Tuesday, March 31, 2020

130. මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි

උදේ පුරුද්ද ට පාන්දරින් ඇහැරුණා....
අමුතුම ලෝකෙක ද මං මේ ඉන්නෙ කියල හිතුණා...
හරියට ඉස්සර ගමේ ඉන්නව වගේ.....
කිසිම වාහන සද්දයක් නෑ....කුරුල්ලොන්ගෙ ලේනුන්ගෙ හඬ...
ඉස්සරහ අඹ ගහට කොට්ටෝරුවා ඇවිල්ල වඩුවැඩ පටන් අරන්...
.
යාන්තමින් එළිය වැටෙන කොට පරිසරයෙ වෙනදට වඩා නැවුම් බවක් පේන්න අරන්...ඔව් ලෝකය විවේකයක් අරන්....
.
ඊයෙ පෙරේදා හිටවපු ගස් ප්‍රාණවත් ව ඉන්නව තාම...අදත් වත්තේ වැඩ ටික අරඹන්න කලින් එයාලට ලොකු වතුර සාත්තුවක් දුන්නා...
.
බක් මහට පිපෙන්න එන තොලබෝ  පඳුරු යායම පොහොට්ටු පුරවලා... තොලබෝ පඳුරු හරියට මිනිස්සුන්ගෙ ජීවිතේ වගේ කියලයි මට හැමදාමත් හිතෙන්නෙ....මුලු අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන එයාල එක කාලෙකදි කොල සේරම හලල මියැදුණා වගේ ඉන්නව....එක පාරටම වැහි ඇල්ලක් එක්ක පොහොට්ටු පුරාගෙන පොලවෙන් මතුවෙලා මල් යායක් වෙනව...

අපේ ජීවිත වල දුෂ්කර කාලත් අන්න එහෙමයි...
ඉක්මනින් මල් පූදිනව...ඉවසීමෙන් බලාඉන්නයි ඕන....ආදරය හිතේ පුරවගන්න...සමස්ත ලෝකයටම ආදරය මේ වෙලාවේ අවැසියි...ඒ ගහට කොලටද...සතා සීපාවාටද...මනුස්සයාටද කියලා වෙනසක් නෑ....හැකි හැම මොහොතකම ඔබේ සිනහව්කින්...වචනයකින්...අකුරකින්..බැල්මකින් ඔබේ දයාර්ද බව ලෝකයට දෙන්න....
.
මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි.....

129. ඇඳිරිනීතිය + අපි

ඇඳිරිනීතිය තවම දිග්ගැස්සෙමින් පවතිනව...
අපි හැමෝම ගෙවල් වලට කොටුවෙලා ඉන්න වෙලාවක් මේක....
.
අපි ඇඳිරිනීතිය ඉවත්කල ගමන් කඩපිලට ගියා... ඔව්...ඒ අවදානමත් අරන් ගියේ බඩුමුට්ටු අත්‍යාවශ්‍ය ම දේ ගන්න ..... ගෙදර සාමාජිකයන් සතියක් දෙකක් කොටු වුණොත් .... එක එළවලුවක් එක්ක හරි බත් ටිකක් කන්න ඕන නිසා...අපිත් ගිහින් අත්‍යාවශ්‍ය ම දේ අරන් ආවා....
.
ඒ අතරේ උන්නා ට්‍රොලි ගාණට පුරවන් අනවශ්‍යම ලෙස බඩු පුරවන් යන අය....ඒ අය දිහා බලන් උනත් මං හිතුවේ....මේ වෙද්දි පෝලිම් වල පසුපස ඉන්න අය...කෙතරම්ම අසරණ වෙනවද...බඩු ඉවර වෙනකොට...කියන දේ....මොකද මම උදේ හයට පෝලිමට ගිහින් නවයට ඇතුලට යද්දිත් බඩු හුඟක් නෑ.....
.
එහෙම යන්න බැරිවෙන කොටසක් මීටත් ඔබ්බෙන් ඉන්න බව අපිට අමතක කරන්න බෑ....අපිට ගෙවත්තක් තියේ නම් අපි වවාගන්න දෙයක් අපිට කන්න පුලුවන් ...ඒක ඇත්ත...මේ ලියන මමත් ගොටුකොල මුකුනුවැන්න පෝච්චිවල හරි හිටවනව.... නමුත් එහෙම ඉඩක් නැති කොටුවෙච්ච පැල්පත් වල ජීවත් වෙන මිනිස්සුත් අපි වටේට ඉන්නව ....
.
අපි සතියක් ගැන හිතන කොට ඒ මිනිස්සු එක වේලක් කන්න විදියක් නැතුව හූල්ලනව ඇති....මම ඇහින් නොදැක්කත් මගේ සොයුරියක් පැවසූ දෙයක්...රූපවාහිනියේ දිස්වුනා කියල....කන්න දෙයක් නැතුව දර කන මිනිස්සු ඉන්නව කියල...ඒක කොච්චර නම් ශෝචනීයද. ....?
.
ඔබ ට දරුවන් ඇති...එහෙම නැත්නම් ඔබ දරුවෙක් වෙන්න පුලුවන් ....
නමුත් ඔබ අද දරුවන් ගැන හිතලා හෝ අනවශ්‍ය ලෙස නාස්ති කාරී ලෙස කෑම වර්ග කිහිපයක්, අතුරුපස ගොන්නක් හදන කොට....එතන දී....බත් කටක් බඩට නොවැටෙන කොටසකුත් ඉන්නා බව හිතට ගන්න...
.
සමහර විට ඔබ තර්ක කරයි....මම උයන්නෙ මම කන්නෙ මම වවපුවා..මම හදපුවා...කියල...ඔව් ඔබ හරි...ඒත්...එතනින් එහාට ඔබත් මාත් ආයෙම කඩපිලට ගිහින් ගන්නෙත් අර තවකෙක්ට ගන්න හැකි බඩු ටිකක් වෙන්න පුලුවන් ....
.
සාධාරණ ව හිතමු....අපි හැකි තරම් සකසුරුවම් වෙමු...දරුවන්ට කියාදෙමු....මේ දුෂ්කර කාලයක් බව...අපිට හැකි උපරිමය පසෙක ලා අවමය ගැන සෑහීමකට පත්වෙමු....
.
අද දවසේ අපිට අවශ්‍යම වෙන්නෙ මනුස්සකම ....ඒක බෙදාහදා ගැනීම සහ අනෙකා ගැන සිතීම කියන  කාරනා එක්ක එකතු කරලා තමන් ගේ දවස ගෙවමු.....අනවශ්‍ය නාස්තිය පිටු දකින්න....ඒක රටක් විදියට අපිට අත්‍යාවශ්‍ය දෙයක්...
.

128. මනසට සුව දෙන වදන් ( Inspiring quotes )



බොහොමයක් වෙලාවට මුහුණු පොතේ සැරිසරන විට අපි දකින දෙයක් තමයි විව්ධාකාර විදියේ අදහසක් ප්‍රකාශ කරන්න අපි කවුරුන් හෝ කොහේ හෝ ප්‍රකාශ කල ...සරල වචන පේලි භාවිතා කරනව...අපි සාමාන්‍යයෙන් මේවාට කියන්නෙ quotes කියලා....
.
Google එකේ එහෙ මෙහෙ සැරිසරන විට අපිට ඕන තරම් මේ quotes හමු වෙනව..අපිට ගැලපෙනම අදහස එන ඒවා අපි සේව් කරන් ඉන් පස්සෙ අපේම පෝස්ටුවකට එල්ලා ගන්නවා...
.
මේ quotes එක් රැස් කිරීමේ මීට වඩා ප්‍රතිපල තියනවා..මේ වගේ ප්‍රකාශ කල අය බොහෝ විට දැනුමෙන් සහ අත්දැකීම් වලින් පූර්ණ වෙලා ඒ ඔස්සේ ප්‍රකාශ කල දෙයක්....එහෙම නම් ඒ ප්‍රකාශ වලින් අපිට ජීවිතේ ටත් ගන්න හුඟක් දේ තියෙන්න පුලුවන් .....
.
Quote එකක ඇති විශේෂත්වය වෙන්නෙ ඉතාම කෙටියෙන් ලොකු පණිවුඩයක් දීමට හැකි වීම...ඒක ඉතාම ආකර්ෂණීයත් වෙනවා...මතකයෙත් හිටිනවා.....
.
ඉතින් ඔබට හැකි නම් විවිධාකාර අංශවලින් ඔබට වැදගත් වෙන quotes එකතුවක් ඔබ ලඟ තබා ගන්න...ජීවිතයේ අසීරු වෙලාවල් වල ඉන් යමක් කියවන්න...ඔබට නිතර පෙනෙන තැන් වල තමන්ට වඩා වැදගත් වෙන quotes සටහන් කර තියන්න....නිතර ඇස ගැටෙන විට ඔබට ඒවා නව ගැම්මක් දේවි.....
.
ඒ වගේම ඔබ ලියන ඕනෑම සටහනකට , ඕනෑම දේශනයකට වගේම කෙනෙක්ට දෙන උපදෙසකට සාර කරුණු විදියට අන්න ඒ quotes වලින් යමක් ගන්න... 
.
මේ එකතුව ඔබේ ජංගමයෙ , පරිගණකයෙ හෝ ලස්සන පොඩි නෝට්බුක් එකක එකතු කරගන්න පුරුදු වෙන්න ...ඒ පුංචි හැම දේකම ඔබේ ජීවිතේ ට කිනම් හෝ සහයක්, හයියක් එහෙමත් නැත්නම් සතුටක් එක් කරාවි...

ඉතින් සුබ දවසක්

මම

විසිරි සිහින

127. හිනාවෙන්න පුරුදු වෙන්න...



ජාතික රෝහලේ සායනයකට මඳකට ගියේ නෑදෑ කෙනෙක් ගේ උදව්වට....
අතිශය කාර්‍යබහුල තැනක්...ඔව්...සිය දහස් ගණන් මිනිස්සු හැමදාම සායන වලින් බෙහෙත් ගන්න එනවා...
.
අතිශය අවිවේකී කාර්‍ය මණ්ඩලයක්...එක මිනිත්තුවක් හුස්මක් කටක් ගන්න බැරි තරම් ඔවුන් කාර්‍ය බහුලයි....
.
ඒ නිසාමදෝ මන්දා කේන්ති යනවාත් වැඩියි....සායන වලට එන හුඟක් අය බලන්නෙත් තමන්ගේ වැඩේ කරගෙන දුවන්න...ඉතින් පෝලිමක ඉන්න එක කොහොමත් අපේ රටේ මිනිස්සුන්ට හුරු නෑ...කොහොම හරි කඩා පැනල දුවන්නම තමා බලන්නෙ...
.
නමුත් ඇත්තෙන්ම සායන පරිශ්‍රය ටිකක් ඉඩකඩ සහිත වෙනවා නම් ...මිනිස්සුන්ට ටිකක් පහසුයි...ජාතික රෝහලේ සායනයක් කියන්නේ අධික ලෙස අසීරුතා එක්ක මිනිස්සු පැමිණෙන තැනක්...අත් කකුල් කඩාගෙන එන හුඟක් අය...රෝදපුටුවකට ගෙදර කෙනෙක් දාගත්තාම ඒ අයට ඔය " වාහනේ " ගෙනියන හැටි හුරු නෑ...ඉතින් යන්න තියන පුංචි සීමාවේ ඔහේ යනවා...ඉතින් සිකියුරිටි නෝනා කෑගහන්න ගන්නව....පැත්තකට වෙලා බලන් ඉන්න මට හිතුණෙ...පලවෙනිම අවුල ඉඩ නැතිකම....දෙවැන්න මිනිස්සුන්ට නිසි අවබෝධයක් නැති කම ..තුන්වැන්න අපේ මිනිස්සු තව කෙනෙක් කියන දෙයක් නොඅහන කම....
මේවට උත්තර හොයන එක අසීරුයි....නමුත් බැරි නෑ...
.
කාර්‍ය මණ්ඩල වරප්‍රසාදය අහකට දාලා සාමාන්‍ය විදියට නොම්මරෙන් ලෙඩා එක්ක ඇතුළට ගියත් මම කිසිම කාර්‍ය මණ්ඩල සාමාජිකයෙක්ගේ මුහුණෙ හිනාවක් නම් දැක්කෙ නෑ...
.
ලෙඩෙක් එක්ක මඳ සිනහවක් පෑම එච්චරකට අපේ සමාජය නොවටිනා දෙයක් කරලාද කියලා මට හිතුණා...නමුත් ඒ මඳ සිනහවක කාරුණික වදනක...අර එන අසරණ ලෙඩෙක්ට ලොකු හයියක් තියන බව අපි මතක තියාගන්න ඕන....
.
සමහරක් විට මේක කියවන ඔබ සෞඛ්‍ය කාර්‍ය මන්ඩලයෙ නම් මට විරුද්ධ වෙයි...ඒ තියන වැඩ ගොඩ එක්ක හිනාවෙවී ඉන්නද කියන්නෙ කියල....නෑ...මම ඒක කියන්නෙ විසි වසරක අත්දැකීමෙන්...කොච්චර කාර්‍යබහුල වුණත් ඔබට ඔබේ ප්‍රසන්න පෙනුම , මුවෙහි ඇති සිනාව සඟවානොගෙන ඉන්න පුලුවන් ....ඒක ඔබෙන් ප්‍රතිකාර ලබන රෝගී ජනතාවට වගේම ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට ඔබ ගැන වගේම සමස්ථ සෞඛ්‍ය සේවාව ගැනම යහපත් ආකල්පයක් ඇති කරනවා....
.
ඔබ හරිම වෘත්තිකයෙක් නම් ....
ඔබ පිළිවෙලට අඳිනවා.පිරිසිදුවට ඉන්නවා...වගේම ඔබේ ඉරියව් වලින් පවා රෝගියාට ඔබ ගැන විශ්වාසයක් ඇති කරනවා....ඒ වගේම ඔබේ සුහදශීලී බව ...කාරුණික බව වගේම ඇහුම්කන් දීමද ඉතාම වටිනා වෘත්තිකයෙක්ගේ කුසලතාවයන්....
.
ඉතින්...
කොයි තරම් කාර්‍ය බහුල වුණත්...
ඔබ ...ඔබේ මුවෙහි ඇති මඳ සිනහව නැති කරගන්න එපා....
ඒ ගුණාංගය ඔබට ඉතාම වටිනා ආභරණයක්....
.

මම
විසිරි සිහින

126. ඒ ආදරය අමතක කල හැකිද....?

ඒ ආදරය අමතක කල හැකිද....?



ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්....කෙනෙක්ට තමන්ව තමන්ව ලබා දෙන්න වගේම තමන්ට තමාව අහිමි කරලන්නටත් මේ ආදරය කියන දේට මහ බලයක් තියනව....

අපි ජීවිත කාලෙදි හමුවුණ විවිධාකාර අයට විවිධාකාර පරිමාණ වලින්, අර්ථකථන දෙමින් ආදරය කරනව....සමහර ඒවා හිමි කරගැනීමේ ආත්මාර්ථයෙන්ද...සමහරක් ඒවා එසේ නොමැතිවමද හට ගන්නා ඒවා....

ඒත් කෙනෙක් ජීවිතයේ ආදරය වටහා ගන්නේ උපන් දා සිට...අම්ම තාත්ත කියන්නේ ඒ ආදරයේ උල්පත්. නමුත් හුඟක් අය ජීවිතයේ වැඩෙන කොට ඒ පළමු ආදරණීය හිත් වලට ඇති වටිනාකම ටික ටික අඩු වේගෙන යනවා....තමන්ට ඇති වගකීම්, යුතුකම් එක්ක අර මුල්ම ආදරණීයයන් මඳකට පසෙකට යැවෙන්න ගන්නව.... සමහර සාධාරණීකරණය කල හැකි හේතු මෙතන නැතිවා නොවෙයි...

න්‍යෂ්ටික පවුලකට වඩා විස්තීර්ණ පවුලක වටිනාකම දන්නේ එහෙම පරිසරයක උන්න අය...මම මගෙ සීයලා ආච්චිලාට මගෙ අම්මා තාත්තා සලකපු හැටි දෑසින්ම දැක්කා.. ඒ ආදරය අපරිමාණයි...

ඒත්....සමහරක් දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලින් එළියටම වැටෙනවා...ඒකට සමහරක් විට හේතු වෙන්නෙ දෙමවුපියන් ගේ අතීත ගැටලු සහගත භාවයන් වෙන්න පුලුවන් ...එහෙමත් නැත්නම් දරුවන්ගේ ජීවිත වල ඇති දුෂ්කරතා වෙන්නට පුලුවන් .. ඒ කිසිවක්ම නැතිව දරුවන්ට දෙමවුපියන් අත හැරී යන්නත් පුලුවන් .......

ඒත්...අපේ මේ ජීවිතය හරි ම කෙටියි...ආදරය කියන්නේ ඒ කෙටි ජීවිතය ට ආශීර්වාදයක් ...ඒ නිසා ඔබේ දෙමවුපියන් ඔබට ලබා දුන් මේ ජීවිතයට මුලින්ම ස්තුති වන්ත වෙන්න...ඔවුන්ගෙන් ඔබව යම් තැනකදි අතහැරුණා නම් ඒක දැන් අමතක කරන්න.....

ඔබෙන් ඔවුන්ව අතහැරී ගොස් නම් ඒ දේ හදාගන්න...ඒකට එක් කාරුණික වදනක්...දුරකතන ඇමතුමක්...ප්‍රමාණවත්....

පසු ගිය දාක මගෙ තාත්තා එක්ක අපි පොඩි විනෝද චාරිකාවක් ගියා.... වියපත් වේගෙන යන වයසේ උන්නත් තාත්තා එදා අපි එක්ක අපෙ දරුවන් එක්ක උන්නෙ අමුතුම ජීවි බවකින්.....

තාත්තා ඒ ගමන අතරෙදි එක තැනකදි මෙහෙම කතාවක් කීවා....

" මෙහෙම දරුවො ටිකක් හදපු එකේ සතුට කොච්චර ද කියල මට දැනෙන්නෙ දැන් දෝණී..."

ඊට එහා ජීවිතේ ට අහන්න සුන්දර දෙයක් වෙන තියද ...දරුවෙක්ට

විසිරි සිහින

125. සිහින වලට පාට දෙන්න...

සිහින වලට පාට දෙන්න...

ජීවිතයේ ඉලක්ක වලට අපි යනකොට අපිට තියන ලොකුම ගැටලුව තමයි ඉවසීමක් නැති කම...ඒ වගේම සෑහීමකට පත් වෙන්නෙ නැති කම....
ඉතින් මෙන්න මේ කාරණා දෙක ගැන මට ටිකක් ලියන්නට හිතුණ...

ඇයි අපි අපේ ඉලක්ක වලට යනකොට සම්පූර්ණ ටාගට් එක ට යනකල්ම අපි සාර්ථක බව පිළි නොගන්නෙ... අවසානය දක්වාම ඇයි නොසන්සුන්...නොඉවසිලි.....

ඇයි කෙනෙක්ට බැරි....ඉලක්කයට යන මාවතේ මග හමුවෙන ජය කණු වලදී හදවතින්ම සතුටු වෙන්න.....

සැතපුම් සියයක් නම් ඔබ යන ගමන එයින් සැතපුම් දහයක් ගියා කියන්නෙ 10% ක ඉලක්ක සපිරීමක්....ඒත් ඒ දහය ගැන සතුටු වෙනවා වෙනුවට අපි ඉතුරු 90% ගැන කාන්සාවෙන් වද වෙනවා

ඉවසීම බොහෝම අඩුයි..අපේ හැම ඉලක්කයක්ම SMART වෙන්න ඕන...

SMART කියන්නෙ මේකට

S = SPECIFIC
M = MEASURBLE
A = ACHIEVABLE 
R = REALISTIC
T = TIME BOUND

ඉතින් මේ අංශ පහට ඔබේ ඉලක්ක අදාල වෙනවා නම් අදාල කාල පරාසය ගැන ඉවසීමෙන් හිතන්න ඕන...ඕනම ඉලක්කයකට නිශ්චිත සහ සාධාරණ කාලයක් වෙන් කරන්න.....

ඔබේ හැම සාර්ථකම පියවරකදි ඔබ ඔබ ගැනම සතුටු වෙන්න....ඒක ඔබට ඔබ වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම ප්‍රසංශාව....

විසිරි සිහින

124 . ආදරය කිසිදින නොමියෙයි....

ආදරය කිසිදින නොමියෙයි....




මම ක්‍රීඩා ගැන බොහොම අඩුවෙන් උනන්දු වන අයෙකි....පැසිපන්දු ක්‍රීඩාව ගැන මා දන්නා යමක් වේ නම් ඒ අපේ ඉලන්දාරියන් දෙන්නා කියන කරන දෙයක් පමණි.... ඒ තනිකර පැසිපන්දු ලෝලීන් දෙදෙනෙකි........

පැසිපන්දු ගැන මෙලෝ හසරක් නොදන්නා මගේද හිත සසල කල පින්තූර ගොන්නක්  අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරන විට නෙතට හසු විය....

ඒ ආදරය පිරුණු තාත්තෙක් සහ දුවෙක්ගේ නික්ම යෑමය......ඒ තාත්තා සහ දුවගේ ආදරණීය වැළඳ ගැනීම් සහ රූප රාමු සිත මහා ලෝබ කමකින් පුරවා ලන්නට විය.

ගෙදර ආ පසු කොල්ලන් දෙන්නාගෙන් මේ සිදුවීම සහ අනතුරේ වීඩියෝව දැක අසා ගතිමි....
ඒ තාත්තා තමන්ගේ ප්‍රියතම වූ දෝණිය සමග සමු ගන්නට ඇත .....

ජීවත් ව සිටිනා කාලයේදී වැළඳ ගත් තරම්ම ආදරයෙන් මරණයේදීද වැළඳ සිටින්නට ඇත....අඬද්දී අස් වසා ලන්නට ඇත....ඔහුගේ බසින් මං ඔයා එක්ක ඉන්නවනේ පැටියෝ කියන්නට ඇත....

ඉතින් ආදරය මියගියේ යැයි අපිට කිව හැකිද.....


මඳක් නැවතී සිතන්න....ඔබ ඔබට ආදරය කරන්නට ...ඔබේ ප්‍රියතමයන්ට ආදරය කරන්නට .....තවත් මොහොතක් හෝ පමා වේ නම් ......ඒ සදාකාලික පමාවක් වීමට හෙට දවසේ ඉඩ ඇත.....ඉතින් එවිට පසු තැවෙන්නට වත් අපිට වෙලාවක් ඉතුරු නොවනු ඇත.....

ඔබේ ආදරය.....නොසඟවා පවසන්න....විශේෂයෙන්ම ඔබේ...දරුවන්ට ..... ඒ kobe bryant නමැති ආදරණීය තාත්තා ලෝකයට කියාදී ගිය පණිවිඩයයි......

ඒ තාත්තා ගෙ ආදරය සදාකාලිකව ඒ සුන්දර දෝණියට තනි රකිනු ඇත.....

ආදරය කිසිම දාක මියයන්නේ නැත.....

123. පමා වී පැමිණි ප්‍රේමය....

අනන්තාපරිමාණ අහසක
තරු කැටක් වී බැබලෙන
මගේ ප්‍රේමය..
නෙත් කෙවෙන තුරු
මග බලන
සේයාවකුදු නැතිව
හැඬවෙන
හිතක රැඳි ස්නේහය......







අකුණු සැරයක් සේ එන
ඇවිත් යළි නොපෙනී යන
නුඹේ විස්මිත සෙනෙහස..
රැහැන් පට අතර කම්පිත
ආදරය උතුරන ස්වර මත
නිරුත්තර වන
මහිත......

හෙටක් වෙනුවෙන් කල් බලන
නුඹ ම මිස අන් හිතක් නොපතන
අපූරුම ඉවසුම් දනවන
පමා වී පැමිණි
ප්‍රේමය....

122. ජීවිතය Life....

ජීවිතය Life....

අද දවසේ මගේ පාඩම් ප්‍රවේශය වුණේ life...
අලුතින්ම ආව තරුණ ළමයි හතළිස් පහක් අලුත් විෂය කරුණු හමුවේ හෙම්බත් වෙන වෙලාවක....මගේ සිද්ධාන්තමය පාඩම පටන් ගන්න හොඳ ප්‍රවිෂ්ටයක් ගොඩ නගා ගන්න මම පසු ගිය දිනවල ටිකක් වැඩිපුර හිතුවා....

ඉතින් ප්‍රවිශ්ටය වුණේ ජීවිතය life...
ඉස්සරහට එන පාඩම life span development

ඉතින් ....අපේ අද කතාබහ ඉංග්‍රිසි මාධ්‍යයෙන් පන්තිකාමරයේ විහිදුණත් ඔබෙත් මගෙත් රසාස්වාදය වෙනුවෙන්...මම එය සිංහලටත් හරවන්න කැමතියි.....

ඉතින් මගේ විවෘත ආරාධනය වුණේ .....ජීවිතය life අර්ථ දක්වන්න කියන එකයි ......

මේ ඔවුන් එකිනෙකා කී අරුත්....

🔸Life is a miracle

🔸It is time bound experience

🔸Life is series of events between birth and death

🔸Life is an adventurous journey

🔸Life is ups and downs

🔸It is all ADLs and worries and happiness

🔸Life is a challenge

🔸Life is define one's attitudes and thoughts

හරිම සුන්දර අර්ථකථන ....

අවසානයේ පන්තියේ කුලෑටි ලැජ්ජාශීලි චරිතය නැගිට්ටා...

❤ Life is a gift which is given by God.......

මට ඉබේම අත්පොලසන් ගැහුණා....මෙච්චර අපූරු ළමයි ගොන්නකට මම ගුරුවරිය වෙනවා.....

මේ පරම්පරාව ජීවිතය අන්න එහෙම දකිනවා නම්....මෙතනින් එහාට ජීවිතය ඉගන ගන්න ලේසියි......

මිනිස්සු තමන්ගේ ජීවිතය සුන්දරව දකිනවා නම්.... දෛවයේ සරදමින් අසුන්දර වෙන ජීවිත ගොඩ ගන්න ඔවුන්ට කොහෙත්ම අසීරු නැහැ ...

අපි පියවර ඔසවන අපේ වෘත්තීය ගැන ඔවුන්ගේ සිත් තුළ අභිමානයක් ආදරයක් ඇති කරන්න අසීරු නැති බව ඉතින් නොරහසක්......

මගේ power point presentation එක තිරයට ගනිද්දි ඔවුන්ගේ මුහුණට ආවේ සිනහවක්....ඒක ආඩම්බරය මුසු සිනහවක්....ඔවුන් කියන කිසිවක් කල් වේලා ඇතිව නොදැන ආ ගුරුවරියගේ දේශන තිරය මත ඔවුන් ලියූ දේවල් ම තියෙන කොට .....

ඔවුන් ගේ ජීවිත දැක්ම කියන්නේ සාර්ථක යමක් බව ඔවුන්ට වැටහෙන්නට ඇති......එය ඉතාම අවශ්‍යම කාරණයක්....

සෞඛ්‍ය සේවය කියන්නේ මිනිස් ජීවිත එක්ක සහකම්පනය ඇතුව යා යුතු චාරිකාවක්...

ඉතින් .....

ජීවිතය කියන්නෙ මෙන්න මෙතනට

To everything there is a season , and a time to every purpose under the heaven : A time to born, and a time to die; a time to plant and a time to pluck up that which is planted.....

ඉතින් මීට පැය විසි හතරකට පමණ පෙර මට ලියවුණා.....

Nature is the only thing never hurts your soul කියලා..

ඒ මිනිස් ක්‍රියාකාරකම් සහ වචන සමූහයකින් සිත රිදීමක් සහ කලකිරීමක් හේතුවෙන්..නමුත් දැන් මම සිතනවා..

Human are most beautiful creature that can added colours to one's life.....කියල..... ❤❤

121. දැන් ඉතින් සිනා වී සමුදෙන්න







බොහෝ මිහිරැති මතක එකතුවක
අවසාන පිටයි මේ දිග හැරෙන
සිනහවක දවටාන ජීවිතය
ආව මේ දුර ගමන වෙහෙසමය
දැන් ඉතින් සිනා වී සමුදෙන්න
මට මගේ ලොව සොයා ඉගිලෙන්න......

විඩාවකි ජීවිතේ ගෙවී ගිය
කිසිත් නැත ඉතින් යළි ගෙනියන්න
ඉතින් කහටක් නොමැති මතකයක
නුඹ සිටී එදා සේ අදතෙක්ම
ඉතින් අපි ආ ගමන අවසන් ය
නළලතට හාදු මල් අකැපමය....

මහා කඳුලක් හෙලා හුස්මකට
හැකිද මේ හැම මතක පිසලන්න
මා ගෙනා බැඳුම් දැන් අහවරය
ඉතින් මට සිනා සී සමුදෙන්න
ඔබෙන් මෙන් ලොවෙන් නැත ලද දෙයක්
සොයා යමි ජීවිතේ ඉසිඹුවක්.....

120. ආදරය කියන්නේ

ආදරය කියන්නේ ඉසියුම්ම හැඟීමකට




ඒක හරියට පේන සීමාවෙ ඔබ ඉන්නව....ඒ දැක්මෙන්ම මගේ ඇස් පිරෙන්න ආදරය උත්පාද වෙනව ... වගේ හැඟීමක්.....

සමහරක් විට....ඔබ මගේ අසලින්ම හිඳගෙන ඉන්නවා....බිඳකුදු ස්පර්ශ නොවීම....ඒත් හිතම පිරී යනවා අප්‍රමාණ ආදරයකින්....අන්න එහෙම හැඟීමක්....

ඔබ ඔබේම ලෝකයක ඔබේම වැඩ කටයුතු ගොන්නක සැරිසරනව....මම ඈතක සිට ඔබට නොදැනී බලා ඉන්නව....ඔබේ සිනහව...ඉරියව්...හැම එකක්ම ඇස් වලින් උකහා ගනිමින් ...ඔව් අන්න ඒ මොහොතෙත් මම ඔබට අපරිමිත ව බැඳෙන්න ගන්නව.....

කිසිම මොහොතක කිසිම දවසක ඔබ ට නොකියන මේ හැඟීම්...
ඔව් අන්න ඒ තමයි ආදරය..
මං ඔබ වෙනුවෙන් අරන් ආව...
සමහර විට ඔබ නොදැනිම ඔබෙන් අත හැරෙන....

ඔබ දන්නව නම්.....
මේ තරම්ම ප්‍රේමයක්
මිහිමත ඇති බව පමණක්ම....
ඔබ වෙනුවෙන්....
එක අතකට
එය ඔබ නොදැන ඉන්න තරමට මං කැමතියි...
ඒ...
ඔබත් මාත් දෙදෙනාම
ආදරය බරක් කොට නොගන්නා හෙයින්....