මගේ ඉස්සර බ්ලොග් එක ලිව්ව කාලෙ මම ලිව්වා දිනපොතක්...ඒකෙ අන්තර්ගත වුනේ ඒ ඒ සතියෙ මම කල කී දේවල්...රැකියාවෙ වගේම යන එන මග තොට දකින කියන අත්දැකීම් ඒ දිනපොත් සටහනේ ලියවුණා....
ඉතින් මට ආයෙමත් හිතුනා දිනපොතක පිටු ලියන්න සතියකට පාරක්.. මේ ජුලි මාසෙ ඉඳලා
මේ විසිරිගෙ දිනපොත...
එන්න කියවන්න
*******************************************************
2021. 07.01 බ්‍රහස්පතින්දා
මේ දවස්වල ඉතින් අන්තර්ජාලය ඔස්සේ උගන්වන වැඩකටයුතු එහෙම යෙදිලා තියෙන්නෙ. මම ඉතින් ගෙදර ඉඳන් ඉස්පිරිතාලෙට ගිහින් ගෙවල්වල ඉන්න ළමයින්ට සූම් ක්ලාස් කරනවා. ඕක අහන අහන එක්කෙනා මගෙන් අහන්නෙ ඉතින් අනේ ගෙදර ඉඳන් ඔය ක්ලාස් එක කලා නම් මොකෝ කියල. ඔහෙලයි මායි කැමති වුනාට සෞඛ්‍ය බලධාරීනුයි රජයයි අකමැති නම් මක්කොරන්නයැ.
තරුණ වයසෙ ඉන්න සිසුන් සමූහයක් එක්ක වැඩකරන කොට ඇත්තෙන්ම මතක් වෙන්නෙ මීට අවුරුදු ගානකට කලින් මමත් මේ වගේම ඉගනගන්න ආව හැටි.
එදාට වඩා අද ඇති වෙනස තාක්ෂණය අතින් ලෝකය ඉස්සරහට යෑම. ඒ වගේම එදාට වඩා සිසුන් සහ ගුරුවරුන් අතර සුහදත්වයේ වෙනසක් මට දැනෙනව.එදා ඇත්තෙන්ම අපි අපට උගන්නපු ඒ ගුරුවරුන්ට දැක්වුවෙ භය පක්ෂපාත හැඟීමක්.අද අපි ඒ දේ අපේ සිසුන් වෙතින් බලා නොඉන්න තැනට හැඩගැහීමම හොඳ දෙයක්.
එදා උන්න ගුරුවරුත් අපි ඔවුන්ට බිය විය යුතුයි කියල හිතන්න නැතුව ඇති. නමුත් අදට වඩා එදා අපිත් අපේ ගුරුවරුත් අතර තිබ්බෙ දුරස්ත බවක්.
කොහොම වුනත් උගන්නන එකත් හිතන තරම්ම ලේසිපාසු එකක් නම් නෙවෙයි
*****************************************************
2021 07 02 සිකුරාදාරජයේ සේවකයන්ට සතියට දවස් දෙකක් විශේෂ නිවාඩු ගන්න පුලුවන්නෙ. අපිට ඒ වුනාට පුලුවන් එකයි. ඉතින් අද මම ඒ නිවාඩුව ගත්තා. බඩු ටිකක් ගන්න කියලා ආර්පිකෝ එකට ගිහින් ඉන්න වෙලාවෙ ඔන්න කණට වැටුණ දෙබසක් මේක.
අම්මා කෙනෙක් දොස් කියන්නේ ඇයගේම නෑදෑ කන්තාවක් එක්ක තමන්ගෙ ඉලන්දාරි පුත්‍රයාට. කොල්ලා නෑහුණා වගේ බිම බලාගෙන ඉන්නවා. ප්‍රශ්නෙ අද කාලෙ කාටත් පොදු ප්‍රශ්නෙම තමා.
කොල්ලා ඔන්ලයින් ඉස්කෝලෙට වඩා ගේම් ගහනවා කියන එක. අම්මයි අර නැන්දයි දෙන්නා කොල්ලගෙ පලු අරිනවා. මාත් රාක්කයක බඩු තෝරන ගමන් ඇන්ටනාව දාන් අහන් උන්නා.
" මොකෝ ඉතින් මේ කෙට්ටුත් වෙලා? "
අර නැන්දා කොල්ලගෙන් අහනවා.
"ගෙදරනෙ ඉන්නෙත් ඉතින් හොඳට කන්න පුලුවන්නෙ"
ආයෙම අම්මා ඇවිස්සුනා.
"මොන.ගේම්ම ගහනවනෙ.පිඟාන අතේ තියාගෙනත් ගේම් ගහනවා. ඉතින් කෑම ඇඟට අල්ලන්නෙ නෑ. මම දැක්කා කොහෙද කවුරුහරි කියලත් තිබ්බා ගේම් ගහන ළමයි කෙට්ටු වෙනව කියලත්."
ඇත්තටම එහෙම වෙනවලුද ????
ඔන්ලයින් ඉගැන්නිල්ලත් එක්කම එන අනෙක් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ දරුවන් මේ මෙවලමට ඇබ්බැහි වීම. ඉතින් මේකෙ හිතකර දේ වගේම අහිතකර දේත් එමට.
ඊයෙ නිව්ස් වලට කියනවා ඇහුණා.. අවුරුදු පහලොවේ දුවෙක්ව අන්තර්ජාලය ඔස්සේ අපචාර වලට විකිණිලා කියල.මේ තරම් ඛේදවාචකයන් අහද්දිත් හිතට හරිම අවුල්. අම්මලා තාත්තලා ඇහැ ගහන්ම ඉන්න ඕන කාලයක් මේක නම්.
අදින් ඉතින් හුඟක් දෙනාගේ සතිය ඉවරනෙ.
එහෙනම් හැපි වීක්කෙන්ඩෙකක් වේවා කාටත්
****************************************************
2021.07 .03 සෙනසුරාදා
සතියක් ගෙවෙන්න ඔන්න මෙන්න ඉතින්..මේ දිනවල ඉරිදාව විතරයි ගෙදර ඉන්න ඉතුරු වෙන එකම දවස.
අපි ඉතින් අදත් වැඩ තමා.
පොත් මාරුකරන්න පුස්තකාලෙට යන්නත් බෑ. ගෙදර තියන පොත් ආයෙම කියවන්න ගන්නකොට ඊලඟට උනේ මොකක්ද කියලා මතක් වෙනවනෙ.
අන්තර්ජාල කියවීම එන්න එන්නම ඇහැට අමාරුයි.
මේ දවස් වල ඉතින් ලද ඉඩෙන් මම කරන ප්‍රධානම වැඩේ තමා චිත්‍ර ඇඳිල්ල. චිත්‍ර කිව්වට ඒවා මණ්ඩල චිත්‍ර. ඒක නිකම් භාවනාවක් වගේ වැඩක්. ඉවසීමත් ටොන් ගානෙන් ඕන වෙනවා. ඒ වගේම මේ ඔස්සේත් ඉවසීම තවත් ප්‍රගුණ වෙන්න අරගෙන.
ඔය ඉතින් හොස්ස ලඟින් මැස්සා යන්න බෑ වගේ අවුලක් මේ දවස් වල තියේ නම් ඔන්න ට්‍රයි එකක් දෙන්න. මගේ මුහුණුපොතේ නම් මම ඇඳපුවා දානවා. වෙලාවක පෝස්ට් එකක්ම ඒ ගැන දාන්නම්කො.
***************************************************
2021. 07. 04 ඉරිදා
දන්නෙම නැතුව ඉරිදාත් උදාවෙලා. කාලය දුව යන්නෙ හැල්මෙ. ඉතින් කොරෝනා නිසා අපේ ජීවිත ඒකාකාරී වෙලා කියලා කියන හුඟක් අය අතරෙ මම තාම විවිධත්වයෙන් යුතුව ජීවිතේ ගෙවන්න ක්‍රම හොයමින් ඉන්නවා.
කොරෝනා එක්ක ඉතින් ගෙවත්තේ වගාව නම් ලාවට වගේ අල්ලලා ගියා. වම්බටු, කෙසෙල්, මුකුණුවැන්න, අමුමිරිස්, අඟුණ වගේම වවපු පළතුරු ජාති වලින් එක වේලකට හරි දෙයක් එකතුවුණා. ඒ ඔක්කොටම වඩා වටින්නේ මානසිකව ගහකොල එක්ක ඉද්දි දැනුණ සුවය.
කොල්ලො දෙන්නා නම් ටිකක් කම්මැලි ඕවට උදව් වෙන්න.අපෙ එක්කෙනා නම් බොහොම උදව් කලා වගාවන් වලට, නෙලපු පලදාව රහයි කියල කාලත් උදව් කලා . ඒකත් වටිනවනෙ.
තියන පොඩි ඉඩේ හරි ගහක් කොලක් වවන්න.ඉඩ නෑම නම් භාජනවල උනත් කමක් නෑ. ඒක මැජික් එකක් වගේ හිත සනසනවා
මේ සතිය අදින් ඉවරයිනෙ ..ඉතින් හෙට ඉඳන් ආයෙ අලුත් සතියක්.මම ලබන ඉරිදාට ආයෙ දිනපොත එක්ක එන්න බලන්නම්කො.ඊට කලින් ලියනවා වෙන ඒවත්
මම
විසිරි
මේක නියමයි.. දිගටම ලියන්න... එක එක දවස කොතරම් විසිතුරුද එහෙම බැලුවම
ReplyDeleteඅපි උපන්දා සිට ඉගෙන ගනිමින්ද , උගන්නමින්ද, කොපි කරමින්ද සිටින්නෙමු!
Deleteඉගෙන ගැනීමද එක ආකාරයක කොපි කිරීමකි.
එනිසාම ජීවිතයේ වැඩිපුරම කර ඇත්තේද කොපි කිරීම කිව්වොත් ඔබ මා හා එකඟ වෙනවාද?
කොටින්ම කොපි කිරීම නරක දෙයක් නොවන්නේය!
එහෙත් පාසලේ වසර දොලහකුත් ඉන් පසුවත් අපේ කනට ඇසුනේ "කොපි කරලා අහුවෙන්න එපා!' කියන ආදරණීය මෙන්ම ලයාන්විතවූ ආමන්ත්‍රණයය.
මම මේ තරම් කෙකර ගෑවේ විසිරිට කොමෙන්ටුවක් ලිවීමට නොව ලිඛිතාට යෝජනාවක් කිරීමටය!
ඔබගේ ලියන ආර හෙවත් රටාව තුලින්ද මෙවන් සුන්දර දින සටහන් පෙලක් මැවේවි සයිබරය තුල!
ලියන්නකෝ මෙවන්ම වූ දින පොතක්!
අහා! සුන්දර ලිපියක්!
ස්තුතියි ලිඛිතා...ඇත්තෙන්ම සතියම යෙදෙන්න පුලුවන් අපූරු වැඩක්.ඔයත් ලියන්නකො ඇත්තෙන්ම.
Deletethattayagekolama
Deleteඑකඟයි ඔබ එක්ක. ඇත්තෙන්ම හැමෝටම ලියන්න කතන්දර තියේවි. මාත් ආසයි එහෙම තව අය ලියනවනම්
+++++++++++
ReplyDeleteස්තුතියි
Deleteමණ්ඩල ඇඳීමත්, පුටු විවීම වැනිම අභ්‍යාසයකි. :)
ReplyDeleteනුවරඑළියේ වැවීමට ඉඩ ද ඇත, එළවලු වැවීම ඉතා වටිනා දෙයක් ද වේ. ඒත් කරුමෙට මේ දවස්වල විවේකයක් ඇත්තේ ම නැති තරමයි. ලබන අවුරුද්දෙ වගා කරනව.
ඒක නම් ඇත්ත. ඉස්සර අපේ හොස්පිට්ල්වලට එනවා අන්ධ අය පුටුවියන්න.ඒ දක්ෂකම නම් බලන් ඉන්න ආසයි.
Deleteඑලෝලු වවපු කාලෙක කියන්නකො.එන්නම් උඩරට එලෝලු අරන් යන්න කූඩයක් අරන්
/රජයේ සේවකයන්ට සතියට දවස් දෙකක් විශේෂ නිවාඩු ගන්න පුලුවන්නෙ. /ඒ මොකක්ද බොලේ ඒ? කෝවිඩ් හින්ද හම්බවුනු වරප්‍රසාදයක්ද? මම දැනගෙන හිටියෙ නැහැනෙ එහෙම එකක්..සමාවෙන්න මම හිතන්නෙ මම බොහොම යාවත්කාලීන මදි...
ReplyDeleteඒ්... රවි අයියට කියන්ඩ මං දන්නෙත් නෑ ඒහෙම එකක්. මේ පෝස්ට් එක බලන්ඩ එපා කියල ඔපිස්සෙකේ අයට කියන්ඩ ඔ්නෙ.
Deleteඇයි වදේ මේ දෙන්නම ඕක දන්නෙ නෑ කියල පිලිගන්න පුලුවන්ද? දැන් ඕකෙ සර්කියුලර්ස් ගහල කොච්චර කල්ද? හැබැයි ඕක බස්නාහිර පලාතට විතරක්ද දන්නෙ නෑ
Delete