Monday, February 26, 2024

Every little helps

 Every little helps




සුපුරුදු පරිද්දෙන් මම වාට්ටුව දිගේ ඇවිදන් යනවා.අපේ හොස්පිට්ල් එක පොඩියි.හැබැයි ලස්සනයි.පිළිවෙලයි.

ජෝ ඉන්නෙ එක කාමරයක.එයාගේ දණහිස් දෙකෙන් එකක් රුමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා සම්පූර්ණයෙන් ම හයිවෙලා තියෙන්නෙ.ඒ අව් අස්සෙ බිම වැටිලා අනෙක් දණහිස කැඩුණාම ඉතින් ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක්නෙ.

ජෝ ව ඇඳෙන් බස්සලා ඇවිද්දවන්න යන එක වෙනමම යුද්ධයක්.මායි මගෙ ටීම් එකේ භෞත චිකිත්සක සගයායි ඉතින් රටේ තියන තරම් චාටු බස් කියලා ජෝ ව ඇඳෙන් බිමට බස්ස ගන්න උත්සාහ කරනවා....

ජෝ ඒ එක වෙලාවක මෙහෙම අහනවා....මගේ සගයාගෙන්...

"මෙයා ඉතින් Tesco වගේ තමයි කොයිවෙලෙත්..."

ඒ දෙන්නා හක හක ගගා හිනාවෙනවා ඊට පස්සෙ. මම Tesco ගැන දන්නේ එංගලන්තයේ සුපර්මාකට් එකක් කියලා විතරයි...මම ඉතින් බාගෙට කටත් ඇරගෙන ඒ දෙන්නා දිහා බලන් ඉන්නවා...

"කිත්මා ,ඔයා දන්නවද ජෝ ඒ කිව්ව එකේ තේරුම"

මගේ සගයා එහෙම අහනවා.මම මෙහේ වාඃමාලාවන් එක්ක ටිකක් ටියුබ් ලයිට් කියලා ඔවුන් දන්නවා.

"ඔයා දන්නවද Tesco එකේ ලෝගෝ එකේ තියන වාක්‍යය"

මට එහෙම මතකයක් නැති බව මම කියනවා.ලංකාවේ කාගිල්ස් එකේ "ගෙදර යන ගමන්"කියන එක හුරු උනාට මෙහෙ එව්ව තාම නුහුරුයිනෙ.

"ඒකෙ තියෙන්නෙ every little helps කියලා..මෙයා එහෙම කියන්නෙ ඔයා, තව චුට්ටයි ඔයාට පුලුවන් ....මේ ටික විතරයි...ඔයාට පුලුවන් කියලා උනන්දු කරවන නිසා"

ජෝ මට ඇහැක් ගහලා හිනාවෙනවා.කට්ටකම කොච්චර පෙන්නුවත් එයා වේදනාව දරාගෙනම අඩියක් දෙකක් ඉස්සරහට ඇවිදිනවා.ආතරයිටිස් වලින් එන වේදනාව එක්ක සමහර වෙලාවට ඇවිදින වාරුවට ඔලුව තදකරන් එයා වේදනාව අඩුවෙනකල් ඉන්නවා.

"මට දැන් වයස අනූවක්.මම මගේ වයිෆ් නැතිවුණාට පස්සෙ තනියම උන්නෙ.ඔක්කොම වැඩ තනියම කරගෙන..උයාගෙන...ශොපින් කරලා උන්නා.ඒත්  මට ඉස්සරහට කෙයාරර් කෙනෙක් ඕනවෙයි කිත්මා."

ජෝ දුකෙන් වගේ කියනවා.

"ඔයා දන්නවද කිත්මා.මගේ වයිෆ් අවුරුදු දෙකක් වෙනවා නැතිවෙලා..එයාට ඩිමෙන්ෂියා තිබුණා.එයාව බලාගන්න කෙනෙක් ආවා.නමුත් මම තමා හුඟක් එයාව බැලුවෙ"

ජෝ දුකෙන් වුණත් හිනාවෙනව.

"මගෙ පුතාල දෙන්නම ඉන්නෙ වෙන රටවල්වල.එයාලාට එයාලාගෙ ජීවිත වෙනමම තියනවානෙ.මමයි වයිෆුයි මෙහෙ උන්නෙ.ඒත් එයාට අන්තිම කාලේ මාවත් මතක නැති උනා කිත්මා"

ජෝගෙ ඇස්වල කඳුලක් වගෙ දිලිසෙනවා.ඩ්මෙන්ෂියා කියන්නේ කොච්චර කටුක අත්දැකීමක් වෙන්න පුළුවන් ද කියලා දන්නෙ ඒකත් එක්ක ගැටුණ, අත්දැකීම් අත්වින්ද කෙනෙක්මනෙ.

දණහිස් වල වේදනාව කතාබහ අස්සේ සමනය වෙන අතරෙ..අතීතයේ සමහර සිදුවීම් කියන ජෝ .....ඊලඟ දවසට සුබ පතලා සමුගන්න මට ආයෙම මතක් කරලා දෙන්නෙ....

Every little helps කියන එක

(ජෝ කියන්නෙ අන්වර්ථ නාමයක්..එයාගෙ නම ඊට වඩා ලස්සන එකක්)


ආපහු එන්නම්....


මම විසිරි 

Sunday, February 11, 2024

පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...

 පොත් එක්ක ගෙවුණ පැය කීපයක්...



අද මගේ day off එක.ඒ කියන්නේ සති අන්තෙ දවසක් වැඩ කළොත් ඒ වෙනුවට ලැබෙන අමතර විවේක දිනය.

මම උදේ දහයට විතර එළියට බැස්සේ අව්ව එක්ක සනීප දායකව උදාවෙලා තියන දවසට ස්තුතිවන්ත වෙන ගමන්.දැන් සාමාන්‍යයෙන් 10°C උෂ්ණත්වයට මෙහෙ දවස ආපහු මේ සතියෙ ඇවිල්ලා.ඉතින් බොහොම සතුටින් ටවුන් එකට පයින්ම ආවා.කිලෝමීටරයක් වගෙ දුර.

Chingford කියන්නෙ මට ලඟම ටවුම.ඒකෙ තියනවා පොඩි පුස්තකාලයක්.සාමාජිකත්වය ගන්න හිතාගෙන උන්නාට මගෙ පුස්තකාල ගමන ගැන මටම ශුවර් නැති නිසා මීට කලින් ගිය දවසේ එළියෙ තිබුණ bargain book rack එකෙන් පොත් තුනක් අරන් ආවා....

ආ එදා වුණ වැඩේ ඉස්සෙල්ලම ලියන්නම්කො.පුස්තකාලයෙ සමහර පොත් කාලෙකට සැරයක් bargain sale දානවා.රාක්කෙ තියෙන්නෙ පුස්තකාලයට පිවිසෙන දොරගාව එළියෙන්. අලුත්ම පෙනුම තියන පොත්.සමහරක් විට ඒවායෙ අලුත් මුද්‍රණ ඇවිත් ඇති...නැත්නම් වැඩිපුර නොකියවනවාත් ඇති....කොහොමින් කොහොම හරි පොත් තුනක් පවුමයි.මම නවකතා තුනක් අරගෙන පුස්තකාලය ඇතුලට ගියා.

පුස්තකාලයෙ කාර්‍යමණ්ඩලය සුබ දවසක් පතලා මාව පිළිගත්තා.වස අකරතැබ්බයක් නෙ.මම කාසි මුදල් ගෙනිහිල්ලා නෑ.ගෙනිහින් තියෙන්නෙ කාඩ් එක විතරයි.මම ගැටලුව එයාලාට කියලා ඒ පොත් තුන මා වෙනුවෙන් කොහෙන් හරි තියන්න පුලුවන් ද කියලා ඇහුවා.

"නෑ එහෙම නෙවෙයි.ඔයා මේ පොත් අරන් යන්න.ආපහු මේ පැත්තෙන් එන දාක සල්ලි පුළුවන් නම් දීලා යන්න.කිසි ප්‍රශ්නයක් නෑ"

කවුන්ටරයේ ඉන්න මහත්මිය එහෙම කිව්වා.මට ඒත් හිත නෑ.ලඟපාතක මට මුදල් ගන්න තැනකුත් නෑ.මම එහෙට මෙහෙට හැරෙමින් ඉන්න කොට එයාලා මට නැවත ඒ අදහසම කිව්වා.නමුත් මට තිබුණ ගැටලුව මම ඊලඟ සතියෙම ටවුන් එකට ඒවිද නොදන්න එක.මොකද පසුගිය සතිවල තිබුණෙ පුදුම සීතලක් නිසා.නමුත් ඒක ගැටලුවක් නොවෙන බව එයාලා පුන පුනාම කිව්වා.

ඉතින් එදා මම පොත් තුනක් අරන් ආවා.ඇත්තෙන්ම සති දෙකකට පස්සෙයි මේ අද මම ආපහු ටවුමට ගියේ.

අදත් bargain රාක්ක පීර පීර මම  පොත් තුනක් හෙව්වා.ගෙනිච්ච පොත් තුන කියවලා ඉවරත් නෑ. මට එහා පැත්තෙන් පොත් තෝරමින් උන්නෙ වයසක මහත්මයෙක්.කුදු ගැහුණ කෙට්ටු ශරීරය රාක්ක වලට හරවමින් අතේ තියන සැරයටියත් හසුරවමින් ඔහු පොත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.ඒවා බෑග දෙකකට දාගෙන පුස්තකාලය ඇතුළට යන්නට මගෙන් උදව් ඉල්ලුවා දොර හැරගන්න.මාත් ඒ උදව්ව කරලා පොත් තුනක් තෝරාගෙන පුස්තකාලය තුළට ආවා.

ඉතින් මේ පාරත් පවුමට පොත් තුනයි.සති දෙකකට පෙරාතුව සිදුවීම කියලා පවුම් දෙකක් කවුන්ටරයේ උන්න මහත්මිය අත තැබුවාම ඇය මට හුඟාක් ස්තුති කලා. 

ඔබේ අවංක බවට අපි ස්තුති කරනවා.....

තව අපූරු දෙයක් ඔන්න ඒ අස්සේ මම දැක්කා ....

ඉතින් පුස්තකාලයෙ මේස දෙකක් එකතුකරලා එතන අද වැඩසටහනක්.මාත් පැත්තකට වෙලා බලා උන්නා ටිකක් වෙලා.විවිධ වයස් වල කාන්තාවන් දහපහළොස් දෙනෙක් වූල් ගොතනවා.කෙනෙක් ඔවුන්ට උපදෙස් දෙනවා.ඔවුනොවුන් අතරේ සංවාද ,සිනාවන් හුවමාරු වෙනවා.

මෙහෙ පුස්තකාලවල සතියේ විවිධ දිනවල විවිධ වයස් කාණ්ඩවල අයට ගෙතුම්, චිත්‍ර, creative writing, උද්‍යාන වගා... ඒ වගේ වැඩසටහන් (පැයක දෙකක වගෙ) කෙරෙනවා.කෝපි කෝප්පයක්, රස කැවිල්ලක් හැම කෙනාගෙම ඉස්සරහ..

ඒ දේ බලා ඉන්න එකත් හරිම සතුටක්.මම බස් එකට ආවේ...බඩුටික ගන්න සුපර්මාකට් එකට යන්න.එතනින් බස් එකට යන්න ආවේ අර පොත් බෑග් දෙකක් අරන් ආව මහත්මයා.ඔහුට බස් එකට නගින්න බර පොත් බෑග් දෙක එක්ක අමාරුයි.මම එක බෑගයක් අරන් ඔහු පසුපසින් නැග්ගා.

මට ස්තුතියි කියලා ඔහු බසයේ අසුනකට වුනේ එයාට උස්සගන්න බැරිතරම්ම බර පොත් බෑග දෙකත් අරගෙන.

ඉතින් මට මැවිලා පේනවා....අද හවස උණුසුමැති පොඩි ගෙදරක පොත් ගොඩක් වටකරගෙන....කෝපි කෝප්පයක් එක්ක දුම් පයිප්පයක් අතේ තියාගෙන ඔහු පොත් කියවනවා.මගෙ මුහුණේ මේ දැනුත් ඒ හැඟීම එක්ක ඇති වුණ සිනහවක් ඉතුරුවෙලා තියනවා.

❤️❤️

පින්තූරය අන්තර්ජාලයෙන්