තුන්වෙනි කොටසට මෙතනින් 03
හතරවෙනි කොටස
ඒ සති අන්තය පාරමී රත්මල්ගොඩ ට වෙනදා තරම් විවේක ගන්නා එකක් නොවූයේ සඳුදා සිට නිලනිවස්නයට යාමට තීරණය වූ හෙයිනි.කඩ කෑම සම්බන්ධව අම්මාගේ දැඩි විරෝධතාවය එල්ලවූ නිසා කුඩා ගෑස්ලිපක් සහ සිලින්ඩරයක් ද ගෙන ගොස් තබන්නට සිදුවිය. කාමරයේ වූ කුඩා ශීතකරණයද අවසානයේ නිලනිවස්නයේ සාමාජිකත්වය ලබා ගත්තේය .
අම්මා මාලනී සමග එක්වී ඇඹුල්තියල් , අච්චාරු සහ බැදුම් සැකසූයේ බෝතල් කර තබා ගෙන කන්නට කියාය.
අම්මා මම මාස ගණනකට යන්නෙ නෑ....සතියෙ මැද එක දවසක් ගෙදර එනවා...මෙච්චර මහන්සිවෙන්නෙ ඇයි අනේ....
පාරමී අම්මා ගේ වෙහෙසීම දැක නෝක්කාඩු කීවය.
මොන මහන්සියක් ද මැණික...ඔයාට බත් එකක් ගහල මේ දෙකක් එක්ක සැලඩ් එකක් හදාගත්තම ලේසියෙන් රසට කන්න පුළුවන් ....ගෙයක් බලල අපි එතනට එනකල් මෙහෙම කරගම්මුකො...අනික වෝඩ් එකේ වැඩ කරන් ඇවිල්ල හරියට කෑමක් නොගෙන කොහොමද පුතේ
අම්මලා එහෙමය. හිතන්නේම දරුවන් කන්නෙ බොන්නේ නිදන්නේ කෙලෙසකද යන දේ ගැනය. අම්මා පිළිබඳ හිතේ උපදින ආදරය තව තවත් වැඩිවන්නේ මෙහෙම වදන් හමුවේය
සඳුදා උදය වරුවම වාට්ටු දෙකෙහි ගතකල පාරමී රත්මල්ගොඩ දිවා ආහාර වේලාවේ සිය නිල නිවස්නයට ගොඩ වැදුණාය. වාට්ටුවේ සේවිකාවක් වූ සුනන්දා ඇය සමග නිල නිවස්නයට පැමිණියේ අවශ්‍ය සහයක් වේ නම් දෙන්නටය.
අනේ ඕන නෑ සුනන්දා....මේ ඔක්කොම ඊයෙ අස් කලානෙ...මම කෑම කාලා හවස ආයෙ වෝඩ් එකට එන්නම්....
සුනන්දා සමුගෙන ගිය පසු බෑගය මේසය මත තැබූ පාරමී රත්මල්ගොඩ ගෙය පුරාම ඇවිද බැලුවාය. කාමර දෙකක්, සාලයක්, කුඩා මුළුතැන් ගෙයක් සහ වැසිකිලි සහ නාන කාමරයකින් හෙබි නිල නිවස්නයේ ඉදිරිපස කුඩා වැරෙන්ඩාවකි. ඒ වැරෙන්ඩාව ඉදිරිපස වූ කුඩා ගෙමිදුල පෙර උන් නිවැසියන් ගේ ස්වභාවය පෙන්නුම් කලේ අපිළිවෙල හෙයිනි. පාරමී රත්මල්ගොඩ ට අම්මා සිය ගෙමිදුල පවත්වා ගන්නා අපූරුව සිහිවිය.
ඉන්න තැන ලස්සනට පිළිවෙළට ඉන්න අපි හැමෝම පුරුදුවෙන්න ඕනෙ....පාසලේ දී පවා එවැනි ගතිසිරිත් සිසුන්ට ඉගැන්වූ අම්මා කෙනෙක්ට දුටුමනතින් සිත ඇදී යන උයනක් නිවසේ නිමැවූවාය.
ඉන්නෙ සතියට දවස් තුනක් හතරක් වුණාට කමක් නෑ....මිදුල ටිකක් හදාගන්න ඕනෙ...
පාරමී වැරැන්ඩාවේ සිට කුඩා මිදුල දෙස බලමින් සිතුවාය. නිලනිවස්නය සායම් ආලේප කොට සකසා තිබූ හෙයින් කියන්නට තරම් වරදක්ද නැත.
ප්‍රධානම දේ නිදන කාමරය , වැසිකිලි සහ නාන කාමරයයි...ඒ සියල්ල පිරිසිදු මෙන්ම සෑහීමකට පත්වන්නට හැකි මට්ටමේය. පාරමී අලුතින් ගෙනා ඇඳ ඇතිරිල්ල එලා කොට්ට උරද දැම්මාය.. නැවත වාට්ටුවට යායුත්තේ හවසය. එහෙත් සාරිය පිටින් ඇඳට වැටෙන්න ට නොසිතේ....සාරිය ගැලෙව්වොත් යළි අඳින්නට කම්මැලිය. එහෙයින් සාලයේ සෝපාවේ මඳක් දිගා වූ පාරමී විවේකයක් ගත්තාය.
හවස් වරුවේ වාට්ටුවට ගිය මොහොතේ වරකට එකක් යන සංකල්පයෙන් ඇය වෙනස්කමකට අත ගැසුවාය.
"මිස් නුවන්ගි....වැඩකද ඔයා....?" පාරමී ඇසුවේ නවක හෙදියකගෙනි....අලුතින් පැමිණි තරුණ හෙදියන් කවදත් කඩිසරය. අනවශ්‍ය ප්‍රශ්න වලින් ඔද්දල් නොවූ සිතැති තරුණ ගැහැණු ළමෝ සේවයට ලැදිය.
"මැඩම්....ලොකු වැඩක් නම් නෑ.... ඇයි මැඩම්...?" ඇය වහා මේසය වෙත දිව ආවාය.
"අපි මේ සතියේ පොඩි වැඩක් කරමුද මිස් නුවන්ගි....කවුද ඔයාගෙ අනික් මිස්ලා දෙන්නා රශී මිසුයි සුදීරා මිසුයි ත් හවුල් කරන්...."පාරමී කාර්‍ය මණ්ඩලයේ සියල්ලන්ගේම නම් මතකයේ තබාගන්නට දින දෙකක් තුනක් අතර ගතවෙද්දී සමත්වූවාය.
තරුණ හෙදියගේ මුව සිනාවෙන් විකසිත විය....මැඩම්ට ඔක්කොම නම් මතකයිනෙ...අපිට නම් මේ කියන එක මේ මතක නෑ...ලෙඩ්ඩුන්ගෙ නම් වුණත් කීපාරක් අහන්න වෙනවද .....මොකක්ද මැඩම් කරන්න ඕනෙ....ඒ දෙන්නා ගියා ඔෆිස් එකට පොඩ්ඩකට...." නුවන්ගී සිනාමුසුව කියවාගෙන ගියාය.
" මේ BHT ටික හොඳටම සවුත්තු වෙලා නේද නුවන්ගි මිස්...අපි ස්ටෝර්ස් වලින් ෆයිල් ගෙනල්ලා පිළිවෙළකට මේ ටික හදමුද .....ඩොකියුමන්ට්ස් පවා හුඟක් ෆයිල් වල මිස්ප්ලේස් වෙලා කියල පේනව ...එහෙම නොවෙන්න අපි පිළිවෙළක් කරමු නේද...."පාරමී තම සිතැඟියාව පරෙස්සමින් කියාදැමුවාය. ඒ මොහොතේ එතනට පැමිණි ප්‍රධන හෙද නිලධාරිනිය ද පාරමී ගේ අදහස අනුමත කළාය.
ඇත්තෙන්ම ඔව් මැඩම්....අපි ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ ඉඳන්ම පුරුදු වුන දේවල් නෙ ඒවා..මේ තරුණ ළමයි ඒව කරන්න හුරු වෙන්න ඕනෙ....මම පොතේ ලියල බඩු ටික ගෙන්නල දෙන්නම් ...නුවන්ගි මිස් අවශ්‍ය ප්‍රමාණ ටික කියන්නකො...."
වැඩේ සිතුවාටත් වඩා පහසු එකක් වූයේ එලෙසිනි
ස්ථානයක් මේ සා අපිළිවෙල වන්නට හේතුව එහි සේවක මඬුල්ලේ ඇති කුමක් හෝ නොගැලපීමක් විය යුතුය. පාරමී අදාල කාරණය පසුපස හඹා නොවැටී ක්‍රමානුකූලව වැඩට බැස්සාය.
පසුදා උදෑසන පාරමී සේවයට පැමිණෙන විට මේසය එහා කෙලවර වූ රාක්කය මත ෆයිල් කවර සහ සෙසු අවශ්‍ය භාණ්ඩ ගෙනවිත් තබා තිබුණි. මුවගට නැගුණ ප්‍රීතිමත් සිනහව වලකා ගනිමින් පාරමී රෝගින් පරික්ෂාවේ යෙදුණාය.
තේ විවේකය වන විට රෝගීන් චිකිත්සක ප්‍රතිකාර සහ සෙසු අංශ වෙත ගෙන ගොස් හමාර බැවින් වාට්ටුව පුදුමාකාර ලෙස නිදහස් ය....
අපි වැඩේ පටන් ගම්මුද එහෙනම්
නුවන්ගි සිය යෙහෙලියන් සමග මේසයක් වෙත අදාල බඩු රැගෙන ගියාය.පාරමී ඔවුන් වෙත ගොස් ලිපිගොනුවක් බෙදා සකස් කල හැකි විවිධ ක්‍රම ගැන අදහස් පලකලාය. එකම ලිපි ගොනුවක කුටීර සකසා ඒ ඒ වාර්තා රැඳවීම වඩා පහසු විය. එකම පාටින් කවර දමා ලේබල් කර ඉටිකවරද දමා සැකසෙන ලිපිගොනු මිටිය මේසයේ පසෙක ගොඩනැගෙමින් පැවතුණි.
හවස නැවත රෝගින් වාට්ටුවට පැමිණෙන විට නුවන්ගි සහ සෙසු හෙදියන් දෙදෙනා ලිපිගොනු වල කාර්‍යයන් අවසන් කොට හමාරය.එ මුහුණු තුනේම වූයේ අප්‍රමාණ තෘප්තියකි. ප්‍රධාන හෙද නිලධාරිනිය සහ සෙසු හෙද නිලධාරීන් ඒ තිදෙනා ගේ ක්‍රියාව අගයනු පාරමී බලා උන්නේ සිනාමුසුවය....
පුංචි ප්‍රසංසාවක් මනුස්සයෙක්ව නගා සිටුවන හැටි පේනව නේද ....මැණිකට බලා ගන්න පුළුවන් තව ඉස්සරහට ඔහොම හුඟාක් දේ....
ඒ සිදුවීම අම්මා සමග පැවසූ විට අම්මා පාරමීගෙ හිස අතගාමින් පැවසුවාය. සමහරක් විට ඒ තරුණ දරුවන්හට අවස්ථාවන් ලැබෙන්නට ඇත්තේ එහෙමත් විටක වන්නට ඇත. එසේත් නැත්නම් එබඳු ප්‍රසංශාවක් ලැබුණේ මෙහෙම අහම්බයෙන් වන්නට පුලුවන .කෙසේ වතුදු කෙල්ලන් තිදෙනා උන්නේ රටක් රාජ්ජයක් දිනුවා සේය
ඇත්තෙන්ම කලින් තිබ්බ ෆයිල් අපිත් ලැජ්ජ නැතුව ඩිරෙක්ටර් සර් ගාවටත් ගෙනිච්චනෙ අප්පා....නුවන්ගි සිය යෙහෙළියක් හා සමග පැවසුවාය...
මිසීල තව කියයි.... මට කී දවසක් ඕන කොළ හොයාගන්න බෑ කියල ආපහු වාට්ටුවටම එන්න උනාද...මේ ෆයිල් වල කොල කොහේ කොහෙද දන්නෙ නෑ...හැමදාම අලුතින් දාන්න උනා නෙ ....
සුනන්දා ඌන පූර්ණයක් සැපයුවේ එයටමය....
පාරමී උන්නේ සිත යට ඉපිලෙන ප්‍රීතියෙනි...ඉදින් මේ පියවර අනෙක් වාට්ටුවට බෝ කිරීම අසීරු දෙයක් නොවන්නේ එක හා බැඳුණු වාට්ටු නිසාය.
සිතූ සේම ප්‍රධාන හෙද නිලධාරිනිය පාරමීගේ ඊළඟ වාට්ටුවටද එම කටයුත්ත ගෙනගියේ ඊට පසු දිනමය. වැඩක් අලුතින් කරන්නට අවශ්‍ය වන්නේ පොඩිම පොඩි තල්ලුවක් පමණි. උනන්දුව ඇත්තෝ එය කරගෙන යන අන්දම ඉබේම අල්ලා ගනිති.
සුනන්දා පාරමී හමුවට පැමිණියේ වාට්ටුවෙන් නික්ම යන්නට මොහොතක් තබාය. පාරමී රත්මල්ගොඩ වාට්ටුවේ දොර අසල සිට එතැනින් එහා වූ කෙටි මිදුල් තීරය දෙස බලා උන්නාය.
"මැඩම්...යන්නද හදන්නෙ....."සුනන්දාගේ බයාදු හඬ ඇය පසුපසින් ඇසෙන විට පාරමී හැරී බැලුවේ විමසිල්ලෙනි.
"ඔව් සුනන්දා .....ඇයි ?" පාරමී ඈය දෙස බලා ඇසුවාය.
සුනන්දා කිසිවක් නොකියාම පාරමී පසුපස ඇවිද ආවාය. වාට්ටුවෙන් මඳක් ඈතට පැමිණි පසු සුනන්දා ගේ හඬ අවදිවිය.
"මැඩම් ...මම මේ කියන දේ වරදවා නම් හිතන්න එපා මැඩම්....." සුනන්දා මඳක් පැකිලුණාය.පාරමී විමසිල්ලෙන් ඇය දෙස බලාම අඩිය පෙරට තැබුවාය.
"අපිට රස්සාව එපා වෙන මට්ටමට වැටිලයි පහුගිය කාලෙ උන්නෙ අපි. මැඩම් එක්ක මේ දේවල් කියන එක හරිද මන්දා....ඒත් මැඩම් හිතනව ඇති අපි ඔහේ වැඩකට නැති මිනිස්සු කියල...වාට්ටුව දිහා බැලුවම...." සුනන්දා ගේ ස්වරය මහා ශෝකී බවකින් යුතු විය. පාරමී නිහඬව සිනහවෙන් යුතුව ඇය දෙස බලා හිස වැනුවාය.
කතාකරන මනුස්සයෙක්ට ඕනෙ ඇහුම් කන් දෙන්නෙක් මිස බාධාකරල කත කරන්නෙක් නෙවෙයි මැණික.....
අම්මා වතාවක් ඇහුම්කන් දීමේ අගය ගැන පාරමීට කියාදුන්නේ එලෙසය.
"පහුගිය අවුරුදු ගානම අපි වැඩකලේ පුදුම පීඩනේකින් මැඩම් ...හැරුණත් වැරදියි...කතාකලත් වැරදියි....කොච්චර වැඩ කලත් වැරදියි....තව කලක් එහෙම්ම ගියා නම් අපි දෙතුන් දෙනෙක් ඔය වාට්ටුවෙම ඇඩ්මිට් වෙන්නත් ඉඩ සැලසෙන්න තිබුණා...."පාරමී සුනන්දාගේ බසින් යමක් අවබෝධ කරගනිමින් උන්නාය.
"අපි වැඩ කරන්න කම්මැලි මිනිස්සු නෙවෙයි මැඩම්....ඇත්තෙන්ම අපි හුඟාක් දුක් මහන්සි වෙලා ගෙවල් වල වැඩත් කරල මෙතනට එන්නෙ මේ රස්සාවට අපි ආදරේ නිසා ..මේක රස්සාවකට එහා ගිය සේවයක් කියල අපි දන්නව....ඒත් අපිට මේක එපා කරන්න එක්කෙනෙක් උන්නම ඇති මැඩම් ...ඇත්තමයි මම පැන්ශන් පේපර්ස් පවා ගෙන්නගෙන උන්නෙ මැඩම්..." සුනන්දාගේ ශෝකී ස්වරය පාරමී සසල කරන්නාක් මෙන් විය. කතාවෙන් කතාවට නිවස්නය වෙත පැමිණ උන් ඔවුන් ගේ කතාව නැවතුණේ සුනන්දා විශ්මයෙන් මෙන් පාරමීගේ ගෙමිදුල දෙස බලා ඉන්නා විටය. පාරමීට සිනහවක් නැගුණේ සුනන්දා කටත් ඇරගෙන බලා ඉන්න අන්දමටය.
***********************************************************************************************
යළි හමුවෙමු
මම
විසිරි සිහින
++++++++++
ReplyDeleteබොහොම ස්තුතියි
Delete++++++
ReplyDeleteබොහොම ස්තුතියි
DeleteLove it
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteවිසිරිගේ කථා කියවද්දී මනස සංසුන් වෙනවා.. ඉදිරියේදී කුතුහලයත් එක කරයි කියල හිතනවා...
ReplyDeleteබොහොම ස්තුතියි
Delete*****
ReplyDeleteබොහොම ස්තුතියි
Delete