදුරුවක් බොන්න ලැබුණ ගෙදරක්.....
.
ඉතින් ...ජීවිතේ සුන්දරම හැඟීම් එක්ක ඒ නොස්ටාල්ජියානු මතක වල ඇවිදින්න තාමත් මට ඉඩ හසර සලසන අන්න ඒ ආදරය පිරි නිවහනට....ස්තුති නොකර කොහොමද.....?

මං පරිසරයට අනුගත වෙන ජීවියෙක් කල ඒ නිවහන තමයි මං ස්තුති වන්ත වෙන පළමු තැන....

විසිරි ❤️

2021(12) ඔය සිනහ සුන්දර






නෙතු දෑල වෙහෙසවන
තරමට
ඔය සිනහ සුන්දරද ඔපමණ
ඉතින් නුඹ වෙත බැඳෙන අරුමය
සිහිනයක් තරමටම සොඳුරුය

විසිරි ❤

Wednesday, March 17, 2021

2021 (11) සිහින හඹා යන්න ...

සිහින හඹා යන්න ...





San Ysidro අශ්ව ගොවිපලක් තිබුණු යාලුවෙක් මට හිටියා. ඔහුගේ නම මොන්ටි රොබට්.
අවදානම් කලාපයේ සිටින තරුණ පරපුර වෙනුවෙන් මුදල් රැස් කරන විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදවා ගැනීමට ඔහුගේ නිවස මට භාවිතා කිරීමට ඉඩ දුන්නා ...

මින් පෙර අප හමුවූ අවසාන අවස්ථාවේ දී ඔහු මට මෙසේ ප්‍රකාශ කළා ...

"ඔබට මා මේ නිවස භාවිතා කිරීමට ලබා ලබාදෙන්න කි දෙන්නේ කිම දැයි කීමට මට අවශ්‍ය වී ඇත ...ඒක බොහොම පරණ කතාවක් ...මේකෙ කතානායකයා වෙන්නෙ තරුණයෙක් ...ඔහු ගේ පියා තැනින් තැනට ගොස් අශ්වයන් පුහුණු කරන්නෙක් වුණා...හරියටම කිව්වොත් අහිගුණ්ඨිකයකු වගේ ....ඒ ජීවිතේ....
ඉතින් මේ හේතුව නිසාම..මේ පිරිමි ළමයාගේ පාසල් ගමන බොහොම අඩාල වුණ එකක් වුණා....
ඔහු මඳක් ඉහල පන්තියක සිටිද්දී....ඔහුගේ ගුරුවරයා පැවසුවා .....වැඩිහිටියෙක් වූ පසු ඔහු කවරෙක් වීමට බලාපොරොත්තු වන්නේද....ඒ වගේම කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවා දැයි ලියන්න කියා .....

ඉතින් ඒ රාත්‍රියේ ඔහු පිටු හතක් පුරාවට විස්තර කරමින් ලිව්වා....කවදා හෝ ඔහු අශ්ව ඉස්‍තාලයක අයිති කරුවකු වන බව...ඔහු තමන්ගේ සිහිනය සවිස්තරව ලියා තැබුවා...ඔහු ඒ අශ්වයින් පුහුණු කරන ප්‍රදේශය අක්කර 200ක බිමක බව...එහි ඇති සියලු ගොඩනැගිලි පවා ඔහු එම සටහනේ ඇඳ තිබුණා..ඒ වගේම වර්ග අඩි 4000ක බිම් සැලසුමක් සහිත සුන්දර නිවහනක් ද එහි තිබුණ ....
.
ඔහු බොහොම ආසාවෙන් උනන්දුවෙන් එම සැලසුම සකසා පසුදින උදේ ගුරුවරයා අතට එය පත්කලා..දින දෙකකට පසු ඔහුට එම පත්‍ර ආපසු ලැබුණා ..එහි මුල් පිටුවේ ලොකු රතුපාට F අකුරක් සමගම ...ඒ වගේ ම එහි ලියා තිබුණා ..." පන්ති වේලාවෙන් පසු මා හමුවන්න ..." කියා....
.
ඉතින් මේ පිරිමි ළමයා එසේ නැවතී සිට ගුරුවරයාගෙන් මෙහෙම ඇසුවා...." ඇයි මට F එකක් ලැබුණෙ...?"
.
" ඔබ මේ දැකල තියෙන්නෙ යථාර්ථවාදී සිහිනයක් නොවෙයි..ඔබ වැනි තරුණ ළමයෙක්ට මෙය කරන්න බෑ....ඔබට මුදල් නෑ...ඔබ පැවත ඉන්නේ අස්ථාවර පවුලකින්. ඔබට කිසිම සම්පතක් නැහැ.මේ වගේ අශ්ව ඉස්තාලයක් පටන් ගන්න නම් ඔබට ගොඩක් මුදල් අවශ්‍ය වෙනවා .ඔබ ඉඩමක් මිළදී ගන්නත් අවශ්‍යයි..ඒ හැමදේම අධික මුදල් අවශ්‍ය වෙන කාරණා..ඉතින් ඔබට මේක කරන්න පුලුවන් වෙන්නෙම නෑ...ඉතින් ඔබ අද ආපහු ලියන්න ඔබට කරන්න පුලුවන් සීමාවේ ඇති බලාපොරොත්තුවක් ගැන.එවිට මම ඔබට ලකුණක් දෙන්න බලන්නම්...." ගුරුවරයා කීවා....
.
පිරිමි ළමයා නිවසට ගොස් බොහෝ වේලා කල්පනා කළා .ඔහු ඔහුගේ පියා ගෙනුත් මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි විමසුවා ...

" මේ බලන්න පුතේ ඔබ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු යයි මේක ඔබට ඉතාමත්ම වැදගත් වෙන තීරණයක්...."තාත්තා කිව්වා ...

අවසානයේ සතියක් පමණ කල්පනා කිරීමෙන් පසුව පිරිමි ළමයා එම කොළ යොමු ආපසු ගුරුවරයා වෙතට බාර දුන්නේ කිසිම වෙනසක් නොකර....

"ඔබට ඔබගේ F අකුර ඔබ භාරයේ තබා ගත හැකියි... මම මගේ සිහින මා වෙතම තබා ගන්නම්....."

මොන්ටි ....දීර්ඝ සුසුමක් හෙලා සිනහවෙමින් මෙසේ පැවසුවා....

" මේ සියල්ල අද මම ඔබට කියන්නේ ඔබ මේ හිඳගෙන සිටින්නේ අන්න ඒ වර්ග අඩි 4000 නිවසේ....එය පවතින්නේ අක්කර 200ක අශ්ව ඉස්තාල බිම මධ්‍යයේ....අර ගිනි උදුනට උඩින් රාමු කර එල්වා ඇත්තේ..අර සිහින ගැන ලියූ F අකුර ලැබුණ පත්‍රය..."

ඔහු නැවත මෙහෙමත් කීවා....

" මේකේ හොඳම කතාව මීට ටික කාලයකට පෙර අර ගුරුවරයාම ළමයි ටිකක් එක්ක මේ ගෙදරට ආවා .....කෑම්ප් එකකට...සමුගෙන යන්න පෙර ඔහු මෙහෙම කීවා....

මොන්ටි....මට මෙන්න මේක දැන් ඔබට කියන්න පුලුවන් ...මම ඔබේ ගුරුවරයා ව උන් කාලයේ මම ළමයින්ගේ සිහින හොරකම් කරන්නෙක් බවට පත්ව උන්නා....ඉතින් ඔබ පමණක්...මට ඒ සිහිනය සොරාගන්න ඉඩ දුන්නෙ...නෑ....."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඉදින්....
කිසිවෙකුහටත් ඔබේ සිහින සොරාගන්නට ඉඩ නොදෙන්න....
ඔබේ හදවතට ඇහුම් කන් දෙන්න....
එය කියන්නෙ කුමක් වුවත් ඒ ඔබේම සිහිනයන්...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මුල් කෘතිය chicken soup for the soul...

අනුවාදය ....විසිරි....❤️

Tuesday, February 23, 2021

2021 (10) ඔබ මිනිසෙකු වේ නම් ඒ සඳහා ඇති නීති.

ඔබ මිනිසෙකු වේ නම් ඒ සඳහා ඇති නීති...




01. ඔබට අනිවාර්යෙන්ම ශරීරයක් හිමි වේ

ඔබ කැමති වුණත් එයට අකැමැති වුණත් එය ඔබේ ශරීරයයි. එය ඔබ ජීවත් වෙන සම්පූර්ණ කාල සීමාව තුළම ඔබ සමග පවතී..

02. ඔබ පාඩම් ඉගෙන ගනු ඇත

ඔබ ඇතුලත් වන්නේ පූර්ණ කාලීන අවිධිමත් පාසලක ටයි.එය ජීවිතය නම් වෙයි
එම පාසලේ සෑම දිනක ම ඔබට අලුත් පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ .ඔබ සමහර විට ඒ පාඩම් වලට කැමති වනු ඇති .තවත් සමහර විට ඒවා ඔබට නොගැලපේ හෝ මෝඩ පාඩම් යැයි ඔබට සිතෙනු ඇත..

03. මෙහිදී අත්වැරදීම් නැත...ඇත්තේ පාඩම් පමණි...

වර්ධනය යනු හරියැම් සහ වැරදීම් වල එකතුවකි.එය අත් හදාබැලීමකි.අසාර්ථක වන අත් හදාබැලීම් සාර්ථක වන ක්‍රියාදාමයක කොටස් කරුවන් වනු ඇත.

04.හරියාකාරව ඉගන ගන්නා තුරු ඒ පාඩම් නැවත නැවත ඔබට ඉගන ගන්නට සිදුවේ....

ඔබ ඉගෙන ගන්නා පාඩම් ඔබ ඒවා හරියකට තේරුම් ගන්නා තුරු විවිධ ආකාරයෙන් ඔබ වෙත ලැබේ ...ඔබේ නිවැරදිව එම පාඩම ඉගෙන ගත් විට ඔබට මීළඟ පාඩම වෙත යා හැකි ය...

05. ඔබේ පාඩම් ඉගෙනීම කිසි විටෙකත් නිමා නොවේ ...

ජීවිතේ කිසි ම කොටසක් පාඩම් වලින් තොර වී නොමැත ...අපි ජීවත්ව සිටින තුරු ....ඔබට ඉගෙනීමට ඕනෑ තරම් පාඩම් ඇත..

06. "එතන" ට වඩා "මෙතන" හොඳ යැයි කීමක් නොමැත

ඔබ වඩා හොඳ යැයි සිතන "එතැන" කොයි වෙලාවක හෝ "මෙතන" බවට පත් වේ ..එවිට ඔබ යළිත් වඩා හොඳ "එතැන"ක් සොයා යයි ...

07. අනෙක් අය කියන්නේ ඔබේම කැඩ පතක්..

ඔබට කිසිම වෙලාවක වෙනත් අයෙකුගේ වෙනත් දෙයකට ආදරය කිරීමට හෝ වෛර කිරීමට බැහැ ...එසේ කළ හැකි වන්නේ එම දේවල් ඔබගේ ම ජීවිතයේ ආදරය කරන හෝ වෛර කරන දේවල් වූවොත් පමණයි..

08. ඔබේ ජීවිතයේ ඔබ නිර්මාණය කර ගන්නේ කෙසේද .....එය ඔබට බාරයි

ඔබ සතු ව ඔබේ ජීවිතේ නිර්මාණය කිරීමට අවශ්‍ය ආම්පන්න සහ පහසුකම් සියල්ල ම ඇත ...එහි මා භාවිතා කර ඔබ කරන දේවල් බාර වන්නේ ඔබට ය... තෝරා ගැනීම ඔබ සතු ය

09. සියලුම දේ ට අවශ්‍ය පිළිතුරු ඔබ තුළම ඇත

ජීවිතයේ ප්‍රශ්න පත්‍රය ට ම අවශ්‍ය උත්තර ඔබ තුළ ම ඇත ...ඉතින් අවශ්‍ය වන්නේ ඒ ගැන විමසා බැලීම , ඇහුම් කන් දීම සහ විශ්වාස කිරීමයි ...

වඩාම වැදගත් ම කාරණය වනුයේ .....

10. ඔබට මේ සියල්ල අමතක වනු ඇති .....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

අනුවාදයෙන් සකස් කළේ විසිරි ❤️