Saturday, November 19, 2022

03 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 දෙවැනි කොටසට මෙතනින්   02  



තුන්වෙනි කොටස




උදා හිරු අවදි වීමටත් පෙර මාලනී, අම්මා සමග නැගිට උදැසන සහ දිවා ආහාරය සකසන හඬ පාරමී ට ඇසුනි . මේ දිනවල බොහෝ වෙහෙස වී පැමිණෙන හෙයින් පාරමී ට මුලුතැන්ගේ දෙසට ඒමට අවසරයක් නැත . 

පුරුද්දට මෙන් පහමාරට පමණ නැගිට ගත් නිසා සරල ව්‍යායාම් කිහිපයක යෙදුණ ඇය මොහොතක් ඇඟ සැහැල්ලු කරන ව්‍යායාම පන්තියක ද නියැලුනාය. 

පෙරදා රැයේ සාරිය සහ සෙසු කළමනා සූදානම් කොට තැබූ නිසා හදිසියේ සූදානම් වීමට අවශ්‍ය නැත.

පාරමී කාමරයෙන් පිටව මුළුතැන්ගෙය දෙසට ඇදුනාය. අම්මා පාරමීගේ කෑම පෙට්ටිය ලොකු ලේන්සුවකින් ඔතමින් සිටියාය .

ඔන්න ෆ්ලාස්ක් එකේ තේ ටික ...මං බලනකොට ඔයා එක්සසයිස් කරනව ...ඉතින් මම ආවා ආයෙ.....බීලා ඉන්න... ඔන්න සීනි නම් අඩුවෙන් දැම්මෙ කියන නිසාම .....

අම්මා කෑම පෙට්ටිය සහ වතුර බෝතලය මේසය මත තබමින් පැවසුවාය. පොලිතින් භාවිතයට අවමයෙන් හුරුවුන පාරමීත් අම්මාත් කෑම පෙට්ටි භාවිතයට හුරුවූයේ බොහෝ කලක සිටය.කෙසෙල් කොලයක් තවා කෑම පෙට්ටියේ අතුරා පියනෙන් වැසූ පසු කෑම එකම සුවඳය. අම්මා ගේ අත්ගුණය ඉතින් අපූරුම විස්කමකි.

"මැණික පරෙස්සමින් ..ගිහින් කෝල් එකක් දෙන්න පුතේ....රත්නත්‍රයේ සරණයි .." අම්මාගේ තුන්සුතුර බඳු ආශිර්වාදාත්මක වදන් අසාගෙන පාරමී රිය පණ ගැන්වූවාය.

ඒ ආශීර්වාදය සජීවී ව නෑසුනේ විදෙස්ගතව ඉන්නා කාලයේ පමණි...එවිට ලංකාවේ වේලාව සහ ඇමරිකාවේ වේලාව අතර වූ වෙනස හෙයින් අම්මාට තමා ගෙයින් පිටතට බසිනා වේලාවට අසිරි පතා කතාකරන්නට නොලැබිණ...එහෙත් දිනකට වතාවක් හෝ ඒ ආදරණීය හඬ නොඅසා ගෙවී ගියේ එහෙමත් දවසක් පමණි.

පාරමී රත්මල්ගොඩ රෝහල් රථගාල වෙත පැමිණෙන විට උදෑසන අටට ආසන්න වී තිබුණි. පසුදිනයේ සිට මඳක් කලින් එන්නට අවැසි බව ඇයට වැටහුණේ...අතරමග වූ තදබදය නිසාවෙනි. ආරක්ෂක නිලධාරියාගේ සුපුරුදු උදෑසන සුබ පැතුමට ප්‍රතිචාර දක්වාගෙන ම පාරමී සිය වාට්ටුව වෙත පිය මැන්නාය.

වාට්ටුවට පැමිණෙන විට එතැන එකම කලබගෑනියක් බවට පත් ව තිබෙනු පාරමී රත්මල්ගොඩ දුටුවාය. තවමත් රෝගී කතුන් සමග ඔට්ටුවෙන සේවක මඬුල්ලය. ඔවුන් හට කීකරු නොවන රෝගීන්ගේ හඬ ගාලගෝට්ටියක් මෙනි. 

පාරමී රත්මල්ගොඩ වාට්ටුවට පිවිස මේසය අසලට පැමිණ මඳක් වේලා ඒ සියල්ල බලා උන්නාය. ප්‍රධාන හෙද නිලධාරිනිය වහ වහා ඇය අසලට ආවේ සමාව ඉල්ලන ස්වරූපයක් මුහුණේ රඳවාගෙනය.පාරමී රත්මල්ගොඩ ඇය වෙත මඳ සිනහවක් පා අසුනට බර වූයේ වාට්ටුව සිසාරා යන බැල්මක් හෙලමිනි. 

"හා හා අන්න ලොකු නෝනත් ඇවිල්ල ...දැන් ඔක්කොම යන්නයි කිව්වෙ ඇඳවල් වලට...", සහය සේවිකාවක මඳක් තද හඬකින් පැවසූ විට රෝගීන් වහා ඇඳවල් වෙතට යනු පෙනිණ. 

වාට්ටුව ගත් කල සිය පලපුරුද්දට අනුව වෙනස්කම් රැසකට ලක්විය යුතු එකක් බව දුටුමනතින් පාරමී රත්මල්ගොඩ ට පෙනුනද .....එයට හදිසි වීම උචිත නොවන බවද ඇය වටහා ගත්තාය. මේ කාලාන්තරයක් තිස්සේ පැවත ආ ක්‍රමයයි...

තමා එක් වරම කඩා පැන සෝඩා බෝතලයක් විවෘත කලා සේ වෙනස්කම් කරන්නට ගියහොත් වන්නේ සියල්ලම අවුල් වීමක් පමණි ...පාරමී රත්මල්ගොඩ සුසුමක් හෙලා රෝගී වාර්තා ලිපිගොනුවක් පෙරලා බැලුවේ තත්වය සමනය වන තුරුය.

සහය සේවිකාව විශ්මයෙන් හිස නගා බැලුවේ වෙනදාට වඩා දුටු වෙනස ටය. වෙනදාට කොපමණ වෙහෙසුනද හොඳක් අහන්නට නොලැබෙන තත්වය මෙන්ම දොසක් අහන්නට අනිවාර්යය වීමද ඇයට හුරුය. ඒ සියලු කේන්තිය ඉතින් පිටවන්නේද රෝගීන් මතිනි.

අපි ටිකක් ස්ටාෆ් එක කතාකරමුද මිස්....පාරමී රත්මල්ගොඩ ප්‍රධාන හෙද නිලධාරිනිය වෙත හැරෙමින් පැවසුවාය. එයට හිස වනා එකඟතාවය පළ කල ඇය සියලුම වාට්ටු කාර්‍ය මංඩලය එතැනට කැඳවා ගත්තාය.

"මෙයාල කලබල කරන එකක් නෑනෙ විනාඩි පහක් දහයක් වගෙ ඔයාල නැතුව ඉන්නකොට..." පාරමී ඇසුවේ සිනාමුසු මුවිනි. ඇයගේ සිනහව පවා කාර්‍ය මණ්ඩලය විමතියෙන් මෙන් බලා උන්හ.

"මම පාරමී රත්මල්ගොඩ ...ඊයෙ තමයි මෙහෙට ආවෙ...මේකයි එහා වෝඩ් එකයි දෙකම මට බාරදුන්නේ කලින් මේකෙ උන්න කන්සල්ටන්ට් රිටයර් උනා කිව්ව නිසයි. ඉතින් අපි අඳුනගම්මුකො ඔක්කොටම කලින්...."

හෙද නිලධාරීන් ,සහය සේවිකාවන් සියල්ලම තම තමන්ගේ නම සහ තනතුරු වලින් ඔවුනොවුන් හඳුන්වා දුන් පසු පාරමී සිය හඬ අවදි කළාය.

"ඇත්තෙන්ම මම ආපහු ලංකාවට ඇවිල්ලා මෙහෙට ආව විතරයිනෙ...මං පහුගිය කාලෙම උන්නේ ඇමරිකාවෙ.ඉතින් එහේ වැඩ කරල මෙහෙට ආවම මට මේ වැඩ කරන පරිසරය ටිකක් වෙනස්ව දැනෙනවා....ඒත් මම කැමතියි මේ විදියටම වැඩ කරන් යන අතරේ මේ වාට්ටුවේ වෙනස්කම් වෙන්න ඕනෙ මොන මොන වගේ දේවල් වලද කියල ඔයාලගෙනුත් අහල මගේ අදහසුත් දාල වැඩ කරන් යන්න...."

"ඇත්තෙන්ම මැඩම්....මේ වාට්ටුව නම් මුල ඉඳන්ම හදන්න ඕන එකක්...අපි වුනත් එච්චර ම ඕනකමකින් පහුගිය කාලෙ වැඩ කලෙ නැ....ඒකට හේතු මැඩම්ට වැඩ කරන් යනකොට පෙනෙයි....."ප්‍රධාන හෙද නිලධාරිනිය හඬ අවදි කළාය.

"අඩු ගානෙ මැඩම්...අපෙන් අපේ අදහසක් වාට්ටුව ගැන මතක ඇති කාලෙකින් අහපු එකම කෙනා මැඩම් වෙන්න ඇති...", සහය සේවිකාවක් හඬ අවදි කලේ තව අයෙක් ඇයගේ අතින් පසෙකට අදින අතරවාරයේය. 

පාරමී රත්මල්ගොඩ ඒ බව දැක නොදුටුවා සේ උන්නාය.

"මේක අපි ඔක්කොම වැඩ කරන තැන....ඉතින් ඕනම කෙනෙක් ට කෙලින්ම තම තමන්ගේ සීමාවල ඉඳන් කතාකරන්න පුළුවන් ...මම එහෙම සීමාවල් කීවෙ ...වරදවා හිතන්න අවශ්‍ය නෑ ....මට පවා සීමාවල් තියනව මේ වගේ දේකදි....නමුත් අපේ පොදු අරමුණ එක නම් ඉතින් එච්චරයි නෙ.." හුරුබුහුටි ලෙසින් කතාව හසුරවන පාරමී රත්මල්ගොඩ දෙස සියල්ලෝම බලා උන්නේ ඇදීගිය සිතිනි.

"එහෙනම් අපි වැඩ පටන් ගම්මු....."

වාට්ටුවේ පෙර නොවූ විරූ ජවයක් ඇතැයි පාරමීට ඒ මොහොතේ හැඟී ගියේය. 

"මැණික ...මිනිස්සු හරිම ආස දේ තමයි ඒ අයට පිළිගැනිමක් තියනවා කියල දැනෙන එකට...ඉතින් රස්සාවක් කරන තැනදි ඒක අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ...."විශ්‍රාමික විදුහල්පතිනියක් වූ අම්මා නිතර කියන එවදන් පාරමීට සිහිවිය. අම්මා විශ්‍රාම ගියද ඇයගේ නම කියූ පමණින් හඳුනන සිසු සිසුවියන් ලංකාව පුරා විසිර ඇත. විදෙස් අධ්‍යාපනය ලබන සමයේදී වරක් ඇයට හමුවූ ජ්‍යේෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙක් අම්මාගේ නම පැවසූ විටම "ඒ මගෙත් ටීච..."යැයි පැවසූ අයුරු පාරමීට මතකය....

මේ සේවක කාර්‍ය මණ්ඩලය සිටින්නේ කුමක් හෝ ආතතියක ගැලීය. පාරමී රත්මල්ගොඩ එය අවබෝධ කරගත්තේ ඔවුන්ගේ හැසිරීමේ මුල්ම ස්වභාවයෙනි. ඉතින් සෙමින් ඔවුන් වෙත ලඟා වියයුතු බව ඇයට වැටහේ .

රෝගීන්ගේ සායන වාර්තා සහිත ලිපිගොනු එකින් එක පෙරලා බැලූ පාරමී රත්මල්ගොඩ ට ඒවායේ බොහෝ අඩුපාඩු හමුවුවද ඉවසීමෙන් මේ සියල්ල නිවැරදි කොට ගන්නට සිතුවාය.

ඊළඟ වාට්ටුව වෙත ගිය පාරමී හට එහි තත්වයද කලින් වාට්ටුවට වඩා නොදෙවනි බව හැඟී ගියේය. ඉතින් වගකීම් අධිකය.කරන්නන් වාලේ වැඩ කරන්නට නම් කෙසේවත් නොහැකි හෙයින් පාරමී රත්මල්ගොඩ හෙමි හෙමින් සිය සැලසුම් දියත් කලාය. 

පුතේ ඔයා මහන්සියෙන් අද....අම්මා පාරමී ගේ මුහුණ දෙස බලමින් පැවසුවේ සවස සුපුරුදු තේ පානය අතරේය.

අදනෙ වැඩ පටන් ගත්තෙ අම්මා...එතන අවුල් ජාලයක්....ඩ්‍රයිව් කිරිල්ල ඊට එහා ...

පාරමීගේ හඬද වෙහෙසකරය.

මේ සතියෙන් පස්සෙ ඉඳහිට ක්වාටර්ස් එකෙත් ඉන්න සුදුමැණික....ඔයාට වෙහෙසයිනෙ.....

අම්මා පාරමීගේ හිස අතගාමින් පැවසුවාය. මේ වන විට නිලනිවස අස් පරස් කොට හමාරය.අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ එහි ඇති බැවින් ගැටලුවක්ද නැත. අම්මා තමන් එම දේ පැවසීමට පෙරම යෝජනාව කිරීම ගැන පාරමිට සතුටක් දැනුනි.

අම්මා මම ගෙයක් බලන්නද එහෙන්....රෙන්ට් එකට නෙවෙයි ...අපි ගම්මු පොඩියට ගෙයක්.....

පාරමී ඇසුවේ අම්මා ගේ වතටම යොමුව ගත් නෙතිනි. අම්මා සිනහවක් පා ඇය වෙත නැඹුරු වූවාය. 

මැණික ගෙ කැමැත්තක්...ඔයා ඉන්න තැන මායි මාලනීයි ඉන්නව..කොහෙ වුණත්.....

අම්මා එතරම්ම සරල නිදහස් කාන්තාවක් වූයේ කෙලෙසකදැයි පාරමීට තවමත් සිතාගන්නට නොහැක.ඇය සැමවිටම සිටින්නේ සැනසුම් මුහුණකිනි. 

තරහ වෛරය ක්‍රෝධය කිසිම විටක ඇය හා පැහී නොයන බව පාරමී දුටුවේ ළමා වියේ සිටමය....ඒ හෙයින්ම පාරමීටද බොහෝවිට තිබුනේ ඇවිලී යන ගතිගුණ වලට වඩා නිවුණ සුළු හැසිරීම් රටාවල් ය ....

ඕනෑම ගැටලුවක් හමුවේ ඉවසා බලා සිටීමට සහ බොහෝ ඉවසීමෙන් ප්‍රතිචාර දැක්වීමට පාරමී රත්මල්ගොඩ කුඩා කල සිටම හුරු වූයේ අම්මාගේ හුරු වෙනි.

බොහෝ මිනිසුන් සිය ජීවිතයේ ගැටලු ආ කල කලබල වීම සහ ක්ෂණික තීරණ ගැනීම හේතුවෙන් අවුල් ජාලාවන් ඇතිකරගන්නා බව පාරමී දැන උන්නාය . 

මානසික වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉගෙන ගන්නා කාලය තුලදී සහ ප්‍රතිකාර කටයුතුවල නියැළෙන කාලයේදි එම අවබෝධය ඇයට සාර්ථක වෛද්‍යවරියක් වීමට ඉමහත් රුකුලක් විය .

වෛද්‍යවරියක ලෙසින් පමණක් නොව සාමාන්‍ය ජීවිතයේ දී ජීවිතයේ දී මනුෂ්‍යයෙක් ලෙස ය ගැටලු දෙස විවෘත මනසකින් බැලීමේදී ඉවසීම සහ ඇතැම්විට අනවශ්‍ය තැන් මගහැර යාම ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් බව තරමින් අවබෝධ කර ගත්තාය .

****************************************************************************************************

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින


4 comments:

  1. සෙමින් කියවීම පටන් ගතිමි....ආසම ෆීල්ඩ් එකක් නිසා උනන්දුවකින් හිත පිරීයනව....ලියන විදියෙත් හිත නිවෙන ගතියක් දැනුනා....👍🙏

    ReplyDelete
  2. ලියන විදියෙත් හිත නිවෙන ගතියක් දැනුනා....Of course yes chef

    ReplyDelete