Saturday, April 22, 2017

50. කඳුලක නිමාව



මේ මගේ පනස් වෙනි පෝස්ටුව ....එය ලියන්නට ටික කලක් ගියත්..අද එය මගෙන් මේ පිරිනැමෙන්නෙ...අපි හැමෝගෙම අවධානය සහ කැපවීම ලැබියයුතු දෙයක් සම්බන්ධව...

මං හිතනවා ඔබ මේ ගැන කියවන්නට කැමති වෙයි කියලා

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කියන්නේ...සමාජයේ විශේෂ අවධානයක් සැලකිල්ලක් ලැබිය යුතු කොට්ඨාසයක්....මේ විශේෂ සැලකිල්ල කියන්නේ අනුකම්පාව ( sympathy ) හෝ වෙන් කර දැකීම                        ( discrimination ) නොවෙන බව මම මුලින්ම කියන්න ඕන...


නමුත් අද අපේ සමාජයේ මෙවන් දරුවන් සඳහා අවශ්‍ය තරම් දැනුවත් වීම් සහ සමාජ ආකල්ප නිවැරදිව ගොඩ නැගීම් වගේම ලබා ගත හැකි සේවා පහසුකම් පිළිබඳ දැනුවත් වීම් ප්‍රමාණවත් අන්දමට තිබේද යන්න ගැටලුවක්

ලෝකය කොයි තරම් ඉදිරියට ගියත් ඇඟිලි තුඩු අබියස තාක්ෂණය තිබුණත්....අපි තාම මෙවන් අංශ වලින් නම් ප්‍රාථමිකයි දැනුම අතින්....සමහරක් විට අපි මෙවන් අංශ ගැන නොසොයන්නේ ඒ අත්දැකීම අපිට නැති නිසා වෙන්න පුලුවන්....

තමන්ට එහෙම අත්දැකීමක් නෑ කියන්නේ....ඒ කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් නැහැ කියන්නේ අපි එවැනි දරුවන් සහ ඔවුන්ගේ දෙමවුපියන් ගැන නොසලකා ඉඳීම නොවෙයි...අපෙන් විය යුතු ඒ ලොකුම කාර්‍ය භාරය ...යුතුකමක් සේ සලකා කිරීම ඉතා වැදගත්

වෘත්තීය චිකිත්සක වරියක් ලෙස සෞඛ්‍ය සේවයට එක් වූ දා පටන්...මගේ කැමතිම අංශය වුණේ මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා වැඩ කිරීම..ඔවුන්ට අදාල ප්‍රතිකාර ක්‍රමයන් ලබා දීම සහ දෙමවුපියන් දැනුවත් කිරීම...


ඒ වගේම මට මේවගේ අංශ වල මා හා එක්ව වැඩ කරන්නට කැමති විවිධ නිපුණතාවයන් ඇති අය ඇසුරු කරන්නට ලැබීමත් එක්තරා අන්දමක භාග්‍යයක්..

පසු ගිය දිනක මට මෙවැනි අත්දැකීමක් යළිත් ලැබුණා...ඒ මීරිගම සත්සෙවන පිරිමි ළමා නිවාසය හරහා දියත් වූ වැඩ සටහනක සම්පත් දායකත්වය ලබා දීමට හැකි වීමෙන්

මම මේ ලියන්න යන්නේ ඒ වැඩ සටහන ගැන....සමහරක් විට විවිධ ක්ශේත්‍ර වල අය හා සංවාදයේ යෙදෙන කොට ලෝකය මොන තරම් විශාලද විශම ද කියලා අපිට ඉබේම දැනෙන්න ගන්නවා...

මට මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න ලැබුණෙ අහම්බෙන්....ඒත් ඒ අහම්බයන් හැම තිස්සෙම සුන්දරයි කියල මම දන්නව....ඒ නිසාම එහෙම වෙලාවක අතින් නිවාඩුවක් දාගෙන එහෙම දේට උපරිම දායකත්වය දෙන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ...


ඉතින් පසු ගිය 6 වෙනිදා ඒ වැඩ සටහනේ මුල් පියවර තැබුවෙ මීරිගම සත්සෙවනෙදි

මේ වැඩ සටහනට මීරිගම රෝහලේ ළමා රෝග විශේෂ වෛද්‍ය තුමිය..ප්‍රජා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්...භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක නිලධාරීන්...ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්...වස විස නැති ජාතික ආහාර ප්‍රතිපත්තියේ වෛද්‍ය කණ්ඩායමක්...විශේෂ අධ්‍යාපන ගුරු භවතුන් හා අධ්‍යක්ෂක නිල්ධාරීන්...සමාජ සේවා නිලධාරීන් වගේම දෙමවුපියන් ද සහභාගී වුණා

වැඩ සටහන මෙහෙයවුවෙ කොලඹ විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්ය තුමෙක්...මම එතුමාගෙ වැඩ සටහන් ප්‍රවිශ්ටයට ඉතාම කැමතියි....මේ ඒ ප්‍රවිශ්ටය



******පසු ගිය දිනක අභයගිරි පුරා විද්‍යා කැණීම් කටයුතු වලදී සෙල්ලිපියක් මතු කරගන්නට ලැබුණා...එහි සටහන් වූ එක් පාඨයක් මම මෙහිදී කියන්නම්...."ජීවිතය ලැව් ගින්නකට හසුවූ වරා මලක් සේ අවිනිශ්චිතය......"*****

ඒ සටහනට මං ඉතාම කැමති උනේ මෙන්න මේ මාතෘකාව ඔස්සේ අපිට අද මහා කාර්ය භාරයක් කරන්නට ඉතුරු වෙලා තියන නිසයි...


ජීවිතය කියන්නේ මහ ලොකු දුරක් යන ගමනක් නෙවෙයි...ඒත් අපි අපෙන් වෙන්න ඕන සේවයක් යම් මනුෂ්‍ය කොට්ටාසයක් වෙනුවෙන් ඉටු කරන්නට යනවා නම් ...ඒ වගේම ඒ මිනිසුන් අපෙන් උදව් ලැබිය යුතු මට්ටමේ අය නම් ...අපි ඒ දේ නොපැකිලවම කල යුතුයි කියලා මට හිතෙනවා

මෙම වැඩ සටහනේ මූලිකම අරමුණ වුණේ...ප්‍රජාව තුල අදටත් සේවාවන් ලබා ගැනීමට අපහසු පුද්ගල කොට්ටාසයක් වන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්නටයි....මේක ලෙහෙසි පහසු කාර්‍ය භාරයක් නොවන බව ඇත්ත....නමුත් මේ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වුන කාර්‍ය මණ්ඩලයේ තිබුණ උනන්දුව දුටුවාම මට නම් දැනුනේ...එය එච්චරම අපහසු වෙන එකකුත් නැහැ කියලා...

මූලිකවම ළමා වියේ ආබාධ හට ගැනීමට හේතූන් ගැන ලමා රෝග වෛද්‍ය තුමියගෙන් මනා පැහැදිලි කිරීමක් සභාවට දෙනු ලැබුවා....අදටත් අපේ සමාජය නොදන්නා දේ තමයි...යමක් මුලින් වලක්වාගත හැකි නම් එයට පියවරක් නොතැබීම....මෙහිදීත් එය මනාව පැහැදිළි කරනු ලැබුවා...


මෙහිදී මතුව ආ තවත් වැදගත්ම කාරණයක් තමයි...දරුවෙක් කුස දැරීම සම්බන්ධව අපේ ප්‍රජාව තුල ඇති ආකල්ප....සාමාන්‍යයෙන් දරුවෙක් දැරිය යුතු නිසි වයස් ඛාණ්ඩය අවුරුදු 18-35 වෙද්දි....අපේ සමහර ළමා මවු වරුන් දැන් දැන් වැඩියෙන් සායන වලදී හමුවීම මහා ඛේදවාචකයක්..

මෙහි සම්පත් දායකයන් ලෙස පැමිණි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගේ හෙළි කර දීම් අනුව වයස අවුරුදු 13,14 මට්ටමේ ළමා මවු වරුන් අද හමු වී තියනවා....


මෙය සමහර විට අතවරයන් ට ලක් වීමකින් වෙන්න පුලුවන් වුණාට...සමහරක් නොදියුණු පවුල් පරිසර තුළ මේ සම්බන්ධතා ඇතිවීම් පවා සිදුවෙන්නෙ නොදැනුවත්වම

මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් විසිරි ගෙ අත්දැකීම් එතනදි සභාවට ගොඩක් කියන්නට වුණා....මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්නට මුල් පියවර ගන්න ඕන තමා තුළින්ම බව එහිදී විසිරි ගෙන් කියවුනා...මිනිස්සු විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙත දක්වන සමානාත්මතාව සහ පිළි ගැනීමත්...ඔවුන්ට සමාජයේ නිසි තැන ලබා දිය යුතු අන්දමත්...පහසුකම් හා සේවා සැපයීමේදී ප්‍රමුඛතාවයන් ලබා දිය යුතු ආකාරයත් අපි එහිදී සභාවට කියා දුන්න...

පුරා පැය පහක් පමණ පැවැත්වුණ ඒ සාකච්ඡාවල ඊලඟ පියවර වෙත නුදුරේදීම පියවර තැබෙනු ඇති.....

දැනුවත් වීමේ ක්‍රියාවලිය කියන්නේ සංග්‍රාමයක් වගේ දෙයක්...නමුත් දැනුවත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නෙ...යම් පුද්ගල කොට්ටාසයකට සමස්ථ ලෝකයේම සානුකම්පා බැල්ම සහ අතදීම නොවෙයි....


ඔවුන්ට නිසිතැන...පහසුකම් සහ සේවා වන් ලබා දී...සමාජයේ වැඩදායී පලදායී...කොටසක් බවට පත්කිරීම සඳහා නිසි ගෞරවය සහ පිළිගැනීමයි  මෙහිදී වඩා අවශ්‍ය වන්නේ

මේ දරුවන් සමනල්ලු වගේ...අපි ඒ තටු වලට පාට දෙන්න වෑයම් කරන්නෙ



ස්තුතියි ...ඉවසීමෙන් මේ සටහන කියෙව්වාට

28 comments:

  1. මේ දරුවන් නිසි පරිදි සමාජ ගත කරන්න සුදුසු ක්‍රමයක් නැති ඒක නම් හරිම ඛේදවාචකයක්..

    ReplyDelete
    Replies
    1. එහෙම ක්‍රමවේදයන් දියුණු රටවල තිබෙනවා...ඔවුන්ගේ බුද්ධි මට්ටම අනුව රැකියා වල නිරත වෙනවා...විශේෂයෙන්ම රැකියාවකට අයදුම් කිරීමේදී කායික නොහැකියාව බාධකයක් කරගැනීම නීති රීති අනුව තහනම්...මානසික ආබාධ ඇති අයට පවා විශේෂ පාසැල් තිබෙනවා...එතැනදී අවශ්‍ය මේ අපි විසින්ම ගොඩ නගා ගත යුතු අවබෝධය...ඔවුන්ට අනේ අපොයි කියල අනුකම්පා කරන තත්වයක් තමයි ආසියාතික ජන සමාජය තුල තියෙන්නේ...විසිරි කිව්වා වගේ මෙතන තිබෙන්නේ ආකල්පමය වෙනසක අවශ්‍යතාවයක්...පවුලේ සිට සමාජයේ සෑම සමාජ ඒකකයම ඉන්න බාල තරුණ මහලු සියල්ලන්ටම, මේ විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් සමඟ හැසිරීම සහ ඔවුන්ගේ මනස ක්‍රියා කරන අයුරු ගැන ගැඹුරු අවබෝධයක් ලබා දීම...මිනිසුන් බොහෝ ආත්මර්ත්කාමියි, ඒ වගේම ඉවසීම සහ සංවේදී කම බොහොම අඩුයි...හිතන්න කම්මැලියි...

      Delete
    2. ඇත්තෙන්ම පොකුරු වැහි කිව්ව දේ තමයි අදවෙලා තියෙන්නේ ...ලංකාවෙත් නීති රීති තියනවා..නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි වරද

      Delete
  2. ගොඩක් වෙලාවට මෙහෙම ළමයි ගෙවල් වලිනුත් අඩු සැලකිල්ලක් ලැබෙන්නේ..එක මුලින්ම නැති කරන්න ඕනේ ..එක ගෙදරින් පටන් ගත්තනම් වැඩේ ලේසියි

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන් දැනුවත් කිරීම කියන එකත් මහම අභියෝගයක් වෙලා වර්තමානයේදී ....ඔව් පටන් ගන්න ඕන ගෙදරින් ම තමයි

      Delete
  3. වටිනවා විසිරි මේ ක්‍රියාවන්. මේ පිළිබඳව ඉදිරියේදීත් තවත් ලියයි කියලා හිතනවා. අඳ, ගොළු, බිහිරි දරුවන් මේකට අයත් වෙනවද ?
    50ට සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්ධ ගොළු බිහිරි වගේම කායික මානසික ආබාධ සහිත ඕනෑම දරුවෙක් මේ කොටසට ඇතුලත් වෙනවා දුමි

      Delete
  4. මේවා කෙරෙන්න ඕනා සද්කාර්යයන්....

    50ට සුබපැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා...මට හැකි පමණින් මම ඒ කාර්යයට දායක වෙනවා

      Delete
  5. පනහට සුබපැතුම්!මම හිතාගෙන හිටියේ දැන් රටේ සාක්ෂරතාව වැඩි නිසා ළමා මව්වරු අඩුවෙලා ඇති කියල.

    ReplyDelete
    Replies
    1. මොන තරම් ඒ සාක්ෂරතාවය ඉහලයි කිව්වත්...ඔය දේවල් අද ඕන තරම් වෙන බව ප්‍රායෝගික ලෝකයෙන් උදාහරණ ඇතුව ඉදිරිපත් වෙනවා බක්කරේ......හරිම කණගාටු දායකයි නේද

      Delete
  6. වටිනා සටහනක්...පනහට සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි.

      Delete
  7. රැකියාව ලෙස යහපත් වැඩ කරන්නට, සහාය වෙන්නට ලැබීමට ලොකු වාසනාවක් යැයි සිතමි!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මම ඒ ගැන හරිම සතුටුයි...

      Delete
  8. වටිනා ලියමනක් අක්කෝ... සුබ පැතුම් ඔන 50 ට හොදේ

    ReplyDelete
  9. අර්ධ ශතකයට සුබ පැතුම්... ශතකයකින් ඉක්මණින් හමුවේවා.

    මම හැමදාම කියනවා වගේ ඔයා හරිම වාසනාවන්තයි අක්කා. මේ වගේ පිනැති කාර්යන්වලට කිව්ව විදිහට අහම්බෙන් උනත් සහභාගි වෙන්න ලැබෙන්නේ එක නිසානේ. කොහොම උනත් හුඟාක් වටිනවා මේ කාර්යයන්. ඇත්තේන්ම වටිනා සමාජ සත්කාරයක්.මෙවන් සත්කාර වලට සහභාගී වෙන්න ලැබෙනවා නම් එක ලොකු දෙයක්. කොහොම උනත් මට නම් එහෙම අවස්ථා ලැබෙන්නේ ගොඩක් කලාතුරකින්. සමහර විට රැකියාව වෙන්න ඇති. කාර්ය බහුල නොවුනත් හුඟාක්. කොහොම හරි අක්කා ඔයා ගොඩක් හොද වැඩ කොටසක් කරනවා මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන්. ඉදිරියට තවත් හොඳට මේ වැඩ සටහන් දියත් කිරීමට හැකියාව ලැබෙන්න ප්‍රාර්තනා කරනවා.

    ඒ වගේම පොඩි යෝජනාවකුත් කරන්න කැමති ඇත්තෙන්ම විසිරි අක්කාටත් පුළුවන් මේ විදිහේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් වෙනුවෙන් සමාජ වෙනුවෙන් මේ වගේ වැඩසටහන් ඔබේම මුලිකත්වයෙන් ආරම්භ කරන්න. මට නම් හිතෙන්නේ ඔබේ දැනුම හා හැකියාව එක්ක ඒක කරන්න බැරි නෑ කියලායි. අපිටත් දායක වෙන්න පුළුවන් වෙයි සමහර විට. දැනුම අතින් නොවුනත්. ඉතිං මේ එක්කම කියන්න ඕන අර පොතේ වැඩෙත් කරගෙන යන්න කියලා දිගටම

    සුබ පැතුම් අක්කා ඔබට ජය

    ReplyDelete
    Replies
    1. මට හැකි මට්ටමින් මම මේ තාක් කල් ඒ දේ කළා යාත්‍රා......ඉදිරියටත් මගේ දායකත්වය අවශ්‍ය හැමතැනම මම ඉන්නවා.....පොත ලිවිල්ල මග නැවතුනා නේ..ආයේ පටන් ගන්න ඕන

      Delete
  10. පනස් වෙනි උපන්දිනේට සුබ පැතුම් . ;)

    සැමට සම අයිතිවාසිකම් කියන කියමන පාපේ රටේ යතාර්ථයක් වෙනතුරු මොවුන්ට දක්වන අඩු සැලකිල්ල එහෙමම තියේවි

    ReplyDelete
    Replies
    1. සම අයිතිය කෙසේ වෙතත් නිසි අයිතිය වත් ලැබෙනවා නම් එත් ඇති නේද.....

      ස්තුතියි මල්ලී

      Delete
  11. 50 ට සුබ පැතුම්!! රාජකාරියම විනෝදාංශයක් වෙනවා නම් ජීවිතේ කොපමණ සොඳුරුද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ඇත්තෙන්ම ඔව්

      Delete
  12. මම මොන්ටිසෝරි යද්දී විශේෂ අවශ්‍යතා ඇති මෙහෙම යාලුවෙක් හිටියා. පිරිමි ළමයෙක්. එයාව ඉස්කෝලෙ දැම්මෙත් විශේෂ පංතියට. එයාගේ අම්මා එයා වෙනුවෙන් හරියට මහන්සි උනා. ළමයි අතරෙදි එයාව කවදාවත් කොන් උනේ නෑ.ඒ අම්මා එයාව හැම වෙලාවෙම සාමාන්‍ය ළමයි අතරේම තියන්න උත්සාහ කලා. ඒ ළමයා කොහොමහරි සා.පෙ ත් වැඩ කීපයක් සමත් උනා. කාලෙකින් දැක්කේ නම් නෑ.. ඒත් එයා දැන් සමාජයට බරක් නොවී ජීවත් වෙනවා. මෙයාලට අපේ උදව් තියනව නම් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් සෙව්වන්දි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකල් මේ උත්සාහය අමාරුයි පල දරන්න...

      Delete