Thursday, December 1, 2016

14. ඔබේ දරුවාට නිවැරදි පුර්වාදර්ශය වන්න ( සෞඛ්‍ය)

 inews.lk වෙබ් පිටුවට ලියූ ලිපි පෙලෙන්



මේ ලිපි පෙළ මගින් ඔබට දැනුවත් කිරීමක් ලබාදීමට අප උත්සාහ  කරනවා. නමුත් නැවතත් අවධාරණය කරනු ලබන්නේ කිසිම දරුවකුගේ ගැටළුවක් තවත් දරුවෙකුගේ ගැටළු සමග සංසන්දනය නොකරන ලෙසයි.
ඔබ විසින් හඳුනා ගන්නා ගැටළු සඳහා විශේෂිත පළපුරුද්දක් ඇති වෛද්‍ය කාර්ය මණ්ඩලයක් වෙතින් උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්නා ලෙස නැවතත් සිහිපත් කර සිටිනවා.


මේ මලිති  ගේ කතාවයි….

මලිති  කොළඹ ප්‍රදාන බාලිකා පාසලක තුන්වන ශ්‍රේණියේ ඉගනුම ලබන හරි අපූරු දැරියක් . ඇය පෙනුමෙන් අවුරුදු අටකට වඩා වැඩි පෙනුමක් ගත්තත් ඉතාම සිත් ඇදගන්නා සුළු සුරතල් බවක් නිතරම ඇය වෙතින් දිස් වුනා.

මලිති මා වෙත යොමු වුනේ අහම්බෙන් . මලිතිගේ ඤාති සොයුරියක් වරක් මා වෙතින් ප්‍රතිකාර ලබාගන්නා ලදුව බොහෝ සේ ගැටළු වලින් මිදී තිබුන හෙයිනුයි ඇයව මා වෙත ඔවුන් මගින් යොමු වී තිබුනේ. මලිතිගේ මව මා වෙත එම දරුවා රැගෙන එමේදීත් පැමිණ සිටියා. මලිති සම්බන්ධ ගැටළු යම් ප්‍රමාණයකට වෙනස් අන්දමේ ඒවා වූ නිසා මලිති මා වෙත රැගෙන ඒමට පෙර දුරකතනයෙන් ඇය හා සම්බන්ධ ගැටළු දීර්ඝ වශයෙන් විස්තර කර දැනුවත් කරනු ලැබුවා.

මෙවැනි දරුවකු සම්බන්ධ ප්‍රතිකාර පටන් ගැනීමේදී ඇය හෝ ඔහු සම්බන්ධව සියලු විස්තර දැනගෙන සිටීම ඉතා වැදගත් වෙනවා.

මලිති ගේ ගැටළු අතරින් අයගේ මව ප්‍රදාන ලෙසම ගෙන හැර පෑවේ ඇයගේ චර්යාවේ ඇති අසාමාන්‍යතාවයයි. මේ සමගම ඉගනීමට ඇය දක්වන මැලිකම ද ලොකු ගැටළුවක් වූවා. මලිතිගේ වැඩිමහල් සොයුරිය ඉතා දක්ෂ ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යද්දී ඉගැනුම් කටයුතු සඳහා මලිති දක්වන මේ මැලිකම නිවැසියන්ට මෙන්ම ගුරුවරුන් හටත් ඉතා ලොකු ගැටළුවක් වුවා.

ඇයගේ  අසාමාන්‍ය  චර්යා  අතර නිතර බොරු කීම , සුළු සුළු සොරකම් කිරීම,නොකඩවා අනුන් හට බාධා කිරීම, අසාමාන්‍ය ලෙස තැනට උචිත නොවන අන්දමින් කතා කිරීම ආදී බොහෝ කරුණු තිබුනා. මේ ගැටළු සම්බන්ධව මලිතිගේ මව ගේ දැනුවත් කිරීමෙන් අනතුරුව ඇය  මා වෙත රැගෙන එන ලෙස මා ඔවුන්ට පැවසුවා.


ඉතා මිත්‍රශීලි දැරියක් වූ මලිති සායනයට පැමිණ මා අසල අසුන් ගත්තේ මඳ කුලෑටි කමකින් යුතුවයි. මා උපදෙස් දුන් අන්දමට මලිති ගේ මව ඇයව රඳවා පිටතට ගියා. මා මලිතිගේ සාමාන්‍ය තොරතුරු සම්බන්ධව,

එනම් පාසලේ සහ පවුලේ තොරතුරු සම්බන්ධව විමසමින් කතාවට ප්‍රවිෂ්ට වුවත් ඇයගේ  පිළිතුරුවල හැමවිටම තිබුනේ අසංවිධානාත්මක බවක්. අසන පැනයට කෙටි පිළිතුරක් දී ඉන් ඔබ්බට ඇයට අවශ්‍ය වූ හාත්පසින්ම වෙනස් දෙයකට ඇය සංවාදය හරවා ගත්තා . දිගින් දිගටම කතාවට රුචි වුවත් ඒ මුළු කතාවම එකින් එකට නොගැලපෙන දේවල් ගොන්නක් පමණක් වුවා.

මලිතිගේ මව මා හට දැක්වූ ගැටළු සම්බන්ධව මා ඇය  හා කතා කලේ ඉන් පසුවයි. මේ වන විට සාමාන්‍ය  කතාබහ තුලින් මලිති ගේ හිත තුල මා ගැන විශ්වාසයක් ගොඩනැගී තිබුනා. ඇය  පවසන දේ නැවත මවට නොකියන ලෙස ඇය පුන පුනාම පවසා උන්නා. ඇයගේ  ඒ විශ්වාසය රැකෙන අන්දමින් මා ඉතා පරෙස්සමින් කටයුතු කල යුතුව තිබුනා.
මලිති වැනි දරුවන් අද සමාජයේ ඉතා බහුලයි. වැඩිහිටියන් වන ඔබ හා මා ඇතුළු සියල්ලන්ම නොදැනුවත් කමින් කරන  අනර්ථකාරී ක්‍රියාවන් ඇතැම් දරුවන්ට කෙතක් බලපානවාද යන්නට මලිති හොඳම නිදසුනක්,

මලිතිගේ දෙමවුපියන් කොළඹ පෞද්ගලික ආයතන දෙකක විධායක ශ්‍රේණියේ නිලධාරීන්. අතිශය කාර්ය බහුල වුවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවු න් තම දරුවන් කොළඹට ආසන්නයේ වූ මිත්තනියගේ නිවසේ සවස් වන තුරුම නවතා සවස වැඩ අවසන්ව යන විට කැඳවා ගෙන යාමට පුරුදු වී තිබුනා.

මලිතිගේ මිත්තනිය මුළු කාලය පුරාම රුපවාහිනිය නැරඹීමට පුරදු ව සිටියා. මලිතිගෙන් මා ඇය පාසල් ගොස් මිත්තනියගේ නිවසට පැමිණි පසු කරන දේ පවසන්නයි ඉල්ලා සිටිය විට,  එකකට එකක් පසු රුපවාහිනී වැඩසටහන් ගැන කියවාගෙන යන්නට උනා.

මේ ලෙසට මලිති කියවගෙන යද්දී මා හට වැටහුනේ ඇය  සියලු පාඩම් වැඩ අතපසු කරමින් රුපවාහිනිය ඉදිරියට වී සිටින බව දෙමවුපියන්ට පවා ඇයත් මිත්තනියත්  වසන් කරන බවය්. මලිති මෙවන් ඇබ්බැහි  වීමක්   සිදුවීමට දරුවගේම දුර්වලකම බලපානවා යැයි සිතන්නට බැහැ. මෙයට වැඩිහිටියන්ද වග කිව යුතු වෙනවා

නිතර නිතර පාසල් වැඩ සහ ගෙන යායුතු පොත පත් අමතක වෙන බව මලිති ඉන්පසු කියන්නට වුනා. ඇයගේ  මවද කලින් කියාසිටියේ ඇය නිතරම පොත් නැති කරගන්නා අතර ඒ ගැන විමසු විට බොරු කීමට පෙළඹෙන බවයි. තුන් වන ශ්‍රේණියේ දරුවකු සතුවිය යුතු බුහුටි බව හා පිළිවෙල අයගේ පොත්පත් වල තිබුනේ නැහැ. එමෙන්ම පාසලේදීත් නිවසේදිත් බොරු කීමට සහ සුළු සුළු සොරකම් කිරීමටද ඇය පෙළඹී සිටියා.

මා හා මලිතිගේ මව කලින් කතා කල විට මා හට දැන්වූ කරුණු අනුව ඇයව ළමා මනෝ වෛද්‍ය තුමියක් වෙතත් මා වෙත ඒමට පෙර යොමු කරනු ලදුව සිටියේ. එතුමියගේත් අදහස වුයේ බෙහෙත් ප්‍රතිකාර ගැනීමට පෙර මලිති චර්යා  හැඩ  ගැස්විමකට ලක් කල යුතු බවයි. වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මාලාවක් ඇය වෙත නිර්මාණය කලේ ඉන් අනතුරුවයි.

වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර යටතේ මලිතිගේ චර්යා සංවිධානය (behavioural Modification) කිරීම සඳහා සරල යෝජනා මාලාවක් මා විසින් ඇය වෙත ඉදිරිපත් කලා.
මලිති වැනි දරුවන් හා ක්‍රියාකිරීමේදී ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ නොවැටෙන අන්දමට කටයුතු කල යුතුයි.

මලිති සම්බන්ධයෙන් මා ගත මුල් පියවර ඇයගේ  අපිළිවෙල තත්වය ට වෙනසක් එක කිරීමේ දෛනික කටයුතු පෙළගැස්මක් කිරීමයි. (Structure the day) මෙය මුලික ම ලෙස මලිති ගේ අදහස් වලට ගරු කරමින් සිදු කල යුතුව තිබුනා දවසේ ක්‍රියාකාරිත්වයන් නිසි කාලසටහනකට අනුව පෙළ ගස්විමක් කල යුතු වූ අතර එහිදී දරුවා නොසැලකිලිමත්ව ඉටු කල  ඇඳුම් පොත්පත් තැන තැන දැමීම අමතක වීම හා නැතිවීම ආදිය අවම කරගත හැකි බව ඒත්තු ගන්වනු ලැබුවා.

මලිතිට රූපවාහිනියෙන් මිදීම නම් ඒ තරම් කැමැත්තක් දක්වන දෙයක් වුයේ නැහැ. ඉන් මා තේරුම් ගත්තේ ඇය මේ රුපවාහිනියට කොතරම් නම් ඇබ්බැහි වී ඇත්ද යන්නයි. නමුත් වක්‍ර මාර්ගයෙන් කරන ලද පැහැදිලි කිරීම් මාලාවකට පසු මලිති මුලින්ම ටෙලි නාට්‍ය කිහිපයක් නොබලා ඒ කාලය තුල පාඩම් වැඩ වලට යෙදීමට හා අනෙකුත් කටයුතු වලට එක වීමට කැමති වුනා.

එම කාලය යොදාගත හැකි පාඩම් වැඩ සම්බන්ධව තීරණයක් ගැනීමට ඇයටම ඉඩ සලසා දෙනු ලැබුවා. මින් අදහස කරනුයේ දරුවා කියන කරන හැමදේම ඒ අයුරින් පිළිගතයුතු බව නොවන බව ඔබ වටහා ගත යුතුය.

දරුවාගේ නිවැරදි අදහස් වලට ඉඩදීමෙන් ඔහු හෝ ඇය ප්‍රතිකාර මාලාවට එක වීමට නිරායාසයෙන්ම කැමති වන අතර ඔවුන්ගේ අදහස් වලට වැඩිහිටියන් වන අප ගරු කරන සෙයක් වැටහීම ඔවුන් ගේ ආත්ම  විශ්වාසය වැඩි කරදීමට හේතු වේ. මලිති ට පාසල් වැඩ කටයුතු කිරීම සඳහා නිස්කලංක හා ඇයගේ  අවශ්‍යතාවයනට ගැලපෙන පරිසරයක් නිර්මාණය කර දෙන්නට මා යෝජනා කළා.

මන්ද මා තේරුම් ගත් අන්දමට මලිතිට ගෝචර වන පාඩම් පරිසරයක් එහි නැතිවීම මේ ඇබ්බැහි වීම් වලට හේතුවක් වුනා. දිනපතා නින්දට පෙර පොත මේසය සහ පොත බෑගය සැකසීම තුලින් අමතක වීම් හා අතපසු වීම් අවම කරගන්නා සැටි තේරුම් කරදෙනු ලැබුවා .

මලිති සම්බන්ධව තරු පුවරුවක් (Star Chart)නිර්මාණය කරන්නට ද මා ඇයගේ මවට කියාදුන්නා. මෙය අයගේ පොත් මේසය අසල හොඳින් පෙනෙන සේ තැබිය යුතු වූ අතර ඇයගේ හැම සාර්ථක පියවරක්ම එක තරුවක් ලබාදීමට යෝජනා කලා. ඉලක්කය සපුරා ලූ පසු යට යම් ත්‍යාගයක් පිරිනැමීම වඩා උචිත වුනා. (Token Economy) මෙය අල්ලසක් යයි වරදවා තේරුම් ගත යුතු නොවේ.

මන්ද…මේ ක්‍රමවේදය දරුවාගේ යහපත් ක්‍රියා ඉස්මතු කරවීමක් විනා පොරොන්දු දීමක් නොවන බැවිනි.
මලිතිගේ චර්යා රටාවන් ගේ නොගැලපීම් බොහොමයකට උත්තේජනයන් වුයේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරිත්වය බව මලිතිගේ මව ද වටහා ගත්තා.

හොඳ සහ නරක නිසි ලෙස අවබෝධ කරගත නොහැකි එමෙන්ම කාලය හා ඉගැනීම කළමනාකරණය නිසි ලෙස කරගත නොහැකි වයසක සිටින දරුවන්ට වැඩිහිටියන්ගේ නිවැරදි  මග පෙන්වීම ඉතා අවශ්‍යය්. වැඩිහිටියන් ලෙස සීමාවක් නොමැතිව රුපවාහිනියට ටෙලි නාට්‍ය ආදිය නැරඹීමට හුරු වීම දරුවන්ටද ලබා දෙන්නේ අනිසි උත්තේජනයක්.

මලිතිගේ මෙවන් ගැටලුවක්ද ඉස්මතු වෙමින් තිබුනා. වයස අවුරුදු අටක් වුවත් ඇය ගේ වැඩිහිටි පිරිමි පාර්ශවයන් කෙරෙහි අනවශ්‍යලෙස ආකර්ෂණය වීමේ නැඹුරුවක්ද දකින්නට තිබුනා. මෙවන් වයසකදී මෙවැනි දේ නිසා ඇති වීමට හැකි  භයානක ප්‍රතිපල ගැන අමුතුවෙන් ලිවිය යුතු නැහැ.

දරුවන් සම්බන්ධ චර්යාත්මක ගැටළු වලදී මුළු පවුලම එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අන්‍යොන්‍ය  අවබෝධය ඇති ටන ගැටළු බොහොමයක් නිරාකරණය කරගත හැකියි.

මේ සියලු යෝජනා මාලාවන් හා සමග මලිති වෙත සරල ලෙසින් අවවාදාත්මක උපදෙස් කිහිපයක් දෙනු ලැබුවේ. බොරු කීම ආදියේ අනිටු විපාක පැහැදිලි කරදෙමින්. සති දෙකකට පසු දුරකථන ඇමතුමක් දෙමින් මලිති ගේ මව සතුටු හැඟීමකින් යුතුව පවසා උන්නේ වෙනදාට වඩා යම් ප්‍රමාණයක හැසිරීමේ යහපත් බවක් හා වෙනසක් ඇය වෙතින් දිස්වෙන බවයි. මෙවන් දරුවන් ගේ චර්යාවන් සහ ගති ලක්ෂණ වෙනස් කිරීම එතරම් පහසු වෙන්නේ නැහැ. නමුත් ඉවසීමෙන් සහ පිළිවෙලකට අනුව ක්‍රියා කලොත් දරුවන්ගේ අනිසි ලක්ෂණ වෙනස් කල හැකියි.

ඔබ ඔබේ දරුවාට නිවැරදි පුර්වාදර්ශය වන්න.එතැනින් පටන් ගත් කල….. කල නොහැක්කක් නොමැති බව ඔබටම වැටහෙනු ඇත .


(නම් ගම් සියල්ල සැබෑ පුද්ගල නාම නොවන බව කරුණාවෙන් සලකන්න)

2 comments: