Sunday, January 29, 2017

31. එයයි මමයි






මෙන්න මේ ලියවිල්ල තුළට යන්න කලින්...මේක මම කියන්න ඕන..

මේකෙ ඉන්න එයා ....ඕනෑම පිරිමියෙක් වෙන්නත්...
මේකෙ ඉන්න මම ...ඕනෑම ගැහැණියක් වෙන්නත් ....
පුලුවන් බව....

නැත්නම් මේක මගෙ කතාව කියලා ...වරදවා වටහා ගන්න ඉඩක් තියන නිසයි...මුලදිම එයාගෙයි මගෙයි අයිතිය ....සමස්ත පිරිමි ගැහැණු දෙපාර්ශ්වයටම පැවරුවෙ.....
අඩුවැඩි වශයෙන් තම තමන්ගෙ ආලවට්ටම් මේකට එකතු කරලා මේක තමන්ගේ කතාව කරගන්න එක හෝ අනේ මේ මොන විකාරයක්ද කියල අහකට දමන එක ත් ඔබටම බාරයි.....

ගැහැණු යි පිරිමියි ආදරේ දකින විදියයි..ඒක විඳින විදියයි...ඒක අනිත් පාර්ශ්වයට ප්‍රකාශ කරන විදියයි.....කොච්චර වෙනස් ද......



මම....

හැමදාම එයාගෙන් මැසේජ් එකක්..ඇමතුමක් එනකල් උදේ ඉඳන් හවස් වෙනකල් බලන් ඉන්නවා....මට හිතෙන්නෙ එයා හැම මොහොතෙම මට නිකමට හරි මැසේජ් එකක් එවිය යුතුයි කියලා..හිතෙන් එක හැඟීමක ඉන්නවා නම් ඇයි එයාට බැරි මට එහෙම එවන්න..ඇඟිලි තුඩ අගිස්සේ ජංගමයෙ යතුරු පුවරුව තියෙද්දිත් එහෙම නොකරනවා කියන්නේ ....අනේ මන්දා..මම එයාට ඒ හැටි වැදගත් නෑ....කියලමයි මට හිතෙන්නෙ...

එයා......

මේ ගෑණු මනුස්සයාට කොච්චර කිව්වත් තේරුම් ගන්න බැරි හැටි.දාහක් වැඩ අස්සෙ ඉඳල හිටල හරි කෝල් එකක් මැසේජ් එකක් යැව්වත්..ඒකෙ දිග පලල මදි කම ගැනමයි හිත...ආදරේ නෑලු...මදිලු...
කෑවද කියලා අහන එක නෙවේලු ආදරේ...
අනික වෙන වෙන වැඩවලට ඔන්ලයින් ඉන්න එකටත්...මෙයා හිතන්නෙ මම එයාට මැසේජ් නොඑවා වෙන අය එක්ක  කතා කරනව කියල....අනේ මන්දා කොහොම තේරුම් කරල දෙන්නද  කියල...තාම හිතන් ඉන්නෙ ඉස්කෝලෙ යන දහ අටේ කෙල්ලෙක් ගානට...

මම...

වයස යද්දි හැම පැත්තෙන්ම පරිණත විදියට ඉන්න ඕන කියල එයා හිතනවැති..ඒත්...හැම මනුස්සයෙක්ම ඇතුලෙ ඉන්නව පොඩි කෙල්ලෙක් කොල්ලෙක්  ..ඒක ඉතින් හැමෝටම තේරෙන්නෙ නෑ...මම හිතනවා..එයා ශොපින් පාරක් ගියොත් තනිවම....මටත් මොකක් හරි ගෙනෙයි කියල...ඒක මහ ලොකු ගානක එකක් නෙවේ...ඔන්න දවසක් මම කිව්වා..ඔයා ඇඳුම් ගන්න ගියාම මටත් ලේන්සුවක් ගේනවද කියල .....ගත් කටටම කිව්වනෙ ...ලේන්සු දුන්නම තරහ වෙනව ලු කියල .....
මම ඉතින් ආයෙ මොකටද නිකම් තරහ වෙන්නෙ කියලා තරහෙන්ම ඕන්නෑ කිව්වා.....

එයා....

අනේ මන්දා කොහොම තේරුම් කරන්නද කියලා  .....ලේන්සුවක් දුන්නම තරහ වෙනව කියල කිව්වෙ එයාමයි...ආයෙ මොකකට හරි තරහ ගත්ත වෙලාවක කියාවි ඔන්න ලේන්සුවකුත් දුන්නෙ...තරහ වෙන්න ඕන වෙලා කියල....අනික මට ඔය ලේන්සුවක වගේ දේක ලොකු ඕනමකමක් පෙනිලම නෑ...

මම....

ජීවිතේ ගැන හැමදේම මට එයා එක්ක කතා කරන්න ඕන     ඒත්...එයාට වෙලාවක් නෑ...මාඑක්ක ඒවා කියවන්න..ඉඳහිටක හරි ඒ වුණාට ඕනම වෙලාවට.....කතා බහ කරන්න වෙන කවුරුවත් ඉන්නවයැ...ඒ වුනාට වෙලාවක් නෑ...අනික එයා හිතන්නෙ මම හරි බොලඳයි කියල....මම වෙන කිසි කෙනෙක්ගෙන් එයාගෙන් තරම් අවධානයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ කියන එක මෙයා කවද්ද තේරුම් ගන්නෙ...

එයා....

අනේ මන්දා....කතාව කතාව...මොනවා කියල නම් ඔච්චර කතා කරන්නද මන්ද...ඒත් වෙලාවකට නම් කට කමිස්සිරියාවක් නැතුව කියවන කොටත් ආසයි..ඒ වුණාට..මේ කියන හොඳම යාලුවා කියන දේ අනෙ මන්දා මේ මනුස්සයගෙ ඔලුවට කොහෙන් ආවද කියල....ඔය වටේ ඉන්න යාලුවොයි ෆේස්බුක් එකයි බ්ලොග් වයිබර් වට්ස් ඇප් නිසා තමා මේ ඔක්කොම..

මම...

ඉවසුවා ඇති දැන් නම් හොඳටම...එයාට එපා නම් මටත් ඕනනෑ ඔහොම වෙනස් වෙනස් සිතුවිලි....ඔන්න ඔහෙ ඉන්නන් වාලෙ ඉන්නව...කවදාවත් ගෑණියෙක් තේරුම් ගන්න මේ පිරිමින්ට බැරි වෙයි..හොඳම දේ නිහඬ වෙලා මගෙ පාඩුවෙ ඉන්න එක....

එයා...

මේ මනුස්සයට මොනව වෙලාද මන්දා...වෙනද වගේ නෙවෙයි..කිසිම සද්දයක් නෑ ..කතාබහත් අඩුයි..අසනීපයක්ද මන්ද...වෙනද නම් මේ වෙද්දි මැසේජ් ම කීයක්ද....පාලුයිත් එක්ක ...කියවිල්ල නැතුව...හිත නරක් වෙලා නම් වෙනද වගේ එල්ලි එල්ලි රන්ඩුවෙන්නවත් එපායැ....එහෙම රන්ඩු වෙන එකට මම හරිම ආසයි.....මෙච්චර වයසක් වෙලත්..තාම පොඩි කෙල්ලෙක් වගේ රන්ඩුවෙද්දි.....
දැන් ඉතින් මොනව කරන්නද මන්ද...දවස් ගානක් ගිහින්.....වෙනස් වෙන පාටකුත් නෑ....මගෙ ඔලුවත් අවුල් වෙන්න අරන්....
දැන් ඉතින් මම වත් එක දිගට මැසේජ් කරන්න ගන්න ඕන.....




~~~~~  සමාප්තයි  ~~~~~~~~

21 comments:

  1. මගේ කතාවේ එයා මම සහ මම එයා විදියට මාරු වෙලා...ඒකෙත් හැටි හැබෑට...!!

    ReplyDelete
  2. ඒකයි වෙනස. :)

    ජයවේවා!!!

    ReplyDelete
  3. හැමෝම ඩිංගක් ආත්මාර්ථකාමියි...හොඳම දේ දෙන්න කතා බහ කරලා ඔය මැසේජ් කෝල් කරන වෙලාවල් ගැන එකඟතාවයකට එන එක... :)

    අනිත් කෙනාගේ හිතට කලින්, තමන් තමන්ගේ හිත තේරුම් ගන්න ඕනේ...විවෘත සංවාද නැති කම නිසා මිනිස්සු බොහොමයක් වෙලාවට තමන්ට ඕනේ දේ හිතාගෙන ඒ ඔස්සේ අනවශ්‍ය හිත් රිදවීම් ඇති කරගන්නවා...සංවාද වෙනුවට විවාද තමයි වැඩි හරියක් ඇති වෙන්නේ...

    //ඔය වටේ ඉන්න යාලුවොයි ෆේස්බුක් එකයි බ්ලොග් වයිබර් වට්ස් ඇප් නිසා තමා මේ ඔක්කොම..//
    සමහර වෙලාවට මේවයේ බලපෑම නිසා ලස්සනට තියන පවුල් විසිරෙනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයගෙ අත්දැකීම් එක්ක මගෙත් සමහර එව්වා ටිකක් දාලා මේ ලිව්වේ.....මේකෙ ප්‍රහසනය ඔයා අඳුනගත්තා නේද

      Delete
  4. ඔන්න ඉතිං මට තනියම හිනා යනවා...මේක අස්සේ කොහේදො තැනක මාත් අස්සක මුල්ලක ඉන්නවා වගේ දැනුනා...ගෑණු ඉතිං එහෙම තමා..හච්චිමක් ගියත් ඒ ගැන වද වෙනවානම් තම ඉතිං කැමති...ඒත් ඉතිං ඕනවට වඩා ඇණයක් වෙන්න ගිහින් සම්බන්ධතා බිඳගෙන හූල්ලනවට වඩා මධ්යම ප්‍රථිපදාව හොඳයි කියලා හිතෙනවා..මොනා වුණත් ඔයා මගෙ හිත කියෙව්වා නෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයාගෙ ආලවට්ටම් එහෙමත් මේක ලියන්න උදව් වුනා

      Delete
  5. අවසානෙටනම් ජයග්‍රහහණය කෙල්ල නේ ද :-)
    ඔන්න ඕකයි තත්වෙ එහෙනම්

    ReplyDelete
    Replies
    1. බොහොමයක් විට එහෙම වෙනවා නේද

      Delete
  6. ඇත්ත.. මේ වගෙ වෙනකොට නම් ගානක් නැහැ.. හැබැයි නිකරුනෙ සැක කරනවා නම්.. වෙන අයට වෙන දේවල් වලින් ආදරේ මනිනවා නම්.. ජීවත් වෙන එක අමාරුයි ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. හැමදේම සමබර වෙනවා නම් ගැටලු අඩුයි නේ....

      Delete
    2. ඒක ඇත්ත තේරුම් ගැනීමයි විශ්වාසෙයි තමයි තියෙන්න ඕන

      Delete
  7. ගොඩක් වෙලාවට පිරිමි පාර්ශවය අපි වගේ තමන්ගේ හැඟීම් පිටට පෙන්නන්නෙ නෑ ගෑණු අපි වගේ.අපිව වාතයක් වගේ පිටින් පෙන්නන බොහෝ වෙලාවට ඇතුලතින් එයාලා එහෙම නෑ.
    මට මේක කියවද්දී මතක් උනේ මම මැරි කරපු මුල් දවස්වල උන වැඩක්.ඔන්න හබියා එයාගේ බොස්ගේ ගෙදර ගියා මොකක්ද වැඩකට මම එයා කොහේ ගියත් ඒ යන තැනට යන්න ගතවෙන වෙලාව බලල කෝල් එකක් දීලා බලනවා පරිස්සමින් ගියාද කියලා.එයත් මම කෝල්, කරන්න පරක්කු උනොත් හරි ආවෝ කියලා එකක් text හරි දානවා.මේ කියපු දවසේ මම ගන්නවා ගනන්වා ෆෝන් එක ඕෆ්. ඔහොම උන ගමන් දැන් තරම්වත් මට ඉවසිල්ල්ක නෑ ඒ දවස්වල මම හිතන්නෙම ඇක්සිඩන්ට් වෙලා කියලා තමා.දහපහලොස් වතාවක් විතර කෝල් කරලා බැලුවා ඒත් නෑ.දැන් ඉතින් මම ගෙදර තට්ට තනියම හොටු පෙර පෙර අඬනවා.පස්සෙ ගත්ත එයාගෙ මල්ලිට අඬ අඬ කිව්වා විස්තරේ ඊටපස්සෙ ගත්ත එයාගෙ අම්මට එයාටත් කිව්වා අපේ අක්කටත් කෝල් කරලා කිව්වා දැන් සේරමලා අපේ ගෙදර එන්න ලෑස්තිය.කොහොම හරි විනාඩි 20ට විතර පස්සෙ මෙන්න එයාගෙන් කෝල් එකක් එනවා.මම වැලපි වැලපි ආන්සර් කරනකොට එයා හිතලා මට මොකක් හරි කරදරයක් කියලා.පස්සෙ බලනකොට ඉතින් එයා මට මැසේජ් දාලා ෆෝන් ඕෆ් කරනවා බොසා එක්ක මීටින් කියලා මට ඉතින් ඒ ඉලව් මැසේජ් එක ආවෙ නෑ. ඒ වෙනකොට ඉතින් එකම තොයිලයයි ගෙදර අම්මයි මල්ලි මෙහෙ එන්න පිටත් වෙලා අපේ එයාගෙ හබියට කෝල් කරලා එකම විකාරයඉ.
    ඔන්න ඕකයි අපේ ගෙදර තත්වයනම්. එදා ඒ ඉගෙන ගත්ත පාඩමට එයානම් ලේසියට මගේ කෝල් එකකට ආන්සර් නොකර ඉන්නෙ නෑ.ඒ උනාට දැන් මන් එච්චරම නරකත් නෑ.සිහි නුවනින් වැඩ කරනවා හි හී

    ReplyDelete
    Replies
    1. හම්මේ..ඒ කතාව නම් නියමයි..මට මැවිලා පේනවා...සඳා හූ තිය තිය අඬන හැටි

      Delete
  8. හම්මේ එක ,

    මරු. අත්දැකිම් නැති බැවින් කිසිත් නොකියමි.

    ReplyDelete
  9. එයා වැඩට ගිහින් මම ගෙදර ඉන්නවා නම්, දවසට කෝල්ස් හතරක් හෝ පහක් එනවා. කෑවද, මොනවද කෑවේ, ෆ්‍රිජ් එකේ අරවා තියෙනවා මේවා තියෙනව. එක වෙලාවකට වාතේ. උදේට මාත් එක්ක ඔරොප්පුවෙන් නම් එලියට ගියේ, එදාට නෝ කෝල්ස්. මොනවා වුනත් මං ගැන හොයා බලන එකම කොච්චර ලොකු දෙයක්ද. අපි වයසක උදවිය. ඒත් තාම එහෙමයි. මම ගැන නම් කියලා වැඩක් නැහැ. මට ඔය කෝල්ස්, මෙසේජ් අරහං. ඒවට ඉතින් මම බැනුම් අහගෙන ඉන්නවා. ලව් කරන කාලේ ඔය ටෙලිෆෝන්ස් නැහැ. ඉස්සර මම තනියෙන් පිටරට ඉන්න කාලේ නම් පැල් බැඳන් කතා කරනවා. ලඟ ඉන්නකොට අගේ නැහැ. පිරිමින්ගේ හැටි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ඕක පිරිමින්ගෙ හැටි..වට්ටුඩූ නේ

      Delete
  10. අපේ කතාවත් මෙතන තියෙනෝ :)
    https://nopalakatha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මං නොදන්නවයි ඒක....ඔය ලමයයි ඔයාගේ ගෑනු ලමයයි ඒ කියන්නේ නෝනායිත් ඔහොම ම තමා ..හා නැද්ද

      Delete