Tuesday, January 24, 2017

28. මෙබඳු පුර මාකටින්


පිටකොටුවේ බෝගහ හන්දියේ සිට ගුණසිංහ පුර තෙක්...චාරිකා




මෙන්න මේ ඉසව්වෙදි බස් එකෙන් බැහැල ...ඊලඟ බසයට යන්න ඇවිද යන මීටර් තුන් හාර සියය...මනසට මොකක් හෝ දෙයක් හැමදාම එක් කරනවා......

අද රැකියාවෙන් මිදිලා මේ කෙටි දුර එන විනාඩි දහය...මං හිතන්නෙ වෙනදාට වඩා මම අවධානයෙන් ආවා....
අප අවට ඇති ලෝකය අපට ගෝචර වෙන්නෙ...දැනෙන්නෙ ...අපි ඇස් කන් ඇතුලු සංවේදන ඉන්ද්‍රියයන්...අවදිව තියාගත් තරමට...

වෙනදට හැල්මෙ දුවන මම අද සාමාන්‍ය වේගයකින් මේ දුර ගමන් ගත්තේ....හිතට ආව සැහැල්ලුවත් එක්ක...
" අඬන බබාව නලවගන්න ...මෙන්න මෙන්න..මල්ලක් ගන්න...
මල්ලම සීයයි...මල්ලම සීයයි..... "
ඔන්න පලමු අඬහැරේ ...එකම තාලෙකට...බැලින්නම් අර තැඹිලි පාට පොඩි නාරං ගෙඩි මලු....
මම යන ගමන් ම කල්පනා කලේ අඬන බබා මේකෙන් නැලවෙන්නෙ කොහොමද කියලා....සෙල්ලම් බඩු හරි අඩු ගානෙ සබන් බෝල පුම්බන එකක් හරි නම් ....හිතාගන්න පුලුවන්  ......


හැබැයි ...යන එන අයගෙ ඇහැ එක පාරටම ඒ හඬට යොමු වෙන එකත් අවධානය අල්ලා ගන්නට ඒ වචන ටික සමත්......මං වුනත් හැරිල බැලුවෙ ඒකනේ.....


එතනි න් මෙහාට එද්දි....පලතුරු ලෑලි ගොඩයි...ඇපල් පහක් සීයයි ...දොඩම් පහක් සීයයි....ෆුඩ් සිටි එකක ගන්න ගියා නම් ...එකක් පනහක් හැටක්....විමසන්න බලන්න අත පත ගාන්න නම් බෑ.....ඉල්ලුවා..දුන්නා....තැලුණ පැති යටටත්...හොඳ පැති උඩටත්..සමහර වෙලාවට සමහර අය නම් තැලුණ බව දැක දැකත් ගන්නවා....ඒ ටික කපල දාල කෑවත් ඒ ගාණෙ හැටියට ලාබයි...

ඇදුම් කඩ පේළිය පහු කරන් ඇදෙන කොට තාලෙට ඇහෙන වචන තමා අපූරුම...මහත්තයාට තුනයි නෝනට දෙකයි....යට ඇඳුම් විකුණන සමහර වෙලෙන්දන් ඔහේ කියාදානව...
බලද්දි පිරිමි යට කලිසම් තුනේ පැකට් එකක් සහ ගැහැණු බ්‍රෙසියර දෙක ගානෙ දමපු කවර.....හිනාව මඳක් තද කරන් බොහොමයක් දෙනා හැරි හැරී බලනවා ...ඔහු නෙවේ සිනහවක් වත් පාන්නෙ....කොහොම හරි එදා වේල බඩ වියත රැක ගන්න මිනිස්සු දරන උත්සාහයෙදි.....ඒකට මේ එක් කර ගන්නා නිර්මාණාත්මක ශූර මොළය...හිතේ ජනිත කරන්නේ...යම් දුකක් වෙලාවකට...පිටකොටුවේ බස් වලට ඇදෙන දහසකුත් එකක් මිනිස්සුන්ගේ පසුපසින් දුවමින් යට ඇඳුම් විකුනන්නට දරන තැත....

විඩා බර හිතට යම් සුන්දර හැඟීමක් එක් කර දෙන්නේ අර සබන් බෝල පුම්බන සෙල්ලම් බඩු විකුණන මනුස්සයා...කඨෝර නගරේ හිස් ගොඩ අස්සෙන් පාට පාට සබන් පෙන බුබුලු සිය ගානක් පාවි පාවි ගිහින් බිඳෙනවා.....සුන්දරත්වයට යටින් කියා පාන්නේ මිනිස්සුන්ගෙ ජීවිතත් මෙන්න මේ වගේමයි කියලද කියා මට හිතෙන්නෙ ඒ වෙලාවට

කොයි තරම් කටුක ගිනි මද්දහනක වුවත්...පිටකොටුවේ කඩවල් පේලියේ තියන වර්ණවත් බව අඩුවක් නැහැ...මිනිස්සු ලාබය සොයමින් සැරිසර වෙලාවට..ඇස් ගිණිකන වැටෙන පාටවල්..දුවන ගමන් වුවත් මිනිස්සුන්ව මොහොතකට ඇද බැඳ තබා ගන්න ප්ලාස්ටික් බඩු කඩයක් අතර මැද තියනවා...පොඩි මයික්‍රොෆෝනයකින් හඬ නගමින් මිනිසුන්ව ඇද බැඳ තබා ගන්න ඔවුන්ට මහ උත්සාහයක්ම ඕනත් නැහැ...

මම මේ ගමනේ එක් අන්තයකට එද්දි දකින තව තැනක් තමයි..ගුණසිංහ පුර පෞද්ගලික බස් නැවතුමට එන පාරෙ තියන හිස් ව ඇති ආවරණයක් ගහපු ගොඩනැගිල්ල ....ඇත්තෙන්ම ඒක මොකකට හදපු එකක්ද මන්දා....නමුත් එදිනෙදා හැල්මෙ දුවන ..ජීවිකාව ඉටු කරගන්න..බඩ වියත රැක ගන්න දා බිඳු හෙලන ජනතාව...ලද අවසරයේදී විවේක සුවය ගන්නා....ඇස් පියා ගන්නා ඉරියව්...
මම ඉඳහිට ජංගම දුරකතනය මානා ගෙන ෆොටෝවක් දෙකක් ගන්නවා....ඒ ඉරියව් හරිම අපූරුයි.....දහසක් කතා කියවෙන මිනිස් මූණු    ...  මම දවසක මගේ මහ මග චාරිකා පින්තූර එකතුව බ්ලොගේට එක් කරන්නම්කො


ඉවර වෙන්න කිට්ටුවම ඉන්නවා කඩල වෙලදාම් කරන කෙනෙක්.....ඒ කඩල හරිම රසයි.....හොඳට ආවරණය කරල රහට බෙදලා දෙනවා කඩදාසි බෑගයට..නමුත් මගෙ ඇහැ....හැමදාම දකින ඉරියව් එක්ක විමසිලිමත්....කෙනෙක්ගෙ රැකියාව තමන්ගෙ බඩ වියත රැකගන්න කරන දේ..ඒ..
නමුත් මහ මග ...ඇති ආහාර පාන ගන්න කොට ...ඒ විකුණන කෙනා ගැන විමසිල්ලෙන් බලන්න හැම විටම.....ලෙඩ රෝග දද කුෂ්ට ....අපවිත්‍ර දෑත්....ඔබට ලෙඩ රෝග දහසක් මුදලට ම දේවි.......

මිනිස්සු ජීවත් වෙන පරිසරය ...එක්ක ඔවුන්ගේ ජීවිත කොච්චර නම් ...සමපාත වෙනවද.......ලෝකය කියන්නේ විශ්ව විද්‍යාලයක්....

15 comments:

  1. පිට කොටුයව රැට ගිහින් බලන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අද මට රෑ 8ට පමණ ඒ හරහා එන්න වුණා...ඇත්තෙන්ම ඔව්...තවත් වෙනස්ම ලෝකයක්

      Delete
  2. විසිරි පොඩ්ඩක් හිතන්න කාෂ්ඨක වේලුම් කාපු පිටකොටුවේ උන් ඔය සතයක් හොයන්න කන කට්ටයි.....
    ජනතාවට ළගට ගිහින් සේවය කරන්න සැප වාහන ඕනෙ කිව්ව මැති ඇමැත්තො කන කට්ටෙයි වෙනස.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත....ඒ ජීවිත කොට්ටාස දෙක සහමුලින්ම වෙනස්....මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන වටිනාකමක් දීලා බලන්න හැකිත් ඒකයි

      Delete
  3. මම බ්ලොග් වලට අළුත් කෙනෙක්... මෙහේ ආවෙත් ලඟදි.. විසිරි , ඔබේ ලිපි කියවන්න ආස හිතෙනවා. මම හැමදාම කල්පනා කරපු දෙයක් මිනිස්සු ලියන්න වගේම කියන්න සහ කියවන්නත් කැමති අඩෝවැඩියාවල්. එත් ඔබට බොහොම සාර්ථකව ජිවිතේ විනිවිද දකින්නත් , ඒ ගැන ලස්සනට ලියන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතිං ඔබ මට හැබෑම දක්ෂයෙක්.
    තව දෙයක් යනෙන අතරමඟ ඔබේ පිංතුර එකතුව බලන්නත් ආසාවෙන් බලන් ඉන්නවා. මගෙත් තියෙනවා එහෙම එකතුවක් :)

    ReplyDelete
    Replies
    1. මම ඒ එකතුව ලඟදිම බ්ලොග් සටහනක් එක්කම මෙහි පල කරන්නම් එරන්දි....මම අදත් බසයක ටිකක් දුර ගමනක් ගියා....ඒ ගමන පවා අමුතුම නිරීක්ෂණ ගොඩක් ගෙන ආවා...මම එතකොට කරන්නේ...මගේ ජංගමයේ බ්ලොගර් ඇප් එකේ දල අදහසක් කොටා ගන්න එක...පසුව ආලවට්ටම් දාලා ලියන්න බලාගෙන

      Delete
  4. මහන්සියෙන් යමක් හොයාගන්න දඟලන මිනිස්සු අතරේ, යමක් කඩා වඩා ගන්න දඟලන අයත් එපමනයි. කොටුව පිටකොටුව ගැන කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ. මේ කටුක ජීවිතවල දුක හිතෙන කතා තමයි නාට්ටාමිලාගේ ජීවිත.

    පින්තූර කතාව එනකම් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ පින්තූර එකතුව නම් ලංකාවේ තැන තැනදි ගත්තු ඒවා...පිටකොටුවෙදි ගත්තු ඒවාත් එහි ඇති...වෙලාවක දමන්නම්

      Delete
  5. ඔන්න මමත් ආවා මේ පැත්තට. අපූරුයි ඔබේ මේ ලියවිල්ල.පිටකොටුව කියන්නේ මමනම් යන්න අකමැතිම පැත්තක්.ඒ කලබලකාරී බව මට ඔලුවෙ කැක්කුම හදවනවා. ඒත් ඉතින් ජීවත් වෙන්න මිනිස්සු කරන සටන ඇස් දෙකින් දකින්නත් ඒ වගේම තැනකට යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොඳුරු සඳවතී...මම ඔයාව කියවන්න යන්න ඕනෑ...මගෙ මේ බ්ලොගය අලුත් නිසා..ගොඩක් අයව කියවන්න තාම ලැබුණෙ නෑ

      Delete
  6. විසිරී,
    මිනිස් ජීවිත පිළිබඳ ලියූ අපූරු ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  7. මාත් අහනවා උදේට යන එනකොට
    මේ විපරම හොඳ කියවීමක්

    ReplyDelete