හදේ කොතැනක හෝ හිඳී ඔබ
මම පාරමී.....
පාරමී රත්මල්ගොඩ
වෘත්තියෙන් වෛද්‍යවරියක්..... ඇත්තෙන්ම කිව්වොත් මනෝවෛද්‍ය විශේෂඥ වරියක්...මම මේ ක්ශේත්‍රය තෝරාගත්තේ පොඩි දවස් වල ඉඳන්ම තිබුණ ආසාව නිසා...
විවිධ මානසික හේතුන් මත ජීවිතය කඩාවැටෙන, ඔත්පල වෙන වගේම ආබාධිත වෙන මිනිස්සුන්ට උදව් කරන්න මගේ හිතේ කැමැත්තක් තිබුණා....මේක ලෙහෙසි පහසු කාර්‍යයක් නොවන බවත් මම දැනගෙන උන්නා......
තාත්තා නැතුව අම්මා මාව ගොඩනගපු අන්දම ගැන හිතුවාම...මානසිකව ජීවිතේ ඇදවැටෙන මිනිස්සු වෙනුවෙන් මට කරන්න හුඟාක් දේ ඇති කියලා මට වැටහුණා......
ඉතින් .....මං ජීවිතේ ආ ගමන් මග දිහා ආපහු හැරිල බලනකොට....ඇත්තෙන්ම මං ඉන්නෙ සතුටින් .....එකම එක කාරණයක් හැරෙන්න .....මං සම්පූර්ණ ජීවිතයක්....ඒ කාරණය ගැන මම කතා නොකර ඉන්නේ.....ඇත්තෙන්ම අද වෙනකොට මම ඒ බරපතල කාරණය මගේ ජීවිතය ගැන තීරණය කරන නිර්නායකයක් ලෙස නොගන්නා නිසයි......
ඉතින් .....අවුරුදු ගණනක් විදෙස් ගත ව ඉගන ගෙන විශේෂඥ උපාධිය වගේම මගේ පර්‍යේෂණ කිහිපයක වාර්තා ලෝකයටම බෙදා හැරලා මම ආපහු ලංකාවට ආවේ....මං උගත් දෙයින් මගේ රටේම මිනිස්සුන්ට සේවයක් කරන්න ඕන කියලා අම්මා වගේම මමත් එදා සිටම තීරණය කල නිසයි.........
ඉතින් ....... මා එක්ක මේ අරුම ඉසව් දිගේ පා නගන්න ඔබ සැමටම මම ඇරයුම් කරනවා....මගේ ජීවිතේ ඉදිරි කාලය දුක, සතුට ,සිනහව වගේම අත්දැකීම් බහුල එකක් වේවි......ඒ සියල්ල ඔබ එක්ක මම බෙදාගන්නම්.....
අපි හමුවෙමු
"හදේ කොතැනක හෝ හිඳී ඔබ" ....ඔව් ඒ මං ගැන විසිරි සිහිනයේ ලියවෙන සටහන් පෙළ ......
මම
පාරමී රත්මල්ගොඩ
***********************************************************************************************
පළමු වෙනි කොටස
ඒ පරිසරය මහා තුරු හිස් වලින් ආවරණය වූ මාවතක කෙළවර තිබූ සන්සුන්ම ඉසව්වක් විය.
නිතර වාහන යනෙන කලබලකාරී ප්‍රධාන මාවතේ සිට පිවිසුම ලෙසින් දිස් වෙන ආරුක්කුවක් බඳු ගේට්ටුවකට පසු දෙපස විසල් රුක් පේළියකින්ද ඒ ගස් යට දිගටම වවා තිබූ කොල සහ සුදු මිශ්‍ර පඳුරු රැසකින්ද මාවත සීමාවිය.
කාපට් ඇතිරූ මාවත හරි කෙලින් මීටර් තුන්සියයක් පමණ දුරක් දිවෙන්නට වූයේ කලු පැහැයට එක් වූ කොල සුදු වර්ණවල ගාම්භීර පෙනුමද සමගිනි.....
ඒ මාවත කෙළවර වූයේ සුදුම සුදු පැහැයෙන් ඉහළට දිස් වූ ගොඩනැගිල්ලකි. වසර දෙක තුනකට පෙර සුදු පිරියම් කරන්නට ඇතැයි සිතෙන ගොඩනැගිල්ලද එතරම්ම ජරාවාස නොවී තිබුණි.
පිවිසුමට පෙර ඇත්තේ කවාකාර උයනකි. එහි මධ්‍යයේ විසල් බෙන්ජමිනා ගසක් අතුපතර විහිදමින් අඳුරු සෙවනක් මවා දෙයි....හතර වටට විහිදුණු බෙන්ජමිනා ගසේ ශාඛා දිගේ පහලට ඇදෙන රුකුල් මුල් දුඹුරු පැහැයෙන් යුත් සර්පයන් මෙනි.
කවාකාර උද්‍යානය වටා සුදු පිරියම් කල සිමෙන්ති බංකුය. එහෙත් ඒ හැම බංකුවක්ම හිස් ය. බිම පුරාවට වවා ඇති තණකොළ මනාව කපා ඔපමට්ටම් කොට ඇත. කවාකාර උද්‍යානය වටා ගඩොලින් බැඳි මල් පාත්ති වල කුරු වර්ගයේ වතුසුද්ද පඳුරු වවා ඇත.
එම ප්‍රධාන පිවිසුමට මදක් ඔබ්බෙන් වූ රථගාලකි.ඒ රථගාලෙහි සිය සුදු පැහැති ප්‍රියස් මෝටර් රථය නැවැත්වූ පාරමී රත්මල්ගොඩ වාහනයේ කණ්නාඩිය තමා වෙතට හරවා මුහුණ බැලුවාය. කණ්නාඩියට මඳක් විරිත්තා මෙන් කට ඇද කොට සිනහසුනාය. යළි කණ්නාඩිය පෙර මට්ටමට සැකසූ ඇය සාරියේ ඉදිරි රැලි ටික සකසා සාරි හැට්ටයේ කරද සැකසුවාය.
වාහනයෙන් බැස අගුලු දැමූ පාරමී රත්මල්ගොඩ අත්බෑගය කරට දමා යළි ඉදිරි රැළි සකසා ගත්තේ පාවහනට නොපෑගෙන අන්දමටය.
විදෙස් ගතව ඉන්නා කාලයේ ඇඳි පහසු ඇඳුම් ඉතින් ලංකාවේදී අඳින්නට නොහැක....එහිදී නම් සේවයට පැමිණි පසු සියල්ලන්ම සිය නිල ඇඳුමට මාරුවිය යුතු ය...
සාරියක් ඇඳ වැඩ කරන්නට ගියා නම් එහි උන් සිය විදේශීය යහලු යෙහෙළියන් කුමක් කියාවිදැයි පාරමීට සිතුණි... ඒ කල්පනාවෙන් මිදුණ පසු හාත්පස සිසාරා එකම බැල්මක් හෙලූ ඇය ඉදිරි ද්වාරය වෙත ගමන් කළාය.
" good morning madam....කොහේටද යන්නෙ...?" පිවිසුම් දොර අසල උන් ආරක්ෂක නිලධාරියා විමසූවේ සිනහ මුසු මුවකිනි.
ලංකාවට පැමිණි පසු සේවා ස්ථානයන්හි සිටින ඇතැමුන්ගේ කටුක ප්‍රතිචාරයන් මේ වන විටත් පාරමී කලකිරවා තිබූ හෙයින් මේ පිළිගැනීම ඇයට සහනයක් ගෙන ආවේය.ප්‍රති සිනහවක් පෑ පාරමී රත්මල්ගොඩ තමා යා යුතු ස්ථානය පැවසුවාය.
"ඩිරෙක්ටර් සර් ඔෆිස් එකේ ඉන්නවා මැඩම්...ඔතනින් ඇතුල් වෙලා කොරිඩෝ එකේ ඉස්සරහට යන්න එතනින් උඩට තියන පඩිපෙළ නැග්ගම පලවෙනිම කාමරේ ඩිරෙක්ටර් සර්ගෙ ඔෆිස් එක...." ආරක්ෂක නිලධාරියා මේ ප්‍රියමනාප කාන්තාව දෙස ප්‍රසන්න සිනහවෙන්ම පැවසීය.
" බොහොම ස්තුතියි ! " පාරමී රත්මල්ගොඩ ඉදිරිපස පඩි දෙක නැග කොරිඩෝරයේ දිගටම පා නැගුවාය .
කෙලවර වූ පඩිපෙළ පැරණි දැව කැටයමෙන් සමන්විත අත් වැටකින් යුතු විය. සිය පාවහනේ අඩිය වදින ලී පඩිවල ශබ්දයෙන් පාරමී රත්මල්ගොඩ මඳක් තිගැස්සුනාය. ඉන්පසු වඩාත් ප්‍රවේශමෙන් ශබ්දය නෑසෙන සේ ඉදිරි පියවර තැබුවාය.
දෙමහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ දිගු කොරිඩෝරය දෙපස කාමර පේළියකි. ඉන් පළමු වැන්න අසලට ගිය පාරමී රත්මල්ගොඩ බිත්තියේ වූ සීනුව නාදකලාය. සීනු දෝංකාරය පැරණි ගොඩනැගිල්ලේ නිහඬතාවය බිඳහෙළමින් නාද විය.
කාර්යාල කාමරයේ දොර විවෘත වූයේ සියුම් හඬක් නගමිනි. සුදු කලිසමක් සහ කමිසයක් ඇඳි තරුණයෙක් ඉන් පිටට හිස දැම්මේ පාරමී දෙස බලාගෙනමය.
" මිස් කාව හම්බ වෙන්නද....?" ඔහුගේ හඬ අධ්‍යක්ෂක වරයා ඔහුදැයි සිතෙන තරමට සැරය.රාජ්‍ය සේවයට යම් පුද්ගලයෙකු බඳවා ගැනීමේදී ආචාර ධර්මයන් ඉගැන්වීමේ පාඨමාලාවක් අනිවාර්යයෙන් ඇතුළත් කල යුතුයැයි පාරමී කලකිරීමෙන් යුතුව සිතුවාය.
මේ කාමරයේ ඉන්නේ ඩිරෙක්ටර් නොවේදැයි අසන්නට කටට එන වදන් යටපත් කරමින් පාරමී තමා හමුවීමට ආවේ අධ්‍යක්ෂක තුමා බව පැවසුවාය.
"පොඩ්ඩක් ඉන්න සර් කෝල් එකක...."දොර යළි වැසී විනාඩි දෙකක් පමණ ගෙවී ගියේය. යළි දොර විවෘත වන තුරු පාරමී රත්මල්ගොඩ අවට සිසාරා බැලුවාය.
කොරිඩෝරය දෙපසම එක පෙළට කාමර හතර බැගින් ඇත. එම කාමර සියල්ලේම දොරවල් වැසී ඇත. එහෙත් යාන්තමින් තැනින් තැන ඇසෙන කටහඬවල් වල අපැහැදිලි ස්වරයන් ඉන් මතුවේ. මේ කාර්‍යාල ඉසව්ව විය යුතුය.
"සර් එන්න කිව්වා...."යළි දොර විවෘත වී ඒ හඬ ඇසෙත්ම පාරමී රත්මල්ගොඩ ඉදිරියට පියවර තැබුවේ ඔහු දෙස නොබලාමය.
"Good morning sir.... I am Paramee Rathmalgoda..." පාරමී එපමණක් කියා සිය අතවූ ලිපිය ඔහු අත පත් කලේය. අධ්‍යක්ෂක වරයා ඇයට ඉදිරිපස අසුන වෙත අත දිගු කලේ සුබ පතමිනි.
"Oh .....then that is you..... "අධ්‍යක්ශක වරයාගේ මුවට මඳ සිනහවක් ආවේ ලිපිය කියවාගෙන යන අතරේමය.
"Doctor පාරමී රත්මල්ගොඩ .... welcome you as our new consultant psychiatrist ....මට ඔබතුමියගෙ පත්වීම අත්‍යාවශ්‍ය මොහොතක ආව එකක්....මොකද අපේ කන්සල්ටන්ට් ලා දෙන්නෙක් රිටයර් වුනා ගිය මාසෙ...අපි උන්නෙ බරපතල අර්බුදයක...." අධ්‍යක්ෂ වරයා ගේ හඬ බලාපොරොත්තු වලින් පිරුණ එකක් විය.ඔහු පාරමී දෙස බොහෝ ප්‍රසන්න සිනහවක් පෑවේය.
"හොඳයි... අපි නිදහසේ කතාකරමුකො ...අද හවස ස්ටාෆ් මීටින් එකක් තියනව....ඒකට එන්න...අපි ස්ටාෆ් එක හඳුනාගනිමුකො.... එතකල් රෙස්ට් රූම් එකේ ඉන්න පුළුවන් ...you can have some snacks there too" රෝහල් අධ්‍යක්ෂක වරයා අසුනෙන් නැගිට ඇයට අත දිගු කලේය. පාරමී රත්මල්ගොඩ අසුනෙන් නැගිට ඒ අත වෙත සිය සුරත දිගු කළාය..
පාරමී රත්මල්ගොඩ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ කාර්යාලයෙන් නික්මී පිටතට ආවේ මීළඟට තමන් යා යුත්තේ කොතැනටදැයි යන්න අවිනිශ්චිතව ය .
ඇය පසුපසින් දුව ආ පෙර කාර්යාලයේ දොර විවෘත කළ කාර්යාල කාර්‍ය සහයකවරයා " මැඩම් ඩොක්ටර්ස්ලා ගෙ රෙස්ට් රූම් එක තියෙන්නෙ අර පැත්තේ ..." කියමින් කොරිඩෝවේ අනෙක් පස වූ කාමර පෙළට අත දිගුකලේය. ආරම්භයෙහි දී කටේ වූ සැර ඉබේම බාල වී ගොස් ඇති සේය. පාරමී රත්මල්ගොඩ නිහඬවම ඒ දෙසට ඇවිද ගියාය .
වෛද්‍ය විවේකාගාරයට ඇතුල් වීමට තිබූ දොර ඇය ඒ අසලට පැමිණෙත්ම විවෘත විය. විවෘත වූ දොර තුලින් පිටතට ආවේ තරුණ යුවලකි.
පාරමී රත්මල්ගොඩ මඳ සිනහවක් පා ඔවුන්ට පිටතට ඒමට ඉඩ දී පසෙකට වූවාය . ඔවුන් දෙදෙනා මඳක් නැවතී ඇය දෙස බලා සිනා වූහ .
"හෙලෝ .... අලුතින් මෙහෙට ද...? " එම යුවලෙන් වෛද්‍යවරිය ඇසුවාය. ඇය මිත්‍රශීලී තරුණියකැයි පාරමී රත්මල්ගොඩ ට එක්වරම වැටහුණි.
"ඔව් මම පාරමී ....මෙහෙට ආවේ අද ... ..."
පාරමී මඳ සිනහවකින් යුතුව පැවසුවාය....
"මම දිනූෂි ....nice to meet you පාරමී....අපි වෝඩ් යනවා.... ඇතුලට යන්න එහෙනම් "....ඔවුන් දෙදෙනා සිනහවෙමින් ඇය පසුකොට ගිය පසු පාරමී වෛද්‍ය විවේකාගාරය වෙතට ඇතුලු වූවාය.
එහි අසුන් කිහිපයක ම වෛද්‍යවරුන් කිහිප දෙනෙකැයි සිතිය හැකි අය තම තමන්ගේ කටයුතු වල යෙදී උන්නා මිසක ඇය වෙත ප්‍රබල අවධානයක් යොමු කලේ නැත. එක අතකට එයද ආරම්භයේ දී සැනසීමකි.
පාරමී එතැන වූ කුඩා ආපනශාලා කවුන්ටරයෙන් නෙස්කැෆේ කෝප්පයක් මිලදී ගත්තේ බීමට ඇති අවශ්‍යතාවයට වඩා නිකම්ම සිටීම නුසුදුසු හෙයිනි.
නෙස්කැෆේ කෝප්පය තොල ගාමින් අසුනකට බර වූ ඇය සිය ජංගම දුරකථනය අතට ගත්තේ අම්මාට ඇමතුමක් දීමටය .
"හෙලෝ අම්මා .... දැනුයි මම පොඩ්ඩක් free උනේ .....ඔන්න මම වැඩ බාර ගත්තා.... එහෙනම් මං හවස් වෙලා අම්මට කෝල් එකක් දෙන්නම් .....කෑම ටික කාලා බෙහෙත් ටික ඔක්කොම හරියට බොන්න අම්මා..."
පාරමී රත්මල්ගොඩ ජංගමය නිහඬ කොට යළි අත්බෑගයට දමා ගත්තාය ......කාලය ගතවී යද්දී රෝහල් අධ්‍යක්ෂවරයා පැවසූ කාර්‍ය මණ්ඩල හමුව පටන් ගන්නා වේලාව ආසන්න විය . පාරමී රත්මල්ගොඩ වෛද්‍ය විවේකාගාරයෙන් පිටත්වී රැස්වීම් කාමරය වෙත ඇවිද ගියාය.
යළි හමුවෙමු දෙවෙනි කොටසින්
*********************************************************************************************
***************
ReplyDeleteතව ටිකක් කියවලාම මොනවහරි කියන්නම්කො.
ස්තුතියි ගොඩක්
Delete🤗👌
ReplyDeleteස්තුතියි ගොඩක්
Deleteතවම කියෙව්වේ නැතත් ....ගොඩක්ම ස්තුතියි ආයෙත් කතාවක් ගෙනාවට. පාළුවෙන් හිටියේ ඔයාල නැතිව.
ReplyDeleteThanks again....
So...nice
Deleteස්තුතියි ගොඩක්
Delete++++++****+++
ReplyDeleteස්තුතියි
Delete