Saturday, March 18, 2017

42. මම කවුද....?

මම කවුද කියන එක තරම් ලෝකෙ තියන ලොකුම හා උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් තවත් තියද මන්දා....තමන්ට තමන් හඳුන්වා දෙන්න අමාරුයි කියන්නෙ බරපතල ප්‍රශ්නයක්....




මම මේ කියන මගෙ ගැන විස්තරය....මේ ඔස්සේ කියවන කාට හරි වැදගත් වේවි කියලා මට හිතෙනවා....මොකද මම මේ ලියන්නේ පෞද්ගලිකව මම කවුද කියන එක නම් නෙවෙයි..මගේ වෘත්තිය ගැන ඉතාම සරල කෙටි සටහනක්...

මේක ගැන කියන්න අවුරුදු විසි දෙකක අතීතෙට යන්න වෙනවා...මොකද ඒ අතීතේ ගත්තාම එතැන ඉඳන් තමයි මගෙ වෘත්තීය ජීවිතේට අඩිතාලම වැටෙන්නෙ,....
උසස්පෙල ඉවර වෙලා...ගත කරන්න වුන කාලයෙදි අනිත් ලමයින්ට වගේම මටත් තිබුනෙ අවිනිශ්චිත බවක් අනාගතය ගැන...
88 -89 කාලෙ සාමාන්‍ය පෙල කරලා 92 උසස් පෙල කල අය දන්නවා ඒ තත්වෙ ගැන...

දකුණු පලාත වගේම රටම ගිල ගත්තු භීෂණය නිසා විශ්ව විද්‍යාල පද්ධතියම අඩාල වෙච්ච කාලයක්...එතනට තේරුණ අයත් පෝලිමේ සිටිය යුතු වුන යුගයක්

ජීව විද්‍යාව විශය ධාරාව කරන්න එක්කාසු වෙන හැම ලමයෙක්ටම වගේ මටත් තිබුණා ඒ කාලෙ දොස්තර හීනයක්...ඒ හීනෙ කොහොම ආවද දන්නේ නෑ...නමුත් එක්කො මම දක්ෂ මදි වෙන්න ඇති...නැත්නම් උනන්දුව මදි ඇති...ඒ හීනෙ බොඳ වුණා...

නමුත් ඉස්පිරිතාලෙකට ගිහින් ඒ ආවේණික ගන්ධය ආඝ්‍රාණය කරන්න වත් බැරි වෙච්චි මට...( ඒ කාලෙ හොස්පිටල් වල ආවේණික ඝන්ධයක් අනිවාර්යයෙන්ම තිබුනා...) මේ රෝගීන් එක්ක වැඩ කරන උණ කොහෙන් ආවද මන්දා

කොහොම නමුත් ඒ කාලෙ අයදුම් කල විවිධ පාඨමාලා අතරෙ තිබුණ මෙන්න මේකට මාව තේරුණාම අපෙ අම්මලා ටිකක් හොයල බලල තිබ්බා මොකක්ද මේ  " වෘත්තීය චිකිත්සාව " කියන්නෙ කියලා

අම්මාගෙ පාසලේ ගුරුතුමියකගෙ සහෝදරියක් උන්නා මේට්‍රන් කෙනෙක්...එයා අම්මට කියලා තිබුණෙ..ආ ඕක අර අංගොඩ වගේ හොස්පිටල් වල මානසික ලෙඩ්ඩුන්ට වැඩ උගන්වන එක නෙ ...කියලා...වැඩ කියන එකෙන් එයා අදහස් කලේ මැහුම් ගෙතුම්..මල් හදන ...වගේ ඒවා...


අපෙ අම්මායි තාත්තයි මට තීරන වලදි බල කලේ නෑ...නමුත් අම්මා කිව්වෙ...හරියකට කෙලින් මැස්මක් මහගන්න වත් කඩදාසි මලක් හදාගන්නවත් ඔයාට බෑනෙ...ඕක හරියාවිද මන්දා කියලා

කොහොම හරි ගිහින්ම බලමු කියලා....රුහුණ්ට ජීව විද්‍යා උපාධියට තේරුණ එකත් පැත්තකට දාල මං කොළඹ ආවා..ජාතික රෝහලට මෙන්න මේ දේ ඉගන ගන්න....ආවම තමා මේක ඔය කියන මල් හැදිල්ලට එහා යන කෝස් එකක් කියලා මටම තේරුණෙ....

කොලඹ ඇවිල්ලා දෙවසරක කාලයක් බෝඩිම් වල කටු කාගෙන නිවාඩු නැතුව ඉගන ගන්නට උනා...ඒක මං හිතන්නෙ ලෝකෙ කොහෙවත්ම නැති තරම් ටෆ් කෝස් එකක්....ඒකෙ ඇතුලෙ තිබ්බ අත්දැකීම් කියන්න ගියොත් මේ පෝස්ටුවෙ මුඛ්‍ය අරමුණ යට යන නිසා....මම ඒ ඉසව් වලට නොයා එන්නම්...

කොහොමින් කොහොම හරි මම ඉගන ගත්තු දේ රැකියාවකට වඩා ලං වෙන්නෙ සේවයකට කියලා දැන් මම අවුරුදු විස්සක සේවා කාලය තුලින් අවබෝධ කරන් ඉන්නවා....








වෘත්තීය චිකිත්සාව කියන්නෙ ඉංග්‍රිසියෙන්  occupational therapy වලට...මේ occupation  කියන වචනෙන් එන අදහස රැකියාවක් හෝ වෘත්තියක් කියන එක නම් නෙවෙයි....නියැලීම යෙදීම කියන එකයි....අපි ජීවිතයේ යම් යම් ක්‍රියාකාරකම් වල උපතේ සිට මියෙන තුරුම නියැලෙනවා

මේ නිරත වීම..සමහර විට අධ්‍යාපන කටයුතු..ව්‍යාපාරික කටයුතු ,...රැකියාවේ කටයුතු ඒ වගෙම විනෝදාංශ වගේ දේවල් ..ආ...තව ආගමික කටයුතු...ඔන්න ඔය වගේ කොයි තරම් නම් දේවල් වල අපි නියැලෙනවද

අපිට අසනීපයක් සරලවම කිව්වොත් උණක් හෙම්බිරිස්සාවක් හැදුණත්...අපිට වෙන්නෙ අපේ සාමාන්‍ය ජීවන රටාව අඩාල වෙන එක...එතකොට වෙනදා වගේම කන්න බොන්න බෑ...ඇඳෙන් නැගිටගන්න බෑ...තමන්ගෙ වැඩ වලට කවුරු හරි උදව් වෙන්න ඕන ..රස්සාවට පාසලට යන්න බෑ...ඔහොම එකින් එක සම්බන්ධ වෙන ගැටලු මහ ගොඩයි...එතකොට මේ අඩාල වෙන්නෙ අපේ ජීවන රටාව

මම සරලම උදාහරණය්කින් මේ නියැලීම ගැන කිව්වට මගේ වෘත්තියෙන් උපකාර ලබා ගන්න එන්නෙ ඊට වඩා බරපතල ආබාධ සහිත වන අය

හොඳයි අපි එහෙනම් මේ වෘත්තීය චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා ටිකක් බලමුද...



වෘත්තීය චිකිත්සාවෙන් කෙරෙන්නේ දීර්ඝකාලීනව හෝ කෙටි කාලීනව ශාරීරික හෝ මානසිකව එහෙමත් නැත්නම් අවබෝධාත්මක පැත්තෙන් ආබාධ සහිත වන අයට නැවත ක්‍රියාකාරී පලදායී දිවියක් ලබා දීම

මේ කාර්‍යය පහසු නැහැ...මෙහෙම කරද්දි අපිට සිද්ධ වෙනවා...ඒ රෝගියාගෙ නොහැකියාවන් මෙන්ම හැකියාවන්ද සලකා බලන්නට....මොකද සමහරක් රෝගීන් ගත්තාම ඔවුන් ගෙ ක්‍රියාකාරිත්වය මුලින්ම ඇත්තේ හුස්ම වැටෙන එක එහෙමාත් නැත්නම් ඇස් කරකවා වටපිට බැලීම පමණක් වෙන්නට පුලුවන්...


ඒකත් මනුස්සයෙක්ට කොච්චර වටිනවද කියලා අපිට තේරෙන්නෙ නැහැ...නේද...නමුත් ජීවිතයෙ එල්ලී සිටීමට අවශ්‍ය වන එකම අපේක්ෂාව එය වන්නටත් පුලුවන්..

මේ සියලු හැකි නොහැකි කම් විවිධාකාර පරීක්ෂණ හරහා...රෝගියාගේ ඇගයීම් පරීක්ෂාවක් කරල..අපි ඔහුට ප්ලෑන් එකක් හදාගන්නව...ඉදිරි වැඩ කටයුතු වලට...




වෘත්තීය චිකිත්සාවේ එන ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය තමයි ....ක්‍රියාකාරකම්...නිකම්ම නිකම් ක්‍රියාකාරකම් නොවෙයි...ප්‍රතිකාරාත්මක ක්‍රියාකාරකම්......
කිසිම යන්ත්‍රයකට උපකරණයකට කල නොහැකි බොහෝ දේ අපිට මේ හරහා ජීවිතයකට ලබා දෙන්න පුලුවන්...



ඉතින් අදට සමු දෙන්න මට...ඉක්මනින් ඉතිරි කොටස ලියාගෙන එන්නම්...


ස්තුතියි...

20 comments:

  1. මේට්‍රන් ගේ දැනුම ගැන අසා පුදුම හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ රෝහල්වල දකින්නට තිබුණ තත්වය ඒකම වෙන්න ඇති..මොකද වෘත්තීය කියන වචනය මුලට ආවා වගේම රෝගී වූ කෙනෙක් පලදායී ක්‍රියාකාරකමක නියැලෙන එකේදි සමහරක් ඔවුන් කැමති ක්‍රියාකාරකම් නැවත කරවන්නට උදව් වෙන්නත් සිදු වෙනවා...එය වරදවා වටහා ගැනීම අදටත් බොහෝ අය තුල තියනවා

      Delete
  2. හම්මේ සෙල්ලන් නෑ විසිරිගේ රාජකාරියත්... හැබැයි ඉතින් මේක රාජකාරියකටත් එහා ගිය උතුම් සත් ක්‍රියාවක් වගෙයි මටනම් දැනෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඊලඟ කොටස කියවන්න එන්න සඳූ තව ටික දවසකින් ලියන්නම්...කොහොම වුණත් ඉතාම අසීරු ඒ වුණත් හොඳම රැකියාවක්...සේවයක් මේක....

      Delete
  3. අසනීපයක් වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනෙකුට තනියම තමුන්ගේ සනීපාරක්ශක කටයුතු කරගන්න පුළුවන් උනා කියන්නෙ නිවනට ඔන්න මෙන්න සැනසීමක් ලැබෙන අවස්ථාවක්... ඇවිදින එක හීනයක් වෙච්ච කෙනෙක් නැවතත් තනි කකුලෙන් හිටගන්න අවස්ථාවක් කියන්නෙ ඔලිම්පික් රන් පදක්කමක් දින්නා වගේ සතුටක් දැනෙන අවස්ථාවක්...
    මේ වගේ අවස්ථා උදාකරල දෙනව කියන්නෙ සේවයකින් එහාට ගිය කාරණයක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ...
    මාතෘකාව ආකර්ශනීයයි.ලියන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බ....
      ඇත්තෙන්ම මේ සේවය ගැන ලියන්න ගියාම ගොඩක් ලොකු පරාසයක් මට ආවරණය කරන්න වෙනවා....හෙමින් ලියන්නම් ඉතුරු ටිකත්

      Delete
  4. රාංකාරියකට වඩා ඒක දේවකාරියක්, අත්දැකීමෙන් ඒක විදලා තියෙනවා වෘත්තීය චිකිත්සාව සඳහා ඔවුන් කොයිතරම් මහන්සි වෙනවාද කියන ඒක, ඒකට ඉවසීම, කරුණාව, උපෙක්ෂාවෙන් යුතුම කෙනෙක් වෙන්න වෙනවා. එහෙම කෙනෙක්ට හරිම සාර්ථකව සතුටින් මේ වෘත්තියේ නියැලෙන්න පුළුවන් හරියටම ඔබ වගේ ....
    ඔබට ජය විසිරි අක්කා

    ReplyDelete
  5. විසිරී...
    මේ උතුම් සේවය ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් කියලයි මට හිතෙන්නේ. වචනින් කියන්න බැරි තරම් සේවාවක්. සාමාන්‍ය ලෙඩෙක්ට අපි හොඳින් කතා කරලා ඔවුන්ට මිත්‍ර වුණාම ඔවුන්ගෙන් නැගෙන අවිහින්සක හිනාවකින් අපිට හිතට කොච්චරනම් සැනසිල්ලක් දැනෙනවද ? ඔබේ රැකියාවෙදිත් ඊටත් එහා හදවතට සතුටක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් දුමී..මම මේ සේවය ගැන ඉතාම තෘප්තිමත්...ස්තුතියි ඔයාට

      Delete
  6. Mage malli knee cap ekak nathuwa avidinneth oyala wage ayage upakaraya nisa thamayi...e handa eka sewayakata wada minissunta karana mehewarak...

    Waiting for the next episodes...
    Sorry for the language, Typing from the phone...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම වතාවක් පොකුරු වැහි මතකද මා හමුවෙන්න එව්වා ගැහැණු ලමයෙක්..කොන්දේ ගැටලුවක් ගැන ...ඒ වගේම තවත් බොහොමයක් අය මේ සේවාවෙන් උදව් ගන්නවා...
      භෞත චිකිත්සාව සහ වෘත්තීය චිකිත්සාව කියන්නේ දෙකක්..බොහොමයක් දෙනා මේ දෙකත් පටලවා ගන්නවා..

      Delete
  7. ඇත්තටම මම occupational therapy ගැන දැනගෙන හිටියේ නැහැ.ඊළඟ ොටස එනකම් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බක්කරේ ගෙ සටහන් ලියන ඔබට මේ දිරිදීමට....ඔව් මම දැන් ඒ කොටස ලියාගෙන යන ගමන්

      Delete
  8. ස්තූතියි විසිරි...බොහොම අපූරුවට ලියල තියනවා...අනික මම නොදන්නම විෂයයක්...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී....බ්ලොග් ලිවීමේ මගේ මුල් කාලීන අරමුණ වුණෙත් මේ දේවල් සමාජයට ගෙනියන්න

      Delete
  9. වාසනා ෆලෝවින් ගැජට්ටුව එල්ලන්න.

    ReplyDelete
  10. ඉතිං ලියන්න අක්කි, දෙවෙනි පොස්ට් එකෙන් මෙතනට ආවේ. පහුගිය දවස් ටිකේ ගොඩක් පොස්ට් මට මිස්වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔව් නංගී.....මේ ලියන්නේ හරිම තෘප්තියකින්...ඔයාලගෙ උනන්දු කරවීම මත

      Delete