Friday, April 3, 2020

150. ඔබේ සිමාවන් නිර්ණය කරගන්න

මම මේ සටහන අරඹන්නේ ඔබ සමහර විට අසා පුරුදු කතාවකින්..නමුත් මගේ මේ සටහනට ප්‍රවිශ්ටයක් ලෙස මම මේක ලියන්න කැමතියි.

එක දවසක් ,තරමක් දරුණු අබාධයකින් පෙළුන කෙනෙක් රෝහලට ඇතුළු වුණා නේවාසිකව ප්‍රතිකාර ගන්න.ඔහුට ලැබුණේ තවකෙකු හා බෙදාගන්න කාමරයක්.කලින් පැමිණ සිටි රෝගියා ගේ ඇඳ තිබුනේ ජනේලය අසල.පසුව පැමිනි තැනැත්තා අනෙක් පස බිත්තිය අසල ඇඳට යැවුනා.

මේ රෝගීන් දෙදෙනා මිතුරු වුවාට පසු ජනේලය අසල සිටි තැනැත්තා ජනේලයෙන් පිටත් බලමින් අනෙක් රෝගියාට ඔහු දකින දේ විස්තර කළා.ජනේලයට එහා පෙනෙන රෝහල් සිමාවෙන් එහා ඇති සුන්දර උද්‍යානය,එහි හරිත වර්ණ ගහකොළ මෙන්ම තුරු ලතා පවනේ නැලවෙන අන්දම ඔහු තම මිතුරාට මහත් ආසාවෙන් විස්තර කළා.

දවසින් දවස ඔහු තමන්ගේ මිතුරාට ඒ අවට ඇති ලෝකය ගැන මෙන්ම මිනිසුන් ගැවසෙන ඇවිදින හා සිනහසෙන අන්දම ගැන කියමින් රෝගී මනස සතුටින් උනන්දු කලා.

දින ගත වද්දී බිත්තිය අසල උන් රෝගියාට ජනේලය අසල උන් තැනැත්තා ගැන ඇතිවුනේ ඉරිසියාවක්..ක්‍රෝධයක්.ඔහු යටි හිතින් සිය මිතුරා ප්‍රතික්ෂේප කරමින් පිළිකුල් කරන්න ගත්තා.

එක දිනක් රාත්‍රියේ ජනේලය අසල උන් රෝගියාට තදබල කැස්සක් හටගත්තා.හදිසි තත්ත්ව යටතේ අනතුරු හැඟවිය යුතු සීනුව නාදකරන බොත්තම ඔබනවා වෙනුවට බිත්තිය අසල උන් තැනැත්තා කලේ නිහඬව බලා සිටීම.අවසානයේ ඉහත කි රෝගියා මියගියා.ඔහුගේ සිරුර කාමරයෙන් පිටට ගෙන ගිය වහාම බිත්තිය අසල ඉන්නා රෝගියා හෙදියට කතා කර තමන්ව ජනේලය අසල ඇඳට මාරු කරන ලෙස පැවසුවා.

එම ස්ථානයට ඔහු ගිය විගස ඔහු පත්වුණේ විශ්මයට.ඇත්තෙන්ම මියගිය රෝගියා පැවසු කිසිවක්ම එහි තිබුනේ නැහැ.එතැන තිබුනේ කපරාරු හෝ නොකළ තාප්පයක් පමණයි.පෙරකී මිය ගිය රෝගියා තවත් නාඳුනන අයෙක් වෙනුවෙන් මවාගත් සුන්දර ලෝකයක් විස්තර කරමින් ඔහු පත්ව ඇති අසීරු තත්වයෙන් මුදවන්නට කටයුතු කරමින් තිබුණා.

මෙම සටහන අපට කියාදෙන්නේ ආත්මාර්ථයෙන් තොර පුද්ගලයන්ගේ ආදරය සහ කරුණාව ගැනයි.

වරක් ස්ටීවන් හෝකින්ස් මෙහෙම කියා තිබුණා....අපි මේ ජිවත් වෙන ග්‍රහ ලෝකය අයත් වන්නේ බොහොම සාමාන්‍ය චක්‍රවාටයක...ඒ චක්‍රවාටය වුණත් චක්‍රවාට මිලියන ගණනක් තුළ ඇති බොහොම සාමාන්‍ය එකක්...ඉතින් ,....ඔබේ මානය කුමක්ද ...

ඉඳහිටක රාත්‍රියේ බහින්න ඔබේ නිවසින් පිටතට ...අහස දෙස බලන්න.ඇත්තෙන්ම අපි හුදෙකලා වෙච්ච මිනිස්සු නෙවෙයිද.මේ තනි ග්‍රහලෝකයක ඉන්න අපිට අපේ ප්‍රශ්න මෙච්චර ම ලොකු ඇයි...?

අපි මේ ග්‍රහ ලෝකයට උනත් ඇවිල්ල තියෙන්නේ බොහොම කෙටිචාරිකාවකට.හිතන්න..ඔබ මේ විශ්වයේ අංශු මාත්‍රයක් පමණක් කියා.
ඉතින් මේ කුඩාම ලෝකයක..කුඩාම රටක ඉන්න අපිට අපි හිතන පතන දේ සුන්දර මානයන් වෙත ගෙනියන්න පුළුවන් නම් .....ලෝකය හුඟක් සුන්දර තැනක් වෙයි.

මම 
විසිරි 

1 comment: