Sunday, November 27, 2022

05 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 හතර වෙනි කොටසට මෙතනින්     04


 පස් වෙනි කොටස





"මැඩම් ....කවුද මේ ටික හැදුවෙ..." ඉදිරි මිදුල හැන්දෑ යාමයේ ටිකෙන් ටික සැකසුවේ තමා විසිනි. ඔහේ හැඩිව ගිය මිදුල තමා අසීරුවෙන් සකසන අන්දම දැක සේවකයන් දෙදෙනෙක් උදලු රැගෙන විත් මුලු මිදුලම උදලු ගා ඔපමට්ටම් කොට ඒමේ අත විසිර තිබූ කැටකැබිලිති සියල්ල ඉවත් කොට දුන් හ.

අසල වූ පැල තවානකට හැන්දෑ යාමයේ ගොස් තණපිඩලි රැගෙන ආවේ තමා විසිනි....දැන් දින කීපයක් තිස්සේ රෑට වට වැස්ස තණ පිඩැලි පොලවට අල්ලවා තබා ඇත.අම්මාගෙන් උගත් යම් යම් දේ ජීවිතය ට කෙතෙක් වටින්නේදැයි පාරමී අවබෝධ කරගනිමින් උන්නාය.

තණ පලස කෙලවර වැරැන්ඩාවට පිවිසෙන තැන රෝස මල් පිරුණ පෝච්චි කිහිපයක් තබා තිබුණි. තණ පලසේ කොල පැහැය හා මුසුවන රතු,කහ ,රෝස මල් ....නිවෙසටම ගෙන ආවේ අමුතුම එළියකි. 

මම හැන්දෑවට ටික ටික මිදුල හදාගත්තා සුනන්දා....පිරිමි ළමයි දෙන්නෙක් ඇවිල්ල උදව් කලා....ඉන්නෙ දවසක් දෙකක් උනාට ඉන්න තැන ලස්සනට තියෙන්න ඕන සුනන්දා 

පාරමී සුනන්දාගේ දෑස් වල මතුවූ එළියෙන් සුබ ලකුණු වටහා ගත්තාය...

එම එළියේ පැහැය විද්‍යාමාන වූයේ පසුදිනයේ ය....වාට්ටුවේ ඉදිරිපස වූ මල් පාත්ති පණගසා අලුතින් සැකසෙමින් තිබිණ. රෝගීන් සමගම සුනන්දා සහ සෙසු සහය සේවිකාවන් මල් පාත්ති අතර සැරිසරනු පාරමි රත්මල්ගොඩ දුටුවේ උදෑසන වාට්ටුවට පැමිණෙන අතරේය ...ඇත්තෙන්ම සිත තුළ නැඟෙන්නේ සිහින් ආඩම්බරයක් සමඟ ඇතිවූ සමග ඇති වූ අප්‍රමාණ සන්තෝෂයකි .

වාට්ටුව එකෙන් එක හැඩ වෙමින් පවතින විට ඒ අසලින් එහෙ මෙහෙ යන සියලුම කාර්ය මණ්ඩලය ඒ දෙස බලා උන්නේ අරුම පුදුම දෙයක් දකින්නා මෙනි. 

" නැති කරදර ....අන්තිමේ මේවා දැක්කම අපිටත් ඕක කරන්න සිද්ධ වෙනවා ..." තරමක් වයස්ගත වූ සහය සේවිකාවක් ....නොරිස්සමෙන් මෙන් කියමින් එතනින් ඇවිද ගියේ ගස්සාගෙන මෙනි. සුනන්දා සිය යෙහෙළියට ඇයව පෙන්නා උරහිස් දෙක අකුලා සිනහසෙන පාරමී රත්මල්ගොඩ දුටුවත් ඇය එය නොදැක්කා සේ වාට්ටුව තුලට ඇතුළු වූවාය ...

අපේ කට්ටිය අන්න උදෙන්ම වැඩ පටන් අරන් මැඩම්....

වාට්ටුවේ වෛද්‍යවරිය සිනහසෙමින් පැවසුවාය.

ඔව් ඔව් මම බලන් ආවේ ඒ දිහා.....පාරමී රත්මල්ගොඩ හෑන්ඩ්බෑගය මේසය මත තබා වාට්ටුවේ කෙටි දොරකඩින් එබී බලා උන්නාය.

තුරුණු වියෙහි සිටිනා බොහෝ ගැහැණු දරුවන් මේ සා මානසිකව අගාධයකට වැටෙන්නට හේතුව සමාජයේ වරද දැයි ඇය සිතුවේ ...සුනන්දා සමග වැඩ කරන යුවතියක් දෙස බලමිනි.දින කිහිපකට පෙර වාට්ටුවට ඇතුල් වූ ඒ යුවතිය අධික විශාදීය තත්වයක් හේතුවෙන් සිය දිවි නසාගන්නට තැත්කොට බේරාගත් අයෙකි.ඇයගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය රෝහල් ගත කර තිබුණේ මානසික වියවුල තදබල ව තිබූ හෙයිනි.

ඩොක්ටර් මේඝා ...අර බෙඩ් නම්බර් ත්‍රී ඉන්න ළමයා නේද සුනන්දා එක්ක හරි හරියට වැඩ කරන්නෙ.....

පාරමී ඇසුවේ සිය වාට්ටුවේ වෛද්‍යවරියගෙනි. පාරමී ඉන්නා දොර අසලින් එදෙසට එබුන වෛද්‍යවරිය ...

ඔව් මැඩම් අර සුවිසයිඩ් කරගන්න ගිහින් බේරගෙන එව්ව ළමයා නෙ...බලන්නකො මැඩම් හිනාවෙලා ඉන්න හැටි දැන්....

පාරමී ඒ යුවතිය දෙස බලා උන්නේ සතුට මුසු හැඟීමකිනි. මිනිස් ජීවිතයක වටිනාකම කෙතෙක් වුවත් ආවේගයන් බහුල දිවියේ එයට වටිනාකම් නොලැබේ . ඉදින් අතහැරයාම විසඳුමක් ලෙස පෙනීම අරුමයක්ද නොවේ.

මිනිසුන් ජීවිතයේ කායික මානසික දෙයාකාරයෙන්ම නීරෝගී විය යුත්තේ එහෙයිනි. තමා වටා ඇති ලෝකය ගැන අප්‍රමාණ බලාපොරොත්තු තබා ගන්නා මිනිස්සු තමා ගැන ඒ බලාපොරොත්තු තබාගන්නට නොවෙහෙසෙති....ඉතින් ලෝකයේ ඇතිවන වෙනස්කම් හමුවේ විකල්පයන් නොදකින ඔවුහු ක්ෂණික තීරණ ගන්නේද ඒ තරම්ම වේගයෙනි.

මනුස්සයා කියන සත්වයාට හරි තීරණ ගන්නට මොලයක් ස්වභාවයෙන්ම ලැබෙන්නෙ අනික් සත්තුන්ට වඩා දියුණු ජීවියෙක්ව කරල ඉහලින් තියල තියෙන්නේ ඇයිද කියලවත් නිකමට හිතෙන්නෙ නැත්තෙත් පෙර පවකට පුතේ .....අම්මා විටෙක විස්සෝප වෙමින් පැවසුවේ එදිනෙදා පුවත්පතක අසන්නට කියවන්නට ලැබෙන පුවතක් ගැනය.

එහෙත් දැන් දැන් වාට්ටුවල ට එන අයගේ කතා පුවත් පාරමී අම්මාට නොපවසන්නේ අම්මා ජීවත් වන සමාධිගත සුවදායී ජීවිතයට එවන් කතා පුවත් වලින් බර නොදිය යුතු හෙයිනි.

පාරමී ගේ සති අන්තය ගෙවී ගියේ අම්මා සමග සුපුරුදු සැනසීම සපිරි තමන්ගේ නිවසේ ය .උදෑසන තේ පානයට පෙර අම්මා කොහිද කියා සෙවූ පාරමී ට අම්මාගේ සුපුරුදු දින චර්යාවේ එක් අංගයක් වූ නිවසේ පසු පස පිහිටි කුඩා වගාබිම අතරේ එහෙ මෙහෙ ඇවිද යන අම්මා ඇස ගැටුණි . බොහෝ අතීතයේ පටන් අම්මාගේ වැඩි කාල වේලාවක් ගත වූයේ ගස්කොළන් සමඟිනි ....

හිතට ශාන්තියක් දැනෙන්නේ මෙන්න මේ වගේ ගස් කොළන් අතරින් ඉන්නකොටයි පුතේ...අපි හැමතිස්සේම ඉන්නේ කොන්ක්‍රීට් වනාන්තරවල...ඒත් මේ කොළ පාට ඇස් වලට හුරු උනාම අපේ ජීවිතයේ තියෙන හුඟක් ගැටලු අපෙන් ඈත් වෙලා යනවා ...ඒ වගේම මේ ගස් අතරෙ තියෙන නැවුම් හුස්ම අපි නිරෝගී කරනවා ....

අම්මා නිතර කීවේ එවැනි අදහස් ය...පාරමීට ගස්වැල් අතර කාලය ගත කරන්ට ලැබුණේ සතිඅන්තයේ පමණි . මානසික වශයෙන් ඔද්දල් වූ ජීවිත සමගින් සුවපත් කිරීමේ කාර්යයට කැපවෙන පාරමීට සති අන්තය අම්මාගේ ඇසුරේ මේ ගහකොළ අතරේ ගෙවන්නට ලැබීම පවා මනා නිදහසක් සුවයක් විය.

මං බැලුව අම්මා කෝ කියලා ....නිකමට හිතලයි මේ පැත්තට ආවේ 

පාරමීගේ හඬින් හිස ඔසවා බැලූ අම්මා සිනහ වූවාය ....

උදේට මේ ගස් කොලන් අතරට ආවම හරි සැනසීමයි පුතේ.....

අම්මා පාරමීගේ අත තැබුවේ ඇඹුල් පේර ගසින් නෙලාගත් ඉදුණු ගෙඩි කිහිපයකි. ඇඳ උන් කලිසමේ සාක්කුවට පේර ගෙඩි කිහිපය දමාගත් පාරමී උදෑසන සිහිලසින් මත්වී දෑත් පොරවා ගත්තාය.....

පාරමී අම්මා එතනම සිටියදී මඳක් වත්ත පහලට ඇවිද ගියාය . වත්ත කෙළවර මායිම් වනුයේ කුඩා ඈල පහරක් ගලා යන වෙල් යායෙ සීමාවෙනි.. වෙල් යාය කෙළවර වූ තුරු හිස් ගොමුවට ඈතින් අහස පැහැදිලි දවසට පෙනෙන්නේ සිරිපා කන්දයි ...කුඩා කල සිටම නිවසේ සිටින දවසක් වේ නම් පාරමී පුරුදු වූයේ වෙල්යාය අද්දර තම ඉඩමේ ඇති ගල් තලාවට පැමිණ ඇස් දෙක කුඩා කරමින් ලොකු කරමින් සමනල කන්ද ඇස් මත වීමට අල්ලා ගැනීමට තැත් දැරීමයි .

අදත් එබඳු දවසකි....අහස බොහෝ පැහැදිලිය.වළාකුළු ඇත්තේ ම නැති තරම් ය. ඉඩම අද්දරින් ගලා යන ඇළ පහර පුදුමාකාර තරම් පැහැදිලි පිරිසිදු දියෙන් යුතුය...ඇළ දෙපස ඇති කුඩා කෙටල පඳුරු අතරේ දැවටෙන දියපහර සිලි සිලි හඬ ගීත ස්වරයෙන් ගලා යයි. ඉන් ඔබ්බෙන් වූ කෙත් යායම මේ දිනවල නිල්ල නිලට හුරු වී අලුත් ගොයමෙන් බර වී ඇත. පාරමී බොහෝ පැහැදුණු සිතකින් සමනොල කඳු ඉසව්ව දෙස බලා උන්නාය .....තාත්තා බොහෝ අතීතයේ දී මේ ඉඩම ගන්නා විට...ඒ සියලු භූමි ලක්ෂණ ගැන සැලකිලිමත් සැලකිලිමත් වූයේ දැයි පාරමීට විටෙක සිතෙයි...පාරමීට අවුරුදු පහක් සපිරෙන්නට මත්තෙන් හදිසි හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගෙන ගිය තාත්තා පිළිබඳ ව ඇත්තේ ඉතා සියුම් කෙටි මතකයක් පමණි...

පර්චස් හතළිහක් පමණ වූ වත්තේ පිටුපස කොටස එදා සිට අද දක්වාම අම්මාගේ මහන්සියෙන් විවිධාකාර බෝග වගාවට නතු වී තිබුණි . 

ඉතින් මෙබඳු සුන්දර පරිසරයක් හැරදමා අම්මාට තමා හා ජීවත් වන්නට යන්නට කතා කිරීමම කෙතරම් අසාධාරණ දැයි පාරමී රත්මල්ගොඩ විටෙක සිතුවාය. 

අම්මාගේ වයසත් සමගින් ඇය ජීවත් විය යුත්තේ සිත සැනසුම සදන මෙබඳු සාමකාමී පරිසරයක ය.කොළඹ ආසන්නයෙන් මෙබඳු පරිසරයක් සොයා ගැනීම ඉතාම අසීරු කාරණයකි. 

පාරමී ගල්තලාවේ කෙළවරක හිඳගෙන මද වේලාවක් ඔහේ බලා උන්නාය. 

පුංචි නෝනගෙ තේ ඒක මං ඔන්න මෙතෙන්ට ම අරං ආවා..... මාලනී ගේ හඬින් හිස ඔසවා බැලූ පාරමී දුටුවේ ඇය පසුපසින් සිය තේ එක රැගෙන පැමිණෙන අම්මාය ....අම්මාත් ගල්තලාවෙහි පසෙක හිඳ ගත් පසු මාලනී ආපසු නිවෙසට ඇදුණේ උදෑසන ආහාරය සෑදීමේ අවශ්‍යතාවය හඟවා ය. 

ඔයා ආසම කරන දේ තිබෙනවා අද ... සමනල කන්ද.... අම්මා ඈත ඉසව්වට අත දිගුකරමින් පෙන්වූවාය...

ඔව් මම අද ගොඩක් වෙලා බලාගෙන හිටියා අද අහස පුදුමාකාර විදියට පැහැදිලියි නෙ අම්මා

තාත්තා ඒ කාලේ මෙතන ඉඩම ගන්න කොට ඔය දර්ශනය ගැන හුඟාක් හිතුවා පුතේ. ඔයා හම්බ වෙන්න ඉන්න කොටත් මා එක්ක ඇවිල්ලා මේ ගල්තලාවේ වාඩිවෙලා ජීවිතේ ගැන හුඟාක් දේ කතාකලා...ඔයාට මතකද පොඩි කාලෙ තාත්තා එක්ක මෙතනට එනව....

අම්මාගේ හඬෙහි ශෝකයක් ඇතිදැයි පාරමී විමසා බැලුවේ සිය සිතෙනි...නැත...එය එතරම්ම නිවී පහන් වූ සිතකි

මට මතකයි අම්මා....ඉස්සර තාත්තා ඇල අයිනෙන් දං කඩලා දුන්නා මම මෙතන ඉඳගෙන ඉද්දි....ඇල ගැඹුරු නැති උනත් තාත්තා මට තනිවම ඒකට බහින්න දුන්නෙ නෑ....

පාරමී සිය මතකාවර්ජනය කලේ සතුටු සිතිනි...ඒ පරිසරය සුලු සුලු වෙනස්කම් වලට ලක්වෙමින් වුවද තවම ඒ සොඳුරු බව නසා නොගෙන පවතී....

ගෙදර යං ....උදේට කෑම හදන් මාලනී බලන් ඇති.....අම්මා ගල් තලාවෙන් නැගී උන්නේද පාරමී සමගිනි....ගල්තලාවේ සිට නිවෙසට යන කෙටි අඩි පාර බොරළු දමා සකසා ඇත...ඒ දෙපස කුඩා කහ පැහැති තාරුකා මල් පඳුරු යායකි....උදෑසන වට පින්නෙන් මල් පෙති නැවුම් ව බබලනු ඒ අතරින් ඇවිද යන පාරමීට පෙනුණි....

අම්මා මම මේ ටිකේම අපිට වීක්ඩේස් වල ඉන්න තැනක් බල බලා ඉන්නේ ....මට වෙලාවකට හිතෙනවා අම්මා මෙච්චර මේ සැනසීමෙන් ඉන්න මෙතනින් සතියේ දවස් පහකට වුණත් ..වෙන තැනකට එක්ක යන එකත් අසාධාරණයි කියලා ......හොස්පිටල් එක කිට්ටුව පරිසරයේ මේ වගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනක් තියෙයිද කියලා හිතන්න අමාරුයි නෙ අම්මා ....

පාරමී උදේ ආහාරය ගන්නා අතරේ අම්මා සමග පැවසුවාය..... 

පුතේ අපි මේ මොකුත් යනකොට ගෙනියන්න තිබෙන ඒවා නෙමෙයි....අපි ජීවත් වෙන්නේ කොතැනද...එතන අපිට ගැලපෙන විදියට හදා ගමු.... මට එහෙම .ප්‍රශ්නයක් නැහැ ....මේ ගස්කොලන් වලට වතුර ටිකක් හෙම දාන්න අපිට එහා ගෙදර අයට කියන්න පුළුවන් නෙ...දැනටත් එයාල අපිට උදව් වෙන එකේ .....

අම්මාගේ දැක්ම ඒ සා පුලුල්‍ ය....ඇය කිසිවකට එල්බ සිටින්නේ නැත...කම්පා වන්නේද නැත.නැත හොත් කම්පා වන්නට කාරණා ජීවිතය පුරා කෙතරම් නම් යෙදුනිද.....

පාරමීගේ මතකය බොහෝ දුර ඇවිද යන මොහොතක අම්මා ඇය දෙස බලාඋන්නේ අප්‍රමාණ සෙනෙහසකිනි...

කනවෙලාවට කෑම එක ගැන කල්පනාවෙන් කන්න මැණික....හොස්පිට්ල් ගියාම ඔයා දුවන ගමන් කන්නෙ ..අඩුගානෙ ගෙදර ආවම වත් කෑම එක කන්න හොඳට නිදහසේ...ඇඟට අල්ලන්න වත් 

අම්මා පිඟාන ගෙන නැගිට්ටේ පාරමීගේ හිස අතගාමිනි. යමෙක්ට ජීවිතයේ නිවනක් බඳු තැනක් වේ නම් එය තම නිවහන විය යුතුමය. පාරමී රත්මල්ගොඩ වචනයේ පරිසමාප්තියෙන්ම නිවස නිවනක් කොට ගෙන වින්දාය.එ නිවන ඇයට සදන්නේ අම්මා මිස අන් අයෙක් නොවේ....

අහර ගෙන කාමරය වෙත ගිය පාරමී රත්මල්ගොඩ සිය ජංගමය අතට ගත්තේ ඒ වන විටත් නාද වෙමින් තිබූ හෙයිනි.....

"කී සැරයක් කෝල් ගත්තද ළමයො...කොයි ලෝකෙක යනවද ඔයා...."පාරමීගේ මුවගට සිනහවක් නැගුණේ එවදන් අසාය. ඉතින් ඒ අම්මා හැරුණ විට ජීවිතය ට සමීපම හදවතයි......පලමු වසරේ සිට එකාවන්ව එකට වැටී උන් ප්‍රාණසම යෙහෙළිය දැහැමිය....

අම්ම එක්ක කතාවේ වැටිලා කකා උන්නා ...වෙලාව යනව තේරුණේ නෑ...මම ඔය පැත්තෙ එන්න කියල මේ හැදුවෙ....අද වැඩක් මොකුත් නෑනෙ .....

පාරමී සිනහසෙමින් පැවසුවාය....

නෑ....අම්මාට ගලේ කන්දේ පන්සලට දානෙ දෙන්න මේ මාසෙ පහලොව ට මතක් කරල එන්න යන්න ඕනෙ කිව්ව....ඔයා එනවනම් ...මම අම්මාට කියන්නම් අපි දෙන්න ගිහින් එන්නම් කියල....

දැහැමිගේ දැහැමි ස්වරය හරිම සන්සුන්ව ගලා එන විට පාරමිට සිනහ නැගුණේ එක්වනමය...

සාදු සාදු පින්වතිය....ඔතන කවුද ඉන්නෙ කිට්ටුව...කතාබහ ඔච්චර සන්සුන් වෙන්න තරම්....

පාරමී හඬනගා සිනහසුණේ එසේ අසමිනි.....

මම කියන්නම් .....ආවම....එන්නකො....එහෙනම් තිව්වා....බුදුසරණයි .

දැහැමි ගේ හඬද සිනහවෙන් උතුරා යනු පාරමීට දැනුණි....ඉතින් කලකට පසු ඇය දකින්නට යායුතුමය...

රෝහලේ වැඩ කටයුතු වලට හිරවෙමින් සති අන්තය පමණක් ගෙදර ආ හෙයින් ගෙදරටම වී උන්නා මිසක ...ගෙදරින් එළියට බහින්න වත් පාරමීට සිතක් නොවීය .......

අම්මා මම දැහැමිලාගෙ ගෙදර පැත්තට පොඩ්ඩක් ගිහින් එන්නම්....එයාට ගලේ කන්දේ පන්සලට ගිහින් එන්නත් ඕන කිව්වා ...මම එයත් එක්ක පන්සලට පොඩ්ඩක් ගිහින් එන්නම් .....

අම්මාගේ කාමරයට ඇතුල් වෙමින් පාරමී පැවසුවේ ඇඳ උන් දිගු කුර්තා බ්ලවුසය සකසමිනි. අම්මා ඇඳේ විට්ටමට හාන්සි වී පොතක් කියවමින් උන්නාය...අම්මා තරම් පොත් කියවන කතක් පාරමීගේ ජීවිතයේ ඇය දැක නැති තරම් ය.

ඇති යන්තම් ....එළියට බහින්න හිතුණා....එහෙනම් දවල්ට කන්න එන එකක් නෑ ....පරෙස්සමින් ගිහින් එන්න මැණික....

අම්මාගේ දෙපා මුල දණගැසූ පාරමී ගේ හිස පිරිමැදි අම්මා පැවසුවාය ....

පාරමීගේ වාහනය දැහැමිගේ ගෙමිදුලෙහි නවත්වන විටද දැහැමි උන්නේ දොරකඩට වී යන්නටම සූදානමිනි.

කෝ අම්මා.....

පාරමී නිවෙසට ඇතුලු වෙමින් ඇසුවාය....දැහැමි ගේ අම්මා පාරමීට සැලකූවේ තමන්ගේම දියණියට මෙන්‍ ය. ඒ අපූරු මිත්‍රත්ව බැඳීම පවුල් දෙකටම කාන්දු වූයේ යෙහෙළියන් දෙදෙනා හරහාය. දැහැමිගේ එකම අක්කා උන්නේ විවාහ වී විදෙස්ගතවය...ඇය සිය සැමියා සහ දරු දෙදෙනා සමග ඉඳහිටක ලංකාවට පැමිණ ගියහ. ....දැහැමි ...විවාහ වූයේ මීට වසර හතරකට පමණ පෙරය.නාවික සමාගමක රැකියාවක නියුතු ඇයගේ සැමියා වසරකට වරක් පැමිණෙන අතර අම්මා සහ තාත්තා දෙදෙනා ම අසනීප තත්වයෙන් පසුවූ බැවින් දැහැමි උන්නේ තමන්ගේම නිවසේය.

අම්මාගේ නෑදෑයෝ කට්ටියක් ඇවිල්ලනෙ ....උයනව ගජරාමෙට ..යං කුස්සිය පැත්තට එහෙනම්.....

දැහැමි ඉස්සර වූවාය....

අහා.... ඒකයි මේ දැහැමි ස්වරයෙන් උඹ කතාකලේ....අනේ අනේ....

පාරමී මහ හඬින් හිනැහුණේ දැහැමිට පහරක් ගසමිනි.....

කෑගහන්න එපා යකෝ...

දැහැමි පාරමීගේ කට අතින් වසමින් දත් අතරින් පැවසුවාය.... ඇයගේ මේ හැසිරීම අමුතුය....පාරමී සාලය හරහා මුලුතැන්ගේ දෙසට ඇවිද ගියේ එසේ සිතමිනි....මුලුතැන්ගෙය ට පිවිසෙන දොර අසලදී පාරමීගේ ඇඟේ හැපුණේ මුලුතැන්ගේ දෙස සිට ජංගම දුරකථනයක් කණේ තබා ගෙනම පැමිණි අයෙකි....ඒ හැපුණ වේගයට පාරමී විසිවී ගොස් බිත්තියේ වැදුණේ .... ඇයව කෑගස්සවමිනි...


********************************************************************************************* 

යළි හමුවෙමු 

මම 

විසිරි සිහින 


6 comments:

  1. මල් සරා බැල්ම හෙලන්න වගේ යන්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙම නොකරම බැහැනේ ...හැබැයි ඉතින් එහෙමමද මන්දා ලලිත්

      Delete
  2. Replies
    1. මොකද මොකද හ්ම්ම්ම්ම්ම්ම්

      Delete