ප්‍රේමය කියන්නෙ අති සුන්දර මනෝ භාවයක්...ඒක වයසක් තරාතිරමක් ජාතියක් කුල මලයක් නැතුව විඳින්න පුලුවන් දෙයක්...තමන් සතු වන හිමි වන හා අහිමි වන ප්‍රේමයන් වගේම ඇහැට හසු වන ...විඳිය හැකි ප්‍රේමණීය සටහන් ඕනාම තැනකදි අපිට හමුවෙන්න පුලුවන්...
අද...අපුරු ම දවසක්...
ගිය සෙනසුරාදා බ්ලොග් සමරුවෙ මතක අරන් ගෙදර ඇවිල්ලා..ඉරිදා දවස නිස්කාන්සුවේ...( දාහක් වැඩ අස්සෙ වුණත් මං ඒ දවසට කියන්නේ නිස්කාන්සු දවස කියලා...)....ඉඳලා.....ඔන්න සඳුදා උදේ වැඩට යන්න කෝච්චියට නැග්ගා....
සාමාන්‍යයෙන් මම මුල්ම ස්ටේශමකින් නගින නිසා ඉඳගන්න ඉඩ පහසුකම් ලැබෙනවා...මගදි ආසනය පරිත්‍යාග කරන්නට වෙන වෙලාවල් අමතක කරමුකො...
ඔන්න කටුනායකට එද්දි...අද කෝච්චියේ සීට් වල ඉඩ කඩ තියෙනවා...සාමාන්‍යයෙන් නම් මේ වෙද්දි ඉඩ තියෙන්නෙ අඩුවෙන්...අද පොඩි එහා මෙහා වීමකින් ඉඩ තිබුණා....
මගෙ ලඟට අහම්බෙන් වුණත් ඒ ආවෙ අද මගේ කතාවේ කථා නායිකාව
ඇය...දුටු මනතින් බොහොම ගැමි පෙනුමක් තිබුන අවුරුදු විසි හතක් අටක් වගේ වයස ඇත්තියක්...කෙසඟ සිරුරක්...ඒ වගේම ටිකක් මෝදු වුන බඩක්...මට මතක් වුණෙ අපෙ අත්තම්මා ඉස්සර ඔය වගෙ අයට කියන්නෙ..."අනේ හැබෑටම තුත්තිරි ගහේ දෙබරෙ බැන්දා වගේ..."කියලා....හාස්‍යයකට නෙවෙයි...ඒ සිරුරට ඒ බර බර වැඩි නැතත් පෙනෙන්නෙ එහෙමයි....
සාමාන්‍යයෙන් කොලොම් තොට ගැබිණි මවු වරුන් පවා විච්චූර්ණ කරන කාලෙක යාන්තම් රැළි වැටුන බෝරිච්චි අත් දාපු ගවුමක් ඇඳන්...ඇය ආවෙ...
සායන කාඩ් පත් දාපු බෑගයක් සහ..හෑන්ඩ් බෑගයක් සමග ඇය මා ලඟට ඇවිල්ලා ඉඳ ගත්තා...මුහුණෙ තිබුණෙ අහිංසකම හිනාවක්....( විසිරිටත් අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ...හිනාව නම් උප්පත්තියෙන්ම ලැබිලා තියෙන්නෙ බැන්නත් හිනාවෙන තරමට...)...
යාන්තමට දෙපැත්තට හිනා දෙකක් හුවමාරු උනා...විසිරිගෙ ෆෝන් එකේ ඩේටා ඉවර වුණෙ ඒ පොඩි අම්මාගෙ වෙලාවටම වෙන්න ඇති...නත්නම් මේ විසිරි කෝච්චියෙදි බ්ලොගේ කියවන්නයි ලියන්නයි ගත්තාම ආයෙ ඔලුව උස්සන්නෙ නෑ
ටිකකින් අර අපේ කථා නායිකාවට එනවා කෝල් එකක්...
ඔව් ඔව් නැග්ගා නැග්ගා අයියා....නෑ...නෑ ඉඳගන්න ඉඩ තියේ...
--------------------------------
ඔයා කෑවා නේද......
----------------------------------
මං හොයන් යන්නම් අයියා...මට යාන්තමට මතකයි නෙව....කාගෙන් හරිත් අහගන්නම්කෝ...බය වෙන්න එපා ඔයා...
-----------------------------------------
ඔව් ඔව්...මොකක්ද...හා හා පේරකනත්ත ද...හා හා...මං එතැනින් නැගිටින්නම්කො...
පේර ලන්ද ඈට ඇහුණ හැටි තමා ඒ...මට එතනදි වැටහුණා..මේ කාන්තාවට මග තොට ගැන අවබෝධයක් නෑ කියලා
( පේර ලන්ද කියන්නෙ රාගමට කලින් ස්ටේශන් එක )
දැන් මේ යන්නෙ දෙන්නගෙ සංවාදෙ...සාමාන්‍ය ම පොඩි ෆෝන් එකක් නිසා මට එහා පැත්තෙ කටහඬත් ඇහෙනවා...කියන දේ නෑහුණත්....ඒ පිරිමි කටහඬ හරිම ආදරණීය බවකින් කතා කරන්නේ...
ඔන්න ඉතින් මේ වෙන්ඩ අම්මා...ෆෝන් එකත් බෑග් එකට දාගෙන....වතුර උගුරක් දෙකක් බීලා ආයෙ මා එක්ක හිනා වුණා...
සීදුව පහු වෙද්දි දැන් මෙන්න මෙයා නැගිටින්න සූදානම...විසිරිට ඉතින් කතාව ඇහුණ නිසාත් මේ සියලු සංසිද්ධීන් සමාලෝචනය කලාමත් විසිරි දන්නවා...මේ අම්මා යන්නෙ රාගම රෝහලේ මාතෲ සායනයට කියලා....
ඉතින් අතකින් අල්ලලා එහෙම "තව ගොඩක් දුරයි...මම බහින්න ඕන තැනදි කියන්නම් ..."කියලා එයාව ඉන්දෝගත්තා
ඒ ඇසුරෙන් පටන් ගත්ත කතාව බොහොම සංවේදී වුණා.....
මේ ඇයගෙම කතාව...ඒ වචන වලින්...
අපි මෙහේ නෙවෙයි නෝනා...වාරියපොල...මම බබා හම්බවෙන්න කලින් ගියෙ කුරුණෑගල ඉස්පිරිතාලෙට...ඒත් අයියා මෙහේ වැඩ කරන නිසා කවුරුත් කියනවා රාගම ඉස්පිරිතාලෙ හොඳයි කියලා...ඒක නිසා අපි මේ මෙහේ ක්ලිනික් එකට රෙජිස්ටර් වුනා...
අද මට ලේ දෙන්න තියන නිසා ඊයෙ රෑ දහයෙ ඉඳන් කන්න බොන්න එපා කිව්වනෙව...බඩත්ගිනියි...අනේ නෝනා අයියා උදේම නැගිටලා මට සුප් එකකුත් හදලා බත් එකකුත් උයලා බැඳලා දුන්නා...එයා හරිම හොඳයි නෝනා
මගේ ඇස් වලට හීන් දැවිල්ලක් එන්න ගත්තේ එතන ඉඳන්...මේ කතාව අහන් ඉද්දි මට දැනුන හැඟීම් මට ඒ විදියටම ලියාගන්න බැරි වෙයි
ඇයි ඉතින් ඔයා තනියම යන්නෙ...මහත්තයා එක්ක යන්න තිබුණානෙ ක්ලිනික්....
නිහඬවම ඉන්න හොඳ නැති නිසා මම ඇහුවා
ගිය සතියෙ තමා අපි ඉස්සෙල්ලම ක්ලිනික්ගියෙ ...අයියා ආවා...අනේ නෝනා ගිය සතියෙ ක්ලිනික් ගිහින් ගෙදර යන කොට අයියගෙ පර්ස් එක පොකට් ගහලා..ඒකෙ සල්ලි නම් තිබුනෙ නෑ..ඒත්...අයිඩෙන්ටිය ඒකෙ...එයා රස්සාව කලෙ යකඩ වැඩ කරන තැනක ...දැන් ඒකට යන්න බෑ අයිඩෙන්ටිය නැතුව.....
ඒ නිසා දැන් දවසෙ කුලියට මේසන් වැඩ කරන අයට අත් උදව් දෙන්න යනවා...ඒක හරිම අමාරුයි නෝනා...බාස්ලා තුන් දෙනෙක්ට අත් උදව් දෙන එක ලේසි වැඩක් නෙවේ නෙ
මිනිස්සුන්ගෙ ජීවිත ගැන හිතන්න ...මේ කෙටි නිමිත්ත පවා ඇති...
අදත් ආවොත් එතන වැඩත් නැති වෙයි නෝනා...ඒ නිසා මං යන්නම් කිව්වා..ඒත් එයා බයයි නෝනා....
මේ වෙද්දි කෝච්චිය ජාඇල පහු කරනවා...
තව ටිකක් දුර තියනවා බය වෙන්න එපා...තව ස්ටේශන් තුනක්ම තියනවා.... ඒ මම
මම ඇයගෙ කතාව අහන්න ඕන කමින් කියන කොටම ඔන්න ආයෙම ඇයගෙ ජංගමය නාද වෙනවා
ජංගමය කනේ තියාගත්තාම ආයෙ එන්නෙ ඇගේ ස්වාමියාගෙ කටහඬ...
නෑ...නෑ අයියා...මේ දැන් ජාඇල..මෙතන නෝනා කෙනෙක් ඉන්නවා..එයා මට බහින තැන කියන්නම් කිව්වා...
---------------------------
හානේ....ඔයා මාව දක්කා...හානේ....
----------------------
අනේ ඇයි ඉතින් ඒ වෙලාවෙ කෝල් නොකලේ.....හානේ..ඔයා මාව දැක්කා..?...මම ඔයාව දැක්කෙ නෑනෙ ඒ වුනාට...හරී නරකයි ඔයා....
---------------------
හා හා මම ගිහින් කෝල් එකක් දෙන්නම්කෝ...
මූණෙ මල් හතක් පිපිලා...ජංගමය බෑග් එකට දමමින් ඇය මා වෙත ආයෙම හැරුනා....
අපේ අයියා මාව මගදි දැකලලු නෝනා...අනේ මම එයාව දැක්කෙ නෑනෙ..එයා පාර අයිනෙ ඉඳන් බලන් උන්නලු....
එයා හරිම හොඳයි නෝනා...
එයා ආමි එකේ උන්නේ කලින්.. අවුරුදු දහ අටෙන් එයා ආමි එකට ගිහින්...ඒ කාලෙ එයා වෙන එක්කෙනෙක් එක්ක යාලුවෙලා උන්නලු...ඒ ගෑනු ලමයා මෙයාට ආමි එකෙන් අස් වෙන්නම කියනවලු නෝනා...ඉක්මනට එන්න කියනවලු..බඳින්න ඕන කියලා...අන්තිමේ මෙයා ආමි එකෙන් පැනලා අවිල්ලා...ඒ ඇවිල්ලා අන්තිමට බලන කොට අර ගෑනු එක්කෙනා මෙයාව අතහැරලා වෙන එක්කෙනෙක් එක්ක ගිහින්ලු නෝනා
අන්තිමේ මෙයාට රස්සාවත් නෑ...බඳින්න උන්න කෙනත් නෑ...පව් නේද නෝනා...එයා හරිම හොඳයි නෝනා....
කාටවත් එහෙම වෙන්න දෙන්න හොඳ නෑ නේද නෝනා
මේ කතාවේ අව්‍යාජ කමත් එක්ක මම සෑහෙන්න බැඳිලා...එයා හරිම හොඳයි නෝනා...කියන වචන ටික මම සෑහෙන වාර ගානක් ඇහුවා...
කෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය ගැන එහෙම අව්‍යාජ ප්‍රකාශනයන් ඉදිරිපත් කරනකොට ඇත්තෙන්ම අහන් ඉන්න ආසයි...මේ අපූරු අහිංසක කතාවේ මම නිකම් අතරමං වෙලා වගේ මට දැනෙන්න ගත්තා...
අපිට හම්බ වෙන්න ඉන්නෙ දුවෙක්ලු නෝනා...අපි ගමට ගිහින් දරුවා එක්ක ඉන්න වුනත් දැන් අතට මිටට කීයක් හරි එයා හම්බ කරගන්න ඕනනෙ....
ඒ හැම හැඟීමක්ම එක්ක ඇයගෙ මුහුණෙ තිබුනෙ හරිම සුන්දර ප්‍රේමාන්විත බවක්.....මම ඒ දසුන බලන් උන්නෙ හරිම ආසාවෙන්
විසිරි එක්ක ඒ ඇය කල කතා බහත් එක්ක විසිරි ප්‍රේමය ගැන මුහුණු පොතේ පුංචි සටහනකුත් තිව්වා....ඉතින් ප්‍රේමය මොන තරම් සුන්දරද.....
***************************************************
පසු සටහන
මිනිස්සුන්ගේ මානුශික බන්ධනයන් වල දිග පලල සහ ගැඹුර බලන්නට මිම්මක් නැතත්...මට මේ වචන දිගේ ජීවිතය පුරාම පැතිරෙන අප්‍රමාණ ස්නේහයක් හසුවිණ.....
සමහරක් විට මේ කාන්තාව හද්ද පිටිසර නූගත්ම කතක් වන්නට ඉඩ ඇත...
නමුත් ප්‍රේමය නම් වූ වස්තු විශයයෙහි...උගත් කමට වඩා මානුශිකත්වයට ලොකු තැනක් හිමිය.....ඒ කාන්තාව ඇගේ ස්වාමියාගෙ අතීතය තුලින් පවා ඔහුගේ ගුණම දකින්නීය...ඒ ආදරය තුළ ඇය රැජිනකි...ඔවුන්ගේ ලෝකය හිතෙන් මවා ගන්නට මට නිරායාසයෙන්ම පුලුවන
මිනිසුන්ගේ පරි බාහිරව පෙනෙන සුන්දරත්වයට වඩා ඇතුලාන්තය කෙතෙක් අපූරුදැයි මම තවමත් සිතමි....
ඇයට බසින්නට මග කියූ පසුත්....මම ඔවුන්ගේ ලෝකය තුළම බොහෝ වේලාවක් සිටින්නට ඇත...
**** විසිරි ***
ඒක නම් ඇත්ත විසිරි අක්කේ. ආදරය කියන්නෙ මහා පුදුම හැඟීමක්. ජීවිතයම ආදරෙන් පුරවන හොඳ ආදරයක් කෙනෙක්ට හමුවීම කියන්නෙ මම දකින විදියට මේ ජීවිතේ කෙනෙක් ලබන ඉහලම සැනසීම කියල.
ReplyDeleteමිනිස්සුන්ගේ ජීවිත වල කොච්චර හැලහැප්පීම් ඇත්ද නංගී...ඒත් ආදරය කියන මනෝභාවය ඒ හැම වියවුලක්ම ලතැවුලක්ම සමනය කරනවා...
Deleteස්තුතියි නංගීට මේ සටහනට අදහස් එක් කලාට
මන් පට්ට කැමැතියි විසිරි අවට දකින විදියට. අපිට අවට ලෝකෙ ඔය විදියට බලන්න පුළුවන්නම් මේ ලෝකෙ මීට වඩා හොද තැනක් වේවි. මේ කතා කිව්වම මාත් ඇවිස්සිලා පෝස්ට් එකක් වගේ දිග කමෙන්ට් එක වැදෙන එක තමයි වෙන්නෙ. "ජීවිතේ කියන්නෙ ඒක වෙන මොකුත් නෙවෙයි" කෙටියෙන්ම මට එහෙම කියතෑකි.
ReplyDeleteස්තුතියි මල්ලී ඒ ඇගයීමට...ඉතින් කෝ ඇවිස්සුනාට එච්චර දිග නෑනෙ කොමෙන්ටුව....( ඒ විහිලුවක්...)
Deleteඅපි ලෝකය අපිට ආවේණික අන්දමින් දකින කොට ...සමහරක් වෙලාවට අනෙකාටත් එය එලෙසම පේනවා නම්.....ඒ කියන්නේ එක ජාතියේ කුරුල්ලෝ එකට සිටී කියන එක
//නමුත් ප්‍රේමය නම් වූ වස්තු විශයයෙහි...උගත් කමට වඩා මානුශිකත්වයට ලොකු තැනක් හිමිය.....//
ReplyDeleteගොඩක් දෙනා හරියට අඳුරගත්තේ නැති තැන. ඒත් ආදරය කියන මාතෘකාවේදී වැදගත්ම වෙන තැන
මානුශිකත්වය ඇති තැන ආදරය ඇතුලු බොහෝ සොඳුරු හැඟීම් උපදිනවා නේද...
Deleteස්තුතියි කටුසු හදවත
+++++
ReplyDeleteප්ලස් මාක් ගොඩායි...වචන වලට හැරෙව්වා නම් මම වඩාත් කැමතියි...ස්තුතියි එහෙනම්
Deleteකතාවත් එක්ක සංවේදී වගේම ඔයාගෙ පසු සටහනත් එක්ක එකෙන්ම එකඟයි අක්කෙ.
ReplyDeleteස්තුතියි කසුන් මල්ලි...මට ඔයා එක්ක එදා කතා කරන්න බැරි උනා...ආයෙ හමුවෙයි නෙ අපි දිනක...
Deleteසංවේදී කතාවක් අක්කා
ReplyDeleteහ්ම්ම්ම්ම්...ඔව් ඇත්තෙන්ම නංගී
Deleteහරිම ලස්සනයි
ReplyDeleteස්තුතියි අරූ
Deleteකතාවේ මැද හරියෙදිම මගේ ඇස් වලට කඳුළු ඉණුවා... එයා හරිම හොදයි නෝනා... මට දැන් ඒ වචන හතර රැව් දිදී ඇහෙනව වගේ විසිරි අක්කෝ.
ReplyDeleteහිතන්න...ඒ අහන් උන්න මට ඒක කොච්චර තදට දැනෙන්න ඇත්ද කියලා....ජීවිතය සංවේදී වෙන තරමට දරාගන්න අමාරුයි සඳූ
Delete“අසිරිමත් වූ දේකි මෙලොව ප්‍රේමය නමිනා
ReplyDeleteවැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා
සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ
සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා ....”
- සිංහබාහු - මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර
ඔබේ ලියවිල්ල හරිම අපූරුයි විසිරි ඒ වගේම හෘදයාංගමයි....:)
ස්තුතියි රවී....ඒ ඇගයීම මට සවියක්
Deleteහිතක සෙනෙහස දෝර ගැලු ඒ දෙන්න සතුටින් බව හිතෙයි
ReplyDeleteවිටෙක කඳුලින් දිවිය තෙමුවද ඇගේ ලොව ඔහු බව හැඟෙයි
හදක දරදඬු බවක් සැඟවී යාවි මේ රචනය අගෙයි
නෙතක කඳුලක් ගෙනා විසිරී මාව හැඬවූවා වගෙයි........
රහ පිරි ලිපියක් විසිරී. වැඩි දෙයක් කියන්න බෑ. ප්‍රේමය එයමයි. සටහන අගෙයි.
ජයවේවා!!!
ස්තුතියි දුමී...ඔව් ප්‍රේමය නම් එයමයි
Deleteකඳුළුත් ආවා... ‘‘ කියන්න වදන් නෑ හැඟුම් සිතේ ගොළුවෙලා...‘‘
ReplyDeleteමගෙත් ඇස් වලට කඳුලු ආවා තරූ...ඒක මහ සංවේදී මොහොතක්..
Deleteඔයාට හිනාවෙන්නත් පුලුවන්ද? සමහර බැදීම් හරිම සංවේදී...
ReplyDeleteහම්මේ...ඒක ඔයා දැකලත් ඇති නේ....හිනාවෙ තරම..
Deleteඔව් ප්‍රදීප්...ඒ බැඳීම් අපූරුයි
Bollywood film එකක් වගේ මට මැවිල පෙනුණේ .
ReplyDeleteසමහර වෙලාවට...ඒ සිදුවීම් ආයෙම ආයෙම මතක් වෙද්දි ඒ වගේ තමයි
Deleteහ්ම්ම් මම හිතුවේ ,මෙයාට පුළුවන් අතපය කඩන්න විතරයි කියලා . හුහ් අපේ ලව් කතා ඇහුවනම් ඔයාට ලියල පණ යයි . හැක
ReplyDeleteහැබැයි කතාව සුපිරි අක්කේ . අක්සලොන්ට්
ආන්න...ඒකනෙ...අක්කලා ගැන ඒ අඩු තක්සේරුවෙන් ඉන්න එකේ වරද....
Deleteකෝ මලයා අර කෙටි කතාව
මේක ඇත්තම කතාවක් කියල කිව්වෙ නැත්තම් හිතෙන්නෙම ප්‍රභන්දයක් කියලා.. මොකද ගොඩ දෙනෙක් හිතන්න අද 'ආදරය' මැරිලා කියලා..
ReplyDeleteජයවේවා..!!
මිනිස්සුන්ගෙ හිත් තමා මැරෙන්නෙ...කවදාවත් ආදරය මැරෙන්නෙ නෑ....
Delete//"තව ගොඩක් දුරයි...මම බහින්න ඕන තැනදි කියන්නම් ..."// මට මැවිලා පේනවා. බෙල්ල පැත්තකට ඇල කරගෙන 'මං ඔක්කොම අහගෙන හිටියේ" වගේ ලුක් එකකුත් දාගෙන දත් විසි අටක් විතර පේන්න හිනාවීගෙන අර මනුස්සයාගේ අතින් අල්ලලා ආපහු ලඟින් වාඩි කරගත්ත විදිය.. හරි නේද? ඔන්න මම බලාගෙන උන්න වගේ කියුවේ..
ReplyDeleteකෝච්චියේ රස්සාවට එන කාන්ඩේ කියන්නේ වෙනම උප සංස්කෘතියක්.. ලියන්නකෝ වෙලාවක ඒ ගැනත්..
කතාව ගැන.. තව කෙනෙක්ගේ ජීවිතයක ඔය වේගෙන් ගිලෙන්න පුළුවන් ඒ කතාව මගේ කතාව වගේ කරගන්න පුළුවන් 'එහෙමත්' කෙනෙකුට තමයි.. ඒ ගැන සැලියුට් එක!
1.දත් ගාන නම් ටක්කෙටම හරි...කොහොමද දැන ගත්තෙ අප්පා...
Delete2. කෝච්චියෙ හුටපට ලියන්නට ඇන්ටෙනාව දාලා මම අතපය කඩාගත්ත දාක....මක් වෙයිද ඈ...
3. ඒ ඇගයීමට ස්තුතිය...
අනේ මංදා !
ReplyDeleteමමනම් දැන් අත්දැකීමෙන් අවභෝධ කරන් ඉන්නේ මිනිස්සුන්ට එක පාර චරිත සහතික දෙන්න හොඳ නෑ කියලා.. හුඟක් මිනිස්සුන්ට තියෙන්නේ පෙන්නන මූණ නෙමේ.. වැඩි හරියක් ඉන්නේ වෙස්මුහුණු කාරයෝ...