පස් වෙනි කොටසට මෙතනින් 05
හයවෙනි කොටස
බිත්තියේ හැපුණ වේගයට කිසිවක් ම සිතාගත නොහැකිව පාරමී මොහොතක් එසේම උන්නාය.ඔලුවද බිත්තියේ තරමක වැදුණා සේ දැනුණි. දැහැමි කලබලයෙන් දුවගෙන ආවේ ඇය කෑගැසූ හඬිනි. මුලුතැන්ගේ සිට දැහැමි ගේ අම්මාද දුවගෙන ආවාය.
මොකද මොකද උනේ......දැහැමි පාරමීගේ අතින් අල්ලාගෙන ඇසුවාය. ඇඟේ වැදුණ තැනැත්තා කිසිම ගණනකට නොගෙන එළියට ම ගොසිනි. පාරමී ට ඇතිවූ තරහ ඇය පාලනය කරගත්තේ පිට නිවෙසක හෙයිනි.නැතිනම් බැණ වදින්නට තරම් ආවේගයක් ඇය සිත තුළ ඇතිවිය.
"නෑ මම කලබලෙන්නෙ ආවේ...කවුද මෙතනින් ආවා ...වැදුණා .....මොකුත් අවුලක් නෑ....."දැහැමිට උත්තර දෙමින් පාරමී පැවසුවාය. එක අතකට වරද තමාගේය...උඩක් බිමක් නොබලා දිව ආවේ තමන් ය....නමුත් ඒ තැනැත්තා ගේ නොසැලකිලිමත් හැසිරීම..අඩුම තරමේ සමාවෙන්න යැයි නොකීම.... පාරමීට තරහ ඉපැද්දවීය.....
"අම්මා කොහොමද ඉතින් ....මේ ටිකේම එන්න හිතන් උන්නාට බැරිඋනා නෙ..."පාරමී දැහැමි ගේ අම්මාගේ අත්දෙකින්ම අල්ලාගෙන පැවසුවාය. පාරමීගේ කොපුලක් සිප ගත් දැහැමි ගේ අම්මා ඇය වැළඳගත්තාය...ඇයට පසුපසින් පැමිණියේ ඔසරියක් හැඳි අම්මාගේම වයසේ කාන්තාවකි.තරමක් ආඩම්බර පෙනුමක් ඇති ඇය පාරමී දෙස සිනාමුසුව බැලුවාය....
"ආ මේ දැහැමි දූගෙ යාලුවාද....මේ දැන් එනව කියල කිව්වෙ...."
ඒ කාන්තාව ඇසුවේ සිනහ පිරි වතිනි.
අම්මේ නැත්නම් ....මට කෙල්ලො දෙන්නෙක් නෙවේ තුන්දෙනෙක්ම ඉන්නවනෙ අක්කෙ....මේ තමා තුන්වෙනියා....දැහැමිගේ අම්මා කීවේ පාරමී ගේ හිස අතගාමිනි. පාරමී ද ඒ කාන්තාවට ප්‍රති සිනහවක් පෑවේ දැහැමි දෙසම බලමිනි.මෙතැනින් ඉක්මනින් මිදීයාමේ ඇයගේ අදහස වටහා ගත් දැහැමි ....
"අම්මා එහෙනම් අපි ගිහින් එන්නද...කෝ අර ගෙනියන්න තියන දේවල් ටික...."
කියා ඇසුවාය. යෙහෙළියන් දෙදෙනා ට අවැසිවූයේ මෙතනින් පැන ගන්නටය..මාස ගණනාවක බෙදාගත යුතු ඕපාදූප සහ රසකතා දෙදෙනා ටම එමටය ......
පාරමී වාහනය වෙත ඇවිද ගියේ දැහැමි සමගිනි....මිදුලේ වෙරළු ගස යට වාහනය නවතා ඇති ඉසව්වේ සිට ඒ පුද්ගලයා දුරකතන ඇමතුමකය. ගස පුරා ඉදුණ වෙරළුය .... ගෙඩියක් දෙකක් කඩාගන්නට හෝ බිම තණ පලසේ වැටුණ ගෙඩියක් දෙකක් අහුලාගන්නට වත් මේ මනුස්සයා නිසා බැරිය....
"මේක අර්ජන්ට් එකක්....මට නාස්ති කරන්න කාලයක් නෑ....ගතවෙන හැම තත්පරයම සල්ලි ....අන්න ඒක මතක තියාගන්න...ඕකේ...."ඔහු තදින් අමතන්නේ කාට හෝ ය.....කතාකරන අතරේ හිස කෙස් ඇදගනිමින් බිම ඇති ගල් වලට පයින් පහර දෙමින් මේ පුද්ගලයා නොසන්සුන් ව හැසිරෙන අන්දම පාරමී එක බැල්මකට හසුකර ගත්තාය.මානසික සෞඛ්‍ය ක්ශේත්‍රයේ වැඩකළ පුරුද්ද නිසාම පුද්ගලයන් ගේ ඉරියව් පාරමීගේ ඇසට අසුවන්නේ වෙනස්ම කෝණයකිනි.
වාට්ටුවකට ඇතුල් කරන් බෙහෙත් කරන්න වටින කේස් එකක්..අහක තියන ගස් ගලුත් ඉවර ඇති කෝල් එක ඉවර වෙනකොට.....පාරමී හිතෙන් හිතුවේ එලෙසය.....දැහැමි වාහනයට නැගුණ පසු පාරමී වාහනය පණගැන්වූයේ ද ඒ තැනැත්තා එක්වරම හැරී බැලුවේද එකමවිටය.
ඒ ඇස් බැල්ම කෙලින්ම පාරමී දෙසට යොමු වූයේ පාරමීද තිගැස්වමිනි. ඇය වහා ඉවත බලා වාහනය හරවා ගත්තාය.... තමා නොසිතූ අන්දමේ තියුණු ඇස් බැල්මක් ඒ පුද්ගලයා සතුවුවද ඒ බැල්ම යට අධික වෙහෙසකාරී බවක් ද තිබුණේ යයි පාරමී ට සිතුණි.
අරයා අන්න කටත් ඇරන් බලන් ඉන්නව...ෆෝන් එක කනේ....ඇස් මෙහේ....
දැහැමි කුටු කුටු ගාමින් පැවසුවාය ....පාරමී රිදුම් දෙන වැලමිට අතගාමින් දැහැමි ට රවා බැලුවේ වාහනය ගේට්ටුවෙන් පිටට ගනිමිනි....තවම අත තරමක් වේදනා දෙයි....
කවුද බං ඒ ...මගෙ ඇඟත් රිදෙනව හැප්පුණ පාර....ඉබිමස් කනවද මන්ද....ගහක් ගලක් වගෙ......පාරමී ඇසුවේ හිනා වෙමින් ඉන්නා දැහැමි ගෙනි.
" ඔය ඇවිල්ල උන්නෙ අපේ තාත්තා ගෙ ලොකු අම්මගෙ දුව...ඒ කට්ටිය මෙහෙ ඉඩම් වගයක් අරන් අර උන්න පුතණ්ඩියාගේ බිස්නස් වගේකට...ඔය ඒකට ආව ගමන් අපේ ගෙදර ඇවිල්ල තියෙන්නෙ....මම අර කෝල් එක ගන්න කොටත් එතන පුටුවෙ ඔය යකා ෆෝන් එකේ ...මං ඒකයි හෙමින් කතාකලේ....."
දැහැමි පැවසුවාය....
"ඒ කෑගහන කෑගැහිල්ලට ඔය මනුස්සයාගෙ නහරයක් පුපුරල යයි කියල මට හිතුණ....දැක්කෙ නැද්ද අර දැන් එද්දි....අනික බං කෝ මැනර්ස්...නිකමට සොරි කියපන්කො අරම දඩාං ගාල වැදුණ එකේ ...කොහෙද ඉතින් අර උඹේ නැන්දම්මා මේකාව අලියෙක් වගේ හැදුවට ඒ ගතිගුණ සිරිත් විරිත් කියල දීල නෑ වගේ... "පාරමී පැවසුවේ ඔහු ගේ හැසිරීම සිහිපත් කරමිනි....
පැය භාගයක පමණ රිය ධාවනයෙන් පසු පන්සල් ඉම පිහිටි සීමාවට ඔවුන් ආවේ වාහනය රිය නවතා තැබිය හැකි ඉඩක රඳවමිනි. පන්සලේ නායක ස්වාමීන් වහන්සේ හමුවී අවශ්‍ය කටයුතු කතාබහ කරගත් දැහැමි පාරමී සමග පන්සල් ඉම වෙත ඇවිද ගියාය.
බෝමලුව කෙලවර වූ ගල්තලාවේ කෙළවරකට ඇවිද ගිය යෙහෙළියන් දෙදෙනා එහි ඉඳගත්තේ සුපුරුදු කතාබස් අරඹමිනි....තවමත් පන්සලේ බෝමලුවේ එකිනෙකා වැඳපුදාගන්නට එන හෙයින් පාළුවක් හුදෙකලාවක් දැනෙන්නේ ද නැත.
ගල්තලාවක හිඳ ගත් පසු කෙලින්ම ඈතට පෙනෙන්නේ ....නිල්ල නිලන කඳු යායකි...බොහෝ දිනවල ගලේකන්දේ විහාරයට එන යෙහෙළියන් දෙදෙනා....හැමදාමත් කැමති වූයේ මේ ඉසව්වට ය....තෙරක් නොපෙනෙන නිල්ල නිලන කඳු යායේ දැවටී එන සිහිල් සුළඟ ගතේ දාහය නිවාලයි ...
"ඉතින් ඉතින් ....කියපන්කො විස්තර....."
පාරමී කතාබහ ඇරඹූයේ යෙහෙළිය ගේ මුහුණ දෙස බලමිනි.....
"විශේෂයක් නෑ බං....හැමදාම ඉතින් ජීවිතේ ගෙවෙනවා .....සමීර මේ පාර එන්න පරක්කුයි...එයා වෙනුවට එන්න ඉන්න කෙනාට අසනීප වෙල කියල....පව් ඉතින් බලාගෙන ඉන්නෙ නිවාඩුව හම්බෙනකල්නෙ..... "
දැහැමි සොවින් බර නෙතු ඈතට යොමා ගෙනම පැවසුවාය.....
පාරමී නිහඬ වම ඇයට සවන් දුන්නාය....
"අපේ අම්මලායි එහෙ අම්මලායි දෙගොල්ලම දරුවෙක් හදාගන්න කිය කිය කියවනව....සමීර කියන්නෙ එයාත් නැතුව මම තනියම කොහොමද ඔය බර දරන්නෙ ...ඒ නිසා ටිකක් දිග නිවාඩුවක් අරන් එනකල් ඉම්මු කියල...."
පාරමී සිය යෙහෙලියට ඇහුම් කන් දුන්නේ නිහඬවමය. සාම්ප්‍රදායික මතිමතාන්තර වල සිටිනා දෙමවුපියන් ට දොසක් නගන්නට නොහැක.මන්ද මේ ගෙවී යන්නේ තිස්පස් වෙනි වියයි...එවිට දරුවෙක් සම්බන්ධ සිහිනය ඔවුන් අතරට එම ගැන අනෙක් අය බලා සිටීම අමුත්තක් නොවේ.
"බලමු....මේ පාර ආවම මම එයාට කියනව....මම වැඩ කරගන්නම් කොහොම හරි කියල ...දරුවෙක් ගැන හිතමු කියල..ඉතින් ඉතින් ඔයාගෙ වැඩ කොහොමද එහේ.... "
දැහැමි ඇසුවේ අම්මා ඔතා දුන් කෙසෙල් කොලයේ බැඳි බත්පත දිග හරිමිනි.....
"අම්මෝ කතා එපා...මට සුවඳට ම බඩගින්නක් ආවා...කාල ඉම්මු ඔක්කොටම කලින්...."
පාරමී කෑගැසුවාය.
"මෙහෙමත් බඩජාරියෙක්....හා හා කාපං කාපං එහෙනම් .....නැත්තං ඔයා කන සිහියෙන් කියවන්න ගිහිල්ලා ටිකක් හිර වෙලා එක වැඩක් වෙනවා ..."
දැහැමි සිනාසුනේ සිය යෙහෙලියගේ හදිසිය දෙස බලාගෙනය ....
"මගේ කියලා කියන්න විශේෂ දෙයක් නැහැ බං.. හැබැයි හොස්පිට්ල් එකේ වැඩ නම් සෑහෙන්න තියෙනවා...මෙහේ තියෙන සිස්ටම් එකපාරටම වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි ...මෙහෙ මිනිස්සු කාලයක් එක්ක...වැඩ කරන්න ගත්තු විදිය...ටික ටික ඕනේ වෙනස් කරන්න...හැබැයි මට හම්බෙච්ච වාට්ටු දෙකම ....ටිකක් positive පැත්තේ ඒවා ....staff එකක් ලොකු අවුලක් නැහැ ......"
පාරමී පසුගිය දිනවල සිදු වූ දේවල් එකින් එක පෙළ ගස්වමින් පැවසුවාය....
"ඔක්කොටමත් හරි බං මේ ඩ්‍රයිවින් කියන එක...දවස තිස්සේම එතන වැඩ කරල මේ දුරක් ඩ්‍රයිව් කරනවා කියන එක පුදුමාකාර මහන්සියක් ...ඉතින් මට ක්වාටස් තිබ්බට ඒ වගේ හොස්පිට්ල් එක ඇතුලේ තැනකට අම්මව එක්ක යන්න මට හිතෙන්නේ නැහැ ...."
පාරමී වතුර බෝතලය මුවගට මුවගට තබාගනිමින් පැවසුවාය
"අම්මා ජීවත් වෙන්නේ පුදුමාකාර නිදහස් පරිසරයක නෙ....ඉතින් වෙන දෙයක් නිසා නෙමෙයි ක්වාටර්ස් එකට එක්කන් ගියා අම්මා කොටු වෙනවා...මෙච්චරම නිදහසේ හිටිය ඒ මනුස්සයව මේ වගේ තැනකට ගෙනියන්න මට හිතෙන්නෙ නැහැ...."
"ඉතින් උඹ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ....."
දැහැමි ඇසුවේ බත්පත අකුලා යලි බෑගයට දමමිනි ....
"මේ දවස් ටිකේම ටිකක් හරි හොඳට ඉඩකඩ තියන නිදහසේ ඉන්න පුළුවන් වත්තක් එහෙම තියෙන තැනක් හොයන්න කීපදෙනෙකුටම බාර දීලයි තියෙන්නේ...එක තැනක සතියේ දවස් පහ අම්මා ටයි මාලනීටයි මමත් එක්ක ඉන්න ලැබෙනවා නම් ඒක මටත් හිතට සැනසීමක් ...සති අන්තෙ කොහොමත් මට ඒ දෙන්නත් එක්ක ගෙදර එන්න පුලුවන්නෙ....."
පාරමී දිගු සුසුමක් හෙළමින් පැවසුවාය ....කාලයත් තිස්සේ යෙහෙලියන් දෙදෙනාගේ සිත්වල තිබූ සියළුම දේවල් කතාබහ කොට හමාර වත්දී කාලය ඉගිලි යමින් තිබුණි ...
"දැන් එහෙනම් අපි යමු ආය දවසක ඉන්න බැරිය ...අම්ම බලාගෙන ඇති අපි එනකන්...."
දැහැමි නැගී සිටියාය....
ඔවුන් දෙදෙනා නැවත දැහැමි ගේ නිවසට එනවිට ත් දැහැමි ගේ ඥාති පිරිස පිටත්ව ගොස් තිබුණේ නැත.....
"මං මෙහෙමම යන්නං වාහනෙන් බහින්න බයයි අර යකාගෙ ඇගේ මං ආයෙ හැප්පෙයි ද කියලා..."
දැහැමි ගේ අතින් අල්ලා පාරමී පැවසුවාය...
"පිස්සුද බං අම්මට කතා කරල නොගියොත් දුක හිතේවි.....බැහැපන් බැහැපන්...."
දැහැමි ඇයගේ අතින් අදිමින් පැවැසුවා ය .
දැහැමි ගේ පසුපසින් නිවස තුලට ඇතුල් වූ පාරමී ....දැහැමි ගේ අම්මාගෙන් සමුගෙන යලි වාහනය වෙත ආවේ නිවසට යායුතු වූ හෙයිනි....ඇය රියට නැගෙන්නට යන පාර හරහා ඒ මොහොතේදි උන්නේද අර පුද්ගලයාමය. පාරමී නිහඬවම වාහනය වෙත ඇවිද ගියේ ඔහු නොතකමිනි. ඔහු ඇමතුමක උන්නද ඔහුගේ ඇස් ඇත්තේ ඇය මත බව පාරමී නෙත් කොණට දුටුවාය.එහෙත් එය නොදුටුවා සේ ඇය රියට නැගුණාය....
අර මොට්ටපාල ඔතන ඇති......
ReplyDeleteබලමු නේ ඊළඟ කොටසින්
DeleteBeautiful ....!!!
ReplyDeleteබොහොම ස්තුතියි
Delete