Friday, May 29, 2020
05. හතරවෙනි දිග හැරුම....(සඳක් සේ)
සෙනසුරාදා සහ ඉරිදාව කාර්‍යාල සේවයෙන් මිදෙන දින දෙක හෙයින් සඳමිණි කාමරය අස්පරස් කරදමන්නට වූවාය.... කියන්නට තරම් අස්පරස් කිරීමක් නැතද... කාන්සිය මගහරවා ගන්නට කිසිදු දෙයක් කරන්නට ඇත්තේද නැති තැන....කාමරයේ බඩුමුට්ටු එහෙට මෙහෙට අදිමින් වෙනසක් කරන්නට සඳමිණි ආයාසයක් දැරුවාය.......
.
"දරුවෝ ... සඳමිණි දූ...."
ප්‍රධාන ගෘහයේ ගෙහිමි කාන්තාව දොර අසලට විත් අමතනු ඇසේ...සඳමිණි කඩිනමින් දොර වෙත දිව ගියාය....
.
" මොකෝ පුතේ මේ දාඩියත් දමාගෙන...."
ඇය ඇත්තෙන්ම ප්‍රියමනාපය....සිනාමුසුව මෞහත් ගුණයෙන් සිටින්නීය...
.
" කාමරේ චුට්ටක් එහෙට මෙහෙට කලා ඇන්ටී...එකම විදියට තියෙද්දිත් කම්මැලී නේ...." සදමිණි ඇය ගේ අතින් අල්ලාගෙනම තෙපළුවාය....
.
" එහෙම තමා ඉන්න ඕන...හැම දේම වෙනස් වෙන්න ඕන...මෙන්න මේ වගෙම....මගෙ දූට වරදින්නෙ නෑ දූ...." ගෙහිමි කාන්තාව අතේ වූ පීරිසිය සඳමිණි අත තැබුවාය...
.
"අන්නේ.....පෑන්කේක් ....තැන්ක් යූ සෝ මච් ඇන්ටී.. "
" මං දන්නවනෙ පෑන් කේක් හැදුවම ආසම කෙනා කවුද කියල....ඉතින් හවස හැදුවම ඔන්න පංගුව ගෙනාවා ...."
.
නැවත වරක් සඳමිණි ගේ හිස අතගාගෙනම ඇය නික්මී ගියාය... සියලු වැඩ පසෙක ලා වැරැන්ඩාවේ පුටුවට බරවූ සඳමිණි පෑන්කේක් කොටසක් මුව ලා ගත්තාය.....
.
"තමුසෙ නම් හදන්න බෑ සඳමිණි...මොන ජරාවල් ද මේ කන්නෙ..... " පෙර දවසක නිවසේදී පෑන්කේක් සෑදූ දිනක සුධීර ගෝරනාඩු කල අන්දම විදුලි කොටන්නා සේ මනසේ ඇඳී මැකී ගියේය..... තමන් ආසා කල කිසිම දෙයකට සුධීර කැමති වූවාදැයි තමන්ටම සිතාගත නොහැකි අන්දම සඳමිණි කල්පනා කරන්නට වූවාය...
.
බොහොමයක් සුන්දර මතකයන්හි අසුන්දර සේයාවන් දැවටුවේ සුධීරමය. අද ඒ අසුන්දර මතකයන් වෙතින් ජීවිතය නිදහස් වී ඇත....එහෙත් ජීවිතයේ සුන්දරත්වය විඳගන්නට තිබූ අපූරුම අවුරුදු ගණනාවක් නිකරුනේ නාස්ති වී යාම දුකක්මය...
.
ප්‍රේමය කුමක්දැයි ජීවිතය ට හඳුනාගන්නට කිසිවිටෙකත් දෛවය ඉඩ තැබුවේ නැත. පාසල් ඉගනීම හමාර කර විශ්ව විද්‍යාලය ට ගියද ප්‍රේමයේ සෙවනැල්ලක් ජීවිතයට වැටෙන්නට තාත්තා ඉඩ දුන්නේම නැත. ඒ දරදඬු පාලනය නිසාම ප්‍රේමය හිත අහලකටවත් එන්නට කිසිදු ඉඩක් සඳමිණි තබාගත්තේද නැත ...කෙතෙක් දරදඬු වුවත් අම්මා නැති වූ දා පටන් තමා ලොකු මහත් කලේ ...රැක බලාගත්තේ තාත්තා හෙයින් ....සඳමිණි ට තාත්තා ගැන අහිතක් හිතුණේද නැති තරම්මය.....
.
ජීවිතය ගලා ගියේ මෙයාකාරවය....ඒ සියලු දේ ඉතින් දැන් අයිතිවන්නේ අතීතයට මිස කවරකටද ....? සඳමිණි සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගෙන නැගී උන්නාය....
.
කාමරයේ සාංකාව මැකී යන්නට ජංගමයේ ගීත ගබඩාව ක්‍රියාත්මක කල ඇය දොරවසා ලූවාය....
.
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී.......
.
ගීතයේ පද අතරින් නිදිසුව දෑසට එන විටත් ....සිහින් සියුම් සිනහවක් ඒ දෙතොල් අග යාන්තමට මෝදු වෙමින් තිබිණ......
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment