Thursday, October 15, 2020

21. විසි වෙනි දිගහැරුම (සඳක් සේ)

උදෑසන ඇස ගැටෙන පිණි බිඳක
තුඩ තුඩග ඇසෙන කූජන නදක
පෙති දෙපෙති ඇහැරෙනා රොන්සුණක
ඔබ සොයමි..... ඉතින් සිත පිරි පෙමක.....

සඳමිණි අතවූ කොළයක සෙමෙන් කුරුටු ගැවාය...හිත පුරා දැවටෙන්නේ ඔහුමය....තමා නැවුම් පෙම්වතියක් ව ඇත...ඉඳහිට අතැඟිල්ලක දැවටෙන ස්නේහය..නළලත සිප ගැනීමකට එහා ගියේ නැති බව බියංකාට කෙතෙක් කීවද ඇය පිළිගන්නේ ද නැත.....

" අනේ නිකම් හිටපන් සඳ...මට සුදුලූණු පොඩි නොකර...ලොක්කා එහෙම සිල් රකිනවද උඹව ලඟ තියන් ....."
.
" උඹ පිළි ගන්නෑනෙ...ඉතින් කොච්චර කිව්වත් .....සතියෙ දවස් ටිකේ මෙතන...සති අන්තෙ මම කැම්පස්...එක්ක යන්න ඇරලවන්න එන දාට වාහනෙන් බහින්න කලින් නලල ඉඹිනව....වෙන නෑ ඉතින් ...නිදහසක හමුවුනෙත් ...." සඳමිණි බිම බලාගෙන මිමිණුවාය.....
.
සිතින් සියවර සිහිනවල ඔහු තුරුලේ තමා සැතපුණ බව දන්නේ තමාය....එවන් සිහින ඔහු තුළ ද අප්‍රමාණව ඇති වන්නට ඇත....එහෙත් කාලය මහ පවුරක්ව ජීවිතය විඳින්නට ඉඩ හසර අවුරා තබයි ....

සඳමිණි මේසයට වාඩිවී ලිපි ගොනුවක් පෙරලා ගත්තාය... බියංකා ඇසූව සිහිවී ඇයට ඉබේම සිනා පහළ විය....උදාර මඩුගල්ලේ පරිගණකය ට නෙත් යොමා උන්නද සඳමිණි ගැන අවධානයෙන් නිතර පසු වෙන හෙයින් ඇයගේ සිනහව දුටුවේය...ඇය කුමක් හෝ මතක් වී සිනානගන්නීය....ඒ මුහුණම සැබෑ පෙම්වත්‍ ය....

" ඔය හිනාවෙන කාරණය මටත් කියලම හිනා වුණ නම් නේද හොඳ...." උදාර පරිගණකය දෙසම නෙත් හෙලාගෙන ඇසීය...සඳමිණි තිගැස්සී සිනහව ගිල ගත්තාය....දෙවියනේ....ඒ ටිකට ඒකත් දැකල ....
.
" නෑ..නෑ.මේ බියංකා කියපු එකකට සර්..... ඒක මතක් උනා...." සඳමිණි වහා ලිපි ගොනුවට හැරුණාය...
.
" බියංකා හරි කවුරු හරි ....ඕකෙ කොණක මං ඇති ෂුවර් එකටම ....කෝ කෝ කියන්න බලන්න...." උදාර පරිගණකයෙන් හිස හරවා සඳමිණි දෙස බැලීය.....
.
" අනේ....මං පස්සෙ කියන්නම් සර්... " සඳමිණි ආයාචනාත්මකව ඔහු දෙස බැලුවාය....දෙකොපුල රතුව ඇත... ඇය වෙහෙස කරනු නොරිසිව ඔහු....ඇය දෙස බලා උන්නේ ...සැබෑම ස්නේහයකිනි...

**********************************************
හැම නිහඬතවයක්ම අනතුරක පෙර නිමිති බව සිතකට වැටහෙන්නේ නැත... උදාර මඩුගල්ලේ සිය කුකුස අත් හැර සුපුරුදු ජීවිතය ට එළඹියේය....සඳමිණි ගේ ඇසුර දවස පුරාම ජීවිතය සෙනෙහසින් බබලවයි...ප්‍රේමය යනු ඉවසීමය ...බලා හිඳීමය....එක්ව යෑමය ...ඔහු එය අත්දුටුවේ පමා වී වුවද..... ජීවිත කාලයක්ම ඇය හා ගමන් කරන්නට දැන් සිත සූදානම් ය....

*******************************************

සඳමිණි ලිපි ගොනුවක අදාල සතියේ ලිපි අමුණමින් උන්නාය...කාර්‍යාල කාමරයේ දොර මහ හඬින් විවෘත වූයේත්....උදාර සහ සඳමිණි එක් වනම එදෙස බැලුවේත් උදාරගේ සොහොයුරිය කාර්‍යාලයට කඩා වැදුණේත් එක මොහොතේමය....
.
" ලොකූ...මොකද මේ වෙලාවෙ මෙහේ...." උදාර හුනස්නෙන් නැගී උන්නේය....කිසිවක් නොකියූ ඇය එක්වනම සඳමිණි වෙත වේගයෙන් ඇදීගොස් කම්මුලට ගැසූ පහරින් සඳමිණි විසි වීගොස් බිත්තියේ වැදී නතර වූවාය....සිදුවූ කිසිවක් සිතාගත නුහුණු ඇය දැඩිව වේදනා දෙන කම්මුල අතින් අල්වා ගෙන බලා උන්නේ අන්දමන්ද වූ විලාසෙනි....
.
" පරට්ටි....කසාද කඩාගෙන ඉන්නව මදිවට උඹ එල්ලෙන්න එකෙක් නැතුවටද මගෙ මල්ලිගෙ කරේ එල්ලුනෙ....ආතක් පාතක් නැති හිඟන්නි...උඹ..." ඇය නැවත අත දිගු කරමින් සඳමිණි දෙසට ගියේත් උදාර මඩුගල්ලේ ඇයව තදින් අල්ලාගත්තේත් එකම විටය....
.
" මොන පිස්සුවක්ද මේ කරන්නෙ....කරුණාකරල බහින්නයි කීවෙ එලියට...මේක මගේ ඔෆිස් එක...මෙතන නටන්න ආවෙ කාගෙ ඔත්තුවක් අරන්ද....?" උදාර ඉතා වේගයෙන් එහෙත් හඬ පාලනය කරගනිමින් කීවේය....සඳමිණි දෑස් නිලංකාරව යද්දී එතැන වූ පුටුවකට වාරුවෙමින් හිඳ ගත්තාය...අඬාගන්නට කඳුලක් නොඑන තරමට ඇස් බියෙන් තැතිගැනී තිබෙයි.....
.
" උඹට රටේ ගෑනු නැතුවද මේ ආතක් පාතක් නැති දික්කසාද වෙච්ච අම්මණ්ඩියෙක් කරේ දාගත්තෙ...ඇයි හරකො...සප්ත මහා සාගරයක් වගෙ තියන මඩුගල්ලේ වලව්වෙ එකම හිමිකාරයා උඹ....ඒක උඹට අමතක උනාද....මැරිච්ච අම්ම තාත්තා වලෙන් නැගිටල උඹට සාප කරයි...මේක වහාම නවත්වන්න ඕන....වහාම....මං උඹට මේ කියන්නෙ...." ඇය සඳමිණි දෙසට ඇඟිල්ල දිගු කරමින් යළිත් කෑගසන විටම දොර විවෘත කරගෙන එතනට දිව ආවේ පෙරේරා මිස් ය...
.
" අයියෝ මැඩම් ...මේ මොකද මේ....යං යං අපි යං...."මිසිස් පෙරේරා වදෙන් පොරෙන් ඇයව ඇදගෙන එළියට යත්ම උදාර මඩුගල්ලේට සැකය තහවුරු විය.... සඳමිණි දෑස් විසල් කරගෙන තවමත් බලා හිඳී...ඇය ඉන්නේ ප්‍රබල කම්පනයක බව වැටහුණ උදාර මඩුගල්ලේ වහාම බියංකා ඇමතීය...
.
" බියංකා මිස්...සඳව ඉක්මනින් එක්ක යන්න එයාගෙ ඇනෙක්ස් එකට.... මම තව පැය බාගෙන් එහෙට එනව...ඉක්මනින් යන්න...මම මෙතන බලාගන්නම්.." උදාර ඉමහත් කලබලයෙන් පැවසීය....බියංකා සඳමිණි ව වත්තම් කොට ගෙන කාර්‍යාලයේ පැති දොරෙන් ඉක්මනින් පිටවී ගියහෙයින් වැඩිදෙනෙක් හට ඔවුන් ඇස නොගැටුණි....
.
උදාර මඩුගල්ලේ .සිය අසුනට අප්‍රාණිකව ඇද වැටී සිය දෑතින් මුහුණ වසා ගත්තේය...අනේ අහිංසකී....ජීවිතය ගැන අප්‍රමාණ බලාපොරොත්තු ගොනු කරගනිමින් උන් ඇය.....ඉතින් යළි කැඩීබිඳී ගොස් ඇත....විසල් වූ දෑස සහ හුස්ම නාල්ලා කඳුලින් පිරි ඒ මුහුණ ඊට සාක්ෂි දෙයි.....
.
උදාර මඩුගල්ලේ වාහනය මාවත අසල නවතා ඇනෙක්සිය වෙත පියමැන්නේය...බියංකා ඔහුට ඒමට අවශ්‍ය පසුබිම සලසා තිබුණි....අයිස් වතුරෙන් තවමින් තිබූ කම්මුල තවම රතු පැහැ ගෙනය...ඉදිමුම බලා සිටිය නොහැකි තරම්‍ ය...
බියංකා වතුර භාජනයද රැගෙන කාමරයේ දොරද වසා ගනිමින් පිටව ගියාය....
.
" මට සමාවෙන්න රත්තරනෙ....." උදාර බිඳුණු හඬින් ඇයගේ මුහුණ සිය දොතට ගත්තේය....
.
" සර්....ඔයා ආපහු යන්න....මේක හරිගස්සන්න ඔයාට පුලුවන් ..." සඳමිණි දෑස කොහේ හෝ දුරක දල්වා ගෙන හෙමින් පැවසුවාය...

" ඔයා යන්න සර්....මං තරහ නෑ.....මට මේ උන්නා වගේ තනියමම ඉන්න පුලුවන් ....ඒත් කුල පරම්පරාවක එකම පිරිමියා...ඒ වචන මට බර වැඩියි සර් ....මට සාප වෙයි..." වෙවුලුම් කන හඬින් සඳමිණි මිමිණුවාය....
.
" ඔය ඇති....ඔය ඇති....දැන් නවත්වන්න....ශ්...ශ්...." උදාර මඩුගල්ලේ ඇය ඉන්නේ පියවි සිහියට මඳක් ඈතින් බව වටහා ගත්තේය....මේ මොහොතේ ඇය විවේක ගැන්වීම අත්‍යාවශ්‍ය වෙයි...රෝහලකට හෝ මානසික වෛද්‍යවරයෙක් වෙත ගෙන යාම ද පලක් නොවේ....ඇය තමා ඇසුරේ මඳක් තබා ගත යුතුය...
.
උදාර මඩුගල්ලේ සඳමිණි සෙමින් සයනයේ සතපවා වැරැන්ඩාවට පැමිණියේය..බියංකා ඔහු එත්ම නැගී උන්නාය...ඇයට ඉඳගන්නා ලෙස සන් කල ඔහු අසල අසුනකට බර දුන්නේය....
.
" මං මේ කිසිම දෙයක් දැනගෙන උන්නෙ නෑ මිස් බියංකා....එහෙම දැනගෙන උන්නා නම් මම මේක වෙන්න දෙන්නෙත් නෑ...." ඔහු මහා පසුතැවිල්ලකින් පැවසීය....
.
" මොකද සර් අපි කරන්නෙ....සඳ ඉන්නෙ මහ ශොක් එකක...." බියංකා වේදනාවෙන් පැවසුවාය...
.
" මට සඳ ව මේ වීක් එන්ඩ් එකේ එලියට අරන්‍ යන්න සලස්වල දෙන්න බියංකා....මාව විශ්වාස කරන්න....මං එයාව පරෙස්සම් කරනව ....එයාව ගෙනියන්න ඕන කොහෙ හරි...මගෙ ගාවම තියාගෙන ඉන්න...." උදාර මඩුගල්ලේ පැවසීය....
.
" හරි සර්...මම අද සඳ ව මගෙ ගෙදර එක්ක යනව...හෙට උදෙන් සර් එන්න....මේ කෙල්ලට තව උහුලන්න බැරි තත්ව නම් ඇතිකරන්න එපා සර්...මං මේ සර් ගැන සියයට දාහක් විශ්වාසය තබලයි මේක කරන්නෙ...." බියංකා මොහොතකට ඔහු සිය ප්‍රධානියා බව අමතක කොට දැඩි හඬින් පැවසුවාය....
.
" මං ඒ උදාර මඩුගල්ලේ නිවසට පැමිණ කාමරයේ දොර වසා අගුලු දමා ඇඳට වැටුණේය...අද දවසේ වූ සියල්ලම සිතුවම් පටක් සේ යළි යළිත් ඔහු දෑසේ මැවෙන්නට විය....අධික ලෙස මතුවී එන හිස රිදුම යළි යළිත් ඔහු පෙළන්නට විය...... ජීවිත කාලය පුරාම දුක් විඳි ඇය තමා ඇසුරේ සතුටකින් ජීවත් වන්නට තැත් දැරුවා පමණි...මේ සිදුවීමෙන් ඇය යළිදු මහා කම්පනයකට පාත්‍රව ඇත....

හදිසියේම සිහිපත් වූ යමකින් ඇඳෙන් බට ඔහු ජංගමය ගෙන ඇමතුමක් ගත්තේ තාරකටය...

" තාරක....මචං බිසිද දැන්...." ඔහු තාරක ඇමතීය...
.
" නෑ.ඇයි...මම ඕෆ් වෙන්න හදන්නෙ...." තාරක පිළිවදන් දුන්නේය... සිය මිතුරාගේ හඩෙහි වෙනදා නොවූ කලබලයක් ඇති බව තාරකට එකසැනින් වැටහිණ....
.
" මේ පැත්තෙන් ඇවිත් යන්න එනවද ....? "
උදාර මඩුගල්ලේ ගේ හඬෙහි වූ වෙනස හෙයින්ම තාරක කිසිවක්ම නොකියා එන බවට පොරොන්දු විය....
.
************************************
.
උදාර මඩුගල්ලේ සියුම් සුසුමක් හෙලා හිත හිස් කළේය....පසෙක වූ අසුනේ හිඳ උන් තාරක නිහඬවම සියල්ල අසා උන්නේය....
.
" කෙල්ලව හොස්පිට්ල් ගෙනියන්න වෙයිද බං....?" උදාර ගේ ස්වරයම වෙවුලුම් කන සුලුය.... සිය මිතුරාගේ පෙම්වත් හිතක දැඩි කම්පනය තාරක ට දැනී ගියේය...
.
" නෑ.....ඕක පොඩි ශොක් එකක්නෙ....මෙහෙම කරපන් දැන් ඉතින් ප්ලෑන් කල වගේම එයාව අරහෙ එක්ක පලයන්....කෙල්ලව පරෙස්සමින් බලා ගනින්...අනම් මනම් නම් එපා රජෝ...." විහිලු කිරීමේ මානසිකත්වයක් නැතද තාරක එය කීවේ සත්‍ය ලෙසින්මය..... මේ තත්වය මත...කිසි සේත්ම ඔවුන් එසේ නොවිය යුතුමය...සඳමිණි සිටින්නේ මානසික කම්පනයක ට හසුවීය....
.
" උඹට පිස්සුද බං.... මං කෙල්ලව ඉඹලවත් නෑ තව....මෙහෙම වෙලාවක උඹ හිතනවද මම එච්චර අවුල් පොරක් කියල...." උදාර පසුතැවිල්ල මුසු හඬින් කීවේය.... සත්‍ය වශයෙන්ම ඇය යළි යථා තත්වයකට ගෙන ඒම මිස උදාරට කිසිදු ඉන් එහා සිතිවිල්ලක් හෝ සිතට නොපැමිණීයේය....
.
" හරි ....එහෙනම් අවශ්‍ය වුනොත් කෝල් කරපන්...උඹ එහෙ බුක් කලාද....අරූට කිව්වද එනව කියල....." උදාර හිස පමණක් වනා තාරකට සමුදුන්නේය....
.
ඒ රැය බෙහෙවින්ම දිගු විය....සිත් දෙකක් පෙළාලූ රැයක් විය....

**************************************

සඳමිණි අධිකව වෙවුලමින් රාත්‍රියේ පවා කැගසා අවදිවන්නට වූවාය...බියංකා නිදිවරාගෙන ඇය වෙතටම වී සිටියේ දෑස් වල කඳුලු පුරවාගෙනය....
.
සුධීර සහ උදාරගේ අක්කා තමා හෙලකින් පහලට තල්ලු කර දමනු ඇයට එක් වරක් පෙනුනි...මහ හඬින් කෑගසා හඬන සිය මිතුරියගේ හිස ළයට තුරුලු කරගත් බියංකා ඇය සැනසුවාය....
.
" අනේ සඳ කාම් ඩවුන් වෙයන්...චුට්ටක්...මේ මං ඉන්නවනෙ උඹ ලඟ...." බියංකා සෙමින් සෙමින් සිය යෙහෙළියගේ හිස අතගෑවාය... අවසන නිද්‍රාවකට පත් සඳමිණි ගේ වත දෙස බලා උන් බියංකා ද ඇය පසෙකින් වැතුරුණාය.....

**************************************

උදාර මඩුගල්ලේ බියංකා ගේ නිවස අසල උදෑසන හත වන විට රිය නවතාලීය....
.
" එළි වෙනකල් නින්දක් නෑ...ගැස්සෙනව...කෑ ගහල ඇඬුව....හුඟක් වෙලා...පොඩි උණ ගතියකුත් තිබ්බ...දැන් නම් නෑ....." බියංකා ආලින්දයේ හිඳගත් උදාර අමතා සෙමින් පැවසීය....උදාර සෙමින් සුසුමක් හෙලීය.... මේ කිනම් වූ වේදනාවක්ද ....
.
බියංකා විසින් වත්තම් කරගෙන එන ලදුව ඉදිරිපස අසුනේ හිඳවූ සඳමිණිට ආසන පටිය පළඳා සෙමින් හිස අතගෑ උදාර...බියංකා වෙතින් ගත් ඇයගේ ඇඳුම් බෑගය ද පසුපසට දැමීය....බියංකාට අදාල ස්ථානයේ දුරකතන අංක සහ විස්තර ලබා දීමෙන් පසුව ඔහු වාහනය මාවතට දැමුවේය.....
.
බොහෝ දුරක් එනතුරුත් සඳමිණි තදම නින්දක පසු වූවාය...උදාර මඩුගල්ලේ නිහඬ පරිසරයකට වාහනය ඇතුල් වන තුරුම නිහඬ ව ධාවනය කලේය...ඉන් පසු මඳකට මාවත අයිනේ රිය නවතා මඳක් වේලා ඇය දෙස බලා උන්නේය.... එක දවසට ඇයගේ වත මලානික වී ඇත....ඇස් ඉදිමි ගොසිනි...ඇස් යට කලු පැල්ලම්‍ ය....කම්මුලෙහි ඉදිමීම නම් පේන්නට නැත...බියංකා තවා ක්‍රීම් ගාන්නට ඇත ....
.
" සඳ..... තේ ටිකක් බීලා යමු නේද...." ඔහු සෙමින් ඇයගේ උරහිසට තට්ටු කරමින් ඇයව නැගිටුවා ගත්තේය... කිසිදු ජීවයක් නැති හිස් බැල්මෙන් ඔහු දෙස මඳක් බලා උන් සඳමිණි යන්ත්‍රයක් සේ තේ කෝප්පය සෙමින් පානය කලාය....ඇයගේ සුසුම් රැල් හිත කඩා වට්ටන සුලුය ....මේ ගමන සඳහා බියංකා ඇය පොළඹවා ගත්තේද සියක් දහස් කාරණා කියාදීය ....
.
" මට බෑ...බී....අනේ මට බෑ....සර්ගෙ අක්කා මාව මරයි බී.....අනේ කියන්න මට බෑ කියල....." උදාරගේ අදහස කියූ විට සඳමිණි පෙරදා හඬමින් මහා සටනක් කල බව බියංකා පැවසුවාය....
.
" කියන දේ අහපන් රත්තරනේ....සර් කියන්නෙ උඹ හොඳටම දන්න මනුස්සය...ඒ මනුස්සයා උඹ එක්ක යන්නෙ පරෙස්සමින් මේ හැම දේම අමතක කරල උඹව හරිගස්සගන්න .....ඒකෙම එල්ලිල මී දෙනක් වගෙ නාඬ හෙට ගිහින් වරෙන් කෙල්ලෙ....." බියංකා බොහෝ පැහැදිලි කිරීම් කරදෙන්නට ඇත.....අවසන කිසිවක් නොකියා සුසුමකින් පමණක් ඇය ගමනට කැමතිවූ බව බියංකා උදාරට පැවසුවාය.....
.
පැය ගණනාවක ධාවනයට පසු දෙපස තුරු වියනින් සෙවන වූ පරිසරයක වූ අතුරු මාවතක ට උදාර සිය රථය හැරවීය....ඇය යළි නින්දේය.....
.
එහෙ ගියාම ඔක්කොම හරියයි.....මං දන්නවනෙ....උදාර සියුම් සිනහාවකින් සිත සැහැල්ලු කරගත්තේය.... ඇය පුදුම කරවන මේ ස්ථානය ට ඇය කැඳවාගෙන යායුතුයැයි උදාර සිතට ගත්තේ නමුණුකුල ගමනේදීය....එහෙත් ඒ ඇය විවාහ කොටගෙන බව ඔහු තීරණය කරගෙන උන්නේය....නමුත් මේ සිදුවීමට පසු සඳමිණි සන්සුන් කල හැකි මග ලෙස ඔහුට සිහිවූයේ මේ ගමන පමණි.....
..
උදාරගේ සංචාරක ව්‍යාපාරයේ නියුතු ලඟම මිතුරෙකුගේ පරිසරික තුරු නිවසක් වෙත ඔවුන් ලඟා වෙමින් තිබිණ....මඳ දුරකින් ගලා හැලෙන දිය ඇල්ලක හඬ දැන් දැන් ඇසෙන්නට ගනී....
.
" සඳ....චුට්ටක් නැගිටින්නකො..." උදාර සඳමිණි ඇහැරවාලූවේය... නිදිබර දෑස හැර අවට සෙමින් බැලූ සඳමිණි ඒ සුන්දර පරිසරය අදහා ගත නුහුණු සේ උදාර දෙස බැලීය...ඊයේ උදෑසනින් පසු ඒ ඇස් වල ජීවයක් මතුවූවේ එවිටය . ඇය විමතියෙන් මෙන් උදාර දෙස බැලුවාය ...උදාර මුදු සිනහවක් පා වාහනය පෙරට ධාවනය කලේය.... සඳමිණි රිය කවුලුවේ එල්ලී ඒ සිරියෙන් උමතු වූ සේ බලාඋන්නාය....
.
මල් ලියකම් ඉසිරුණු තුරු ගොමු රැසකින් වටවූ එළිමහන් බිමක රිය නැවතුණි...උදාර නිහඬව රියෙන් බැස සඳමිණිගේ පසින් විත් දොර විවෘත කලේය...තවමත් වාරු නැති සිරුර වලංගු කරගනිමින් ඇය රියෙන් බැස්සාය.... ඇයගේ පා පැකිලෙමින් වැටෙන්නට යනු උදාරගේ නෙතට හසුවිය....
.
එන්න....ඇයගේ උරහිස් වටා අතයවා සිය ගතට ඇය වාරු කරගත් උදාර ට්‍රී හවුසිය වෙත ඇය කැඳවාගෙන ගියේය....සේවකයෙකු ඔවුන්ගේ බෑග රැගෙන පෙරට විය.....සඳමිණි දෑස් අදහා ගත නුහුණු බැල්මෙන් ඒ දෙස බලා උන්නාය.....ඒ තරම් සුන්දර තැනක්....අන්තර්ජාලය ඔස්සේ මිස සැබැවින් ඇය දැක නොතිබුණි.....
.
" ඔයා ආස වෙන තැනක්....යං....අපි වීක් එන්ඩ් එක මෙහෙ ඉන්නව....ඇවිදින්න යන්න පුලුවන් හෙට...අද හොඳට කෑම කෑවොත් විතරයි දිය ඇල්ල බලන්න එක්ක යන්නෙ ..." උදාර මඩුගල්ලේ ඇය ගේ වත පුරා ඇති සතුට විඳිමින් පැවසීය.... සඳමිණි බිම බලාගෙන උන්නා මිස සිනහවක් හෝ නොපෑවාය...
.
සඳමිණි පරිසරය හා අනුගත වෙමින් සුවපත් වෙමින් උන්නාය....සම්පූර්ණ හවස් වරුවම තුරු ගොමු අස්සෙන් ඇවිද යමින් සිත නිවාගත්තාය....එක්වනම කල්පනාවට වැටී තිගැස්සී යන ඇයගේ සුසුම් වලින් උදාර දැවී ගියේය.....
.
" ඔයා මෙහෙට ආසද ....?" උදාර සැන්දෑ අදුර ට පරිසරය මුසු ව යන මොහොතේ ආලින්දයේ ඇති කුඩා පුටුවක ට වී ඇය ලඟින් හිඳුවාගෙන ඇසීය....
.
" හ්ම්ම්...."

" සඳ මා එක්ක තරහෙන්ද ඔයා ..."
උදාරගේ හඬ වේදනාකාරී විය....

" අනේ .....නෑ දෙයියනේ ....." සඳමිණි ඒ දෑතම අල්ලාගත්තාය.....
.
" මං හිතන් උන්නෙ අපි මැරිකරල මෙහෙ ඔයාව එක්ක එන්න....ඔයා ආසවෙන බව දන්න නිසා...."
උදාර ඉතා මුදු ලෙසින් පැවසීය ..
සඳමිණි දෑස් ඔසවා ඔහු දෙස බැලීය..... ඒ දෑස තුළ ප්‍රේමය හැර අන් කීසිවක් නොමැත.....
.
" මං එදාට යන්න මීට වඩා ලස්සන තැනක් හොයාගන්නම්...." උදාර සැහැල්ලුවෙන් සිනාසුනේය...රතුව ගිය මුහුණෙන් යුතුව සඳමිණි බිම බලා උන්නාය....
.
" රතුවෙන හැටි.....මට උඹව අල්ලල පොඩි කරන්න හිතෙනව ...." ඉඳහිටක වාහනයේ යන අතර උදාර අසන කිසිවකට රතුව යන සඳමිණි දෙස බලමින් උදාර කියනා වදන් වත් මෙවිට ඔහුගේ මුවින් පිටට නොආවේය.....
.
" සඳ ....මේ අහන්න ...මට ටිකක් කතාකරන්න ඕන...." උදාර මඩුගල්ලේ ගේ ස්වරය සඳමිණි තිගැස්සවන සුලු විය......ඇයගේ දෑස් යළි කඳුලින් පිරීගියේය.... අනේ මේ කියවෙන්නට යන්නේ කුමනනම් වේදනාකාරී දේවල් දැයි ඇයට සිතුණි.....
.
" වෙච්ච දේවල් වලට ඔයාට වඩා පසුතැවෙන්නෙ මමයි සඳ....ඊයෙ එහෙම දෙයක් වෙයි කියල මම නිකමට වත් හිතුව නම් මම ඕක වලක්වනව....අක්කා සම්පූර්ණයෙන් ම වැරදියි...මට සමාවෙන්න ඒකට.... "
සඳමිණි උදාරගේ දෝත සෙමින් අල්ලාගත්තාය .... එය එසේ නොවේයයි ඇය හිස දෙපසට වනා දෑසින් කීවය..ඔහු කිසිවිටෙකත් සමාව ඉල්ලිය යුතු නොවේ...මේ ඔහු කල වරදක්ද නොවේ....
.
" අම්මයි තාත්තා යි මැරුණෙ ඇක්සිඩන්ට් එකකින් ....එදා එයාලව එක්කගෙන යන්න උන්නෙ මම....මට බැරිඋනා හදිසි වැඩක් නිසා....ඩ්‍රයිවර් ගෙ අතින් බ්‍රේක් එක වැදුන වෙලාවක ලිස්සල ගිහින් හෙලකට පෙරලිල එයාල එතනම නැති උනා...මං අදටත් හිතෙන් විඳවනව...ඒ මරණ වලට මම වගකියන්න ඕන කියල...ඒත් ...ඒත්....මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ සඳ එදා...." උදාර සිය අතීතය සඳමිණි ඉදිරියේ සෙමින් දිග හැරියේය.....සඳමිණි සෙමින් නැගී සිට ඔහු හිස සිය ගතට තුරුලු කොට ඒ හිස අතගාමින් කතාව නිහඬව අසා උන්නාය.....
.
" මඩුගල්ලේ පරම්පරාව ට ඉන්න එකම පිරිමියා මම තමයි ..ඒත් අපිට පුංචි මඩුගල්ලේ ලා ටිකක් හදාගන්න පුලුවන් නෙ ...." සඳමිණි ගේ කුසට හිස තදකරගනිමින් උදාර පැවසීය.... සඳමිණි සතුට ද දුකද නොදන්නා හැඟුමකින් වෙවුලා ගියාය.....
.
" සර් .....මේ තීරණය ගැන ආයෙ හිතන්න .... මම ගැන නෙවෙයි ....හැම දේම ගැන ...."සඳමිණි සෙමින් කොඳුරා කීවාය.....හැඟීම් වලට පෙර යථාර්ථය ඉස්මතු විය යුතුය....ඇයගේ අතින් අල්ලා හිඳුවාගත් උදාර ඇයගේ හිස දෝතින්ම අල්ලා තමා වෙත හරවා ගත්තේය....
.
" තව හිතුවත්....සිය දහස් වාරයක් හිතුවත්.....තීරණේ ඕකම තමයි සඳ..... මට වගකීම් ගන්න පුලුවන් ...ඔයා පරෙස්සම් කරගන්න මට පුලුවන් ..බලාගන්න පුලුවන් ....මේ වුණ දේ අමතක කරන්න සඳ..... " උදාර සඳමිණි ගේ නළලත සෙමින් සිප ගනිමින් පැවසීය ..... ඇය ඔහුගේ වදනට එරෙහි නොවී දෑස් පියාගත්තාය ....වචනෙ රකිනව....මට මේ කෙල්ල ගොඩ ගන්න දෙන්න ..." උදාර හුනස්නෙන් නැගිට යළි කාමරය වෙත ගියෙය....ඇයගේ නලලතට සිහින් සිපුමක් පමණක් තබා ඔහු පිටව ගියේය...

උදාර මඩුගල්ලේ උදෑසන කුරුලු හඬින් දෑස් විවෘත කරන විටත් සඳමිණි සුව නින්දක පසු වූවාය....ප්‍රේමය කෙතෙක් ඉවසුම් සහගතද යන්න ඔහු සහ ඇය පෙරදා උගත්තෝය....ආශාවන් ප්‍රහීන නොකලද සිය ආදරය වෙනුවෙන් ඒ හැඟීම් කැපකල දෙදෙනාම උනුන් ඇසුරේ සුව නින්දක් ලැබුවෝය..... සඳමිණි පසුවූ විඩාබර තත්වය කෙමෙන් කෙමෙන් පහව යන්නට වූ අතර ඇය රාත්‍රිය උදාවෙත්දී බෙහෙවින් නොසන්සුන් වනු උදාර ට පෙණුනි.....
.
" සඳ ජීවිතේ කියන්නේ තව දුර ගමනක්.....ඔයාව ලඟින් තියන් නිදාගන්න බැරි තරම් නොඉවසුමක් මට නෑ ...නමුත් එහෙමයි කියන්නෙ මං වැඩ බැරිදාස කෙනෙක් කියල හිතන්න නම් එපා ....." බැරෑරුම් ව ඇරඹූ කතාව මහා හිනාවකින් අවසන් කල උදාර ඇයට පහසුවෙන් නිදිසුව විඳින්නට ඉඩ සැලසීය ....

*********************************
" සඳ ....ගුඩ් මෝනින්....නැගිටින්න දැන්...උදෙන්ම නැගිට්ටොත් ඇවිදින්න යන්න පුලුවන් " උදාර මඩුගල්ලේ පොරෝනය තුලට තව තවත් ගුලි වෙන සඳමිණිගේ නලලත සිප ගනිමින් පැවසීය.....
.
" පෙරේදා රෑ එලිවෙනකල් ඇහැරල උන්නෙ .ඒකයි මේ...." සඳමිණි සෙමින් පැවසුවාය ....
.
" ඒකට හරියන්න ඊයෙ නිදාගත්ත නෙ...." උදාර ඇයගේ නහය මිරිකමින් පැවසීය....ඇත්තෙන්ම සුවබර නින්දක් ලැබුණේ ඒ ඇසුරේය ....ඒ උණුසුමේය....තමා රැකගත් ආදරයේය.....
.
**************************************
.
තුරු ගොමු අතරින් ඇදෙන මාවත කෙලවර නැරඹුම් අංගනයක් විය...එතැන් සිට බැලූ කල හෝ හඬ නගමින් ඇද හැලෙන දිය ඇල්ල මුදුනේම ඉන්නා බවක් හැඟෙයි.....සඳමිණි විශ්මයෙන් ආතුර වෙමින් ඒ දිය දහර දෙස බලා උන්නාය....
.
"පහළට යමුද....?" උදාර ඇයගේ සුරත අල්ලාගනිමින් පැවසීය....
..
පසෙකින් වූ පඩිපෙල දිගේ පහළට බැස මඳක් දුර ගිය පසු දිය ඇල්ල දොළක් සේ ගලා යන ඉසව්වක් හමුවේ.... දියෙන් පෑදී ඔපමට්ටම් වන ගල් තලා අතරින් ගලා යන දිය රැළිති දෙස සඳමිණි වශීකෘත ව බලා උන්නාය.....
.
ගල්තලාවේ හිඳ ගෙන පාද දියට දමා ගන්නට සඳමිණි ට ආසා හිතුණි.....උදාර මඩුගල්ලේ සිනාසී ඇයට ඉඩ දෙමින් ඇය අසල හිඳ ගත්තේය....
.
අයිස් කැට සීතලක් රැඳි වතුරේ දෙපා ගැටෙන විටම කෑගැසූ සඳමිණි උදාරගේ ඇඟේ එල්ලී ගත්තා ය.... උදාර මඩුගල්ලේ මහ හඬින් සිනාසෙමින් ඇය වටා දෑත යවා ගත්තේය....
.
" මෝඩි....තේරෙන්නැද්ද මේ වතුර සීත බව ...." උදාරගේ උරහිසට හිස තබා ගත් සඳමිණි දෑස් පියා ගත්තාය....ජීවිතේ මෙතරම් සුන්දර බැව් වැටහෙන්නේ දැන් ය.... තමා නුදුටු සුන්දරම ලෝකයක අසිරි තමාට සැබෑ කරදෙන්නෙ ඔහුය ....ඒ ආදරය සංයමය සෙනෙහස....දරාගත නුහුණු තරම් ය.... සඳමිණි සෙමින් උදාරගේ උරහිස සිප ගත්තාය......
.
තමාට නොදැනෙන්නට මෙන් සෙමින් සෙමින් උරහිස සිඹින ඇයට ඉඩ දී ඔහු දෑස් වසා ගෙනම උන්නේය...
.
" ඇතිද ඉම්බා ..." නිකටට අත තබා සිය මුහුණට ඇය ළං කරගත් ඔහු අවසානයේ ඇසීය...සඳමිණි ලැජ්ජාවෙන් බිම බලා ගත්තාය ....
.
" මගේ සඳ ...." උදාර ගේ මුල්ම සෙනෙහස් සිප ගැනීම සඳමිණි මහත් සෙනෙහසින් ඉන් පසු විඳගත්තාය.... ජීවිතය කෙතරම්ම නම් සුන්දර දැයි ඇය සිතුවාය...එක්තරා යුගයකදී රුදුරු ග්‍රහණයකට හසුව තැලී පොඩිවී ගිය දෙලවන් ඔහු මේ තරම්ම සියුම්ව තමා වෙත නතුකරගන්නා අන්දම.....සඳමිණි ප්‍රේමයෙන් ආශක්තව සිහිනයක සේ විඳගත්තාය......
.
දවසේ බොහෝ වේලාවක් උනුන් ඇසුරේ දිය ඇල්ල හා ඒ අවට ගත කල දෙදෙනාම ආපසු නවාතැනට පැමිණියේ නැවත කොළඹ බලා ආ යුතු හෙයිනි.....
.
" සඳ....අපි ඉක්මනින් බඳිමු.... මේ ඔක්කොම ප්‍රශ්න එතකොට ඉවරයි...." නික්ම යන්නට මොහොතකට පෙර සඳමිණි තුරුල් කොටගත් උදාර මඩුගල්ලේ ඇයගේ නළල, දෙකොපුළ සෙනෙහසින් සිප ගනිමින් පැවසීය.....
.
**************************************

සුපුරුදු නවාතැනට එනවිට සැන්දෑව උදාවී තිබිණ....උදාර මඩුගල්ලේ ආපසු පිටව ගිය පසු සඳමිණි නවාතැනේ දොර හැර කාමරයට වැදුණාය....ජීවිතය පුදුමාකාර ආහ්ලාදයකින් ඔප් නැංවී ඇත....දෑස් වසා ගත් කල ඇයට දින දෙක පුරාවටම උදාරගේ ඇසුරේ වූ අප්‍රමාණ සංයමය සහ සුන්දර සෙනෙහසැති බව ඇස් ඉදිරිපිටම මැවෙන්නට විය.......
.
තමා කුලුඳුලේම පෙම්වතියක් වූ සේය... වදනකින් බැල්මකින් පවා රතුව යන වත දෙස බලා උදාර මඩුගල්ලේ පැවසූ දේ සිහිවිය...
.
" ඔහොම රතු වෙන්න එපා බං....මට ඉස්සරහට මොකුත් කරගන්නවත් බැරි වෙනව...ඔහොම උනොත්..."
.
ඒ අසා තමා තව තවත් රතුවන්නට ඇත.....

" ආවද කෙල්ලෙ...කොහොමද ගමන..." බියංකා රෑ යාමේ ඇමතුමක් දෙමින් ඇසුවාය....සඳමිණි ගේ සුසුම පවා සැනසුම් සහගත බව ඇයට ඉබේම දැනුණි..පසුගිය දා වූ සිදුවීමේ වාතාවරණය නොවේ නම් සඳමිණි ට මේ කාරණය අලලා ඇඬෙන තුරු විහිලු කරන්නට හැකිය...එහෙත් ඇය විඳි වේදනා සමූහය අප්‍රමාණය.....
.
" අනේ හරිම ලස්සනයි බී....මට එන්න හිතුණෙ නෑ...අනේ අපි ආයෙ දවසක එහේ යං බී...." සඳමිණි ළදැරියක් සේ කියවාගෙන ගියාය....
.
හැම ම හැම ගැහැණියක් තුළම සැඟව ගත් ඒ විඳීමේ ආශාව.....සමහරක් විට ජීවිතයේ ප්‍රකාශ නොවීම වැළලී යන ආශාවන් ය...එක් වියකදී දෙමවුපියන් හටත් ඉන්පසු ස්වාමියා සහ දූ දරුවන් හටත් කැප වන ජීවිතය ...තමා ගැන සිතන්නට..විඳින්නට ඉඩ හසර නොලැබීම වැය වී යයි....බියංකා සිය යෙහෙළියගේ වදන්තුළ සැඟව ගත් ඒ වින්දනීය ආශාව මනැසින් දුටුවාය.....
.
" ලොක්කට කියපන්...ආයෙ එක්ක යයි...සඳ.....පරෙස්සම් උනා නේද උඹ...." බියංකා නොඅසා අසන්නේ කුමක්දැයි සඳමිණි වටහා ගත්තාය....විලියෙන් රතුව ගිය මුහුණ ඇයට නොපෙනීමත් ලොකු දෙයකි....
.
" අනේ බං .....එයා එහෙම නෑ....පව්...මාව බලාගත්තෙ දරුවෙක් වගෙ..."
.
" හැබෑට....එහෙනම් ඔය මගුලෙන් වැඩක් නෑ බං....දිගටම දරු සුරතල් බලන්න නම් එයා හදන්නෙ...." බියංකා මහ හඬින් හිනැහුණාය....

" මං අසනීපෙන් නෙ බං උන්නෙ....අතින් ඇල්ලුවෙත් බයෙන් බයෙන් වගේ රිදෙන්නැති වෙන්න..." සඳමිණි බෙහෙවින්ම හැඟුම්බර වූවාය.....
.
" දැන් උඹෙ ලෙඩ හරිද.....හෙට වැඩට එනවනෙ...." බියංකා අසත්ම සඳමිණි ට සිහිවූයේ එදා සිදුවීම ය....
.
" අනේ බං ඔෆිස් එකේ අය මොන මොන කතා හදලද දන්නෑ ...." සඳමිණි හැඬුම් ස්වරයෙන් කීවාය....
.
" හදන් ආවදෙන්කො...උඹට බැරිනම් මම උන්ට දෙන්නම් උත්තර ....." බියංකා ආවේගයෙන් පැවසුවාය......
.
*******************************

සඳුදාව බෙහෙවින් නොසන්සුන් ව සඳමිණි කරා පැමිණියේය.....බියංකා ඇය රැගෙන යන්නට ඇනෙක්සිය වෙත පැමිණියේ...උදාරගේ උපදෙස් අනුවය....
.
" සඳ.....කිසිම දෙයක් නොවුණ ගානට ඉන්න.....බය වෙන්න එපා මම ඉන්නවනෙ...." උදාර මඩුගල්ලේ ගේ ස්ථීර සාර වදන් සඳමිණි ගේ හිත නැවත සවිමත් කලේය.....
.
කාර්‍යාලයට පිවිස අසුන වෙත යනතුරුම සඳමිණි වටපිට කිසිවක් බැලුවෙම නැත ......අසුනට පැමිණ හිඳ ගත් පසු ඇයට සැනසුම් සුසුමක් හෙළිණි.....එන දේකට මුහුණ දෙනව ....වෙන කරන්න දෙයක් නෑනෙ.... ඇය සිතාගත්තාය ...උදාර මඩුගල්ලේ කාර්‍යාලයට පැමිණියේ සුපුරුදු ලෙස අට ට කලිනි....කිසිවෙකුගේ වෙනසක් නැත....ඔවුන් තම තමන්ගේ වැඩ කටයුතු වලය...ප්‍රධානියා ගේ තරම දන්නා හෙයින් කසුකුසු මතුව නොආ බවක් දැනෙයි....
.
දිවා විවේකයේදී ආහාර ගන්නට ආපන ශාලාව වෙත ගිය සඳමිණි සහ බියංකා හට පෙරේරා මිස් හමුවූයේ ඔවුන්ගේ කෑම මේසයේදීමය.....
.
සමච්චල් සිනහවකින් මුව ඇදකර ගත් ඇය සඳමිණි දෙස බලා උන්නේ කොතනින් පටන් ගෙන රිදවිය යුතුද සිතමිනි.....සඳමිණි වගේ වගක් නොමැතිව ආහාර ගත්තාය....
.
" මඩුගල්ලේ මැඩම් ඉතින් මම දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් තමයි ...මහ දරුණු මනුස්සයා ඔහොම උන්නට...කවුරු කවුරුත් පරෙස්සම් වෙනව නම් ඉතින් හොඳයි....." පෙරේරා ගේ කට ඇදවෙමින් කියවීම නැවතුණේ බියංකා සහ සඳමිණි දෙදෙනාගෙම සෘජු බැල්මවල් වලටය....
.
" ඒක කාටද කීවෙ පෙරේරා මිස්.... " සඳමිණි ඇය දෙසම බලා ගෙන ඇසුවාය .....ඇයගේ හඬ කිසිදු සැලීමක් නැත ...පෙරේරා තිගැස්සුනේ මෙපමණ දෙයක් වීත් ඇය ඉන්නා නොසැලෙන හැටියටය....
.
" නෑ ....නෑ ....මං මේ කීවෙ....." පෙරේරා ගේ කතාව අවසන් කරන්නට පෙර නිමල් එතැනට පැමිණියේය ...

" ආ පෙරේරා මිස්ට ලන්ච් එකට පස්සෙ ලොකු සර් ව හම්බ වෙන්න කීවා....." ඇස් දෙක ලොකු කරගත් පෙරේරා මිස් හුස්ම ගන්නටද අසීරු ලෙසින් නිමල් දෙස මුව අයා බලා උන්නාය..... බියංකා සඳමිණි ගේ කකුල පාගා ගත්තාය....
.

ඉදින් ......කුමකින් කුමක් වන්නට වේදැයි .....සිතාගත නොහැකිව සඳමිණි නැගී උන්නාය......


1 comment:

  1. හොොඳ වැඩේ ඔය මිස්ඉස් පෙරේරාට...

    ReplyDelete