පාසලෙන් පිටත් වී බස් නැවතුම්පළට පැමිණි මොහොතේ දී මට සිහිපත් වූයේද සරෝජ් හිරිපිටියයි .ඔහු මට මුණ නොගැසී මාස ගණනක් ගත වන්නට ඇත. නිලීකා ඉඳහිටක ඔහු ගැන පවසන යමක් විනා මාහට ඔහු යළිදු මුණගැසුණේ නැත. ඔහු යළිත් දැකගැනීමේ සියුම් ආශාවක් මගේ සිත තුළ නොතිබුණේයැයි මට කියන්නට නොහැක. මගේ ඇතුළාන්තය තුළ සැඟව උන් ආදරණීය ස්ත්‍රී චරිතය ප්‍රේමයක්යයි නොදන්නා හැඟීමකින් ඇහැරෙමින් තිබිණි.
"මදැයි ඉතින් මනෝ ගැහුවා. නැගපන් කාරෙකට"
මගේ සවනත අද්දරින්ම කෑගැසූ ඒ හඬ නිලීකාගේය.මම තිගැස්සී ගියෙමි. නිලීකා පැමිණ උන්නේ සරෝජ් හිරිපිටියගේ මෝටර් රථයෙනි. රියැදුරු ආසනයේ සිට දෑස් වලින් සිනාසෙමින් මදෙස බලා උන්නේ ඔහුය. මම ලැජ්ජාවෙන් රතු වී ගියෙමි. දෙකොපුල පුරා ගලා එන්නාවූ රත් පැහැය මුළු මුහුණටම පැතිරීයන්නට ඇත.
"අපෝ ...ඇති බං ඇති ඔච්චර ලැජ්ජ වුණා නැගපන්" නිලීකා යළිත් කෑ ගැසුවාය .
"මං ගෙදර යන්න ඕනේ .පරක්කු වුණොත් දන්නවනේ"
මම රිය අසලට අඩියක් තබා පැවසුවෙමි. එහෙත් මේ අහම්බය මා සිතතුළ අපූරු චමත්කාරයක් මවමින් තිබුණි. යළිත් වතාවක් සරෝජ් දෙස බලන්නට හිත කෙතෙක් බලකළද නොදන්නා නුහුරු බවකින් මම කෝළ වීමි.
"ඔය නල්ලමලේ බස්සෙක එන්න කලින් අපි බස්සන්නම් උඹව ගෙදරට. මට බඩගිනියි යකෝ නැගපන් ඉක්මනට"
නිලීකා කෑගැසුවේ ඇයගේ සුපුරුදු දගකාර හඬිනි. මම නිහඬවම සරෝජ් හිරිපිටියගේ රියෙහි පිටුපස අසුනට නැග්ගෙමි.
"මට මාර බඩගිනියි සරෝජ් අයියේ. කොහෙන් හරි මොනවා හරි කන්න අරන් දෙනවකෝ"
රියදුරු අසුනට යාබද අසුනේ සිට නිලීකා පැවසුවේ සුපුරුදු හඬ මොහොතක් හෝ අඩු නොකරය .
"හරි හරි අරන් දෙන්නං කෑ නොගහ ඉන්නවා නංගි.බලනවා තමුසෙ වාහනේට නැග්ග වෙලේ ඉඳන් එක පොඩ්ඩකට කට වැහුවද කියල"
සරෝජ් හිරිපිටිය රිය පණ ගන්වමින් පැවසුවේය. එහෙත් ඒ හඬෙහි හෝ බැල්මෙහි කිසිදු නුරුස්සන බවක් ගෑවීවත් නොතිබුණි.
"නිවීට ඉක්මණට යන්නත් ඕන නිසා..මොනවා හරි ඉක්මනට කන්න පුළුවන් දෙයක් ගම්මු" නිලීකා යළිත් පැවසුවේ මදෙසට අඩ වශයෙන් හැරීමෙනි.
"අපි රිසාල්ට්ස් දන්නවා. කන්ග්‍රැජුලේශන්ස්" නිලීකා පැවසුවේ අතක් දිගුකොට මගේ කොපුලක් මිරිකමිනි.
"ඔයාගේ කොහොමද?"මම ඇසුවේ ඇයගේ අත අල්ලා ගනිමිනි.
"සෙකන්ඩ් ශයි කරන්න වෙනවා බං. සයන්ස් කරන්නම් පුළුවන් වෙයි හැබැයි ඉංජිනේරින් යන්න බෑ" නිලීකා පැවසුවේ ඇයගේ ප්‍රතිපල සටහන මා අත තබමිනි.
"නිවී දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාට ඔය රිසල්ට් එකෙන් අනිවාර්යෙන්ම කැම්පස් යන්න පුලුවන්" නිලීකා පැවසුවේ සරෝජ් අයියා අපහට කෑම රැගෙන එන්නට රියෙන් බැස ගිය පසුය.
"මට කැම්පස් යන්න කීයටවත් කුඩම්මගෙ ඉඩ දෙන්නේ නෑ කෙල්ලෙ.ඒ නිසා මට දැන් ඕන මොකක් හරි රස්සාවක් කරන්න"
මම උපාධියක් ලබා ගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු එවකටද අතහැර උන්නෙමි. සරෝජ් හිරිපිටිය රැගෙන ආ කෑම පාර්සල් සහිතව පිටුපස අසුනට බරවූයේ මා නොසිතූ පරිද්දෙනි. මම අසරණ වූ දෑසින් ඉදිරිපස අසුනේ වූ නිලීකා දෙස බලා උන්නෙමි.
"අයියේ එතන වොෂ් රූම්ස් තිබුණනේ? මට වොෂ් රූම් එකට දුවලා එන්න පුලුවන්නේ?"
නිලීකා සරෝජ් හිරිපිටියගෙන් එකදිගටම ප්‍රශ්න කීපයක් අසා ඔහුගෙන් පිළිතුරක් එනතුරු හෝ නොසිට රියෙන් බැස දිව්වාය.මම තව තවත් බියෙන් චකිතයෙන් ඇකිලී ගියෙමි. රිය නවතා තිබුණේ අවන්හලට අයත් රිය ගාලේ බොහෝ දුරට වන්නටය. මුළු පරිසරයම සෙවන කොට තිබුණේ අතුපතර විහිදී ගිය සියඹලා ගසකිනි. අසල කිට්ටුවක පේන මානයක කිසිවෙකු නොවූ හෙයින් මම සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගන්නට උත්සාහ දැරීමි.
"ඇයි බයෙන් වගේ .මෙතනට එක්ක ආවේ කවුරුත් දකින්නෙ නැති නිසා. මං දන්නවා කවුරු හරි දැක්කොත් නිවීට ප්‍රශ්නයක් වෙනවා කියලා ගෙදරින්"
සරෝජ් අයියා ඔහු අතවූ කෑම බෑගයන් මා අත පත්කරමින් පැවසුවේය. මම සිනාසෙන්නට තැත්දැරුවෙමි
"දැන් ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ?" මා අත වූ ආහාර බෑගය දෙසට ඇසින් ඉඟියක් පා කෑම ගෙන කන්නටයැයි පවසමින් සරෝජ් හිරිපිටිය මගෙන් විමසුවේය .
"මට තේරෙන්නේ නැහැ අයියෙ මොනව කරන්නද කියලා. කැම්පස් යන්න කොච්චර රිසල්ට්ස් තිබ්බත් අපේ ගෙදරින් ඒකට ඉඩ දෙන්නේ නැහැයි කියන එක මම දන්නවා .මට ඕනේ දැන් රස්සාවක් කරල මේ ගෙදරින් එළියට යන්න.ගෙදර ඉදං කවදාවත් මට රස්සාවක් කරන්න කුඩම්මා නම් ඉඩ දෙන්නෙ නැහැ" මම ඔහේ කියවාගෙන ගියෙමි .
"මේ තරම් රිසල්ට් එකක් තියාගෙනත් කැම්පස් යන්නේ නැහැයි කියන්නේ මෝඩ කමක් කියලා නිවීට හිතෙන්නේ නැද්ද?"
අයියා පැවසුවේ ඔහු අත වූ බීම වීදුරුව නිසොල්මනේ පානය කරමිනි .වාහනයෙන් බැස දිව ගිය නිලීකා තවමත් පැමිණියේ නැත. ඇය මේ සියල්ල කළේ හිතාමතා බව මට නොතේරුනා නොවේ.එහෙත් තරුණයකු සමග රියක පිටුපස අසුනේ පාසල් නිලඇඳුමින් මෙසේ සිටීමම කවුරුන් හෝ දකිනා කෙනෙකුගේ ඇස ගැටීමත් මට ඇතිකරනුයේ සිතා ගන්නට බැරි අනර්ථකාරී ප්‍රතිඵලයක් නොවේද?
"මට ඔයා ඉන්න තත්වේ නොතේරෙනවා නෙමේ. බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා"
සරෝජ් අයියා පැවසුවේ සුසුමක් හෙළමිනි .
"අයියාට පුලුවන්නම් මට ජොබ් එකක් හොයලා දෙන්න. කොළඹින් හරි කමක් නැහැ .මට එතකොට බෝඩිමකට ගිහින් එතන ඉඳන් රස්සාව කරන්න පුළුවන්. එතකොට පස්සේ කාලෙක හරි එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් කරන්නවත් හිත හදාගෙනයි මම ඉන්නේ"
මම මගේ සැලසුම් නිසොල්මනේ ඔහු වෙත දිගහරිමින් උන්නෙමි. සරෝජ් හිරිපිටිය මොහොතක් දෙකක් මදෙස බලා උන්නේය.මම ඒ ඇස් බැල්මට බෙහෙවින් තිගැස්සී ගියෙමි. තව දුරටත් ඔහුගේ දෑස් දෙස බලා උන් නොහී බිම බලාගත් මට ඔහු හෙමින් සැරේ පවසනු ඇසුනේ
"හරිම ලස්සන වෙලා" කියන වදන් පමණි.
ඕනෑම බාලිකාවක් හා හා පුරා තරුණයකු වෙතින් එවදන් අසද්දී ඇතිවන සතුට සහ තිගැස්ම මගේ සිතේද ඒ මොහොතේදී ඇති වෙමින් තිබුණි .සරෝජ් හිරිපිටිය ඔහු පානය කළ බීම වීදුරුව අවසන් කළේ මා වෙතටම යොමු වූ නෙතද ඇතිවය.
"හරිද?දැන් දෙන්නා කතා කර ගත්තද?යමු නේද එහෙනම්?" නිලීකා දුවගෙන විත් මෙන් අසුනට වූයේ පැය භාගයක පමණ කාලයක් ගත වූ හෙයිනි .
"මේක තියාගන්න" සරෝජ් හිරිපිටිය මා අත තැබුවේ කුඩා පාර්සලයකි.මා ඒත් ඒ දෙස විමසිල්ලෙන් බැලුවෙමි .
"පොඩිම පොඩි ෆෝන් එකක්. හදිස්සියකට හරි උවමනාවකට හරි කතා කරන්න දැන් ඔයා ගාව මෙහෙම එකක් තියෙන්න ඕනෑ. ඕක පරිස්සං කරලා හංගලා තියාගන්න කිසිම කෙනෙකුට නම්බර් එක දෙන්න එපා අපි දෙන්නට හැරෙන්න. මම කාර්ඩ් එකක් දාල නම්බර් දෙක සේව් කරලයි තියෙන්නේ. අර දෙන්නට අහුවෙන්නේ නැතිවෙන්න ඕක පරිස්සමින් තියාගන්න. ඔයාට අවශ්‍ය වෙලාවට විතරක් මට කෝල් එකක් ගන්න බොහොම පරිස්සමින්. මමත් නිලීකාවත් ඔයාට කෝල් ගන්නෙ නැහැ ඔයා ගන්නකං ඉඳලා මිස"
සරෝජ් හිරිපිටිය අවසානයේ ඉදිරිපස අසුන වෙත ගියේ එකම එක වතාවක් මගේ හිස සෙමින් අතගාය. මම නිනව් නැතිව ඔහු දෙස බලා උන්නෙමි. මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි මටද සිතා ගන්නට නොහැක . ජීවිතය මා කැඳවාගෙන යන්නේ කුමනාකාරයේ දිසාවකටද යන්න මට සිතා ගන්නට නොහැක .මට වෙන දෙයක් වුණාවේයැයි සිතනු මිස දුරදිග සැලසුම් සකස් කිරීම මගේ ජීවිතයට ආගන්තුකය.
නිවසට හැරෙන්නට මීටර් සියයක් දෙසියයක් පමණ තබා මා රියෙන් බැස්ස වූ නිලීකා සහ සරෝජ් හිරිපිටිය මගෙන් සමුගෙන යන්නට ගියෝය. මම ඉතිරි දුර නිවසට ආවේ කඩිනම් වේගයකිනි .පාලිකා අක්කා හෝ කුඩම්මා දැක ගන්නට පෙර ජංගම දුරකථනය සඟවා තබන්නට මට ඇවැසිය.මගේම වෙලාවට ආගන්තුකයන් පිරිසක් නිවසට පැමිණ සිටිය හෙයින් මුළුතැන්ගෙය පැත්තෙන්ම මට කාමරයට යන්නට හැකි විය.
"ඉක්මනින් ඇඳුම් මාරු කරලා වරෙන් මොනවා හරි උයන්න ඕන" කුඩම්මා කාමරයට හිස පොවා පැවසුවේ මා විගසින් ඇඳුම් මාරු කරන්නට තැත් දරමින් සිටියදීය.
***
ඒ පැමිණ සිටියේ කුඩම්මාගේ දුරින් නෑදෑයන් වන කිහිපදෙනෙකි. මා සම්බන්ධයෙන් රහස් පරීක්ෂක කටයුතු කරන්නට පාලිකා අක්කාට හැකිකමක් නොවූයේද ඒ ඥාති සමූහයා පැමිණ සිටි හෙයිනි. ඇය බොහෝ උද්දාමයෙන් ඔවුන් අතර සැරිසැරුවාය. කුමක් හෝ විශේෂ යමක් සිදු වන බව මට හැඟෙමින් තිබුණි.
කාලය ගතවී ගොස් තිබුණේ දහවල් එක පමණ වන්නටය.සරෝජ් හිරිපිටිය විසින් කෑමට සහ බීමට රැගෙන දී තිබූ නිසා මට කුසගින්නක් නොදැනුණි. එහෙයින් වහ වහා කුඩම්මා සමග එක්වී ආහාර පිසින්නට මම සූදානම් වුනෙමි. කුඩම්මා සමග එක්වී ආහාර පිසිනවා යැයි කියූවද ඇය කළේ මා හට අණ දීම පමණි. ඇත්තෙන්ම නිවසට පැමිණෙන්නා වූ ඇයගේ පාර්ශ්වයේ බොහෝ දෙනා කෑමට සහ බීමට ඉමහත් අභිරුචියකින් යුක්ත වූවෝය.ඉතින් එවන් දවසක මට හුස්මක් කටක් ගන්නට තරම් තරම් වත් වේලාවක් නොවීය.
"වැනි වැනි ඉන්න වෙලාවක් නැහැ.ටිකක් අත ඉක්මන් කරලා උයන්න ගන්නවා"
කුඩම්මා පිළියෙල කරන්නට අවශ්‍ය එළවළු සහ මස් මුළුතැන්ගෙයෙහි මේසය මතට තබමින් පැවසුවාය.
"ආන්ටි කවුද මෙයා?"
මා තිගැස්සී ගියේ එක්වනම ඇසුනු හඬකිනි.මුළුතැන්ගෙහි දොරකඩ අසල සිට මා දෙසට නෙත් යොමා හිටියේ වයස තිස් ගණනක් පමණ වන පිරිමියෙකි. ඔහුගේ දෑසේ වූයේ හිතා ගන්නටත් බැරි කාමුක පෙනුමකි. මම සසැලී ගියෙමි. බිමට පහත් වී පොල්ගාන්නට තැත් කරමින් උන් මට හැඳ උන් චීත්ත ගවුමෙන් දෙපා වසා ගන්නටවත් සිහියක් නොවූ තරම්ය.ඔහුගේ දෑස් යොමු වී තිබුණේ මගේ දෙපාවලට බව දුටු මොහොතේදීම මම වහ වහා ගවුම පහළට ඇද ඉවත බලා ගතිමි.
"ආ..ආ..මේ අපේ දුර ගැන නෑ වෙන ගෑනු ළමයෙක්නේ පුතා. ඇයි පුතා මෙහෙට ආවේ අන්න පාලිකා ඉස්සරහ ඉන්නව යන්න යන්න"
කුඩම්මා මා වෙතටද රැවුම් බැල්මක් හෙලමින් ඔහු ආපසු යවන්නට තැත් දැරුවාය.
"නෑ මං ආවෙ බීම එකක් ඉල්ලගන්න.මෙහෙ මාර රස්නෙනෙ අප්පා. ඒසී කරලා වත් නෑනේ"
ඔහු අනවසරයෙන්ම මුළුතැන් ගෙට පැමිණ ශීතකරණය විවෘත කළේය. ජීවිතයේ කිසිදා නොදුටු පුද්ගලයෙකු මෙසේ මුළුතැන්ගෙයටම පැමිණ ශීතකරණය විවෘත කරන තුරුත් කුඩම්මා නිසොල්මනේ බලා සිටීම මට සිතා ගන්නට නොහැකි විය. පාලිකා අක්කා පෙනෙන්නට ද නැත.ඔහු යළිත් මවෙත අමුතුම බැල්මක් හෙළා බීම වීදුරුවක් ද ගෙන සාලයට ගියේය. කුඩම්මා මවෙතට පැමිණ හෙමින් ඇයගේ පාදයෙන් මට ඇන්නාය .
"ගවුමක් හරියට හරිගස්සගෙන ඉඳගන්න පුරුදු වෙයන්.එක එකාට පේන්න ඕවා එලියෙ දාගෙන ඉඳලා අන්තිමට අපි නරක මිනිස්සු වෙන්නේ"
මෙතැනදී ද වැරැද්ද එල්ල වුණේ මා හටය මම නිහඬව බිම බලාගෙන වේගයෙන් පොල් ගාන්නට පටන් ගතිමි.
"ඔය ඇවිල්ලා ඉන්නේ අපේ අක්කගෙ මහත්තයගෙ නංගිගෙ පුතා.හොඳ සල්ලිකාර මිනිස්සු.අපේ පාලිකා ගැන යෝජනාවක් අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. නිවේතා මං උඹට මේ හොඳින් කියන්නේ ඉස්සරහ පැත්තට එහෙම යනවා නෙමෙයි"
කුඩම්මා මා මුළුතැන්ගෙයි තනිකර නැවත සාලයට ගියේ නෑදෑයන් සමග එකතු වන්නටය .අනේ දෙවියනේ පාලිකා අක්කාට මේ කටයුත්ත නම් හරි යන්න ඕනෙ..මම යටිසිතෙන් ප්‍රාර්ථනා කළෙමි. කෑම කාමරයට කෑම පිළිගැන්වීමට සූදානම් කොට මා මුළුතැන් ගෙයට යාබද මගේ කාමරයට වී සිටියේ යලිත් ඒ පැමිණි කිසිවකුගේ ඇස නොගැටෙන්නය. මන්ද ඔවුන්ගේ ඇස ගැටීම පවා මට ප්‍රශ්න කෝටියකට මුහුණ දෙන්නට හේතුවක් වනු ඇත.
හවස් වී ඔවුන් නික්මී ගිය පසු මම සුසුමක් හෙලා නාන කාමරයට යන්නට එළියට බැසීමි.
"බලන්නකෝ අම්මා .මාව බලන්න ආපු මිනිහත් අහනවනේ අරකි කවුද කියලා.මේ හොල්මන මේ ගෙදර ඉන්නකං මට නම් දෙයක් කරගන්න ලැබෙන්නෙ නැහැ"
පාලිකා අක්කා දුම්මල වරම ගත්තාක් මෙන් පරලවන්නට පටන් ගෙන උන්නාය.
"ඉතින් නිවී ඉස්සරහටවත් ආවෙ නෑනෙ සුදු දුව. කුස්සියේ පොල් ගගා ඉන්නකොට තමයි ඩෙන්සිල් පුතා ඔය ආවේ බීම එකක් හොයාගෙන. වැරැද්ද ඔයාගෙනෙ. එයාට තිබහ උනාම ඔයා දැනගන්න ඕනෑ බීම එකක් අරගෙන යන්න .පිටරටවල හිටපු මිනිස්සුනේ කොයිවෙලාවෙත් කොකාකෝලා අරවා මේවා බිබී තමයි ඉන්නවා ඇත්තේ"
කුඩම්මා පැවසුවේ මා වෙත එන්නට තිබූ දෝෂාරෝපණය මදක් හෝ ලිහිල් කරන අටියෙනි.ඒ මොහොතේ මම හදවතින්ම ඇයට ස්තුති කළෙමි. මම වහවහා නාන කාමරය වෙත දුව ගොස් දොර.වසාගත්තෙමි .අවසානයේ කුමන පැත්තකින් යන ගැටලුවක් වුවද පැමිණෙන්නේ මගේම කරපිටට බව මට වැටහුණි.
කෙසේ හෝ රැකියාවක් සොයාගෙන මේ නිවසින් පිටව යන්නට වත් හැකිකමක් වෙයි නම් එය මට වාසනාවකි.
"මීට පස්සෙ ඩෙන්සිල් එන වෙලාවට උඹ එහෙම මේ ගෙදර ඉන්නේ නැහැ තේරුණාද?"
පාලිකා අක්කා රාත්‍රී කාලයේ මුළුතැන් ගෙය අස් කරමින් සිටි මා වෙත පැමිණ අතකින් ඇද පසෙකට කර පැවසුවාය. ඇයගේ මුහුණේ තනිකරම දැවටුණේ ද්වේශයකි.තමා හට සතුවිය යුතු යමක් මා උදුරා ගන්නට තැත් දරනවා සේ ඇයගේ මුහුණේ වූයේ මහා විකෘති පෙනුමකි.
"මම එළියටවත් ආවේ නැහැනේ අක්කේ. මම අදත් උන්නේ කාමරේට වෙලා." මම පැවසුවේ හඬ නෑසෙන හඩිනි.
"කාමරයට කුස්සියට නෙමෙයි උඹ එයා ආයෙ එන දවසට මං කලින් කිව්වම ගෙදර වත් ඉන්න බැහැ.අර උඹේ නල්ලමලේ යාලුවගෙ ගෙදරට පලයන්.නැත්තම් මේකෙන් වෙන්නේ මට මේ මඟුලවත් කරගන්න වෙන්නේ නැහැ" පාලිකා අක්කාගේ හඬ බෙහෙවින් කුරිරු විය.
"අනේ ඉතිං ඒ මනුස්සයා සතියට දවස් දෙකක්වත් එනවා නම් හොඳයි.මට මේ ගෙදරින් දවසක් දෙකක් හරි එළියට ගිහින් ඉන්න" මම යටි සිතින් සිතා ගත්තෙමි. ඇත්තෙන්ම ඩෙන්සිල් නැමැත්තාගේ ඒ එදා මා දුටු එකම බැල්ම මට මහත් බියක් මෙන්ම පිළිකුළක් සිතට දැනවීය.ඉදින් ඔහු දකින්නටවත් මසිත කිසිසේත්ම ප්‍රිය නොකළේය.
එපරිද්දෙන්ම ඩෙන්සිල් පාලිකා අක්කා හමුවන්නට පැමිණෙන හැම දවසකම මට කල් ඇතුව දැනුම් දුන් පරිදි නිලීකාගේ නිවසට යාමට හැකියාවක් ලැබුණි. ඇතැම් දිනවල සරෝජ් හිරිපිටිය නිවසේ සිටි අතර අනිත් දිනවල සේවයට ගියද ඔහු මා නිලීකාගේ නිවසෙන් හවස නික්මෙන්නට මොහොතක් හෝ තියා පැමිණියේය. එහෙත් කිසිම දිනක ඔහු මට ඔහුගේ කිසිදු විශේෂිත හැඟීමක් මට පළකළේ නැත. ඔහු නිතරම මා අනාගතයට කරන්න යන්නේ කුමක්ද යන්න විමසා බැලූවා පමණි.
නිලීකා ඒ වන විට දෙවන වාරය සඳහා පෞද්ගලික පන්ති යමින් උන්නාය .මා බොහෝ විට නිලීකාගේ නිවසට ගොස් නිකම් ඉන්නට බැරි හෙයින් ඔවුන්ගේ නිවෙස අස්පස් කර දැමීම ආදී කටයුතු වලට නිලීකාගේ අම්මාට සහය වුණෙමි.
"දරුවෝ ඒ ගෙදර නැහිලා නැහිලා මෙතෙනට ආ වෙලාවෙවත් පොඩ්ඩක් විවේකයකින් ඉන්නකො" නිලීකාගේ අම්මා කිසිදු විටක මගෙන් වැඩක් ගැනීමට අකමැති වූවාය. ඇයට අවශ්‍ය වූයේ මා පහසුවෙන් සැනසීමෙන් සිටිනු දකින්නටය.
"මට දැන් පුරුදු වෙලා ඉන්නේ නිකන් ඉන්නම බැහැ" මම සිනාසෙන්නට තැත් දරමින් පැවසුවෙමි.ඉතින් එවන් දිනක මා එහි යනවිට නිලීකා පෞද්ගලික පන්ති ගොස් තිබුණු අතර සරෝජ් හිරිපිටිය ද නිවසේ නොසිටියේය.
"අනේ දූ එහෙනම් හොඳ ළමයා වගේ අර අපේ සරෝජ් පුතාගේ කාමරය පොඩ්ඩක් අස් පස් කරල දාන්න. මේ දරුවා නීති විභාගයකට සූදානම් වෙන නිසා කාමරය අස්පස් කරගන්න ලොකුවට වෙලාවක් නැහැ."
නිලීකාගේ මව මට එදා පැවැසුවාය. යටි සිතේ ඇති බලවත් ආශාව ද මැඩපවත්වා ගනිමින් මම ඔහුගේ කාමරය වෙත ඇදුනේ කොස්සක් සහ තවත් රෙදි කැබැල්ලක් නිලීකාගේ මවගෙන් ඉල්ලා ගෙනය . එහෙත් එම කාමරයේ අස් කරන්නට යැයි කියා මහා ලොකු දෙයක් තිබුණේ නැතද මම සෙමින් සෙමින් බොහෝ වේලාවක් කාමරය පුරාම සැරි සැරුවෙමි.
සරෝජ් හිරිපිටියගේ කාමරය එතරම් විශාල එකක් නොවුවද බොහෝ පිළිවෙළකට සකසා තිබුණේ අනවශ්‍ය ගෘහ භාණ්ඩ කිසිවක් එයට ඇතුළත් නොවන සේය. ගෙන ආ කොස්ස පසෙක තබා මම ඔහුගේ ඇඳ ඇතිරිලි කොට්ට උර සියල්ල ගලවා ඉවත් කොට අලුතින් ආවරණ සැකසුවෙමි. එකම රැල්ලක් හෝ නොසිටින සේ ඇඳ ඇතිරිල්ල සහ කොට්ට උර දමා පොරෝනය ද නවා තැබූ පසු එතැන තවත් පිළිවෙල යැයි මට සිතුනි .පසුව ඔහුගේ පොත් මේසය වෙතට හැරුණු මම මේසය මත ඒ මේ අත දමා තිබූ පොත් එකින් එක අසුරා තබන්නට වූයෙමි.සරෝජ් හිරිපිටියගේ සියලු සටහන් හා ලිපි ද්‍රව්‍ය සියල්ලම පුදුමාකාර අන්දමේ පිළිවෙලක් සහිත වූ ඒවා විය. මම පොතක් දෙකක් පිටු පෙරලමින් ඔහේ බලා උනිමි. ඔහු වෙතින් මා උගත් ප්‍රධානම දෙය නම් පිළිවෙලකට වැඩ කිරීමෙන් ජීවිතයට ඇති අනේකවිධ යහපත් දේවල්ය .
පොත් මේසය අස්කොට තබා කොස්ස ද රැගෙන මුළු කාමරයම සෙමින් අතුගාමින් මම උන්නේ වෙනම මනස් ලෝකයකය.මට අවට ලෝකයේ සිදු වූ කිසිම දෙයක් ගැන ඒ මොහොතේ දී අවබෝධයක් නොවූ තරම්ය .මුලු කාමරයම අතුගා හමාර වී නාන කාමරය ද සෝදා දමා ආපසු කාමරය වෙත පැමිණෙන මා දුටු දෙයින් එක්වනම තිගැස්සී ගියෙමි.ළය මත දෑතම බැඳගෙන දොරට හේත්තු වී මා දෙස සිනහවක් නැති මුවින් බලාගෙන උන්නේ සරෝජ් හිරිපිටියයි.
ඔහුගේ මුහුණේ වූයේ මා නොකළ යුත්තක් කළා බඳු වූ අමනාප පෙනුමකි. මට ඇතිවූයේ බලවත් වරදකාරී හැඟීමකි. ඔහු මා ගැන වරදවා හිතන්නට ඇත . එහෙත් මා මේ කළේ නිලීකාගේ අම්මා විසින් මාගෙන් ඉල්ලා සිටි දේමය. එනිසා සුසුමක් හෙලා ඔහු දෙස බලා මඳ සිනහවක් පාන්නට මම වෙර දැරීමි.
"මොනවද නිවී මේ කරන්නේ ?" සරෝජ් අයියා මගෙන් ඇසුවේ තරවටු කරන අන්දමේ ස්වරයකිනි. ඒ ස්වරය මඳක් නොපහන් වීදැයි මට සිතුණි.
"ඇන්ටි මගෙන් ඇහුවා කාමරය පොඩ්ඩක් අස්-පස් කරන්න පුළුවන්ද කියලා.ඉතින් මටත් වැඩක් නැති නිසයි මම මේ කාමරේ පොඩ්ඩක් අස් කළේ" මම නොපැකිළව පිළිතුරු දුන්නේ ඔහුගේ සිතේ යම්කිසි බරැති හැඟීමක් ඇති වී නම් එය මකා දමනු රිසියෙනි. මා වරදක් නොකළ හෙයින් මට කිසිදු චකිතයක් නම් නොවීය.
"නෑ නෑ කාමරයට ආව එක ගැන නෙමේ මම කියන්නේ.ඔයා පොඩ්ඩක් හරි නිදහසේ ඉන්නෙ මෙහෙට ආවට පස්සේ. ඉතින් මොකටද මෙහෙත් ඇවිල්ලා මේ තරම් වැඩ කරන්නේ. පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න තියෙන දවස නේද?"
සරෝජ් හිරිපිටිය කාමරයට තුළට පැමිණෙමින් පැවසුවේය.මම කාමරෙන් පිටත් වී යන්නට සූදානම් වූයේ බෙහෙවින් රිදුණු සිතිනි. කිසිම තැනක කිසිම විටෙක මා පැසසුමක් ලබන්නේම නැත. අනෙක් අයගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවුණද සරෝජ් වෙතින් මෙවැනි වදන් මම බලාපොරොත්තු නොවීමි.
"ඉතින් මං ආපු ගමන් දුවන්න හදන්නේ ඇයි ?" දොර අසලින් මෑත් වන්නට අසලින්ම ඈත්වන්නට ගිය සරෝජ් අයියා ඇසුවේ ආපසු සිටි තැනින්ම නැවතීගනිමිනි.ඉතින් ඔහු එසේ සිටිනා විට මා හට ඔහු පසුකොට දොරෙන් පිටතට යාමට නොහැක. මම නිහඬව පසෙකට වීමි.මා තිගැස්මෙන් මෙන් බලා සිටිනා හෙයින් සරෝජ් හිරිපිටිය කාමරය තුළට පැමිණ ඔහුගේ සයනයේ හිඳගත්තේය. ඉන්පසු විසින් මා හට කාමරය තුළ වූ පුටුව දැක්වීය.මම එහෙත් හිඳනොගෙනම බිත්තියට හේත්තු වී සිට ගතිමි.
"කොහොමද දැන් ගෙදර තත්වෙ?" සරෝජ් අයියා ඇසුවේ සපත්තු යුවල ගලවා ඇඳ අයිනේ තබමිනි. මම සුසුමක් හෙලුවෙමි. නිවස සම්බන්ධයෙන් මා හට කියන්නට කිසිදු සුබදායී කාරණයක් නැති තරම්ය.අප අතරට පැමිණ සිටින ඩෙන්සිල් මාහට තවත් කරදරයක් වෙමින් පවතින බව සරෝජ් හිරිපිටියට කියන්නටද නොහැක .
"කියන්නට තරම් විශේෂයක් නෑ අයියෙ.වෙනදා වගේම ගෙදර වැඩ ටික කරගෙන මං ඔහේ ඉන්නවා" මම කල්පනාවෙන් යුතුව ම හඬ අවදි කළෙමි .
"කැම්පස් දාන්නත් දැන් කාලෙ හරි නේද?" සරෝජ් හිරිපිටිය අසන්නේ මාහට කිසිදු විසඳුමක් නැති අංශයක් ගැනය .කිසිදා මා හට විශ්වවිද්‍යාලයට යන්නට අපේ ගෙදර නිවැසියන්ගෙන් කිසිම අවස්ථාවක් නොලැබෙන බව දැන දැනත් ඔහු මා වෙතින් මෙයම විමසා සිටීමම මට විටෙක මහ නොරිස්සුමක් ඇති කරයි .
"කවදාවත් කැම්පස් යන්න දෙන්නේ නැති බව දැන දැනත් මම මොකටද දැන් ඒක ගැන හිතන්නේ අයියේ. මට දැන් ඕන කොහොම හරි රස්සාවක් හොයාගන්න. පුලුවන්නම් මට දන්න කියන කෙනෙක්ගෙන් හරි ගැලපෙන රස්සාවක් හොයල දෙන්න" මම ඔහුහට පවසා යළි හැරී ආවෙමි.
***
එදින මා ආපසු නිවසට පැමිණෙන විටත් ඩෙන්සිල් උන්නේ සාලයේ පාලිකා අක්කා සමගින් පිළිසඳරෙහි යෙදෙමිනි.මම ඔවුන් මගහැර මුලුතැන්ගෙය පසින් නිවස තුළට ඇතුළු වී කාමරයට වැදුනෙමි.ටික වේලාවකට පසු පාලිකා අක්කා මුළුතැන්ගෙයට පැමිනියාය.පාලිකා අක්කාගේ මුහුණේ හා හැසිරීමේ වෙනසක් මට දිස්වුවද බැලූ බැල්මටම ඒ කිමෙක්දැයි මට වටහා ගන්නට නොහැකි විය.
"නිවී මට උණුවතුර එකක් රත් කරලා දෙනවා ඇඟ සෝදගන්න" පාලිකා අක්කා ආපසු කාමරය වෙත අපහසුවෙන් මෙන් යමින් පැවසුවාය. මම උණු වතුර එකක් රැගෙන ඇයගේ කාමරයේ ඇති නාන කාමරය වෙත ගෙන ගොස් එය තබා ආපසු එන විට පාලිකා අක්කා නාන කාමරයට වහවහා ඇවිද ගියාය.
එකම එක බැල්මකින් මුළු කාමරය එක් ඇස් බැල්මකට ග්‍රහණය කරගන්නට මොහොතේ මට හැකි විය. පාලිකා අක්කාගේ සයනයේ ඇඳ ඇතිරිලි පොඩි වී ඇඹරී ගොස් තිබිණි .කොට්ට දෙකක් බිමය. කුමක් හෝ සිදුවිය යුත්තක් සිදුවී ඇති බව මට වැටහී තිබිණි. මේ කිසිවක් මට අදාළ දේවල් නොවේ. එසේ වූයේ කිමෙක්දැයි අසන්නට හෝ අදහස් විමසා බැලීමක් කරන්නටවත් මට අයිතියක් නැත. ඉතින් මම නිහඬව මගේ කාමරය වෙත ඇවිද ගියෙමි.
ඩෙන්සිල් පැමිණෙන විට කුඩම්මා නිවසෙන් මඟ හැර යෑමම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් යැයි මගේ මොළයටද වැටහෙමින් තිබුණි. තමන්ගේ දියණියට කිනම් හෝ අසාධාරණයක් සිදු වන්නට ඉඩ දී හෝ ඇයව ඩෙන්සිල් ගේ කරේ එල්ලා තැබීම කුඩම්මාගේ පරමාර්ථයයි. වන්නාට වෙන දෙයක් උනාවේ යැයි සිතා මම සුපුරුදු නිහඬ වෘතයම රැක්කෙමි.
පාලිකා අක්ක සමගින් ඩෙන්සිල් අයියාගේ කිනම් සබඳතාවයක් සිදුවුවද එය මට ගැටලුවක් නොවූයේය.නමුත් ඉතා හදිසියේ හෝ අහම්බෙන් නොදන්වා නිවසට පැමිණෙන ඔහුගේ කාමුක ඇස්බැල්මවල් සහ ගණනකට නොගන්නා මෙන් ඉඳහිට තමා අසලින් යන අතරේ ඇඟේ අතක් හෝ වද්දවා ගෙනයන අප්‍රසන්න හැසිරීම මට එක් කළේ පුදුමාකාර බියකි.කිසිදු විටෙක නිවසේ මා තනිව සිටින වෙලාවක හෝ පුද්ගලයා පැමිණේ යැයි මා උන්නේ පුදුමාකාර බයකිනි.එහෙත් කුඩම්මා මා නිවසේ තනිකොට දමා පිටට ගියේ නැති තරම්ය.
කෙසේ වතුදු පාලිකා අක්කාගේ විවාහයටද දින නියම වෙමින් තිබුණි.පාලිකා අක්කා උන්නේ පුදුමාකාර සන්තෝසයකින් වුවද දිනෙන් දින පාලිකා අක්කාගේ ශරීරයේ හැඩ තලයන්හි මට පෙනෙන්නා වූ අමුතුම හැඩය දැන මම සැක පහළ කළෙමි. ඇය පෙන්වූයේ යුවතියකගේ දැනුමක් නොව වැඩිහිටි කාන්තාවකගේ ශරීර ස්වභාවයකි.එසේ දෙයක් සිදුවන්නට ඉඩක් නැතැයි මම තරයේ විශ්වාස කරන්නට පටන්ගෙන උන්නෙමි .නමුත් එක් දිනයකදී පාලිකා අක්කාගේ කාමරය අතුගාන මොහොතක ඇයගේ ඇඳ යට තිබී මට හමුවූයේ හිස් උපත් පාලන පෙති පැකට්ටුවකි.ඉතින් ඇය ගැන ශරීර ස්වභාවය ගැන ම'හිත ඇතිවූ සැකය නිවැරදි විය. පාලිකා අක්කා සහ ඩෙන්සිල් අයියා අතර ඇති සම්බන්ධතාවය බොහෝ දුරදිග ගිය එකක් බව දැන් නොරහසකි .සියල්ල සිදු වනු ඇත්තේ කුඩම්මා දැනුවත්වය. එසේනම් ඔවුන්ගේ විවාහය ඉක්මන් වීම වඩා සුදුසු බව මම ද තරයේ විශ්වාස කළෙමි.
මේ අතරතුර දී එකදිනක ඩෙන්සිල් අයියා නිවසට පැමිණෙන විට පාලිකා අක්කා සහ මා පමණක් නිවසේ උන්නේ කුඩම්මා ටවුමට ගොස් ඒමට ගිය හෙයිනි. පාලිකා අක්කා උන්නේද නාන කාමරයේය.දොරේ සීනුව වදින විට දොර හරින්නට ගිය මා හට ඩෙන්සිල් අයියා දුටුවිට ඇති වූයේ මහත් අප්‍රසන්න හැඟීමකි. මා ආපසු හැරුනේ කාමරය වෙත ඉක්මනින් ගොස් දොර වසා ගනු රිසියෙනි. එහෙත් ඩෙන්සිල් ඉක්මන් වුයේ මට පෙරය. ඔහු නිවෙස තුලට වහා ගොඩ වැදුනේ මා අතකින් අල්ලාගනිමින්මය. මම අතගසා දමන්නට වෙර දැරුවද ඔහුගේ ශක්තිය හමුවේ එයද අසාර්ථක විය.
"අතාරින්න අයියේ , මේ මොන විකාරයක්ද?" මම පහත් එහෙත් තද හඬකින් පැවසුවෙමි.
"මොකද ඔච්චර ගණන් ආ? පොඩ්ඩක් ඇල්ලුවම ගෙවෙනවද උඹේ?" නැහැදුන චර්යාවටම ගැලපෙන නැහැදුන කටක් ඇත්තා පවසුවේ මා වැළඳගන්නට වෙර දරමිනි. ඔහුගේ අතක් ගසා දමමින් පසෙකට පැන්නද මේ මිනිසා මා යලි සිය ග්‍රහණයට හසුකරගන්නට වෙර දැරුවේය. ඉවසා දරාගන්නට නොහැකි වේදනාවෙන් සහ අප්‍රසන්නවූ හැඟීමෙන් ඔද්දල් වී ගොස් උන් මාගේ දකුණත ඔහුගේ කම්මුල හරහා වැරයෙන් පහරක් තැබුවේ ඒ මොහොතේමය. එය මා හට සිතාමතා නොව මගේ ශරීරයේ ආරක්ෂාව මතම ඉබේම සිදුවූ ක්‍රියාවක් වන්නට ඇත. ඒ මොහොතේ පාලිකා අක්කා නාන කාමරයෙන් පිටට එන හඬ ද ඇසුනි.
"හොඳයි , උබ නයාට ගහල පොල්ල වැරැද්ද ගත්තා කියල හිතාගනින් හරිද.? මේ කම්මුල් පාරට වඩා සිය දහස් ගුණයක් උඹට ඉක්මනින්ම විඳවන්න නොවුනොත් මම ඩෙන්සිල් නෙවෙයි"
දණ්ඩෙන් පහර කෑ සර්පයකු සේ ගුගුරා හැලුන ඔහු වහා මිදුලට බසිනා විට මම කාමරයේ දොර අගුලු ලා එයට පිටදී ඉඳගත්තේ ඉකිගැසී හැඬෙන වේදනාවෙනි. ඒ තර්ජනය කෙතරම් භයානක එකක්දැයි සිතද්දී මගෙ ඇඟ කිලිපොලා යමින් පැවතුණි .මේ සියල්ල මා හට කියන්නට හෝ ඇත්තේ නිලීකා පමණි. නිලීකාට හෝ මේ දේ ගැන කියන්නට මට ඇත්තේ මහත් චකිතයකි.හැකිතාක් ඉක්මනින් පාලිකා අක්කාගේ විවාහය සිදුවී ඇය ඩෙන්සිල් අයියාගේ නිවෙසට පැමිණියහොත් මේ ගැටලුව බොහෝ ලෙසින් සමාප්ත වේ යැයි මට සිතුනි.
මේ සම්බන්ධයෙන් සරෝජ් හිරිපිටිය දැනුවත් කිරීමට මා හට කිසිදු හැකියාවක් නොමැත.එක අතකට ඔහුට මා සම්බන්ධයෙන් ඇති වගකීම කුමක්දැයි මට සිතෙයි. කෙසේ හෝ රැකියාවක් ලද හොත් මේ නිවසින් බැහැර වී එම රැකියාවේ පිහිටෙන් බෝඩිමක හෝ ජීවත්වන්නට මට හැකිය. නමුත් උසස් පෙළ සමත්වීම පමණක් රැකියාවකට සුදුසුකමක් නොවන අතර මම තවදුරටත් අවදානමේම ගැලෙමින් සිටිය යුත්තේ වෙමි.
පාලිකා අක්කා ඩෙන්සිල් අයියා ගිය පසු මා වෙත පැමිණියේ යකින්නියකසේ කෝප ගෙනය.
"උඹට මොකද වෙලා තියෙන්නෙ .ඩෙන්සිල් ආව වෙලාවේ ඉඳලම උඹ ඒ මනුස්සයාගේ වටේ කැරකි කැරකි ඉන්නවා කියලා ඩෙන්සිල් මට කියනවා. ඇත්තටම උඹට හැදිල තියෙන පිස්සුව මොකද්ද මම දන්නේ නැහැ ඒ උනාට මගේ මිනිහගේ ඇඟේ එල්ලෙන්න නම් හිතන්න එපා මං උඹව ඉතුරු කරන්නේ නැහැ"
අවසානයේ ඩෙන්සිල් ඉතා පහත් ලෙස මා උගුලට හසුකොට ගෙන ඇත.පාලිකා අක්කා මා හට පහර දෙමින් පැවසුවේ පාලනය කරගත නොහැකි තරම් කෝපයෙනි .ඩෙන්සිල් කළ නොපනත් ක්‍රියාව හෙයින් කෝපයෙන් පසුවූ මටද ඒ මොහොතේ ඇති වූයේ දැඩි ආවේගශීලී තත්වයකි.
"මේ මොන පිස්සුවක්ද අක්කෙ. ඔයා ඔයාට පුලුවන් හැටියකට ඩෙන්සිල් අයියව හදාගන්න. ඒ මනුස්සයා මට ඉන්න දෙන්නේ නැහැ .දකින දකින තැනින් අල්ලන්න එනවා.මේ පාඩුවේ ඉන්න මටද කියන්නේ මනුස්සයාගේ කරේ එල්ලෙන යනවා කියලා"
මම ඉතා වේගයෙන් සහ වේදනාවෙන් යුතුව කියවා ගෙන ගියෙමි. එයින් වූයේ පාලිකා අක්කා වියරු වැටීමම පමණි.
"නැහැදිච්චකම තියෙනවා මදිවට තව ඒ මනුස්සයාට කතන්දර හදන්නත් එනවද ? හිටපන්කො උඹට මම හොඳ දෙයක් කරන්නම්"
ඇය ඩෙන්සිල්ව එතරම්ම විශ්වාස කළාද නැතහොත් මේ වන විට ඩෙන්සිල් හැර ඇයට වෙන විකල්පයක් නොවූ හෙයින්ද ඇය කුපිතව උන්නේ උන්මත්තක විලාසයෙනි.පාලිකා අක්කා අතට අසුවූ කොස්ස ගෙන මා හට පහර දෙන්නට වූවාය .ඇත්තෙන්ම එදින උදැසන සහ දිවා ආහාරය දෙකම මා හට ගන්නට නොහැකි වූයේ කුඩම්මා උදයේ සිට එක දිගට මට වැඩ පවරා තිබූ හෙයිනි.එහෙයින් ඇඟත් අප්‍රාණික වී තිබුණු අතර මාලිකා අක්කාගේ දැඩි පහරවල් පිළිගන්නට මට ශක්තියක් නොවීය. අවසානයේ පියවි සිහිය නැතිවන්නට ඔන්න මෙන්න තිබියදී පාලිකා අක්කා මට පහර දීම නවතා කැඩුණු කොසු කැබලි පසෙකට විසිකර දමා කාමරයට වැදුණාය .මාගේ දෑත් දෙපා පුරාවටම නිල් පැහැ ගැන්වී තිබුණි.ඉතින් වේදනාව ඉවසා හඬා වැටෙනු මිසක මා සම්බන්ධයෙන් මේ ගැන සොයා බලන්නට මෙහි කිසිවෙකු නොමැති බව මම හොඳින්ම දැන උන්නෙමි.
✍👍👍👍🌹.....
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteපරක්කුයි වගේ...
ReplyDelete