දිනපොතකින් සතියක්
දිනපොතක් ලියනවා කියන්නෙත් අපූරු වැඩක්.ඒක මට ආයෙම හිතුණෙ ගිය සතියෙ.ඉතින් අහපු දැකපු , හිතපු දේවල් එක්ක මේ ලියවෙන්නෙ විසිරිගේ දිනපොත
05. 07 . 2021 සඳුදා
අපේ ලොකු එකාට ( මල්ලිට ) ඩෙන්ගු හැදිලා. පොර හොස්පිට්ල් ඇඩ්මිට් කරලා.මේ කොරෝනාව කොච්චර නරකද කියනවනම් මට ඒකාව බලන්න යන්න විදියකුත් නෑ. මිනිහා ඉන්නෙ මාතර මම මීගමුවෙ. පළාත් සන්චරණ සීමා අයින් කරනවා නම් කියල හිතෙන්නෙ ඔන්න ඔහොම වෙලාවට. ඒත් ඒ ගියත් මෑන්ව බලන්න යන්න දෙන්නෙ නෑ. මොකද මේ කොරෝනා නිසා විසිටර්ස්ලා තහනම්නෙ.
මට 2007 ඩෙන්ගු හැදිලා උන්න වෙලාවෙ ඔය මල්ලිලා ඩබල තමා මට කන්න බෑ කිව්වම සැර දදා කැව්වෙ.මට ඒවා මතක් වෙද්දිත් මාරම දුකයි.
මිනිස්සු කොරෝනාවලට බයත් නැති එකේ ඩෙන්ගු වලට බයවේවිද කියල වෙලාවකට හිතෙනවා.පාරට බැස්සොත් කුණු ගොඩවල් , වතුර එක්කාසු වන තැන් කොච්චර නම්ද ? අපි අපේම ගෙවල් පිරිසිදුව කොච්චර තියාගත්තත් පොදුවේ හැමතැනක්ම එහෙම වෙනවද කියලා හිතෙනවා.
උදාහරණයක් විදියට කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ගයේ එනකොට කෙරවලපිටිය පිවිසුමට ආසන්නයෙන් වම් අත පැත්තේ තියන කුණුගොඩ එකම එක් උදාහරණයක් විතරමයි.
***********************************************************************************************************
06. 07. 2021 අඟහරුවාදා
හදිස්සි උවමනාවකට පුන්චි බොරැල්ලෙ පෝස්ට් ඔෆිස් එකට ගියා. අනේ ඉතින් පින්පඩි ගන්න පෝලිම දැක්කම දුකයි. වයසක සීයල ආච්චිලා ඔය සොච්චම් මුදල ගන්න පෝලිමේ බැරි බැරිගානේ ඉන්නෙ උදේ ඉඳන් . මේ වගේ කොරෝනා කාලයක එහෙම ඉන්න එකේ අවදානම තවත් වැඩියි. මොන තරම් දැනුවත් කලත් ආච්චිලා සීයලාගේ මුව ආවරණය නම් නහයෙන් පහළට වැටිලා තමයි තිබුණෙම. එක අතකට පෝලිමක හිටගෙන ඉන්න අතරේ ඔය මුව වැස්මෙන් හුස්ම ගන්න එකත් අපහසු ඇති.
ගිය වැඩේ අතෑරලා ආපහු ආවේ තවත් ඔතන මාත් ඉන්න එක අවදානමක් නිසා.
තැපැල් කන්තෝරුව මතක් උනාම ආයෙ මට මතක් උනේ කාලෙකින් මගේ මුද්දර එකතුව යාවත්කාලීන වුනේ නෑ නේද කියල. ඉස්සරම ඉන්නදන් මුද්දර එකතුකරන්න ආසාව තිබ්බට ඒක අතරමග කාලයකදි අතෑරුණා.ඉන් පස්සෙ මුද්දර නැතිවුනා මගේ එකතුවේ. කොල්ලො දෙන්න ( පුතාලා )පොඩි දවස්වල ආයෙම පටන්ගත්තත් ඒකත් හරියකට කෙරුණේ නෑ. ආයෙම ඉතුරු වෙලා තියන ඇල්බම් ටික අරගෙන බලන්න ඕනෙ අන්න ඒ වැඩෙත් පටන් ගන්න.
************************************************************************************************************
07.07.2021 බදාදා
පරණ මතක අවුස්සන එක තරම් කෙනෙක්ට වෙන සන්තෝසයක් දෙන කාරණයක් තියද හැබෑටම. ඔවු ඉතින් සමහරක් වෙලාවට දුක්බර මතකත් හිතට එනවා තමයිනෙ.
මුහුණුපොතේ අර අවුරුද්දකට, දෙකකට, දහයකට විතර කලින් කරපු කියපු ලියපුවා ආපහු එනකොට හිනාත් යනවා.සමහර ඒවා දැක්කම හිතට සතුටකුත් එනවා.
අවුරුදු හතකට කලින් මේ වගේ දවසක පස්සර නමුණුකුල කන්ද පාමුල ඇති කලමණාකරණ සේවා පුහුණු ආයතනයට පුහුණු වැඩසටහනක සම්පත් දායකයෙක් විදියට ගිය ගමනක මතක ඇවිල්ලා තිබ්බා අද .
සීතලම නමුණුකුල පාමුල ඒ ලස්සන තැන ගැන හිතේ තිබ්බ මතක එක්ක අපූරු සේයාරූ වගයකුත් අරන් තිබ්බා මතකයි.
එහේ උන්න දවසෙ රෑ අපි ඔක්කොම අයව තිගැස්සවූ කාරණය වුණේ නමුණුකුල කන්දේ උඩ හරිය ගිනිගන්න එක. අපි නැවතිලා උන්න කාමර පවා දුමෙන් පිරෙන්න ආවා. ඒත් ඒ පළාතේ අයට ඒක සාමාන්‍ය දෙයක්.
කොහොමටත් මාස ගානකට පාරක් ඕවා ගිනිතියනවා මිස්..
ඒ පැත්තේ උන්න කෙනෙක් පසුවදා උදේ එහෙම කිව්වා. ඒ වුණාට උදේම ඒ ගිනිගත් කඳු ඉසව්ව දැක්කම හිතට ආවේ මහ දුකක් .
ඔය තියෙන්නේ ඒ සේයා රූ.
මිනිස්සු සොබා දහමට එක එක අන්දමින් තාමත් අදත් මේ මොහොතේත් හානි කරනවා.
දුකයි.
**********************************************************************************************************
08.07.2021 බ්‍රහස්පතින්දා
කාලයක් තිබ්බා එක හුස්මට කවි ලිව්ව. දැන් එහෙම ලියවෙන්නෙම නෑනෙ. මේකත් ඉතින් පරණ කවියක්.
පරණ වුනා කියල අහක දාන්නයැ..ඔන්න ඉතින් දිනපොතට එක්කාසු කලා අද දවසට කවිය.
ස්වප්නයක ගිලී මත් වෙමි
ඇසැර නොබලාම හිඳිනෙමි
නෙතු පොඟන මුදු මත් බවක් රැඳි
නිද්‍රාව තුළ තවත් සැරි සරමි
මුදු සරෙක හිත බහා දවටලමි
යළි යළිත් හෙමින් ගෙන හැඩ බලමි
අකුරු ගලපා කවක් යළි ගොතමි
නිදන නෙතු මත තබා සිපගනිමි
හිරු කෙඳිති මුවා කර නෙතු වසමි
සවනතට කෙඳිරුමක් ගෙන තබමි
දෝත අස උණුසුමක සසලවෙමි
සිහිනයක බව යළිදු හැඳිනගමි
නෙතු පොඟන ස්වප්නයක සැරිසරමි
නිදිබරව සිනාමල් පුබුදවමි
නොහිම් හැඟුමක ගිලී සිත තබමි
යළි යළිදු කවි හිතට පණපොවමි.
ආපහු බ්ලොග් එකට ආවම පුදුම සතුටක් නිදහසක් දැනෙන්න ගන්නව. ඒක මුහුණුපොතේ ඉන්නවාට වඩා වෙනස්ම ඇබ්බැහියක්. ඒත් කී කාලයක් මේකෙ ආපහු ඉඳීද මන්දා. කියන්න අමාරුයිනෙ.
ඒ වුනාට පුස්තකාලෙට යන්නත් බැරි එකේ මේ ටිකේ බ්ලොග් කියවන්න ආයෙ පටන්ගත්ත එක නම් නියමම වැඩක් කියල දැනෙනව.
09.07.2021 සිකුරාදා
අපේ රයිලියා ( බලූස්) ඊයෙ රෑ ලේන් පැටියෙක් අල්ලලා. බේරගන්න යනකොට පමා වැඩියි. මූ ඒකාව කාලත් එක්ක. හිතට මාරම දුකයි.
ඉස්සරම ඉස්කෝලෙ යනකාලෙ ලේන් පැන්චෙක් උන්නා මාතර අපේ ගෙදර. එයාගෙ නම කිරී. හරිම හුරතල්. මන් එක්ක පුදුම බැඳීමක් එයාගේ තිබ්බා. ඒත් දවසක් මම ක්ලාස් ගිහින් එනකොට ගෙදරම ඇතිකල පූසා එයාව කාලා තිබ්බා. එතකොට මම අටේ පන්තියෙ විතර ඇති.
මම දවස් දෙක තුනක්ම කන්නෙ නැතුව අඬ අඬ උන්නා. අන්තිමට තාත්තා ආයෙ කිසිම දාක ගෙදර ලේන්නු නම් හදන්න තහනම් කියලත් කිව්වා මතකයි.ඊයේ ඒ දුක මට ආයෙ අලුතින් දැනුණා.
ඇත්ත, ලෝකය කොච්චර වෙනස් වුණත් අපේ ජීවිත වල වෙනස්කරන්න බැරි සමහර දුර්වල තැන් තියනවා. ලෙඩ්ඩු එක්කම ජීවිතේ මහ කාලයක් ගෙව්වට, ඇස් පනාපිටම මිනිසුන් එහෙම රෝග නිසා මියයන හැටි විඳදරාගත්තට..මගේත් දුර්වල කම් මෙන්න මේ වගේ.
*******************************************************************************************************
10.07. 2021 සෙනසුරාදා
මල් කොල වේලලා කාඩ් හදන එක මන් ඉස්සර ඉඳන්ම ආස කල වැඩක්.ඉතින් කාලය ගතවෙලා මහා වැඩිහිටියෙක් උනාට තාම අර හිතේ හැන්ගිලා ඉන්න පොඩි ළමයා ආපහු එක එක කතන්දර මතක් කරනවා...අරක කරන්න මේක කරන්න කිය කිය...
ඉතින් මන් ඔන්න ආපහු මල් කොල වේලලා පොඩි පොඩි සුකුරුත්තම් බුක් මාක් ටිකක් හදන්න පටන් ගත්තා,
අපරාදෙ කියන්න බෑ අපේ ගෙදර ඉන්න සියලුම ජනතාව..ඔව් ඔව් ඒ කියන්නේ මගෙ ස්වාමි පුරුෂයා සහ කොලු ගැටව් දෙන්නා මේ මොන්ටිසෝරි වැඩ එකකටවත් අකුල්හෙලන්නෙ නම් නෑ. ඔලුවට උඩින් එබිලා බලන් ඉඳලා මොකක්ද ඔය කරන්නෙ කියලා අහලා යනවා මිසක්කා.
ඔය තියෙන්නෙ මම හදපු එකක් දෙකක් ඉතින්
***************************************************
11. 07. 2021 ඉරිදා
කිට්ටුව ගෙදරක මාමා කෙනෙක් අභාවප්‍රාප්ත වෙලා. හොඳ නෑනෙ ඉතින් කියලා මලගේ පැත්තට ගිහින් එලියෙන්ම ඉඳලා ආවා. මිනිය ගෙනල්ලා නෑ. හෘදයාබාධයකින් ඔහු මියගියත් පීසීආර් එක කරන්න වෙන නිසා මෘතදේහය රෝහලෙන් නිදහස් කරන්නේ ටිකක් පමාවෙලා .
ගෙදර අය එකේක අදහස් දෙනවා. ඒ වගේම සූ ගාලා සෙනගත් එනවා. මීටරේ දුරත් ලාවට වගේ එක එක්කෙනා මතක් කරනකොට රැකිලා ආයෙ බිඳෙනවා.කොහොමටත් බරපතලකම නම් දැන් ආයෙම හිත්වලින් ටික ටික අයින්වෙලා.
කොටින්ම කිව්වොත් බස්නාහිර පලාතේ බස්වල ගෙනියන්න පුලුවන් උපරිම ධාරිතාවයෙන් සියයට තිහක් කිව්වට 154 බස් වල නම් කටකපලා ආයෙ සෙනග යනවා ඒ මාර්ගයේ වාහන පදවන මටත් පේනවා. අපේ රටේ මිනිස්සු මට්ටුවෙන්නෙ නෑ කීසිම කිසියම්ම ආකාරයකින් වත්
********************************************************************************************************
එහෙනම් ඉතින් අපි ආයේ ලබන ඉරිදා අහපු දැකපු හිතපු ඔක්කොම එක්ක විසිරිගෙ දිනපොතෙන් හම්බෙමු.සුබ සති අන්තයක් ඔහෙලා ඔක්කොම ගෙවන්න ඇති කියා සිතනවා.
මම
විසිරි
එලද බ්‍රා....අන්න විහගි පහන්ගේ ජිවිත කතාපොත කියවනවා..කමියගේ බ්ලොග් එකේ
ReplyDeleteමේ දුවන ගමන් එහෙට.....
Delete+++++++++
ReplyDeleteබොහොම ස්තුතියි
DeleteEla!
ReplyDeleteස්තුතියි
Deleteඅනුන්ගේ දිනපොත් කියවන්න එපා කියල අපේ තාත්ත අවවාද කරල තියෙනේ නිසා කියවන්න ලජ්ජාත් එක්ක. ඒත් කියෙව්වා
ReplyDeleteඇහැක් වහන් අනිත් ඇහෙන් බලන්න. අපි හොරවැඩ කරන්නෙ ආන්න එහෙමයි
Delete