Saturday, December 10, 2016

18.ඒ අපූරු දවස් ( 6 කොටස ) (මතක)







ආත්තම්මාගේ කෑම


අපේ ආත්තම්මා...එහෙම නැත්නම් ආච්චි අපූරු සූපවේදිනියක්...ඇගේ අත් ගුණය..රස නහර පිනා යන ආහාරයන් අපිට හැමවිටම ලබා දුන්නා.
ගමේ ගෙදරක ජීවත් වෙනවා කියන්නේ සොබාදහම එක්ක ඉන්නවා කියන එක.සොබා දහම නිරන්තරයෙන් තමන්ගෙ සාරය රස පල වැල ඔස්සේ අපිට ලබා දෙනවා

වසක් විසක් නැති..ස්වබාවික පොහොරෙන් සරුසාර වුණ ඒ රස පලවැල ආත්තම්මගෙ අත්ගුණය හා සබැඳුනාම ...රස නහර පිනා යන අහරක් වෙනව....

ඉස්සර අපේ ආත්තම්මා එක්ක ගේ ඉස්සරහ වෙලට ගියාම ගොටුකොල...මුකුණුවැන්න..ගිරාපලා වගේ කොල අහුරක් මිටක් කඩාගෙන ඒමට ඇගෙන් නිරායාසයෙන්ම අණක් ලැබෙනවා...අපේ ගේ ඉස්සරහ වෙල අයිනේ තිබුන නාන ලිඳ ට යන හැම වරකම ගෙදර එද්දි අපි මේ දේ කරනවා....ඒ දවස් වල කොල වර්ග කන්න අපි හරිම හොරයි..ඒත් වත්තේ තියන ජපන් බටු කොල(අපේ පැත්තෙ කියන්නෙ සිංගප්පූරු කොල කියලා දාල හදන කලවම් මැල්ලුම කොච්චර රසද කියලා හිතෙන්නෙ..දැන් මේ පෝර බෙහෙත් ගහපු කොල මිටි කනවිට

මම ඒ දවස් වල ආත්තම්මා හදන කෑම වලින් ආසම කිරිකොස් ව්යන්ජනයට....ඒක හදන දවසට මම බත් එක්ක කිරිකොස් නෙවෙයි කිරිකොස් වලට බත් යන්තමට පෙන්නල කන්නෙ...ඔක්කොටම වඩා ආස කිරිකොස් හට්ටියෙ අන්තිමට ඉතුරු වෙන ටිකට බත් දාගෙන ඒකෙම කන එක...( මම මහ බඩජාරියෙක් ගානට වැටෙන බව දැන් දන්නවා...ඒත් ඇත්ත ලියන්නම එපයි....)

ගමේ ගෙදරක උයන එලවලුවෙ රස ගුන ආවෙ ඇත්තටම ඒක හදන දේශීය රසකාරක නිසායි..දැන් වගේ කුලු බඩු ඛඩෙන් ගන්න පකට් කල දේ ගන්න සිරිතක් එදා තිබුනෙ නැහැ..මට මතකයි කහ පවා..ගෙනවිල්ලා වේලලා...මිරිස් ගලේ අඹරලා තමයි කහ හදාගත්තේ

ගස් වල බිලිං හැදෙන කාලෙට බිලිං උයලා...හදන ඒ ආහාර වට්ටෝරුව අද අපිට හදාගන්න බැහැ...
සකසුරුවම් කම අතින් ඉස්සර අපේ ආත්තම්මලා උන්න තැන ට ගව් ගානක් මෙහා අපි ඉන්නෙ


ගහක කොස් ගෙඩියක් පැහුනත්...වැල වරකා වුනත්..ඒකෙ ඇට ටික පවා වැලි යට දාල වැලි කොස් ඇට කලා ඒ කාලෙ...ඉන් පස්සේ කාලෙක ඒ වැලි කොස් ඇට තම්බලා ලුණු ඉහලා පොල් එක්ක කන කොට තිබුණ රස තාම දැනෙනවා වගේ...නමුත් පසු කාලෙක මගේ දරුවන් පාඩම් පොතෙන් වැලිකොස් ඇට ගැන ඉගන ගද්දි ඒ දේවල් අපිට සිද්ද වුණේ යාන්ත්‍රිකව කියා දෙන්න

කාලය ඇදිලා ගිහින්...අත්තම්මා වගේම අම්මාත් නැහැ...මතකයන් පමණයි ඉතුරු....මේ මතකයන් මෙලෙස උනත්...මෙතනින් එහා පරම්පරාවට ඒකත් අමතකම වන මතකයක් වෙනවා කියල හිතද්දි...හිතට එන්නේ දුකක්.......

4 comments:

  1. අපුරුයි එ මතක.ආසයි රස විදින්න

    ReplyDelete
  2. මේ හැම දෙයක් ගැනම මතකයි. කොච්චර රස කෑම වර්ග අවට පරිසරයෙන්ම හොයාගත්තද.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්...ඒ කලෙ මතකයන් අපූරුයි

      Delete