Thursday, June 14, 2018

90. ජීවිතේ සුන්දරයි ....

ජීවිතය කෙතෙක් නම් සොඳුරුද..

~~~~~~~~~~~~~~~~~~~~~~~~

සති ගාණක් තිස්සේ ලියන්න හිත හිතා උන්න එක කාරණයක් තිබුණා...ඒකට හේතු වුණ කාරණාත් සුලබ වුනා..මේ ටිකේ..ඒත්..විවේකය අඩු වගේම..ලියාගන්න නිදහසක් හිතට ආවෙ නෑ.....

අද සහභාගී වූ පාඨමාලාවක දි එම පාඨමාලාවෙ සම්බන්ධීකාරක මහත්මිය අපේ කණ්ඩායම වෙත ඇවිල්ලා මෙහෙම කතාවක් කීවා...

" මං ඊයෙ ගෙදර යන ගමනුත් කල්පනා කලෙ ඔයා ඉන්න විදිය ගැන...ඔයා හරි සැහල්ලුවෙන් නෙ ඉන්නෙ..මෙච්චර දුරක් උදේ ම ඇවිල්ල...රෑ වෙලා යනවා...වැඩත් හරියට..වගකීමත් වැඩියි...ඒත් කිසිම දෙයක් ගණන් ගන්නෑ වගේ සැහැල්ලුවෙන් ඉන්නව...ඒක කොච්චර ශෝක් ද කියල..."

නිහඬ හිනාවකින් ඒක ට උත්තර දුන්නා මම.....

ජිවිතේ කියන්නෙ මහා බර පොදියක් විලසට ඔලුවට ගන්න ගියොත් එය දරා ගන්න අමාරුයි.මම කියන්නෙ සියල්ල ගණන් නොගෙන ම ඉන්න නොවෙයි..නමුත් ජීවිතේ හැම සුලු සහ මහා දේ බරක් කරගත්තාම ...හිතට කිසිම දාක නිදහසක් නෑ දැනෙන්නෙ....ඒක නොසන්සුන් බවක් වෙලා වදයක් වෙන්න මහ කලක් යන්නෙ නෑ....ඒක වෙන්න දෙන්න එපා   .

මාව පෞද්ගලික දන්න වගේම නොදන්න අයගෙ කතන්දර ගොඩක් එක්ක මට ලියන්න හිතුණෙ මෙන්න මේ දේ ගැන...

ඔබට ඔබ වටිනවාද......?

අද කාලය ගත්තාම ජීවිතේ වදයක් හිරිහැරයක් ලෙස වටහා ගන්නා තරුණ වගේම වැඩිහිටි පරපුර ක්...නිතර අපි වටා ඉන්නව...මම මේ ගැන දකින ප්‍රධානම හේතුව....මිනිස්සු තමන්ට ප්‍රමුඛත්වය නොදීම...තමන්ට ආදරය නොකිරීම සහ තමාගේ වටිනාකම අවබෝධ කර නොගැනීම....

අද කාලය ගත්තාම සියදිවි හානි කරගැනීම් ඉතාම සුලබ වනවා වගේම එම ප්‍රයත්නයන් සාධාරණීකරණය කරන ප්‍රජාවත් එන්න එන්නම වැඩිවීමක් පෙන්වනවා...

ජිවිතේ ගත්තාම එකම දවසක හෝ මේ ජීවිතය බරක් යැයි නොහිතුණ  කෙනෙක් ඉන්නවා ඇතැයි මම හිතන්නේ නෑ...ජිවිතයේ එක් එක් කාල වකවානුවල ...ඒ ඒ වයස් වලදී මුහුණ පාන විවිධාකාර ගැටලු නිසා...මේ ජීවිතය මහා වදයකැයි මටද නොසිතුණා කීවොත් එය බොරුවක් ...
නමුත් ...හැම ප්‍රශ්නයක්ම සාපේක්ෂ බව හිතන්න මට නම් එදත් අදත් එකම ලෙස හැකි වීම වාසනාවක්....

උදාහරණයක් ලෙස ජීවිතේ එක් වකවානුවක බරපතලම ගැටලුවකට මුහුණ පාන්නට වූ යුගයක....මටද සිතුණා...මේ ජීවිතය පලක් නැති බව...කිසිවෙක්ම මටය කියා නැතැයි මට සිතෙන්නට ගත්තා...ඒ යුගය වන විට ජීවිතේ සමහර හැඟිම් මහ හිතුවක්කාර තත්වයක තිබුණ බවත් මට මතකයි   .
නමුත්...ඒ හැඟීමට මා යටපත් කරන්නට ඉඩක් නොලැබුණේ  ..ඒ වකවානුවේ මට ජීවිත දෙකක් ගලවා ගැනීමේ ක්‍රියාවකට බැහැලා වැඩ කරන්නට වුණ නිසා...

මගේ ඥාති සොහොයුරියක් ගැබිණි සමයේදී ඇගේ කලලයේ වූ අසාමාන්‍ය තත්වයක් නිසා ටිකක් බරපතල ප්‍රතිකාර මාලාවකට යොමු කර රැගෙන යාමේ වගකීම මට පැවරුණා  .ඒක මම ම පවරාගත් එකක් කීවොත් වඩා නිවැරදියි.....
.මිනිස්සු ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩනගන අන්දම ඒ ජීවිත තුලින් දකින වාරයක් ගානෙ....මගෙ අව සිතුවිලි මගෙන් ඈත් වුණා

ජීවිතය කඩා වැටෙන මොහොතක තමන්ට වඩා ප්‍රශ්න ඇති සිය දහසක් මිනිසුන් සිටින බව සිහි කරන්න...

ඔබ මානසික සංකූලතාවයකින් පෙළෙනවා නම් මේ ස්වයං යෝජනා වලට පෙර වෛද්‍ය ප්‍රතිකාර ගන්න..එය ඉතාම අවශ්‍ය දෙයක්...
කෙනෙක්ට තමන්ට ගැටලුවක් හෝ එපාවීමක් ඇති බව අවබෝධ වීමම මම දකින්නේ හොඳ ලකුණක් ලෙස...ඒ insight එක ..ඔබට ගැටලුවෙන් පිටට එන්නට පාර කියාවි...නමුත් ප්‍රතිකාර අවශ්‍ය විටක....එයටත් අනුගත වන්න....

ඔබට ගැටලුවෙන් පිටට ඒමට අවශ්‍ය වියයුතුමයි...

සමහරක් විට ඔබේ හිත ඔබට යෝජනා කරන්නේ කඩාවැටීමටමය..ස්වභාවයෙන්ම ගත් කල අපි විඳීම හා සමානව විඳවීමේද ගැලෙන අය වෙමු...
එපා වීම...කලකිරීම...වැනි යෝජනා ඔබට ඔබේ හිතෙන් ගෙන එන වාර වලදී...ඔබ එයින් මිදෙන්නට වඩා එයම තහවුරු කරගන්නට නැඹුරු වීම ඉතා වැඩිවේ....ඒ අපේ යටි සිතේ හැටිය...
තුවාලයක කබොල කඩමින් ලබන වින්දනය හා සමානව...අපිද වැඩකටම නැති අසුබ දෙයෙහි ගැලි ගැලීම ඉන්නෙමු.....

ජීවිතය ඉතා සුන්දර බව අදහන්න...ඔබම  එය වටහාගන්නවා විනා ..එය ඔබට අනෙකෙක් කියාදෙන්නේ නැත...
කියාදුන්නත් එය ප්‍රායෝගිකද නැත..නමුත් ..අත්විඳින්න...ජීවිතය හරිම සුන්දරය...

ඔබ විඳවන්නේ අනෙකෙකු නිසා නම්....ඔබ ඊට පෙර ඔබ ගැනම සිතුවාදැයි මම අසමි....තමන්ට අහිමි වූ හෝ හැරගිය අයෙක් වෙනුවෙන් ජීවිතය ම වෙන් කර විස්සෝප වන්නට පෙර.....ඔබ ඔබ ට කෙතෙක් ආදරය දැයි සිතන්න....
ඔබට ඔබම ආදරය වීමට කිසිත් කාරණා අවශ්‍ය නැත...

ඔබ ට ඔබ මේ ලෝකයේ සිටින සුන්දරම ...ආදරණීයම...ලෙන්ගතුම ප්‍රාණියා විය යුතුය.....ඉන් එහාට අනෙක් අය සිටියාට කමක් නැත......

අනෙකෙකු වෙනුවෙන් ජීවිතය වෙන් කර...එයින් පැරදෙන ඔබ ....ජිවිතේ ජයග්‍රහණය ඇත්තේ එතුලම බව කිසිම විටෙක දන්නේ නැත...කොටින්ම කිවහොත් ඔබට එය පෙනෙන්නේ නැත....
ජීවිතය නූලක එල්ලෙන අස්ථාවර  දෙයක් වෙද්දී....එම ජීවිතය ට පෙම් බඳින්නවුන් ඔබ දැක ඇත්ද....පිළිකාවකින් ජීවිතය හැරයන්නට ඔන්න මෙන්න සිටින අයෙක් ඔබ දැක තිබේද....ඔවුන් ප්‍රශ්න හෝ ජීවිතේ පලායෑම් ගැන නොසිතූ අය  නොවේ....එහෙත් ඔවුන් ජීවිතය ට පෙම්  කරන්නේ....ජීවිතය අහිමි වෙන්නට යන බව දැනගත් දා සිටය....මම මගේ සොහොයුරෙක් ගේ ඒ අවසානය මනාව දැක විඳ ඇත්තෙමි.......ඔහු ජීවිතය සෙවූ අයුරු බලා සිට ඇත්තෙමි....ඉන් පෙර ඔහු ජීවිතය විඳි අයුරද දැක ඇත්තෙමි.....වෙනස එතැනය...

අනුන් වෙනුවෙන් ජීවිතය පවත්වාගන්නට කිසිවෙක්ට අවශ්‍ය නොවේ....ඔබ ජීවත් විය යුත්තේ ඔබ වෙනුවෙනි....අනුන් වෙනුවෙන් නොවේ....එසේ ජීවත් වෙන්නට හේතුවක් නැත්නම්.....අද ඒ හේතුව ඔබම සොයා ගන්න යැයි මම ඔබට කියමි......

ජීවිතය හැර යන්නට සිතන කිසිවෙක් ඒ හැරයෑම වේදනාකාරී වනවාට කැමති නැති බව මම ඉඳුරාම පවසමි....මරණය කිසිදු විටෙක සුන්දර නොවේ...මරණයද සුව පහසු වෙනවාට අපි කැමති ඇයිදැයි මඳක් ඔබ සිතුවාද....
හදිසි ආවේගයකට හැර සංවිධානය කර ජීවිතය තොර කරගන්නට වෑයම් දරන්නන්......ඒ ප්‍රයත්නයේ අවසන් මොහොතේ....ඉල්ලා සිටින්නේ ජීවිතය බව මම රෝහලේදී ඇස් පනාපිටම දැක ඇත්තෙමි....

මන්ද හැරයෑම ...සියලු දුක් නිවාරණය නොවන බව ජීවිතය අපිට කියාදෙන්නේ අන්න ඒ මොහොතේදී වන හෙයිනි......

මෙතරම් ලියන්නේ......ඇස් ඇරෙන්නට කාලය මේ යැයි මම සිතන හෙයිනි....
කෙසේ වතුදු...ඔබ හෝ මම අවුරුදු සියයක් ජීවත් වන්නේ නැති අයය....අපේ මේ කෙටිම කෙටි ජීවිතේ සුන්දරව ගෙවන්න ට ජීවිතයට අවශ්‍ය වන්නේ .....ආදරය පමණි....

ඒ ආදරය ඇත්තේ ඔබ තුලම මිස ...අවශේශයන් තුල නම් නොවේ......

ඔබට හිනාවෙන්නට අවැසි නම් ....මේ එයට කාලයයි....

ඔබට .....හඬ නගා සිනාසෙන්නට අවැසි නම් ....එයට නිමිති දාහක් ඔබ වටා ඇත....

ඔබ ....ඔබට ආදරය කරයි නම්.....ඔබගේ ජීවිතය තරම්  සුන්දර කිසිවක් මේ මිහිමත නැති බව මම ඉඳුරාම පවසමි......

අනවශ්‍ය බර පොදි පසෙක ලන්න....ජීවිතයේ සැහැල්ලුව විඳින්න....

අතහැරීම යනු.....ජීවිතය අතහැරීම නොවේ....ඔබේ ජීවිතය ට පිරී ඇති දුක් දෝමනස්සයන් සහ කුණුකන්දල් ටික අත හැරීමය......

එය ජීවිතය ට ආදරය කිරීමේ මුල්ම පියවරයි......

විසිරි.....