Friday, December 21, 2018

101. කොළ පාට ඉරිදාව

කොළ පාට ඉරිදාව.....



ඉරිදා කියන්නෙ අපූරුම දවසක්....
එක එක ඉරිදාවල් ජීවිතේ ට දැනෙන්නෙ එක එක පාටට...
අද උදේ ඉඳන්ම මට ඉරිදාව දැනුණෙ කොළ පාටට....
ඒ ගහකොළ අස්සෙ මම වෙනදාටත් වඩා උන්න නිසා වෙන්න පුලුවන් .....
.
මිදුලෙ සිමෙන්ති බැම්ම උඩ වාඩිවෙලා පහු ගිය ටිකේම වැහැපු වැහි ඇළි වලින් පණ ගහපු ගස් වැල් දිහා බලන් ...මම කල්පනාව දිගේ පුරුදු විදියටම ගමට ගියා....
.
අපේ ගම කොළ පාටට බැබලුණ ගමක්....අපෙ මහ ගෙදර තියෙන්නෙ පොඩි කඳු ගැටයක් උඩ නිසා....ගෙදරට එන වැලි පාර කෙළවරට ගියාම හතර වටේම පරිසරය පේනවා....
.
වැඩිම වපසරියක් අයිතිකරන් ඉන්නෙ නිල්ල නිලන කුඹුරු යාය...හරියට කොළ පාට සාගරයක් වගේ ..ඒ මැද්දෙ තියන පොඩි පොඩි දූපත් ටික ....පොල් ගස් දෙක තුනක් ..අඹ ගහක් ...අයින් වැට දිගට ගිනිතිල්ල...කිරිල්ල ...පඳුරු.....සමහරක් දූපත් වල පුංචි ගෙපැලක්.....ඇසට හුරුම ඒ කොළ පාට....
.
ඊට එහායින් ගලා යන ගඟ....ගඟ දෙපැත්තෙන් ගඟට නැමෙන අත්තික්කා ගස්....ගඟට නාන්න ගියාම අත්තික්කා ගහෙ දෙබලෙක වාඩිවෙලා කිරි රහට තියන අත්තික්කා ගෙඩි කාපු හැටි....ගඟ දෙපැත්තෙ තැනින් තැන කුමුදු ...මල් පිපෙන පඳුරු ...ගං දිය සැඩ නැති නිසා....අගේට එක තැන රැඳෙන්න ඒවට පුලුවන් ....
සමහර වෙලාවට ගඟ දිගේ ඉහලට පීනන කොට සීමාවල් වෙන් කරන උණ පඳුරු....එතනින් එහාට යන්න තහනම්....ගඟ ගැඹුරු මහ ගඟක් වෙන්න ගන්න තැනට ගොඩක් මෙහා අපි නාපු ඉසව්ව....
.
ගෙදර ඉඳන් ඉස්සර දන්නා අඳුනන නැන්දෙක්ගෙ ගෙදර අපි ගණන් පන්ති ගියා...ඒ ගිහින් අතර මැද්දෙ විවේකයෙ අපි එතන එහායින් තියන කඳු ගැටයක් උඩට නගිනව....ඈතම කඳු වලලු පේන ඉසව්වෙන් ගොං ගල කන්ද පේන්නෙ එහෙමත් විමසුම් ඇසකට....මං හැමදාම ඇස් අයාගෙන බලන් ඉඳලා ඒ කන්ද ඇහැට අල්ලාගන්නව....
සීයා කියා දුන්න කතාවක....දි...
නිල්වලා ගඟත් ගිංගඟත් පටන් ගන්නෙ ගොංගල කන්දෙන් කියල කීවා ....ඒ හීන් දිය සීරාව එක උල්පතකින් පටන් අරන්....මගක් එනකල් ඇවිල්ල දෙකට බෙදිලා මේ ගඟවල් දෙක හැදෙනවලු....මම මනසින් ඒ දේ දකිනව.....
.
කොළ පාට ගමක උදේම ඇස් ඇරෙන වෙලාවට ජනෙල් පියන් අස්සෙන් එන කෝපි මල් සුවඳ.....සීයා ගෙදරට ගෙනාව එළකිරි උණුවෙලා එද්දි....ඒකට කෝපි කුඩු දැම්මම එන අපූරු සුවඳ....ඒ මතක එක්ක ජීවිතේ අපූර්වම සුවදායක මතකයේ ගිලෙනවා......
.
ඉතින් ....කුදුමහත් කාර්‍යයන් අමතක කරමින් කොළ පාට මතකයේ සැරිසරන මං ආයෙ පියවි ලෝකයට එන්නෙ....කොළ පාට ඉරිදාව ඉවර වෙන රැයක ඒ සටහන තියන්න හිතාගෙන....
.
ඉතින් ....ලබන ඉරු දිනය....සමහරක් විට වෙන පාටක් එක්ක මට වෙන මතකයන් රැසක් අවුලයි....

විසිරි

7 comments:

  1. දම් පාට ඉරිදාවක් ගැන ලියන්නකො....

    ReplyDelete
    Replies
    1. එහෙම ඉරිදාවක් එනකල් ඉන්නේ මේ

      Delete
  2. කොළ පාට ගමක උදේම ඇස් ඇරෙන වෙලාවට ජනෙල් පියන් අස්සෙන් එන කෝපි මල් සුවඳ.....සීයා ගෙදරට ගෙනාව එළකිරි උණුවෙලා එද්දි....ඒකට කෝපි කුඩු දැම්මම එන අපූරු සුවඳ...

    ඒකනම් කියලා වැඩක් නෑ.....දන්නෝ දනිති............

    ReplyDelete