Friday, May 29, 2020

04. තුන්වැනි දිගහැරුම (සඳක් සේ)



බත් පත එහෙන් මෙහෙන් කුරුටු ගාන්නාක් සේ අතපත ගාන සඳමිණි දෙස බියංකා මහත් සොවින් බලාඋන්නාය... ඇයව හඳුනාගෙන වසරකි... එහෙත් කල්ප කාලාන්තරයක් දැන උන් තරමට ඇය සිතට සමීපය...
.
සඳමිණි ගේ චාම් බව මෙන්ම ලෙන්ගතු හැසිරීම් ද බියංකා ඇය තම හොඳම මිතුරිය කරගන්නට යද්දී හේතු සාධක වූ බව පසක් කරගත්තාය..රාජකාරිමය වශයෙන් කිසිම විටක අඩුලුහුඬු කමක් ඇතිවන්නට ඉඩ නොතැබූ සඳමිණි පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් කිසිවක් සේවා ස්ථානයට රැගෙන ආවේ නැත....
.
" කට කැඩිච්ච ගෑනි....උඹ දුන්න උත්තරේ නියමයි...ගණන් ගන්න එපා බං...." සඳමිණි ගේ අත්බාහුවෙන් සෙමින් අල්ලා ගත් බියංකා මිමිණුවාය...
.
" නෑ බී....එයා අපහාසෙට කිව්වත් ...ඒක ඇත්ත...ඉස්සරහට අමාරු කාලයක් එයි...අනිවාර්යයෙන් ම...තනිවෙච්ච ගෑණියෙක් දික්කසාද වෙච්ච ගෑණියෙක් කීවම ලෝකය බලන හැටි....ප්‍රතිචාර දක්වන හැටි අපිත් දන්නවනෙ බී...." සඳමිණි මහත් ශෝකාකූල ස්වරයකින් මිමිණුවාය ...
.
" හ්ම්ම්....අපි බලමුකො බං ...ඔය හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...යං යං ඉක්මනින් කාල වැඩ පටන් ගන්න...." ....

සඳමිණි සිය අසුනට විත් ලිපිගොනු ටික පිළියෙළ කරන්නට සූදානම් වූවාය...කෙතෙක් ගැටලු ජීවිතය ට තිබුණද එය රාජකාරිය ට අදාල නොවේ...ඇය සුසුමක් හෙලා ලිපිගොනුවක් පෙරළා ගත්තාය....
.
කාලය ගෙවී ගියේ ඉබි ගමනින් දැයි සඳමිණි යළිත් අත බැඳි ඔරලෝසුව දෙස බලමින් කල්පනා කලාය...එක්කෝ මේ සිත තුළ ඇති කාන්සිය නිසාය...ජීවිතය නිදහස් වීම සම්බන්ධව සිත තුළ ඇත්තේ අප්‍රමාණ සන්තෝෂයක් වුවද ...සමාජීය වශයෙන් එන්නට පටන් ගන්නා අඳුරු සෙවනැලි....හිත අධෛර්යමත් කර ඇත...
.
කාර්‍යාලයෙන් නික්මී මගක් එනතුරු බියංකා සමගින් ආවද හතරමං හන්දියේදී සුපුරුදු ලෙස දෙදෙනා වෙන් වෙයි...
.
"බඩුමුට්ටු ඉවරයි බී....යනගමන් සුපර් මාකට් එකට ගිහින්ම යනව.... "
සඳමිණි සමුගනිමින් පැවසුවාය....
.
ට්‍රොලියද තල්ලු කරගනිමින් රාක්ක අතරේ ඇවිද යන අතර අවැසි බඩු එකිනෙක පුරවමින් ඇය කඩිනම් වූවාය...ඊයේ මෙන්ම අදත් මහ වැසි වැටුණ හොත් ත්‍රී රෝද රථය ඇනෙක්සියේ ගේට්ටුව වෙත වත් ගන්නට නොහැක....
.
බඩු මුට්ටු අඩකින් පිරි ට්‍රොලිය කවුන්ටරය වෙත රැගෙන යන විටම තවත් ට්‍රොලියක් ඒ හරහා විත් ගැටෙන්නට විය.... කඩිනම් බවකින් යුතු ඒ තැනැත්තා සඳමිණි දෙස එක් වරක් පමණක් බලා ට්‍රොලිය පසෙකට ඇද අතින් ඇයට යන ලෙස සන් කලේය...
.
"කමක් නෑ...හදිසි නම් ඔයා යන්න." සඳමිණි සෙමින් කීවාය...
.
" නෝ මැඩම් ඉට්ස් ඕකේ....ලේඩීස් ෆස්ට් ප්ලීස්...." මඳ සිනහවකින් යුතුව පිළිවදන් දුන් එම තැනැත්තා ට යළිත් ස්තුති කල සඳමිණි ඉක්මනින් කවුන්ටරය වෙත ලඟාවී බඩු බාහිරාදිය ඇය අතවූ ග්‍රොසරි බෑගයට දමාගත්තාය....
.
ආපසු හැරී නැවත ස්තුති කිරීමට බැලුවද ඔහු දුරකතන ඇමතුමකය...සඳමිණි ඉක්මනින් ත්‍රී රෝද රථයක් කැඳවාගෙන ඇනෙක්සිය වෙත පිටත් වූවාය....
.
ඇනෙක්සියට පැමිණ හෝරා භාගයක් යන්නට පෙරාතුව මහ හඬින් වැසි ඇද හැලෙන්නට විය.. අකුණු ගසමින් සුළං ඇඹරෙමින් බියකරුව කඩාහැලෙන වැස්ස ....දෙස තවත් බලා සිටිය නොහැකි තැන සඳමිණි පොරෝනයද ගෙන ඇඳට වැටුණාය....
.
නින්ද නොනින්ද අතර....ජීවිතය පුරා සිහිනෙන් ගෑ සුවඳක් බඳු අම්මා ගේ මතකය යළි යළිත් හිත පාරවමින් නෙත් අද්දර රටා මවන්නට විය...
.
අනේ අම්මේ ඔයාවත් උන්නා නම්....මං තනිවෙලා නෑනෙ එහෙනම්....
.
සඳමිණි ගේ ඉකිගැසුම මහා වැසි අතර සැඟවී නිසොල්මන්ව ගියේය.....


2 comments:

  1. එතකොට ඒ හැප්පුනේ උදාර වෙන්ට ඇති නේද???
    ආයේ කවද්ද උදාරව මුණ ගැහෙන්නේ???

    ReplyDelete
    Replies
    1. මම ප්‍රශ්න වලට උත්තර හොයන් එනකොට ඔයා දැන් හොයාගෙන ඇත්තෙ නේද

      Delete