අපි හැම කෙනෙක්ගේම ජීවිතයේ පරමාදර්ශීය චරිත තියනවා නේද...මට හිතුණා..අද..මගේ ජීවිතයේ පරමාදර්ශීය චරිතයක් ගැන ලියන්න....ඒ තමයි මගේ තාත්තා
මම..මගේ පුංචි කාලේ ඉඳන් අම්මට වඩා අනුගමනය කලේ තාත්තාව...අම්මා ට මම හුඟාක් ආදරය කලත්...තාත්තාට ඊට වඩා පොඩ්ඩක් හෝ ආදරය කලා කියලා මම හිතනවා...
අපේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්
අපේ තාත්තා කිසිම දවසක අපිට ගහලා නෑ..නමුත්..බැනලා තිබුණා...දරුවන් යහ මගට ගන්නා ක්‍රමය තාත්තා හොඳින් අධ්‍යයනය කර තිබුණා
මගේ තාත්තගේ මුහුණේ තිබුණ ...අදටත් තිබෙන හිනාව...ඒක කවදත් කෙනෙක්ගේ හිත පහන් කරන හිනාවක්....තාත්තා මට කිව්වේ...අපිට කෙනෙක්ට නොමිලයේ දෙන්න පුලුවන් හිනාව අපි ඇයි නොදී ඉන්නේ කියලා...
තාත්තාගෙ රැකියාවෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා...අපේ තාත්තා මුලින්ම පවුල් උපදේශක වරයෙක්...අධිකරණ අමාත්‍යාංශයේ...ඉස්සර තාත්තා වෘත්තීමය සටහන් ගොනු කරන කොට මට කියලා සටහන් ලියවාගන්නවා....මම හිතුවෙ ඒ කාලෙ ඒ මගේ අකුරු ලස්සන නිසා වෙන්න ඇති කියලා...ඒත් පසු කලක මට තේරුණා..ඒ ව්‍යංගයෙන්...මිනිස් ජීවිත වල ඇති වන සංකූලතා කියාදුන්න හැටි කියලා
පවුල් උපදේශක වරයෙක් ගාවට එන්නෙ පවුල් ආරවුල්...බොහොමයක් නොමේරු තරුණ පවුල් වල ගැටුම් සමථයකට පත් කරන්න උපදේශනය උපකාරී වෙන අන්දම...මම ඉගන ගත්තා වගේම ජීවිතයකට අවශ්‍ය ඉවසීමත් ඒ තුලින් හැදෑරුවා...
තාත්තා මට උගන්නපු එක් දෙයක් තමා අනිත් මිනිස්සු එක්ක නොගැටී ගැටෙන අන්දම...ප්‍රශ්නයකදී ඇහුම් කන් දිය යුතු හැටි...නිහතමානී වීම...ඔන්න ඔය වගේ දහසකුත් එකක් ගුණාංග
මගේ තාත්තා මට කියාදුන්න එක දෙයක් තමයි...කිසිම විටෙක අපි කෙනෙක්ට ගරු නොකර ඒ කෙනා ගෙන් ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියන එක.....රාජ්‍ය සේවයට ආවම ඒ ඔවදන මට ඉතාම වැදගත් වුණා...
තාත්තා ගැන ලියනවා නම් පොතක් ලියන්නට පුලුවන්....නමුත් මේ කෙටි සටහන පොඩි විශේෂයක් වෙනුවෙනුයි...
අපේ තාත්තගෙ උපන්දිනේ මාර්තු පස් වෙනිදා...එදාට ගමට ගිහින් එයා ලඟ ඉන්න නොහැකි වුණත්...සුබ පැතුම් පතක් යවලා උදේම කෝල් එකක් දීලා සුබ පතන්න ඉන්න ගමන්....මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නේ....මගේ තාත්තා නිදුක් නීරෝගි සුවයෙන් ජීවත් වෙන්න පතමින්....
මේ මගේ තාත්තා ඇතුළු ...ලෝකයේ දරුවන්ට ආදරය..කරුණාව සහ යහ මග පෙන්වන හැම තාත්තා කෙනෙක්ටම පිදෙන උපහාරයයි...
අප්පච්චී..නුඹ අහස් ඉමේ වැඩි
දේවතා එළියක් වාගෙමයි...
සාංකාවෙන් උතුරනා..මහිත් මළුවේ දිදුළ
පහන් සිල වාගෙමයි....
හොඳම දකිනා ඇසට
හොඳම දැනෙනා හිතක
පින් පාට නුඹෙ සිනා
පන්සලේ බෝ මලුවෙ
සිලිසිලිය වාගෙමයි...
කප්පරක් දුක් ඇතුව
නුඹෙ ලඟට ආ විටක
හිත නිවන නුඹෙ වදන්
සෙත් පිරිත් වාගෙමයි......
බාල විය ගැන කියන
නුඹේ පෙර මතක රැස
ගං දියේ රැළි සේම
රැළි නගා හිත් වටා ගලා යයි...
රත්තරන් අප්පච්චි
නුඹ මගේ ලෝකයට
ආවඩන සෙත් කවක් වාගෙමයි...
දකුණු පළාතෙ අපි තාත්තා කියන වචනෙ භාවිතා කලාට
කවියකට ලස්සන අප්පච්චි කියන වචනය
ඒකයි එහෙම යෙදුවෙ...
මොන වචනෙන් කතා කලත් ...ඒ තාත්තාමයි
අනිත් මිනිස්සු එක්ක නොගැටී ගැටෙන අන්දම..
ReplyDeleteමේක තමයි දැන් ජිවත් වෙන්න තියෙන හොදම ක්‍රමය
ස්තුතියි සුමුදු...හුඟක් දෙනෙක් නොකර එහෙත් කල යුතුම දෙය
Deleteහැමෝටම තාත්තා කියන කෙනාව හරියට ටච් වෙන්නෙ අවුරුදු විසිපහක් වත් පැන්නම.මට නම් තිස් පහත් පැන්නම තමයි ටච් වුනේ තාත්තව හරියටම..
ReplyDeleteඔයගේ තාත්තට සුබ උපන්දිනයක් වේවා
මට තාත්තාව ඉස්සර ඉඳන්ම දැනුනා...තේරුනා කොච්චි....ඒත් අම්මාව වැටහෙන්න ටිකක් කල් ගියා....ඒ එයා අපිට ගොඩක් තදින් උන්න නිසා...කොහොම වුණත්...එයාව මට අහිමි වුණේ...ඒ දැනීම මම වටහා ගෙන එයා ඒ දේ වින්දාට පසුව කියලා මම හිතනවා...
Deleteසුබ පැතුමට ගොඩක් ස්තුතියි
පිය සෙනෙහසක අරුමය අමිලයි සිතනූ
ReplyDeleteදියණිය ඔහුගෙ ඔවදන් දිවියට වටිනූ
ගිය මතකයන් මේ ලෙස සිහිපත් කෙරුණූ
ලියමින් මෙසේ මා සුභපැතු බව කියනූ.....
ජයවේවා!!!
කවිය හරිම අගෙයි දුමී...මේ වෙලේ තුති කවක් ලියාගන්න අමාරුයි..කාර්‍ය බහුල නිසා...
Deleteතාත්තා පනිවිඩයක් කියන්න කියලා කිව්වා විසිරිට....!
ReplyDeleteහෙට ඉරිදා නිසා ඇවිත් යන්න කිව්වා..!
ගිහිල්ලා තාත්තව බලල හැපිබර්ත්ඩේ කියලා එන්න විසිරි..!
හෙට ඉරිදා නිසා යන්න පුලුවන්...ඒත් මම පාරෙ යද්දි පත බෑවිලා මේ කකුලක් තුවාල කරන් නෙ ඉන්නෙ....ඕක පෙනුනාම එයාට ටිකක් කලබල වෙනවා....ඒ නිසා යන්නෙ නෑ..චෙෆ්
Deleteඔයාගේ මේ කතාව කියවලා මට මගේ තාත්තව මතක් උනා එයාව මට අහිමි වෙලා වසර 17ක් වෙනවා දැන්.මගේ තාත්තා අපිට බොහොම ආදරේ කලා හැබැයි ඒ තරමටම අපිව නීති වලින් බැඳලා තිබ්බා මගෙ අයාලුවෝ ඒ කාලේ අපේ තාත්තට කිව්වේ හිට්ලර් කියලා.
ReplyDeleteඔය පරමාදර්ශීය චරිතය කිව්වමනම් මට තාත්තටත් වැඩිය ඉස්සරහින් ඉන්නේ මගේ චූටි බාප්පා ( තාත්තගේ මල්ලි )එයා ගැන ඉතින් මෙහෙම ලියලා මදි වෙලාවක පෝස්ට් එකක්ම ලියන්න ඕනේ
ස්තුතියි සඳු...බාප්පා ගැන වෙලාවක ලියන්න
Deleteමගේ තාත්තා මට නොදුන් සමහර දේවල් අඩුවක් නොවෙන්නේ මගේ පුතුට දෙනවා
ReplyDeleteමෙන්ඩා...ඔව්...ඒක හරිම වැදගත්..අපි අත්දැකීම් ඔස්සේ ඉස්සරහට යනවා
Deleteහැබෑට මට වෙන එකෙක්ව පරමාදර්ශී චරිතය කර ගන්ට හිතෙන්නේම නෑ නෙව...
ReplyDeleteසමහර විට මගෙ ලොකු කම කියලා හිතෙයි කෙනෙක්ට...
ඒත් මට නම් මම හැර වෙන කෙනෙක්ව පරමාදර්ශී චරිතය කර ගන්ට හිතෙන්නේ ම නෑ...
හෙහේ...
එහෙමත් වෙනවා ඇති චතුරංග...නමුත් දෙමවුපියො කියන්නෙ යම් තාක් දුරට දරුවන්ගෙ මග හෙලි කරන චරිත...නේද අඩු වැඩි වශයෙන්
Deleteතාතා්තා, මොන විදිහකින් හැදින්වුවත් ආදරණීය බව උතුරලා යනවා.පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කිව්වාට මේ ලියලා තියෙන කවි පෙළ ඒ සෙනෙහස ගැන අපුරුවට කියලා දෙනවා . මගේ ජිවිතේ විරයා අප්පච්චි. එකයි මම අප්පච්චිට මෙහෙම ලියන්නේ
ReplyDeleteපුංචි
මිනිහෙක්
අප්පච්චි නුඹ
හුඟක් උස නැති....
එත් මට,
යෝධයෙක් නුඹ,
හුඟාක් උස
නුඹේ
හිත ළඟ
ලස්සන ආදරණීය සටහනක්
Deleteබ්ලැක් ඇන්ඩ් වයිට් කියලා මෙච්චර දවස් දැනගෙන හිටියේ නැහැ :D
ReplyDeleteඋඩින් කොච්චි කියලා තියෙන දේ ඇත්ත. තාත්තාව වටහාගන්න සහ ටච් වෙන්න කාලයක් යනවා. මමත් බොහෝ කාලයකට පස්සේ තමයි ඒ බව තේරුම්ගත්තේ.
බ්ලැක් ඇන්ඩ් වයිට් වගේම විසිරිවත් පිලිගන්න....ඒකට සමුදුන්නා...මේ හීන දකින ලෝකය..ඔබ සැම එක්කම
Delete