Monday, February 27, 2017

38. මොකෝ...?





මොකෝ...?
මෙහෙම ඇහුවම පෝස්ට් එක කියවන්න ආව අය හැරිලා යාවිද මන්දා..
අනේ යන්න නම් එපා...
ඇයි මොකෝ ?... කියලා ආපහු අහලම මේක කියවන්නකෝ

මොකෝ කියන්නෙ මම ආසම කරන පොතක්...මේ පොත මම මිලදී අරන් තියෙන්නෙ 2004 අවුරුද්දෙ...ගත්තු දිනේ බැලුවම 2004.06.25 කියලා ලියලා තියනවා.
මේ කාලය මගේ ජීවිතේ මහා කුණාටුවක් ආව කාලයක්
ඇත්තෙන්ම ඇයි මම මේ පොත ඒ කාලෙ ගත්තේ කියලා දැන් මටම හිතාගන්න බැහැ..දින වකවානු එක්ක බලද්දි මගෙ අම්මා අපෙන් සමුගෙන සතියක් වගේ මේ කාල සීමාව..

සමහර විට මම මේ පොත ගන්න ඇත්තෙ ඒ කාලයෙ මගේ මනසේ තිබ්බ ප්‍රබල කඩා වැටීම කියන එකෙන් මිදෙන්න වෙන්නට ඇති

කමක් නැහැ..හේතු කාරණා ඒ කෙසේ වෙතත්..අපි මොකෝ ගැන පොඩ්ඩක් කතා කරමුකො
මොකෝ කියන්නේ උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරන ලද පොතක්

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්..එවකට නම් මිල රුපියල් 180යි..මුල් කතෘ වරයා   JOSTEIN GAARDER කියලා කෙනෙක්...පොතේ මුල් කෘතියේ නම Hello...is anybody there ?

මේ පොතේ පිදුම හරිම ලස්සනයි...


ආදරණීය දරුවන්ට සහ විශ්වය පුරා ඇති චමත්කාරය පුදුමය හා සුන්දරත්වය රස විඳිය හැකි ළමා මනස දැනුමෙන් හා ගෞරවයෙන් විනාශ කර නොගත් වැඩිහිටියන්ට ආදරයෙන් පිරි නමමි....

අපි ගැනයි මේ කියලා තියෙන්නෙ එහෙම නේද....


මම මේ පොත කියවපු වාර ගනන නම් මෙතෙකැයි කියන්න බැහැ..ඒ වගෙම මගේ යහලු යෙහෙලියන් බොහොම දෙනෙක් මෙය කියෙව්වා...මගෙ අදහස අහලා...ඔවුන්ගෙන් පවා ලැබුණේ ඉතාම සුන්දර ප්‍රතිචාර

මේ තමයි ඒ පොතේ මුල් කෘතියේ පිට කවරේ..මට ඉංග්‍රිසි පොත කියවන්න ලැබුණෙ නෑ...



සිංහලට හරවපු එක මට විටෙක හිතෙනවා පරිවර්තනයක් නොවෙයි අනුවාදයක් කියලා..මොකද උපාලි උබයසේකර මහත්මයා ඒක අපේ ලමයින්ගේ මනසට ගැලපෙන්න හරි අපූරුවට ලියලා තියෙන නිසා

මේ පොත කියවද්දි මට හිතෙන එක දෙයක් තමයි දැන් මේ ඔලු කුරුවල් වෙන වැඩිහිටි අවධියට වගේ නෙවේ ඒ කාලෙ අපි හැම පුංචි කරුනක් ඔස්සේම පරතෙරටම ගිහින් හෙව්වා බැලුවා නෙද කියන එක

සමහර තැන් වලදි හිනා යන්න ගත්තාම නවත්වන්න බරි තරම්ම කතුතුමා අපිව කතාව තුළ රඳවන් ඉන්නවා...ඉංග්‍රිසි පොතෙන් ඒ හැඟීම ගන්න හැකිවෙන එකක් නැහැ..බොහෝ විට...මොකද මේකෙ කටවහර හරිම සුන්දරව ගලපලා ලියලා තියන නිසාවෙන්

මේකෙ තියන රසවත් තැන් ටිකක් මම උපුටලා ලියන්නම්කො...
මුල්ම පිටුවල එන සිද්දියක් තමා ...චක්‍රවාටය ගැන..

මේ කතාවේ සංවාදයට එන්නෙ උපාලි කියන පිරිමි ලමයෙක්..(සමහර විට ඒ අපේ කතුතුමාම ලමා කාලෙදි වෙන්න ඇති...) සහ මොකෝ කියන පිටසක්වලින් ආව අමුතු ලමයා

මේකෙදි කියනවා... "කියමුකෝ...අවුරුදු සිය ගණනක් ගිහිල්ලා සමහර විට දුවට....( ආ..මට අමතක වුනානෙ...මේ කතාව කියන්නේ මාමා කෙනෙක් එයාගෙ දුවෙක්ට කියන විදියටයි...)...තවත් පණ තියන සතුන් ජීවීන් ඉන්න ග්‍රහ ලෝකෙකට යන්න පුලුවන් වුණා කියලා

එහෙම ජීවීන් හිටියත් කිකිලියෙක් නම් එහෙ ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි...බිත්තරයක් නම් හම්බ වෙන්න ඉඩ තියනවා..ඒත් ඒ බිත්තරෙන් කුකුලු පැටියෙක් නම් එලියට එයි කියලා හිතන්නවත් බෑ...මේ මුලු සක්වලේම කිකිලියෙක් ඉන්න එකම තැන මේ අපේ ලෝකේ..අපේ මහ පොලවේ විතරයි


මෙන්න මේ ටික කියවද්දි අපි අර මුල් පිදුම කොටසේ ඉන්න වැඩිහිටියන් නොවී දැනුමෙන් හා ගෞරවයෙන් ඔලුව උදුම්මා ගත්තු වැඩිහිටියන් වෙලා නම් ඉන්නෙ අපි අනේ මේ මොන විකාරයක්ද කියලා මේ පොත අහක දාවි...

මට නම් මේ පොත කියවන්න හිතුනේ ..මේ පොත දිගේ මම මගේ ලමා කාලයට ..මගේ මල්ලිලාගේ ලමා කාලයට වගේම මගේ දරුවන්ගේ ලමා කාලයට සිතින් සිය දහස් වරක් ගමන් කල නිසා....කාලයකට පස්සේ පොත් කියවන්න ඇබ්බැහි වුණ අපේ ලොකුම ලොකු ලමයෙකුත් දවසක් ඔන්න ඕක කියවනවා මං දැක්කා...ඒ අපේ තාත්තා..එයා ඕක කියවද්දි මූනෙ ඇඳුන හිනාව දැක්කම නම් මට හිතුණෙ එයාත් චක්‍රාවාට ගානක් එහා ලෝකෙකට ගිහින් වගේ

පොඩි කාලෙ මට ත් තිබ්බ ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ ලෝකෙ ගෝලාකාර නම් ..ඒක නැවතිල්ලක් නැතුව කැරකෙනවා නම්..ඔය කැරකෙන වෙලාවක ඔලුව පහලටත් හිටින යාමෙක..මගේ කකුල පැටලිලා වැටුනොත් එහෙම මම කොහේ ගිහින් නවතීද දන්නෑ කියන එක...එතකොට මේ ගුරුත්වාකර්ශණය කියන ලොකු වචනේ තේරුම මාත් දැනගෙන උන්නෙ නෑ...මේ පොතේ ඒ සංකල්පය කියාදෙන්නෙ හරිම සරලව...උඩ යට මාරුවීම කොයි තරම් සරල සිද්ධාන්තයක්වුනත්..ඒක පොඩි දරුවෙක්ට කියාදෙන්න හරිම අපහසුයි...



ස්නායු ගැන...ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන..පරිණාමය ගැන..දෙවියන් ගැන..ඔන්න ඔය වගේ පුංචි කාලේ අපි කෙලවරක් නැතුව ඔලුවේ ප්‍රශ්න මවන් උන්න දේවල් ගැන උපාලියි මොකෝයි දෙන්නා ගෙ අරුම සංවාදයක් යනවා...මම මේ පොත කියවද්දි...මනසින් ඒ දෙන්නගේ සංවාදයට එක් වෙනවද කියලා හිතුන වාර අනන්තයි

මේකේ අන්තිම හරියට මං හරිම ආසයි..ඔන්න ඒ හරියෙන් කෙටි සටහනක් තියලාම පෝස්ට් එක නිමා කරන්නයි මම හිතුවෙ

 මට දැන් හිතෙනවා..අපේ හුඟක් වැදගත් හමුවීම් සිද්ද වෙන්නේ නිදාගෙන ඉන්නකොට කියලා...අපිට සිද්ද වෙන සමහර බොහොම ටිකක් දේවල් විතරක් ජීවිතේට වෙන්න බැරි තරම් පුදුම දේවල් කියලා අපිට හිතෙනවා'..

මට හිතෙනවා ...අපි හැමදාම රෑට නිදාගත්තම අපි ගත කරපු ජීවිතෙන් චුට්ටක් අපිට මතක වෙලා යනවා කියලා...හැබැයි ඒ වෙලාවෙම අපේ හිත බොහොම තදට වැඩ කරන්නට පටන් ගන්නවා


මම හිතන්නේ...අපි නිදාගත්තම අපිට අමතක වෙලා ගිහින් හැදෙන හිස් තැන පුරවන්න අපි හීන දකිනවා ඇති..
උදේට ඇහැරුණාම අපේ හීනේ නිකම්ම දියවෙලා යනවා...හරියට හිරු රැස් වලට පිණි දිය වෙනවා වගේ

අපි මොන තරම් දේවල් ඇහැ ඇරගෙන දකිනවද....මන් හිතන්නේ ඒ දකින දේවල් හුඟක් වැඩි නිසාහීන වලට ඉඩක් නැතුව යනවා ඇති අපේ ඔලුව ඇතුලේ...

හීනයක් මතක තියාගන්න එක හරියට නීල කොබෙයියෙක් නැත්නම් පුන්චි දඟකාර බට්ටිච්චෙක් අල්ලලා අල්ල උඩ තියාගෙන ඉන්නවා වගේ වැඩක්....හැබැයි ඒ වාගේ ලස්සන කුරුල්ලෙක් එයාටම හිතිලා පියාඹගෙන ඇවිත් ...දුවගේ උරිස්සේ වැහුවොත්......?

මොකෝ කියන්නේ....?....ම්ම්ම්ම්ම්ම්


මම හිතන්නේ මොකෝ ගැන මම ආයෙමත් තවත් ලියන්න ඕන නෑ...ඔබම හිතන්න...ඔබ ගැන....මම මතක් කර දෙන්න ආවේ අන්න ඒකයි,......ඔබ මොන විදියේ වැඩිහිටියෙක්ද...?

21 comments:

  1. විසිරී.
    හොඳ පොතක් කියළා හිතෙනවා. එහෙම දැනෙන්නේ විසිරීගේ මේ අපූරු සටහන හින්දමයි. විසිරි ලියන දේවල්, ලියන ආකාරය දැක්කම කාලෙකට කලින් බ්ලොග් ළෝකෙ හිටිය නිම්නයක තනිවී හීන දකින්නී මතක්වූණා.

    ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. දුමී... මං තප්පර ගානක් පරක්කු වෙලා... ඇත්තමයි නොකිව්වට මටත් හිතෙන්නේ ම මේ "හීන දකින්නී" ම ද කියලා .... ඒ කොහොම උනත් ඔබත් ඇයත් දෙදෙනෙක් උනත් අපිට ගෙනාපු දැනුම ට දුමී වගේම මාත් හරිම කැමතියි

      Delete
    2. මෙයා දැක්කේ කළු සුදු හීන.. :))) නිම්නයක තනිවෙලා නෙවෙයි අතරමන් වෙලා..හැක්. :))

      Delete
    3. කමී...
      කළු සුදු හීනද විසිරි හීනද ?

      Delete
    4. මේ කමියා එක්ක බෑ....ඉතින් කියන්නම්...මම ඉස්සර බ්ලොග් එකක් ලිව්වා...කලු සහ සුදු කියලා..ඒත්..මගේ පෞද්ගලික හේතුවක් මත මට ඒක දිගටම ලියන්නට හිත දුන්නේ නෑ...කාලයක්ම නිහඬ ව ඉඳලා මම මේ විසිරි සිහින ඔස්සේ ආයෙම ලියන්නට ගත්තා...මට ඔබ හැම දෙනාගෙම ඇසුරේ ආයෙ ලියන්නට ලැබීම ලොකු සතුටක්

      Delete
  2. මට , එදා සහ හිටි අඩියේ මගේ ඇතුලේ සැපට ජීවත් වෙන පොඩි එකා හිතන්න පටන්ගත්තා ම අදටත් බෝලේ වගේ ලෝකේ ඔළුව පහලට එල්ලුනාම ජබොක් ගාලා මාව වැටෙයි කියලා හිතෙන එක නවත්තන්න බෑ.... හැබෑට "මොකො" කියන්නේ ඔබ කිව්වා වගේ ම මේ අපි ගැන අපිට ම ලියාපු පොතක් හැඩයි... ඒත් ඔය මුල් කෘතිය මට මේ ඔබ කියන මොකො තරම් නම් හිතට ඇලුවේ නෑ විසිරි....
    ඉතිං ඔබට පිං හෙට උදේම පොත් කඩයක් ගානේ දුවයී මේ මම... :)

    ReplyDelete
    Replies
    1. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ බලන්න...මම ගත්තේ ඒකෙන් ...හැබැයි බෝම කලකට පෙර...
      මටත් තාම ඔය ඔලුවෙන් හිටගෙන ඉන්න බය තියනවා අනේ

      Delete
  3. මේ පොත ගැන කියුවට ඔයාට ගොඩක් ස්තුතී... හොයාගෙන කියවන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ බලන්න...මම ගත්තේ ඒකෙන් ...හැබැයි බෝම කලකට පෙර...

      Delete
  4. ස්තූතී මොකෝ ගැන ඔත්තුවක් දුන්නට විසිරි, මේ දවස් වල ටිකක් ජීවිතේ බිසී වෙලා හැබැයි ෆ්‍රී උන ගමන් පොත් සාප්පු අස්සේ රින්ගලා මේ පොත ගැන හොයා බලන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ බලන්න...මම ගත්තේ ඒකෙන් ...කලබල අඩු වුනාම ගිහින් බලන්න

      Delete
  5. මොකෝ ආ.......
    එහෙම අහන්න දෙයක් නෑ. මොකෝ අපුරුවට ලියලා තියෙනවා කියවන්න ආස හිතෙන විදිහට

    ReplyDelete
    Replies
    1. ඒකෙනෙ අනේ මොකෝ නොඅහ බලන්න එපයි....ඔයා මේක කියවලා තියද ඈ

      Delete
  6. යූස්ටයින් ගෝඩර්ගෙ තව අපූරු පොතක් තියනව "Sophie's World" කියල. කියවල තියනවද?

    ReplyDelete
    Replies
    1. නෑ ඒකත් කියවන්නම ඕන...තව පොත් මොනවද රවී...

      Delete
  7. අපිට මොකෝ...අපේ මොකෝ...මොකෝ යකෝ :D

    ReplyDelete
  8. මොකෝ කියන්නේ? ඔය පොත ශේප් එකේ දෙනවද කියවලා දෙන්න නැත්නම් හොයාගෙන ඇවිත් ඔලුවට පිස්තෝලයක් තියල ගන්නද?

    ReplyDelete
    Replies
    1. කියවලා ගෙනල්ලා දෙනවා නම් දෙන්නම්....තැන දන්නවනේ...කෝල් එකක් දීලා එන්න

      Delete