Friday, May 29, 2020

06. පස් වෙනි දිග හැරුම(සඳක් සේ)



සඳුදාව බෙහෙවින්ම කලබලය.. සඳමිණි වෙනදාටත් කලින් කාර්‍යාලයට පැමිණියේ තව නොබෝ දිනකින් විශ්‍රාම ගන්නා ප්‍රාදේශීය ලේඛම් තුමා ගේ ලිපි ලේඛන වැඩ කටයුතු සියල්ල සකස් කලයුතු හෙයිනි...
.
ඉතා කාරුණික මිනිසත් බවෙන් පිරිපුන් රණවීර මහතා කවදත් සඳමිණිට සිය දුවෙකුට සේ සැලකුවේය.. තම පෞද්ගලික සහකාර ලිපිකාරිණිය ලෙස සේවය කළ සඳමිණිගේ උසස් අධ්‍යාපන කටයුතු ආදියට නිතර උනන්දු කරවීම් ලැබුණේ රණවීර මහතාගේ වදන් ඔස්සේය....
.
සුධීර හා විරසකය දුර දිග ගිය දින ඔහුගෙන් වෙන්ව වෙනම ජීවත් වන්නට පටන් ගත්දා.... 
උඹ එහෙනම් මම මලා කියලා හිතාගනින්...මට දුවෙක් නෑ....
යයි මහා තරහකින් වෛරී ස්වරයකින් කෑගැසූ...ඉන් පසු තමා අතැර දැමූ තාත්තා ගේ අඩුව....
අපි ඉස්සරහට මොකද වෙන්නෙ බලමු...ඔය දරුවා හිත හදාගන්නැයි.... කියා හිස මත අත තබා සැනසුවෙ රණවීර නම් වූ මේ මහා සෙවනැල්ලයි...සඳමිණිගේ දෑස යළිත් සිහින් කඳුලකින් තෙත් වීයන්නට විය....
.
" ආ දරුවො...ඊයෙ රෑත් මෙහෙද උන්නෙ...." දොර විවෘත කරමින් කාර්‍යාලය තුලට පැමිනෙන රණවීර මහතා සිනහවෙමින් ඇසීය...

" අනේ නෑ සර්..ටිකක් උදෙන් ආවා...සර්ගෙ මේ ඩොකියුමන්ට් ටික ඔක්කොම පිළිවෙලට හදන්න ඕන නිසා...." සඳමිණි ආයාසයෙන් සිනහවක් රඳවාගෙන පිළිවදන් දුන්නාය....
.
" හෙට උදේ මීටින් එකට ඔක්කොම හරිද සඳමිණි...."

" ඔව් සර්....ඔක්කොම කලා...ඒත් සර් ආයෙ බලන්න ඔය මේසෙ උඩ ඔක්කොම මම තියල තියෙන්නෙ " සඳමිණි අතැති ලිපිගොනු නැවත කබඩයට දමමින් පැවසුවාය....
.
" ඔයා ගෙ වැඩක කවදාවත් දෙපාරක් බලන්න දෙයක් තිබුණෙ නෑනෙ දරුවො...බදාද ඉඳන් අලුත් ප්‍රා.ලේ තුමා එක්ක තමා සඳමිණි ට වැඩ කරන්න වෙන්නෙ..." රණවීර මහතා සිනහසෙමින් පැවසීය....
.
" අනේ සර්...." සඳමිණි බිඳුණ හඬින් ස්වරය අවදිකලාය....
" අලුත් සර්.... අපේ සර් වගේ ම වුණොත් හොඳයි....ඒත් ...මට හිතට හරි අමාරුයි සර්....මගේ ජීවිතේ නරකම කාලෙ...මගෙ තාත්තා මාව අතාරිද්දි....මට තාත්තා වුණේ සර්...ඒත් දැනුත් මම ජීවිතේ මහ අමාරු කාලෙක ට ඇවිල්ල ඉන්නෙ ....සරුත් ගියාම....හ්ම්ම්ම්...." 

කිසිම දිනෙක ඕනෑම දෙය
ක් පැකිලීමකින් සැකයකින් අවිශ්වාසයකින් තොරව රණවීර මහතා හමුවේ දිගහැරි සඳමිණි යළිත් එසේ දොඩමලු වූවාය...
.
" අපි හැමෝම ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න හුරු වුණ අය සඳමිණි ...බය වෙන්න එපා අලුත් කෙනා මට වඩා හොඳ කෙනෙක් වෙයි...හැබැයි මං තරම් වයසක පප්පෙක් නම් නෙවේ කියලයි ආරංචිය...නීතියට අකුරට වැඩ කරන කෙනෙක් කියල හාහෝවක් ආවා....බය වෙන්න දෙයක් නෑනෙ....ඉතින් එතකොට ..." රණවීර මහතා මඳක් හඬනගා සිනහවෙමින් පැවසීය....
.
දිවා අහර විවේකයේදී බියංකා සමගින් ආහාර ගන්නා අතර සඳමිණි රණවීර මහතාගේ විශ්‍රාම ගැනීම ගැන යලි ත් හඬ අවදි කලාය.
.
" තාත්තෙක් වගෙ උන්න මනුස්සයා බී....මට මාරම දුකයි.... එන සර් මොන වගෙ කෙනෙක් වෙයිද මන්ද....මට මේ තියන ප්‍රශ්න එක්ක අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් කෙනෙක් වුණොත් හොඳයි...."
බත්පතට හිස යොමාගෙනම සඳමිණි ශෝකයෙන් මිමිණුවාය....
.
" බයක් නොගෙන හිටපන්...හෙට මීටින් එක නේද...අලුත් ලොක්කාත් එනව ඇතිනෙ...බලමු ආවම....ටිකක් ඇන්ටනාව දාල මොන වගෙද කියල..." බියංකා සිනාවූවාය....
.
.
***************************

උදෑසන රැස්වීම් ශාලාව කඩිමුඩියේ පිරීයන්නට පටන් ගෙනය...
සඳමිණි පිවිසුම් දොරට කලබලෙන් ඇවිද ආවේ රැස්වීම පටන් ගන්නට තවත් ඇත්තේ විනාඩි දහයක් පමණක් වන හෙයිනි.... කල්වේලා ඇතිව සියල්ල කලද අවසාන මොහොතේ රණවීර මහතා ට අවශ්‍ය ලිපිගොනුවක් රැගෙන ඒමට යළි කාර්‍යාලයට දුවන්නට විය....
.
පිවිසුම් දොර අසලදී තවකෙකුගේ ගත වැදී විසිව යන්නට ගිය සිරුර වාරුවූයේ දැඩිව අල්ලාගත් අතකිනි.....
.
" ආ යූ ඕකේ....මිස්...?" නෙතට ම නැඹුරු වූ දෑසකින් ගැඹුරු හඬකින් විමසනු  ඇසී සඳමිණි වසා ගත් දෑස හැරියාය....
.
" සස්...සස්....සමාවෙන්න ...මම දැක්කෙ නෑ එනව..." 
.
" ඒකට කමක් නෑ...ඇතුළට නෙ යන්නෙ...ලේඩීස් ෆස්ට්..." මඳ සිනහවක සේයාවක් පමණකින් රැස්වීම් ශාලාව දෙසට අත දිගු කල ඔහු ආපිට හැරුණේ...තවකෙකුගේ විමසීමකට පිළිතුරු දෙමිනි....
.
ස්තුතියක් වත් බලාපොරොත්තු නොවී ආපිට හැරුණ පුද්ගලයා දෙස තත්පර කීපයක් බලාඋන් සඳමිණි වහා රණවීර මහතා අසලට දිව ගියාය....නොසන්සුන් හැඟීමකින් හිත කලබල වී ඇත....
.
ඒ වචන කවදා හෝ මෙලෙසින්ම අසා ඇත....ඒ කවරදාක දැයි සිහියට නගා ගත නොහැකි තරම්‍ ය...
.
සඳමිණි උඩු තොලෙහි නැගි දාඩිය බිඳු අත්ලේන්සුවෙන් පිස දමා පසෙක වූ අසුනට බරවූවාය....
.
රැස්වීම ආරම්භයේදී කඩිනමින් විත් රණවීර මහතා පසෙකින් හිඳගත් ඔහු දුටුවිට සඳමිණිට හදවතේ ගැස්ම සිය ගුණයක් වැඩිවෙමින් දැනෙන්නට විය....
.
දෙයියනේ ඒ අලුත් සර් ද...එතකොට මං පිස්සියෙක් වගෙ ඒ හැප්පුණෙ සර්ගෙ ඇඟේද...දෙයියනේ මං මොකද කරන්නෙ...." වායු සමීකරණය කල ශ්‍රවණාගාරයේ දීද මහා දහඩියක් දමන්නට පටන් ගෙනය....
.
බියංකා හෝ ලඟක උන්නා නම්....අතකින්වත් අල්ලාගෙන හිත සනසා ගන්නට තිබුණි...ඇයද  දේශන ශාලාවේ අනිත් කෙලවරකය....
.
පස්සෙ සර්ගෙන් සමාව ගන්නව ....හිතල කල දෙයක් නොවෙයිනෙ මං....
සඳමිණි මුමුණා ගත්තාය... සභාවේ අස්කොන් සිසාරා යන ඒ තියුණු දෑස් වතාවක් හෝ දෙකක් තම වුවනත මත රැඳී යළි වෙනතකට යොමු වෙනු සඳමිණි තැතිගැන්මෙන් යුතුව බලා උන්නාය.....




2 comments:

  1. මුල කියවද්දී සඳමිණි ගේ තාත්තා ගැන ආපු තරහා ගතිය වැඩිවුණා...
    කලින් කොටසේදී තමයි තරහා ගතිය ආවේ...
    මේකේදී ඒක වැඩි වුණා...
    අලුත් කෙනෙක් එනවා කියලා දකිද්දිම හිතුනේ ට්‍රොලිය හැප්පුණු කෙනා වෙන්ට ඇති කියලා...
    එතකොට ඒ තමයි උදාර නේද???

    ReplyDelete