Sunday, May 22, 2022

19. දහනව වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )




 හසිත වහ වහා ගෙන ආ රෝදපුටුවට නිවේතා මාරුකළේද සරෝජ් විසිනි. සේවකයකු විසින් විවෘත කළ දොරෙන් ඇතුළට රෝදපුටුව තල්ලුකොට ගෙන යන ඔහුගේ අතක උණුසුම සිය උරහිසට දැනෙද්දී ඇසට ගලාඑන කඳුලු වලකාගන්නට නිවේතා අසමත් වූවාය. ඒ කඳුල ඉකියක්ව පිටට නොඑන්නට දරාගනිමින් ඇය නෙතුපියාගෙනම උන්නාය.

" ට්‍රීට්මන්ට් වලට පහසු නිසා මං පහළ තට්ටුවේ කාමරයක් සූදානම් කරන්න කිව්වා. චූටිදුව ගිහින් පොඩ්ඩක් බලන්න ඔක්කොම හරිද කියලා. ඒක හරි නැත්තම් අපි වෙන කාමරයකට ශිෆ්ට් වෙමු"

සරෝජ් පහළමාලයේ කාමරයක් අසළ නැවතෙමින් මානවීට පැවසුවේ ඇසින් නිවේතාද සමගින් ඇතුළට යන ලෙස පෙන්වමිනි.ඇයට සුවපහසුව කෙතෙක් සැලසුවද ඇයගේ රුචිකත්වයට එය ගැලපේදැයි සිතාගන්නට නොහැකි හෙයින් ඊට කාලය දිය යුතුය.

මානවී නිවේතාගේ රෝද පුටුව හසිතට කාමරයට තල්ලු කරගෙන යන්නට ඉඩ දී ඒ පසුපසින් කාමරයට ඇතුළු වූවාය. නිවේතා කාමරය සිසාරා එකම ඇස් බැල්මක් හෙළුවේ තමා කැමති හැමදේම සරෝජ් කෙසේ වටහාගෙන ඇත්දැයි අදහා ගන්නට බැරි තරම් විමතියෙනි.

සරෝජ් සහ තමා අතර කතාබහ සංවාදයන් පැවතුණේ අල්ප කාලයකි.ඒ ගතවූ කාලයේ හෝ තමන් දෙදෙනා අතර සිය රුචි අරුචිකම් සම්බන්ධයෙන් කිසිවක්ම කතබහට ලක්නොවූ බවද නිවේතාට සිහිවිය. මානවී සහ නිලීකා වෙතින් දැනගන්නාවූ යම් යම් කාරණා මිසක සරෝජ් මේ සා තමා ගැන වටහාගන්නට ඉඩක් නොමැත. ඒ පැනයද හිත තබාගෙනම විමතිය මුසු බැල්මෙන් නිවේතා මානවී දෙස බැලුවාය.

"මගෙ දිහා ඔහොම බැලුවාට ඉතින් මට කියන්න දෙයක් නෑ සුදූ. මේවා ඔක්කොම සරෝජ් අංකල්ගෙ වැඩ"

මානවී ඇයගේ වතට එබෙමින් පැවසුවාය.

"ඇයි කාමරේට කැමති නැද්ද ?වෙනස් කරන්න ඕනද ? නැත්නම් වෙන කාමරයක් බලමු" 

සරෝජ් පැමිණ සිටියේ තමා අසලටමය.නිවේතා හිස දෙපසට වනා එය එසේ නොවේ යැයි පැවසුවාය.මීට වඩා සිත නිවාලන තැනක් ඇත්නම් ඒ තම නිවසම පමණි.

"තව ටිකකින් නර්ස් ඒවි. ඒ ආවම චේන්ජ් කරගෙන ඇඳට මාරුවෙමු. චූටි දුව එහෙනම් නර්ස් ආවම කරන්න ඕන දේවල් ටික කියලා දෙන්න.මම උඩ රූම් එකට යනවා.ආ..ඔයාටයි හසිතටයි මෙතන නෙක්ස්ට් රූම් එක ඇරේන්ජ් කරල ඇති.නර්ස් ආවම පොඩ්ඩක් රෙස්ට් කරල ඉන්න"

කාන්තාවන් කාන්තාවන් අතරේ කතාබහ විය හැකි කාරණා සම්බන්ධයෙන් තමා මෙතැන සිටීමම සමහරක් විට අපහසුතාවයකට හේතුවනු ඇතැයි සරෝජ් වටහාගත්තේය. ඉතින් කෙටි වේලාවකට හෝ තමා මෙතැනින් මිදීයාම උචිත බව ඔහුට දැනුණි.

නිවේතා සරෝජ් හැරී යන දෙස බලාඋන්නාය.ළය මත්තේ දැඩිව තදවූ සුසුමක් ඉබේම නිදහස් ව යනු ඇයට දැනුණි.මානවී අම්මාගේ මුහුණ දෙස නිහඬව බලාඋන්නාය.

"අම්මි ජනෙලෙ ගාවට යං.එන්නකො ඔයාට මෙතන සීනරි එක පෙන්වන්න"

මානවී රෝදපුටුවට මඳ තල්ලුවක් දුන්නාය. කාමරයේ ජනේලය විවෘත වූයේ ඈතින් දිලෙනා කුඹුරු යායකටය. නිල්ල නිලන නිල්වන් කුඹුරු යායට මායිම්වන සරෝජ්ගේ ගෙවත්ත සිමෙන්ති වැටකින් මායිම් කොට තිබුණි.සිමෙන්ති වැට දිගටම මල්පුරා ගොස් තිබූ කහ සහ නිල් මල් වැල්‍ රැසකි. නිවේතා පහන්ව යන සිතින් යුතුව එදෙස බලාඋන්නාය.

"ලස්සනයිනේ?"

මානවී ඒ දසුනෙන් වශීවී මෙන් ඇසුවාය.නිවේතාද හිස වනා පිළිතුරු දුන්නේ එය අනුමත කරමිනි. රෝගයක් සුව වන්නට ගතට මෙන්ම සිතටද ඔසු අවශ්‍ය වේ. ගත දුබල වන දා එයට කෙතෙක් ප්‍රතිකාර කළ ද සිත සවිමත් නොවේ නම් ඒ කිසිදු ප්‍රතිකාරයකින් පලක් නොවේ. ඒ කාරණය සරෝජ් මනාව අවබෝධ කරගත් හෙයින් නිවේතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සියල්ල මනාව සංවිධානය කළේ නිලීකාගෙන් සහ මානවී ගෙන් ඇය සම්බන්ධ දේ අසා දැනගෙන ය.

"මේවා...මේවා..?"

නිකිතා කාමරයේ වූ තිර ඇතිරිලි පෙන්වමින් මානවී ගෙන් විමසුවේ ඇයගේ රුචිකත්වය සරෝජ් දැන ගත්තේ කෙසේදැයි ආයාසයෙන් අසන්නට ය .

"ඔයාට ඒවායින් වැඩක් නෑනේ අන්තිමේ කොහොමහරි ඔයා ආස විදිහට ඔක්කොම තියෙනවනේ?" 

මානවී අම්මාගේ කොපුලක් සෙමින් මිරිකමින් පැවසුවාය. 

මෙතුවක් කල් ජීවිතයේ පිටට පෙන්වා තිබූ අකමැත්තට වඩා යටි සිතේ තදවී තිබු කැමැත්ත මතුවී ගෙන එනු නිවේතාට ක්‍රමයෙන් දැනුනි.

 "ඔන්න මම ආවා. අපි වොශ් එකක් දාලා චේන්ජ් කරගෙන ඉමු නේද මැඩම්?"

කාමරයේ දොරට තට්ටු කොට ඇතුළට පැමිණි හෙදිය ඇසුවේ නිවේතාගෙනි. පෞද්ගලික හෙද ආයතනයකින් පැමිණි ඇය සැබැවින්ම ප්‍රියමනාප වූ තරුණියක් වූවාය. නිවේතා මද සිනහවක් පා මානවී දෙස බැලුවාය 

"අම්මි එහෙනම් මේ මිස් එක්ක ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. මම චුට්ටක් එහා කාමරයට ගිහින් රෙස්ට් එකක් ගන්නම්" 

මදක් ඇයගේ මුහුණට පහත් වී කුඩා සිපුමක් කම්මුලෙහි තැබූ මානවී හෙදියට ද සිනහවක් පා කාමරයෙන් පිටවී ගියාය .

"මැඩම් මම චාමලී. අපි එහෙනම් යමු වොශ් එකක් දාලා එන්න"

චාමලී නිවේතාගේ රෝදපුටුව ඉදිරියට තල්ලු කරගෙන යමින් පැවසුවාය. දකුණු අර්ධය තාමත් හරි හරියාකාරව ක්‍රියා කරන්නේ නැති හෙයින් ඇයගේ සහය තමාට ලබා ගන්නට සිදුවෙයි.නමුත් මෙතුවක් කාලයක් ස්වාධීනවම කරගෙන ආ තමන්ගේ සියලු වැඩකටයුතු විශේෂයෙන්ම සෝදා පවිත්‍ර කර ගැනීමේ කටයුතු තවකෙකුහට නිරාවරණය වන්නට සිදුවීමම මහත් අසරණ භාවයකි.ඇසට කදුලක් උණා එද්දි නිවේතා සුසුමකින් එය මගහැරවා ගන්නට තැත්දැරුවා‍ය.

ගත දොවා අලුත් ඇඳුමකට මාරුවීමේදී ද බොහෝ දුරට හෙදියගේ සහාය ලබා ගන්නට නිවේතාට සිදුවිය. 

"මැඩම්ට තෙරපි කරන්නට පටන් ගත්තට පස්සේ ඕව ටික ටික හරි යාවි.ඒ නිසා වැඩිය ඕවා ගැන හිතන්න එපා"

නිවේතාගේ අපහසුතාවය වටහාගත් චාමලි ඇයගේ අතකින් අල්ලාගෙනම පැවසුවාය.දෛනික කටයුතු වලදී තවකෙකු මත යැපීම කෙතරම්ම කෙනෙකුහට අසීරු ද යන්න චාමලී සිය වෘත්තීය අත්දැකීමෙන්ම වටහා ගෙන උන්නාය.නිවේතා බොහෝ අසරණව පිළිතුරු සිනහවක් පෑවාය.

 යළිත් සරෝජ් සහ නිවේතා හමුවූයේ සවස් යාමයේ දී තේමේසයේ දීය.

"පුළුවන් තරං අම්මව කෑම මේසෙටත් එළියටත් එක්ක යන්න ඕන චූටි දුව.ඔයාලා ඉන්න දවසට ඔයාලත් චාමලීට උදව් කරන්න. නැත්නම් එයා කාමරයටම වෙලා ඉන්න බලාවි"

චාමලී නිවේතා කාමරයෙන් තේ මේසය වෙත කැඳවාගෙන එන තෙක් බලා උන් මානවීට සරෝජ් හිරිපිටිය පැහැදිලි කළේ ඒ ආකාරයට ය. හැකිතාක් දුරට සාමාන්‍ය ජීවිතයට අනුගත කළ යුතුය.සමහරවිට එයඒ තරම්ම පහසු දෙයක්ද නොවනු ඇත.

නිවේතාගේ මුහුණට අලුත් එළියක් වැටී ඇති බව මානවී දුටුවේ ඇයගේ වත දුටු ක්ෂණයෙහිමය.ඇතැම් විට එය රෝහලෙන් පිටව විත් ගත දොවා පහසු ආකාරයට සිටින්නට ලැබීම නිසා වන්නට ද ඇත.නමුත් ඊට වඩා අම්මාගේ ඇස් වල අමුතු බැබළීමක් තිබේයැයි මානවීට සිතුනි.

"නිවී, දැන් කලින්ට වඩා ඇඟට පහසු ද?"

සරෝජ් ඇසුවේ ඔහුගේ සුපුරුදු සාමාන්‍ය හඬිනි.නිවේතා නිහඬවම හිස වැනුවාය.

" ඔලුව වනනවාට වඩා නරකද කතා කරන්න උත්සාහ කළා නම් ටිකක්.කොහොමත් ඔයාට speech therapist කෙනෙක් එනවා හෙට ඉඳලා.ඒ කියන දේවල් චාමලී එක්ක හරිවිදිහට කරන්න. අනිත් දේවල් වලටත් අපි therapy පටන් ගන්නවා මේ සතියෙ ඉඳලම"

සරෝජ් පැවසුවේ ඇයගේ වැඩකටයුතු සම්බන්ධව තීරණ ගැනීම වචනයෙන් මෙන්ම ඉරියව්වෙන්ද පෙන්වමිනි. මානවී සියල්ල නිහඬව යටිසිතින් සිනහසෙමින් බලා උන්නාය. 

මේ ටොම් ඇන්ඩ් ජෙරීලා දෙන්නා මෙහෙමවත් එක තැනක ඉන්න එක කොච්චර දෙයක්ද ?අපේ අම්මිගෙ පුස්පාට් දැන්වත් අඩු වෙලා ගියොත් ලොකු දෙයක්.

ඇය යටි සිතින් සිතුවාය.එතුවක් කල් ජීවිතයේ අම්මා තමා වෙනුවෙන්ම සියලුම දැ කැප කළාය. සරෝජ් අංකල් හට අම්මගේ සිත තුළ වූ සෙනෙහස ඇයට කිසිදා රහසක් වූයේ නැත.නමුත් අම්මා සැමවිටම සිය සිතුවිලි සඟවා තබන්නට උත්සාහ ගත්තාය.නමුදු මේ සෙනෙහස සිත ඇතුලේ තබාගෙන ඇය සැමදා දුක් විඳි බව තමා දනී. කෙතරම් අභාග්‍ය සම්පන්න තත්වයක් වුවද මේ සිදුව ඇත්තේ ඔවුන් දෙදෙනා යළි එක්කිරීමේ ඉරණම් තීරණයක් නම් එය ඉතසිතින්ම පිළිගන්නා බවට මානවී සිය සිතට ඒත්තු ගැන්වුවාය.


                                                                ***

"තේ බීලා ටිකක් මිදුළට යන්න චූටිදුවයි චාමලීයි එක්ක.චූටි දුව ඔයාල අද මෙහෙ ඉන්නවානේද? දවසක් දෙකක් ඉඳල යන්න.නැත්නම් අම්මාට පාලු හිතෙයි"

සරෝජ් හුනස්නෙන් නැගී සිටිමින් පැවසුවේය. නිවේතාහට සිය නිවෙස සහ ඒ ආශ්‍රිත සියලුම දේ හුරුවන්නට නිදහස දිය යුතුය.තමා සිටිනා විට තවමත් ඇය සිටින්නේ අපහසුතාවයකින් බව ඔහුට වැටහෙයි.එහෙයින් කෙටි වේලාවකට හෝ නිවසෙන් බැහැරව යෑමට සරෝජ් තීරණය කළේ‍ය.

"අනේ අංකල් හෙට මම වැඩට යන්න ඕන. බබී විතරක් මෙහේ තියල ගිහිල්ලත් බැහැනේ.අපි තව ටිකක් හවස් වෙලා යන්නම්.ඊළඟට එන්නේ week end එකනෙ.අපි නවතින්නම බලාගෙන එන්නම්"

නිවේතාගේ සහ සරෝජ්ගේ මුහුණ දෙස මාරුවෙන් මාරුවට බලමින් හසිත පැවසුවේ සමාව අයදින ස්වරයකිනි. නිවේතාගේ මුහුණ මොහොතකට බෙරිව ගියද ඇය ඒ හැඟීම යළි වලකා ගත්තාය.

"අංකල් කොහෙද යන්නෙ?"

මානවී ඇසුවේ නිවේතාගේ සිතතුළ තෙරපෙමින් තිබූ පැනයය.නිවේතාද දැස් දල්වාගෙන ඔහුගේ වත දෙස බලාඋන්නේ පිළිතුර අපේක්ෂාවෙනි.

" මම යාළුවෙක් මුණගැහෙන්න පොඩ්ඩක් ගිහින් එනවා චූටිදුව"

නිවේතාගේ දෑස් මගහරිමින් මානවීට පිළිතුරු දුන් සරෝජ් සමුගැනීමකුදු නොකොට රිය ගෙන්වාගෙන පිටව ගියේය. නිවේතාගේ සිතෙහි සියුම්ම වේදනාවක් ඇහැරෙමින් තිබුණි. ඒ වේදනාවට සමගාමීව නෙත් පුරා පිරුණු කඳුළක් කොපුල් දිගේ ගලා බැස්සේ ය .

"ඇයි අම්මි , අනේ ඇයි ඔයා අඬන්නෙ?" 

මානවී අඩියට දෙකට නිවේතා අසලට ළං වූවාය. අම්මාගේ ඇස් වල ඇත්තේ වේදනාත්මක බැල්මකි. ඇයගේ සිත තුළ පවතින්නාවූ දේ කුමක් දැයි සිතාගන්නට මානවීට නොහැකිය.

"ට..ර.හ වෙ.ල්.ලා"

සරෝජ් ගිය දෙසට වම් අත දිගු කරමින් පැටලෙන ස්වරයෙන් නිවේතා මුමුණද්දී මානවීගේ මුවගට ආවේ මුදු සිනහවකි.හසිතද සිය සිනහව විසිරයායැයි බියෙන් මෙන් වහා ඉවත බලාගත්තේය.

මේ මොහොතේ අම්මාහට කැපෙන්නටම උත්තරයක් දෙන්නට මුව නලියන්නේ වුවද ඇය ඉන්නා තත්වය මත එවැන්නක් කීම නුසුදුසු බව මානවී වටහාගෙන උන්නාය.

"තරහා වෙලා නෙමේ .එයාට ඉතින් වැඩ තියෙනවනේ.අපි ගාවට වෙලාම ඉන්න බැහැනේ.හා හා තේ බීලා ඉවර නම් අපි යන්කෝ මිදුලට.චාමලී ඔයාට පුලුවන් නේද වීල්චෙයා එක ගන්න"

නිවේතාගේ ශෝකාකූල මුහුණ දෙස බලමින් මානවී ඇයගේ අවධානය වෙනස් කරන්නට යෝජනාවක් ගෙන ආවාය. අම්මා කවදත් ගස් කොළන් අතර සැරිසරන්නට ඉතා කැමැතිය. 

චාමලී රෝදපුටුව මිදුලට ගෙන සුදු වැලි ඇතිරූ මාවත දිගේ නිවේතා රැගෙන ගියාය. සුදු පාට වැලි අතුළ මාවත දෙපස කළු පැහැයෙන් කෙටි උසකින් මායිම් තාප්පවලින් සීමාකොට තිබුණි.එම මායිම් ගැටි දෙකට ඔබ්බෙන් වූයේ සිහින් දිග පත් ඇති කොළ පැහැති විසිතුරු ශාක ගොන්නකි.

කාලයක් තිස්සේ උමතුවෙන් මෙන් පැල තවාන් වල ඇවිදිමින් විවිධාකාර විසිතුරු පැල එක් රැස්කිරීම නිවේතාගේ විනෝදාංශයක් විය.උද්‍යාන අලංකරණයේදී ඒ ඒ ස්ථානවලට ගැලපෙන්නා වූ ශාකයන් තෝරා ගැනීමට ඇය ඉතා දස්කම් දැක්වූවාය. සරෝජ්ගේ නිවසේ මිදුලේද උද්‍යාන අලංකරණයට කවුරුන් හෝ පළපුරුදු වෘත්තිකයෙක්ගේ සේවය ලබා ගෙන ඇති බවක් පෙනේ.නඩත්තුවද මනාව පවත්වාගෙන යයි.

සැලකිය යුතු තරම් ඉඩවපසරියක් හිමි සරෝජ්ගේ ගෙමිදුලේ අස්කොන් සියල්ලටම යා හැකිවන සේ සුදු වැලි අතුළ මාවත් සකසා තිබුණි.

"අමුතුවෙන් ජොගින් පාත්වේස් ඕන්නෑ අංකල්ට නම්. මේ වත්තේම ඇවිදින එක මාරම ශෝක්.අනික හිතටත් සනීපයි නේ අම්මි"

මානවී හසිතගේ අතෙහි එල්ලීගෙන ඔවුන් හා සමගාමීව ඇවිදින අතරේ පැවසුවාය.වෙල්‍ යායම පිස හමන්නේ සනීපදායක සුලඟකි. දාහය නම් බිඳක් හෝ ඇත්තේම නැති තරමය. වත්ත කෙළවරකට වන්නට පළතුරු ගස් යායක් වවා ඇත.දේශීය හැම පළතුරක්ම පාහේ එහි ඇතුවා සේය.

මානවී ඉදීගෙන එන්නා වූ ඇඹිල්ල කරල් කිහිපයක් කඩාගෙන සෙමින් සපමින් අවට සිරි නැරඹුවාය. අම්මා සුවවන්නට ඕනෑවටත් වඩා පහසුකම් මෙහි ඇත.ඉතින් හවස් යාමයේ තමා පිටවයෑම සුදුසුමය.

නිවේතා සන්සුන්ව යන සිතින් හාත්පස බලමින් උන්නාය.ඇය සිතතුළ එකින් එක පොදි ගැසෙන්නේ සරෝජ්ට මුහුණ දෙන්නට අපහසු චකිතය විනා අන්කිසිවක් නොවේ.ඔහු සිටින්නේ කිසිවක්ම ගණන් නොගත් ආකාරයටය. එය හිතට දරාගන්නට නොහැක්කකි.බනිනවා නම් දොස් නගනවානම් හිත හදාගන්නට හැක.නමුත් සරෝජ්ගේ දඬුවම් දීම වෙනස්ම ආකාරයක එකක්ය.

 

සරෝජ් යළි පැමිණියේ බොහෝ රෑවීය. ඒවන විට මානවී සහ හසිත නික්ම ගොස් තිබුණි. සේවක මණ්ඩලයේ කිහිප දෙනෙක් මෙන්ම චාමලීද සිටිනා හෙයින් මානවී අම්මාගෙන් සමුගෙන ගියේ සිතේ බරක් නොමැතිවමය.

"මැඩම් රෑට ලයිට් ඩයට් ගන්නෙ කියලා පොඩි මැඩම් කිව්වා.අපි එහෙනම් සුප් එක්ක කෝසස් ගම්මු. කෑම මේසෙට ඇරලා තියෙන්නෙ. යමු නේ"

සවස මිදුලේ ඇවිද ඒමෙන් මඳ වෙහෙසකට පත් නිවේතා සයනයට ඔසවා මෙන් තැබුවේ හසිතය.තවමත් අනතුරෙහි විවිධාකාර සංකූලතා ශරීරයට බලපෑම් ඇතිකරමින් තිබේ.එහෙයින් විවේකය ඉතාම අවශ්‍යය. සරෝජ් එනතුරා බලාඋන්නද චාමලීහට ආ ඇමතුමෙන් අණකෙරුණේ තමන්හට රාත්‍රී අහරගෙන බෙහෙත් බී නිදාගන්නා ලෙසය.කිසිදා නොවූ අන්දමින් තමා ඔහු එන මගක් බලන්නේ මන්දැයි නිවේතාටම ගැටලුවකි.ඇය බෙරිව ගත් වතින් යුතුව ඕනැවට එපාවට මෙන් අහරගත්තාය. චාමලී අතින් ලද බෙහෙත් ටික බී සයනයට වට ඇයගේ නෙතු අතරට නින්ද ලඟාවූයේ ඉතා ඉක්මනිනි.


                                                                ***


යළි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

4 comments: