සුභාෂිණීගේ ජංගම දුරකථනයේ වට්ස් ඇප් ගිණුමේ කෙටි පණිවිඩ තීරුවට තිසර රණබාහු විසින් එවා තිබූ බෙහෙත් තුන්ඩුව ද සුභාෂීණීගේ බෑග් එතුළ වූ බෙහෙත් ද එකින් එක ගැලපුණි. තිසර රණබාහු සහ සුභාෂිණී අතර අතීත සැබැඳියාව කෙසේ වුවද සුභාෂීණී මේ මොහොතේ දී ක්‍රියා කරන්නට ඇත්තේ සද්භාවයෙන් පමණක් බව සරෝජ් විශ්වාස කළේය.ඒ තරම්ම අවබෝධයක් ඔවුන් අතර වසර ගණනාවක් තිස්සේ පැවතුන හෙයිනි. සුභාෂිණී තමාහට වංචාවක් කරනු ඇතැයි සරෝජ් පිලිගත්තේම නැත.කෙසේවතුදු යළිත් වතාවක් තමන් හුදකලා වූයේ දෛවයේ ඉරණම ලියවුණ ආකාරයටමය.
සුභාෂීණීගේ නික්ම යෑම ද සමගින් සරෝජ් හිරිපිටිය යළිත් වතාවක් සිය හුදකලා ජීවිතයට අනුගත වන්නට විය. තාත්තා සහ අම්මා ළඟ ළඟ වසරවලදී මියගිය අතර ,අක්කා දේවක සමගින් විදෙස්ගත වූ හෙයින් සරෝජ් හිරිපිටිය සිය නිවස්නයේ හුදෙකලා වූයේ සුභාෂිණී ඉතිරි කර ගිය මතක සමගිනි.
සිරිදාස සමගින් හුදකලා නිවස්නයේ ජීවිතය ඔහේ ගතවී ගිය ද සරෝජ් හිරිපිටිය සිය ජීවිතයට කිසිදිනක වෛර කලේ නැත. කාලයක් ගත වී යත්ම සරෝජ් හිරිපිටිය අනාවරණය කරගත්තේ තිසර රණබාහු පිළිකා රෝගයකින් දැඩි ලෙස රෝගාතුර වී කාලයක් තිස්සේ ලෝකයට හොරෙන් සැඟව සිටි බවය.එහෙත් ජීවිතයේ අවසාන දින කිහිපයේදී ඔහු සුභාෂිණී හමුවීමට සිතේ වූ කැමැත්ත තව දුරටත් සඟවා ගත නොහී ඇයට ඇමතුමක් දී තිබේ.එහිදී ඔහුගේ මරණය අවසාන වතාවට තවදුරටත් කල් දමා ගැනීමට අවශ්‍ය වූ බෙහෙත් වර්ග කිහිපයක් ගැන සුභාෂිණීට හෙදියක හරහා දැන්වීමත් සමගම කලබල වූ ඇය බෙහෙත් ටික අදාල ඖෂධාගාරයෙන් රැගෙන කලබලයෙන් ඔහුවෙත රෝහලට යන්නට ගිය මොහොතේ එම අනතුර සිදුව ඇත. වසර ගනනාවක් ආදරය කල ඒ පුද්ගලයා පිළිබඳ මතකය සුභාෂිණීහට වද දෙන්නට ඇතැයි සරෝජ් ඒ මොහොතේදී සිතුණි .ප්‍රේමය ජීවිතයට සතුට ගෙනඑන්නට අසමත් වූයේ මන්දැයි ඔහු කල්පනා කලේ තිසර රණබාහු සහ සුභාෂිණී ගැනද තමා ගැනද උපන් වේදනාවෙනි.
කලකට පෙර තමා දැවූ මතකය සහ වේදනාවන් සුසුමකට හරවා නිවේතාගේ සටහන් පොතේ ඇය ලියා තැබූ කරුණු කාරණා යළිත් කියවන්නට සරෝජ් සිය කාමරයේ මේසය අසල පුටුවට බරවගත්තේය.
(නිවේතාගේ තුන්වැනි පොතෙහි සටහන්)
සුභාෂිණීගේ අකල් මරණය මා කම්පනය කළේ දරාගන්නට අපහසු තරමේ වේදනාවක් උදාකරමිනි. සරෝජ් අයියාගේ ජීවිතය සතුටින් තබන්නට සමත්වූ ඒ සොඳුරු ගැහැණිය එසේ දෛවයේ රුදු ඉරණමට ලක්වීම කෙතෙක් අසාධාරණද ? මා සිත දවන්නාවූ ශෝකය පවා සරෝජ් වෙත මට දන්වාලන්නට නොහැකි වීම මා ලද අනෙක් දඬුවමයි.
මා එසේ මාගේ ශෝකය ප්‍රකාශ කරන්නට ගියා නම් ඔහු එය වරදවා වටහාගනු ඇතැයි මම සත්තකින්ම බියවීමි. මෙතුවක් කල් වදනකුදු නොදොඩා උන් මා ගැන ඔහු සිත තුළ ඇතිව ඇත්තේ කුමන හැඟීමක්දැයි ඉතින් මම අදටද නොදනිමි.
සියල්ල ගතව කලක් ගෙවුණ පසු මානවී සහ හසිතගේ විවාහය වෙනුවෙන් යළි ශ්‍රීලංකාවට යන්නට මමද නිලීකා සමග සූදානම් වුණෙමි.ඔස්ට්‍රේලියාවට පැමිණ ගතව ගිය දිගු කාලයේදී මා යළි ලංකාවට ගියේම නැත.තාත්තා ගේ මරණයට පවා මට යන්නට සිත්දුන්නේද නැත.
මානවී සහ හසිතගේ විවාහය ශ්‍රීලාංකික අන්දමට සිදුකරන්නට ඔවුන්හට දැඩි ආශාවක් තිබූ හෙයින් ඒ සඳහා සියල්ල ලහිලහියේ සූදානම් කරනු ලැබීය.
"අම්මි, හසීගෙ පැත්තෙන් සයින් කරන්නෙ එයාලගෙ ලොකු මාමා."
මානවී කතාබහ අතරමග නවතා මදෙස බැලුවේ දඟහිනාවකිනි. කුමක් හෝ ඇට්ටර කමක් කරන්නට ගිය විට ඇයගේ මුහුණේ මතුවන ඒ හිනාව මම හොඳින්ම හඳුනාගෙන උන් හෙයින් විමසුම් දෑසින් මම ඇය වෙත දෑස් පෑවෙමි.
"මැඩම්....මගෙ සයිඩ් එකෙන් ඉතින් සරෝජ් අංකල් තමා සයින් කරන්නෙ.යූ කාන්ට් සේ නෝ..ඕකේ?"
මානවී මගේ කොපුල් දෑතින් බදා සිපගනිමින් පැවසුවාය. ඇයගේ සහ සරෝජ්ගේ අතර මානවී ඉතා බිළිඳු වියෙහි පටන් නොනැසී පැවතුණු ඒ ආදරය සහ බැඳීම ඇය ඔස්ට්‍රේලියාවට ආ පසුද නොනැවතුණ බව මම දැන උන්නෙමි. ඇයට සිය ලේ බැම්මක් නැතද බෙහෙවින්ම ආදරය කළ සරෝජ් තරමටම ඒ කර්තව්‍යයට සුදුසු අන් අයෙක් මටද සිතාගන්නට නොහැක.නමුත් මා හට තිබූ එකම පැණය මා කෙලෙසක ඔහුට මුහුණ දෙන්නද යන කාරණය විනා අන්කිසිවක්ම නොවේ.
සුභාෂිණී ජීවතුන් අතර උන්නේ නම් ඇයද ඔහු සමගින් මානවීගේ විවාහයට එනු ඇත. එසේනම් මට මගේ සිත අභ්‍යන්තරය වාවාගෙන සිනාවතින් පෙරසේම ඉන්නට තිබුණි.නමුත් දැන් ඔහු එන්නේ තනිවමය.මට ඇත්තේ ඔහුට මුහුණ දෙන්නට නොහැකි චකිතයකි.කිසිදු වරදක් නොකළද මට මහා වරදකාරී හැඟීමක් ඇතිවෙමින් තිබුණි.
මානවීගේ විවාහය දා නිවේතා තමන්ගෙන් සැඟව උන් ආකාරය සරෝජ් හිරිපිටියට ඒ මොහොතේ සිහිවිය. පෙර දිනක නිලීකාගේ නිවසේදී හමුවන විටද ඇය පැකිළ පැකිළ උන්නේද ඔන්න ඔය ආකාරයටමය. රිදෙන තැන් බලා පහරදීම තමන්ගේ සිරිතක් නොවූවද ඒ මොහොතේ තමා ක්‍රියාකළේ පාසල් සමයේ පෙම්වතිය හා උරණ වූ දඟ කොල්ලකු සේම නොවේදැයි සරෝජ් හට සිතුණි.
තමන්ගෙන් මුවා වෙමින් සිටිනා නිවේතා වෙත සෘජුවම ගොස් කතාකරන්නට එදා තමන්හට සිත්වූයේ ඒ හිතුවක්කාරකම නිසාමය.
"කෝ හස්බන්ඩ්. කවුද මේ නම ...ම්..ම්...ආ..ඇලෙක්ස් නේද ?"
කට කොණකට නැගුණ සමච්චල් සිනහවෙන්ම තමා ඇසූ ආකාරයත් එයට මුනිවත රැකි නිවේතා තමා මඟහැර යා නොහී බිම බලා උන් බවත් ඔහුට සිහිවිය.
"තමුන් සෙල්ලම් කළේ ජීවිත කීයක් එක්කද කියලා මතකද නිවේතා? තමුන්ට ඒක අමතක උනාට මට ඒක අමතක වෙන්නෙ නෑ තේරුණාද? මම කවුද දන්නවනෙ...සරෝජ්...සරෝජ් හිරිපිටිය කියන්නෙ මට. අපි බලමුකො"
බිම බලා සිටිනා නිවේතාගේ හිස මතට අතැඟිල්ලෙන් තට්ටුවක් දමා තමන් එදා කළ අභියෝගය ඇය කෙලෙස බාරගත්තාද යන්න තමා නොදැන උන්නද නිවේතා ඒ ගැන අනිවාර්යයෙන් මෙේ පොතෙහි ලියා තබන්නට ඇත.
(නිවේතාගේ සටහන්)
සරෝජ් අයියා මානවීගේ විවාහ උත්සවය අතරේ මා කොටුකරගත්තේ පළා යා නොහැකි අන්දමට හුදෙකලා වූ තැනකදීය. පටු කොරිඩෝරයේ කිසිවෙක් නොඑනා තැනක මම බිම බලාගෙන නිරුත්තරව උන්නෙමි.
ඔහුගේ මුවින් පිටව ගත් එවදන් මා හට තර්ජනයක් දෝ කියා සිතාගන්නට නොහැකි තරමට තද එකක් විය.ඔහු මා සමග තරහක් , කෝපයක්, වෛරයක් ඇතිකරගෙන සිටිනු ඇතැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි.එහෙත් අවසානම ලෙස "අපි බලමුකො" යැයි ඔහු මහිසට තට්ටුවක් දමමින් කියනාවිට මට දැනුණේ මේ ඔහු විසින් මට අභියෝගයක් කරනවා සේමය.
ඉතින් එතැන් පටන්ම මා යළිත් ඔහුගෙන් සැඟවෙන්නට පටන් ගතිමි.ඔහු යන එන සියලුම තැන්වලින් මගහැරීමට සිතාමතාම තීරණය කළෙමි.මගේ ඒ සියලු ඇවතුම් පැවතුම් විටෙක දකින්නාට මහා විහිළුවක් වන බව මා නොදැන උන්නා නොවේ.නමුත් ඒ සම්බන්ධයෙන් මට ගන්නට කිසිදු වෙනත් පියවරක් මා හමුවේ දී නොතිබුණි.
විවාහ මංගල්‍යයෙන් පසු මානවී හසිතගේ නිවසේ පදිංචියට ගියාය.මා ද එහි කැඳවා ගැනීමට ඔවුන් දෙදෙනා මෙන්ම හසිතගේ දෙමව්පියන්ද මහත් වෙර වීරිය දැරුවද මම එයට අකැමැතිවීමි.මා හට කවදත් අවශ්‍ය වූයේ නිදහසය. ඒ වෙනුවෙන් ලංකාවට පැමිණීමට පෙර සිටම මම මගේ කුඩා පෞද්ගලික නිවහන ගොඩනැගීමට පියවර ගනිමින් සිටියෙමි.එහි වැඩ කටයුතු අවසන් වන තුරු මා නැවතුනේ කුලී පදනමට ගත් කුඩා අපාර්ට්මන්ට් එකකය. නිලීකාගේ අම්මා සහ තාත්තා ඔස්ට්‍රේලියාවට ගියේද මේ වකවානුවේ හෙයින් ඔවුන්ගේ සියලු ඉඩකඩම්ද විකුණා දමා තිබුණි. ඒ අතර වූ මා ඉතා කැමැත්තෙන් සිටි කුඩා බිම් කඩක් මා මිලදී ගත්තේ රත්නායක මාමාගේ බලවත් අකමැත්ත මතය.
"අපි පිට මිනිස්සු ද අපිට සල්ලි දීලා ඉඩම් ගන්න හදන්නේ"
ඒ දෝෂාරෝපණය සිනහවකින් ඉවසා ගත්තද ඔවුන් මා වෙනුවෙන් කරන ලද සියලුම දේ ප්‍රමාණයටත් වඩා හෙයින් තවදුරටත් ඔවුන් හට බරක් වීමට මට කිසිම අවශ්‍යතාවයක් නොවීය.
"My Heaven" හි වැඩ සියල්ල අවසන් වී මම එහි ගෙවැදුණේ ජීවිතයේ ඉතිරි කාලය හුදකලාවේ මුත් සැනසීමෙන් ගෙවා දමන්නටය. මා සොයන්නා වූ සැනසීම කිමෙක්දැයි ඇත්තෙන්ම මම වත් නොදැන උන්නෙමි.
"අම්මි, ඔයා මං නිසාම ජීවිතේ සතුටක් නොවිඳ කැපවුණා. ඔයා දුකෙන් ඉන්නව කියල කවදාවත් නොපෙන්නුවට ඔයා සතුටෙන් උන්නෙ නෑ කියලත් මම දන්නවා අම්මි. ඔයාගේ සතුට තියෙන්නෙ එකම එක තැනක විතරයි.ඒ සරෝජ් අංකල් ලඟ. අම්මි වයි ඩෝන්ට් යූ .."
මානවී හසිත සමගින් නිවෙසට ආ දිනයක ඇරඹූ කතාව අතරමග නැවතුණේ මගේ රැවුම් බැල්ම හා සමගිනි.
"කවදා ඉඳන්ද කපුකමට බැස්සෙ චූටිදුව? ඔයා කිසිදෙයක් නොදැන වගෙ ඔහොම කියවන්නෙ ඇයි? ලැජ්ජා නැද්ද? මේ ඔක්කොම වුණාට පස්සෙත් මට එයා ලඟට එහෙම යන්න පුළුවන් ද?"
මම කෑගැසීමි. හසිත මා දෙවුර වටා අත යවා මා සන්සුන් කරන්නට තැත් දැරිය.
"අම්මි, ප්ලීස් කාම් ඩවුන්, පොඩ්ඩක් බබී කියන දේත් අහන්න අම්මි. මමවත් බබීවත් අපේ කිසිම කෙනෙක්වත් ඔය දෙන්නාගේ ජීවිතවලට ඇඟිලි ගහන්නෙ නෑ අම්මි."
හසිත බොහො දැනුම් තේරුම් ඇති දරුවෙකි.එහෙත් මේ මොහොතේ මාහට දැනුණේ මා අසරණ ව ගියා සේ හැඟීමකි.
"මං එයාට ආදරේ කළා..ඇත්ත ...ඒත් මට එයා නැතිවුණා.ඒක එයාගෙවත් මගෙවත් වරදක් නෙවේ. ඒත් මට එයා ලඟට යන්න එදත් හිත හදාගන්න බැරිඋනා...අදත් මට බෑ....අද ත් බෑ බෑමයි දෙයියනේ මට බලකරන්න එපා දරුවනේ. මේ ජීවිතේ ගෙවිලා ගිහින් දැන්..ආයෙ පටන් ගන්න කාලයක් මට නෑ"
මම මහාහඬින් හඬන්නට වූයේ සිතේ වූ ළතැවුල් සියල්ල එක්කරගනිමිනි.
එදායින් පසු මානවී හෝ හසිත යළි මාහට මේ සම්බන්ධයෙන් කිසිවක්ම පවසන්නට නොපැමිණියහ.
***
එතනින් අනතුරුව නිවේතාගේ සියලුම සටහන් පිළිවෙලකට නොවීය.සරෝජ් හිරිපිටියට එතනින් ඔබ්බට සිදු වූ දේ ඒ පොත හරහා කියවන්නට අවශ්‍ය ද නොවීය.මන්ද එතැන් පටන් ඇය කළ කී දෑ සියල්ල තමන්ගේ ඇස් මානයේ තිබූ හෙයිනි . එමෙන්ම නිවේතා සම්බන්ධ සියලුම කාරණා මානවී ඔස්සේ ඔහුට දැනගන්නට ලැබුණු හෙයිනි.
නිවේතාගේ ඒ සටහන් පොත් සමගින් තිබූ තරමක් ඝන කවරයක් සරෝජ්ගේ අත ගැටුණේ තුන්වෙනි පොත ද පසෙක තබන්නට සැරසුණු මොහොතේය.
මෙයාගෙ රහස් ගබඩාවේ කෙළවරක් නෑ වගේ
තමන්ගේ යටි හිතට සිනහා වෙමින් සරෝජ් හිරිපිටිය පොත පසෙක තබා එම කවරය දිග හැරියේය. සිත සානුකම්පාවෙන් බරවන්නට මහා වේලාවක් ගියේ නැත.
තමා මුල්ම දවසේ පටන් විටින් විට ඇය අත පත් කළ ටොෆි චොක්ලට් දවටන පවා එම කවරයේ සුරක්ෂිතව තිබුණි.ලෝකයට කෙතෙක් වසැංගුවද නිවේතා තමන්හට තිබූ ආදරය ඉතින් තවදුරටත් තවදුරටත් රහසක් නොවේ. සරෝජ් හිරිපිටිය කවරය තුළ වූ විවිධාකාර දේ රැගෙන බලා නැවත ඒ තුළටම දමා සුරක්ෂිතව වසා තැබුවේය.
ඉතින් තමන් දෙදෙනාගේ කතාවේ මෙතුවක් කල් තමා නොදුටු නිවේතාගේ පැත්ත අනාවරණය වී සියළු සැක සංකා දුරු වන්නට ඉඩ හසර ලැබුණි.
අතීතය කෙතෙක් තමන් දෙදෙනාට ම අකාරුණික වුවද තම තමන්ගේ ජීවිත ගලාගියේ දෛවයට ගැලපෙන ගැළපෙන ආකාරයටය. ඉතින් ඒ අතීතය කෙසේ වුවද අනාගතය තවදුරටත් එසේ විය යුතු නොවේ. තම තමන්ගේ ජීවිත වල පාලනය දැන් හෝ තම අතට ගත යුතුය.එහෙත් මේ වන විට උද්ගත වී ඇත්තේ පෙරටද වඩා බරපතල තත්වයකි. ජීවිතය යනු අභියෝගයන් පමණක්මදැයි ඉතින් සිතන්නට සිදුව ඇත.
සරෝජ් හිරිපිටිය නිවේතාගේ පොත් සහ සෙසු දේ නැවත පෙරසේම ගෙන ආ රෙදි බෑගයට දමා සිය අල්මාරියේ ලොකරයක තැන්පත් කළේය.
"හොඳයි දැන් අපේ ලෙඩාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනවා. ලෙඩාගෙ අවදානම් තත්ත්වය දැන් හුඟක් දුරට නැති වෙලයි තියෙන්නේ.අපි ඉදිරි වැඩ කටයුතු දිගටම ඒ විදියටම කරගෙන යමු"
ස්නායු ශල්‍ය වෛද්‍යවරයා සිය ඉදිරිපස අසුන්වල හිඳ ගෙන සිටින මානවී , හසිත සහ සරෝජ් වෙත වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් උන්නේය.ඔහුගේ බසට සවන් දෙමින් උන්නද සරෝජ් හිරිපිටියගේ මනසේ වූයේ නිවේතා වෙත යෑමට ඇති ඉමහත් නොසන්සුන් භාවයයි.
"මම මේ කොච්චර කිව්වත් ඇති වැඩක් නෑ වගේ.දුව, අඩු තරමේ ඔයාවත් මං මේ කියන දේවල් අහගන්න. මෙතන ඉන්න වගකිවයුතුම පුද්ගලයාගෙ ඔලුව තියෙන්නෙ මෙතන නෙමෙයි. කඩි ගුලක් උඩ වාඩිවෙනවා වගේ ඉන්නේ."
ශල්‍ය වෛද්‍යවරයා සිය පාසැල් මිතුරා වූ සරෝජ් දෙස බලමින් සමච්චල් සහගත ස්වරයෙන් පැවසුවේය. සරෝජ් තිගැස්සී මෙන් හිස ඔසවා ඔවුන් දෙස බැලුවේ සියල්ලන්ගේම සිනහා වත තමා වෙතට එල්ල වී ඇති බැවිනි.
"ඇති ඇති ඉතිං ඔය කියෙව්වා. ලෙඩාගෙ responsibility එක තියෙන්නෙ කොහොමත් ඔය දොස්තර අතේනෙ. ඉතින් ඩේලි ඔයටික ආයෙම අහගන්න වෙන බව මං දන්නවා."
සිතේ ඇතිවූ ලැජ්ජාව යටපත්කරගනිමින් සරෝජ් පැවසුවේ හුනස්නෙන් නැගිටිමිනි. වෛද්‍ය මිතුරාගේ කාමරයේ ජනේලය කෙලින්ම මුහුණපා තිබුණේ ඈත පෙනෙනා ඉසව්වකටය. කොන්ක්‍රීට් ගොඩනැගිලි බහුල වනාන්තරයක් බඳු පෙදෙසක ඉඳහිටක ඈත පෙනෙන කොළ පැහැති තුරු හිස් පිරි මාවත් කොහේදැයි නිර්ණය කරගන්නට මෙන් සරෝජ් හිරිපිටිය මොහොතක් කල්පනා කළේය.
ඈත අහසේ පියා සලන පරවි ජෝඩුවක් එක එල්ලේ බලා සිටින සරෝජ් හිරිපිටියගේ ඇසට හසු විය. අහසේ පියාසර කරන අතරේදීම උනුන් හා එකට ගැටෙමින් හාද කම් පානා කුරුළු ජෝඩුව සරෝජ්ගේ මුවගට ගෙන ආවේ අමුතුම සිනහවකි. නිල්වන් අහසේ සුදු වලාකුළු අතරේ තටුසලන කුරුලු යුවල දෙස සරෝජ් නිනව් නැති සේ බලාඋන්නේය.
"ඇති ඇති මනෝ ගැහුවා.යන්නේ නැද්ද අද බලන්න "
මානවී පිටුපසින් පැමිණ ඔහුගේ පිටට අත තබා ඇසුවේ මුහුණට ද එබමිනි. සරෝජ් මඳ සිනහව පිරි මුවින්ම ඇයවෙත හැරුණාය.
"සිහිකල්පනාව ආවම මොන නැටුමක් නටයි ද කියලයි මට බය"
සරෝජ් පියවරක් ඉදිරියට තැබුවේ මානවීගේ අතින් අල්ලා ගෙනය.
නිවේතා උන් සයනය වටා තිර ඇද ආවරණය කර තිබූ අතර සරෝජ් මානවී පෙරට යවා ඇය පසුපසින් ඒ ආවරණය වෙත පිය නැගුවේය.සයනයේ වැතිර උන් නිවේතාගේ රුධිර සාම්පලයක් ගනිමින් උන් හෙද නිලධාරිනිය මඳ සිනහවක් පා ඇයගේ කාර්‍යය අවසන් කොට ඉවතට ගියාය.
"අම්මි පැට්ටා, කොහොමද ඔයාට සුදූ"
මානවී අඩියට දෙකට අම්මා අසළට පැන්නාය. ඉතින් තව බොහෝ වේලාවක මේ දෙදෙනාගේ කෝළම් බලන්නට සිදුවන බව දන්නා හසිත සරෝජ්ට ඉඟියක් පෑවේය.මානවී අම්මාගේ වතට සිපුමක් තබමින් ඇයගේ හිස අතගෑවාය.ඇය එක එල්ලේම සිය දියණියගේ වත දෙස බලා උන්නාය.
"තූටි දූ"
පැටලි පැටලී එන වදන් වල ඇත්තේ අමුතුම බස්වහරණයකි. එය මුවේ මාංශ පේශිවල අප්‍රාණික බව නිසා විය යුතුය. නිවේතා සිනාවෙන විට පවා මුහුණේ දෙපස සමතුලිත භාවයේ මඳ අඩුවක් පෙනෙයි.
ආත්මය දවායන්නාවූ බඳු හැඟීමකින් සරෝජ් හිරිපිටිය පෙළෙන්නට විය.ඇයගේ කතාබහ එතරම් ගැටලු සහගත නොවීමම සතුටට කාරණයක් වුවද සෙසු කාරණා කෙසේවී ඇත්දැයි සිතාගන්නටද තවමත් නොහැක.
"මං කෑම ගෙනාවා. අපි කමුද ?"
මානවී වහ වහා නානකාමරයට ගියේ අතසෝදාගෙන එන්නටය.නිවේතා සයනයේ විට්ටමට බර දෙමින් නැගී සිටින්නට වෙරදැරුවාය.එහෙත් ඇයට වාරු ගත හැක්කේ එක් පසකට පමණක් හෙයින් යළි උන් තැනම ඔහේ බලා උන්නේ දෑසට කඳුලු පුරවාගෙනය.
සරෝජ් එක එල්ලේම ඇයගේ වත දෙස බලාඋන්නේය.ඉන් පසු පියවර කිහිපයක් තබා ඇය වෙතට ගියේය.නිවේතාට සිතාගන්නටද මොහොතක් නොතබා ඇය සිය දෑතට ඔසවා ගත්තේ හසිතට ඇඳවිට්ටමට කොට්ටය තබන්නැයි ඇසින් ඉඟිකරමිනි.සරෝජ් ගේ දෑතින් ඉහළට එසවී යන මොහොතේ නිවේතාගේ තිගැස්සීම සමග ඉබේම ඇයගේ දෑත් ඔහුගේ ගෙල වටා එතීගියේය.
***
යළි හමුවෙමු
කිත්මා වාසනා දහනායක
( විසිරි සිහින)
+++++++++++++++++
ReplyDeleteLove it....
ReplyDeleteඅම්මෝ,
ReplyDeleteගොඩාක් දාලා...
කියවලා එන්නම් මෙතැනට,,,