Tuesday, January 10, 2017

25. අලුත් පොත්






වර්තමානය සැම විටම සම්බන්ධ වෙන්නෙ අතීතය එක්ක.අපි අපේ වර්තමානයේ ගත කරන සමහර අවස්ථා අතීතයේ සුන්දර ඉසව් වලට අපිව හැම දාම අරන් යනවා....

අලුත් පාසල් වාරය ඇරඹෙද්දි....මමත් හැම අම්මෙක් වගේම කාර්ය බහුල වෙනවා.....ගෑණු දරුවෙක් උන්නා නම් තමන්ගේ පොත් පත් වලට කවර දමලා මල් එහෙම අලවලා හැඩ කර ගනීවි..ඒත් මට ඉන්නෙ පුතාල...බොහොමයක් කොලු ගැටව් වගේ මගෙ පුත්තුත් ඔන්න ඔය වැඩේට කම්මැලියි

ඒ නිසා මම ඉතින් නිවාඩු කාලෙ මැදක ඉඳන් ඔන්න ඔය වැඩේට සූදානම් වෙනවා.ඉස්සර වගේ නෙවෙයි දැන් විෂය ධාරාව දීර්ඝ වෙලා.ඒ නිසා පොත් සංඛ්‍යාවත් වැඩියි...
පොත් වලට අවශ්‍ය කරන අඩුම කුඩුමත් අරන් කවර දැමීමේ යුද්ධයට සම්ප්‍රාප්ත වෙන කොට ...හිත දුවන්නේ අතීත මතක වලට....

ඒ මතක අවුස්සමින් පොත් වලට ඇඳුම් ඇන්දවීමත් එක් තරා අන්දමක කලාවක්....

අම්මා ඉස්සර කවර දානකොටත් මේ වගේ ලස්සන ස්ටිකර් , කවර දමන කොල තිබුණද,,,,,පොඩ්ඩාගෙන් එන්නෙ මතක අවුස්සන ප්‍රශ්න.....

මගේ ළමා කාලයට යන්න අවුරුදු තිහක් වත් එහාට යන්න ඕන ...ඒ කාලෙ අපිට පොත් වලට කවර දාන්න තිබුනේ කැලැන්ඩර් කොළ...ඉස්සර අවුරුද්ද ලබන කොට ගෙවල් වල බිත්ති හතර වටේම පිරෙන්නෙ කැලැන්ඩර් වලින්..නලු නිලියන්ගෙ..මල් වතු වල...ලස්සන පොඩි බබාලගෙ..පින්තූර එක්ක...

අද අපි ගෙදරක එල්ලගන්න හොයන්නේ අංක ලොකුවට තියන එකම එක කැලැන්ඩරයක්..ඒකත් ඉඳ හිටක..අපිට දන් ඩිජිටල් ලෝකයක් තියන නිසා බිත්තිය දිහා බලන්න අවශ්‍ය නැති තරම්...ඒත් ඒ අතීතයේදි...අපිට තිබුණෙ නැහැ ජංගමයක හෝ විද්‍යුත් මෙවලමකට එබී සිටින පුරුද්දක්....

සමහරක් වෙලාවට ගම් වල ගෙවල් වල බිත්ති වැහෙන්නම කැලැන්ඩර එල්ලලා...අද කාලෙ ඔය දේ අපි සමහරක් විට සමච්චලයෙන් බැහැර කරාවි..නමුත් මම අදටත් ඒ දේ දකින්නෙ ගැමි දිවියක තිබුණ සරල සුන්දර ආශාවන් විදියට...

ඉතින් අවුරුද්දක් තිස්සෙ කොල පෙරළෙන මේ කැලැන්ඩර කොල එකින් එක ගැලවෙන කොට අපි ඒවා පරෙස්සමින් අරන් තියාගත්තා...ඒවා තමයි එක් කාලෙක පොත් වල කවරය ලෙසින් මතු වුණේ....ඊට උඩින් පොලිතිනය..ස්ටෙප්ලර් කටු ගැසීමක් නම් මට මතක නැහැ...මගෙ මතකයේ සෙලෝටේප් නම් තියනවා...

බ්‍රවුන් පේපර් කොල විතරයි ඒ කාලෙ තිබුණෙ මීට අමතරව...නා නා විධ වූ තෑගි දවටන කොල...wrapping papers..වගේ දේවල් අපෙ ළමා වියේ තිබුණේ නෑ.අපේ පන්ති වල උන්න සමහරක් ළමයි සිමෙන්ති උර වල පැහැය ඇති කොල වර්ගයකින් ...ඒ වගේම පත්තර කඩදාසි වලිනුත් පොත් වලට කවර දැම්මා...



මල්ලිල දෙන්නාගෙ පොත් වලට කවා දැමීමේ මහා කාර්‍ය භාරය පැවරුණෙත් මට.පොත් ටිකයි බ්‍රවුන් පේපර් කොලයි එක්ක...කලින් අවුරුද්දෙ වෙසක් කාඩ් සහ පත්තර වල තිබුන හාවො...පූසො..මල් එහෙම කපල අරගෙන මේකට ඉඳගත්තම නැගිටින්නෙ පැය දෙක තුනකින්...

සීරුමාරුවට කොන් නවලා කොල කවර දමලා හැඩ අකුරින් පොතේ නම ලියලා..මලක් ඇලෙව්වම පොත හරිම ලස්සනයි ....

අද ලෝකය සීග්‍රයෙන් දියුණු වෙලා...මිනිස්සුන්ට කිසිම වෙහෙසක් නැතුව...හැම දේම කරගන්න හැකි වෙන විදියට...

පුතාට පොත් කවර දමන්න අවශ්‍ය බඩු ටික ගන්න ගියාම ....දුටුවෙ...
පොලිතින් කවරය පවා රෙඩිමේඩ් දැන්...ලොකු පොත් වලට පොලිතින අලවන විදියටම ඇවිල්ලා...ලේසියි....

ඒත්..නිර්මාණයක් කරලා වෙහෙසක් වෙලා ලබන සතුට...මේ විදියෙනුත් ලැබෙනවද කියලා මම හිතුවා.....
වැඩ පහසු වෙන්න වෙන්න අපේ නිර්මාණාත්මක බව ගිලිහිලා යනවාද මන්දා ......


9 comments:

  1. මේක හරිම අපුරුයි.
    මතක අලුත් වුනා

    ReplyDelete
    Replies
    1. සමහරක් මතක කවදාවත් නොමැකෙන ඒවා..ස්තුතියි ඔබට

      Delete
  2. නියම පෝස්ට් එකක්. ඉස්සර බ්‍රවුන් පේපර් කොලෙන් කවරදාලා දෙන්නේ තාත්තා. එයාගේ ඔෆිස් එකෙන් ටයිප් කරන් එනවා නම,විශය, පන්තිය, පාසල සඳහන් කරලා පොඩි පොඩි කොළ. පස්සේ කාලෙක තාත්තගේ බීම මේ සියල්ලක්ම පරාජය කරා. ඕවා ඔහොම තමයි. මතකය අලුත්වුනා.

    ReplyDelete
    Replies
    1. මගේ ළමා කාලෙදි ටයිප් කරගන්න පහසුකම් තිබුණෙ නැහැ...කොහොම වුණත් ආඩම්බර වෙන්න හැකි තරම් ලස්සනට අත් අකුරු තිබුණ නිසා මගෙත් මල්ලිලා දෙන්නගෙත් පොත් වල නම..විෂය..ලියන එක මම ආසාවෙන් කලා....ස්තුතියි අනුර

      Delete
  3. මං පොඩි කාලේ බිස්කට් පැකට්වල ප්ලාස්ටික් දවටනවලින් පොත්වලට කවර දාලා තියෙනවා

    සුන්දර මතකයන්!

    ReplyDelete
    Replies
    1. එච්චරම අපූරු අත්දැකීමක්.....මම තාම මේ හිතෙන් මවනවා ඒ බිස්කට් දවටන ගැන....ඇත්තෙන්ම

      Delete
  4. සෑහෙන පරණ මතකයක් ඇවිස්සුවා...සුන්දර සටහනක්...

    මුලින් අම්ම දාල දුන්නා...ඉන් පස්සේ මම තමයි, මල්ලිගෙයි මගෙයි දෙන්නගෙම පොත් වලට පිට කවර දැම්මේ...ඔය කැලැන්ඩර් කතන්දරේ කොයි තරම් හිතට වැදිලද කියනවා නම් අදටත් ලස්සන දර්ශනයක් තියන කැලනඩර් මෙහෙදී ලැබුනම ඒවා විසි කරන්න හිතට ලෝබයි...පොත් පිට කවර මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. අපි තාම ජීවත් වෙන්නෙ ඒ මතක එක්කයි...මට වුනත් ඔය කලැන්ඩර් විසි කරන්න ලෝබ ගතිය හිතට එනවා තාම

      Delete
  5. රෑට තමයි අම්මා බ්‍රව්න් පේපර් වලින් කවර දාන්න පටන් ගන්නෙ. උදේට මම නැගිටලා බලද්දි ලස්සනට බ්‍රව්න් පේපර් දාලා පොලිතීන් දාලා ඒ පොත් ටික බෑග් එකටත් දාලා. ඒ සුවඳ ගැන කියන්න වචන නෑ

    ReplyDelete