කාලෙකින් ට්‍රිපක් කියල එකක් යන්න බැරිඋන සාන්කාවෙන් කල්පනාවේ ගැලි ගැලී ඉන්න වෙලාවක අතීත ස්මරණ චාරිකාවක ගමන් කලා ඔන්න.
අපේ හිත කියන්නේත් මාරම විජ්ජාවක්නෙ. මේ ඉන්න මොහොතෙ ඉඳන් කාලයන්තර මොකුත්ම නැතුව අවුරුදු තිස් හතළිස් ගානක් ඈතට යන්න පුලුවන් එකම විජ්ජාවක් නොවෙයිද කියන්නකො.
ඉස්සරම පොඩි කාලෙ ට්‍රිප් යන්න පේවෙන්න දවස් ගානක ඉඳල. කොහොමටත් ඉස්කෝලෙ නිවාඩුකාලෙක යන ගමනක් ඇරුණාම ඉතින් ට්‍රිපක් කියල ගියේ අම්මාගෙ ඉස්කෝලෙන් යන පාසල් අධ්‍යාපන චාරිකාව තමයි.
නිවාඩු කාල තුනට ගමන් තුනක් යන්න හිතාගෙන අවුරුද්ද පටන් ගත්තත් බොහොමයක් වෙලාවට ඒකෙන් දෙපාරක් වගේ යැවෙන්නෙ අම්මගෙ අයියල දෙන්නෙගෙ ගෙවල් වල තමා. එක්කෙනෙක් උන්නෙ කලුතර අනෙක් එක්කෙනා වේයන්ගොඩ. මාතර ඉඳන් එහෙම ගමනක් යන එක පවා ඉතින් විනෝදචාරිකාවක් තමයිනෙ.
ගොඩක් වෙලාවට ඔය ගමන් දෙකම යන්න අපි ඔක්කොම අනුමැතිය දුන්නෙ කෝච්චියට. බස් එකේ යන එකට වඩා කොච්චිගමන පහසුයි. අනෙක අම්මට වොරන්ට් තිබ්බ නිසා ඒක වියදමෙනුත් ශේප්.
ඉතින් ඔන්න අම්මා ගමනට ටික දවසකට කලින් වොරන්ට් ෆෝම් පුරවන්නෙ තාත්තා එක්ක කතාබහ කරමින්. යන දවස ගැන ප්ලෑන් ගහන්නෙ දෙන්න එක්ක. අපි ඉතින් අවශේෂ පුද්ගලයොනෙ. අපේ ඔපීනියන් අදාලම නෑ ඒ අයට.
"ගෙනියන්න කිරිහට්ටියක් දෙකක් ලෑස්ති කරගන්න වෙයිනේ.?"
තාත්තා අහනව.
"අර ගඟ ගාව අහට ගිහින් බැලුවනම්. එහෙ මීකිරි හොඳයි." අපේ ගමේ ගෙවල්වල මීකිරිම හදන ගෙවල් දෙක තුනක් තිබුණා. ඒකාලෙ . අපේ ගෙදර ඇතිකලේ එලහරක්. " එල" කියන්නේ දැන් ඔය ව්‍යවහාරෙ තියන එල එක නෙවේ හොඳේ.
ඉතින් ගෙදර බොන්නයි කන්නයි හැදෙන්නෙ එලකිරි. අපේ සීයා උදේම ගිහින් දොවාගෙන එන එලකිරි උණුකරල බොන්න ටිකක් වෙන්කරන් අනික්වා බෝතල් වල මුදවන්න දාන්නෙ ආච්චි හෝ අම්මා. ඒ කාලේ එලකිරි වහ වගේ වෙච්ච අපිට දැන් ඉතින් කිරිහලවල් වලින් එලකිරි අරන් බොන්න වෙලා නෙව.
ආ...කතාව අන්න වෙන කොහේද යන්න අරන්..ට්‍රිප් එක ගැන ලියන්න ගිය මට එලකිරි සිහිය නිසා ට්‍රැක් පැනල..
ඉතින් අම්මා ඔන්න ගමන යන්න තව මොන මොනව හරි කෑමක් දෙකක් හදාගන්නව. වැලිතලප, හැලප වගේ මක්කහරි තමා. මාතර කතාවක් ලියනකොට මාතර භාෂාව එහෙන් මෙහෙන් එබිකම් කරනවට ගණන් ගන්න එපා. ඒවා එහෙම තමා.
ඉස්සර ඔය ගමන් යනකොට අපේ හසරැල්ලා ඉපදිලා නෑ. ඒකා මට වඩා සෑහෙන්න පොඩියිනෙ .දැන් ඔය අලිපැට්ටෙක් වගේ උන්නට මෑන් මට වඩා අවුරුදු දොලහක්ම බාලයි. ඉතින් මගේ ඉස්සරෝම ට්‍රිප් යන කාලේ උන්නේ අපේ ලොකු මල්ලියි මායි.
දැන් ඉතින් මඩ දෙයියා වගේ මුහුණුපොතේ මට මඩගහන් උන්නට පොඩි කාලෙ උන්දැයි මායි නයිවෛරයි කියලයි අම්මා කියන්නේ
මෑන්ටයි මටයි රණ්ඩු වෙන්න කාරණා කොච්චර තිබ්බද කියනව නම් ට්‍රිප් යනකොට කියලා ඒවයෙ වෙනසක් අඩුපාඩුවක් නම් උනේ නෑ. කෝච්චියට නැග්ගම ලොක්කාට ඕන මූද පැත්තෙ සීට් වලට යන්න .
ඉතින් තාත්තා කියනව
පුතේ ගාල්ලට ගියාට පස්සෙ මූද තියෙන්නෙ අනික් පැත්තෙනෙ. ඒ නිසා ගාල්ලට යනකල් අපි මූද නැති පැත්තෙ යන්
කියලා. ලොක්කාට තියා මටවත් ඔය ගාල්ලට පස්සෙ මූද පැති මාරුවෙන එක ඒකාලෙ තේරෙන්නෙම නෑ. ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙත් කොහොම හරි පිළිඅරන් අපි වාඩිවෙලා යනව කියන්නකො. අර යකාට ඕන කෝච්චිය යන පැත්තට තියන සීට්ට්ටෙකක්. ඉතින් මටත් ඕන ඒකක්මයි. ඔන්න ඉතින් ආයෙ රණ්ඩු. ඒ වෙලාවට අපේ මලයගෙ මූණ නිකම් පුස්නාම්බුවක් වගේ. පුපුරන්න ඔන්න මෙන්න.
තාත්තා එතකොට මට ඇහෙන් ඉඟිකරනවා ඕක දීලාදාන්න කියල. ඉතින් අරයා රජා වගේ මූණට හුලන් වැදි වැදි යනවා. මම පස්සෙන් පස්සට යන්නෙ. වමනෙටත් එන්න වගේ එහෙම යනකොට. කොහොමත් ගමනක් යනකොට ඉටිබෑග් එකක් දෙකක් ස්ටෑන්ඩ්බයි තියන් තමයි අම්මල යන්නෙ
අහන්ගම පහුවෙනකොට රටකජ්ජේ කියාගෙන ආච්චිලා කීපදෙනෙක් එනවා කෝච්චියට. උණු උණුම රටකජු කඩදාසි කොල ගොටුවලට ගහලා. තාත්තා දෙකක් ගන්නව.එකක් අම්මා අත තියනවා. අම්මා රටකජු කන්න හරිම ආසයි. අපි උණු උණු රටකජු කකා එනවා.
ඔන්න බොලේ ගාල්ලෙන් පස්සෙ නෙ නියමම හරිය. මම යන්නෙ ඉස්සරහට අරයා පස්සෙන් පස්සට. පොරගෙ මූණ කෝච්චියට අහුවෙච්ච පොල් ලෙල්ල වගෙ. කටබෙරි කරන් අඬන්න ගන්නෙ මම නිකම් මූද හොරෙන් අරන් අනිත් පැත්තට තිව්වා වගේ. අලබෝලයක් වගේ ඉන්න එකා ඔන්න මට පයිනුත් ගහනවා. දෙයියෝ කටුකෝටුවට ඉන්න මට රිදෙනවා. රණ්ඩුව පටන් ගන්න කලින් අහවර වෙන්නෙ අම්මා රවාගෙන බනින්න ගත්තාම.
"ආයෙ එක්ක එන්නෙ නෑ කිසි ගමනක්."
අම්මා දිනුම් පදේ ගහනවා. වෛරක්කායො දෙන්නා ශේප් වෙනවා.
"සින්දුවක් එහෙම කියන්නකො"
තාත්තා ඔන්න සමථ මණ්ඩලේ පුරුද්ද ගේනවා එතනට. ආ එතකොට තාත්තා සමථ මණ්ඩලේට පත්වෙලා උන්නෙ නෑ. එතකොට එයා පවුල් උපදේශක, මාතර උසාවියෙ.
සින්දු කියල මට එදත් මහ ලොකුවට සින්දු බෑ.
ඉස්කෝලෙ , දහම්පාසලේ රැස්වීමට , නෑයෙක් ගෙදර ඇවිල්ල දුවේ සින්දුවක් කියන්නකො කීවම වගේම ට්‍රිප් යනකොටත් මන් දන්න එකම සින්දුව
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න
ගල්වැට ලඟ වාඩිවෙලා සඳපායන හැටි බලන්න
සතර දිසා ජයගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳහිරු වී එළිය දෙමී
ඕක තමා. ඒක ඉස්සෙල්ල රේඩියෝ එකේ ගැයුවේ පේශලා මෙන්ඩිස්. මන් එයාව එක පාරක් රුහුණුසේවෙදිත් හම්බවෙලා දැකල තිබ්බා. ලස්සන ගෑණුලමයෙක් එයා.ශෝක් කටහඬ. ඒකට මොකෝ ඉතින් මගේ කටහඬ අදයි එදයි කියල නෑ. නිකම් තල් අත්තට පොල් පිත්තෙන් ගහනව වගෙ සද්දෙ. කෝච්චියෙ මිනිස්සු හිනාවෙවී අහන් ඉන්නවා.
ඔන්න අපේ ලොකු එකාගෙ සින්දුව එන්නෙ ඊලඟට
මෑන් දන්නෙ
හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
වටපිට ඇහැලෑවා
වගෙ එව්වා. ඉතින් හෙන හුරතල් හඬින් මූ ඕක කියනවා. කට තදකරන් ඉවසන් ඉන්න මට බකස් ගාලා හිනායන්නෙ...මෑන්ට දාල තියන කවටකම් නම ..ඔව්...ඔව් ඔය නික්නේම් කියන්නේ ඒකට තමා දැන්...හාවා නිසා....
ඔන්න මගේ හිනාව එක්ක පොරට යකා ආරූඪ වෙන්න ගන්නවා.
"වැස්සි වැස්සි..ගොන් වැස්සි.."
දත්කූරු හපාගෙන පයින් ගහ ගහ මේකා අඬනවා.
සින්දුකීම එතනින් හමාරවෙනවා.
කලුතර කිට්ටුවෙනකොට ආයෙ එනව ඉස්සොවඩේ. හම්මේ ඉතින් සුවඳ. තාත්තා අරන් දෙනවා ඉතින් .පස්සෙ කාලෙක මේ මෑතක කලුතර ජාතික සෞඛ්‍ය අධ්‍යාපන විද්‍යායතනයේ ට්‍රේනින් එකකට ගියා මම . ඒ යනකොටත් පොඩි කාලේ පෙරේතකම මතක් වෙලා ඉස්සො වඩේ අරන් කෑවා.
"මගේ එක තමා රහ..."
"නෑ මගේ එක.."
රණ්ඩුවක් අල්ලන්න නම් ඉස්සෙක් උනත් ඇති ඒකාලෙ..
රණ්ඩු දෙකක් ඉවර වෙනකොට කෝච්චිය දකුණු කලුතර ට කිට්ටු කරනවා.
"හා හා ලෑස්ති වෙන්න ඊලඟ එකෙන් බහින්න ඕන."
අම්මා ඇඳුම් බෑග් එක කරට ගන්නවා. මල්ලිව අතින් අල්ලගෙන . තාත්තා අනෙක් බෑග් එකයි කිරිහට්ටි දාපු පෙට්ටියයි ගන්නවා.
"මාව අල්ලගෙන එන්න දෝණි. අතහැරෙයි බලාගෙන"
තාත්තාගේ කලිසමෙන් අල්ලගෙන මම කෝච්චියෙ දොරගාවට එනවා.
පොල්ගස් පේලියට මූද අයිනෙන් පහුවෙවී ආපහු මාතරට දුවනවා. මූදේ රැල ගහන හැටි කටත් ඇරන් මම බලන් ඉන්නවා. ඔන්න දකුණු කලුතරට එනකොට අපි එහා පැත්තෙ දොරගාවට යනවා.
කලුතර බෝධිය සුදෝසුදුවට පේනවා. අපි බහින්න ලඟයි ඉතින්.
කෝච්චිය නැවැත්තුවාම කට්ටුඅය්ම හෙමින් බැහැ ගන්නවා.
අපි හතරදෙනාම ආපහු කෝච්චිය යනකල් අයිනට වෙලා ඉන්නවා.සෙනගත් යන්න දෙන්න ඕනනෙ.
කෝච්චිය හූ කියනවා. අපෙ ලොකුත් හූ කියනවා. ඔන්න එතකොට කවුලු වලින් බලන් ඉන්න කට්ටිය හූ කියන බෝල බබා දිහා බලන් හිනාවෙනවා
අක්කා වශයෙන් මට සියුම් ආඩම්බරයක් එතකොට දැනෙන්න ගන්නවා.මොක උනත් මගේ මල්ලිනෙ. අර තරහ මරහ අමතක කරලා මම ඒකාගේ අතින් අල්ලගන්නවා. මොන මූ ඒ තරහ අතෑරලා නෑ. මට රවල ආපහු පයින්ගහනවා.ඉතින් කවරකතාද ?
සෙනග අඩු උනාට පස්සෙ පිටවීමේ දොරට අපි හතරදෙනා එනවා. තත්තා රෝස පාට කොලේ ගේට්ටුවේ ඉන්න එක්කෙනාට දෙනවා. අපි ඔන්න ඉතින් දැන් යන්නෙ බස් එක ගන්න මාමලගෙ ගෙදරට යන්න.
අර ඉතින් කෝච්චියෙන් බැස්සට පස්සෙ මොකෙ වුණේ කියල කියන්නයි ඔන්න මම හදන්නෙ. අපේ මාමලා ඒ කාලෙ උන්නෙ කලුතර දියගම. ඉතින් වෙනම බස් එකකින් එහෙට යන්න ඕන.
ඔය දියගම කිට්ටුව තමානේ අර ඇඩ්ලින් විතාරන ගෙ මරණය උනා කියන්නෙත්.ඒ කාලෙ මට මතකයි ඔය මාමලාගේ ගෙවල් කිට්ටුව කඩේකින් ඒ දෙන්නා තේත් බීලා ගිහින් තියනවා කියල කතාවක් තිබ්බා. ඇඩ්ලින් විතාරණ කියන්නෙ කවුද නොදන්න අයට මන් මතක් කරල දෙන්නම්කො...
දඩයම චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ අන්න ඒ ඇඩ්ලින් විතාරණගේ කතාව. පසුකලක ඔය කතාව ඇහුවට පස්සෙ මට මාමලාගේ ගෙදර යනකොට ඇඩ්ලින් විතාරණට උන්න ස්වර්ණා අර දෑත බදලා රවින්ද්‍රගෙ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එක කුඩුවෙන්න ගහන හැටි මැවිල පේන්න ගත්තා.
අපේ මාමලගෙ ගෙදර තිබ්බෙ කලු ගඟ ආසන්නයෙ.ඉතින් අපි කලුගඟට නාන්න එහෙම යනවා, නිල්වලාගඟ පේන මානයේ නිතිපතා ඒකෙන් නාපු අපි කලු ගඟට ගිහින් නාන්නෙ ජීවිතේට ගඟක නාලා නෑ වගේ.
ඒ වගේම ඔය ගඟට යන පාරේ මැන්ගුස් ගස් එහෙම තිබ්බා . කලුතර ගියපු කාලෙ තමා මැන්ගුස් කෑවෙ ඉස්සෙල්ලම අපි.
පණයනකන් ගණ කට්ටක් තලාගෙන අන්තිමට බලද්දි යාන්තම් මදුලු දෙක තුනයි. කහට විමානෙ අනික.එහෙමයි කියල නොකාඉන්නවද අපි නෑනෙ නෑනෙ...
කලුතර ගියාම ඉතින් කලුතර බෝධියට යන එක අනිවාර්ය සිරිතක් උනා. මම පොඩිකාලේ හිතාගෙන උන්නෙ කලුතර බෝධිය කියන්නේ අර සුදු පටින් තියන චෛත්‍යයට කියලා.පස්සෙ ඔන්න දහම්පාසල් යද්දි ඒ දෙකේ වෙනස තේරුණා.
මාමලාගේ ගෙදර ඉතින් දවස් දෙකක් තුනක් ඉඳලා සුපුරුදු අන්දමට ආපසු මාතරට අපි කෝච්චියෙන් එනවා. අන්න එහෙමයි ඒ කාලෙ අපි ගියපු ට්‍රිප්.
**************************************************************************************************************
කොච්චර අපහසුකම් තිබ්බත් ඒ ගිය ගමන් අදටත් මතකයේ තියෙන්නෙ ඒ ගමන් අපි වින්ද නිසානෙ. ඉතින් මම තාම ඒ ට්‍රිප් වලට මාරම ආසයි.ආයෙ එහෙනම් තව කොටසකින් එන්නම්කො ඔය වගේ තව ගියපු ට්‍රිප් ගමන් ගැන ලියාගෙන...
ප.ලි.
සදොස් තැන් තිබ්බා...ඒවා නිවැරදි කරදුන් කමෙන්ටු වලට ස්තුතියි
විසිරි
දකුණු කලුතරයි උතුරු කලුතරයි අතරෙ නේද නොම්මර එකේ ස්ටේෂම තියෙන්නෙ?
ReplyDeleteමාතර ඉඳල එන කෝච්චි ඕවයෙ නවත්තන්නෙ නෑනෙ..රුහුණුකුමාරිය එහෙම. ප්‍රධානම ඒවයෙනෙ නවත්තන්නෙ .ඒ නිසා ඕක ගැන මතකයක් නෑ මට
Deleteමාතර ඉඳල එනකොට මුලින් තියෙන්නේ දකුණු කළුතර, ඒක ලොකු ඉස්ටේසමක් ඊට පස්සේ තමා උතුර, ඒක පොඩි ඉස්ටේසමක්. අංක එක (බොහොම කුඩා ඉස්ටේසමක්) තියෙන්නේ තවත් කොළඹ දිසාවට යනකොට. අංක එකට පස්සේ එන්නේ වාද්දුව.
Deleteජයවේවා!
Myself Hattor
Hattor
Deleteඅපි එතකොට දකුණු කලුතරින් නේද බැහැල තියෙන්නෙ ....මට පැටලුණා මගෙ හිතේ. මම ඒක නිවැරදි කරන්නම්
https://www.youtube.com/watch?v=SynqNp4XufE
ReplyDeleteමිනීමැරුම වුනේ පුත්තලම අනුරාධපුර පාරෙ විල්පත්තුවට හැරෙන හන්දියට කිට්ටුව නේද?
ReplyDeleteකලුතර සමහර විට මිනීමරුවාගෙ ගම වෙන්න ඇති.
ඔය කතාව මට කවුරු හරි කිව්වෙ අන්න අර විදියට , සත්‍ය අසත්‍ය භාවය නම් දන්නෙ නෑ.
Deleteප්‍රා නිවැරදියි..ඝාතනය සිදු වුනේ අනුරාධපුර - පුත්තල පාරේ තමයි...
Deleteඝාතකයා නොහොත් ජයලාල් ආනන්දගොඩ කළුතර පැත්තෙ කෙනෙක්..සමහරවිට විසිරිගෙ මාමා පදිංචිව හිටියෙ ඔහුගේ ගෙදර කිට්ටුව වෙන්න ඇති. ඝාතනය වූ ඇඩ්ලින් විතාරණ කටුගස්තොට ප්‍රදේශයේ තරුණියක්..ඇය මට මතක විදිහට මහාමායා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙ...ඇයට ආනන්දගොඩ හින්ද කලිනුත් ගැහැණු දරුවෙක් ලැබිල හිටියා. දෙවන දරුවා ලැබෙන්න ඉන්දැද්දි තමයි ඇය ඝාතනය වුනේ...
තව පොඩි tidbit එකක්..ගැහැණු ළමයි මුල්වරට තිරගතවූ දවස්වල ආරංචියක් පැතිරගියා වසන්ති චතුරාණි කියන්නෙ ඇඩ්ලින් විතාරණගේ දරුවාය කියල.වසන්තිගෙ දෙමව්පියෝ නැහැ. ඇය හැදුනෙ ආච්චි ලඟ. ඒ හින්දා සහ ඇගෙ පෙනුම ඇඩ්ලින්ගෙ පෙනුමට යම් සමාන කමක් දක්වපු නිසා තමයි ඔය ආරංචිය පැතිර ගියේ.
ඒත් ඒ කාලෙ ඉන්ටනෙට් ගොසිප් සයිට් එහෙම තිබ්බෙ නැතිනිසා වැඩිකල් යන්ට ඉස්සර ඒ කටකතාව හැමෝටම අමතක උනා..පස්සෙ මට මතකයි අවුරුදු විස්සකට වගෙ ඉස්සර කවුදෝ ඇඩ්ලින් විතාරණ ගැන නවකතාවක් ලියන්ට ගිහිල්ල ඇඩ්ලින්ගෙ දියණිය එයට විරුද්ධව තහනම් නියෝගයක් ලබා ගත්තා.
ස්තුතියි ලොකු අයියෙ , එහෙනම් අර ආනදගොඩගෙ ගෙවල් ගැන කතාව වෙන්න ඕන අර විදියට මගෙ ඔලුවට ගිහින් තිබුණේ.
Deleteඅර ඉස්සර ටීවී එකේ ගිය ඉටිපහන් ටෙලිනාට්‍යය ඇඩ්ලින් විතාරණගෙ දුව ගැන කතාවයි කියලත් රාවයක් ගියා නේද ?
This comment has been removed by the author.
ReplyDeleteබොහොම මදි බොහොම මදි.. මම නම් කියන්නේ පයින් නෙවෙයි ගහන්ඩ ඕනේ හොම්බට
ReplyDeleteඑකපාරක් මමයි අයියයි, අක්කයි ගියා වැඩකට නුවල ඉඳල කොළඹ බස් එකේ. එතකොට මම ඕලෙවල් වත් ලියල නැහැ. ඒ දෙන්නා ලොකුඉ.. මරේ මරු වැඩක් උනානේ!! ලියන්නම් පස්සේ ඒ ගැන
ඉස්කෝලෙන් මිසක් ගෙදරින් එහෙමටම ට්‍රිප් එක්කගෙන යන්නේ නැහැ. ගියත් ඉන්නේ බුම්මගෙන. ඉස්කෝලේ ඒවා නම් ඉතින් ආයේ නැහැ නියමයි
ඔය ටික දැක්කොත් අපේ ලොකු එකා දුම්මල වරම ගත්තා වගේ මට මඩගහන්න ගනීවි අනේ. ආයෙ වෙලාවක ට්‍රිප් කතා ලියන්නම්කො මම. ඔයත් අර ට්‍රිප් කතාව ලියන්න ඈ
Delete