මම ලියන්න නිමිති හොයනවා...රැකියා ස්ථානයේ කෑමපැයේ ලද කෙටි විවේකයේදි...අලුතින් යමක් ලියන්න හිතනවා...
කාර්‍යාල කාමරයේ ජනේලයෙන් එලිය බැලුවාම මට පෙනුන දේ පාරෙනුත් එහා පැත්තෙ තියන දෙල් ගහක්...
ඔන්න ඉතින් මතක අවුස්සන චාරිකාවෙ හිත ගමන් කරන්න පටන් ගත්තා...
අපේ ගෙදර..ඒ කියන්නේ ගමේ මහ ගෙදර....මහ දෙල් ගහක් තිබුනා ඉස්සර...දැන් නම් ඒ ගහ නෑ.දෙල් වාරෙට ගමටම බෙදන්න දෙල්....වැඩිය තිබුනා කියල අහක යන්නෙ නෑ...ගමේ ඉන්න අහල පහල උදවිය ..." පුංචි හාමිනේ දෙල් ගෙඩියක් කඩාගන්නෙයි...." කියල පාරෙන් ගොඩ වෙන්නෙ අපෙ අත්තම්මාට අමතමින්...."ආයෙ ඕකෙ අමුතුවෙන් අහන්න අවසර ගන්න දෙයක් තියෙනවායැ...ඔය ගමන් ගෙඩි තුන හතරක් තව කැඩුවනම්.." ඕක තමයි අනිවාර්‍ය පිළිතුර ...
අපේ දෙල් ගහ ...සමහර වෙලාවට ගහට දරන්න බැරි පලදාවක් අරන් ආව...ඉස්සර කවදාවත්...කෑමක් ගහක කොලක ගෙඩියක් අහක දැම්මෙ නෑ අපේ මුතුන් මිත්තන්...
දෙල් තම්බලා වේලල දෙල් අටුකොස් හදන්න...දෙල් වේලලා බැදලා පැණි දාල හවසට කන්න .....මොනවද කරන්න බැරි..
දෙල් තම්බලා වේලල දෙල් අටුකොස් හදන්න...දෙල් වේලලා බැදලා පැණි දාල හවසට කන්න .....මොනවද කරන්න බැරි..
ආහාර කල් තබා ගැනීමේ ක්‍රම එක්ක ගැමි සම්ප්‍රදාය තුල මේ ඉතිරි කිරීම ..අරපිරිමැස්ම ඕන තරම් තිබුනා....දෙල් ගහෙන් විතරක් නෙවේ..කොස් ගස් පිරුණ වත්තේ කොස් ඉදිලා වැල වරකා වෙද්දි...කොස් ඇට වැලි යට දාලා කල් තබා ගන්න ...දෙල් වගේම කොස් මදුලු තම්බලා හීනියට ලියලා වේලලා..අටුකොස් හදන්න....අපේ ආත්තම්ම ල වග බලා ගත්තා.....
ඉස්සර කවදාවත් කුස්සියෙ උයන එලවලු සෝදන මාලු සෝදන වතුර ටික අහක ගියෙ නෑ අද වගේ කානු දිගේ...ඒ හැම වතුර ටිකක්ම කුස්සියට එහායින් තිබුන දෙහි ගස්.හබරල ගහල අල පඳුරු ගාලට විසි වුණා....පොල් ගාලා මිරිකලා ඉතුරු වෙන රොඩු ටික..ලූනු පොතු .අද නම් යන්නෙ පාරෙ කුණු ලොරියට නමුත් එදා තිබුණෙ කොම්පෝස්ට් නම නැතත්..කුණු වලක්...ඒකෙ කාලෙන් කාලෙට ගස් වටේට දාන්න ගන්න පෝරක් එකතු වුනේ..මේ අපද්‍රව්‍ය දිරාගිහින්...
නාන ලිඳ...නාන තැනින් ගලා ඉවත් වන ජලය බාර ගන්න රම්පෙ පඳුරක්...පොඩි කොහිල පඳුරක් තිබුණා...අද කාලෙ වගේ වතුර ටිකක් රැස් වෙද්දි ඩෙංගු මදුරුවො බෝ වුනෙ නෑ අර රම්පෙ කොහිල වලවල් වල ......
උයන පිහන තැනේ ඉඳන් ජීවිතේ ට අපෙ අත්තම්මලා ගෙන ආවෙ අරපිරිමැස්ම....වත්තෙ දිරා යන ගහක වේලී හැලෙන පොල් අත්තක පවා ඉන්ධනමය වටිනකමක් තිබුන...සතියකට වතාවක් දරකෝටු ටිකක් ..පොල් හනසු මටුලු ටිකක්..වේලී හැලුණ පොල් අත්තක් ගෙදරට ඇදුණෙ පුංචි අපේ අත්වලින්....ලෙලි ගැහෙන පොල් ගෙඩි වල ලෙල්ල වේලලා ලිපට ආවා...
ගෙදරකට අත්‍යාවශ්‍ය කහ..මිරිස් ආදිය ගෙවත්තෙම වැවුනා...සාමාන්‍ය මිරිස් වලට වඩා වත්තේ පිරිල තිබුණෙ කොච්චි ගස්...ඉබේ හැදෙන කොච්චි ගස් වල සුදු.කොළ..සහ රතු කරල් හරිම අපූරුයි...
කිසිම දවසක ගෙදර අනවශ්‍ය ප්‍රමාණයට බත් එලවළු හැදුනෙ නෑ...ඒ වගේම කවදාවත් මදි වුණෙත් නෑ...ඒ කාලෙ තිබුණෙ බත් පමණක් කන සංස්කෘතිය ක් නොවෙයි...ඒ බතට හරි හරියට පෑහෙන දෙල් කොස් ගහල ආදී නොයෙක් දේ තිබුණා .ඉඳහිටක හෝ ඉතිරි වන බත් ටික වේලලා අග්ගලා හදන්න...ආත්තම්මා පසුබට වුණේ නෑ....
අගහිඟ කම් නැති පවුලක වුණත්...එක මොහොතක් නිකම් ඉන්න පුරුද්ද ක් අපෙ අත්තම්මලා මුත්තලාට තිබුණෙ නෑ...පොල් අතු වෙලේ ගංවතුර පිරෙන කාලෙට ඒ වතුරට දමල...පොඟවන්...ගෙනල්ලා වියන්න....පන්විලට ගිහින් පන් කපන් ඇවිල්ලා වේලලා පාට පොඟවලා රටා දමන්න...පැදුරු වියන්න....අත්තම්මා ට ඕල් රවුන්ඩර් කෙනෙක් කියන නම අද උන්න නම් පටබැඳෙනව...
අරපිරිමැස්මෙ පලවෙනි පාඩම අපේ ජීවිත වලට ගෙනාවෙ අපෙ අත්තම්මලාගෙ පරම්පරාව...එයින් අතලොස්සක් වත් අද අපට අපේ ජීවිත වලට වගේම....රටට සමාජයට කරන්නට ලැබෙනවද කියලා මම හිතනවා.....
විසිරි...අද දවසෙත් මම ඔය විදියටම ජීවිතය ගෙනියනව මේ මොහොතේ මම ඉන්න නිවස්නයේදි...හැබැයි කොළඹදි නෙවෙයි...හෝදලා ඉතිරි වෙන ඉඳුල් වතුර කරපිංචා ගහටයි, වළං හෝදපු වතුර රම්පේ පැල වලටයි ..ඔය වගේ හැම දෙයක්ම කරන්න පුලුවන් වෙන්න මම ඉඩ කඩ හදාගෙන පුදුම නිදහසකින් ජීවීතේ කොළඹින් පිට ඉන්න කාලය ගත කරනවා...මම හිටවපු කොස් ගහකින් ගෙඩියක් කඩලා තම්බලා ආපු අමුත්තොන්ට ගිය සුමානේ දෙනකොට හිතුනේ හපොයි වෑසට ගිහින් නෙවෙද කියලා..මේ ලඟදි දවසක මමයි අටම් අයියයි අපේ ඔෆීසියේ මම හිටෝපු අලුකෙහෙල් පඳුරක කැන් දෙකක් කපන් ගිහින් වික්කනේ සුපියල් 1140/- කට...!
ReplyDeleteඅරපිරිමහන්න පොලොවත් එක්ක ජීවත්වෙන්න ඕනි..එතකොට සතා සරුපය පවා කෝප වෙන්නේ නෑ ඕං අපි ගැන...!
තැන්කූ මේ පෝස්ට් එකට...ලියවිය යුතුම දෙයක් මේ...!
ඇත්තෙන්ම චෙෆ් ඔයාගෙ මේ සටහන දුටුවාම ආසයි...මිනිස්සු මේ ජීවත් වන කෙටි කාලෙදි ජීවිතය දැනෙන්න ජීවත් වෙන අයුරු ඒ සටහනේ තියනවා..ස්තුතියි ඔබට
Deleteආදරණීය විසිරි සිහින..ඔයා හැම අපේ හිත් වලට දෙන්නෙ මතක..අමතක වෙලා ගියපු මතක අවුස්සන්න හැබැම හපනියක්...ඇත්ත දැන් කාලේ හැම ගේකම වගෙ විසි කරන දේවල් වැඩි...මට මතකයි අපේ අම්මා අළු කෙසෙල් පොතු...වැට කොලු පොතු පවා ප්‍රයෝජනයට ගන්නවා...මම දැක්ක නිසා මමත් ඒවම කරනවා..කෑම විසි කරන එක පවක්..අනන්ත මිනිස්සු හාමතේ මැරිලා යද්දි...උයන පිහින වතුර පවා කිව්වා වගෙම වැටෙන්නෙ ගස් වලට...දැන් ඉතිං කාර්ය බහුලනේ..ඒ නිසා අපතෙ යන ප්‍රමාණය වැඩි...
ReplyDeleteඅලුකෙසෙල් පොතු හීනියට ලියලා, තක්කාලි ගෙඩියක් පොඩියට කපලා තෙලට දාලා ගත්තාම මරු..තියේනං ඉස්සෝ කරවල හරි කූනිස්සෝ ටිකක් හරි මුහුන්කලා නං තවත් ඉහලයි...වැටකොලු ලෙලිත් චූටියට ලියලා යස මැල්ලුමක් හදනව මම නං..දුක්විඳලා වවපු එලෝලුවක් විසිකරන්න හිතෙන්නෙම නෑ මටනං පන්හිඳ...!
Deleteඔව්..ඒ කිසි දෙයක් අපතේ යන දේවල් නෙමේ....
Deleteචෙෆ්ගෙ ඒ රෙසිපි එකත් අපූරුයි...මමත් ඔය වැඩේ නිතරම කරනවා..හැම එලවලුවකම හැම කොටසක්ම අහක දාන්න ඕන නෑනේද....
Deleteපන්හිඳ....ස්තුතියි ඔයාගෙ මතකයත් මේකට එක් කරලා...තවත් සුන්දර කලාට
වැටකොළු පොතු තම්බලා, කලටි පොල් එක්ක කනවා ඉස්සර.
Deleteලුණු ටිකක් ඉහින්න ඕන නේද උඩින්
Deleteවිසිරි, මට සතුටුයි ඔබ වගේ හිතන අය තාමත් ඉන්නවා කියලා හිතෙනකොට. මාත් පුළු පුළුවන් විදිහට ජිවිතේ මේ විදිහට හසුරව ගන්නවා.ඒ නිසාම දෝණිට වස විස නැති එක වේලක් හරි කන්න දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා . බොහොම වටිනා සිතුවිළි ගොනුවක් මෙහේ තියෙන්නේ. ඉතිං තවත් ලියන්න ඔබට ජය.
ReplyDeleteස්තුතියි එරන්දි...ඇත්තෙන්ම මෙයින් යම් ප්‍රමාණයක් හරි අපිට හැකි නම් අපේ ඉදිරි පරපුරට අරන් යන්නට එයයි වියයුත්තේ
Deleteඅපි තාමත් යම් තාක් දුරට ඔය විදිහයි. ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා. හිටත දැනුයි දැනෙන්නේ කොයි තරම් පිරිමැස්මක් වෙනවාද කියලා. ජිවිතේ විදින්න පුළුවන් තාමත් යම් තාක් දුරට ගමේදී.
ReplyDeleteආඩම්බරයක් හිතට ගෙනාවා අක්කා මේ වචන ටික කියවද්දී
ඔව් නංගී....අපිට ඒ මතකයවත් අද තාම තියනවා....ඒ මතකයන් මතක් කරන කොටත් මොන තරම් ආසද
Deleteනාගරික වගේ ජිවිත ගෙව්වට ගස්පාලුවෙක් හිටියේ නැහැනේ කෙල්ලෝ හත්මුතු පරම්පරාවටම! අදත් ගහක ගෙඩියක් කඩාගෙන කන්නමයි හිත කියන්නේ.
ReplyDeleteවරදක් දකින්නේ නැහැ. ජෙනරේෂන් ගැප් එක. වෙලාවට මට නම් නියමෙට ගමේ අත්දැකීම් කොහේ ගියත්
ඒක නම් ඇත්ත...උන්නේ ගස් උඩමයි....කෙක්කකින් කඩල ගෙඩියක් කනවට වඩා ගහකට නැගල කඩන් කන එක කොච්චර නම් අපූරුද...ස්තුතියි ඔයාට
Deleteපේර නම් කෑවේ ගහේ තියෙද්දීම්යි. කුරුඳු පොතු මට මතකයි ගහේ තියෙද්දීම අර මොක්කුද වගේ ලෑටිගාල කනවා. විස්තර කිව්වොත් නමක් පටබඳින්න පවා තියෙන නිසා කට වසාගමි. ( ඒ උනාට කට කසයි )
Deleteහම්මේ ඔය කුරුඳු පොත්ත ලෑටි ගෑව එක නම් අපිත් කරපු දෙයක්...නමක් පටබඳින්න නේද...ඉස්සරහට අහුවෙයිද බලමුකෝ
Deleteඇත්ත අපෙ අත්තම්මගෙ පරම්පරාව තමයි ඒ. ඒත් අපෙ අම්මානම් ඕවා කරලා නෑ :-) අදටත් අපේ අත්තම්ම ලෑ වත්ත,ගෙදර ඔය වගෙයි
ReplyDeleteඒක පරපුරෙන් පරපුරට වෙනසක් වෙවී ආවා....මගේ අම්මත් අත්තම්මා කල තරම් දේ කලේ නැහැ...මට එයිනුත් ටිකයි පුලුවන්...කාලය ගෙනෙන වෙනස මේක...එහෙම නේද
Deleteදෙල්කඳ හංදියේ අපේ ගෙදරට එහා පැත්තේ දෙල් ගහක් තිබුනා. ඒ නැන්දලා ගමටම දෙල් බෙදනවා. ඉතිරිය පොළෙ විකුනනවා. කොහිල වලකුත් තිබුනා. හයිලෙවල් පාර අයිනේ එහෙම තිබුනද කියලා පුදුමත් හිතෙයි.
ReplyDeleteඅද අපි කනවද ගිලිනවද කියලා හිතෙනවා ඒ කාලේ මතක් වෙනකොට.
ඇත්තෙන්ම කන්න ගියාම ඉස්පාසුවක් තිබ්බෙම නැහැනෙ ඒ කාලෙ
Deleteමේ අත්තම්මා ගැන කියවද්දි මට මතක් වුණෙත් මගේ ලොකු අම්මා ( අම්මගෙ අම්මට අපි කියන්නෙ එහෙමයි.) එයත් මේ වගේම අරපිරිමැස්මෙන් වැඩ කළ මහ විශාල අත්ගුණයක් තිබුණ අපූරු ආච්චි අම්මා කෙනෙක්..
ReplyDeleteඅපි කාගෙත් මතක පොත් වල මෙහෙම සටහන් තියන එක මොන තරම් අපූරුද නංගී
Delete