Monday, December 5, 2016

16. අකුරු ලියන්නට මැලිවීමක්... ( සෞඛ්‍ය)

inews.lk වෙබ් පිටුවට ලියූ ලිපි පෙලෙන්




සමිත වයස අවුරුදු දහයක පමන කුඩා දරුවෙක්. පාසලේ පහ වසර පන්තියේ ඉගනුම ලබන සමිත ගේ සහ ඔහුගේ දෙමවුපියන්ගේ එකම අභිප‍්‍රාය ශිෂ්‍යත්ව විභාගය සමත්වී නගරයේ ජනප‍්‍රිය හා උසස් පාසලකට අතුලූ වීමේ වරප‍්‍රසාදය ලබාගැනීමයි. මේ සඳහා සමිත සූදානම් වූයේ තුන්වන ශ්‍රේණියේ සිටයි.

වර්තමානයේ පවතින අධ්‍යාපන තරගයේ රැල්ලට හසුවූ බොහෝ දරුවන් මෙන්ම සමිතට ද නිරායාසයෙන් මේ පහේ ශිෂ්‍යත්ව රැල්ලට හසුවී ඒ ප‍්‍රවාහයේ ගසා ගෙන යන්නට සිදු වුණා. නගරයෙන් ඔබ්බට පැවතුන ග‍්‍රාමීය පරිසරයක වූ සමිතගේ මුල් පාසලෙහි ද්විතීක ශ්‍රේණි අධ්‍යාපනයක් නොවූ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම ශිෂ්‍යත්වය මත මහත් බලාපොරොත්තු තබා උන්නා.

පාසල් වේලාවට අමතරව සමිත පාසලේ සවස් වරුවේ සතියට දින තුනක් පවත්වන අමතර පන්තියකටද ඉතිරි දින වල පෞද්ගලික පන්ති දෙකකටද සහභාගී වූවා.

ඊට අමතරව පාසලේ දෙන විවිධාකාර අභ්‍යාසයන්ද නිවසට ආපසු වෙහෙස නොබලා කරන්නට සමිතට සිදුවුනත් ..අනේ පුතේ තව මාස කීයද….මේ ටික කොහොම හරි කරගනිමුකෝ,….” යන මවගේ ඇවිටිල්ල මත වෙහෙස නොබලා ඒ ක‍්‍රියාකාරකම් හා අභ්‍යාසද කරන්නට සිදුවුනා. ඉරිදා දිනවල දහම් පාසලටත් නොයා සිටින්නට ඉඩක් නොලැබුන හෙයින් සතියේ දින හතම එක හා සමානව ඔහු විවේකයක් නොබලාම වැඩ කටයුතු වල යෙදිය යුතු වුනා.

විභාගයට මාස හතරක් පමණ තිබියදී සමිතට සිදුවූ ප‍්‍රධානම ගැටලූව ඔහුගේත් දෙමවුපියන්ගේත් ගුරුවරුන්ගේත් කම්පනයට හේතු වුනා. සමිත යනු පන්තියේ උන් දීප්තිමත්ම දරුවා. ඔහුගේ ප‍්‍රතිපලය මත මහත් බලාපොරොත්තු තබා ගෙන උන් දෙමාපියන්ට සිදුවුයේ මේ අනපේක්ශිත තත්වය අදහාගන්නටත් නොහැකි වීමයි.

සමිත ගේ අකුරු ලිවීමේ ඇතිවුන ප‍්‍රධානම ගැටලූව වූයේ ඔහු ලිවීමට පටන් ගෙන ඉතා සුලූ මොහොතක් ගතවෙද්දී ඇගිලි වලට ඇතිවන වෙනස් අන්දමේ ගැටලූ සහගත තත්වයක් නිසා තව දුරටත් අකුරු ලිවීමට නොහැකි වීමයි. ආයාසයක් දරමින් ලිවීමට දිගින් දිගටම තැත් දරන විට සමිතගේ අකුරු වල හැඩය වෙනස් වී ඉතා නොපැහැදිලි අවලස්සන තත්වයක් ගන්නට වූ අතර දැඩි වේදනාවක්ද ඇති වී තිබුනා.

විභාගයට ඉතා ආසන්න කාල වකවානුවකදී සිදුවූ මේ අනපේක්ශිත තත්වය නිසා සමිතගේ ආත්ම ධෛර්යය හා විශ්වාශයද මදින් මද ගිලිහී යමින් තිබුණා. මේ හේතුවෙන් සමිත කල් නොයවාම ළමා රෝග සම්බන්ධ වෛද්‍ය විශේෂඥවරයෙකු වෙත යොමු වන්නට යෙදුනා. එහිදී විවිධාකාර පරීක්‍ෂණ හා ඇගයීම් රාශියකට පසු හඳුනා ගත හැකි කිසිදු ශාරීරික ගැටලූවක් නොවූයෙන් ඔහුව ලමා මනෝ වෙද්‍යවරයෙකු වෙතද යොමු කලා.

එහිදී නැවතත් විවිධ පරීක්‍ෂණ හා ඇගයීම් කරනු ලදුව ඉන් පසුව ඔහුගේ රෝග නිර්ණය ලෙස (writers cramp) සඳහන් කර තිබුනා.

සමිත මුහුණ පාන මේ ගැටලූ සඳහා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය යුතු යැයි ද තීරණය කරනු ලැබුවා.
සමිතගේ දෙමාපියන් සමිත ද කැටුව වෘත්තීය චිකිත්සක සායනයකදී මා මුන ගැසුණා. පූර්ණ රෝග තත්ව වාර්තා සහ ඇගයීම් වලට අනතුරුව සමිතගේ ලිවීම් රටාවන් නිරීක්‍ෂණය කරනු ලැබුවා.

සමිතගේ පෑන ඇල්ලීමේ ඉරියව්, හිඳගෙන ඉන්නා රටාව, හැසිරිම් රටා ආදිය සියල්ලම වෘත්තීය චිකිත්සක ඇගයීමට අදාලව සලකා බලනු ලැබුවා.
සාමාන්‍ය ලිවීම් රටාව අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලයද එහිදී දරුවා පත්වන ගැටලූ හා අසීරුතා ද විමසිල්ලට ලක් කරනු ලැබුවා.

Writers Cramp සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ අතේ හෝ යටි බාහුවේ මාංශ පේශී වල සිදුවන මස් පිඬු පෙරලීමක් ලෙසයි. මෙය බොහෝ විට දැකිය හැකි වන්නේ ලිවීමේ දී හා සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදීයි. මෙම රෝග තත්වයට නියමිත පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක‍්‍රියාකාරීත්වයන්ගේ යෙදීමත්, ඒ සඳහා නිවැරදි ඉරියවු භාවිත නොකිරීමත් හේතුවේ යැයි සොයාගෙන තිබෙනවා.

සමිතගේ ලිවීමේදී නිරීක්‍ෂනය කල ප‍්‍රධානම තත්වය වූයේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි. සාමාන්‍යයෙන් අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුතු මහපටැගිල්ල, දබරැගිල්ල හා මැදගිල්ල එක්වන ඉරියවුව (tripod grip) වෙනුවට දරුවන් යොදාගන්නා විවිධාකාර වූ තම තමන්ට අනන්‍ය වූ රටාවල් තිබෙනවා.

ආරම්භයේ සිටම දරුවෙකු ලියා ඉරියව්ව වෙනස් අන්දමක් ගත් විට ඒ සඳහා වෙනසක් කළ යුතු නැතත් සමහරක් දරුවන් පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සිදුවන වැරදි ලිවීම් රටා නම් වෙනස් කල යුතු වෙනවා.
සමිතගේ තිබුණේත් පසුකාලීනව මිතුරන් අනුකරනයෙන් ලත් වැරදි රටාවක්. එය දරුවා සමග සාකච්ඡුා කොට වෙනස්කම් නිවැරදි කර පුහුණු ක‍්‍රියාකාරකම් වල යොදවනු ලැබුවා.

එමෙන්ම නිවැරදි ඉඳ ගැනීමේ ඉරියවු හා ලිවීමේදී සම්පූර්ණ යටි බාහුව හා අත මේසය මත තබා හිඳීම ගැන දැනුවත් කරනු ලැබුවා.

සමිතගේ ලිවීම් රටාව මඳක් කරගෙන යාමේදී ඔහුගේ අතට දැනෙනා වෙහෙස හා පීඩනය මත මාංශ පේශීන් තද වීමක් සිදුවුනා. මෙය සඳහා මාංස පේශීන් සැහැල්ලූ කිරීමේ ව්‍යායාම මාලාවක් (relaxation techniques) කියාදෙනු ලැබුවා. අදාල අවස්ථාවන්හිදී මේ සැහැල්ලූ කිරිමේ ක‍්‍රම භාවිතා කිරීමෙන් වේදනාව සමනය වෙනවා.

දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලයි. ඉහත නම සඳහන් කල තත්වයට අමතරව අනෙකුත් ශාරීරික හා මානසික හේතූන් මත දරුවන් ලිවීමේ කුසලතා වල පසුබෑමකට ලක් වන්නට පුලූවන්.

අද දවසේ පවතින වේගවත් අධ්‍යාපනික රටාවට දරුවන් බිලිවී හමාරයි. නමුත් දරුවන් මල් වැනියි. අවිවාදයෙන් කිව යුතුයි එය නම්. ඔවුන් හට අධ්‍යාපනය ලබා දිය යුත්තේ දරාගත හැකි සීමාවන් තුලයි.

දරුවාට දරාගන්නට බැරි සීමාවට අධ්‍යාපනය පත් වුව හොත් සිදුවන්නේ ශාරීරික, මානසික හා චර්යාත්මක ආකාරයකින් ගැටලූ සහගත තත්වයන් ඇතිවීමයි.
මෙහිදී අප විමසන ලද්දාවූ (Writers Cramp) තත්වයට අමතරව ලිවීමේ නිවැරදිභාවය, පැහැදිලි හා හැඩතල නිවැරදි භාවය මෙන්ම ලිවීමට ඇති අකමැත්ත හා ප‍්‍රතික්ශේප කිරීම් ද දරුවන් තුලින් විද්‍යාමාන වන්නේ ඉහත කියූ දරාගත නොහැකි පීඩන තත්ව මතයි.

සමිත ලබාදුන් සරල මාංශ පේශි සැහැල්ලූ කිරීමේ ව්‍යායාම පන්තිය මෙන්ම පැහැදිලි කිරීම් රාශියකට අනතුරුව සමිතගේ දෙමාපියන්ටද විශේෂිත පැහැදිලි කිරීමක් මේ සම්බන්ධව කරදෙනු ලැබුවා. ශිෂ්‍යත්ව විභාගය විශේෂිත කඩඉමක් වුවත් දරුවාගේ මානසික හා ශාරීරික දරාගැනීම් මට්ටම අභිබවන්නට ඉඩ නොදීමට ඔවුන් තේරුම් ගන්වනු ලැබුවා.

සමිත මාසයකට වරක් සායනයට පැමින සිය ගැටලූවේ ක‍්‍රමානුකූලව අඩුවීම ගැන යහපත් ලකුනු පෙන්වා සිටි අතර පාසල් වාර්තා මෙන්ම දෙමාපියන්ගේ විස්තර දැන්වීම මත ඉහත ගැටලූව බොහෝ දුරට සමනය වූ බව දැනගන්නට ලැබුනා.

සමිත ගේ ශිෂ්‍යත්ව කඩුල්ල අනවශ්‍ය බරකින් තොරව ඔහු එතෙර වූ බව මාස ගානක ඇවෑමෙන් මට දැන ගන්නට ලැබුනා.

(නම් ගම් සියල්ල සැබෑ පුද්ගල නාම නොවන බව කරුණාවෙන් සලකන්න)

1 comment:

  1. ආදර්ශමත් වගේම සෞඛ්‍යමය අතින් ඉතා වැදගත් ලියවිල්ලක්. ජය වේවා..

    ReplyDelete