Sunday, March 26, 2023

20 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 20 කොටස

19 කොටසට මෙතනින් 19




පාරමී නිවෙසට පැමිණියේ ගතවූ දිනය ගැන උපරිම සතුටක් ඇතිවය.ආපිට කිසිවක්ම බලාපොරොත්තු නොවී කෙනෙක් වෙනුවෙන් කැපවීම කෙතරම් ප්‍රීතිදායක එකක්දැයි ඇය වටහා ගත්තේ අම්මාගේ ඇසුරෙනි.එහෙත් තමන්හට එය ප්‍රායෝගිකව අත් හදා බලන්නට රෝහල නිතරම අවස්ථාව සලසා දුන්නේය.නමුත් අද වෙනස්ම දිනයකි.ඒ රෝහලෙන් පරිබාහිරව තමා වෙනත් අයෙකු වෙනුවෙන් මෙසේ කාලය කැපකලා වන්නටම ඇත.

"ගෙදර ආවා"විශ්ව කෙටි පණිවුඩයක් එවා තිබුණි.පාරමී එයට සිනාමූණක් යැවුවාය.ජීවිතය ට සිනහව යනු කෙතරම් වටින මනෝභාවයක්ද? හැම කෙනෙක්ටම තවකෙකුගේ මුහුණේ සිනාවක් දකින්නට ඉතා කුඩා දෙයක් හෝ කල හැකිය.

                                                                        *** 

පාරමී ගතව යන සති අන්තය ගෙවා දැමුවේ ඉමහත් සැනසුමකිනි.සෙනසුරාදාව විශ්ව වෙනුවෙන් කැප කල ඇය ඉරිදා දවසේ මාලනී වෙනුවෙන් ආරාමයක් සොයා රහල් සමගින් දුරබැහැරක ගියාය.

ඇත්තෙන්ම ඒ යශෝධරා ආරාමය සිත නිවා සනසන පරිසරයක පැවතුණි.අම්මා සිටියානම් අම්මාද මේ ස්ථානය ගැන උපරිම පැහැදෙනු ඇත.ගමට සම්බන්ධව පැවතුණද එය ගමෙන් මඳක් ඈතට වන්නට පිහිටා තිබුණි.මෙහෙණින් වහන්සේලාගේ ආරක්ෂාව ගම් වැසියන් වෙතින් සහතිකවිය.

"මට රහල් පුතා මේ නෝනාගෙ අවශ්‍යතාවය කිව්වා.වයසට යනකොට අපි හැමෝම ජීවිතේ තනිවෙනවාට බයයි නෝනා.ඉතින් ඔය කියන මාලනීගේ හිතෙත් ඇත්තේ අන්න ඒ වගේ බයක්.අපි එයාව මෙහෙට බාරගන්න සූදානම්.එයා මෙහේ වත්පිළිවෙත් පුරාගෙන කාලයක් උන්නාවෙ.ඉතිරිය කාලයට බාරදෙමු." ආරමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ පාරමීහට පැවසුවේ බෝමලුවට ඇවිද යන අතරමගය.

"මම මාලනී ඇන්ටිව බලාගන්න කොච්චර කැමතිවුණත් එයාගෙ මනස දැන් වෙනස්කරන්න බෑ මෑණියනේ.අම්මා නැතිවීම එයාගේ අභ්‍යන්තරයට තදින්ම බලපාල.ඉතින් මම බලෙන් එයාව මා ළඟ තියාගන්න එක සුදුසු නෑ කියල දැනුණ නිසයි මම මේ රහල් එක්ක මේ ගමන ආවේ."පාරමී එකත්පස්ව පැවසුවාය.

"ඒකෙ වරදක් නෑ නෝනා.එහෙනම් මේ පෝයදවසෙම ඒ ඇත්තිව එක්කරගෙන එන්නකො.මම භාවනා කුටියක් එයාට හරිගස්සවලා තියන්නම්."නායක මෑණියෝ මඳසිනහවකින් යුතු ව පැවසුවාය.පාරමී ඇයට වැඳ සමුගෙන ආවේ සිත සැනසුමෙනි.

                                                                  *** 

"මාලනී ඇන්ටි අපි මේ සතියෙ මැද ගිහින් ඔයාට ඕන සුදු ඇඳුම් ටික ගම්මු හොඳේ.ඇත්තෙන්ම එතන හරිම නිස්කාංසුවේ ඉන්න පුළුවන් තැනක්.මටත් ආස හිතුනා."පාරමී රාත්‍රී ආහාර ගන්නා අතර මාලනීහට පැවසුවාය.

"චූටි මැණිකෙ එතකොට රත්තරනේ තනියම කොහොමද ...?" මාලනි ගේ හඬ ඉකියකට ආසන්න විය.

"මට හොස්පිට්ල් ක්වාටර්ස් එකේ ඉන්න පුළුවන්නෙ මාලනී ඇන්ටි.එහෙ කිසිම ප්‍රශ්නයක් නෑනෙ.අපි මේ ගේ ගැන පස්සෙ මොකක් හෝ පිළිවෙළක් කරමුකො."පාරමී පැවසුවාය.

ඉදින් ජීවිතයට රිසිසේ ගලායන්නට ඉඩ දිය යුත්තේය.

ජීවිතයේ හුදෙකලාව යනු සමහරක් විට අපගේම තෝරා ගැනීමකි. ඇතැම්විට දෛවය බලෙන්ම අපට හුදෙකලාව ඉරණමක් කොට ලබා දෙයි. 

ඉදින් ඒ කෙසේ වුව ලැබෙන්නා වූ දෙය බාර ගැනීම හෝ එයට විරුද්ධව කැරලි ගැසීම තමාගේම කැමැත්තයි.

මාලනී ආරාමය වෙත ඇරලවා දැහැමි සමගින් ආපසු එන ගමනේදී පාරමී මදකට නැවතුනේ අතරමඟ වූ තුරු සෙවණක ය.

"මහන්සිද ඩ්‍රයිව් කරලා" 

දැහැමි සිය මිතුරිය දෙස බලමින් විමසුවාය.

"ඩ්‍රයිව් කිරිල්ල නං අද ඊයේ දෙයක් නෙමෙයිනේ ...ඒත් හිතට මොකක්දෝ වෙහෙසක් දැනෙනවා.සමහරක් විට මේ දේවල් අපි ජීවිතයේ කවදාවත් බලාපොරොත්තු නොවූ දේවල් නිසා වෙන්න පුළුවන් .ඒ වුනාට මං මේ ජීවිතේට හැඩගැහෙන්න ඕනේ ."

පාරමී පැවසුවේ දැඩි කල්පනාවක යෙදෙමිනි.දැහැමි නිහඬව ඇයට සවන් දුන්නාය.

"දැන් කොහොමද විශ්ව අයියා."

දැහැමි කතාව වෙනත් අතකට හරවා ගන්නට යත්න දරමින් විමසුවාය.පාරමී ගේ මුහුණේ ඇඳී ගියේ සුන්දර සිනහවකි. දැහැමි ඒ සිනහව දෙස නලල රැලිකරගනිමින් බලාඋන්නාය.

"අපේ මෙයාගේ මූණ ගියපු හිනාව ..ඉස්කෝලේ කාලේවත් ඊට පස්සේවත් කොල්ලෙක් ගැන කතා කරාම ඔහොම හිනාවක් නම් මං දැකලම නෑ ."

දැහැමි පැවසුවේ සිනහානගමිනි.

"ඉතින් මේ කොල්ලෙක්‍ යැ..අවුරුදු හතලිහකට කිට්ටු මනුස්සයෙක්නෙ."

පාරමී ගණනකට නොගෙන පැවසුවාය.

"එක අතකට විශ්වට උදව් කරන්න ගිය එකෙන් මමත් මටම උදව්වක් කරගෙන කියල හිතෙනව බං.මොකද විශ්වගේ ආශ්‍රය කියන්නේ මට වෙලාවකට ලොකු රිලැක්ස් ෆීලින් එකක්. හොඳම යාලුවෙක්ගේ ආශ්‍රය එහෙම වෙලාවට වටිනවා."

පාරමී පැවසුවේ මඳසිනහවක් නගමිනි.

"ආ...ආ...එතකොට ඌ දැන් හොඳම යාළුවා.මම බොක්කෙ."

දැහැමි රැවුමකින් කෑගැසුවේඇත්තෙන්ම හිත යට සිනහවක් සඟවා ගනිමිනි .

"හරි හරි ඉරිසියාකාරි ...ඒ පිරිමි අයගෙන් හොඳ ම යාළුවා.එයාට ඒ උනාට උඹේ තැනට කිට්ටු කරන්නවත් බෑ..."

පාරමී දැහැමි ගේ උරහිසට පහරක් ගසමින් පැවසුවාය.

"මිනිස්සු ජීවිතේ තනිවෙන්න බයයි බං.මාත් කොච්චර කිව්වත් ඒකට බය ඇති.ඒක නිසා විශ්වගෙ ඇසුර මට ලොකු දෙයක් විදියට දැනෙනවා."

පාරමී පැවසුවාය.

දැහැමි කිසිවක්ම නොකියා ඇය දෙස බලාඋන්නේ එතනින් එහාට අසන්නට ප්‍රශ්නයක් ඇයහට නොමැති නිසාය.නමුත් සියල්ල වෙනස් වී සිය මිතුරියගේ ජීවිතය සතුටින් පිරේ නම් ඊට වඩා දෙයක් ඇය පතන්නේද නැත.

                                                                  *** 

නිල නිවසේ ගත කරන්නට වූ මුල් සතිය පාරමීට බෙහෙවින්ම නුහුරු වූයේ කාලයක් තිස්සේ අම්මා සහ මාලනී ගේ ඇසුරට ඇයි හුරුව උන් නිසාවෙනි.හැකිතාක් වේලාවක් රෝහල් පරිශ්‍රයේ ගතකොට ඉන්පසු නිල නිවසට ඒමට පාරමී හුරුව උන්නාය. ඉන්පසු බොහෝවිට ඉතා සරල කෙටි කෑමක් සාදා ගන්නා ඇය හුරුවූයේ පොතක් පතක් කියවීමට හෝ අන්තර්ජාලය ඔස්සේ විදෙස් රටවල තොරතුරු පරිශීලනයට ය .

සති අන්තය බෙහෙවින්ම නීරස කටුක එකක් වන්නේ මෙන්න මේ හේතුවෙනි .රෝහලේ දැඩි කාර්යබහුල භාවයෙන් මිදෙන ජීවිතය විටෙක ඉතා ඒකාකාරී වෙයි.

ගුඩ් මෝනිං මැඩම්...තාම නිදිද ...

ජංගමයේ මුහුණතෙහි විශ්ව ගේ නමින් කෙටි පණිවිඩය සටහන් වෙද්දී පාරමී උන්නේ උදෑසන ආහාරය ගන්නට සූදානම් වෙමිනි.

මොන පිස්සුද මම කවදත් උදේ 6:00 ට කලින් ඇහැරෙනවා. දැන් මේ කෑම කන ගමන්..පාරමී සිනහසෙමින් පැවසුවාය.

මොනවද කන්නේ.. 

විශ්වටත් ඕනෑනැති දෙයක් නැත.පාරමී සිය ආහාරයේ සේයාරුවක් ගෙන ඔහුට යැව්වාය. 

"අපෝ මොනවද පාරෝ පලතුරුයි ඕට්ස්‍ යි...කිරියි...මොනවද ඔය කන හැටි...උදෙට අලි බත් පිඟානක් ගිලින්න එපැයි ඔය වයසට."

විශ්ව ඇමතුමට සම්බන්ධ වෙමින් පැවසීය.

"මේ වයසට..."පාරමී මහ හඬින් හිනැහුණාය .

"මේ වයසට කීවේ මම වයසක මනුස්සයෙක් කියල නේද ...ඔව් ඔව් වයසට යනකොට ඇඟ තියෙන්නෙ ඕන සැහැල්ලුවෙන්.ඒ නිසා අඩුවෙන් කනව"

පාරමී හිනැහෙමින්ම කීවාය.

"මොකද අද ප්ලෑන...i mean weekend plan?"

විශ්ව අසන්නේ පුරුද්දට මෙන් ය.මාලනී ආරාමයට ගියදා පටන් ගතව ගිය සති තුනටම සති අන්තයට ඇයට කුමක් හෝ වැඩක් යෙදෙන්නට තිබුණි.එහෙත් මේ සති අන්තය කරන්නට කිසිවක්ම නැතුව ගෙවී යයි.

"No plan ..."පාරමී පැවසුවාය.

"එහෙනම් යංද ට්‍රිප් එකක්...අද ගිහින් හෙට එන්න..."

විශ්ව ඇසුවේය.පාරමී මොහොතක් කල්පනා කලේ ඒ ඇරයුම ගැනය.කෙතෙක් විදෙස් ගතව උන්නද සිය අභ්‍යන්තරයේ ඇත්තේ ශ්‍රීලාංකික ක්‍රමයට හිතන සිතයි.

"මොකෝ එකපාරටම තුශ්නිම්භූතවුනෙ. "

විශ්ව ඇසුවේ සිනාවෙමිනි.

"නෑ මොකුත් නෑ ඉතින් ...කොහෙද යන්නෙ?"

පාරමී චකිතය යටපත් කරමින් ම පැවසුවාය.

"අනුරාධපුරේ ..."විශ්ව ගත්කටටම පැවසීය.පාරමී ටද අනුරාධපුර ගිය කාලයක් මතකයේ නැත.ඇත්තෙන්ම කොහේ හෝ යන්නට සිත බලකරන මොහොතක විශ්වගේ ඒ යෝජනාවත් වරදක්ම නැත.

"හරි ...කීයටද එහෙනම් පිටත් වෙන්නෙ..."පාරමී ඇසුවාය.

"ඉන්න මම හොටෙල් රූම්ස් දෙකක් බුක් කරන්න ඕනෙ ඉස්සෙල්ලම.ඉන් පස්සෙ පැයකින් මම ඔතන.දැන් හතයි..අටට යං..."විශ්ව පැවසුවේ පාරමීගේ හිත තුල තවත් චකිතය ගොඩගැසිය නොයුතු හෙයිනි.කෙසේ වුව ඇය සම්බන්ධයෙන් තමා තුල පවත්නේ ගෞරවය මුසු ළෙන්ගතුකමක් බව විශ්ව කිසිවිට අමතක කලේ නැත.

විශ්ව ගේ එවදන් සමගින් පාරමී ගේ හිතේ වූ අන්තිම චකිතයද නැතිව ගියෙය.ඇය ඉක්මනින් කෑම බඳුන් අස්කරදමා කාමරය වෙතට දිව ගියේ ඇඳුම් බෑගය සකසාගන්නටය.

                                                                        *** 

විශ්ව සිය රථයේ සිට මොහොතක් බලාඋන්නේ පිටේ එල්ලාගත් බෑගයද රැගෙන රෝහල් මාවත දිගේ දුවමින් මෙන් එන පාරමී දෙසය. 

ඇයට කුමක් හෝ පැවසූ ගේට්ටුවේ උන් ආරක්ෂක නිලධාරියාට සිනාවී පිලිතුරු දුන් පාරමී රිය පිටුපස දොර හැර බෑගය පිටුපස අසුනට දැම්මාය.ඉන් පසු වහා ඉදිරිපස අසුනට ගොඩවූවාය.

විනාඩි දහයක් පරක්කුයි . මම මෙතනට එන්න කලින් කෝල් කලානෙ.

විශ්ව මඳ රැවුමකින් යුතුව පැවසීය.

එන්න යද්දිම වෝඩ් එකෙන් කෝල් එකක් ආවානෙ.ඒකට උත්තර දෙන්න ගිහින් තමයි ලේට් උනෙ.

පාරමී හිනැහෙමින් පැවසුවාය .

විනාඩි දහයත් දුරගමනකදි වටිනවා.දවල් වෙන්න වෙන්න වාහන පාරෙ වැඩියිනෙ.ඒකයි.

විශ්ව රිය පදවන අතරේ පැවසීය.

මම සෑහෙන්න කලකින් අනුරාධපුරේ ගිහින් නෑ.හරියටම කිව්වොත් අවුරුදු දහයකින් විතර.

පාරමී සිය අව්කන්නාඩිය සකසමින් පැවසුවාය.

අපරාදෙ දන්නවනම් කලින් එක්ක යන්නෙ .අර ආත්තම්මාලා වන්දනාවෙ එක්ක ගියාම වගෙ මට පිනක් අත්වෙනවනෙ.

විශ්ව පැවසුවේය.පාරමී ඔහුට පහරක් ගසන්නට මෙන් අත ඔසවා යළි පහලට දැම්මාය.

මේ නෝනා එකක් ඔය වචනෙන් වචනෙට ගහන්න තියාගන්න නම් එපා හරිද..මට අනුරාධපුරයට යනකොට මගෙ වම් අත තැලිල තියෙයි නැත්නම්.

විශ්ව පැවසුවේ සිනහාසෙමිනි.

එතැන් පටන් රිය තුල සිනහවම උතුරා යමින් පැවතිණි.වාට්ටුවේ ඇතැම් රෝගීන්ගේ කටයුතු පවසමින් පාරමී සිය අත්දැකීම් පවසන විට විශ්ව සිනහව මැඩගත්තේ ඉතාම අසීරුවෙනි.

අර සෙකියුරිටි මොකක්ද එනකොට කුටු කුටු ගගා කිව්වෙ...

විශ්ව ඇසුවේ එක්වනම මතක් වු හෙයිනි.පාරමී ගේ සිනහව පුපුරා ගියේ එය සිහිවීමෙනි.

"හයියෝ ඒ මනුස්සයා කියනවා තව ටිකෙන් වෝඩ් එකෙන් පැනලා යන කෙල්ලෙක් කියල අල්ලගන්නයි හැදුවෙ කියල.මට හිනාවේ බෑ අප්පා."

විශ්ව පාරමීගේ සිනහවට එකතුවූයේ ඒ සැහැල්ලුව තමන්ටද බෝවූවා සේය.

බඩගිනි ද පාරෝ...මොනා හරි බීලා යමු නේද ? 

විශ්ව ඇසුවේ පාරමී වරක් දෙකක් ඈනුම් යවනු දුටු හෙයිනි.ඇය නිදිමතේ මෙන් සිනහවක් පෑ විට විශ්වට සිය යෝජනාව කෙතෙක් උචිතදැයි වැටහුණි.

ඩ්‍රයිව් කරනකොට නිදිමත නොආවට ඔහේ වාඩිවෙලා යද්දි නම් මට මාරම විදියට නිදිමත වෙනව විශ්ව.

පාරමී ලැජාවෙන් මෙන් පැවසුවේ විශ්ව ඇයගේ ඈනුම් දෙස බලා සිනහාවෙනු දුටුවිටය.

අතරමග අවන්හලකින් කෙටිකෑම කිහිපයක් ද උණුසුම් තේ බඳුන් දෙකක්ද සප්පායම් වී යළි ඔවුන් එන්නට පෙර විශ්ව ඇය වෙත පැමිණියේ වෙනත් අවශ්‍යතාවයන් ඇත්දැයි අසමිනි.

තව සැහෙන්න දුර යන්න තියනව.මට කා එක සෝදන්න බෑ...ඒ නිසා අන්න තැන දුවල ගිහින් එන්න. 

පාරමී අතදිගු කොට ඔහුට පහරක් ගසා ඒ දෙසට ගියේ හිනැහෙමිනි.

              

සිනාවෙන් කතාවෙන් ගෙවී ගිය ගමන් සැරිය අනුරාධපුරයට ළඟා වන විට දිවා අහරට කාලය පැමිණ තිබුණි.

"අපි හොටෙල් එකට ගිහින් කාලා වොශ් දාලා පොඩ්ඩක් රෙස්ට් කරමු.ඉන් පස්සෙ හවස් වෙලා යං ඇවිදින්න.රුවන්වැලි සෑය ළඟ ලස්සන රෑ ඉන්නකොට.ඉඳල තියද පාරෝ ඒ වෙලාවට ?"

විශ්ව ඇසුවේ වාහනයෙන් බසින්නට පෙර සිය අසුනේ හිඳගෙනම පාරමී දෙසට හැරී බලාය.

"නෑ විශ්ව ...ඇත්තෙන්ම මම අනුරාධපුර ආවේ එකපාරක් ඉස්කෝලෙ අධ්‍යාපන චාරිකාවකට ..අනික් පාර අම්මයි මාලනි ඇන්ටියි එක්ක..ඒ දෙපාරම දුවන ගමන් බලපු අනුරාධපුරයක් තමා මට මතක තියෙන්නෙ."

පාරමී පැවසුවාය.

"එහෙනම් ඔක්කොටම හරියන්න අදයි හෙටයි අපි ඇවිදිමුකො.අපි ලන්ච් අරන්ම යං.ඔයා රූම් එකට ගිහින් මට කෝල් කරන්න.මොකුත් අඩුපාඩු එහෙම තියද බලල."

විශ්ව පැවසුවේ සිය ගමන්මල්ල කරට ගනිමිනි.

දිවා අහර ගත් දෙදෙනා සිය කාමර වෙත කාමර සහායකයන් සමග පිවිසුණහ.විශ්වට ලැබුණේ පාරමීගේ කාමරයට මුහුණ ලා තිබූ කාමරයකි.

"ඔන්න මං ඉන්නෙ ඇස් ඉස්සරහම.බයවෙන්න දෙයක් නෑ ඒනිසා."

විශ්ව පැවසුවේ පාරමී සිය කාමරයට යන්නට ඔහුගෙන් සමුගන්නා විටය.

පාරමී සිය ගමන් විඩාව යන්නට නාන කාමරයට එසැනින් වැදී හොඳින් නා ගත්තාය.කෙතරම් සැප පහසුකම් ඇති වාහනයක ආවද ගතට දැනෙන විඩාව ස්නානයකින් මිස ඉවත හල නොහේ.

තුවායද හිස දවටාගෙන කාමරයට පැමිණි පාරමී ඇඳට වැටුණෙ කෙටි නින්දක සුවය ලබමිනි.

සිහින් හඬකින් ජංගමය නද නගන විට පාරමී ඇස් හැර බැලුවේ නිදිමත පහව නොගිය ඇසිනි.

"හෙල්ලෝ..."විශ්ව එහා පසින් අමතන බව දැන පාරමී පිළිතුරු දුන්නාය.

"තාම නිදිද පාරෝ.හතරයි වෙලාව.අපි යමුනේද .මූණ සෝදගෙන එහෙනම් සූදානම් වෙන්න." විශ්ව ගේ දයාබර ස්වරය මොහොතකට පාරමී ගේ සිත එකතැනක නතරකලේය.

ලහිලහියේ නානකාමරයට වැදුණ ඇය ඉක්මනින් ඇඟසෝදා සුදට හුරු ඇඳුමකට මාරුවූයේ යායුතු ස්ථාන වලට ගැලපෙන අන්දමටය.කාමරය වසා කොරිඩෝරයට පැමිණ විශ්ව ගේ කාමරයේ දොරට සිහින් තට්ටුවක් දැමූ පාරමී මොහොතක් බලා උන්නේ ඔහු එනතුරුය.

සුදු පැහැ වැලමිටට අත නැවූ ලිනන් කමිසයක්ද අලුපැහැ කලිසමකින්ද සැරසී කාමරයෙන් පිටට එන විශ්ව හැබෑ කඩවසම් පිරිමියෙකි.පාරමී මොහොතක් ඔහු දෙසම ඇස් දල්වා බලාඋන්නාය.

"මොකෝ.."විශ්ව දොර වසා ඇය දෙසට හැරෙමින්ම ඇසුවේය.

"සුපර් ලුකින්.."පාරමී මහපටැඟිල්ල සහ දබරැගිල්ල එකට එක්කරමින් පැවසුවාය.

"අනේ පලයන් කෙල්ලෙ යන්න."විශ්ව සෙමින් හිස මුදුනට අතින් අනිමින් සිනහාසුනේ පාරමී ඉස්සරහට තල්ලුකරමිනි.

විශ්ව රිය පණගන්වාගෙන පාරමී ආසන පටිය පළඳින තුරු මොහොතක් ඇය දෙස බලාඋන්නේය.ඇය සැබවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය ඇස්කඩාගෙන යන සුන්දරත්වයක් නම් නොවේ.එහෙත් පාරමී රත්මල්ගොඩගේ ඇත්තේ සිත නිවන සුලු පෙනුමකි. ඇය අනවශ්‍ය තරමටම චාම් නැත.නමුත් ආටෝපයන්ගෙන් ද අඩුය.අඳින පළඳින අන්දම ඇයටම ආවේණිකය.එහෙයින්ම ඇය විශේෂය.

"හරිද ..?"

විශ්ව පියවි ලොවට ආවේ ඒ හඬිනි.තමා ඇය දෙස බලාගෙන කල්පනා කල අන්දම ඇයට වැටහුණාවත්ද..? එහෙත් පාරමී ගේ කිසිදු වෙනසක්ද නැත.

"ඉස්සෙල්ලම යමු මහමෙවුනාවට.ඔයා ආසවෙයි ගස් අතරෙ ඇවිදින්න.ඉන් පස්සෙ හැන්දෑ වුනාම යමු රුවන්වැලි සෑය ගාවට."

විශ්ව රිය පදවන අතරේ පැවසීය.පාරමී හිස වනා එකඟ වූවාය.

තුරු ලතා සපිරි ඉසව්වක වාහන අංගනයේ රිය නවතා ලූ විශ්ව වාහනයෙන් බැස අවට නැරඹීය.පාරමී සිය ගත හරහා වැටුණ කුඩා පසුම්බිය ද ගෙන ඔහුවෙත ආවාය.

යං...විශ්ව ඇය හා එකමගට වැටුණේය.හරිත පැහැ සපිරි මාවත් තීරුව දෙපසම අව් රශ්මිය අඩුව ගත් හෙයින් බොහෝ සෙවනය.තැන තැන විසිරගත් සෙල්කුලුණු කොටස් අතීත රාජවංශයන්හි තතු පහදාදෙයි.

"මේ වෙලාවට ආවෙ..නැත්නම් දවල් මේ කොච්චර ගස් තිබ්බත් රස්නෙ දරන්න අමාරුයි පාරෝ.මේ වෙලාවට තමා හෙවන.හොඳ හුලඟකුත් එනවනෙ.."

විශ්ව ඇය සමග පවසමින් පෙරට අඩිය තැබුවේය.ඇත්තෙන්ම කාලාන්තරයකට පසු අනුරාධපුර ආ හෙයින් පාරමීට මේ හැමදෙයම අලුතින් විඳිය හැක.

මොහොතක් වේලා සමාධි බුදුපිළිමය අසල බිම හිඳගෙන උන් ඔවුන් යළි ගමන් ඇරඹුවේ වන්දනා නඩයන් එහි පැමිණෙමින් උන් නිසාය.

"සෙනඟ එනකොට තමා ඔක්කොම සන්සුන් කම් බිඳෙන්නෙ ඉතින් ..සමහරු මෙහෙම තැනක වත් හැසිරෙන්න දන්නෙ නෑනෙ.අර බලන්නකො කකා උන්න බිස්කට් පැකට් එකේ කොලේ එතනම දැම්මා..."

පාරමී දැඩි කෝපයෙන් මෙන් පැවසුවාය.

"මිනිස්සුන්ගෙ ආකල්ප ගතිපැවතුම් හදනවා කියන එක හරි අමාරු දෙයක් පාරෝ.කේන්ති අරගන්නවට වඩා මෙන්න මේක කරල අපි යං..."

විශ්ව ඒ දවටනය අහුලා පසෙක වූ කසල බඳුනට දමමින් ඇය වෙත හැරුණේය.

ඉදින් මේ නහර පුප්පාගෙන ආවේගයෙන් කෑගසමින් මුල්ම දවසක තමා දුටු ඒ පුද්ගලයාමද ? පාරමී ඔහු දෙස බලා උන්නේ විශ්මයෙනි.

"පාරෝ...ඔයා හිතන දේ මම දන්නවා....එදා මමයි අද මමයි හුඟක් වෙනස් ....ඒකට හේතුව ඔයා...."

විශ්ව ඇයගේ හිස මත අතක් තබමින් පැවසුවෙය.පාරමී ගේ දෑසට සිහින් කඳුළක් උනා ආවේ ඒ ලෙන්ගතුබවටමය.

"අපි යමු...එන්න..."

විශ්ව අතදිගු කලේ ඇය වෙතටය.පාරමී ඒ සුරතේ එල්ලුණේ කිසිවක්ම නොසිතාය.

විදෙස් ගතව ඉන්නා කාලයේදීත් ඕනෑ තරම් යහලු යෙහෙළියන් සමග අත්වැල් අල්ලාගෙන ගිය ගමන් තිබුණි.එකම කෑම පිඟාන බෙදාගෙන කෑ යුගයක් තිබිණ.එහෙයින් විශ්ව සම්බන්ධයෙන් පාරමීගේ සිතතුළ චකිතයක් ඇතිවූයේ නැති තරම්‍ ය.

"අපෝ මේ අතේ චූටි."

විශ්ව ඇයගේ අත අල්ලාගෙනම එය පිරික්සමින් පැවසීය.

"ඔව් ඉතින් ඕට්සුයි පලතුරුයි කාල ඔය ගානට හැදිලා තියනවා මදැයි."

එයටම ඌණ පූර්ණයක් එක්කලේ ඔහුමය.පාරමී හිනැහෙමින් කිසිවක් නොකියාම ගමන් කළාය.

සැන්දෑව උදාවී අහවරව ඉර බැස ගොසිනි. පාර අයිනේ වූ මල්සලකින් මල් සහ සෙසු කළමනා ගත් විශ්ව පාරමී සමගින් රුවන්වැලි සෑ මලුවට එනවිටද සඳ අහසට මෝදුවෙමින් තිබුණි.

"කොච්චර නිස්කලංකද බලන්න.දවාලක ආවා නම් මෙහෙම පුළුවන් ද මේ පරිසරයෙ සන්සුන්කම විඳින්න."

විශ්ව ඇසුවේ පාරමී මල් අසුනේ මල් තබමින් පිළිවෙළ කරන අතරේය.

මල් පූජා කරනවා කියන්නේ ජීවිතේ අනිත්‍යය අපි අවබෝධයෙන් වටහාගන්න එකට පුතේ.ඒ නෙලාගෙන එන මල්ටික පවා මල් අසුනක පිළිවෙළකට අසුරන කොට අපි සන්සුන් වෙනවා...ඉස්සර අම්මා හවස් යාමයේ පුංචි පාරමීද ළඟ තබා ගෙන ඉගැන්නූ ඒ පාඩම් පාරමීට මතකය.අම්මා සිහිව ඇසට ආ හීන් කඳුළ සුසුමකින් වියලා දමමින් පාරමී සිත නිවාගත්තාය.

අවසන සෑ මළුවේ කෙළවරක බිම ඉඳගත් ඔවුන් මොහොතක් නිහඬව උන්හ.

"හිතට සැනසීමයි නේද?"

විශ්ව ඇසුවේ නිහඬවම ඈතක බලා ඉන්නා පාරමීගෙනි.

"ඇත්තෙන්ම ඔව්. මට අම්මාව මතක් උනා විශ්ව.අම්මා උන්නා නම්..."

පාරමී ගේ හඬෙහි වූයේ ශෝකීබවකි.

"අපි හැමෝම ආවොත් යන්න ඕන අය පාරෝ.අම්මාගෙ මරණය දුකක් වුණත් අම්මා මොනතරම් වාසනාවන්තද එහෙම ජීවිතේ නවතින්න.හොස්පිට්ල් ගානේ දුක් විඳලා නැතිවෙන අය අතරෙ .ඒවා මට වඩා හොඳින් ඔයා දන්නවනෙ."

විශ්ව පැවසුවේ පාරමීගේ හිසට අතක් තබමිනි.

රෑ අඳුර මකාලන විදුලි පහන් එළි මෙන්ම සඳ එලියද ගෙන ආවේ සහන් සුවයක්මය.

"එහෙනම් අපි යමුද ?"

විශ්ව ඇසුවේ ඉඳගෙන උන් තැනින් නැගී සිටිමිනි.පාරමී ඔහු දිගු කල අතෙහි එල්ලී නැගී උන්නාය.

****************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)


Thursday, March 23, 2023

19 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 19 කොටස


18  කොටසට මෙතනින් 18






"පාරෝ ඔයා බිසී ද ?"

ඇමතුමට සම්බන්ධ වූ වහාම විශ්වගේ හඬින් ඔහු යම් ගැටළු සහගත තත්වයක පවතින බව පාරමිට වැටහුණි. 

"නෑ විශ්ව මම මේ ගෙදර ඉන්නේ...any problem?" 

පාරමී ඇසුවේ ඉතා පරිස්සමිනි.

"ඇයි ඔයා එහෙම ඇහුවේ ...?"විශ්ව ඇයගෙන් පෙරළා ඇසුවේ ඇය හමුවීමට ඇත්නම් හොඳ යැයි යටි සිත කියන බැවිනි .

"ඔයාගේ කටහඬ වෙනස්. මට හිතුනා ඔයාට මොකක් හරි ගැටලුවක් ඇති කියලා .මොකද උනේ විශ්ව?"

පාරමීගේ කටහඬ ද බෙහෙවින් දයාර්ද විය.

"මට ඔයාව හම්බවෙලා කතාකරන්න පුළුවන් ද පාරෝ..i m really really exhausted now..."

විශ්වගේ හඬ ඇත්තෙන්ම වෙහෙසකාරී විය.සෙනසුරාදා දින හෙයින් ඇත්තෙන්ම තමාට ඇති වැඩකුත් නැති හෙයින් පාරමී විශ්ව හමුවන්නට යාමට තීරණය කළාය.

"කියන්න මම කොහෙටද එන්න ඕනෙ...?" 

පාරමී ඇසුවේ සුපුරුදු දයාර්ද හඬිනි.

"මම ඔයාව ගන්න එන්නම් පාරෝ.පැය බාගයකින්."

විශ්ව පැවසුඉවේ ඉඳගත් අසුනෙන් නැගිටමිනි.

"කොළඹ ඉඳන් පැය බාගෙන් මෙතනට එන්න හදන්නෙ ඉගිල්ලිලාද විශ්ව.හදිසියක් නෑනෙ.හෙමින් එන්නකො.මම සූදානම් වෙලා ඉන්නම්." 

පාරමී තරවටු කලේ කුඩා දරුවෙකුට පරිද්දෙනි.

"හරි හරි ලොකුඅම්මෙ..හයියෙන් එන්නෙ නෑ"

විශ්ව හිනැහෙමින් පැවසීය.

පාරමී මාලනීට තමන් මිතුරකු හමුවීමට යන බව පවසා ගේට්ටුව අසලට ගියේ ඔහුට එන්නට ප්‍රමාණවත් වේලාව ද බලමිනි.විනාඩි දහයක ඇවෑමෙන් විශ්වගේ මෝටර් රථය පාරමී අසල නැවතුණි.

"කොහෙද අපි යන්නෙ." පාරමී ඇසුවාය.විශ්වගේ මුහුණේ වෙනදා තරම් කලඑළියක් නැත .බෙහෙවින් තෙහෙට්ටුවට පත් වූ විඩාබර මලානික පෙනුමක්ද ඇත .

"පාර තියනකන් යමු .යන ගමන් කතා කරමු ."

විශ්ව රිය පන ගන්වමින් පැවසුවේය.පාරමී ඔහුගේ අතට අත තබා ඔහුව මඳකට නැවත්වූවාය .

"විශ්ව , ඔයාට driving එක්ක කතාවට concentrate කරන්න බෑ.ඒ නිසා අපි කොහෙන් හරි නැවතිලා කතාකරමු."

පාරමී මිතුරියගේ භූමිකාවෙන් වෛද්‍යවරියගේ භූමිකාවට මාරුවූවාය.විශ්ව ඇය දෙස මොහොතක් බලා උන්නේ ඇය එසේ සිත කියවන්නට උගත්තේ කෙලෙසදැයි පුදුමවෙමිනි.ඇත්තෙන්ම කිවහොත් හිස පුපුරන මට්ටමේ දැඩි වේදනාවක් තමා පෙළයි.සුපුරුදු වේදනා නාශක පෙති දෙකද ගිලදමා ආවද එයිනුදු පල නැති තරම් ය.

"කොහෙද යන්නෙ එහෙනම්?" විශ්ව ඇසුවේ පාරමී දෙස හැරීබලමිනි.

"කිලෝමීටර් දෙකක් විතර ඩ්‍රයිව් කරන්න පුළුවන් ද ඔයාට.යං මම ඉඳහිට යන තැනක් තියනව."

විශ්ව පාරමී දෙස බැලුවේ නලලද රැලිකරගනිමිනි.පාරමී කිසිත් නොකියා සිනාසුනාය.

"තනියම ? "ඒ ඔහු සිත තුල නැගුණ එහෙත් වචනයට නොහැර වුණු කුතුහලයයි .

"යමුකෝ මම ගියාම ඔය ප්‍රශ්නෙට උත්තරේ එතනදිම දෙන්නම් .."

පාරමී හිනැහෙමින් පැවසුවාය.

කිලෝමීටර දෙකක් පමණ නිහඬතාවයෙන් යුතුවම විශ්ව පාරමී ගේ මග සලකුණු උපදෙස් අනුව රිය පැදවීය . දිගින් දිගටම ගැමි ගතිය වැඩි වන පරිසරයකට ඔවුන් පැමිණෙමින් තිබුණි .

මාවත මගකින් හැරුණු අතුරු මාර්ගයේ කෙළවර කුඩා වැවක් විය . ඒ අසල වූ කුඹුක් ගස් සීමා වේ ඉඳගෙන සිටීමට හැකි ලෙස කුඩා බංකු කිහිපයක් ලීකොට වලින් සාදා තිබුණි .

"මෙච්චර කොළඹට වෙලා හිටපු මටවත් හොයා ගන්න බැරි වෙච්ච තැන් ඔයා හොයාගෙන තියෙනවා ."

විශ්ව පැවසුවේ එම පරිසරයේ නිශ්චල භාවය ගැන පුදුම වෙමිනි.

"කොළඹ කිව්වට මේ කොලඹම නෙවේනෙ විශ්ව.අපේ ගෙදර හරියත් කොළඹ නගර සීමාවේ නෙවේනෙ.මේ පැත්ත ඇත්තටම කිව්වොත් අයිතිවෙන්නෙ අවිස්සාවෙල්ලට වෙන්න ඕනෙ."

පාරමී වැව අයිනේ වූ බංකුවක හිඳගත්තේ එසේ කියමිනි.දහවල් වෙමින් පැවතුනද කුඹුක් ගස් හෙවන සහ වැව් දියේ සීතල හෙයින් කිසිදු රස්නයක් නොදැනුණි.විශ්ව ඇය ඉදිරිපස වූ ලී බංකුව මත හිඳගත්තේය.

"මං ඉඳහිට මෙතනට එනවා විවේකයක් ආවම.මේ පැත්ත එහෙම අනාරක්ෂිත එකක් නෙවේ.ඔයාට තව ටිකක් වෙලා යනකොට පෙනේවි කට්ටිය එනව.හැබැයි හුඟක්ම ජනාකීර්ණ වෙලත් නෑ."

පාරමී පැවසුවාය.විශ්ව ඇයදෙස මොහොතක් නිහඬවම බලාඋන්නේය.

"ඉතින් ...කියන්න විශ්ව ..මොකද උනෙ ඇත්තටම.."

පාරමී සිය බෑගයේ වූ වතුර බෝතලය ඔහු වෙත පාමින් පැවසුවාය.ඇය දුන් වතුර බෝතලයෙන් උගුරක් දෙකක් බිවු විශ්ව එය යළි පසෙක තබා හඬ අවදිකලේය.

"මට ඇත්තෙන්ම අමාරුයි පාරෝ..මගෙ ජීවිතය හිරවෙලා.මට කිසි නිදහසක් නොදැනෙන තරම්.අම්මා ඒක තවත් හිර කරන්න අරන්."

විශ්ව සිය හිසකේ අතරට ඇඟිලි යවා තදින් ඇද්දේය.

"විශ්ව...අපි එකින් එක මේවා ගැන කතාකරමු...ඉස්සෙල්ලා රිලැක්ස් වෙන්නකො ඔක්කොටම කලින්."

පාරමී ගේ හඬ මුදු ස්වරයෙන් ඔහු සවනට ගලා ආවේය.

"ඔව් කියනවනම් මම මුලක ඉඳන්ම ඔයා එක්ක කියන්න ඕනෙ පාරෝ.නැත්නම් කිසිම කෙනෙක්ට මේ අපභ්‍රංශ කතාව තේරෙන්නෙ නෑ.පුළුවන් තරමක් මම කියන්නම්.මගෙ කතාවෙන් ටිකක් හරි දන්නෙ නිසල් විතරයි.ඒත් ඔක්කොම නෙවෙයි "

විශ්ව පැවසුවේය.පාරමී නිහඬවම ඔහුට ඇහුම්කන් දුන්නාය.

විශ්ව වැව් දිය තලය දෙස මොහොතක් බලාඋන්නේය.එම දිය නිසලය.එහෙත් ගැඹුරුය.ඒ ජලතලය යට කෙතෙක් නම් රහස් සැඟව ඇත්ද ...හරියටම තමා වගේමය.

පාරමී ඔහු දෙස නිහඬවම බලාඋන්නේ මේ මොහොතේ ඔහුට ඇවැසි ඇහුම්කන් දෙන්නෙක් මිස තවත් කතාකරන්නෙක් නොවන බව දන්නා හෙයිනි.

                                                                            *** 

යමකුගේ ළමාවිය යනු ඔහුගේ අනාගත තරුණවිය මෙන්ම සම්පූර්ණ ජීවිත කාලයම පදනම්වන අත්තිවාරමයි .දරුවකුගේ ළමා වියේ ශෝකාන්තය අනාගත ජීවිතයම අඳුරු කරන අන්දම විශ්වගේ වදනින් වදනට පාරමී හමුවේ දිග හැරුණි .

"හුඟක් අය හිතුවේ නීති රීති මැද්දෙන් දරුවෙක් හදනකොට ඒක ඒ දරුවාගේ හොඳට කියලයි .නෑදෑයො වගේම ඉස්කෝලේ ටීචර්ලා පවා අම්මාගේ හැසිරීම් රටාව අනුමත කළා මිස ඒක හරිගස්සන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ .ටිකක් හරි ඒකට විරුද්ධ වුණේ තාත්තා .නමුත් තාත්තත් ගොඩක් වෙලාවට උන්නෙ අම්මගේ පාලනය යටතේ කියලයි මට ඒ වෙලාවෙ නම් හිතුනේ ..."

විශ්ව ගේ හඬ පුරාම පැවතුනේ මහත් වේදනාවකි.

"මං හුඟක් වෙලාවට නිශ්ශබ්ද ළමයෙක් වුනා .කිසිම වෙලාවක අම්මා කියපු වචනයෙන් පිට යන්න බැරිතරම් මම අම්මට බය උනා .අපේ පන්ති වල ඉන්න කොල්ලො මට හිනා උනේ අම්මට බය කොල්ලෙක් වුන නිසයි .මට වඩා හාත්පසින්ම වෙනස් මගෙ නංගි .."

විශ්ව මොහොතකට කතාව නැවතීය .

"ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවද ..කෝ දැන් එයා ?"

පාරමි ඇසුවේ එවැනි සොහොයුරියක් ගැන දැහැමි හෝ ඇයට පවසා නොතිබූ හෙයිනි .

"නංගි පුංචි කාලෙ ඉඳලම අම්මට විරුද්ධව කැරලි ගැහුවා.පුංචි කාලේ ඉඳලා පවා අම්මා මොනවා කිව්වත් නංගි හරි දේ මිසක් එයාට ඕනදේ කළේ නැහැ .ඒ ඔක්කොම ප්‍රෙශර් එකත් අම්මා පිටකලේ මගේ පිටින් .."

විශ්වගේ දෑස් ඈත වැව් තලයේ පිහිනා යන තාරාවෙක් දෙස එක එල්ලේ වැටී තිබුණි .

"කොටින්ම කිව්වොත් university යනකම් මං ගෑනු ළමයෙක් එක්කවත් යාළු වුණේ නැහැ .ඔයා උනත් මට හිනාවෙයි .ඒත් මම අම්මා ගැන දන්න නිසාම තවත් ගෑණු ළමයෙක් ජීවිතයට සම්බන්ධ කර ගන්න හිතුවෙම නැහැ .ඒකට නංගි ඒ ලෙවල් කාලෙදිම පිරිමි ළමයෙක් එක්ක යාළු වුණා .අම්මා නොසෑහෙන නංගිට ගැහුවා .බැන්නා.නංගි නෙමෙයි අම්මා කියපු කිසිම දෙයක් කනකට ගත්තේ .."

විශ්ව ඉතා වෙහෙසින් සිය නලලත දෑඟිලි තුඩින් තෙරපා ගත්තේය .සමහරවිට ඒ ඔහුගේ බාල සොහොයුරිය ගැන ඇති වූ මතකය නිසා විය යුතුය .

"නංගිව ඒලෙවල් ඉවර වුණ ගමන්ම අම්මට ඕන වුනා බන්දලා දෙන්න.ඒත් අම්මට ඕන කෙනෙක්ව බඳින්න නංගි කීයටවත් කැමති වුණේ නැහැ.අම්මා නංගිට හොයලා තිබුනෙත් වැඩිමල් මනුස්සයෙක් .හුඟාක් දේපල තියෙන කිසිම දෙකින් නංගිට නොගැලපෙන මනුස්සයෙක් .අන්තිමේ කසාදෙට දින තීන්දු උනාට පස්සේ නංගි හරි යාළුවෙලා හිටපු පිරිමි ලමයත් එක්ක පැනලා ගියා . "

විශ්වගේ මුහුණේ ඇති වූයේ මඳ සිනහවකි.එ කුඩා දරුවකුගේ දඟ කමක් ඉවසන වැඩිහිටියෙක් ගේ මුහුණේ ඇතිවන අපූරු සිනහවයි .

"දැන් නංගි කොහෙද විශ්ව ?"

පාරමී ඇසුවේ ඒ පීඩනය යම්තාක් දුරට සමනය වූයේ සිය සොහොයුරිය ගැන කතාබහට එක් වූ පසුව බැවිනි .

"නංගි දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ පාරෝ. ඒ දෙන්නා ජීවිතේ පටන් ගත්තේ හරිම අමාරුවෙන් .ඒ කොල්ලාට ජොබ් එකක් තිබුණෙ නෑ හරිහමන්.ඒත් ඌ නංගිව බලාගත්තා ඇස්දෙක වගෙ.වේලක් ඇර වේලක් කාල හරි උන්දෙන්නා ජීවිතේ අරන් ගියා.එතකොට මම කැම්පස් අවුට් වෙලා.මම තාත්තා ගෙ කම්පැනි වලට ජොයින් වුනා."

විශ්ව සුසුමක් හෙලීය.ටිකෙන් ටික ඔහු ඉහිල්ව යන අන්දම පාරමී ට වැටහුණි.

'"මම එයාලට උදව් කලා ...හැබැයි අම්මලට හොරෙන්.ටික ටික කොල්ලා ජීවිතේ ගොඩ දාගත්තා.අන්තිමට මම දෙන්නව ඔස්ට්‍රේලියා යැව්වා..කොල්ලට එහෙ ජොබ් එකක් සෙට් කලා.ඒ දෙන්නට දැන් චූටි දුවෙක් ඉන්නව."

සැබෑ සහෝදරත්වයේ උණුසුම් හැඟුම් මතින් විශ්ව මතකයන් අවදිකලේය.පාරමී ඒ මතකයන්ට සවන් දුන්නේ බොහෝ ආසාවෙනි .

"නංගි පැනල ගියාට පස්සෙ අම්මා නිකම් පිස්සු වැටුණා වගෙ වුනා.එයාට වුණ ලැජ්ජාව ,තරහ ඔක්කොම පිරිමහගත්තෙ මගෙන්.මම එන්න එන්නම නිහඬ වුණෙ අම්මාගේ ඒ හැසිරීම් රටා එක්ක.නමුත් මට දැන් හිතෙනවා එකම එක පාරක් මම ඒකාලෙ අම්මාට විරුද්ධ ව නැගී උන්නා නම් අද මට මෙහෙම වෙන්නෙ නෑ කියල."

විශ්ව පැවසුවේ ඉමහත් කලකිරීමෙනි.පාරමී ඔහුගේ වෙහෙස වටහා ගත්තාය.කුඹුක් සෙවනේ කෙළවරක කුඩා පැල්පතක් අටවා කඩයක් දමා තිබුණි.

"විශ්ව අපි තේ එකක් බොමුද...බීලා ආයෙ කතාකරමු.."

පාරමී ඇසුවේ ඔහුගේ මනසට යම්තාක් දුරට සැහැල්ලුවක් දියයුතු යැයි සිතාය.

"කොහෙද තේ බොන්න යන්නෙ ඉතින් ? "

විශ්ව හිසනගා ඇසුවෙය.පාරමී අතදිගු කොට පෙන්වූයේ කුඩා අවන්හලය.

යංකො ....පාරමී නැගී උන්නාය.

උණු උණුවේ පොල් රොටී පසෙක පිළිස්සෙමින් තිබුණි.අනෙක් ලිපක වතුර මුට්ටියක් පැහෙමින් තිබුණි.

යහමින් කොච්චි දැමූ කට්ට සම්බෝලයක් සමග උණු උණු පොල් රොටී කිහිපයක් ද ඉඟුරු දැමූ තේ කෝප්ප දෙකක්ද ඔවුන් වෙත පැමිණියේ අවන්හල හිමි කාන්තාව අතිනි.

"නෝනා අද යාළුවෙක් එක්ක ඇවිල්ල"

ඇය සුපුරුදු ලෙන්ගතුකමින් පවස එතනින් නික්ම ගියාය.

"ඔයාට මේ විකාර කතා අහන් ඉන්නකොට කම්මැලිත් ඇති."

විශ්ව පැවසුවේ පසුතැවීම් පෙනුමෙන් සමාව ඉල්ලන ස්වරයෙනි.

පාරමී හිස ඔසවා ඔහු දෙස බැලුවේ සිහින් රැවුමක්ද සමගිනි.

"විශ්ව මම ඔයාගෙ කවුද "පාරමී සෘජුවම ඇසුවේ එක්වනමය.විශ්ව තිගැස්සුනේය.

"ඒ...ඒ...කිව්වෙ පාරෝ...ම..මට තේරුනෙ නෑ...."

විශ්ව ට හඬද පැටලුණි.පාරමී ඔහුගේ චකිතය දැක සිතයටින් හිනැහුනාය.

"අහපු දේට උත්තර දෙන්නකො...who am I to you ?"

විශ්ව ඇය දෙස මොහොතක් බලාඋන්නේය.ඇය තමා පිරික්සනවා වත්ද ?

"ඔයා මගෙ යාලුවා"

ඔහු අවසානයේ පිළිතුරු දුන්නේය.

"මොන යාලුවාද ?"

පාරමී ද ඔහුට දෙවනි නැත.

"හොඳම යාළුවා...my bestie "

විශ්ව ඇයගේ අතකින් අල්ලා පැවසීය.

"ඔයාට ප්‍රශ්නයක් ආවම ඔයාට මාව මතක් උනේ මම ඔයාගෙ හොඳම යාළුවා නිසා.මෙතනට ඔයාව මම එක්ක ආවේ මගෙ හොඳම යාළුවා ඔයා නිසා.ඔයා ඔයාගෙ අතිශය පෞද්ගලික දේ මා එක්ක කියන්නෙ මාව විශ්වාස නිසා.ඉතින් ඒ නිසා වදයක්ද කම්මැලිද වගේ ඒවා අහන්න එපා...ok"

පාරමී ඇසුවේ සිය අනෙක් අතින් ඔහු අතට තට්ටුවක් දමමිනි.

"යං...ඉතින් , ඉතුරු ටික කතාකරමු අපි."

පාරමී අවන්හලෙන් එලියට එන්නට පෙර අවන්හල හිමි කතට යමක් පැවසුවාය.ඇය හිස සලා එයට එකඟවූවාය.විශ්ව විමසිල්ලෙන් බලා උන්නද පාරමී එය නුදුටුවා සේ යළි කුඹුක් සෙවනට ආවාය.

"ඔයාට කීයට ද ආපහු යන්න ඕනෙ"

විශ්ව කුඹුක් සෙවනේ ඉඳගත් වහාම ඇසුවේය.

"ඔයාට කියන්න තියන දේවල් ඔක්කොම ඇහුවට පස්සෙ.."පාරමී මඳ සිනහවකින් යුතුව පැවසුවාය.

"ඒ කතා නම් දවසින් ඉවර කරන්න බැරිවෙයි පාරෝ."

විශ්වගේ සුසුම් වැව් දිය පෙදෙසට පාව ගියේය.

"නෑ අපි අදට පුළුවන් තරමක් කතාකරමුකො.මට අඩුගානෙ මේ අහන් ඉන්න එකෙන් ඔයාගෙ ස්ට්‍රෙස් එක ගැන basic idea එකක් හරි එනවනෙ.මොන විදියෙන් හරි ඔයාට හෙල්ප් එකක් දෙන්න නම් මම මේ හැම එකම දැනගන්න එක වටිනව."

පාරමී පැවසුවාය.විශ්ව ඇය දෙස බලාඋන්නේ කියාගත නොහැකි හැඟීමක් හිතදවටාගෙනය.

"යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා මම තාත්තා එක්ක පටන් ගත් බිස්නස් එක හුඟාක් දියුණු වුණා අපි නොහිතපු විදියට.ඇත්තෙන්ම පාරෝ අපේ අම්මලා තාත්තල ගෙ ඇඟේ දුවන්නෙත් බිස්නස් ලේ.එච්චරකට එයාල බිස්නස් වලම තෙම්පරාදු වුන අය.නමුත් අලුත් අයිඩියාස් එක්ක නෙවෙයි එයාලගෙ බිස්නස් දිව්වෙ.ඒ නිසා ලොකු ලාභයන් ලබලා නෙවෙයි එයාල ඒවා කරගෙන ගියේ."

විශ්ව මඳක් නැවතී වැව්තලය දෙසම බලාඋන්නේය.දිවාකල එළඹෙන විට වැව්තලය මත උන් තාරාවන්ද සෙවන කරා ගොසිනි.අහසේ ඈතින් දිලෙන ගණ හිරු රැස් වැව් ජලතලය මත රිදී පැහැ ඉරිරටා අඳී. විශ්ව පාරමීගේ දෑස් දෙස බලා උන්නේ ඇයට ඒ දැඩි රැස් අපහසුද යන්න සිතමිනි.

"ඇස්වලට අමාරු නැද්ද ?සන්ග්ලාස් දෙක දාගන්න."

විශ්ව බෙහෙවින් මුදු ස්වරයෙන් ඇයට පැවසීය.පාරමී හිස දෙපසට වනා එය අවශ්‍ය නැතැයි පැවසුවය.

"යුනිවර්සිටි එකෙන් අවුට් වුනගමන් බිස්නස් වලට ජොයින් වුනාට මම මැනේජ්මන්ට් ස්කිල්ස් හුඟාක් ඒකට ඇප්ලයි කලා සාර්ථක ව.ඉතින් බිස්නස් ජාලයක් වෙච්ච අපේ ව්‍යාපාර ඔක්කොම සෑහෙන්න සාර්ථක උනා.ඔය මොන වර්ගයේ බිස්නස් තිබ්බත් මම ආසම ෆීල්ඩ් එක උනේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඉන්ටීරියර් ඩිසයිනින්."

විශ්වගේ දෑස් ඒ ගැන කතකරන විට පවා දිලිසෙන්නට විය.පාරමී ඔහුට කතාකරන්නට දී ඔහුගේ ඉරියව් නිරීක්ෂණය කළාය.

"ඉතින් ඔය අතරෙ තමයි මගෙ ජීවිතේ හිතුවෙ නැති දෙයක් වුණෙ.ඒක මාව නැත්තටම නැති කලා පාරෝ..."විශ්වගේ මුහුණේ කලු වලාකුලු පාව එන්නට පටන් ගෙනය.

පාරමී ඔහුදෙස විමසිල්ලෙන් බලාඋන්නේ මෙතක් කියූදේට වඩා බරපතල කාරණයක් තවත් වේදැයි සිතමිනි.

"මගෙ ජීවිතේ උඩුයටිකුරු කරන්න කල්පනා ආවේ ඔන්න ඔය කාලෙදි.එයා අපේ අලුත් ෆර්ම් එකට ආවේ ට්‍රේනින් වෙන්න .මොරටුව යුනිවර්සිටි එකේ ඩිග්‍රි එක ඉවර වෙලා ඉන්ටර්න්ශිප් එකක් වගෙ ඇප්ලයි කලා. ඉතින් අපි අලුත් ළමයින්ට තැන දෙන්න තීරණය කරන් උන්න නිසා එයාව ගත්තා."

පාරමී විශ්වගේ දෑස් දෙසම බලාඋන්නේ සිය ජීවිතයට සම්බන්ධ වූ තැනැත්තිය ගෑන කියද්දි ඔහු වතේ එළියක් නැගේදැයි සිතමිනි.එහෙත් හැඟීම් විරහිත මුහුණකින් විශ්ව ඔහේ කියවාගෙන ගියේය.

"මට ජීවිතේ ට බලාපොරොත්තුවක් එකතුවුනා කල්පනා ගෙන්.ඉස්කෝලෙ කාලෙවත් කැම්පස් එකේදිවත් ආදරය ගැන නොහිතපු මම කල්පනාට ඇදුණෙ කාන්දමකට වගෙ.ඒත්, මොන එකක් නිසාමද මන්දා නිසල්ට කල්පනාව ඇල්ලුවෙම නෑ.කල්පනත් නිසල්ව මගහැරියා පුළුවන් තරම්."

පාරමී ඒ වදන් ඔස්සේ කල්පනා කලේ නිසල් වැනි මිතුරෙක් කිසිදුවිට සිය හිතෛෂී මිත්‍රයාට අවැඩක් කරයිද යන්නය.එහෙත් ලෝකය වෙනස් එකකි.මිනිසුන් ඊට වඩා වෙනස්වන සුලු අයයි.පාරමී හූමිටි තබමින් කතාවට ඇහුම්කන් දුන්නාය.

"ඉස්සරවෙලාම ජීවිතේ ට ආදරයක් දැනුණ කෙනෙක් හැසිරෙන්නෙ කොහොමද කියල මම පාරෝට කියන්න ඕනනෑනෙ.මමත් උන්නෙ පිස්සු වැටිලා.උදේ වෙන්නෙ රෑවෙන්නෙ කල්පනා ගැනම වද වෙන ගමන්.ඒත් ...ඒත්....."

විශ්ව සිය දෑඟිලි එකිනෙක තදකොට ගත්තේ මහා වේදනාවක් පිටකරහරින්නට මෙනි.පාරමී ඔහුගේ අත් මතින් සිය අත් තැබුවාය.

"ඔයාට ඒවා කියන්න අමාරුයි නම් අපි ආයෙ දවසක කතාකරමු විශ්ව."

විශ්ව හිසසලා එය ප්‍රතික්ෂේප කලේය.

"ඔයාට ආයෙ දවසක් වදදෙන්න බෑ පාරෝ.මේ ටික අද කිව්වාම ඉන් පස්සෙ මට ඔයාට කියන්න ලොකු දෙයක් නැතිවෙයි කොහොමත් .මම ෆ්‍රී වෙන්නයි ඕනෙ.ඉන් පස්සෙ ඔයා මට හෙල්ප් කරන්න මේ අඳුරු මතක අතාරින්න කියදෙන්න."

විශ්ව සුසුමක් හෙලා පැවසීය.වේලාව දොළහ පසුවූයේ නොදැනීමය.ඉඳහිට වැව් පිටියට ආ පෙම්වතුන් යුවලවල් මෙන්ම ඉලන්දාරි කිහිපදෙනාද දැන් යළි පිටව ගොසිනි. කුඩා අවන්හලේ කාන්තාව තවමත් එහි ඉඳගෙන සිටින්නීය.මිනිස්සුන්ගේ ජීවිත දුෂ්කරය.එදාවේල හොයාගන්නට වෙර දරන මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නත් විශ්ව වැනි අයගේ ප්‍රශ්නත් අන්ත දෙකකවුවද ඒ අන්ත දෙකේම ජීවත්වන්නෝ ඉන්නේම අසතුටෙනි.

"කල්පනා අපේ කම්පැනි එකට ජොයින් වුනේ ප්ලෑනකට කියලා මට තේරුණේ ඒ එෆයාර් එකට අවුරුදු තුනහතරක්ම යනකොට.එයා පෙනුමෙන් අහිංසක උනාට ඇතුළාන්තය නපුරුයි.මාව ඉබේම නැතිවෙන ගානට එයා මාව අල්ලගෙන ඉවරයි.අපේ කම්පැනි එක වට්ටන්න එයා ආවේ ඉත්තෙක්වෙලා.කොහොම නමුත් ඒ වෙද්දි ලීඩින් බිස්නස් එකක් වුන අපේ කම්පැනි එක කඩාවැටෙන්න ගත්තා.ප්‍රොෆිට්ස් නැතිම උනා.අපේ ක්ලයන්ට්ස්ලා පිටට ගියා ඒ කොහොමද කියන්න මට හොයාගන්න බැරිඋනා."

විශ්ව ඔහේ කියවාගෙන ගියේය.පාරමී නිහඬව ඇහුම්කන් දුන්නාය.

"නිසල් වගේම අම්මත් කල්පනාට කැමතිවුනෙ නෑ.මට අම්මගෙන් ආව ප්‍රෙශර් එක එක්ක ඒ වෙලාවේ මම අම්මාට විරුද්ධ උනා.කල්පනාට මම අත්දිග ඇරලා වියදම් කලා.සාමාන්‍ය පවුලකින් ආව කල්පනා ලක්ෂරි ලයිෆ් එකකට ගියේ මාව යූස් කරල."

ජීවිතය යමෙක්ට දේවල් ලබා දෙන්නේත් ඒවා අහිමි කරන්නේත් මහ පුදුම අන්දමටය.විශ්වගේ මනසේ කල්පනා කල කී දේ අවසානයේ ඉතුරු ව ඇත්තේ මහා කලු පැල්ලමක් ලෙසය.

"අන්තිමට අම්මා කල්පනාට මගෙන් ඈත්වෙන්න කියල කෙලින්ම කියල තිබ්බෙත් නිසල් ඉස්සරහම.එදා කල්පනා කියල තිබුනා මට ඔයාගෙ පුතා නිකමෙක් දැන්.මට ඕන දේ වෙලා ඉවරයි මිසිස් බෝවලගේ කියල.එදා නිසල් මාව හොයාගෙන ඇවිල්ලා ඕක කීවම මට නිසල්ව විශ්වාස වුනේ නෑ.මම එතකොට හිතුවෙත් කල්පනා ගැන බොරු ගොතල කියනව කියල.මොකද කල්පනා නිසල් ගැන මගේ ඔලුවට විෂ පිරෙව්වෙ ටිකෙන් ටික."

විශ්ව ගේ දෑසේ කඳුළක් නැගී තිබුණේ සිය ප්‍රාණසම මිතුරා සැකකල හෙයින් වියයුතුය .එහෙත් යමෙක්ට පසුකලක හෝ සිය පාපොච්චාරණයක් ඔස්සේ හෝ සිය අභ්‍යන්තරයේ ඇති පීඩනය මුදාහරින්නට ඉඩ දීම වටිනා බව පාරමී දැන උන්නාය.

"නිසල් මා එක්ක අමනාප උනෙ නෑ පාරෝ.ඌ එච්චරකට හොඳ කොල්ලෙක්.මම ඌට දොස් කියද්දිත් ඌ සද්ද නැතුවම උන්නා.අන්තිමට කල්පනාගේ ඔක්කොම ගැට අල්ලාගෙන මගෙ ඉස්සරහට ගෙනාවේ නිසල්."

විශ්ව සුසුමක් හෙලුවේය.ඒ සුසුමේ වූයේ මහා කලකිරීමක් පමණි.

"කල්පනා කියන්නේ ලොකු බිස්නස් ට්‍රික් එකක අතකොලුවක්.එයා මගෙන් ගන්න ඕන ඔක්කොම ටික අරන් අන්තිමේදි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක රට පැන්නා...ඒ බෝයිෆ්‍රෙන්ඩ් තමා මගේ බිස්නස් ෆීල්ඩ් එකේ මට උන්න තරඟකාරයා එතකොට..මගෙ කම්පැනි එක මට නැති උනා.මට ඔප්පු කරල නඩුකියලා ඒක ආයෙ ගන්න තිබ්බා.ඒත් මං එතකොට හිස් මිනිහෙක් වෙලා ඉවරයි.හැම බලාපොරොත්තුවක් ම හිස් උනාම මනුස්සයෙක් වැටෙන්නෙ කොහෙටද කියක මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනනෑනෙ පාරෝ"

විශ්ව ගේ හඬ වේදනාත්මක විය .මේ ඔහු සිටින්නේ හිත මුදාහැරීමේ පියවරෙහි උපරිමයට පැමිණ බව පාරමී ට වැටහුණි.

"විශ්ව ....අදට ඇති ඔය...අපි ඉතින් ඉතුරු ටික ආයේ දවසක කතාකරමු.don't worry.මම ඉන්නවනෙ ඕනම වෙලාවක.දැන් වෙලාව එකටත් කිට්ටුයි .අපි කමුද..?"

පාරමී ඇසුවේ විශ්වගෙ අතක් අල්ලාගනිමිනි .ඇත්තෙන්ම ඒ මොහොත වනවිට විශ්ව ගේ හිත රැඳි පීඩනය කෙමෙන් කෙමෙන් අඩුවෙමින් තිබුණි.එක දිනක් තුල ජීවිත සමාලෝචනයක් කර නිමාකරන්නට නොහැකිබව ඔහු දැන උන්නේය.ඉතින් අදට මේ ප්‍රමානවත් ය.ඇත්තෙන්ම පාරමී නිහඬ සවන්දෙන්නියක් වීමම විශ්වට එක්කලේ සැනසුමකි.අනෙක් අතට මේ පරිසරය ඔහු නිවාලීය .පාරමී සිය මානසික උපදේශිකාව වී පෞද්ගලික රෝහලේ චැනල් සේවයේදි තමා හට ප්‍රතිකාර කරන්නට එකඟ නොවීමම විශ්ව දැන් යහපතක් ලෙස පිළිගත්තේය.එවන් තැනකදී මේ සා සමාධියක් තම සිතට කිසිම විටක නොඑනු ඇත.

"අපි එහෙනම් දැන් යමු නේද ? කොළඹට යන යනකම් කන්න තැනක් නම් හොයාගන්න නැති වෙයි." විශ්ව පැවසුවේ පාරමී දෙස බලමිනි.උදෑසන නිවසින් ආ මොහොතේ පටන් දැඩි ලෙස හිතට වද දුන් වේදනාවන් බොහෝ දුරට අඩු වී ඇති බව විශ්වට දැනෙන්නට විය. ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්නෙක් ලඟ සිටීමම ඒ බොහෝ ගැටළු වල බරපතළ භාවය අඩු කරන්නට හේතුවක් වෙයි.

"මං ඔයාව සප්රයිස් කරන්නයි යන්නේ. අද ඔයාට special lunch එකක් දෙනවා මගේ ගානේ.එන්නකෝ" පාරමී විශ්ව සමගින්ම නැගිට වුණේ පෙර කී අවන්හලට ම ඇවිද යන්නටය.

"නෝනලාට බඩගිනි ඇති කියලා මම දැන් කෑම ගෙන්නුවා විතරයි.නෝනාට නම් මේ කෑම කාලා හොඳට කාලා හොඳට පුරුදුයි.මහත්තයා කැමති වේද කළ තමයි හිතන්න අමාරු." 

කුඩා පොල් අතු අවන්හලේ සිටි කාන්තාව පැවසුවේ බටපොතු වට්ටි දෙකක් මේසය මත තබමිනි. ඒ මත ඇතිරූ නෙලුම් කොළ දෙකක එතූ දිවා ආහාරය ගන්නට විශ්ව ඉඳගත්තේ නොඉවසිල්ලෙනි.

"කාලෙකින් මෙහෙම කෑමක් කන්නෙ පාරෝ"ඔහු ලහි ලහියේ එය දිගහරිමින් පැවසීය.

"ආරංචියි ආරංචියි වැඩි දවසක් රෑට එහෙම කන්නේ බයිට් එක්ක බීම කියල."පාරමී තරවටු ස්වරයෙන් පැවසුවාය.

"ඕවා නිසල්ගේ බොරු. මම එහෙම බොන්නෙ නැහැ." විශ්ව කපටි සිනහාවක් මුවට ගනිමින් පැවසීය.

රතුහාලේ බතක්,වැව් මාලු, තිබ්බටු මැල්ලුමක් සහ හින්දවූ පරිප්පු ව්‍යාංජනයකින් සමන්විත වූ බත් මුල ඉමහත් රසයකින් යුතුවිය.

"ගොඩක් ජාති නම් නෑ මහත්තයා. මේ දවස්වල සෙනග එනවා අඩුයි.ඉතිං කෑම අපතේ යන නිසා ටිකයි හදන්නෙ" අවන්හල හිමි කාන්තාව සමාව යදින ස්වරයකින් පැවසුවාය .

"අම්මෝ මේ හොඳටම ඇති. කෑම හරිම රසයි .මං කාලෙකින් සම්පූර්ණ බත් එකක්ම මෙහෙම කෑවෙ"විශ්ව වතුර වීදුරුව පානය කරමින් ම පැවසුවේය.පාරමී ඔහු දෙස බලා උන්නේ නිහඬ සිනාවකිනි.

******************************************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක ( විසිරි සිහින)




Saturday, March 18, 2023

18 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 18 කොටස

17  කොටසට මෙතනින්  17





පාරමී නිලනිවසේ වැරැන්ඩාවේ හිඳගත්තේ නා අහවරවීය.මාලනී විසින් සදාදුන් කෝපි කෝප්පය නෑමෙන් පසු අනිවාර්ය අංගයකි.සිත තුළ සියුම් සතුටක් ඉපිලි ඉපිලී තාල නගයි.ඒ විශ්ව වෙතින් ලැබුවාවූ හිතවත්කම.....ඇත්තෙන්ම ඒ හිතවත්කමක් , දයාබරබවක් මිස අන් යමක් නොවන්නේදැයි පාරමී යළිත් සිතුවාය.

ඔහුගේ ජීවිතයේ ගැටලු සහගත තැන් එකිනෙක ලිහාගන්නට මෙන්ම ඔහු පත්ව ඇති මානසික වියවුලෙන් මුදන්නට තමාහට කල හැකි එකම සහ හොඳම පියවර මේ බව ඇය තීරණය කලේ අම්මාගේ හත්දවසේ බණට විශ්ව ඇවිත් ගියදාමය.

නමුත් විටෙක සිතන විට...ඒ ඇසුරට තමාද කැමති බව ඇයට වැටහුණි.

ශ්‍රීලංකාවේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව හදාරන සමයේත් විදෙස් ගතව පශ්චාත් උපාධි හදාරන සමයේත් ඕනෑ තරම් පිරිමි සගයින් උන්නද ඒ කිසිවෙක් සමීප මිතුරෙක් වූයේ නැත.එය තමාගේ පෞද්ගලික තීරණයකි.එය අබිභවා යන්නට ආ බොහෝ අය ආපසු හැරුණේ පාරමී ගේ දැඩි ප්‍රතිචාර මධ්‍යයේය.

අම්මාගේ වියෝව තමන්ගේ ජීවිතයේ ඇතිකළ හිඩැස කිසිදා වසන්නට නොහැකි එකක් වුව තමා විශ්වගෙ ඇසුරට කැමති වූයේ තමාගේ පසින් සිතුවහොත් මේ පවත්නා හුදෙකලාව සහ කාන්සිය මැඩගන්නට විකල්පයක් ලෙස නොවේදැයි පාරමීට සිතුණි.එහෙත් එය සිත පිළිගන්නට මැළිවෙයි.

නමුත් ජීවිතය අපට විවිධාකාර පුද්ගලයන් මුණ ගස්වන්නේ නොසිතූම ආකාරයටය.එය අප විසින් අභියෝගයක් ලෙස හෝ බාරගත යුතුමය.

                                                                            *** 

"ගුඩ්මෝනින් මැඩම්"

සුපුරුදු සුබ පැතුම ජංගමයේ වට්ස් ඇප් තීරයේ හදවතක සලකුණක ඉමෝජියක් සමග මතුවෙන විටද පාරමී රෝහල් කොරිඩෝරයේ වාට්ටුව දෙසට ඇවිදයමින් උන්නාය.හිතේ වූ උණුසුමැති හැඟීමක් මුවඟින් සිනහවක්ව පිටපැන්නේය.

"ගුඩ්මෝනින් සර්"පිළිතුර ටයිප් කර කහ පැහැ මලක් සමගින් යැව්වේ ඒ මොහොතේමය. කොළපැහැ හරි ලකුණු දෙක වැටෙන පමාවෙන් එහා පසින් ඇමතුමට සම්බන්ධ වූයේ විශ්ව ජයසූරියයි.

" දොස්තර නෝනා ලෙඩ්ඩු බලනවද ,ලෙඩ්ඩු දොස්තර නෝනව බලනවද මේ වෙලාවේ"

විශ්වගේ හඬ ජීවයෙන් පිරීගත් එකක් විය.මේ මිනිසාම එක දිනක පෞද්ගලික චැනලින් සේවාවේදී ඉතා වියැළි වෙහෙසකර හඬින් තමාහට ඇමතූ ආකාරය පාරමීට සිහිවිය.

"දෙකම දෙකම.අපි අන්‍යෝන්‍ය සහයෝගයෙන් බලාගනිමින් ඉන්නව"පාරමී පිළිවදන් දුන්නාය.

"මට බැරිද ඔය වාට්ටුවෙ සතියකට විතර නවතින්න"

විශ්වගේ පැනයට පාරමීට සිනහාගියේ නොනවත්වාගත හැකි ලෙසය.ඇයගේ මඳ සිනහවට වඩා හඬනගා හිනැහෙන මොහොතට විශ්ව බොහෝ ආශා කලේය.අනෙක් අතට ඇය පසුවෙන දුක්බර යුගය තවම ඇයට අලුත්ය.ඉදින් ඇයගේ සිනහවක් ඇයටම කෙතරම්ම වටීදැයි ඔහුට සිතාගන්නට හැකි විය.

"මොකද හිනාවෙන්නෙ?"විශ්ව ඇසුවේ තවමත් හුස්ම අල්ලමින් හිනැහෙන පාරමීගෙනි.

"මේක ෆීමේල් වෝඩ් එකක් අනේ.මට ඔයාව ඇඩ්මිට් කලොත් වෙන දේවල් මැවිලා පේන්න ගත්තා..අනෙ අම්මෝ මට බෑ.මම තියනවා ෆෝන් එක."

පාරමීට යළි යළිත් සිනහානැගෙයි.විශ්වට මුව පොපියා එන්නේ කුමක් හෝ කටකැඩුණ කතාවක් කියන්නටය.එහෙත් තවමත් පාරමී ගැන තමා දන්නා තරම අල්පය.එහෙයින් බස හසුරවන්නට ප්‍රවේශම් වියයුතුය.

"පාරෝ, එහෙනම් මම තියන්නම්. Just want to say hi to you lovely girl..take care" විශ්වගේ හඬ බෙහෙවින්ම ආදරණීය විය.පාරමී ගල්ගැසුනාක් මෙන් රෝහල් කොරිඩෝරයේ මොහොතකට නැවතුණාය.කුඩාම කල තාත්තාගෙන්ද ඉන්පසුව අම්මාගෙන්ද ඇසුණ ආදරණීය ආමන්ත්‍රණ ජීවිතය වෙතින් ගිලිහ යද්දී මෙසේ අන් මුවකින් අසන්නට ලැබීම ඇයට දරාගන්නට අපහසු තරම් විය.

"Take care විශ්ව" 

පාරමී ඇමතුමෙන් මිදී ඒ කල්පනාවෙන්ම වාට්ටුවට පැමිණියාය.සුපුරුදු සේවයට අවතීර්ණ වීමට පසු ජීවිතයේ පෞද්ගලිකත්වයට වේලාවක් නොපැමිණේ.එහෙත් සිත තුළ ඇති හැඟීම් වලට මුහුණ කැඩපතක් නොවේයැයි කෙලෙස කිව හැකිද?

වාට්ටු නිරීක්ෂණය අවසන පාරමී සිය අසුනේ හිඳගත්තේ අදාල ඇඳ ඉහපත්වල අවැසිතැන්වල අත්සන යොදමිනි.රහල් ඇය වෙත පැමිණියේ ඒ මොහොතේය.

"මැඩම්"රහල්ගේ ඇමතුම සමග හිස නගා බැලූ පාරමී ඔහුට ඉදිරි අසුන පෙන්වූවාය.

"කියන්න රහල්, anything special?"

"එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නැහැ මැඩම් .සාමාන්‍ය තොරතුරු තමයි ඉතිං .ප්‍රසංගිගේ improvements නම් කලින්ට වඩා සෑහෙන්න හොඳයි .මම weekly රෙකෝඩ් එකක් තිව්වා මැඩම්ට බලන්න.දැන් බෙහෙත් අඩුකරගෙන යන්නෙ."

රහල්ගේ කටහඬ බලාපොරොත්තු සහගත බවින් පිරී යමින් තිබුණි . 

"ඔව් රහල් මම දැක්කා ඒ ටික..අපි management එක මේ විදියට කරගෙන යමු. එයා දැන් තෙරපි වලටත් යනවද නොකඩවාම?"

පාරමී ඇසුවේ තමන් ඉදිරිපස හිඳගෙන ඉන්නා තරුණ වෛද්‍යවරයා ගෙනි . පුද්ගලිකවම ගත්කල එය ඔහුගේ ආදරයයි .අතීත බලාපොරොත්තුවයි .දැන් මේ යළිත් පන නගා එන්නේ ජීවිත කාලයක් පුරා ගොඩගසාගත් පසුකලකදී බිඳී වැටුනු ඒ බලාපොරොත්තුවේ කුඩා මල් පැලයයි.ඉතින් මේ සියල්ල යහපත් අන්දමින් සිදුවුණ හොත් ඔවුන් දෙදෙනාගේම ජීවිත ඇත්තෙන්ම සුන්දර වනු ඇත .

"ඔව් මැඩම් එයා දිනපතාම දැන් යනවා. එයාගේ අවබෝධාත්මක පැත්ත බැලුවම දැන් මතකය එහෙම හුඟක් හොඳයි . මෙහෙම්ම continue කරමු නේද මැඩම්?"

පාරමී හිස සලා ඔහුගේ ප්‍රකාශයට සිය අනුමැතිය දුන්නා ය. 

"මං අහන්නමයි උන්නේ madam ..මැඩම්ගෙ මූණෙ ලොකු වෙනසක් තියෙනවා."

පාරමී තිගැස්සී ගියේ රහල්ගේ ඒ වදනත් සමඟය.

"ඒ මොකක්ද ඒ ?මට තේරුනේ නැහැ රහල්"

පාරමී සාමාන්‍ය තත්ත්වයකට එන්නට බොහෝ ලෙස වෙරදරමින් ඇසුවාය.

"පහුගිය කාලෙම මැඩම්ගෙ මූණෙ තිබුණෙ ඇත්තටම ලොකු දුකක් වේදනාවක් .ඒ අම්මා නැතිවුන නිසා කියලා මම දන්නවා .නමුත් අද මැඩම්ගෙ මුහුන හරිම එළියයි ..ලොකු සතුටක් හිතේ තියෙනවා වගේ" 

රහල් පැවසුවේ අවංකවම ඔහු දුටුදේය.

පාරමී මඳක් හිනැහුණේ කිසිවක්ම නොකියාය.ජීවිතේ ඇතැම් පෞද්ගලික කාරණා රහස්ම වනවිට එහි සොඳුරු බව වැඩිය.මේ මිත්‍රත්වය ,සුහදත්වයද ඇයට එසේම තනිව විඳිය යුතු කාරණයකි.දැහැමි හට හෝ මෙහි තතු පවසන්නට ඇය ඉක්මන් නොවූයේ එබැවිනි.

"අපිට ජීවිතේ දුක්වෙන්න කාරණා ඕනතරම් උදාවෙනවා රහල්.ඒත් ඒ අතරෙත් පොඩිම දෙයක් හොයාගන්න පුළුවන් සතුටු වෙන්න.සමහරක් විට ඒක අනුන් වෙනුවෙන් පමණක්ම කරන යම් කැපවීමක් වෙන්න පුළුවන්.හරියට ඔයා දැන් ප්‍රසංගි වෙනුවෙන් කැපවෙනවා වගේ.ඒත් ජීවිතය ඒකට reward එකක් දෙන්නෙ අපි නොහිතන විදියට.ඔයා කල යම් කැපවීමක් තිබුණා නම් ඔයාට අනිවාර්යයෙන් ඒ reward එක ලැබෙනව..මට ඔයාගෙයි ප්‍රසංගිගෙයි කතාවේ එහෙම ලකුණු පේනව.ඉතින් මං වුණත් සමහර වෙලාවට සතුටින් ඉන්නෙ මං කල කැපවීමක ප්‍රතිඵලයක් නිසා වෙන්න පුළුවන් "පාරමී නිවීසැනසිල්ලේ කියූ කාරණා රහල් අසා උන්නේ ඉතා ආසාවෙනි.එතරම් වයසක් නැතද සිය ප්‍රධාන වෛද්‍යවරිය ජීවිතයේ අත්දැකීම් වලින් පෝෂණයව සිටින්නීය.

"ඒක ඇත්ත මැඩම්.ආ...අර මැඩම් කිව්ව කාරණය ගැන මම ටිකක් හොයලා බැලුවා.මාලනී නැන්දාට ආරාමයක්..අපේ ගම්පලාතට එහා ගමේ තියනවා යශෝධරා මෙහෙණි අසපුව කියලා එකක්.ඒක ඇත්තෙන්ම හොඳ තැනක් කියල අපේ කිරිඅම්මා කියනවා.එයාල දානෙ අරන් යනවනෙ ඉඳහිට."

රහල් සහ වාට්ටුවේ සෙසු අය සමගින් මාලනීගේ අවශ්‍යතාවය පාරමී පැවසුවේ දින කිහිපයකට පෙරය.තමා හා කෙතෙක් බැඳී උන්නද මාලනීගේ මානසික අවශ්‍යතාවය සහ නිදහස ඇයට දිය යුතු බව පාරමී විශ්වාස කළාය.එහෙයින් ඇයට ආරක්ෂාව සහිත නිදහස් ආරාමයක් සොයාගැනීමේ කාර්‍යයට පාරමී සහය පැතුවේ සිය කාර්‍ය මණ්ඩලයෙනි.

"ඒක නම් ලොකු දෙයක් රහල්.මම මේ දවසම වාට්ටුවට ගෙව්වාට මාලනි ඇන්ටිට අම්මා නැතුව ඉන්න එක හුරුනෑ.ක්වාටර්ස් උන්නත් එයා ඉන්නෙ කල්පනා කරකර.ඉතින් ඉක්මනින් එයාව සෙට්ල් කරන්න ඕනෙ මම."

රහල් පැවසූ ආරාමය පිළිබඳ තතු විමසා දැනගෙන ඉක්මනින් එහි යායුතු බව පාරමී සිතුවාය.මාලනී එහි කැඳවා ගෙන යන්නට පෙර තමා එහි නායක මෙහෙණින් වහන්සේ හමුවිය යුතුබව ඇයට රහල් පැවසූ හෙයින් ඒ සඳහා පාරමී ඉක්මනින් දිනයක් වෙන්කර ගත්තාය.

                                                                              *** 

"එහෙනම් ඒ කතන්දරෙත් ඒ විදියටයි උනෙ."

නිසල් විශ්ව පසුගිය දවසේ වූ කතාබහ ගැන පැවසූ විට මඳක් කල්පනා කරමින් සිට පැවසිය.විශ්ව උන්නේ සැබෑ සතුටෙනි.

"ඒක එහෙම වුණ එක හොඳයි බං.පුදන කොටම කාපි යකා වගේ මම මොකෝ එයාගෙන් කැමැත්ත අහන්නයැ.අනික බං මට වුනත් මගෙ හිතේ පාරමී ගැන තියෙන්නෙ මොනවගේ feeling එකක්ද කියල තාම පැහැදිලි නෑ."

විශ්ව පැවසූයේ නිසල් ඇසූවට පිළිතුරු දෙමිනි.

"හරි හරි උඹල දෙන්නා මිත්‍ර සන්ධාන ගහලා යාලු මිත්‍රකම් ඔස්සේ යනකොට උඹලෑ අම්මා මේන් කියලා බලන් ඉඳී. අන්න පෙරේදත් මම එහේ ගියාම සුපුරුදු කතාව පටන් ගත්තා.උඹට කටයුත්තක් හොයන්න ඕනෙ.හොයන එව්වට උඹ කැමති නෑ කියල."

නිසල් විශ්ව හමුවේ ගෙන හැර පෑවේ සැමදාම නීරස වූ අම්මාගේ මාතෘකාවයි.විවාහයකට අවැසි කාලය කිමෙක්දැයි තමාගේ හිතට තවමත් වැටහී නැත.දැන් ගතව යන්නේ තිස්නව වෙනි විය බව සැබවි.එහෙත් ජීවිතය බෙදාගන්නට සුදුසු ගැලපෙන අයෙක් නොමැතිනම් වයස යනවා කියමින් කවුරුන් හෝ සමග පෑහිය යුතුදැයි විශ්ව තර්ක කලේය.

"උඹ ඇත්තටම පාරමීට ලව් ද කියහන්කො ඔක්කොටම කලින්?"

නිසල් ඇසුවේ විශ්ව දෙසට නැඹුරුවෙමිනි.විශ්ව සුසුමක් හෙලා නිසල් දෙස බැලීය.

"පාරමී මට ස්පෙෂල් තමයි.ඒත් ආදරේ කියන්නෙ ඒකටමද කියල මම ආයෙ හිතන්න ඕන බං.අවුරුදු ගාණක් ගෑනියෙක් ආදරෙයි කියල මාව රැවැට්ටුවාට පස්සෙත් ආදරය ගැන මම විස්වාස කරන්නෙ කොහොමද කියපන්.උඹ ඒ කතාවේ අලක්මුලක් නෑර දන්නවනෙ."

විශ්වගේ හඬට එක්වූයේ තදබල කලකිරීමකි.

"හැම ගෑනියෙක්ම කෙල්ලෙක්ම දිහා ඒ ගෑනි කල දේ ඇහේ තියන් බලන්න එපා මචං.උඹ ඒ කාලෙම උන්නෙ අන්ධ වෙලා.මං කොච්චර නම් කීවද ?වෙන එවුන් කීවද උඹට ඒවා ඇහුණෙ පෙනුණෙ නෑනෙ.අන්න ඒ අතින් නම් උඹේ අම්මා ග්‍රේට්.අම්මා එක නිලයෙන්ම ගෑනි කවුද කියල අල්ලගත්තනෙ"

නිසල් පැවසූවේ අතීත මතකයන් අවුස්සාලමිනි.

"හොඳයි අපි බලමු...කාලය අරන්.කොහොම උනත් පාරමීගේ පැත්ත මොකක්ද කියල අපි දන්නෙත් නෑනෙ මචං."

විශ්ව මේ නීරස අප්‍රසන්න මාතෘකාවෙන් මිදෙනු වස් එසේ පැවසීය.

අතීතය යනු ගුරුවරයෙකි.පාඩම් උගන්වමින් වර්තමානය සහ අනාගතය යළිදු ඒ වැරදීම් නොකරන්නට පාර සොයා දෙන්නෙකි.අතීතයේ අඳුරු සෙවනැලි අපගේ ජීවිත වටා කෙතෙක් සැරිසැරූවද ඒ අඳුර මැදින් ජීවිතය සොයායන්නට අපට හැකි විය යුතු නොවේද....?විශ්ව අතීතයේ අඳුර මකාලමින් දෑස් මානයේ දිස්වන ඒ සිනාවත සිතේ මවා ගන්නට වෙර දැරීය.

                                                                       ***        

පාරමී දැහැමි සමගින් සුපුරුදු අවන්හලට ගොඩ වැදුණේ කාලයකට පසු කතාබහ කිරීමේ අවශ්‍යතාවය දෙන්නාටම ඇතිවූ හෙයිනි. නිස්කාංසුවේ කෝපි කෝප්පයක් තොල ගාමින් කෙටි කෑමක රස බලන්නට කියාපු තැන මෙතනය.

කුඩා අවන්හල කරගෙන යන සුන්දර කුඩා යුවතියද මේ යෙහෙළියන් දෙන්නා හඳුනන්නේ කාලයක සිටය.ඇය ඔවුන් එත්ම උණුසුම් හැඟුමින් ඔවුන් පිළිගත්තාය.

"කාලෙකින් අක්කිලා දෙන්නා ආවේ."

පාරමී ඇයගේ වදන් හා හිනැහෙමින් දැහැමි දෙස බැලුවේ පිළිතුරක් අනවැසි හෙයිනි.

"යන්න යන්න අන්න ඔයාල දෙන්නගෙ ප්ලේස් එක ෆ්‍රී අද."

යුවතිය ඔවුන්හට සුපුරුදු ඉසව්ව පෙන්වා ඇතුළට ගියේ ඇනවුම්පත් ගෙන එන්නටය.

සුපුරුදු මේසයේ හිඳගත් පසු ඇය ඇනවුම්පත් ගෙන ආවාය.පාරමී දැහැමි හා එක්ව අවශ්‍ය දෑ ඇනවුම්කල පසු ඇය ඔවුන් වෙතින් නික්ම ගියාය.

"ඉතින් ඉතින් ..උඹ අම්මට අපේ ගෙදර අද ඉන්නව කියලනේද ආවෙ අද?" 

පාරමී දැහැමි වෙතින් ඇසුවාය.

"අමුතුවෙන් අහන්න ඕන වුණෙ නෑ..අම්මා උඹව බලන්න යනව කීවම ඇහුවෙ එන්නෙ හෙට ද අනිද්දද කියල"

දැහැමි හිනැහුණේ හඬනගාය.පාරමී ද කලකට පසු ඉතා සැහැල්ලුවෙන් ඒ සිනහවට එක්වූවාය.

විශ්ව සම්බන්ධව මේ දක්වා වූ සිදුවීම් දැහැමි හා පැවසීමේ අවශ්‍යතාවයක් තිබුණද එය කුමන මට්ටමක් දක්වා කියන්නටදැයි පාරමීට සිතාගන්නට නොහැකි තරම් විය.කෙසේ වුව මේ ඇසුර සම්බන්ධව දැහැමි වරදවා වටහා නොහන්නා බව පාරමී ට විශ්වාසයක් තිබුණි.

හැකිතාක් දුරට විශ්ව සම්බන්ධව කරුණු කාරණා සමගින් පෙරදවසක හමුව සහ ඔවුන් අතර වූ නිහඬ සම්මුතිය ගැන දැහැමිහට නිරාවරණය කිරීම පාරමී කලේ තවදුරටත් ඇයට එය සැඟවිය යිතු නැති හෙයිනි.

"ඉතින් විශ්ව අයියා මොකෝ කීවෙ.?"

දැහැමි කෝපි බඳුන තොලගාමින් ඇසුවාය.පසුගිය දිනක නිසල් ඇමතුමක් දී විශ්ව ගැන ඔහුට දැනෙන වෙනස දැහැමි හා පැවසුවේය.

"මේ දවසට දෙකට මූ හෙනට වෙනස්වෙලා දැහැමි . අර මූලග්ගාය ඇත්තෙම නෑ."

නිසල් පැවසුවේ හිනැහෙමින් බව දැහැමි ට මතකය.

"මොකුත් නෑ .පුදුම උනා ඒක කීවම.කොහොම උනත් විශ්ව හරි හොඳ කෙනෙක් බං.අර වෙලාවකට යක්ෂාවේශය තිබුණට ඒ මනුස්සයා ඇත්තෙන්ම මාරම කෙයාරින්."

පාරමීගේ දෑස් වල වෙනදා නොවූ විරූ දිස්නයක් දැහැමි දුටුවාය.එය ගැන විමසන්නට ,විහිලුවක් කරන්නට සිත ඉඩ නොදෙන්නේ පාරමී ගැන ඇය හොඳින්ම දන්නා නිසාය.එහෙයින් ඇයට ඒ හැඟීම් රිසිසේ විඳගන්නට ඉඩ දී බලා සිටීම වඩා සුදුසුයැයි දැහැමි තීරණය කළාය.


                                                                            *** 

"හැමදාම උදෙන්ම ගෙදරින් යනවා. ආයෙත් එන්නෙ මහ රෑ වෙලා. විශ්ව , අද වත් ගෙදර ඉන්න ඕනේ මට ටිකක් කතා කරන්න ඕන."

සෙනසුරාදා උදයේ විශ්වගේ කාමරයට පැමිණි අම්මා පැවසුවේ ඉතා තද හඬකිනි.හැමදාමත් මග හැර ගියද මේ කතාවට කෙසේ හෝ මුහුණ දිය යුතු බව විශ්ව ද දැන උන්නේය .

"හරි මොකද දැන් අම්මට කියන්න ඕනේ.අපි කතා කරමු"

විශ්ව සිය අතවූ දුරකථනය පසෙක තබා අම්මා දෙසට හැරුණේය .කාමරයෙ ඇති පුටුවක හරිබරි ගැසී ඉඳගත් අම්මාගේ පටන් ගැනීමේ ස්වභාවයම එතරම් සුබ නොවන බව විශ්වට වැටහුනි .

"හරි දැන් අර අතුකෝරල මිස්ලගෙ ගෙදරින් ආව යෝජනාවට උඹ මොකද කියන්නේ.එහෙ මිනිස්සු බලන් ඉන්නවා අපෙන් වචනයක් එනකන් ."

අම්මා විශ්ව දෙසම පිලිතුරක් ලැබෙන තුරු එකඑල්ලේ බලා උන්නාය. 

"මං කැමැති නැහැ .මට මේ තියෙන වැඩ කටයුතු ටික ඉවර කරගන්න ඕනි ඉස්සෙල්ලම.අනික මම ඒ ගෑණුලමයට කොහෙත්ම කැමැති නැහැ.පස්සේ වෙන එකක් බලමු ."

විශ්ව අම්මට පැවසුවේ සෘජුවම ය .

"ඇයි ? ඇයි ? උඹට මොකක්ද තියෙන හේතුව මේකට අකමැති වෙන්න .ඒ මිනිස්සු කියන්නේ දේපල සාගරයක් .ඔය ඉන්නෙ පවුලේ එකම කෙල්ල .ඒ කෙල්ලට ඉන්නෙත් වැඩිමල් සහෝදරයෙක් විත‍රයිනේ .ඒ පුතත් දැන් ඉන්නේ රට. මෙහෙ දේපළවලට ආයෙ කිසි කෙනෙක් ඇඟිලි ගහන්නේ නැහැ තනිකරම සාගරයක් වගේ දේපල අයිති ඔය දරුවාට."

විශ්ව අම්මා දෙස බැලුවේ දැඩි නොරිස්සුමෙනි.

"අම්මා මේ කතා කරන්න යන්නේ business contract එකක්ද නැත්නම් මට පාට්නර් කෙනෙක් හොයන එකක්ද? මම කැමති නැති කෙනෙක් එක්ක මේ මුළු ලෝකෙම තියෙන සල්ලි දෙනවා කිව්වත් අම්මේ මම නම් කැමති නැහැ නැහැමයි."

විශ්ව ඉඳගත් අසුනෙන් නැගිටිමින් පැවසීය .

"නැහැ මේ කටයුත්ත කෙරෙන්න ඕන එහෙම නැත්තං උඹට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ."

අම්මා සිය දබරැඟිල්ල විශ්වගේ මුහුණට ලෙලවමින් පැවසුවාය .විශ්වගේ මුහුණේ වූයේ උපහාස හිනාවකි .

"අම්මා හිතනවද මේ අම්මගෙ දේපල නිසා මං අම්මගේ රූකඩයක් වගේ නැටවෙන්න ඕන කියලා . මට මේ කිසි දෙයක් ඕනෙ නැහැ අම්මා.මට ඕනි මගේ ජීවිතයෙ නිදහස කරුණාකරලා මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න .ප්ලීස්."

විශ්ව කාමරයෙන් එළියට බැස මිදුලට පැමිණියේය .අම්මා මොන මොනවාදෝ හඬගා කියමින් ඔහුට බැණ වදිනු දිගටම ඔහුට ඇසුණි .එහෙත් විශ්ව ඒ කිසිවක් ම නෑසුණු නියාවෙන් අඹ ගස යට වූ බංකුවේ හිඳ ගත්තේය .

සිත බෙහෙවින් නොසන්සුන් වෙමින් පවතී.පාරමී හට ඇමතුමක් දිය යුතු යැයි ඔහුට සිතුනේ ඒ වෙලාවේ ය .


    ***************************************************************************************** 

යලි හමුවෙමු
 
කිත්මා වාසනා දහනායක 
විසිරි සිහින 

Monday, March 13, 2023

17 - හදේ කොතැනක හෝ හිඳී ඔබ


17 කොටස


16 කොටස මෙතනින් 16




සතියේ දිනවල රෝහල් නිල නිවසේත්, ඉන්පසුව සති අන්තය නිවසේ සහ හොරණ මහ ගෙදරත් මාලනී සමග ගත කිරීම කාලය සමගින් පුරුද්දක් විය.

අම්මා නැති අඩුව කිසිසේත්ම ජීවිතයට පියවන්නාක් නොවූවද වගකීම්,යුතුකම් හමුවේ පාරමී සිත රැඳෙන වේදනාව සමනය කොටගත්තාය.ඇයට ඇති එකම ගැටලුව වූයේ මාලනීගේ අයහපත් මානසික තත්වයයි.මේ හුදෙකලාව ඇයට දරාගන්නට නොහැකි මට්ටමක එකක් විය.

"චූටි මැණිකෙ , අනේ රත්තරනේ මං ගැන අහිතක් හිතන්න එපා.මට ආරාමයකට යන්න ඇත්නම් කියල දැන් හිතෙනවා චූටි මැණිකේ.ලොකු මැණිකේත් නැතුව මට මගේ ජීවිතේ මෙහෙම ගතකරන එක අමාරුයි මැණිකේ"

එක් මොහොතක මාලනීගේ මුවින් පිටවූ ඒ වදන් පාරමීගේ සිත දැඩිසේ කම්පා කලේය.වියපත් වැඩිහිටියන්ගේ මනස යනු බොහෝ සංවේදී වන්නකි.ඔවුන් හුදෙකලා වීම සමග බොහොමයක් මානසික ගැටලු වලට ලක්වන්නේ ඔවුන්හට දැනෙන ජීවිතයේ අස්ථාවර බව නිසාය.ආගම දහමට යොමුවීම ඒ සඳහා ඔවුන් සොයාගන්නා විකල්පයකි.

"මට තේරෙනවා මාලනී ඇන්ටී.මගේ එහෙම අහිතක් නෑ.ඒත් මාලනී ඇන්ටි ගැන වගකීම තියෙන්නෙ මට.අම්මා උන්න කාලේ වගේම ඔයාව බලාගන්න ඕනෙ මම.ඔයා එහෙම තැනකට යනවා නම් මම ඒ තැන ගැන ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනෙ.ඒ බලලා එතන ආරක්ෂාව තියේ නම් මම කිසිමදාක ඇන්ටිට බාධා කරන්නේ නෑ"

පාරමී පැවසුවාය. 

"චූටි මැණිකෙව තනියම දාල මම කොහොමද ඒ උනාට එහෙම යන්නෙ? ලොකු මැණිකෙ ඉන්න තැනක ඉඳන් මට දොස් කියාවි" 

මාලනී ගන්නා තීරණය ගැන දෙඅතකට වැනෙමින් උන්නේද තමා නිසා බව පාරමීට වැටහුණි.

"එහෙම හිතන්න එපා මාලනී ඇන්ටි.ඔයා නෙවෙයි අම්මාට එහෙම යන්න ඕන කීවත් මම ඒකට බාධා කරන්නෙ නෑ.මම ජීවිතේ හැටි තෙරුම් ගන්න බැරි කෙනෙක් නෙවෙයිනෙ.අනික මගේ ගැන බයවෙන්න එපා.මම රටරටවල්වලත් තනියම උන්න කෙනෙක්.මෙහෙ ඉතින් මට හොස්පිට්ල් එකේ ක්වාටර්ස් එක තියනවනෙ.අපි හෙමින් බලමු එහෙමනම් ."

සියලුම බැඳීම් එකින් එක ගිලිහ යන විට ජීවිතේ කුමක්දැයි මනාවට පසක් වෙන්නට ගනී.ඉතින් ජීවිතය ගලායා යුතුය. තම ජීවිතයේ සතුට ඇත්තේ තමා මතම බව පමණක් පාරමී වටහා ගත්තේ ජීවිතයේ යම්කාලයක් ගතව ගිය පසුය.ඉදින් අනෙකෙකු මත තම සතුට තබා බලාපොරොත්තු වන්නට ඇයට අවැසි නොවූ තරම් ය.

              

එළඹි සතියෙහි පාරමීට හදිසි රාජකාරියක් සඳහා කොළඹට යන්නට සිදුවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වූ රැස්වීමකටද සමගය. පෞද්ගලික වැඩ කටයුතු රැසක්ද ඉටුකරගන්නට අවැසිවූ හෙයින් පෞද්ගලික වාහනය භාවිත කරන බව පාරමී රෝහල් අධ්‍යක්ෂක වරයාට පැවසුවාය.අනවශ්‍ය ලෙස රෝහලේ වාහනයක් තමා වෙනුවෙන් වෙන්කරගන්නට ඇය අකැමති වූවාය.

උදේ එකොලහ වනවිට සියලු රාජකාරිමය කටයුතු අවසන්කරගත් හෙයින් පාරමී සිය රථය විහාරමහා දේවී උද්‍යානය අසල මාවතේ සෙමින් ධාවනය කළාය.ග්‍රීන්පාත්හි කලා නිර්මාණ බලමින් මොහොතක් ගතකරන්නට අවැසි වුවද කාලය හරස් වන්නට ඉඩ ඇති හෙයින් ඇය රිය පැදවූයේ නිදහස් මාවත දෙසටය.

නිදහස් මාවතේ කෙටි දුරක් ගමන් කරද්දී වාහනයේ ඇසෙන අමුතු හඬක් හේතුවෙන් පාරමී රිය මාවත අයිනට කර නැවතුවාය.නියමිත කාලයට නඩත්තු කටයුතු කරන හෙයින් හදිසි ගැටලුවක් මිස මහා දෝශයක් නම් ඇතිවිය නොහැක.රිය නවතා බැස බැලූ විට බාහිරින් බලාගත හැකි කිසි ගැටලුවක්ද නැතිසේය. පාරමී කල්පනා කලේ කුමක් කරන්නට කියා සිතාගන්නට නොහැකිවය.

මේ කොළඹ තදාසන්නයේ රිය සම්බන්ධව කටයුතු කරගන්නට කිසිවෙක්ද නොමැති තරම්‍ය.

ජංගම දුරකථනයේ ඇමතුම් දිගේ එහෙමෙහෙ මොහොතක් යන විට ඇයට විශ්ව ජයසූරියගේ නම දිස්වූයේ අහම්බෙනි.ඔහු ගේ කාර්යාලය ඇත්තේ කොළඹ බව එක් දිනක් පැවසු බව පාරමීට සිහිවිය.උදව් ඉල්ලන එකෙත් සීමාවක් නෑ කියල හිතාවිද මන්ද...පාරමී සිතුවේ එකෙල මෙකෙල වෙමිනි.නමුත් මේ මොහොතේ කරන්නට වෙන යමක් ඇත්තේද නැත.

සිත හදාගෙන පාරමී විශ්වගේ අංකයට ඇමතුම ගත්තාය.විශ්ව ජයසූරිය ඒ මොහොතේ උන්නේ සිය කාර්‍යාලයේ නිසල් සමගින් ගිණුම් පරීක්ෂාවක යෙදෙමිනි.පාරමීගේ නම ජංගමයේ මුහුණත දුටු ඔහු නිසල් දෙස බැලුවේ මඳ සිනහවක් මුව රඳවාගෙනය.ගනින්.....නිසල් ඔහුට ඉඟිකලේය. විශ්ව ඇමතුමට සම්බන්ධ නොවී එය විසන්ධි වන්නට දුන්නේය.

"පිස්සුද යකෝ, කෝල් එකක්වත් නෑ කියකිය අඬ අඬ උන්නා නේද පහුගිය දවස් වල.අර එහෙ ගිහින් ආව දවසෙ ඉඳන්.දැන් කෝල් එක ආවම ගන්නෙ නෑ."

නිසල් බැණ වැදුණේය. 

"පොඩ්ඩක් හිටපන් .පුදනකොටම කාපි යකා නොවී අපිත් ටිකක් ඉන්න ඕන ගණන් පෙන්නල.ආයෙ ගනීවිනෙ" 

විශ්ව හිනැහුණේ ජංගමය දෙස බලමිනි.එහෙත් එය යළි නාද වූයේ නැත.

"ඔව් ඔය ඉස්සුවෙ ගණන්.දැන් ආයෙ ගනී කියලනෙ කිව්වෙ.කෝ ගත්තා ද? උඹනම් ! ගනින් දැන් ඕකට කෝල් එකක්."

නිසල් අපේක්ෂා බිඳීමෙන් බලා ඉන්නා විශ්වට අතින් පහරක් ගැසීය.විශ්ව පාරමීගේ අංකයට ඇමතුම ගත්තේ එසැනිනි.

"හෙලෝ මැඩම් ගුඩ් මෝනින් !"

පාරමීගේ ජංගමයට සම්බන්ධ වෙත්ම විශ්ව පැවසීය.

"විශ්ව , බිසි ද දන්නේ නෑ.මේ වෙලාවෙ.සොරි කරදර කළාට "

පාරමීගේ කටහඬ බොහෝ වෙහෙසකර බවක් දැනුනි.

"ආ ...නෑ කමක් නෑ.පොඩි මීටින් එකක උන්නෙ.ඇයි ඩොක්ටර් ?"

විශ්වගේ මුවින් පාරමී යැයි කියවෙන්නට ගියද ඔහු යළි ආයාසයෙන් එය මැඩ ගත්තේය.දැහැමි එදා එසේ කීවාට ඇයගේ ප්‍රතිචාරය කෙසේදැයි තමා නොදැන උන් බැවිනි.

"අනේ මට පොඩි කරදරයක් විශ්ව.මම කොළඹ ආවා වැඩ වගයකට.වාහනේ මොකක් හරි අවුලක්.මම මේ පාර අයිනෙ ඉන්නව.මට තේරෙන්නෙ නෑ මොකක් වෙලාද කියල"

පාරමීගේ හඬින් ඔහු අසුනෙන් නැගී උන්නේය.

'කොතනද ඉන්නෙ කියන්න ? මම මිකැනික් කෙනෙක් එක්කන් එන්නම්"

විශ්ව නිසල්ටද අතින් සන් කරමින් එළියට බැස්සේය.

"නිදහස් මාවතේ ඉන්නෙ"

"ඕකේ අපි එන්නම්.ඔහොමම ඉන්න."

විශ්ව නිසල් වෙත හැරෙමින් පැවසුවේය.

"නන්දනට කතාකරල වාහනේකින් ඌත් එක්ක වරෙන් මගෙ වාහනේ පිටිපස්සෙන්.පාරමීගේ වාහනේ අවුලක් වෙලා ඉන්ඩිපෙන්ඩන්ස් රෝඩ් එකෙ ඉන්නව කීව"

නිසල් ඔහුට ඇසක් ඉඟිකොට අත ඔසවා මහපටැගිල්ල එසවූයේ කිසිවක්ම නොකියාය.

විශ්ව සහ නිසල් පැමිණෙන විට පාරමී උන්නේ වාහනයට පිටදී සිටගෙනය.ඇගේ වත දිවා අව්‍ රශ්මියට දහඩියෙන් නැහැවී තිබුණි.

"මොකද උනේ ? " 

විශ්ව ඇය අසලට ආවේ එසේ අසමිනි.

'දන්නෙ නෑ .එකපාරම හිරවෙලා ගැස්සෙන්න ගත්තා.මම මේ පැත්තට අයින් කලා.ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ."

නන්දන නම් වූ කාර්මිකයා ඉදිරිපස කොටස පරීක්ෂාවේ උන්නේ නිසල්ද සමගිනි.

"සර්, මේක අපිට ගරාජ් එකට අරන් යන්න වෙනව.ටිකක් ලොකු අවුලක් වගෙ.බලල මිසක් කියන්න අමාරුයි"

නන්දන පෑඅසූවේ පරීක්ෂා කොට අවසන්වය..පාරමී විශ්ව දෙස බැලුවේ අසරණවය.දැන් කළහැකි කීවක් නැත.

"මම ඉතින් මෙහෙ ගරාජ් දන්නෙ නෑනෙ.මොකද කරන්නෙ?"

නිසල් ඇය වෙත හිනැහෙමින් ආවේ ඒ මොහොතේය.

"වාහන සේල් එකක් තියන පොරක් ළඟ තියාගෙන මොකද කරන්නෙ අහන්න ඕනද ඩොක්ටර් ?"

පාරමී විශ්ව දෙස බැලුවේ දෑස් විසල් කොටගෙනය.ඔහු එක් ඇස්බැමක් ඔසවා ඇයි කියා ඇසීය.පාරමී ඉවත බලාගත්තේ කියාගන්නට දෙයක් නොමැතුවය.

"මෙහෙම කරමු..නන්දන නිසල් එක්ක ඔයාගෙ වාහනේ අපේ ප්ලේස් එකට අරන් යාවි.ඩොක්ටර් ට දැන් කොහෙටද යන්න ඕනෙ? මං ඩ්‍රොප් කරන්නම් එතනට"

විශ්ව ඇසුවේ ඇයගේ අපහසුතාවය තවත් වැඩිකරන්නට අකමැත්තෙනි.

"නැහැ...දැන් කරන්න ආව රාජකාරි වැඩ ටික ඉවරයි.මගෙ වෙන වැඩ ටිකක් තිබ්බෙ.ඒක වෙන දවසකට පුළුවන් .මම එහෙනම් කැබ් එකක් දාගෙන ගෙදර යන්නම්.විශ්වට පුළුවන් නේද මේක ඉවර වෙලා මට කියන්න."

පාරමී ඇසුවේ ඔහුට තවත් කරදර කල නොහැකි හෙයිනි.

"නගින්න .මම ඩ්‍රොප්කරන්නම්."

විශ්ව ඇයට වාහනයේ දොර හැරදුන්නේ එය නැසුනාසේය.පාරමී මොහොතක් බලාහිඳ සෙමින් ඉදිරි අසුනට ගොඩ වූවාය.

පාරමී මොහොතක් නොසන්සුන් බව මැඩ ගනිමින් උන්නාය.විශ්ව ඇය දෙස නෙත් කොණ් බැල්මක් පමණක් හෙලා රිය පණගන්වා ගත්තේය.

"ලන්ච් අරන්ද ඉන්නෙ?"

පාරමී තිගැස්සුනේ ළං ළං ව ඇසුණ ඒ හඬටය.අත රැඳි ඔරලෝසුව වෙත යොමුවූ නෙතඟින් බැලූ විට එක පසුවී විනාඩි විස්සක් පමණ වන්නට ළංව ඇත.උදේ ආහාරයෙන් පසු තේ පානයටවත් නොසිට රැස්වීම අවසන් වූ වහාම අමාත්‍යාංශයෙන් ඉවතට ආ නිසා දැඩි පිපාසයක්ද ඇත.ඒ මදිවාට වතුර බෝතලයද වාහනයේ දමා පැමිණ ඇත.පාරමී හිස දෙපසට සලා නිහඬ වූවාය.

"මාත් කාල නෑ.ලන්ච් අරන් යමුද?"

විශ්ව ඇසුවේ පාරමී දෙස මඳක් හිස හරවා බලමිනි.සිතේ ඇතිව ඇති චකිතය කුමක්දැයි පාරමීට සිතාගන්නට නොහැක.ඇය හිස සලා කැමැත්ත පැවසූ පසු විශ්ව රිය ධාවනය කලේ මුහුදුබඩ සුන්දර අවන්හලක් වෙතය.

රිය අංගනයේ වාහනය නැවතූ විශ්ව ඉන් බැස පාරමී ඉන්නා දෙසට පැමිණෙන තුරුත් ඇය උන්නේ කල්පනාවකය.

"බහින්න මැඩම්.අපි ආවා."විශ්ව සිනහසෙමින් පැවසුවේය.පාරමී තිගැස්සී ඔහු දෙස බලා රියෙන් බැස ගත්තේ තමා වෙනම ලෝකයක හුදෙකලාවීම ගැන පසුතැවෙමිනි.

මුහුදු රළ හෝ නදින් පෙරළී එනු පාරමී බලා උන්නාය.ඇයගේ කෙටි කෙස් රොදවල් මුහුණ පුරා දැවටෙමින් ඇයගේ ධ්‍යානය බිඳී.විශ්ව මොහොතක් ඇය දෙස ම බලා උන්නේය.


"මොනවද බොන්නෙ?" 

විශ්ව ඇයගේ දැහැන බිඳලමින් ඇසුවේය.පාරමී ඔහුදෙස ඇස් ලොකු කොට ගනිමින් බැලුවාය.

"ඔච්චර ඇස් ලොකු කරල බලන්න මොකද ? මම ඇහුවෙ බොන්නේ මොනවද කියලා ...ලයිම් ජූස් or anything you prefer?"

විශ්ව හමුවේ තමන්ගේ මේ වික්ෂිප්ත භාවය පාරමීටම සිතාගන්නට නොහැකි තරම් ය.

සිත තුළ ගොඩනැගෙන්නාවූ චකිතය තමාගේ සරල හැසිරීම් රටාව සොරාගෙන ගියාක් මෙන් ය.

"ඔයා ඔහොම ඉන්නකොට මට හිතෙන්නෙ මං අකමැත්තෙන් ඔයාව මෙතනට එක්ක ආවා වගේනෙ ඩොක්..."

විශ්වට සිය වදන් ඉවර කරගන්නට නොහැකි වූයේ පාරමී හඬ මතුකල හෙයිනි.

"පාරමී...මගෙ නම පාරමී..ඩොක්ටර් නෙවෙයි."

පාරමී ඔහු දෙස බලාඋන්නේ නොපහන් ඇසිණි.විශ්ව අසුනේ පිටුපසට ඇදී එහි ඇන්දට හිස තබා ගෙන අහස දෙස බලා හිනැහුණේය.ඒ හිනාව සැබවින්ම සුන්දරය.

"ලයිම් ජූස් දෙකක් ගේන්න කියන්නද එහෙනම් පාරමීටයි මටයි" 

වේටර්වරයා එනු දැක විශ්ව පැවසූවේ තාලයකට මෙන් පාරමී යන්න ඇදපැද පවසමිනි.පාරමීට ඔහු එය පැවසූ තාලයට හිනායන්නට ආවේය.

"හිනාවෙන්න හිනාවෙන්න...ඔය හිනාවල් හංගගෙන ඉන්න හොඳ නෑ...මේ මං වගේ හිනාවෙන්න අමතක මිනිස්සුන්ට ඔහොම හිනාවක් දැක්කත් ජීවිතේ සැනසීමක් දැනෙනවා"

විශ්ව පැවසූවේ සිනාරහිත මුහුණෙනි.පාරමි මොහොතක් ඔහු දෙස බලා උන්නාය.කෙසේ වුවද විශ්ව ජයසූරිය සිටුන්නේ යටපත්ව ගිය මාඅනසික පීඩනයක ගිලී බව ඇයට වැටහුණි.

"විශ්ව...මට ඔයාට කවුන්සලින් කරන්න වෙලාවක් හොයාගන්න නම් අමාරුයි..."

පාරමී කතාව මොහොතකට නවතා ඈත මුහුද දෙස මොහොතක් බලා උන්නාය..විශ්වගේ ගැඹුරු සුසුමක බර මුහුදු සුළඟ සමග පාවී විත් තම දෙසවනේ හැපෙනු පාරමීට දැනුනි.

" It is ok , මම ඉතින් එදාට පස්සෙ ඒ request එක ආයෙ ඔයාට කලෙ නෑනෙ...ඒක ඉතින් මගෙ වෙලාව ..what to do ?"

විශ්ව පැවසූවේ ඇය දෙස නොබලාය.ඒ හඬේ වූ කලකිරීම සහ අපේක්ෂා භංගත්වය පාරමී ට මොනවට වැටහුණි.

"ඉතින් ඔයා මට කතාකරන්න දෙන්නෙ නෑනෙ විශ්ව...කියල ඉවර කරන්න කලින් ඔයා මැදින් පනිනවනෙ..අපේ අම්මා නම් කියන්නෙ මිනිස්සු අනෙක් කෙනාට කතාකරන්න ඉඩ නොදී මැදින් පනින එකෙන් හුඟාක් අයගේ සංවාදයන් මග කඩාකප්පල් වෙනව කියල...." පාරමී පැවසුවාය. 

"සොරි සොරි මැඩම්...ආයෙ පනින්නෑ...හරි ඉතින් කියන්නකො...."

විශ්ව කන්දෙක අත් දෙකින් අල්ලා හිස පහත් කලේය.

"කවුන්සලර් කෙනෙක් වෙන්න මට කාලය නැති උනාට ඔයාට හොඳම යාළුවෙක් වෙන්න මට කාලය තියනවා...මොකද කියන්නෙ "පාරමී ඇසුවේ සිනාමුසු මුවිනි.

" are you sure..? Is this real..? පාරමී I cant believe this.."විශ්ව ගේ සිනහව උතුරාගියේ කුඩා දරුවකු බලාපොරොත්තු වූ තෑග්ගක් ලැබුණ පරිද්දෙනි.

"ඔව් ..ඇයි..අපිට හොඳම යාලුවො වෙන්න බැරිද? "පාරමී ඇසුවේ විශ්ව දෙස බලාගෙනමය.

"Sure promise පාරෝ.....ඔයා මට හොඳම යාළුවෙක් වෙයි...."විශ්ව ඇයට සිය දෝතම පෑවේය.පාරමී හිත පිරුණු මිත්‍රත්වයෙන් ඔහු දෑත අල්ලාගත්තාය.

"මොකක්ද අර කිව්වෙ....මගෙ නම...?ආයෙ කියන්න බලන්න.."පාරමී හිනැහුණේ විශ්වගේ ඇමතුමටය.

"පාරමී පාරමී කීවම ඒක ටිකක් දිගායි දුරයි නෙ...මම මට ඕන විදියට ඔයාගෙ නම වෙනස් කලා ඔන්න "විශ්ව පැවසුවේ සතුටින් පිනායමිනි.

පාරමී දිවා ආහාරයද ගෙන විශ්ව සමගින් ආපසු නිලනිවස වෙත පැමිණියේ කෙතෙක් බලකලද ඔහු ඇයව කැබ් රථයක යැවීම ප්‍රතික්ෂේප කල හෙයිනි.

"මගෙ වාහනය කවදා හම්බ වෙයිද විශ්ව? "පාරමී ඇසුවේ වාහනයක් නොමැතිව සති අන්තයේ ගමේ යාමට අසීරු හෙයිනි.

"බලමු අපි ආනන්දට කතාකරල.."විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ වාහනය පදවන අතරේමය. පාරමී ඔහුගේ අතට මඳක් තට්ටුකර වාහනය මාවත අසල නවත්වන ලෙස ඉඟිකලාය.

"නීතිවිරෝධී වැඩ කරන්න එපා...තේරුණාද? අපේ රටේ නූගත් මිනිස්සුන්ට එහා උගත් මිනිස්සු..ඔක්කොම මාර්ග නීති කඩන්නෙ එයාල.."පාරමී විශ්ව වාහනය නවතන තුරු කියෙව්වාය.

"ආනන්ද..මොකද අර මැඩම්ගෙ වාහනේ තත්වෙ..?" පාරමීගේ කියවිල්ලට විරිත්තමින් විශ්ව ඇමතුමට සම්බන්ධ විය.විනාඩි කිහිපයක් ඇමතුමට කල් ගත කල විශ්ව පාරමී දෙස බැලුවේ යටිතොල පිට පෙරළමිනි.

"දවස් දෙකක් විතර අඩුමගානෙ යයි වගෙ..මොකද කරන්නෙ..මං කැබ් සර්විස් එකෙන් එකක් එතකල් ටෙම්පරරි එවන්නද ..?" විශ්ව ඇසුවේ පාරමීහට ගමේ යෑමේ අවශ්‍යතාවය තදබල ලෙස ඇති බව දන්නා හෙයිනි.

"අපෝ එපා විශ්ව..මට කැබ් සර්විස් අයව ශුවර් නෑ..අනික එහේ ටිකක් ඇතුලට වෙන්න පාළුයි ..බයයි එහෙම යන්න.අපි මේ වීකෙන්ඩ් එක නොගිහින් ඉන්නම්."පාරමී ඒ අදහස ප්‍රතික්ෂේප කළාය.

විදෙස් ගත ව උන් කාලය පුරාවට ඕනෑම රැයක ඕනැම මගක යන්නට කිසිදු බියක් නොවූවද ලංකවට ආ මුල් දිනවල පටන් තමා අසන්නට කියවන්නට ලද බොහෝ සිද්දීන් මත පාරමී ඉතා පරෙස්සම් වූයේ ගමනාගමනයේදීය.

"මගේ කැබ් සර්විස් එකේ එකක් මම එවන්නෙ ළමයො.නොදන්න එවුන් ඒකෙ නෑ..." විශ්ව ඉතා සැහැල්ලුවෙන් පැවසීය. විශ්ව යනු මහා ව්‍යාපාරික ජාලයක හිමිකම් කියන්නෙක් බව වැටහුණද ඔහුගෙන් එසේ උදව් ගැනීම සුදුසු නොවේ යයි පාරමීට සිතුණි.

"නෑ විශ්ව , මේ සතියෙ මම ක්වාටර්ස් ම ඉන්නම්.ඕනනෑ"පාරමී රෝහල අසලදී රියෙන් බසින්නට පෙර පැවසුවාය.ඇයට බලකිරීම නුසුදුසු බව වැටහුණු හෙයින් විශ්ව හිසවනා එය පිළිගත්තේය.

              

ආපසු කාර්‍යාලයට පැමිණෙන මොහොතේත් විශ්වගේ මුහුණේ තිබුනේ නොනැසුණ සිනහවකි.

මොකෝ මස්සිනා වැඩේ හරිද ? නිසල් ඇසුවේ විශ්වගේ ඉදිරිපස අසුනේ හිඳගනිමිනි.කිසිවක් නොකියූ විශ්ව සිය අසුනේ පිටුපස ඇන්දට හිස තබා දෑස් පියාගත්තේය.ඔහුගේ මුහුණේ ඇත්තේ කිසිදාක නොදුටු තරම් සැනසුම් ස්වභාවයකි.නිසල් මොහොතක් ඒදෙස බලාඋන්නේය.

අර මොනවද එකක් ගහපු එකෙක් වගෙ ඒ ගමන ඇස් වහන් තනියම හිනාවෙනව.උඹ හින්ද කට්ටකෑවට මාත් හැදෙන එකෙක් නෙවේ.තව මෙතන මුගෙ නාඩගම් බලබල ඉන්නව

නිසල් බොරු තරහක් පෙන්වමින් නැගිට ගියේය.සිය මිතුරාට අවැසි මොහොතක් තනිවන්නටය.ඇතැම් විට ඔවුන් අතරේ කුමක් හෝ කතාවෙන්නට ඇත.කතාවූයේ කුමක් වුවද ප්‍රතිපලය සුබදායී එකක්සේය.

ඕන වෙලාවක කියන්නෙ නැතැයි..සිතමින් විසල් කාමරයේ දොර අසල සිට ජංගමයෙන් විශ්ව ඉන්නා ඉරියව්ව ඡායාරූප ගත කරගත්තේය.

මේවා මතු ප්‍රයෝජනයට ...සිනාසෙමින් ඔහු කියාගත්තේය.

****************************************************************************** 

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

විසිරි සිහින 


Monday, March 6, 2023

16 වෙනි කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

16  වෙනි කොටස

15  වෙනි කොටසට මෙතනින් 15



 විශ්ව පාරමීගේ නිවසේ සාලයේ එලූ පැදුර මත දෑතම බැඳගෙන ස්වාමීන් වහන්සේ දෙසූ බණ අසා උන්නේය.නිසල් ඔහුට යාබදව ඉඳගත්තේ පාරමී ව දෑසින් පෙන්වමිනි.

එහෙත් කුමක්දෝ කිව නොහැකි සන්සුන්කමක් මුලු හිතම පුරා බණ අසද්දී පැතිර යනු විශ්වට වැටහිණි.තමාගේ නෙත් මානයේ බොහෝ සන්සුන්ව එකත්පස්ව සිටිනා පාරමී ඇස මෙන්ම සිතද සනහන සුලු දසුනක් විය.කියාගන්නට අපහසු ශෝකී බවක් ඒ වතෙහි තිබුණද ඇය ඇත්තෙන්ම සුන්දරය.

ජීවිතයේ ඇති අතිර බව මෙන්ම පලදායී යහපත් දිවියක් ගතකරන්නට අවැසි කරුණු කාරණා බොහොමයක් සැකෙවින් පැහැදිලිව දේශනා කල ස්වාමීන් වහන්සේ පාරමීගේ අම්මාගේ ජීවිතයෙන් සැමදෙනම ගතයුතු බොහෝ වටිනා ගුණාංග ඇති බව ද දේශනා කලහ.

මාලනී පවා ඒ බණ අසා උන්නේ නිවුණු සිතැතිවය.ජීවිතය දවාලන සිත් වේදනා අකාමකා ලිය හැකි දහම් කරුණු ජීවිතයට කෙතරම් අගනේදැයි විශ්වට පවා ඒ මොහොතේ සිතුණි.

ස්වාමීන් වහන්සේ නික්ම ගිය පසු රාත්‍රී ආහාරය සඳහා විශ්ව සහ නිසල්ට ඇරයුම් කල හෙයින් ඔවුන් නැවතුණ අතර දැහැමි ගේ අම්මා සහ මාලනී මුලුතැන්ගේ වෙත ගියේ ගමෙන් පැමිණි අසල්වැසි කීපදෙනෙක්ද උන් හෙයිනි. අම්මාගේ හදිසි අවමංගල කටයුතු වලට එන්නට නොහැකි වූ හෙයින් බණට සහ දානයට ඔවුන්ට පැමිණීමට අවශ්‍ය විය.ගමේ නිවස බලාකියාගන්නා අසල්වාසී අය කවදත් පාරමී ගේ අම්මාට සහ ඇයට හිතවත් වූහ.ඉදින් අම්මාගේ වියෝව ඔවුන්ටද මහා ශෝකයක් විය.

විශ්ව නිසල් සමගින් මිදුලට බැස්සේ පැමිණ සිටි අය ආලින්දයේ කතාබහේ යෙදෙන හෙයිනි.

මචං කෑම සුවඳක් නම් එනවා.බඩගින්න ඩබල් වෙනවා.

නිසල් බඩ අතගාමින් සෙමින් පැවසුවේය. 

ඉන්න ඉන්න ඉක්මනින් කෑම ලැස්ති කරන්නයි අම්මල ගියේ.

ඒ කතාව අසල උන් දැහැමිට ඇසේ යැයි නිසල් සිතුවේ නැත. විශ්ව " උඹට ඇත්ද?" යන බැල්මෙන් නිසල් දෙස බැලුවේය. තැන නොතැන නොබලා කියවන්නට ගොස් ලැජ්ජාවීම නිසල්ට ගාණක්ම නැත.

බඩගින්නට බඩගිනී නොකියා වෙන මක් කියන්නද නංගී, නේද ? 

නිසල් ගණනකට නොගෙන සිනහසුනේය.ආලින්දයේ උන් කිහිපදෙනා සමග කතාකරමින් උන් පාරමී ඈත මෑත බැලුවේ විශ්ව ලා පෙනෙන්නට නොමැති හෙයිනි.ඒ දුටු දැහැමි ඇයට අතවනා කතාකලාය.

සඳ එළිය මිදුලේ ගස් අතරින් බිමට පහත්වෙයි.කලුවර ඡායා අතරින් පෙරෙන සඳ එළිය හිතට එක්කරන්නේ ශාන්තිදායක හැඟීමකි.අම්මා සිටවූ දෑසමන් වැලේ පොහොට්ටු ඇහැරෙමින් ඇති බව දසත පැතිරෙන සුවඳ කියයි.පාරමී හෙමින් හමනා සුළඟට ඉව ඇල්ලුවාය.

විශ්ව උන්නේ ඔවුන්හට පිටුපාගෙන වැට අද්දරටම ගොසිනි.පාරමී නිසල් සහ දැහැමි ට නිවසට යන ලෙස පවසා විශ්ව උන් දෙසට ඇවිද ආවාය.වියළි කොල සර සර නදින් පෑගෙන හඬට විශ්ව හිස හරවා බැලීය.පාරමී මඳ සිනහවක් දරාගෙන ඔහු අසල නැවතුණාය.

මේ වගේ ටවුන් එකකට කිට්ටු තැනක මෙහෙම තැනක් තියෙයි කියල හිතාගන්නවත් බෑ

විශ්ව පැවසුවේ යළි පරිසරය දෙසට නෙත් හෙළමිනි. ඇස් කොණට ළං ළං ව පෙනෙනා ඇගේ රුව විඳගනිමින්ම ඔහු ඈත වෙල් යායට ඔබ්බෙන් අහසෙ පායා ඇති සඳවත දෙස බලාඋන්නේය.

මෙතන මට හම්බ වුණේ අහම්බෙන්. අම්මයි මාලනීයි හොරණ දාල මට ක්වාටර්ස් ඉන්න හිතුණෙ නෑ...ඉතින් ඒ නිසා මේ ගෙවල් හොය හොය යද්දි මේ ගේ අපිට හම්බ වුනේ..ඒත් අවුරුද්දකට කිට්ටු කාලයක්නෙ අපිට මේකෙ එකට ඉන්න ලැබුණෙ.දැන්නම් මේ ගෙවල් මොකටද කියල හිතෙනව

පාරමී දොඩමලු වූවාය.

මේක විකුණන්න නම් එපා.මනුස්සයෙක් ට ඉන්න හිතෙන වටිනම තැනක් මේක.කොච්චර හිත නිවෙනවද මෙහෙම තැනකට ආවම. අපි කොන්ක්‍රීට් මැදුරුවල හිරවෙලා..ඉතින් අපිට මෙන්ටල් ඉෂූස් එන එක අහන්න දෙයක්ද ?

විශ්ව තමාටම මෙන් කියාගත්තේය.

මේ කරදර අස්සෙ මට අහන්න මතක් වුණෙත් නෑ.ඔයාට දැන් කොහොමද මිස්ටර් ජයසූරිය? 

පාරමී ඇසුවේ ඔහු දෙස බලමිනි.

I prefer if you calling me Wishwa.

ඔහු ඇසූ පැනයට පිලිතුරු දීම පසෙක ලා පැවසුවේ පාරමී ගේ මේ ඇමතුම බෙහෙවින් සිතට යාන්ත්‍රික වූ හෙයිනි.

මොන මගුලක් ද බං.හැම තිස්සෙම මිස්ටර් ජයසූරිය කියනව.මට මල පනිනව. මෙච්චර පැහැදිලි නමක් තියන එකේ ඒකෙන් කතාකරන්න බැරිද ?

පෙර දවසක විශ්ව නිසල් හා කියෙව්වේද මේ ඇමතුම් ස්වභාවය ගැනය.

අම්මපා ඕයි, මම එදා මිස්ටර් පෙරේරා කියල චැනලින් එකේදි මට කීවම වටපිටත් බැලුණා වෙන කා හරි චැනල් රූම් එකේ ඉන්නවද කියලත්. ඔහොම තමා බං ඉතින් නම්බුදීලා කතාකරන එකත් ගැම්මක්නෙ හා නැද්ද ?

නිසල් මහ හඬින් සිනාවූයේ එසේ කියමිනි.

පාරමී විශ්වගේ ඒ ප්‍රකාශයට සිනාවී පිළිතුරු දුන්නාය.

වෙන රටවල් වලදි නම් අපි කාටවුනත් ෆස්ට් නේම් එකෙන් තමා කතාකලේ.ඒත් මේ ලංකාව අමුතුම රටක් වෙලානෙ.ඉතින් මෙහෙ ආවම මාත් ඒවට ගැලපෙන්න වෙනස්වුණා.

විශ්ව ඉවත බලා ගෙන හිස වැනුවේ පාරමී කියූ දේවල යම් සත්‍යයක් ඇති හෙයිනි. 

ඔයාගෙ බෙහෙත් ඉවරයි නේද දැන්? ආයෙ බෙහෙත් ඕනනෑ. 

පාරමී විශ්ව සමගින් නිවෙස වෙත ගමන් කරමින්ම පැවසුවාය.

අපොයි ඔව් මට ආයෙ බෙහෙත් එපා.මට කවුන්සලින් කරන්න කැමතිත් නෑනෙ ඉතින්. 

කුඩා කොලුවෙක්ගේ බඳු නෝක්කාඩු ස්වරයට පාරමී හිනැහුණේ බිම බලාගෙනය.

මදැයි මාත් ඉඳල ඉඳල ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න හිත හදාගත්ත.

මේ කියවිල්ල නම් ඉවරයක් නැති පාටය.විශ්ව යනු මේ අන්දමින් කතාකරන්නෙක් යැයි පාරමී සිතුවේද නැත.එහෙත් ඇය ඔහුගේ වදන් වලට පිළිතුරු දුන්නේද නැත.මුව පිපුණු මඳ සිනාවෙන් යුතුවම නිහඬ බව රකින ඇය දෙස විශ්ව මඳක් බලාඋන්නේය.

                                            

                                                                *** 

රාත්‍රී ආහාර ගත් පසු නිසල් විශ්ව වෙත පැමිණියේ... 

"යමන් දැන්වත් ගෙදර .උඹ මෙහෙ බින්න බහින්නද හදන්නෙ අදම"

...යැයි කුටුකුටුගාමිනි.අසල කිසිවෙක් නොවූවද විශ්ව සිය මිතුරාගේ නොනවතින කියවිල්ල ගැන බොහෝසේ නොරිස්සුම් වූයේ අනවශ්‍ය ගැටලුවක් ඇතිවේයැයි බයෙනි.

"කට කට ..ටිකක් තැන නොතැන බලල කියවපන්කො බං. නැත්නම් යන්න කලින් අපිව එළවයි.යමු යමු කොහොමත් දැන් රෑවෙලා."

පාරමී සහ දැහැමි ආලින්දයේ කතාබහක යෙදී උන් තැනට යමින් විශ්ව පැවසීය.ඔවුන් අසලට එත්ම අසුනෙන් නැගී උන් පාරමී ගේ මුහුණේ ද නොනැසුණ මඳ සිනහවක් විය.

"අපි එහෙනම් ගිහින් එන්නම් ඩොක්ටර්"

විශ්ව පැවසූවේ පාරමී දෙස බලාගත්වනමය.

"මොකක්ද විශ්ව අයියා.මේ හොස්පිට්ල් එකවත් ඔයා පාරමීගෙ ලෙඩෙක්වත් නෙවේනෙ මෙතන.හැම තිස්සෙම ඩොක්ටර් ඩොක්ටර් ගාන්නෙ.ඒ ළමයට නමක් තියෙනවනෙ."

දැහැමි පැවසූ දෙයට පාරමී ද හිස වැනුවාය.

"මං ඉතින් කොහොමත් බෙහෙත් ගන්න ආව ලෙඩානෙ නංගි.ඩොක්ටර් මාව බාරගත්තෙ නෑනෙ."

විශ්වගේ මේ කතාව නවතින පාටක් නැත. පාරමී මඳ රැවුමකින් ඔහු දෙස බැලුවාය.ඒ රවා බැලීමට විශ්වගේ මුහුණේ ඇඳුණේ දඟ සිනහවකි.පාරමී නිහඬව ඉවත බලා ගත්තාය.

"එහෙනම් අපි යනවා.ගුඩ් නයිට් දෙන්නටම.යමු නේද මචං"

විශ්ව නිසල් දෙස බලමින් ඇසීය.

"හෙට උදේ ඔෆිස් යන ගමන් මේ පැත්තෙන් පුළුවන් නම් එන්න.උදේ දානය අපි පන්සලට සකස් කරල දෙන්නෙ.හැබැයි ආවොත් කන්න දෙනවා."

දැහැමි පැවසුවේ මිතුරන් දෙදෙනාටමය.

"හෙට එන්න වෙන එකක් නෑ නංගි. අපි දෙන්නට හෙට නුවර යන්න වෙනවා පොඩි වැඩකට."

විශ්ව පැවසුවේ නිසල්ගේ දෑස් විශ්මයෙන් ලොකු කරමිනි.
මම දන්නෙ නැති නුවර ගමන මොකක්ද යකෝ...නිසල් සිතින් සිතමින් දෙමිතුරියන්ගෙන් සමුගත්තේය.

"මොකක්ද බං නුවර ගමනක් කීවෙ...අපි එහෙම එකක් දාගත්තා ද?"

වාහනය මාවතට පිවිසි පසු නිසල් විශ්වගෙන් ඇසුවේ සිය මතකය පිරික්සා එසේ යොදාගත් ගමනක් නොවූ හෙයිනි.

"නෑ ඒක බොරුවක්.මචං මෙහෙමයි, එයාල එන්න කියන පලියට අපි එහෙම යන්නම ඕනනෑනෙ.පාරමීත් එක විදියක මනුස්සයෙක්.උඹට ඒක පේනවනෙ.අපි ඕනවට වඩා පැනල දෙන්න ඕන නෑ..."

විශ්ව පැවසූවේ කල්පනවේ යෙදෙමින්ම් වාහනය ප්දවන අතරේදීය.

"ඒකත් ඇත්ත , පාරමී හැදුණ විදිය බැලුවම එයාව වැදගත් තාලෙට අම්මා හදල තියෙන්නෙ.මෙච්චර කල් නොහිටි පිරිමි යාලුවො එකපාරට කඩා පාත්වෙනකොට ඔය ඇවිල්ල උන්න අය උනත් වරදවා හිතන්න පුළුවන් තමා"

නිසල් සිය අදහස එක්කලේය.
              
"හොඳ කොල්ලො දෙන්නා මොක උනත්..."

ඔවුන් පිටත්ව යන දෙස බලා උන් දැහැමි පැවසුවේ තමන්ටම මෙනි.පාරමී ඒ නෑසුණාක් මෙන් මාවත දෙසටම යොමුවූ නෙතින් බලා උන්නාය.විශ්ව ජයසූරිය යනු ඇත්තෙන්ම විශේෂ පුද්ගලයෙකි.ඔහු තමාට හමුවූ දා පටන් අද වනතුරු හමුවූ අවස්ථා පාරමීට හොඳින් මතකය.මානසික අසමතුලිත භාවයකින් යුතුව තමාගෙන් ප්‍රතිකාර ගන්නට ආ විශ්ව ජයසූරියත් මේ අද උන් ඔහුත් එක් අයෙකු නොව දෙදෙනෙකු යැයි සිතෙන තරමට හැසිරීම සහ සිතුම් පැතුම් වෙනස් ය.

"උඹ ලොකු කල්පනාවක.."

දැහැමි පාරමී ගේ උරහිසට අත තබා පැවසුවාය .වෙන මොහොතක වුණා නම් විහිලුවක් කරන්නට පසුබට නොවන මුත් මේ අම්මාගේ වියෝවේ තුවාල වල වේදනාව තවම ඇති කාලය හෙයින් දැහැමි ඉතා ඉවසීමෙන් වචන හැසිරුවාය.

"මම කල්පනා කලේ විශ්ව ගැන.එයා හරි වෙනස් මනුස්සයෙක්.මම එදා උඹට කිව්වනෙ නහරයක් පුපුරළා මැරෙන්න යන තරම් කේන්ති ගන්න කෙනෙක් කියල. ඒ වගේම මාරම ආවේගශීලියි . ඒත් මේ දවස් වල වෙනම මනුස්සයෙක් වගෙ හැසිරුණෙ"

පාරමී පැවසුවාය.සිය යෙහෙළිය පිරිමි අයෙක් ගැන මෙසේ තමා සමග කතාකලාම වෙන්නට ඇත.ඔහු ඇයට යම් ප්‍රමාණයකින් හෝ විශේෂ බවක් දැහැමිටද වැටහෙමින් තිබුණි. 

"විශ්ව අයියාට ඔහොම වුණේ එයාගෙ අම්මා නිසයි කියල මට හිතුණෙ අපේ අම්මලා කියපු ඒවා ඇහුවම."

දැහැමි පැවසුවාය.පාරමී ට සිහිවූයේ පසු දවසක නිසල් තමා හමුවට විත් පැවසූ දෑය.එවන් දරදඬු පාලනයක උන් විශ්ව අද මෙසේ හැසිරීම අමුතු දෙයක් නොනොවන බව පාරමී අත්දැකීම් තුළින්ම ඇදහුවාය.

දරුවකුගේ පෞරුෂය ගොඩනැඟෙන්නේ නිවස තුලිනි.මූලිකවම දරුවකුගේ අභ්‍යන්තර සහ බාහිර සංවර්ධනයට නිවෙසේ පරිසරය සහ නිවැසියන්ගේ චර්‍යා රටා මහා බලපෑමක් කරයි.පෙර පාසලකට හෝ පාසලකට යන්නට පෙර දරුවකු නිවසේ ගතකරන කාලය තුල ඔවුන් ගේ මුල් අත්‍තිවාරම දැමීම දෙමවුපියන් විසින් බොහෝ ප්‍රවේශමෙන් කල යුතුය . තමන් අතින් සිදුවන ඉරිතැලීම් දරුවාගේ අනාගත දිවියටම බලපාන අන්දම සමහර දෙමවුපියන් වටහා ගන්නේ නැත.

"විශ්ව ගෙ මුල් හැසිරීම් එක්ක බැලුවම මේ දවස් කීපයෙ එයා හැසිරුණ විදිය හුඟක් වෙනස්.මාරම වගකීමෙන් අවබෝධයක් ඇතුව ඉවසීමෙන් අනෙක් අයට ප්‍රතිචාර දැක්වුවෙ.ඇත්තෙන්ම එයාට උදව් කළාට කමක් නෑ කියල මට හිතෙනවා."

පාරමී කල්පනාවේ ගැලෙමින්ම පැවසුවාය.

"ඒක ඇත්ත බං. මොකක් උනත් මනුස්සයෙක් ගොඩගන්න එකනෙ වටින්නෙ.අනික එයාගෙ විදියට අනුව ලේසියෙන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න කැමති වෙන්නෙ නැතුවලුනෙ උන්නෙ.ඔය උඹ ගාවට ආවට"

දැහැමි පැවසුවේ පාරමීගේ අදහස අනුමත කරමිනි.

"ඔච්චර විස්තර කොහොමද දන්නෙ උඹ ?මේ ටිකට..."

දැහැමි දෙසට හැරුණ පාරමී ඇසුවෙ නලලතද රැලිකරගනිමිනි.

"අර රෑට කන්න කලින් අපි මිදුලෙ ඉද්දි නිසල් අයියා මා එක්ක කතාකලේ විශ්ව අයියා ගැන.ඒ වෙලාවෙ තමයි ඕවා කිව්වෙ.මිනිහට උඹව මාරම ට්‍රස්ටින් ලු.ට්‍රීට්මන්ට් ගන්න කැමති වුනේ උඹෙන් විතරමයි කීවා.ඒ නිසා අපි ටිකක් බලමුනේද ?"

"නිසල් තව මොනවද කිව්වෙ?"

කුතුහලය මැඩ ගත නොහැකිව පාරමී ඇසුවාය.

"ඔය අම්මාගෙන් එන ප්‍රෙශර් එක වැඩි දවසට මිනිහා ඔෆිස් එකේ යකාම නටනවලු.අන්තිමට ගිහින් නවතින්නෙ පබ් එකකලු.බීලාම නාස්තිවෙයි කියල බයෙන් උන්න කාලෙකලු ඔයා ගාවට එක්ක ආවෙත්..."

දැහැමි පැවසූ කාරණා පෙරදවසක නිසල් තමාහටත් පැවසූ බව පාරමී ට සිහිවිය.

"ඊට වඩා ප්‍රශ්න ගොඩක් විශ්වට තියනව ඩොක්ටර් , ඒත් ඒවා අතිශය පෞද්ගලික කාරණා.ඒ නිසා මට ඒවා කියන්න බෑ.නමුත් ඩොක්ටර් එයාට කවුන්සලින් කරන්න ගත්තොත් විශ්ව අනිවාර්යයෙන් ඩොක්ටර්ට ඒවා කියනව"

එදා නිසල් පැවසු බවද පාරමී ට මතකය.කෙසේ වතුදු නිසල් යනු විශ්වට සිටිනා සමීපතම මෙන්ම විශ්වාසවන්තමද කෙනා බව එදින පාරමී වටහාගත්තාය.

"හ්ම්ම්....බලමුකො.."

පාරමී හිස දෙපසට මඳක් සලා නැගී උන්නේ ගෙතුළට යාමටය. ඈතින් හමා එන දෑසමන් සුවඳ තවමත් ආලින්දයේ සැරිසරමින් පවතිනු ඒ මොහොතේත් ඇයට දැනුණි.

                                                                    *** 

යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)


Friday, March 3, 2023

15 - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 

15  වෙනි කොටස 

14 වෙනි කොටසට මෙතනින් 



විශ්ව ආපසු නිවසට පැමිණියේ රාත්‍රී දොලහ පමණ වන විටය.හවස දෙක තුන වූවෙලේ පටන් පාරමීගේ මවගේ මරණය සම්බන්ධ කටයුතු වල යෙදුණ හෙයින් ඔහුට දැඩි වෙහෙසක් දැනුනි.එහෙත් සිත යට කුමක් හෝ හැඟීමක් පිනුම් ගසන්නා සේ දැනේ .....

මූනෙ තියන මනමාල පාට

නිසල් එන අතරමගදී සිනහසෙමින් පැවසුවේය. මෙතුවක් වේලා විහිලුවක් හෝ කරගන්නට නොහැකි වුවද සිය මිතුරාගේ සිතට ඇතිව ඇති වෙනස ගැන ඔහුට සතුටක් දැනුණි.

යකෝ මලගෙයක් අස්සෙ කියන කතාද ඔය ? 

විශ්ව නිසල් වෙත අත මිට මොලවා පහරක් ගසන්නට තැත් දරමින් පැවසීය.

මලගේ නිසා තමයි මස්සිනා මෙච්චර වෙලා හරි කටවහන් උන්නෙ දැන් ඉතින් උඹයි මායි විතරනෙ .කාට ඇහෙනවද මොනව කීවම.

නිසල් හිනැහුණේ එසේ කියමිනි.

මොනව වුනත් පව් බං. අම්මා එක්ක ලොකු බොන්ඩ් එකක් ඩොක්ටර් ගෙ තිබිල තියනව. ඔය උන්න ටිකට මට ඒක තේරුන.අපේ අම්මල අපෙන් ඈත්වෙන්නෙ ඒ අයගෙ චර්‍යාවල හැටියට බං. ඒත් ඩොක්ටර් ගෙ අම්මා ගැන අර දැහැමි නංගී ගෙ අම්මා කිව්ව දේවල් වලින් මට උනත් අනේ මටත් එහෙම අම්මා කෙනෙක් උන්න නම් කියල හිතුණ.

ඒක නම් ඇත්ත බං.අපේ ළඟම ඉන්න අපේමයි කියන මිනිස්සු කිසිම දාක අපිව තේරුම් ගත්තෙ නෑ.ඒ වගේ වෙලාවට තමා පාරමීගේ අම්මා වගේ අයගෙ අගය අපිට වුණත් දැනෙන්නෙ.

නිසල්ද ඒ කතාව අනුමත කරමින් පැවසීය.

මොක වුණත් බං දොස්තර නෝනා එක්ක උඹේ තියන ලෙඩා දොස්තර සම්බන්ධෙ නම් වෙනස් අතකට හැරෙයි වගෙ කියල මට පේන්න ගන්නවා

නිසල් කතාව අන් අතකට හරවමින් පැවසීය.

උඹට පිස්සුද ? ඕවා හිතන්නවත් එපා .අපි දෙන්නව කුදලන් ගිහින් අංගොඩම ඇඩ්මිට් කරාවි.

විශ්ව සැහැල්ලු ස්වරයෙන් හිනැහෙමින් කිව්වද ඔහුගේ හිතට දැනුනේද පාරමී ඔහුගේ බසට අවනතව ආහාර ගන්නට ගිය මොහොතය.හිතුවක්කාරකමට වඩා ඇයට වූ අසරණ භාවය හෙයින් කෑම ප්‍රතික්ෂේප කළද තමාගේ ඒ වදන් හමුවේ ඇය නම්‍යශීලී වූ අන්දම ඔහුට ගෙන ආවේද සියුම් සතුටකි.

              

පාරමී නැවත රෝහල වෙත පැමිණියේ මාලනී ද සමගිනි.නිල නිවසේ සතියේ දින කිහිපය සිටීම වඩා උචිත යැයි ඇය මුලින් තීරණය කළාය.

" එක පාරටම ගෙවල් මෙහෙම වහල දාල යන්න හොඳද චූටි මැනිකෙ, අඩුගානෙ හත්දවසෙ දානෙ වත් දෙනකල් ?" මාලනී ඇසුවේ එන අතරමගදීය .

මට මාලනි ඇන්ටිව ගෙදර තනියම දාල එන්න බෑනෙ.අපි එහෙනම් හවස ආපහු යං මේ ටිකේ. පස්සෙ සතියෙ දවස් ටික මෙහෙ ඉඳල සති අන්තෙට යං එහෙයි මහගෙදරයි.

පාරමී අවසානයේ එසේ තීරණය කළාය.

වාට්ටුවට ඒමට පෙර රෝහල් අධ්‍යක්ෂක වරයා හමුවූ පාරමී සිදුවූ කාරනා ඔහුට පැහැදිලි කලේය.

බොහොම කණගාටුයි ඩොක්ටර් . ඒත් අපි ජීවිතේ ගැන කාටත් වඩා හොඳින් දන්න අයනෙ. Be strong . මොකුත් අවශ්‍ය දෙයක් තියේ නම් කියන්න.

රෝහල් අධ්‍යක්ෂක වරයා පැවසුවේය . පාරමී ඔහුට ස්තුති කොට වාට්ටුව වෙත පැමිණියේ මාලනී නිල නිවසේ නවත්වාය. 

අනේ මැඩම්, ඇයි නිකමටවත් අපිට නොකිව්වෙ .ලොකු නෝන මටත් කොච්චර නම් හොඳට සලකපු කෙනෙක්ද.?අවසන් ගෞරවයවත් දක්වන්න එන්න උනෙ නෑනෙ අපිට 

සුනන්දා දෑසේ කඳුලු පුරවාගෙන පැවසුවාය.සති දෙකතුනකට වරක් පාරමීගේ නිවසට ඇවිත් යන සුනන්දා අම්මා සමග බොහෝ වේලා කතාබහේ යෙදෙන්නට කැමති වූවාය. ආපසු යනවිට අම්මා වැවූ එළවළු කූඩයක්ම ඇයට තෑගි ලැබේ. ඔවුන් අතරේ ගොඩනැගී තිබුණේද අපූරු මිත්‍රත්වයකි.

අම්මගෙ කැමැත්ත තිබුණෙ ෆැකල්ටි එකට එයාව දෙන්නනෙ සුනන්දා.ඉතින් අපි ඒ විදියට ඒ දේවල් කලා. මොනව කරන්නද තේරෙන්නෙ නෑ සුනන්දා.මගෙ ජීවිතේ ම හිස් වුණා වගෙ.

පාරමී අසුනට බරවෙමින් පැවසුවාය.සේවයට පැමිණි පසු කෙතෙක් සිත එකඟ කරගන්නට තැත් කළද...අම්මාගේ මතකය ඉල්පි ඉල්පී එන්නේ දියේ ගිල්වූ රබර් බෝලයක් උඩ එන්නා පරිද්දෙනි.අම්මා නැතැයි සිතට තවමත් දැනෙන්නේ නැති තරම් ය.

ජීවිතය යනු දීර්ඝ වන්දනාවකි.චාරිකාවකි. ඒ ගමන ආරම්භයේ සිටම අප හා එක්වන්නන් බොහෝය.එහෙත් ඒ හැමටම අපෙන් මිදෙන්නට දිනක් එයි.සෙසු දුර අප කෙසේ හෝ තනි ව යායුතුය. ලෝ දහම එයයි.


                                                                    *** 

දිනගණනාවකට පසු වාට්ටුවට ආ බැවින් පාරමී මොහොතකට සියල්ල මනසින් බැහැර කොට රෝගීන් පරික්ෂාවේ යෙදුණාය. ඇතැම් රෝගීන් අලුතින් ඇතුල් වී ඇත.තමා නොසිටි දින කීපයේ රාජකාරි ආවරණය කල වෛද්‍යවරයා වෙත බලතල පැවරීම නිසා වාට්ටුවේ කටයුතු ගැටලුවක් නොමැතිව සිදුව ඇත.

ඩොක්ටර් රහල් , ඩොක්ටර් චාපා පොඩ්ඩකට ස්ටාෆ් රූම් එකට එන්න.

පාරමී සිය කාර්‍යාල කාමරය වෙත පිවිසියේ සිය වෛද්‍ය දෙපළට කැඳවමිනි .

පහුගිය දවස් කීපයේම මට වාට්ටුව ගැන ලොකු අවධානයක් දෙන්න බැරි වුණා.ඉතින් බ්‍රීෆින් එකක් දෙන්නකො.ඔයාල දෙන්නගෙ sides ගැන.ඔක්කොම ඕනනෑ.ප්ලෑන් චේන්ජ් වුන ඒවායි අලුත් ඇඩ්මිෂන් ටිකයි පොඩ්ඩක් කියන්නකො.

පාරමී අසුනට බරවෙමින් පැවසුවාය.

වෛද්‍යවරුන් දෙදෙනා සිය රෝගීන්ගේ එක් එක් ගැටලු සහ ප්‍රතිකාරාත්මක තත්වයන් ගැන වෙන වෙනම සඳහන් කලහ.වෛද්‍ය චාපා නික්ම ගිය පසු රහල් මඳක් රැඳුණේ ප්‍රසංගි ගැන කතාකරන්නට බව පාරමී වටහාගත්තාය.

"කොහොමද රහල්, ප්‍රසංගි ගෙ තත්වය දැන් ?" 

පාරමී ඇසුවේ පැහැපත් මුහුණැතිව ඉන්නා තරුණ වෛද්‍යවරයා ගෙනි.

"මැඩම් ප්‍රසංගි මාව අඳුනගත්තා. හැබැයි මොකුත් කලබලයක් කලෙ නෑ."රහල් පැවසුවේ සතුටිනි.

" මම එයාව assessment එකකට ගත්තා ගිය සතියෙ. ඒ වෙලාවේ එයා ඔයාට කොහොමද රහල් කියල මගෙන් ඇහුවා" රහල්ගේ මුහුණේ වූයේ මැඩගන්නට අපහසුතරමේ ප්‍රීතියක් බව පාරමී ට වැටහුණි.

"එතන ඒ වෙලාවේ වෙන කවුද උන්නෙ? "පාරමී ඇසුවාය. 

"ස්ටාෆ් අය උන්නෙ නෑ මැඩම් කවුරුවත් .හැබැයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කීපදෙනෙක් උන්නා.එයාලට ඒක වෙනසක් උනේනෑ" රහල් පැවසුවේ පාරමී වෙත යොමුවූ නෙතින්මය.

"හොඳයි රහල් ඒක හොඳයි. කිසිම වෙලාවක female patient කෙනෙක්ගෙ assessment එකක් කරනකොට patient විතරක් තනිවම ගන්න එපා .මොකද ethics කියලා දෙයක් තියෙනවානෙ.ඔයා දන්නවනේ මේ පේෂන්ට්ස්ලාගේ මානසික තත්ත්වය කියන්නේ අපේ සාමාන්‍ය තත්ත්වයට නොවෙයි .ඒ අය සමහරක් වෙලාවට අපි හිතන්නෙවත් නැති චෝදනාවන් කරන්න ඉඩ තියෙනවා .ඔයා දන්නවනේ ඔය abuses වගේ දේවල් . ඒ වගේ complaints එන්න පුළුවන් නොහිතන විදියට.ඒ නිසා හැමතිස්සෙම පේෂන්ට් කෙනෙක් බලනකොට supportive staff නැත්තං student කෙනෙක් හරි ලඟින් තියා ගන්ඩ ඕනේ .

පාරමී රහල්ට කියාදුන්නේ රීතිමය කාරණයකි . මානසික ගැටලුවලින් පෙලෙනන බොහෝ රෝගීන් සිටින්නේ පියවි මානසිකත්වයකින් නොවේ.එහෙයින් ඇතැම් විට ඔවුන් වෙතින් සදොස් කාරණා ප්‍රකාශ වන්නට පුළුවන.විශේෂයෙන්ම අපචාරී කාරණා සම්බන්ධව බොහෝ පැමිණිලි ඉදිරිපත් වන්නේ මේ බඳු පූර්ව ආරක්ෂණ ක්‍රම නොගත් විට ය.

සිය ප්‍රධාන වෛද්‍යවරියගේ එම උපදෙස් දීම රහල් ඉත සිතින්ම පිළිගත්තේය .නවක වෛද්‍යවරයෙකු හට මෙම උපදෙස් මාලාවන් ඉතා වැදගත් වන බව ඔහු දැන උන්නේය .

හරි ඉතින් ඊට පස්සේ මොකද වුණේ

පාරමී ඇසුවාය.

ඊට පස්සේ ලොකු දෙයක් නම් කිව්වේ නැහැ මැඩම් . මම පොඩි පොඩි කාරණා එයා ගෙන් ඇහුවා. තාම එයාගෙ memory ඉෂූ එක තියෙනවා. ටිකෙන් ටික එයාට මතක් වෙනවා වගේ පේනවා.

හොඳයි ඔයා වෝඩ් එකට යන්න .අපි සති දෙකකට සැරයක් තෝරගත්තු patient ලා කිහිප දෙනෙක්ගේ treatment ප්ලෑන් එක වෙනස් කරන්ඩ ඕනේ.චාපා එක්කඑකතුවෙලා ඒක සූදානම් කරගන්නකො.

පාරමී ඔහුගෙන් සමුගෙන නිලනිවස වෙත පියමැන්නාය.මෙතුවක් කල් දිවා අහර ගන්නට තිදෙනෙක් උන් ලෝකයේ දැන් ඉන්නේ දෙදෙනෙකි. අම්මා නැති අඩුව හුදෙකලා වෙන හැම මොතකදීම ඕනෑවටත් වඩා සිත පාරයි.මාලනී කුඩා මුලුතැන්ගේ පුටුවක හිඳගෙන බලාඋන්නාය.

බඩට බත් කටක් වැටෙන්නෙ කොහොමද චූටි මැණිකෙ, ලොකු මැණිකෙ මතක් වෙනකොට. කන්න ගන්න කලින් මාලනි ඔයාත් මෙහෙම්ම කාල ඉන්නකො කියනව මට ඇහෙනවා ඇහෙනවා වගේ 

කඳුළු පිරි දෑසින් සුසුම් හෙළමින් මාලනි පැවසුවාය . රෝගීන් අතර රෝහලේ දී කෙතරම් කාර්යබහුල වුවද නිවසට පැමිණි පසු අම්මා පිළිබඳ මතකය හිත තදින් පාරවයි. පාරමී ගත් බත් පත කටවල් දෙක තුනක් පමණක් කා පසෙකට කර කාමරයට වැදුණය.

                                                                      *** 

දින දෙක තුනක් ගතවී ගිය ද පාරමී රත්මල්ගොඩ ගොඩ සම්බන්ධව ඉන්පසු කිසිදු තොරතුරක් ලබා ගැනීමට විශ්වට හැකිවූයේ නැත . දැහැමි අමතා ඇයගේ තතු විමසන්නට සිතුවද එයටද සිත මැලි වෙයි . ඇයගේ දුරකතන අංකය කිහිප වතාවක් අංකනය කළ ද ඇමතුමක් ගන්නටවත් හිත පසුබට වෙයි.

මොකෝ උඹ නිකං ගලේ පහරපු බළලා වගේ එහෙට මෙහෙට ඇඹරෙන්නේ 

නිසල් සිය මිතුරා ගේ හැසිරීම බොහෝ වේලාවක් නිරීක්ෂණය කළේය .ඔහු විටෙක කාර්යාල කාමරයේ එහෙට මෙහෙට ඇවිදිමින් සිටී .තවත් විටෙක ජංගම දුරකතනය අතට ගෙන නැවත එය ආපසු තබයි .හිසකේ අතරට ඇඟිලිතුඩු යවා අදිමින් කල්පනාවේ යෙදෙමින් සිටී .

නෑ නෑ එහෙම මොකුත් නෑ .

විශ්ව කලබලයෙන් පිළිතුරු දුන්නේය .

මොකද නැත්තේ දැන් මම විනාඩි හතලිස්පහක් තිස්සේ උඹේ දිහා බලාගෙන ඉන්නේ. උඹ කහබිලිය ගාලක් දිගේ ඇවිදිනවා වගේ පුදුම විදියට නලියනවා . කියපන් මොකද්ද කෙරෙන්න ඕන 

නිසල් පැවසුවේ සිය මිතුරාගේ ආසනයට යාබද ආසනයෙන් හිඳ ගනිමිනි. 

තමා පිළිබඳ සියලුම දේ දන්නා , එමෙන්ම සියලු කාරණාවල දී තමා හා අත්වැල් බැඳ ගන්නා සිය මිතුරාට සඟවන්නට තමාගේ ජීවිතයේ කිසිම දෙයක් නොමැති බව විශ්ව දැන උන්නේය .

එදායින් පස්සේ මොකක් උනාද කියලවත් දන්නේ නැහැනේ බං ..කෝල් එකක් දෙන්නත් හිතෙනවා .ඒත් ආයෙත් කරදරයක් වෙයිද කියලා හිතෙනවා. 

විශ්ව පැවසුවේ සිය මිතුරා දෙස ආයාචනාත්මක දෑසින් බලමිනි .

අපිට ආයෙ චැනලින් කතාව කියන්න බෑනෙ බං මේ වෙලාවේ .මොකද තාම හත්දවසේ දානේ වත් ....ඒයි දැනුයි මතක් වුනේ හෙට නේද හත් දවස වෙන්නේ ...යමුද අපි ඒ පැත්තෙ ?

නිසල් කතාව මැද්දේ අසුරු සැණක් ගසමින් පැවසීය 

එහෙම යන්න පුලුවන්ද බං .එන්න කියන්නේ වත් නැතුව .බණකට දානෙකට එහෙම ආවට ගියාට යන්න බැහැනේ .

විශ්ව පැවසුවේ කල්පනා බරිතව ය .

මේ අතර පාරමි සේවය නිමවී මාලනී සමඟ නිවසට පැමිණියේ පසු දින යෙදෙන හත් දවසේ බණ සහ දානයට අවශ්‍ය දේවල් ද රැගෙනය .

චූටි මැණිකේ මං මේ අහන්නයි උන්නේ. අර එදා උදව් කර මහත්තුරු දෙන්නට බණට දානයට එන්න කිව්වා නම් නේද හොඳ ..අපිට ඒ වෙලාවේ වෙන කවුරුත් හිටියේ නෑනේ චූටි මැණිකේ . අනික කියන්න කියලත් අපි කාට කියන්නද දැහැමි නෝනලයි ගෙදර අයයි අපියි විතරයි නේ .

තමන්හට අමතකව යන්නට විය දෙයක් මාලනී විසින් සිහිපත් කරදීම ගැන පාරමී ස්තුති බැල්මෙන් ඇය දෙස බලා උන්නාය.

මාලනී ඇන්ටි කියලනකල් මට ඒක මතක් වුණෙත් නැහැ. අඩු තරමින් ඊට පස්සේ මට කෝල් එකක් දීලා ස්තුතියි කියන්නවත් බැරි වුණා. ඒ මිනිස්සු හිතන්න ඇති මං මහා ගුණමකුයි කියලා.මම කෝල් එකක් දෙන්නම් .

පාරමී නිවසට විත් වැරන්ඩාවේ අසුනක හිඳ ගත්තාය .නිසල්ගේත් විශ්වගේත් දුරකථන අංක දෙකම තමා සතුව ඇතත් කාට අමතන්න දැයි ඇය මොහොතක් කල්පනා කළාය.අවසානේ ඇය විශ්වගේ අංකය සිය ජංගමයේ සනිටුහන් කළාය. 

කාර්යාලයෙන් පිටත්ව යන්නට මොහොතකට සිය ජංගමය නාද වනු දැනී විශ්ව මොහොතක් නතර වූයේ නිසල්ටද අතින් නවතින ලෙස සන් කරමිනි .

ජංගමයේ මුහුණතේ සනිටුහන් වන ඒ නම දුටුවිට විශ්වගේ මුහුණ අපූරු සිනහවකින් එළිය විය .නිසල් සිය මිතුරාගේ මුහුණේ ඇතිවූ ක්ෂනික ආලෝකය දැක වහා එතැනට ආවේය .ජංගමයේ මුහුණත ඔහුට පෙන්වමින්ම විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේය 

හෙලෝ මිස්ටර් ජයසූරිය, මම මේ කතා කරන්නේ පාරමී ...පාරමී රත්මල්ගොඩ.මේ වෙලාවේ කතා කරන්න පුලුවන්ද දන්නේ නැහැ

හෙලෝ .ආ .ඔව් doctor කියන්න .

I am really sorry mr. Jayasuriya.
මම ආපහු වැඩට ගිය නිසා හුඟාක් බිසි වුණා .ඔයාලට ආපහු කතා කරන්නවත් මට පුළුවන්කමක් වුණේ නැහැ.

පාරමීගේ හඬෙහි වූ පසු තැවිල්ල විශ්ව ක්ෂණයකින්ම වටහා ගත්තේය.

ඒකට කමක් නැහැ ...අපි දන්නව ඩොක්ටර් බිසී කියලා .ඒකයි කෝල් එකක් නොදුන්නේ අපිත්.. 

විශ්ව ආයාසයෙන් වචන එකතු කර ගත්තේය 

මම මේ කතා කලේ පොඩි ආරාධනයක් කරන්නත් එක්කයි .හෙටට අම්මා නැතිවෙලා සතියක් වෙනවා .ඉතින් හෙට රෑ අපේ ගෙදර බණයි ඊළඟ දවසේ උදේ දානයයි දෙකම තියෙනවා .අපිට මේ වෙලාවේ ආරාධනා කරන්න කවුරුත් නැහැ ...ඔය දෙන්න අපිත් එක්ක මේ අමාරු වෙලාවෙ දිගටම හිටපු දෙන්නා ඒ නිසා ..පුළුවන්නම් බණටයි දානයටයි පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා ආරාධනා කරන්නයි මම ගත්තේ. 

පාරමීගේ ඇමතුම ගතවෙන තත්පරයක් තත්පරයක් පාසා විශ්වගේ මුහුණේ ඇතිවන සිනහව නිසල් බලා උන්නේ බොහෝ සතුටිනි.සිය මිතුරාගේ ජීවිතයේ පැහැදිලි වෙනස් කමක් ඇති වෙන බව ඔහුට පැහැදිලිවම පෙනී යයි .

හරි doctor අපි හෙට එන්නම් ..thank you very much 

දුරකථන ඇමතුම විසන්ධි වී ගිය පසු විශ්ව සිය අත මිට මොලවා yes යැයි කෑගැසීය.

මොකද යකෝ මේ ඔෆිස් එක දෙදරන්න කෑ ගහන්නේ...ඇයි මොකද ඩොක්ටර් කිව්වේ 
හෙට අපි දෙන්නට බණටයි දානෙටයි එන්න කිව්වා ...විශ්ව සිය මිතුරාගේ දෙවුරට දෑතම තබමින් පැවසීය. 

අප්පට සිරි අපි මෙහෙ ප්ලෑන් ගහනකොට එහෙන් ඉන්විටේශන් එකත් ඇවිල්ලනෙ....යමං යමං...බණ ඇසිල්ල කෙසේ වෙතත් උඹට ඩොක්ටර් ව බලාගන්නවත් බැරියැ...
නිසල් සිනහවෙමින් පැවසුවේය.

                                                                            *** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින )

Thursday, March 2, 2023

14 වෙනි කොටස -හදේ කොතැනක හෝ හිඳී ඔබ

 14  වෙනි කොටස

13  වෙනි කොටසට මෙතනින්  13



දැහැමි ...අම්මා..අම්මා යන්නම ගියා.

පාරමී කැඩිකැඩී ඉකිගසමින් පැවසුවාය.එතැන උන් සෙසු අය ගැන ඇයට අවධානයක් නොවීය.දැහැමි විශ්වගේ ඇස් ඉඟියට අනුව ඇයව වත්තන් කොට ගෙන අසල වූ බංකුවක හිඳුවා ගත්තාය.

නොනවත්වා ගලා යන කඳුලු වලට ඔහේ ඉඩදෙමින් දැහැමි ගේ උරහිසට වාරු වීගත් පාරමි හෙමි හෙමින් ඉකිබින්දාය.

විටින් විට ඇය අසලට පැමිණි හෙදියන් අදාල ලියකියවිලි වලට අත්සන් ලබාගත්තද පාරමී උන්නේ සිතින් බොහෝ දුරකය.

කෙල්ලෙ අපි දැන් ඉස්සරහ වැඩ වලට මොකද කරන්නෙ.

දැහැමි මඳ වේලාවකට පසුව ඇසුවාය.හඬා ඉදිමී ගිය ඇසින් යිතුව පාරමී හිස ඔසවා යළි බිම බලාගත්තේ සුසුම් හෙලමිනි

අම්මා එයාගෙ body එක medical faculty එකට බාරදෙන්න ලියලා තිබුණෙ.ඉතින් එයාගේ කැමැත්ත ට ඒ වැඩ කරන්න ඕනනෙ මං.

පාරමී මිමිණුවේ දරාගන්නට නොහැකි වේදනාවෙනි. ඉදින් තමා වෙනුවෙන් මෙලොව උන් එකම ලේ බැම්මද තමා වෙතින් නික්ම ගොසිනි.හුදෙකලාව තනිකම මිස තමා වෙත කිසිවක්ම ඉතුරු වී නැත.

විශ්ව ජයසූරිය මඳක් ඈතට වී පාරමී දෙස බලා උන්නේ සැබෑ කණගාටුවකිනි. මේ අම්මා සහ දුව අතර තිබෙන්නට ඇත්තේ අපූරු සුන්දර බැඳීමකි.ඔවුන් ගැන කිසිවක්ම තමා දැන් නොසිටියද, මේ ඇහෙන වදන් වලින් ඒ බව තහවුරු වෙයි.නිසල් ඔහු වෙතට සමීප වූයේ ඒ මොහොතේය.

මචං අපි දැන් මොනවද කරන්න ඕනෙ.

විශ්ව දෙවුර සලා කිසිවක් සිතාගන්නට නොහැකි බව පැවසීය.දැහැමි හිස සලා ඔහුට කතාකලේ ඒ මොහොතේය. විශ්ව නිසල් සමගින් ඔවුන් වෙත ඇවිද ආවේය.

මම විශ්ව අයියට එන්න කීවා. මේ වෙලාවෙ අපිට එහෙට මෙහෙට දුවන්නවත් පිරිමි කෙනෙක් නෑනෙ බං.

පාරමී දැහැමි දෙස එක්වරක් පමණක් බලා හිස සැලුවාය.ඒ දේට කැමති හෝ අකමැති වීමට තරම්වත් තමාගේ සිතට සවියක් නැත.

ඩොක්ටර් අපෙන් මේ වෙලාවෙ කෙරෙන්න මොනව හරි තියද ?

විශ්ව ආයාසයෙන් හඬ අවදිකලේය.

පාරමී කිසිවක් නොකියා හිස සැලුවාය.

පාරමී, අපි දැන් ගෙදර ගිහින් ඕන ඩොකියුමන්ට් එහෙම අරන් ආයෙ එමු නේද? මොකද කොහොමත් මෙතනින් බොඩි එක ෆැකල්ටි යවන්න නම් ඒව ඕනනෙ.

දැහැමි සෙමින් පැවසුවේ සිය මිතුරියගේ හිස අතගාමිනි.

කා එක කා පාක් එකේ.මට ඩ්‍රයිව් කරන්න නම් බෑ.

පාරමී ගේ හඬ ඉතා වෙහෙසකර විය.

කා එක දැනට ඔහොම තියෙන්න දීලා අපි මගේ වාහනෙන් ඩොක්ටර් ගෙ ගෙදර ගිහින් එමු

විශ්ව ඇසුවේ දැහැමිගෙනි.පාරමී නිහඬවම ඔවුන්ට අවශ්‍ය දේ ගැන තීරණ ගන්නට දී බලා උන්නාය.

පාරමී වත්තන් කොට ගෙන විශ්වගේ මෝටර් රථයේ පිටුපසට දැහැමි නැගගත්තාය.නිසල් වාහනය ධාවනය කල අතර විශ්ව බර කල්පනාවක රැඳෙමින් ඉදිරිපස අසුනේ හිඳගත්තේය.

විශ්ව නිසල් වෙත අඩක් හැරී ගෙන රියෙහි අසුන් ගත්තේ එවිට පාරමී සිය ඇස් මානයට හසුවන බැවිනි. දැහැමි ගේ උරහිසට වාරුවී නෙත් පියා උන්නද ඇයගේ නෙතින් වරින් වර කඳුලි වැලක් අලුත් වෙමින් ගලා යයි.ඉකිගැසීම හා එක්ව ගැස්සෙන උරහිස් විශ්වගේ නෙත් අගට හසුවෙයි.

විශ්ව සිය නෙතු ඇගෙන් මුදාගෙන නිසල් දෙස බලා සුසුමක් හෙලීය. නිසල් ඔහු දෙස බලා යළි මාවතට නෙත් යොමු කලේය.

සිය මිතුරාගේ හදවතේ විශේෂ තැනක් මේ වෛද්‍යවරිය ගැන ඇතිවෙමින් තිබූ බව දන්නා නිසල් මේ අවාසනාවන්ත මොහොත එක් අතකට දෛවය ඔවුන් මුණ ගැස්වීමට ගෙන ආ යම් සැලසුමක්දැයි සිතුවේය .

දැහැමි ගේ මග සලකුණු වලට අනුව නිසල් වාහනය ධාවනය කලේ විශ්ව දෙස වරින් වර බලමිනි. එහෙත් විශ්ව උන්නේද බොහෝ කල්පනාබරිතවය.

වාහනයෙන් බැස ගෙතුලට පාරමී සමගින් දැහැමි ගිය පසු විශ්ව සහ නිසල් තවදුරටත් වාහනයේ රැඳුණහ.

බලපං බං හරි සිරියාවන්ත ගේ පොඩ්ඩ නේද ? සාමාන්‍යයෙන් consultant කෙනෙක් කිවුවහම අපි හිතන්නෙත් සෑහෙන ලක්ෂරි life එකක් ගත කරන අය කියලානෙ.ඒ උනාට මෙයා හරි වෙනස් කියලා මේ ගෙදර දිහා බැලුවම පේනවා.

නිසල් ගෙමිදුලෙහි එහෙට මෙහෙට ඇවිදිමින් උන් විශ්ව හට පැවසුවේය.

ඇත්තෙන්ම මේ නිවස කෙතරම් සරල සුන්දර එකක්දැයි විශ්ව කල්පනා කළේ , සිය නිවස හා සසඳමිනි. තුන් මහලකින් යුතු වූ සියලු සැප සම්පත්වලින් සපිරුණු සිය නිවසත්, අපූරු ගෙමිදුලකින් යුතුව නිසන්සලේ සැලසුම් කරන ලද මෙි නිවසත් අතර කෙතරම් වෙනසක් ඇති ද ?

ඇතැම්විට මහා සැප සම්පත් කෙතෙක් තිබුණද කිසිදු මානසික නිදහසක් නැති තමාගේ ඒ නිවහනට වඩා, මේ නිවසේ ආදරය සහ සතුට උතුරා යමින් තියෙන්නට ඇත.අද දවසේ සිදු වූ මේ කණගාටුදායක සිදුවීමෙන් ඔහුට පසක් වූයේ , පාරමී එම සොඳුරු බැඳීම් අහිමි වීම නිසා දැඩි වේදනාවකින් පසුවන බවය.

ගෙයක් වුනාම තියෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි බං. තට්ටු ගණන් ගෙවල් හැදුවත් අපේ ගෙවල් වල නැති සැනසීම මේ වගේ පොඩි ගෙවල්වල ඕන තරම් ඇති.

විශ්ව පැවසුවේ එම කුඩා ගෙමිදුලෙහි ඒ මේ අත ඇවිදිමිනි.එම කුඩා වපසරිය ට ඔබ්බෙන් ඈතින් පෙනෙන කෙත් යායද ඉතා සුන්දර දසුනක් මවාලී ය.තවදුරටත් ඒ දෙස බලමින් සිටින්නට ඔවුන්ට වේලාවක් නොමැති වූයේ ඉකි ගසමින් හඬා වැටෙන මාලනී තුරුළු කොටගෙන ඉදිරිපසට ඇවිදගෙන එන පාරමී සහ දැහැමි දුටුහෙයිනි. පාරමී සුදු පැහැ අත්දිග බ්ලවුසයක් සහ සුදුපැහැ කලිසමක් ඇඳ කොණ්ඩය මඳක් පීරාගෙන උන්නාය.මුහුණ කට සෝදාගෙන පැමිණියද ඒ ඇස්වල ඇති විඩාව සහ ශෝකය අඩුවක් නම් නොවීය.

අයියලාට බොන්න මොකුත් හදන්නවත් බැරිඋනා

දැහැමි ඔවුන් අසලට පැමිණ පැවසුවද පාරමී තවමත් දැඩි තෝන්තුවාවෙන මෙන් ඔහේ බලා උන්නාය.

නංගි ඕන කරන ලියකියවිලි ටික ගත්තද ? අපිට එතන කරන්න වැඩකටයුතු තව ඇති නේද ?ඒ නිසා අපි ඉක්මනට යමුනේද ?

විශ්ව ඇසුවේ වාහනයේ පිටුපස දොර ඔවුනට විවෘත කර දෙමිනි.එකම එක මොහොතක ඔහුගේ දෑස් හා පාරමීගේ දෑස් ගැටුණද ,මඳ සිනහවක් හෝ පාන්නට බැරි තරමේ වේදනාවක් ඇගේ දෑස් තුළ තිබුණු හෙයින් ,ඔහු නිහඬවම ඉදිරිපස අසුනට නැග ගත්තේය.

අනේ චූටි මැණිකේ ...මගෙ ලොකු මැණිකේ එදා නුවර ගිහින් මොන තරම් සන්තෝසයකින්ද උන්නේ.බලන්නකො දෙයියනේ මෙහෙම දෙයක් වෙන්න අසනීප පාටක් වත් තිබුණෙ නෑනෙ.

මාලනී නොනවත්වාම කියවමින් හඬා වැටුණාය.පාරමී ඇසේ අලුත් වන කඳුළු පිසදමමින් රථයේ දොරට හිස තබාගෙන ඔහේ උන්නාය.

පාරමී, අපි ඔයාගේ හොස්පිට්ල් එකට දැනුම් දෙනවද ?ආයෙ කාටද කියන්න ඕනෙ ? 

දැහැමි ගේ හඬට පාරමී හිස නගා බැලුවාය.

මම හොස්පිට්ල් එකට ඉන්ෆෝම් කරන්නම්. අම්මටයි මටයි නෑයො කියල මෙච්චර කල් කවුද කෙල්ලෙ උන්නෙ.එහෙම උන්නෙ නැති අය දැන් ඉතින් හොයල වැඩක් නෑනෙ.

පාරමී පැවසුවේ ස්ථිර ස්වරයෙනි.

ආයෙ අම්මාව තැන් තැන් වලට ගෙනියන්න ඕනනෑ .මෙහෙම්ම අපි ෆැකල්ටි එකට බාරදෙමු.

පාරමී සුසුමක් හෙලා පැවසුවාය .ජීවිතේ ගතවූ වසර ගණනාව පුරාම තමන්ගේ මව පමණක් නොව යෙහෙලිය, ගුරුවරිය මෙන්ම මගපෙන්වන්නියද වූයේ අම්මාය. අදින් පසු තමාහට ඒ අත්වැල අහිමිය. හෙටින් ඔබ්බෙහි ගෙවෙන්නාවූ ජීවිතය කුමනාකාරයේ වේදැයි පාරමීට අවිනිශ්චිතය.

රෝහලේ කටයුතු සඳහා විශ්ව සහ නිසල් අවශ්‍ය කරන සියලුම දෑ කඩිනමින් කරදුන් හෙයින් අවසන් කටයුතු ලෙස කල යුත්තක් අමුතුවෙන් නොමැති නිසා අම්මාගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන කටයුතු එදිනම අවසන් කරන ලදී.නොනවත්වා හඬා වැටෙන මාලනී දෙස බලා උන් පාරමී සුසුමක් හෙලා දැහැමි වෙත ගියාය.

මේ මනුස්සයා අම්මාගේ හෙවනැල්ල වගෙ උන්නේ. මම රට ඉන්න කාලෙත් දැනුත් දෙන්නා ට උන්නෙ ඒ දෙන්නා.දැන් මෙහෙම අඬලා මේ මනුස්සයා ලෙඩ වෙයිද කියල මට බයයි බං.

පාරමී සෙමින් පැවසුවාය.වෛද්‍යවරියක් ලෙස තමා දරාගත යුතු මට්ටම මේ වියපත් ගැහැණියට දරාගන්නට හිතන්නවත් බැරි තරම් ය.අදින් පසු ඇය රැකබලාගත යුත්තේ තමාය.අම්මා නැති වේදනාව කෙමෙන් ඇයගේ සිතෙන් සමනයව යනු ඇත.

                                                    *** 

අපි එහෙනම් ගිහින් එන්නම් ඩොක්ටර් 

පාරමී කල්පනා ලොවින් තිගැස්සී ගියේ අසලින්ම ඇසුණ ඒ හඬිනි.විශ්ව සිය මිතුරාද සමග ඇය අසලට විත් තිබුණි.

බොහොම ස්තුතියි මිස්ටර් ජයසූරිය,මිස්ටර් පෙරේරා...ඔය දෙන්නා මේ වෙලාවේ නොඋන්නා නම් අපි හරිම අමාරුවක වැටෙන්නෙ.

පාරමී ආයාසයෙන් හඬ අවදි කළාය.

ස්තුතියක් අවශ්‍ය නෑ ඩොක්ටර් .ඇත්තෙන්ම දැහැමි නංගි ඒ වෙලාවේ කෝල් කල එක හොඳයි.නැත්නම් ඇත්තෙන්ම මේ වෙලාවේ කවුරු හරි අවශ්‍යම වෙනවනෙ.

නිසල් පැවසූවේ විශ්ව නිරුත්තර ව ඉන්නා අන්දම දුටුවිටය.ක්ෂණිකව කියා ගත හැකි යමක් මුවට නොපැමිණි හෙයින් විශ්ව මඳ සිනහවක් පෑවේය.

පුලුවන් නම් මෙහෙම්ම අපි එක්ක ගෙදරට ගොඩ වෙලා කෑම ටිකක් කාල යන්න එන්න කියන්න චූටි මැණිකෙ.අවසන් කටයුතු කියල එකක් නොකලට ඕවා චාරිත්තර.දැන් රෑ බෝ වෙලාත් එක්ක.මේ ළමයි වතුර උගුරක්වත් නොබීනේ මේ ඉන්නේ

මාලනී පාරමීගේ අතින් ඇද පසෙකට කොට පැවසුවාය.මේ සිරිත්විරිත් ගැන අවබෝධයක් නැතද මාලනීගේ වදන් හා අනුගත වෙමින් පාරමී ඔවුන්හට ආරාධනා කළාය.

අපි මෙහෙමම යන්නම්. කරදර වෙන්න එපා.

විශ්ව හඬ අවදිකලේය.

අයියලා ඇවිල්ලා යනව නම් මේ වෙලාවේ ඒක ලොකු දෙයක්.අපේ අම්මා දැනටමත් එහේ කෑම සූදානම් කරන ගමන්.පාරමීගේ වාහනය පුළුවන් නම් විශ්ව අයියා ගෙනිහින් දෙන්න.දැන් මෙයාට ඩ්‍රයිව් කරන්න තරම් තත්වයක් නෑනෙ.

දැහැමි විශ්ව වෙත පැමිණ සෙමින් පැවසුවාය.ඔහු හිස වනා එයට එකඟතාවය පල කලේ නිසල්ද කැමැත්ත පල කල හෙයිනි.පාරමීගේ රථය විශ්ව විසින් ගෙනයන හෙයින් නිසල් විශ්වගේ රථය රැගෙන ඔවුන් පසුපස පැමිණියේය.වෙන වේලාවක වූවා නම් විශ්වට සරදම් කරන්නට වත් තිබුණි.එහෙත් මේ කිසිවක් කියන්නට හැකි අවස්ථාවක් නොවේ

දැහැමි ගේ මව ඔවුන් යනවිටද රාත්‍රී ආහාරය සූදානම් කොට තිබුණි.ඔවුන් ගෙමිදුලෙහි වාහන නවතාලන විට අසල්වැසි කිහිපදෙනෙකු පැමිණ පාරමී සමගින් කතාබහ කරන්නට වූ අතර සෙසු අය සමගින් විශ්වද ආලින්දයට ගොඩ වැදුණේය.ආලින්දය දිගට තබා තිබූ පුටු පෙලෙහි නිසල් සහ විශ්ව ඉඳගත් අතර දැහැමි ඔවුන්ගෙන් සමුගෙන ගෙතුළට ගියේ අම්මාට අඬගසා ගෙනමය.

අනේ පුතාල මේ වෙලාවේ එතනට ආව එක කොච්චර දෙයක්ද.මේ ළමයි දෙන්නා මොනවා කරගනීවිද කියල මම බයෙන් උන්නෙ.

මොහොතකින් ආලින්දය වෙත පැමිණි දැහැමි ගේ අම්මා ඔවුන් සමගින් කතාබහේ යෙදුණාය.විශ්ව මඳ සිනහවක් පා බලාඋන්නේය.

දැන් මෙහෙ කවුද ඔය ගමන ඉන්නෙ ඇන්ටි? 

නිසල් ඇසුවේ දැහැමිගේ මවගෙනි.

මාලනීයි දුවයි දෙන්නා විතරයි පුතා.මේ තුන්දෙනානෙ එකටම උන්නෙ.. මහගෙවල් හොරණ තියෙන්නෙ.දුව මෙහෙ හොස්පිට්ල් නිසයි ආයෙ මේ ගේ ගත්තේ .දුවට එච්චර දුර හැමදාම යන්න එන්න බැරි නිසා. 

දැහැමි ගෙ මවගේ කතාබහ විශ්වද නිසල්ද නිහඬවම අසා උන් හ . ජීවිතය පුරා අත්දකින තනිකම යනු වචනයෙන් කියා නිමකල නොහැකි හැඟීමකි. දෙනෝදාහක් අතර උන්නද ජිවිතයට දැනෙන තනිකම කෙසේනම් මකාලිය හැකිවේද? 

පැමිණි අසල්වැසියන් සමුගෙන ගිය පසු පාරමී ආලින්දයට ගොඩ වැදුණේ දැඩි වෙහෙසකර බවකිනි.ඔවුනට මඳක් ඔබ්බෙන් වූ අසුනක හිඳ ගත් පාරමී දවසේ ප්‍රථම වතාවට විශ්ව දෙස හොඳින් බැලුවාය.ඔහු කාර්‍යාලයේ සිට ආවා විය යුතුය.ඇඳුම් පැලඳුමෙන් ඒ බව පෙනෙයි.තමා ඔහු දෙස බලා ඉන්නා බව විශ්ව දුටු බව පාරමීට දැනුණි.ඇය ස්තුති පුර්වකව ඔහු හා මඳක් සිනාසුනාය. එහෙත් එය සිනහවකට වඩා දුක්බර හැඟීමකට සමාන විය.

ඔය දෙන්නා ඒ වෙලාවට ආව එක මටකියන්න බැරිතරම් ලොකු දෙයක්.ඒත් ඔය ඔෆිස් ගිය ගමන් වෙන්න ඇති නේද ? මහන්සිත් ඇති.

පාරමී පැවසුවේ ගෙතුළ දෙසද බලමිනි.ඉක්මනින් රාත්‍රී ආහාර ඔවුන් වෙත පිළිගන්වන්නට අවැසි බව ඇයට දැනුනි.

දැහැමි නංගි මගෙ කෝල් එකට ආන්ස්වර් කල නිසයි ඒ වෙලාවෙ සිද්ධිය දැනගත්තෙ.

නිසල් හඬ අවදිකලේය.

රාත්‍රී ආහාරය ඔවුන් වෙත පිළිගැන්වුවද පාරමීට ආහාර ගැනීමට තරම් සිතක් නොවීය.දැහැමි කීප වතාවක් බලකලද ඇය ආහාර ගන්නට නොහැකි යයි පවසා උන්නාය.ඔවුන ආහාර ගනිද්දී ඇය ආපසු ආලින්දය වෙත ගියාය.

විශ්ව උඩින් පල්ලෙන් කෑම කටවල් කිහිපයක් කා අත සෝදාගෙන අසුනෙන් නැගිට ආලින්දයට ගියේය.ආලින්දයේ අසුනක පාරමී ඔහේ ඉඳගෙන උන්නාය.ඔහු ඇය අසල වූ කණුවකට බර දී සිටගත්තද පාරමී දෑතේ හොවාගත් මුහුණැතිව ඔහේ උන්නාය.

" නොකා නොබී ආයෙ අසනීප වෙන්න ද හදන්නේ.ඩෙංගි හැදිලා හොඳවුනා විතරයි නේද ? " තම හිසට ඉහලින් ඇසුණ ඒ ගැඹුරු හඬින් පාරමී තිගැස්සී ගියාය.එහෙත් හිස නගා බලන්නට නොහැකි තරම් හිත විඩාබරය.

" ඔයා අපිට වඩා කෙනෙක්ගේ මානසිකත්වය ගැන දන්න කෙනෙක්.ඉතින් මට ඔයාට උපදෙස් දෙන්න බෑ. මේ වෙලාවේ මම ඔයාට මෙහෙම කියන්නෙ ඔයාගේ පේෂන්ට් කෙනෙක් විදියට නෙවේ. වැඩිහිටි සහෝදරයෙක් විදියට. ගිහින් කෑම ටිකක් කන්න." පාරමී හිස නගා බැලුවේ ඒ දයාර්ද හඬටය. හැම මොහොතේම කෝපයෙන් පිපිරෙන මේ පුද්ගලයාගේ මුවුන් එලෙස පිටවීද යන්න පාරමීට සිතාගන්නටත් බැරිවිය.එවදන් හමුවේ තවත් නිහඬවනු නොහැකිව පාරමී අසුනෙන් නැගිට කෑම කාමරය වෙත ගියාය.විශ්ව ගේ මුහුණට සිනාරැල්ලක් පහත්වූයේ කිසිදා නොවූ විරූ සේය.


                                                                            *** 

විශ්ව නිසල් සමගින් නික්ම ගිය පසු පාරමී කාමරයට වැදුණේ දැහැමිද සමගිනි...ස්නානයට හිත කැමැත්තක් නොදක්වන හෙයින් ඇඟ පමනක් සෝදාගත් පාරමී සැහැල්ලු රාත්‍රී ඇඳුමකට මාරු වූවාය.දැහැමි ගේ අම්මා නිසල් සහ විශ්ව සමගින් නිවස වෙත ගියේ රාත්‍රීවුවද ඔවුන් හා යා හැකි බැවිනි.

කිසිවක් නොකියා සුසුම් පමණක් හෙලමින් උන් පාරමීගේ හිසකේ අතරට ඇඟිලි යවමින් අතගෑ දැහැමි සෙමින් හඬ අවදි කළාය.

හෙටත් ගෙදර හිටපන්.අනිද්දම වැඩට යන්න පුළුවන් නෙ.

පාරමී සුසුමක් හෙලා දැහැමි වෙතට හැරුණාය.

තව කීදවසක් උන්නත් මේ අඩුව මේ දුක හරිගැස්සෙන්නෙ නෑ බං.මම වැඩට යන්නම් හෙටත් ගෙදර ඉඳලා අනිද්දට. මාලනී ඇන්ටි ගැන තමා මට ප්‍රශ්නෙ.දැන් මේ මනුස්සයා තනිවම ඉන්න එපැයි දවල් දවසෙ.

උඹට ක්වාටර්ස් එකේ ටික දවසක් මාලනී ඇන්ටි එක්ක උන්නොත් මොකද ?

දැහැමි ඇසුවේ මඳවේලාවක් කල්පනා කරය.

ඒකත් මාත් හිතුවා.සති අන්තෙට මාරුවෙන් මාරුවට මෙහෙයි හොරණයි ගිහින් එන්න පුළුවන් නෙ.

පාරමී පැවසුවාය.වෙනදාට තමාට මේ දේ සම්බන්ධව කිසිදු වගකීමක් නොතිබුණි.අම්මා මාලනී සමගින් සියලු වගකීම් දැරුවාය.ඉතින් කාලය ගෙන ආවේ කියාගන්නට නොහැකි තරම් බරපතල අභියෝගයකි.අම්මා සිය වසරක් ආයු වැලඳුවද ඇය සමුගන්නා මොමොහොත තමා දැඩිසේ අසරණ කරන්නක් බව ඇය දැන උන්නාය. අම්මා සහ මාලනි සමග එක්ව ඉන්නට ගත් මේ නිවසෙන්ද පලක් නොවන බව හිතට ඒත්තු ගොස් ඇත.එහෙත් කල යුතු කිසිවක් තවම තීරණය කල නොහැක.

                                                        *** 

යලි හමුවෙමු
 
කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින )