Sunday, December 17, 2023

මගේ බ්ලොග් දිනපොත 01

 



ඉස්සර කලින් බ්ලොග් එක තියන කාලේ මම දිනපොතක් ලිව්වා. ඒ බ්ලොග් එක වහලා දැම්මා. ඒ ගැන ආපහු හොයල වැඩක් නැහැනේ. නමුත් බ්ලොග් එක අප්ඩේට් වෙන්නෙත් නැති එකේ මට හිතුනා සතියකට පාරක් හරි දිනපොතක් වත් ලියන්න ඕන කියල ....

හොඳයි ඉතින් ගිය සතියේ ටික හරි මේ සතියට කියවන්න පුළුවන්නේ ....එහෙනම් ඔන්න මේ විසිරිගේ දිනපොත....

**********************************************************************************************

 සඳුදා 


සති අන්තයක් ගත කරලා සඳුදාවක් උදාවෙනවා කියන්නේ මොන රටේ උන්නත් පොඩි කම්මැලි කමක් එක්ක ඇහැරෙන දවසක්. සීත සමය නිසා උදේ හතටත් හොඳ එළියක් නැහැ. කොහොමටත් මේ අඳුරු ස්වභාවය නම් මහා එපා කරපු හැඟීමක් අරන් එන්නේ. අර පහුගිය කාලේ පිස්සු වැටිලා වගේ ඇවිද්ද මට අන්තිමට සති අන්තෙත් ඉන්න උනේ කාමරයක් ඇතුලට වෙලානේ.

ඔය මොන කම්මැලිකම තිබුනත් අට හමාර වෙනකොට මම හොස්පිටල් එකට ගිහින් යුනිෆෝම් එකත් දාගෙන කම්පියුටර් එක ඕන කරලා එදා දවසේ මේල් ටිකත් බලලා ඉවරයි.

මේක පුනරුත්ථාපන  ඒ කියන්නේ rehabilitation unit එකක් නිසා වාට්ටුවල ඉන්න ලෙඩ්ඩු උදේට නාවලා කියලා ක්ලීන් කරලා සුදානම් කරනකල් අපිට කරන්න වෙන්නේ ලියකියවිලි වැඩ ටික. ලෙඩ්ඩු බලනවා හා සමානවම ලියකියවිලි වැඩ මෙහෙ හරියට.කොටින්ම කිව්වොත් ලෙඩා වමට හැරුණත් ඒක ඒ විදියටම ඩොකියුමන්ට් වෙන්න ඕන. 

ලංකාවේ අපි හොස්පිටල් වල මැරිලා වැඩ කල තරම මෙහෙ නැහැ. නමුත් ලංකාවේදී අපි කල තරමට වඩා සියගුනයක් අපි ඩොකියුමන්ට් වැඩ මෙහෙ කරන්න ඕන. ඒක මට මුලදී ඇත්තටම මහා වෙනසක් උනා. ඉතින් කොහොම හරි සඳුදාව පටන් ගත්තේ ඔන්න ඔහොම. 

මම යන යන තැන අපරාදේ කියන්න බැහැ මටම ගැලපෙන සෙට් එකක් මට හම්බ වෙනවා. ඒක මෙහෙදිත් එහෙමම තමයි.සඳුදා වැඩට ආවට පස්සේ ඉතින් අර කම්මැලි කම කොහෙන් ගියාද කියන්න බැහැ 

******************************************************************************************************** 

අඟහරුවාදා



මේ දවස්වල මට ඉන්නවා අපූරු ආච්චි අම්මෙක්. මගේ ටීම් එකට ඉන්නේ ලෙඩ්ඩු හතයි. ඔන්න ඒ සෙට් එකට අලුතින්ම ආව ආච්චි අම්මෙක් මේ. නම් ගම් මෙහෙ නිතිය හැටියට මෙහෙම එකක ලියන එක පවා නීති විරෝධියි නේ. ඉතින් ආච්චි අම්මගේ  නම් ගම්    ඕන නැහැ.

නිකම් කතන්දර ලියමුකො ඒ ඇතිනේ. 

ගෙදර පඩි පෙලෙන් පිනුමක් ගහලා උකුල් ඇටේ කැඩිලා ඔපරේෂන් එකෙන් පස්සේ ඔන්න එයා අපේ ගාවට එනවා සති හයක හෝ අටක ප්‍රතිකාර වලට. මූලික විස්තර ටික ගන්න ගියාම ආච්චි අම්මට කෝටියක් ප්‍රශ්න ඉතින්. ඔක්කොටම කලින් මගේ නම එයාට උච්චාරණය කරන හැටි උගන්වන්න කිව්වා. ඉන් පස්සේ ඉතින් විස්තර ටික එහෙම අහගෙන මම එයාව ඇඳේ වාඩි කරවලා හිටගන්න සුදානම් කරනවා.  

ඔන්න ඒ  වෙලාවේ එයා මගෙන් අහනවා මෙන්න මෙහෙම...

Have you seen a witch over there?

මම ඉතින් හොල්මන් වෙලා වගේ හතර වටේ බලනවා. මේ එන ලෙඩ්ඩු අතරේ Dementia ලෙඩ්ඩුත් ඉන්න නිසා එක එක කතන්දර ඔහොම කියන කොට අපි පොඩ්ඩක් පරෙස්සමින් තමයි ඒවා ගැන සැලකිලිමත් වෙන්නේ.

Sorry, I haven't seen any witch.

මම එහෙම උත්තර දෙනවා.

ආයේ එයා ඒ ගමන මෙන්න මෙහෙම අහනවා.

have you seen an angel there?

මගේ උත්තරේ අරකමයි.

No i haven't seen...

මම කිසිම කෙනෙක් දැක්කේ නැහැනේ. බොරු කියන්න කියලය....

ආච්චි අම්මා හක හක ගගා හිනාවෙලා මට ඇඟිල්ල දික්කරලා පෙන්වන්නේ ටිකක් එහායින් තියන ලොකු කන්නාඩිය. ඒකෙ පේන්නේ එයාවයි මාවයි....

මට හිනායනවා....

you are my angel ....

එයා මගේ අත්දෙක ආදරයෙන් අල්ලාගෙන කියන්නේ....

මම එතකොට මෙහෙම කියනවා...

But you are not a witch... you will be a miracle...

සමහරක් වෙලාවට ඔබට ඒ අයගේ ජීවිතේට angel  කෙනෙක් වෙන්න පුළුවන්...ඒ වගේම ඒ අය ගේ ලෝකයට ඔබට පුළුවන් අලුත්ම බලාපොරොත්තුවක්  වෙන්න.

 මේ ලියන්නේ අතිශයෝක්ති කියලා ඔබට හිතෙන්න පුළුවන්...
නමුත් මේ මම දිනපතා අත්විඳින අත්දැකීම්...

********************************************************************************************************** 

බදාදා 





 ලිවිල්ල කියවිල්ල අතහරිලාම යන කාලයක් උනා මේක ...කාලය ඉඩහසර ඕනෑවටත් වඩා තියෙද්දී මට ලියන්න නොහිතෙන්නේ ඇයිද කියන්නමටම තේරෙන්නේ නැහැ. නමුත් ඉඳ හිටක හරි කවියක් වත් ලියන්න ඕන කියලා දිනපොත ලියන අස්සෙම මට හිතෙනවා. 

ඉස්සර ඉඳලා කවි , කතා ලියන්න ආසම කල කෙනෙක්ට එක පාරටම ලියන්න කම්මැලි හිතෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? මට තාම හිතාගන්න බැහැ ඒකට හේතුවක්. කාලය මදිකමකුත් නෙවෙයි . නමුත් කම්මැලිකමක් දැනෙනවා. කියවන්නත් එහෙමමයි. කම්මැලියි. 

ඕගොල්ලෝ ගාව මේකට විසඳුමක් එහෙම තියද කියන්නකෝ.

හරි කමක් නැහැ අද දවසට ඔන්න පොඩි කවියක් වත් ලියන්නම්කො  

ඔබ දන්නවද...

මල් පිපෙන අරුමැසි ඉසව්වක

හීන් හඬැතිවූ දිය දහරක

ප්‍රේමයේ තත් නැගෙන 

අන්දම....



ඉතින් ඔබ දන්නවද....

හුදෙකලාවේ ගෙවෙන කාලයක

හද හඬත් නොනෑසෙන යාමයක

තාල නගනා ප්‍රේමයේ 

ස්වර ගැන....



ඔබ කොහොම දන්නවද....

දුර කියන්නෙත් ලඟටම බව

දහස් සැතපුම් දුරක වුව

හද ගැස්ම ඔබ ලඟම 

ඉතිරි බව....


************************************************************************************************** 


බ්‍රහස්පතින්දා 




බර කිලෝ පහකින් අඩුවෙලා. 

මම මෙහෙට එන්න ආසන්න කාලේදී ඇත්තෙන්ම උන්නේ පුදුම ස්ට්‍රෙස් එකක. ගෙදර අයව දාලා එන්න වීම, මං නැතිවුනාම ඒ කට්ටිය කොහොම වැඩ කටයුතු කරගනිවිද කියන බය, අනෙක නුහුරු නුපුරුදු පරිසරයක තනියම ජීවත්වීමට හිත හදාගන්න එක....කීයක් නම් දේවල්ද ? ඒ ඔක්කොටම විසඳුම උනේ අහුවෙන අහුවෙන කන ජාති කෑම ...ඒකෙන් උනේ බර කිලෝ හැත්තෑ පහක් වීම.

මෙහෙට ඇවිල්ල මාස හතරට ඒ කිලෝ පහම අඩු උනා.

ඇත්තෙන්ම ආහාර රටාව වෙනස් වීම තමයි ප්‍රධානම හේතුව. කාබෝහයිඩ්රේට් අඩුවෙනුත් ප්‍රෝටීන් වැඩිපුරත් කන එක. අනෙක අලුත් පළතුරැ සහ සලාද වැඩිපුර ආහාරයට එකතු වීම 

අවංකවම කිව්වොත් ඇවිදින එක කොච්චර කලත් එක ව්‍යායාමයට ගැලපෙන්න නෙවේ. මොකද ගහක වලක කොලයක හද දැක්කම නැවතී නැවතී ෆොටෝ ගන්න කොට ඇවිදින එකේ ප්‍රයෝජනයක් නැහැනේ. හැබැයි පැය ගණන් ඇවිද්දා සමර් එක කාලේදී...ඒක වෙනම එකක්.....

කොහොම උනත් බර කිලෝ පහක් අඩුවීම සෙලිබ්රේට් කරන්න පොඩි චොකලට් එකක් කෑවා මම 

******************************************************************************************************* 

සිකුරාදා 








සතියක් ගෙවිලා සතියක් ඉවර වෙන්න මහා කාලයක් යන්නේ නැහැ . මගේ වෘත්තීය සගයෙක් අද මගෙන් අහනවා ..

Kithma ...how you stay in happy mood from monday to friday equally....?


ඇත්තෙන්ම හුඟක් අය සඳුදා ට වැඩට එන්නේ අයියෝ  මූඩ් එකෙන්...සිකුරාදාට යන්නේ ආව් නියමයි මූඩ් එකෙන්....
සමහර වෙලාවට මට හිතෙනවා මෙහෙම රටකත් එහෙම ය ඉන්නවද කියලත්..
නමුත් ඒක වර්ක් ස්ට්‍රෙස් එක ...
ලංකාවේදී තරම් මැරීගෙන වැඩ කරන්න නොවුනත් මෙතන තියන වගකීම ඊට වඩා සියගුණයක් වැඩියි.
පොඩ්ඩක් එහෙමෙහෙ උනොත් ඇතිවෙන ප්‍රශ්න ගැන හිතාගන්නවත් බැහැ.

ඉතින් ඒ වගකීම් එක්ක ඇතිවෙන පීඩනය එහෙම තමයි.
නමුත් අපි සතුටින් සිනහවෙන් ඉන්න අපි අවටින්ම කාරනා හොයාගන්න ඕන. මම එයාට මගේ ජංගම දුරකතනයේ පින්තූර ගබඩාව පෙන්නුවා. සති අන්ත වල ඇවිද්ද හැටි..මම තනියම ගිය ගමන් බිමන්..ඒ තමයි මගේ හිනාවෙ රහස....මම එයාට පෙන්නුවා.


***********************************************************************************


ඉතින් සතියේ දවස් පහ ඔන්න දිනපොතකට ගත්තා....හැම සතියෙම දිනපොතක් ලියන්න නම් වෙන එකක් නැහැ....ඉඳහිටක ලියන්නම්. 


එහෙනම් සුබ සති අන්තයක් වේවා ඔක්කොටම 



මම විසිරි සිහින 








Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

Saturday, October 14, 2023

පුරු පුරු කතා

 පුරු පුරු කතා


උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....

මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....

කලුපාට දිග කලිසම  පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස්‍ රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....

අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන්  වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...

අදටත්  පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....

ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....

විසිරි

Saturday, October 7, 2023

පුංචි සතුටු කතාවක්...❤️

 පුංචි සතුටු කතාවක්...❤️








තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.

මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.

ඉතින්...මං  ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්. 

නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන  ලියනවා.

ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක්  වෙලාවට. 

ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි. 

No hurry, Take your time...

නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.

hello ... how are you? how was your week end? how's your day?

විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...

ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම  "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.

ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....

ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත  වැනීමක් කළා.

ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.

මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...

hello how are you today?

මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.

ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.

thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...

හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...

නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.

මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට  බියක් නොසන්සුන් කමක්...තිබුනේ.

භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.

help me...

ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.

අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...

I will never forget you my lifetime...

සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.

නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.

සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...

මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....



මම 

විසිරි සිහින

Tuesday, April 25, 2023

30 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 30 කොටස 


29  කොටසට මෙතනින්   29


පාරමී ඇස් ඇරියේ දීර්ඝ නිද්‍රාවකට පසුවය .එක්වනම තමා සිටින්නේ කොහිදැයි ඇයට සිතාගන්නට නොහැකි විය . හෙමින් ගෙල හරවා වටපිට බලන්නට තැත්දැරූ ප්‍රථම නිමේශයෙන්ම අධික වේදනාවක් ගෙල ප්‍රදේශයෙන් දැනෙන්නට විය.ඇයට කෙඳිරි ගෑවුනේ අධික වේදනාව දරාගන්නට නොහැකි වූ නිසාවෙනි.

පාරමීගේ වේදනාත්මක කෙඳිරුම් හඬ අසා ඇයගේ ඇඳ වෙතට දිව ආවේ හෙදනිලධාරිනි යකි.

"මැඩම් කොහොමද දැන්. ඔයා ගොඩක් ලොකු නින්දක් නිදාගත්තා."

හෙදනිලධාරිනිය පාරමීගේ අතකින් අල්ලා ගනිමින් පැවසුවාය.

"මේ කොහේද මට මොකද උනේ" 

පාරමී ඉතා අපහසුවෙන් ඇසුවාය .

"මැඩම්ට මොකුත් මතක නැද්ද මේ ජෙනරල් හොස්පිට්ල් එකේ බර්න්ස් යුනිට් එක. මැඩම් ඊයේ acid බර්න් එකක් වෙලා මෙතනට එක්ක‍රන් ආවෙ."

හෙද නිලධාරිනිය පැවසුවේ පාරමීගේ මතකය අවදි කරමින්.

පාරමී දෑස් වසාගෙනම ඒ සිදුවූ දේවල් මතකයට ගන්නට උත්සාහ කළාය .ඇයට මතක වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත්වී breadtalk වෙත යන්නට ඇය පාර මාරුවන ස්ථානයට පැමිණීම ය.එතැනින් එහාට ඇයට කිසිවක් මතක නොවීය. 

"මගේ බෑග් එක කෝ මිස්?" 

පාරමී ඇසුවේ ගෙලදෙසින් නැගෙන වේදනාව හා සමානවම විශ්ව ගැන ඒ මොහොතේ සිහිවූ බැවිනි.

"මැඩම්ගෙ බෑග් එක මහත්තයා ඇවිත් අරන් ගියා. ඊයේ ඇවිල්ල ගොඩක් වෙලා ඉඳලායි ගියේ තව ටිකකින් ආපහු ඒවි."

හෙද නිලධාරිනිය ඇයට බීමට වේදනා නාශක පෙති කිහිපයක් රැගෙන ආවාය.ගෙල පෙදෙසින් වූ දැඩි වේදනාව හේතුවෙන් පෙති ටික ගිලීමට පවා අපහසුය. 

"මගේ ගොඩක් පිච්චිලා ද මිස්?"

පාරමී හිස නගා බැලීමට අපහසු වූ තැන හෙදියගෙන් ඇසුවාය.

"නෑ මැඩම් deep burn එකක් නම් නැහැ. madamගෙ සාරිය නිසා acid ඇතුලට ගිහින් නැහැ .බෙල්ලයි චෙස්ට් එක උඩ හරියයි විතරයි.ඒකත් superficial burn එකක් විතරයි."

හෙද නිලධාරිනිය ඇය අස් වසා ලමින් පැවසුවාය.

"අන්න ඩොක්ටර් එනවා මැඩම් ගෙ හස්බන්ඩ් එක්ක."

හෙද නිලධාරිනිය ඇඳ අසලින් ඉවත් වූයේ එසේ කියමිනි.

"ආ කොහොමද දැන්.ඩොක්ටර් පාරමී?"

වෛද්‍ය කේසර ස්ක්‍රීනය පසෙකට කොට පැමිණියේය.පාරමී වේදනාත්මක සිනහවක් පෑවාය.

"මොකුත් අමාරුවක් විශේෂයෙන් නෑ නේද?" 

කේසර ඇසුවේ ඇයගේ තුවාල වසා ඇති ගෝස් තට්ටුව දෙස බලමිනි.පාරමී නිහඬවම බලාඋන්නාය.ඇයට කියන්නට හෝ අසන්නට කිසිවක් හිතට නොඒ.

"මචං විශ්ව...ඇතුලට වරෙන්..."

ආපසු හැරී බලා එසේ කී කේසර යළිත් පාරමී දෙස බලා සිනා වුණේය.

මෙතෙන්ට ආවට පස්සෙ තමයි දන්නෙ මේකා මගේ පන්තියේ හිටියේ කියලා.එහෙනම් දෙන්න කතා කරන්නකෝ මං පොඩ්ඩක් අනිත් ලෙඩ්ඩු බලන්න යනවා."

කේසර එතැනින් ඉවත් වී පිටතට ගියේ ය 

පාරමී හිස හරවා බලනු නොහැකිව ඇස් පමණක් හරවා ස්ක්‍රීනය දෙස බලා උන්නාය .විශ්ව පැමිණියේ ඇයගේ වත දෙස බලාගෙනමය.ඔහුගේ දෑස් වල කඳුලු පිරී තිබුනි.

"පාරෝ....කොහොමද රත්තරන් ඔයාට අමාරුවක් නෑ නේද ?"

විශ්ව පාරමී හිසට උඩින් පහත් වී ඉතා සෙමින් ඇසුවේය. තම ශරීරය පුරා පැතිරී ඇති පිලිස්සුම් ඒ වේදනාව යටපත් කරමින් විශ්වගේ මුවින් පිටවෙන ආදරණීය වදන් පාරමීගේ සිත සිත සුවපත් කළේය. 

"බෙල්ලයි පපුවයි කැක්කුමයි.ඉවසන්න ටිකක් අමාරුයි.මට මොකද උනේ විශ්ව ?" 

පාරමී අසූවේ විශ්වගේ අත සෙමෙන් අල්ලා ගනිමිනි.විශ්ව කිසිවක්ම නොපවසා නිහඬව වූයේ මේ මොහොතේ ඇය සන්සුන් කල යුතු හෙයිනි.

"පාරෝ , අපි ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට යං.මෙතන මෙහෙම ඉන්න බෑ ඔයාට"විශ්ව පැවසුවේ පාරමී ගේ හිස අතගාමිනි.

"ඕන නෑ විශ්ව , ම්ම ගවර්න්මන්ට් හොස්පිට්ල් එකක වැඩ කරනවනම් ඇයි මට ඒකක ඉන්න බැරි.මට ඉන්න පුළුවන් "පාරමී හිනැහෙන්නට උත්සාහ කරමින් පැවසුවාය.

"ඔයාට පුළුවන් වුනාට ඔයා ළඟ දිගටම ඉන්න මට ලැබෙන්නෙ නෑනෙ එතකොට .ඒ නිසා අදම කේසරට කියල මම ඔයාව වෙන තැනකට ගෙනියනව"

විශ්ව හිතුවක්කාර හඬින්ම පැවසීය.පාරමී කතාකරන්නට යෑම තවත් වෙහෙසක් වන හෙයින්ම නිහඬව ඉවසාඋන්නාය.

"තුවාලෙ ලොකුයිද විශ්ව.මට හරිම කැක්කුමයි "

පාරමී ඇසුවාය .

"නෑ නෑ ඒක ලොකු එකක්වත් ඩීප් එකක්වත් නෙවේ ඩොක්ටර් පාරමී ,.අපි එහෙනම් LAMA ලියල ම විශ්ව කියන තැනකට යන්න ලෑස්ති වෙමු.මෙතන ට්‍රීට්මන්ට් වලට වඩා මෑන් ට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්නෙ"

වෛද්‍ය කේසර ආපසු ඇය අසලට පැමිණෙමින් පැවසුවාය.

අගනුවර ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලකට පාරමීව මාරුකරගත් විශ්ව , ඇයව එහි රැගෙන ගියේය .කේසර ද එම රෝහලේ පුද්ගලික ප්‍රතිකාර කටයුතු වල යෙදෙන හෙයින් ප්‍රතිකාර සම්බන්ධයෙන් තවදුරටත් සැලකිලිමත් වන බව ඔහු පැවසීය .

පාරමී අදාල පෞද්ගලික රෝහලේ සයනයට මාරුකල වහාම දෑස් යලි පියාගත්තේ ඉතා කෙටි ගමනකින් වුව ශරීරයට දැනෙන්නාවූ අපහසුව හෙයිනි.

"මම තමයි ඉතින් මැඩම්ගේ සාත්තු සේවකයා අද ඉඳන්"

විශ්ව ඇයගේ නලලතට හාදුවක් තබමින් පැවසීය.පාරමී ආයාසයෙන් සිනහවෙන්නට තැත්කලාය.

"ස්කාර් එක හිටීවිද විශ්ව?"

පාරමී මිමිණුවාය.ඇයගේ සිත බෙහෙවින්ම ඔද්දල්ව ගොසිනි.

"කලබල නොවී හිත සැහැල්ලුවෙන් ඉන්නකො කෙල්ලෙ.කේසර කිව්වා ඒක ඉක්මනින් හරියයි කියල.ඒකට ට්‍රීට්මන්ට් තියේනෙ ඉතින්" 

විශ්ව ඇය අස්වසාලමින් පැවසුවේය.

පාරමී කෙතෙක් ප්‍රතික්ෂේප කළද විශ්ව ඇයගේ කාමරයෙන් පිටව ගියේ නැත. විශ්ව විසින් තමාට සඟවන යමක් වේදැයි විටෙක පාරමී ට සිතුණි.ඔහු සිටියේම තැතිගැණුන ස්වභාවයෙනි.රාත්‍රියේ පවා ඔහු විටින් විට තම සයනය අබියසට විත් බලන අන්දම ඇය දුටුවාය.

සිදුවූයේ කුමක්ද යන්න නැවත නැවත ඇය විශ්වගෙන් නොඇසුවේ ඔහු කිනම් හෝ වේලාවක එය පවසනු ඇතැයි සිතාය.

දින කීපයක් ගතවන විට පාරමී ගේ තුවාල වේලීයන්නට පටන්ගෙන තිබුණි.

"දැන් රිදෙන්නෙ නෑ නේද පාරෝ."

ඇය මුහුණ කට සෝදා කාමරයට එනතුරු දොරලඟටම වී සිටිනා විශ්ව අසයි.පාරමී හිස දෙපසට වනා සිනාවූවය.

"මොකද මේ අනේ.මං පැනල යයි කියල වගෙ බයෙන් පස්සෙන්ම ඇවිදින්නෙ."

පාරමී ඇසුවේ විශ්වගේ අතකින් අල්ලාගනිමිනි.විශ්ව සුසුමක් හෙලා නිහඬ වූවේය.

හෙද නිලධාරිනිය පැමිණ ආවරණය කල සියල්ල ඉවත් කොට තුවාල ඉතුරු වී ඇති තැන් වල ආලේපනයක් තවරා යන්නට ගියාය.එක් උරයක් පමණක් වැසුණ රෝහල් ඇඳුමකින් සැරසී උන් පාරමී සිය අසුනේ පසෙක හිඳුවාගත් විශ්ව වියැලී ගිය පෙදෙස් අල්ලා බැලුවේය.

"පාරෝ කලබල වෙන්නෙ නැත්නම් කියන්න ලොකු කතාවක් තියෙනව."

විශ්ව ඇයගේ මුහුණ තමා වෙත හරවාගනිමින් පැවසීය.

"ඔය වෙච්ච ටික දැන් පාරමී ට කියපන්.මොකක් හරි වෙන්න හරි එයාත් දැනගන්න ඕනනෙ මේව"

නිසල් පෙරදා ඔහුට ඇමතුමක් දුන් වෙලෙහි පැවසීය.

"මොකක්ද විශ්ව...?"පාරමී සුපුරුදු සන්සුන් බවින් ඇසුවාය.විශ්ව ශෙරීනාට සිදුවූ දේ පාරමීට සවිස්තරව පැවසීය.

පාරමී ඇස් ලොකු කරගෙන මවිතයෙන් එය අසා උන්නාය.

"එතකොට මට ඇසිඩ් ගැහුවෙත් ...?" 

පාරමී ඇසුවේ විශ්වගෙනි.විශ්ව හිස දෙපසට වනා එය නැතැයි කීවේය.පාරමී විමසුම් දෑසින් ඔහු දෙස බලාඋන්නේය.

"මේක මට කියන්න අකමැතිම ඒ වගේම අමාරුම කතවක් පරෝ.ඒත් මේ ටික අහල ඔයා මේ සම්බන්ධව ගන්න කියන තීරණය මම ක්‍රියාත්මක කරන්න සූදානම්."

විශ්ව පැවසීය .පාරමී ඔහුඅතින් අල්ලාගෙනම බලාඋන්නාය.

පාරමීට ඇසිඩ් ගැසීමේ කොන්ත්‍රාත්තුව අම්මා විසින් සැම් වෙත බාරදී ඇති අන්දම විශ්ව පැවසුවේ පාරමී දෙසවත් නොබලාය.ඔහුට ඇයගේ මුහුණ බැලීමට නොහැකි තරම් වරදකාරි හැඟීමක් සිතට විත් තිබිණ.

පාරමී ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට නොහැකිව බලාඋන්නාය.ඇත්තෙන්ම ඇයගේ සිත තුල ඇතිවූයේ බලවත් කම්පනයකි. ශෙරීනාගේ අනපේක්ෂිත මරණය තම සිත කම්පා කොට මොහොතක් ගතව යද්දී විශ්ව කියූ මේ කතාව තමා ඔසවා පොළවේ ගැසුවාක් බඳු කතාවක්ම විය.කෙනෙක් හට මෙතරම් කුරිරු විය හැකිද? මේ සා තවකෙකුහට හිංසා කලහැකිද ?

"පාරෝ ඒ මගෙ අම්මා තමයි.ඒත් එයා කලේ සමාව දෙන්න පුළුවන් කාරණයක් නම් නෙවෙයි.ඔයා ඕනම ඇක්ෂන් එකක් ගන්න.මම ඒකට බලපෑම් කරන්නෙ නෑ"

විශ්ව පැවසුවේ අසරණ හඬකිනි.

මෙතුවක් කල් තමා ජීවත්වූ සරල ලෝකය ඉතින් සුණු විසුණුව ගොස් හමාරය.ඉතාම කුඩාකල තාත්තාද ඉන් පසුව අම්මා සහ මාලනීද වටා ඉදිව ගතකල ජීවිතයේ ක්‍රෝධය, වෛරය ගැවීවත් තිබුණේ නැති තරම්ය. මේ කිනම් ලෝකයක්දැයි පාරමී විස්සෝප වෙමින් කල්පනා කළාය.

"විශ්ව, දැන් ඔයා ගෙදර යන්න. මට ටිකක් තනියම ඉන්න ඕනෙ" පාරමී විශ්වගේ අතකින් අල්ලා පැවසුවාය.විශ්ව ඇයගේ දෝතින්ම අල්ලා ඇයගේ මුහුණට එබුණේය.

"පාරෝ , ඔයා මෙහෙම කියන්නෙ ඇයි?"

විශ්ව ඇසුවේ කම්පනය වූ සිතිනි.පාරමී හිස නගා ඔහු දෙස බැලුවාය.

"ඔයා දැන් කීවනේ මට ඕනම ඇක්ෂන් එකක් ගන්න ඉඩදෙනව කියල.මට තනියෙන් ඉන්න ඕනෙ විශ්ව .කල්පනා කරන්න ඕනෙ හැමදේම ගැන මේ වුණ.ඒ නිසා ඔයා ගෙදර යන්න දැන්.මම කෝල් එකක් දෙන්නම් ඔයාට"

පාරමී සිනාවෙන්නට තැත් දරමින් පැවසුවාය.විශ්ව සුසුමක් හෙලා ඇයදෙස බලාඋන්නේය.ඇත්තෙන්ම ඇයට ඒ තමා කියූව දරාගන්නට අපහසු වන්නට ඇත.විශ්ව ඇයගෙන් සමුගෙන ආපසු සිය රථයට පැමිණියේ නිසල්ට ඇමතුමක් දෙමිනි.

" පොඩ්ඩක් වරෙන් මට කතාකරන්න ඕනෙ" 

විශ්වගේ හඬම තත්වය සුබ නොවන බව විසල්ට කියාදුන්නේය.ඔහු වහා විශ්ව හමුවන්නට ආවේ සුපුරුදු වෙරළබඩ අවන්හලටය.

"පාරෝගෙ මූඩ් එක එහෙම්පිටින්ම අවුල් වුණා බං .ඇත්තනෙ ශොක් වෙන්නෙ නැද්ද කියපන්කො මේක ඇහුවම.මට ගිහින් එන්න කීව තනියම ඉන්න ඕනෙ කියල"

විශ්ව අසුනේ සිට සිය හිසකේ තදින් ඇදගනිමින් පැවසීය.

"අපි බලමු බං .පාරමී කියන්නෙ හුඟක් දුරදිග හිතන්න පුළුවන් කෙනෙක්නෙ.උඹ කලබල නොවී කෝල් එකක් දෙනකල් හිටපන්.අද උඹ ගෙදර යන්න ඕනනෑ.යමන් අපේ ගෙදර."

නිසල් විශ්වගේ උරහිසට තට්ටුකරමින් පැවසීය.

                                                                                    *** 

විශ්ව නික්ම ගිය පසු පාරමී සයනයේ වැතිරගත්තේ පහවී නොගිය කම්පනයෙන් යුතුවය.ඉදින් මේ තමා අත්දකින්නේ කිසිදාක අපේක්ෂා කල තත්වයක් නොවේ.විශ්වගේ මව ආඩම්බරකාර මෙන්න නපුරු කාන්තාවක් බව කෙතෙක් දැනුනද ඇය මේසා කුරිරු වේයැයි පාරමී සිහිනෙනුදු නොසිතුවාය.කෙසේ වුවත් අවසානයේ සිදුව ඇත්තේ එයයි.පාරමී ඇසට ගලා ආ කඳුළ නිවාගන්නට තැත් කළාය.

"මොකද බං උනේ මේ."කාමරයේ දොරෙන් ඇතුලට ආවේ දැහැමිය.ඇය දෑස් විසල් කොට පාරමී දෙසම බලාඋන්නාය.පාරමී සිනාසෙන්නට තැත් කළද එය අසාර්ථක විය.

"නිසල් අයියා කියනකල් මම මේ මොකුත් දන්නෙ නෑ. දැනගත්ත ගමන් මේ දුවල ආවෙ" 

දැහැමි සිය බෑගය පුටුව මතට දමා පාරමී වෙත ළංවූවාය.

පාරමී සිදුවූ සියල්ල දැහැමි වෙත පවසා උන්නේ සිතේ බලවත්ව පැතිරුණ වේදනාවෙන් යුතුවය.ඉතින් සුසුමක් කඳුළක් හෙලා ළය සැහැල්ලු කරගන්නට නොහැකි තරම් මේ අත්දැකීම කටුකය. භයංකාරය.

"මට හිතාගන්නවත් බෑ බං මෙහෙම දේවල් කරන්න මේ මිනිස්සුන්ට පුළුවන් වුණාද කියල."

දැහැමි පැවසුවේ කලකිරීම මුසු හඬිනි.

"විශ්ව අයියා මොකෝ කියන්නෙ ඉතින් "

දැහැමි ඉන්පසු ඇසුවාය. 

"විශ්ව පව්...එයා මේ වෙලාවෙ මාරම අසරණයි.මට කැමති ඩිසිෂන් එකක් ගන්න කීවා.මම එයාව ගෙදර යැව්වා.මට ටිකක් කල්පනා කරන්න ඕනෙ කියල." පාරමී පැවසුවේ කල්පනාවෙන් බරවය.ඇත්තෙන්ම මේ කාරණයට විශ්වට කරන්නට දෙයක් ඇත්තේම නැත.ඔහු මුල සිටන්ම අම්මා ගැන පාරමීට පවසා තිබූ කරුණු අනුව අම්මා යනු කුමන අන්දමේ කාන්තාවක්දැයි පාරමී වටහා ගෙන උන්නාය.

"ඔය අම්මණ්ඩිට පාඩමක් උගන්වන්නම ඕනෙ.බලපන් අවුරුදු හැත්තෑවත් පැනල.තාම තණ්හවෙ ඉවරයකුත් නෑ.අනුන්ට ගින්දර දෙන එකේ ඉවරයකුත් නෑ"

දැහැමි පැවසුවේ අධික කෝපයකිනි.

"මං මොන දේ කලත් අන්තිමට තැවෙන්නෙ විඳවන්නෙ විශ්ව. තමන්ගේ අම්මා මොනව කලත් ඒකෙ වරද විශ්වට පටවන්න බෑනෙ බං "

පාරමී කල්පනා කරමින්ම පැවසුවාය.

"උඹ දැන් මොකක්ද කරන්න ඉන්නෙ."

දැහැමි ඇසුවේ පාරමීගේ තුවාල දෙස බලමිනි.

"බලපන් මේ වගෙ දෙයක් කරවන්න මේ ගෑනිට පුළුවන් උනේ මොන හිතකින්ද ?" දැහැමිගේ ස්වරයේ තරහ, වේදනාව මෙන්ම කලකිරීමද විය.

"මං කල්පනා කරන්නෙත් ඒකම තමයි බං"

පාරමී පැවසුවාය.

                                                                             *** 

"මචං මේ මේ බලපන්"විශ්ව සිය පරිගණකයට එබී කෑගැසීය.නිසල් වහ වහා ඔහු වෙත දිව ආවේ ඒ කෑගැසීමෙනි.

ශෙරීනා එවූ විද්‍යුත් මේලය පරිගණකයේ විවෘත වී තිබුණි.ඇය මුලින්ම විශ්වගෙන් සමාව ඉල්ලා තිබුණ අතර සිදුවූ සියල්ලම විස්තර සහිතව ලියා තිබුණි.මෙම මේලයේම පිටපතක් සිය පියාටද යවා ඇති බව ඇය සඳහන් කොට තිබුණාය.

"මේක නම් නිකම් ඩ්‍රාමා එපිසෝඩ් එකක් වගෙනෙ බං.බලපන්කො අරුන්ගෙ ප්ලෑන් එක.මං හිතන්නෙ ශෙරීනා රට පනින්න හදපු එක හැක් උනා ටෙරන්ස් කාරයාට.ඕකුන් අපිවත් හැක්කරලද දන්නෑ මෙලහකට."

නිසල් විද්‍යුත් මේලය නැවත කියවමින් පැවසීය.

"අංකල්ටත් මේක ෆෝවර්ඩ් කරල කියන්නෙ ශෙරීනාට මාව මේකෙන් ගලවගන්න ලොකු උවමනාවක් තිබ්බා කියන එකනෙ.පව් මොක උනත් "

විශ්ව පැවසුවෙ ශෙරීනා ගැන උපන් සැබෑ ශෝකයෙනි.

"අරුන් මේ වැඩේ අතාරින්නෑ ඒ උනාට .කල්පනා කියන්නෙ කන්න දුන්න අත හපා කාපු සතෙක්.උඹේ පස්සෙන් මෙච්චර පන්න පන්න පලිගන්න ඒකිට මොන හේතුවක්ද කියලයි මම කල්පනා කලෙ මේ"

නිසල් පැවසුවේ කල්පනාබරිතවය.

"උඹ මේක පොලිසියට දෙනවද?"

නිසල් යළි ඇසුවේය.

"නෑ කරන දෙයක් අංකල් හිතල බලල කරයිනෙ.බලමුකො

මේ ඔක්කොමත් හරි පාරමී දැන් මොකක් කරයිද කියලයි මට ප්‍රශ්නෙ බං."

විශ්ව පැවසුවේය.ඔහුගේ සිතෙහි වූයේ බරපතල ලතැවිල්ලකි.පාරමී නොමැතිව නම් තමාහට මින් ඉදිරියට කිසිවක් කරන්නට නොහැක.

"උඹ හවස යනවනෙ පාරමීව බලන්න."

නිසල් ඇසුවේ වේදනාවෙන් පසුවන සිය මිතුරාගෙනි.

විශ්ව හිස වනා පිලිතුරු දුන්නේය.

              

ඒ මොහොතේම විශ්වහට ඇමතුමක් ලැබුණේ ශෙරීනාගේ පියාගෙනි.

"විශ්ව පුතා , ඔයා ඊමේල් එක දැක්කද?"

ඒ පියාගේ හඬෙහි වූයේ දැඩි ආවේගයක් සහ කෝපයකි. ඊට හේතුව වූයේ තමාගේ දියණිය මේ සා නොහොබිනා ලෙස විශ්ව හට ද්‍රෝහී ක්‍රියාවක් කිරීමය.

"ඔව් අංකල් ,මාත් මේ දැන් බැලුවා විතරයි"

විශ්ව සන්සුන් ස්වරයෙන් පැවසුවේය.

"මේකි මෙච්චර බලු වැඩක් පුතාට කරයි කියල මං හිතුවෙ නෑ පුතා . අයැම් සෝ සොරි.මට ඇත්තෙන්ම ලැජ්ජයි"

ඔහු වේදනාත්මක ස්වරයෙන් පැවසීය.

"අංකල් ඒක ගැන වොරි වෙන්න එපා.මට ඇත්තෙන්ම ශෙරීනාට වුණ දේ ගැන දුකයි. අංකල් මේ ඊමේල් එක මොකද කරන්නෙ.පොලිසියට ඉදිරිපත් කරනවද?" 

විශ්ව ඇසුවේ ඉදිරි කටයුතු ගැන වදවෙමිනි.

"මොන දහජරා වැඩෙ කලත් දැන් එයා ඒකට දඬුවම් විඳල ඉවරයි පුතා.නමුත් අන්තිම ජරා හොරමැරකම් කරන කෙනෙක් වුනත් මෙහෙම මැරෙන්න බෑ.නීතියට අනුව.ඒ නිසා මම මේක පොලිසියට දෙනව" 

ඔහු පැවසීය.

"අවශ්‍ය වුනොත් මගෙ එවිඩන්ස් මම දෙන්නම් අංකල්. "

විශ්ව සමුගනිමින් පැවසීය.කෙසේ වුවද අතිශය බලලෝබී කතන්දරයක නිමාව එලෙස සනිටුහන් වුවද තවමත් කල්පනා සහ ටෙරන්ස් නිදැල්ලේය.ඔවුහු ශෙරීනාගේ ඊමේලය ගැන අවබෝධයක් නැති හෙයින් තවම ඊළඟ පියවර සැලසුම් කරමින් ඉන්නවා ඇත.

                                                                          *** 

"කල්පි , අපි නෙක්ස්ට් වීක් අපහු යන්න ඕන.ඊට කලින් මගෙ ප්ලෑන් එකක් තියනව.මං මේක හොඳින් හෝ නරකින් මගෙ අතට ගන්නව.නැත්නම් ඌව මම නැතිකරනව" 

ටෙරන්ස් නාගහවත්ත පැවසුවේ සවස් යාමයේ කල්පනා උන් මහල් කිවාස කුටියට පැමිණි මොහොතේය.කල්පනා නිහඬව ඔහු කියන්න අසා උන්නාය.

"මොකෝ ගල්ගිල්ල වගෙ ඉන්නෙ.අරකි මැරුණට බයේද?"

ටෙරන්ස් නාගහවත්ත කල්පනාගේ ගෙලවටා අතක් යවා තමා වෙතට ඇදගනිමින් පැවසීය.කල්පනා කිසිවක්ම නොකියා උන්නාය.

ටෙරන්ස් නාගහවත්තගේ නිලනොලත් අන්තඃපුරයේ ආ ගිය සුරූපිනියන් අතර කල්පනාට හැමදාම ස්ථීර තනතුර තිබුණේ ඇයගේ උගත්කම සහ ටෙරන්ස්ගේ කටයුතු වලට දැක්වූ විශ්වාසනීය බව හෙයිනි.

"මට බයයි ..ශෙරීනාගෙ ඩෙත් එක ගැන පොලිසිය ඉන්වෙස්ටිගේශන් යනව.මාව අහුවෙන්න පුළුවන් .ආගිය තැන් චෙක්කලොත්"

කල්පනා පැවසුවාය.

"ඇයි ඒ යන තැන්වල ගියේ පෙනුම වෙනස්කරන් නෙවෙයිද?"

ටෙරන්ස් නාගහවත්ත ඇසුවේ කල්පනාගේ අනියත බිය ගැන ගැටලු සහගතවය.

"ගියෙනන් එහෙම තමා.ඒත් මේ ගෑනිව ශුවර් නෑනෙ.කරන දෙයක් ඉක්මනින් කරල අපි යං"

කල්පනා පැවසුවාය.ටෙරන්ස් නාගහවත්ත කල්පනා සිය ගතට ලංකොට ගත්තේ නිදන කාමරය වෙතට පියනගමිනි.ඉන්පසු එළඹෙන හෝරා කීපය තමා නොමරා මැරෙන්නක් බව කල්පනා දැන උන්නාය.එහෙත් මේ දෛවය තමාට ඉතුරු කල දෑය.ඇය සිත හදාගෙන ඔහුට අවනත වූවාය.

කල්පනා සයනයෙන් නැගීඋන්නේ ටෙරන්ස් නාගහවත්තගේ මත් පැන් වීදුරුව රැගෙන එන්නටය.ඔහු ඇය සමග මත්පැන් පානය එහෙම දිනයක අත්හැරියේ නැත.කල්පනා මත්පැනට හුරු වූයේද ටෙරන්ස් ගේ ඇසුරෙනි.

අයිස් කැට ,වීදුරු සහ , මත්පැන් ද සහිත ට්‍රොලිය රැගෙන කල්පනා ටෙරන්ස් වෙත ලඟාවූවාය.

"උඹ හොඳ කෙල්ල.මගෙ ටේස්ට් එක දන්න එකම කෙල්ල.කොච්චර මගෙන් ගුටිකැවත් කිසිම දවසක මාව අතෑරල නොගිය එකි.මම උඹට අලුත් අපාර්ට්මන්ට් එකක් අරන් දෙනව ගිය ගමන්."

කල්පනා සිය උකුලේ හිඳුවාගෙන ටෙරන්ස් සිය මත්පැන් වීදුරුව අතට ගත්තේය.කල්පනා ද සිය මත්පැන් වීදුරුව හිස්කරමින් ආලිංගනයට නතුවූවාය.

මත්පැන් බී අවසානයේ සයනයට වැටුණ දෙදෙනාගේ නෙත් පියවෙන්නට මොහොතකට පෙර කල්පනාගේ මුවගට ආවේ සැනසුම් සිනහවකි.

                                                                      *** 

විශ්ව පාරමී උන් කාමරයට ඇතුල් වූයේ සිතේ බලවත්ව නැගෙන අවිනිශ්චිත භාවයද සමගිනි. ඒ වන විටත් දැහැමි ඇයගේ හිස පීරමින් ඇය අසලට වී උන්නාය.විශ්ව දෙදෙනා සමගම සිනාවූයේ ආයාසයෙනි.

"විශ්ව අයියා බලන්න මේ කෙල්ලට වෙලා තියන දේ"

දැහැමි පැවසුවේ ඉතාමත් වේදනාවෙනි.කුඩාකල පටන්ම එකට වැටී උන් සිය මිතුරියට වූ මේ දේ දැහැමිව කම්පනය කොට තිබුණි.

"මං හිතුවෙ නෑ විශ්ව අයියා නැන්දා ඔච්චර දරුණු ගැනියෙක් කියල"

දැහැමි ගේ හඬ චෝදනාත්මක වෙද්දී විශ්ව අපහසුතාවයෙන් බිම බලාගත්තේය.පාරමී දැහැමි ගේ අතින් අල්ලාගත්තේ ඔය ඇති යැයි ඇසින් කියමිනි.

දැහැමි සමුගෙන ගිය පසු විශ්ව පාරමී වෙත පැමිණියේ ඇයගේ දෑසෙහි කියවෙන කතාව සිතාගන්නට අනුමාන කරමිනි.ඇය තමා හැරයනු ඇත්දැයි ඔහුට මහත් බියක් ඇතිව තිබුණි.

"පාරෝ..."විශ්ව ඇයගේ අතක් අල්ලාගත්තේ කෙඳිරුම් හඬකින් එසේ කියමිනි.පාරමී සුසුමක් හෙලා බලාඋන්නාය.

"ඇයි කතා නොකරන්නෙ..."විශ්ව ඇසුවේය.

"විශ්ව...මේ මොන දේ මෙහෙම උනත් මට ඔයාගේ අම්මාව පොලිසි උසාවි ගානේ ගෙනියන්න වුවමනාවක් නෑ."

පාරමී සුසුමක් හෙලා පැවසුවාය.

"අවුරුදු හැත්තෑගානක් වෙලත් එයාගේ තියන ගතිගුණ ඔයාටවත් අපිටවත් වෙනස්කරන්න බෑ.ඒක මේකෙන් තහවුරු උනානෙ.ඒ උනාට ඔච්චර වයසක කෙනෙක් පොලිසි උසාවි ගෙනිහින් කරදර කරන්න බෑ....මට කොහෙත්ම ඒක කරන්න බෑ...."

පාරමී පැවසුවේ කල්පනාවේ ගැලෙමිනි.

"ඒ උනාට මේ හැමදේම මගෙ ජීවිතයට හුරු ඒවා නෙවෙයි විශ්ව.ඔයා දන්නව අම්මායි මාලනියි එක්ක මම ගතකල ජීවිතේ මොන වගේද කියල.මෙහෙම දේවල් අපේ ජීවිත වල තිබුණෙ නෑ..."

විශ්ව නිහඬවම අසා උන්නේය.

"මේ කිසිම දේකට ඔයා වැරදි නෑ විශ්ව.ඒත් .....මට තීරණයක් ගන්න වෙනවා....ඇත්තෙන්ම ආයෙ ආයෙ මේ වගේ අනතුරු කරදර නොවෙයි කියල කිසිම සහතිකයක් අපිට නෑනේද....?

ඔය ශෙරීනාගේ මරණය කරවපු අය තාම පස්සෙන් පන්නනවා වෙන්න පුළුවන් ..ඒ අයගෙ ඊළඟ ඇටෑක් එක මම වෙන්න පුළුවන් ...ඔයාගෙ අම්මාට විරුද්ධව මොකුත්ම නොකරන නිසා එයා ආයෙ ආයෙ මට කරදර නොකර ඉඳී කියලා හිතන්නත් අමාරුයි.....ඒ නිසා අපි තීරනේකට එන්න ඕනෙ විශ්ව "

පාරමී නිවීසැනසිල්ලේ කියාගෙන ගියාය.ඇය තුළ වූ සන්සුන් බව විශ්වගේ අහලක හෝ තිබුණේ නැත.ඔහු උන්නේ ගිනිවැදෙමිනි.

"පාරෝ....ඔයා මොකක්ද කරන්න යන්නෙ...?"

විශ්වගේ හඬ වෙවුලුම්කමින් පැවතුණි.පාරමී විශ්ව දෙසට හෙමින් හැරී බැලුවාය.ඔහුගේ දෑස් බොරපැහැයට හැරී තිබුණි.ඒතරමට අසරණ වූ දෑසක් පාරමී විශ්වගේ මුල් වෛද්‍ය හමුවේදී හෝ දැක නොතිබුණි.

"ඔයා මාව අතාරින්නද යන්නෙ පාරෝ...?" 

විශ්ව ඇසුවේ පාරමී දෙසම බලාගෙනය.පාරමී ඉතා සන්සුන්ව සිනාවක් පා හඬ අවදිකලාය.

                                                                                    *** 

" මේ හැමදේම මෙහෙම උනත් ඒ කිසිම දේකට ඔයා වගකියන්න ඕන නැහැ කියලා මම හිතන්නේ. මේ වගේ දේවල් වලින් විසිරිලා බිඳිල යන්න තරම් අපි දෙන්නගෙ අතරෙ තිබුණ ආදරය දුර්වල එකක් කියලා මම හිතන්නේ නැහැ.ඒ නිසා ඔයත් එක්ක එදා ගත්තු තීරණය අදටත් ඒ විදියටම තියෙනවා විශ්ව."

පාරමී බොහෝ නැවතිල්ලේ කියාගෙන ගියාය. විශ්වගේ හදවත සැහැල්ලු වූයේ කිය ගන්නටත් බැරි තරම් ඉක්මනිනි. ඇයගේ තීරණය ගැන කෙතරම් හිත අවිනිශ්චිතව තිබුණේදැයි ඔහුටම සිතාගත නොහැක.

" යොදාගත්තු හැමදේම ඒ විදියටම අපි කරමු. හැබැයි මේ වෙලාවේ ඉඳන් මගේ ආරක්ෂාව ගැන ඔයාට ලොකු වගකීමක් තියෙන බව විතරක් මතක තියාගන්න."

පාරමී සිය දෑතට සිරව ගත් විශ්වගේ දෑතම පිරිමදිමින් පැවසුවාය.

විශ්ව පාරමී සිය ළයට තුරුලු කොට ගත්තේ ඇයගේ තුවාල පෑරෙන්නේ නැති තරම් සියුම් වය.

"මං ඒ දේ කරනවා පාරෝ.ඔයා නැතුව මට කොහොමත් ජීවිතයක් නෑ.ඒක මම දන්න එකම දේ" විශ්ව පැවසුවේ පාරමී පාරමීගේ නලලත සිප ගනිමිනි.මෙවන් දෙහදක නැගෙන ප්‍රේමය කෙතෙක් නම් බලවත්දැයි විටෙක කෙනෙකුහට සිතාගන්නට නොහැකි තරම් ය 

                                                                        *** 

රටම ආන්දෝලනයකට ලක් කරමින් සුපිරි නිවාස සංකීර්ණයේ එක් නිවසක ටෙරන්ස් නාගහවත්ත සහ කල්පනා සූරියාරච්චි මිය ගොස් සිට හමුවූයේ දිනකට පසු ටෙරන්ස් නාගහවත්තගේ ශරීර ආරක්ෂකයා විසින් දොර කඩා බැලීමේදීය.

මරණ පරීක්ෂණයේ දී නිරාවරණය වූ කාරණය වූයේ මත්පැන් වලට මුසු වූ නිද්‍රාජනක ඖෂධ අධිමාත්‍රාවක් සමඟ උග්‍ර විශක් දෙදෙනාගේම ශරීර වලට ඇතුළු වී ඇති බව ය. සැකය විවිධ ආකාරයෙන් හැම දෙසටම යොමු වෙද්දී ශෙරීනාගේ විද්‍යුත් මේලය මෙන්ම කල්පනා විසින් කෙටි සටහනක් සේ ලියා තබා ඇයගේ අත්බෑගයේ සඟවා තිබූ පාපොච්චාරණමය සටහන ද සියලු දේ නිරාවරණය කර දුන්නේය.

ටෙරන්ස් නාගහවත්ත ගේ අතීතයේ සිටම සිදු කළ සියලුම වංචනික හා දරුණු ක්‍රියාවන් සියල්ලේම වගකීම ඔහු සහ තමා ගන්නා බවද මේ සියලුම කාරණා වලින් අනෙක් පාර්ශ්ව සියල්ලම නිදහස් වන බව ද ඇයි සටහන් කොට තිබිණි.

"අන්තිමට හැමදේම විසඳල තියලා උන් ඔක්කොම ගියා."

නිසල් පැවසුවේ මේ සියල්ලේම පසු සමාලෝචනයක් විශ්ව සමගින් කරමිනි.කල්පනාගේ මරණය විශ්වගේ සිතේ කිසිදු වේදනාවක් ඇතිකලේ නැත.ශෙරීනා වෙනුවෙන් නම් යම්තාක් දුරකට හෝ කණගාටුවක් ඉතිරිව තිබුණි.

"අපේ අම්මාගේ කාරණය ඇරෙන්න අනිත් ඔක්කොම ඒ විදිහටම විසඳිලා ගියා."

විශ්ව පැවසුවේ තමාහට ඇසිඩ් ගැසූ කාරණය පොලිස් වාර්තාවලින් ද පාරමී ඉවත් කරගත් හෙයිනි.එය තනිකරම ඇයගේ තීරණයක් වූ හෙයින් විශ්ව එයට මැදිහත් වූයේ නැත. පාරමී කිසිදු විටෙක තමා ගත් ඒ තීරණය ගැන විශ්ව සමග යළි කතාකලේද නැත.

දින කිහිපයකට පසු පාරමී රෝහලෙන් ටිකට් කපා නිල නිවෙසට ගියාය.ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්නට යොදාගත් දිනයට පෙර පාරමී විශ්ව සමඟින් ඔහුගේ ගෙදරට පැමිණියේ විශ්වගේ මව හමුවීමටය.

සිදු වූ සියලුම කාරණා මේ වනවිටත් දැන උන් හෙයින් විශ්වගේ මවගේ පෙර තිබූ අහංකාරය යටපත් වී තිබිණි.ශෙරීනා විසිං කලකී දෑ අනාවරණය වෙත්ම විශ්ව ගේ මවගේ සිතතුළ වූ බලලෝභය යම්තාක් දුරට යටපත්ව ගියේය. පාරමී ඇය සමග කතාකලේ විශ්වට එතැනට ඒම වලක්වාය.

"මම මේ කාරණා කිසිම දෙයක් ඉස්සරහටත් අදින්නේ නැහැ එළියට. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මිසිස් ජයසූරිය ඉදිරියටවත් මේ වගේ වැඩ නොකරයි ඉඳියි කියලා."

පාරමී එපමණක්ම කියා නැගී සිටියාය.

"මට සමාවෙන්න දුව."

විශ්වගේ මව නොසිතූ අන්දමින් පාරමීගෙන් සමාව අයැද උන්නාය.එහෙත් ඇය විසින් ඇතිකල තුවාලය කිසිදා අමතක කල හැක්කක් නොවේ.

"මගෙන් සමාව ගන්න අවශ්‍ය නෑ මිසිස් ජයසූරිය ...ඒත් කිසිමදාක මම ඔයාට නෑකමක් කියන්න ඔයා ළඟට එන්නෙ නෑ..."

පාරමී ඒ සියල්ල කියාදැමුවේ විශ්ව ගේ මවගේ දෑස දෙසම බලාගෙනය.ඇය ඉතා අපහසුවෙන් බිම බලාගත්තාය.පාරමී නිහඬවම ඇයගෙන් සමුනොගෙනම ආපසු ආවාය.

නිසල් සහ දැහැමිත් ඇයගේ අම්මාත් පමණක්ම සහභාගී වූ විවාහය ලියාපදිංචි කිරීමක් පාරමී සහ විශ්ව විසින් තෝරාගත් නිසංසල අවන්හලකදී සිදුවූයේ ඉන් දින දෙකකට පසුය. පාරමී ලාකොල පැහැති සාරියකින් සැරසුණේ ගෙල වැසූ හැට්ටයකටය.තවමත් ගෙල අසල තුවාල කැලැල්‍ ය.

"දුක හිතෙනවා බෙල්ල දැක්කම"

විශ්ව පැවසුවේ පාරමී ගේ ගෙල දෙස බලමිනි.

"දැන් ඉතින් යන යන රටෙන් බලල මම ඔයාගේ පර්ස් එකට විඳලා මේක යටගැහෙන්න ක්‍රීම් ජාති ගන්නයි ඉන්නෙ."

පාරමී හිනැහෙමින් පැවසුවාය.විශ්වද ඒ සිනහවට එක්වූයේය.

ඔවුන් දෙදෙනා එදිනම රාත්‍රියේ යොදාගත් අන්දමට සති තුනක චාරිකාවක් සඳහා විදෙස් ගතවූහ.

"හැමදේම මේ විදියට වුණ එක ගැන මට දැනෙන්නේ පුදුම සතුටක්. "විශ්ව පාරමීට පැවසුවේ නිවසින් පිටව ගුවන්තොටුපලට යන්නට සූදානම් වෙන අතරේය.

" මොන ප්‍රශ්නෙ ආවත් ඔයා එක්ක මම ඉන්නවා කියල මම ඔයාට පොරොන්දු උනා මතකද ?" පාරමී ඇසුවේ විශ්ව ගේ ටීෂර්ටයේ කොලරය සකසමිනි.ඇයගේ දෝත අල්ලාගත් ඔහු ඒ දෑස් දෙස මොහොතක් බලාඋන්නේය.ආදරය සහ විශ්වාසය කැටිව ගත් පාරමී ගේ දෑස සුපැහැදිලිව දිලිසෙමින් තිබුණි.

"ඉස්සර ඔයා හමුවුන මුල් දවස්වල ඔයා මගේ හදවතේ කොතැනක හරි උන්න කෙනෙක් වගේම මට දැනුණා...අදින් පස්සෙ මගේ මේ හදවතේ හැම අස්සක් මුල්ලක්ම ඔයාගෙන් පිරේවි"

විශ්ව ඇය සිය ළයට තදකොට ගෙන පැවසීය.පාරමී දෑස් වසා ඒ ළයේ රිද්මය අසා උන්නාය.

ඉදින් ප්‍රේමය යනු පරිත්‍යාගයක් මිස අන් කවරක්ද ? 

හදගැබෙහි කොහේ හෝ කොණක මතුවන ඉන්පසු හදපුරා අක්මුල් සිසාරා පැතිරෙන ආදරයේ මල්වරුසාවන් මතින් ජීවිතයේ අලුත් ඉසව්වක් සොයා යන්නට පාරමී විශ්වගේ දෑතේ පැටලී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත පිවිසියාය.

********************************************************************************* 

හදේ කොතැනක හෝ හිඳී ඔබ 

නිදානොනිදා මෙන්

බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්

පෙලයි මා මුදා සුව දැහැනින්.....


සමාප්තයි.


********************************************************************************** 

කිත්මා වාසනා දහනායක 

( විසිරි සිහින)


Monday, April 24, 2023

29 කොටස- හදේ කොතැනක හෝ හිඳී ඔබ

 29 කොටස


28 කොටසට මෙතනින් 28



මේ සිදුවීම් අතරතුරේදී පාරමි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියේ ඇයගේ විදේශ නිවාඩු අනුමත කර ගැනීමේ කටයුතු සඳහාය. විශ්වගේ කටයුතු සඳහා බොහෝ වේලාවක් ගතවන බව ඇය දැන උන් නිසා ඔහු වෙත ඇමතුමක් ගන්නට ද ඇය තැත් නොකළා ය. තමන්ගේ වැඩ කටයුතු සියල්ල නිමා කර ගත් පසු විශ්ව ඇමතීමට ඇය සිතා ගෙන උන්නාය.

ඇති වූ දැඩි කලබලය හමුවෙ කලුබෝවිල රෝහල වෙත යමින් සිටි විශ්වට ද පාරමීහට ඇමතුමක් දෙන්නට අමතක වීය.ශෙරීනාගේ මරණය සිදු වූ ආකාරය බෙහෙවින්ම ඛේදජනක එකකි. ඇය කෙතරම් වංචනික ලෙස ක්‍රියා කළ ද ඇයට සියදිවි නසාගන්නට නම් හේතුවක් නො තිබුණු බව විශ්ව දැඩි ලෙසම විශ්වාස කළේය .

" මේක තනිකරම අරූගේ ප්ලෑනක් ..උඹට එහෙම හිතෙන්නෙ නැද්ද නිසල් " 

විශ්ව ඇසූයේ මෝචරියේ දොරකඩ අසල සිටය.

සිය දියණියගේ මෘත දේහය දැක හඬා වැටෙන අතුකෝරල යුවල දුටුවිට විශ්වටද ඇතිවූයේ ඉමහත් වේදනාවකි.

"බලන්න පුතා මේ ළමයා කර ගත්තු දේ .ඔයා ඔෆිස් එකේ උන්නෙත් නැහැ කිව්වා.බලන්නකෝ මේ කරගත්තු දේ අනේ ඉතින් අපිට උන්න එකම කෙල්ල "

රියන්සි අතුකෝරල පැවසුවේ දෙනෙතට ඉණු කඳුළු ඇඟිලි තුඩකින් තද කර ගනිමිනි.විශ්ව ඔහුගේ උරහිසට තට්ටු කරමින් ඔහු අස්වසන්නට උත්සාහ කළේය

ශෙරීනාගේ හැසිරීම් රටාව කෙබඳු වුවද ඇයගේ පියා ඇත්තෙන්ම බොහෝ හොඳ ගතිගුණ වලින් පිරුණු මහත්මයෙකු විය. විශ්ව කුඩා කල සිටම ඔහුට ඉතා ප්‍රිය කළේය.ඉතින් ඒ වියපත් පියාගේ හිත සැනසීමට හෝ යමක් තමා විසින් කිව යුතු බව විශ්වට වැටහුණේය.

"මේ වෙලාවේ ඉවසාගෙන ඉන්න අංකල්.අපි මේ වැඩ ටික කරගම්මු ඉක්මනින්"

විශ්ව පැවසුවේය.

                                                                              *** 

පාරමී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටතට විත් පාර පනින්නට උත්සාහ ගත්තේ පාරෙන් එහා පස වූ bread talk අවන්හල වෙත යාමටය. දිවා කල සිටම රාජකාරී කටයුතුවලට යෙදී උන් හෙයින් දිවා ආහාරයද අත හැරී ගියේය .

කෙටි කෑමක් සහ අයිස්කෝපි වීදුරුවක් පානය කිරීමේ අවශ්‍යතාවය පාරමීට දැඩි ලෙසින් ඇති විය. යමක් ආහාරයට ගෙන ම විශ්වට ඇමතුමක් දෙන්නට ඇය සිතුවාය .

ඇස් වාට්ටුව අසල පාර මාරු වන ස්ථානයේදී කොල එළිය වැටෙන තුරු ඇය ඇය බලා උන්නාය. ඒ මොහොතේ ඇය වෙත පැමිණියේ කැප් තොප්පියක් දමාගත් උස හැඩිදැඩි මිනිසෙකි .

පාරමී ඔහු දෙස මොහොතක් බලා ආපසු පාර මාරුවන මොහොතේ ඔහු ඇයට "මේ මේ මැඩම්..."යැයි ඇමතුවේය.පාරමී මොහොතකට ඔහු දෙස හැරී බලා ඉදිරියට හැරෙත්ම යම් උණුසුමැති දියරයක් ඇයගේ ගෙල අසලින් පහලට ගලාඑන සේ ඒ තැනැත්තා අතින් විසිවුණි.තත්පරයෙන් අංශුමාත්‍රයක් ගෙවෙන්නට පළමු පාරමීට තමාහට වැදුණේ ඇසිඩ් ප්‍රහාරයක් බව වැටහෙන විට ඒ මිනිසා සෙනඟ අතරේ සැඟවගොස් හමාරය.පාරමී දැවීයන වේදනාවෙන්ම එතැනම බිම ඉඳගත්තාය. සිහිසුන් වන්නට මොහොතකට පෙර "මේ මිස්ට ඇසිඩ් ගහල.ඉක්මනින් හොස්පිට්ල් එකට ගෙනියපල්ලා"යයිද වතුර බෝතලයක් ගෙලමතට වැක්කෙරීයනුද පාරමීට ඇසුණි.දැනුණි.

                                                                                *** 

"විශ්ව මචං මෙතන වැඩ ටික තවත් දිග්ගැස්සෙන හැඩයි.කොහොමත් බොඩි එක රිලීස් කරගන්න වෙන්නෙ පෝස්ට්මෝටම් එකත් තියලනෙ.අද උඹ පාරමී හම්බවෙන්න යනවත් කීවනෙ."

නිසල් විශ්වගේ අතින් ඇද පසෙකට කරගත්තේය.විශ්ව අත් ඔරලෝසුව බලන විට වේලාව හතර පසුවී ගොසිනි.මේ වන විටත් පාරමී ඇමතුමක් නොදීමට හේතුවක්ද නැත.තමා අදාල කාර්‍යයට යන හෙයින් ඇතැම්විට ඇය කරදර නොකරන්නට සිතුවා වන්නටද ඇත.

ඔහු රෝහල් කොරිඩෝරයේ පසෙකට ගොස් පාරමීහට ඇමතුමක් ගත්තේ සිදුවූ දෑ පවසා ඇයට කැබ් රථයක් ගෙන ආපසු සේවා ස්ථානයට යන්නට කීමටය.

ජංගමයේ ඇමතුම වරක් නිම වන තුරුම පාරමී සම්බන්ධ වූයේ නැත.විශ්ව යළිත් වරක් අත රැඳි ඔරලෝසුව බලා ඇයට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ..."

එහා පසින් ඇසුණේ නන්නාඳුනන ස්වරයකි.

""හෙලෝ ..පාරෝ...???" 

විශ්ව ප්‍රශ්නාර්ථයකින් ඇමතුම ගත්තේය.

"මේ ෆෝන් එක අයිති ඩොක්ටර් පාරමී රත්මල්ගොඩට නේද? මම මේ කතාකරන්නෙ ජෙනරල් හොස්පිට්ල් එකේ වෝඩ් එකක නර්ස් කෙනෙක්.ඩොක්ටර් දැන් ඉන්නෙ මේ වෝඩ් එකේ ඇඩ්මිට් කරල.මේ ඩොක්ටර් ගෙ කවුද?" එහා පසින් ඇසුණ හඬින් විශ්ව මවිතයට පත්විය.කුමක් හෝ නපුරක් සිදුව ඇත.

"ඔ..ඔව් ..ඔව්..මම ඩොක්ටර් ව මැරිකරන්න ඉන්න කෙනා.මොකක්ද මිස් ප්‍රශ්නෙ.?"

විශ්ව ආයාසයෙන් ඇසුවේ නිසල්ටද තමා වෙත එනමෙන් සන් කරමිනි.

"නෑ එහෙම ලොකු අපහසුවක් නෑ.පොඩි කාරණයක්.මිස්ටර් ට දැන් එන්න පුළුවන් ද ජෙනරල් හොස්පිට්ල් එකේ -- වෝඩ් එකට.කලබලවෙන්න ඕනනෑ..හෙමින් එන්න."

හෙද නිලධාරිනිය ජංගමය විසන්ධි කලේ එසේ කියමිනි.

"මචං මොකක්ද බං මේ කරදර එකපිට එක.පාරමී ජෙනරල් හොස්පිට්ල් ඇඩ්මිට් කරලලු.හේතුවක් කීවේ නෑ.ඉක්මනින් යමං"

විශ්ව හිසකේ ඇදගනිමින් පැවසීය.

අතුකෝරල යුවලට සමු දී නැවත එනබව පවසා ඔවුන් ජාතික රෝහල වෙත වහා පැමිණියේ සිදුව ඇතිදේ අනුමාන කරගන්නට නොහැකිවය.ඔවුන් සිතතුල මෙයද ටෙරන්ස් නාගහවත්තගේ සැලසුමක්දැයි සැකයක් පමණක්ම ඉතුරු වී තිබුණි.

රෝහල් ආරක්ෂක නිලධාරීන් ගෙන් අවසර ගෙන වහ වහා අදාල වාට්ටුව වෙත දිවගිය විශ්ව මොහොතක් ගල්ගැසී නැවතුණේ වාට්ටුවට අදාල නම දුටුවිටය.

"Burns Unit"

නිසල් ගේ අතින් අල්ලාගත් විශ්ව වාට්ටුවට ඇතුල් වන තැන බිත්තියට මොහොතක් හේත්තුවිය.සිදුව ඇත්තේ එතරම්ම නපුරක්ද?නිසල් ඔහු වෙත ළං වූයේ සිය මිතුරා සිටින්නේ අධික කම්පනයෙන් බව වැටහීය.

"මචං calm down .අපි ඇතුලට ගිහින් බලමුකො ඉස්සෙල්ලම "

විශ්ව නිසල් පසුපසින් වාට්ටුව තුලට පිවිසුණේ ඇඳවල් දෙස බලමිනි.ඇඳන් වල ඉන්නා බොහෝ දෙනා වෙළුම් පටිවලින් එතීගොසිනි.වේදනාකාරී හැඬුම් සමහරක් ඇඳවල් වලින් නික්මෙයි.ශරීරවලට සම්බන්ධ බට රාශියකි.

"ඩොක්ටර්..මම විශ්ව ජයසූරිය .මම පාරමී මැරිකරන්න ඉන්න කෙනා "

විශ්ව වාට්ටුවේ වෛද්‍යවරයා වෙත සමීපව පැවසීය.වෛද්‍යවරයා හිසනගා ඔහුවෙත බැලුවේද ඔහුගේ මුහුණ පුළුල් සිනහවකින් එළිය වූයේද එකම විටය.

"අඩෝ විශ්වයා. ඉස්කෝලෙන් අවුට් වුනාට පස්සෙම උඹ දැක්කමයි මේ. මම කේසර.මතකද උඹට කේසර විතානගේ.අපි එකට බාස්කට් බෝල් ප්ලේ කලා මතකද?"

කේසර පුටුවෙන් නැගිට විත් විශ්ව වැළඳගත්තේ එකසැනිනි.සිය පාසල් මිතුරා හමුවීම කෙතරම් සතුටක් වුවද සිත දවන කාරණය ඒ සතුට මතුවන්නට ඉඩ නොදේ 

"මචං ග්ලෑඩ් ටු මීට් යූ...අනේ බං පාරමීට මොකද උනේ කියපන්කො.කෝ එයා?"

විශ්වගේ නොඉවසිල්ල වෛද්‍යවරයා වටහාගත්තේ එසැනිනි.

"යං .."

ඔහු වාට්ටුවේ කෙළවරට ගමන් කලේ විශ්වට අතින් සන් කරමිනි.තිර රෙදි ඇද වටකළ සයනයක දෑස් පියා වැතිර උන්නේ ඇයයි. 

"නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ. ඔහොම බලල වරෙන් මං අරහෙන් ඉන්නම්."

නිසල් සමග කේසර එතැනින් නික්ම ගියේය.විශ්ව පාරමීගේ ඇඳ අසලට ගියේ ඇයගේ පියව ගිය නෙත් දෙස බලාගෙනමය.ගෙල සිට පපුව ආසන්නයට එනතුරු ගෝස් තට්ටුවකින් වසා ඇත. ඇයගේ මුහුණ වේදනා බරිතව පියවගොසිනි.විශ්ව ඇසට ආ කඳුළක් ඇඟිලි තුඩින් තදකරගත්තේය.

"මගෙ කෙල්ල..."

ඔහුට ඉකිගැසිනි.ඇයට නින්ද ගොසිනි.සෙමින් පහත්වී නලලත දෙතොල් තැවරූ ඔහු ඇඳවටා වූ ස්ක්‍රීනය යලි වසා වෛද්‍ය මිතුරා සොයාගෙන ගියේ සිදුව ඇති කාරණය විමසා දැනගනු රිසියෙනි. හෙදියක පැමිණ පාරමී ගේ අත්බෑගය ඔහුට බාරදුන්නේය.

"හෑන්ඩ් ෆෝන් එකත් ඕකෙ ඇති."

ඇය ඔහුට පැවසුවාය.විශ්ව ඇයට ස්තුති කොට කේසර අසල පුටුවට බරවිය.

"මචං , ගෙනාව අය කිව්ව විදියට අයි හොස්පිට්ල් එක ගාව ක්‍රොසින් එකෙන් පාර පනින්න ඉන්නකොට තමා මේ ඇසිඩ් පාර ගහල තියෙන්නෙ වෙලාවට මෙයා පාර පනින්නම බලන් උන්න නිසා ඉස්සරහට ෆේස්කරල.ඉතින් මූණ බේරිලා තියෙන්නෙ ඒ නිසා.අනික ටිකක් ගණ කොට්න් සාරි එකක් එක්ක කර වහපු ජැකට් එකක් ඇඳල ඉඳල තියෙන්නෙ ඒ නිසා ඩීප් බර්න් එකක් වෙළා නෑ. බෙල්ල තමා පිච්චිලා තියෙන්නෙ.ඒකත් මතුපිට බර්න් එකක්.මොකද වැඩිහරියක් වැදිලා නෑ ඇඟට"

කේසර පැහැදිලි කලේ විශ්වටය.ඔහු සියල්ල අසා උන්නේ සිහිනයක පරිද්දෙනි.

"මචං අමාරුද පාරමීට..?"

විශ්ව නැවත ඇසුවේ කේසරගෙනි.

"නෑ නෑ තුවාල එච්චර ලොකුවට නෑ.ස්කාර් එක උනත් ඉක්මනින් මැකෙයි.බය වෙන්න එපා.අපි ඉන්නවනෙ."

කේසර සිය මිතුරාගේ නොසන්සුන් බව සමනය කරන්නට ඔහුගේ උරහිසට තට්ටු කලේය.

විශ්ව උන්නේ දැඩි කම්පනයෙනි.ඔහු සිතාඋන්නේ

පාරමීට මේ දේ කරන්නට ඇත්තේ ටෙරන්ස් නාගහවත්ත විසින් බවය.ඉතින් ඇය මෙසේ සිටීම තවත් අනාරක්ෂිතය.

"මචං මම පාරමීව ඩිස්චාජ් කරන් ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට අරන් යන්නද ?මේකෙ අන්සේෆ් ගතියක් මට දැනෙනව"

විශ්ව කේසරගෙන් විමසුවේය.

"ඇත්තෙන්ම කිව්වොත් ඩොක්ටර් පාරමීට ලොකු බර්න් එකක් නෑ මචං. අද සෙට්ල් වෙන්න දීලා හෙට බලමු.මේක පොලිස් කේස් එකක් නිසා ආරක්ෂාව ගැන බයවෙන්න එපා.වෝඩ් ස්ටාෆ් එක කොහොමත් ඇහැගහන්නෙ ඉන්නෙ"

වෛද්‍ය කේසර එසේ පැවසුවද මේ දක්වා ටෙරන්ස් නාගහවත්ත ගේ සැලසුම් ගැන කල්පනා කරන විට මෙය සුලු කොට තැකිය හැකි දෙයක් නම් නොවීය.

"ආ අනෙක...ඩොක්ටර් පාරමී ව ඇඩ්මිට් කරන්න ආව අය අතරෙ උන්නා ඒ හරියෙ ශොප් එකක් කරන කෙනෙක්.එයා භාරකාරයෙක් ආවොත් දෙන්න කියල මොබයිල් නම්බර් එක දීල ගියා.උඹට මෙච්චර ළඟට ආව එකේ පොඩ්ඩක් ගිහින් කතාකරල ගියාට පාඩු නෑ.මොකද අපිට ඔක්කොම ඉන්ෆොමේෂන් ගන්න ඕනවෙන්නෙ නෑනෙ.අපි බලන්නෙ ලෙඩා ගැනනෙ"

කේසර තමන්ට සිහිවූ යමක් එක්වනම පැවසීය.

"ඔව් ....අපි යමු කෝකටත් ඒ කෙනාව මීට්වෙන්න."

නිසල් පැවසුවේය.

"මචං දැන් කොහොමත් ඩොක්ටර් පාරමී අවදිවෙන්නෙ නෑ. උඹ දැන් බලාගත්තනෙ.අවුලක් නෑ.මතුපිටින් යන බර්න් එකක් විතරයි.හෙට උදේ එන්න මං වෝඩ් එකේ ඉන්නව"

කේසර පැවසුවේ රෝගීන් බලන්නට යන්නට සූදානම් වෙමිනි.ඉතා කාර්‍යබහුල තත්වයක් මධ්‍යයේ වුවද තමා වෙනුවෙන් කාලය කැප කිරීම ගැන සිය මිතුරාට බෙහෙවින් ස්තුතිවන්ත වූ විශ්ව නිසල් සමගින් රෝහලින් පිට වී අදාල ප්‍රදේශය වෙත ගමන් කළේය .

ඇස් වාට්ටුව අසලට පැමිණ අදාල දුරකතන අංකයට ඇමතුමක් ගත් විශ්වට 

"හෙලෝ"හඬින් පිළිතුරු දුන්නේ පිරිමි පුද්ගලයෙකි.

"මේ මහත්මයාගේ නම්බර් එක මට දුන්නේ ජෙනරල් හොස්පිට්ල් එකෙන්.අද හවස අද ඔයාල ගිහින් ඇඩ්මිට් කරේ මගේ වයිෆ්ව." 

විශ්ව පැවසුවේ ස්තුති පූර්වක හඬකිනි .

" ආ මහත්තයා ද ඒ ? මහත්තයාට පුලුවන්නම් මගේ කඩේට පොඩ්ඩක් එන්න."

ඒ තැනැත්තා පැවසුවේය.

"ඔව් අපි මේ දැන් ඇස් වාට්ටුව ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ.මට තැන දැන ගත්තොත් එන්න පුළුවන්."

විශ්ව පැවසුවේය.

"පොඩ්ඩක් ඉන්න මහත්තයා. මම එලියට එන්නම්. පාර පනින තැනින් ඇවිල්ලා පොඩ්ඩක් වමට එන්න" 

වමට හැරුණු තැන වූ කඩයකින් පිටතට ආ පුද්ගලයෙක් සිය දකුණු අත ඔසවා ගෙන සිටිනු විශ්ව දුටුවේය .ඔහු නිසල් සමගින් ඒ දෙසට පැමිණුනේ සිය දකුණු අත ඔසවමිනි.

"එන්න එන්න මහත්තයා. හිතුවෙ නැති කරදරයක් කරදරයක් නේද උනේ. අපි ඉක්මනට නෝනාව ගෙනිච්ච ඉස්පිරිතාලෙටත්.. මං හිතන්නේ ලොකු කරදරයක් නම් වෙන්නේ නැහැ "

ඔහු පැවසුවේ දැඩි හිතවත්කමිනි.

"අනේ බොහොම ස්තුතියි ඔයාලා ඒ වෙලාවෙ ඉක්මනින් ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මගේ වයිෆ්ව කරදරයක් නැතුව ප්‍රතිකාර වලට ගන්න පුළුවන් වුණේ. කොහොම ස්තුති කරන්නද මන්දා "

විශ්ව පැවසුවේ එම තැනැත්තාගේ දෑතින්ම අල්ලා ගනිමිනි.

"අනේ මහත්තයා අපි ඔක්කොම මිනිස්සුනේ . කරදරයක් වෙච්ච වෙලාවට මනුස්සයෙකුට මනුස්සයෙක් නැත්නම් කවුද ඉන්නේ. මහත්තයට තව එක දෙයක් මට පුළුවන් කරන්න. මගේ කඩේ සීසීටීවී බලන්න පුළුවන්."

ඒ තැනැත්තා පැවසූයේ විශ්වගේ අතින් අල්ලා ගනිමිනි.

විශ්ව සහ නිසල් මුහුණෙන් මුහුණ බලා ගත්තේ ඒ කාරණය මෙතුවක් තමන්ගේ සිහියට නොආ බැවිනි.

"එන මහත්තයා ඇතුලට අපි ගිහින් බලමු"

එම තැනැත්තා කඩයේ ඇතුළු කාමරයක් වෙත විශ්ව සහ නිසල් සමගින් ගියේය.

අදාල සීසීටීවී ගබඩා කිරීම් දත්ත නැවත නිරීක්ෂණය කරන විට පාරමි පාර මාරුවන්නට පැමිණි මොහොතේ සිට ඉදිරියට සෙමින් සෙමින් ධාවනය කරනු ලැබුවේය .

කැප් තොප්පියක් පැළඳ ගත්තද ඒ අදාළ පුද්ගලයාගේ මුහුණ නිරාවරණය වී තිබුණි .

"ඒක සුම් කරල බලමුද ..?"විශ්ව ඇසුවේය.

එම කොටස විශාලනය කර බලන විට විශ්ව ඉබේම අසුනෙන් නැගිට්ටවුණේය.

"සෑම්.....මේ අර සෑම්නෙ..." විශ්ව නිසල් දෙස බලමින් පැවසීය. 

"හොඳට බලපන් උඹට ෂුවර්මද?" 

නිසල්ද ඒ ආසන්නයට පැමිණ තිරයට එබෙමින් ඇසුවේය. කතා දෙකක් නැත මේ ඒ දාමරිකයා මය. ඉතින් මේ සියල්ලේ අග මුල සිට අගමුල විශ්වට මනාව පැහැදිලි විය.මෙහි මහ මොළකරු කවුදැයි යන්න තවදුරටත් තවදුරටත් සැකයක් නොවේ. විශ්ව නිසල් දෙස බලමින් සුසුමක් හෙලුවේය.

                                                                    **** 

විශ්ව නිසල් සමගින් නැවත වාහනයට නැගුණේ සීසීටීවී පිටපතක්ද ලබාගෙනය.අදාල වෙලඳසැලේ හිමිකරුට මුව නොසෑහෙන සේ ස්තුති කල ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන විට ඔහුට කිසිදු ගැටලුවක් නොවන සේ කරන බවටද පොරොන්දු දුන්නේය.

"මහත්තයා මමත් මරදානෙ මිනිහෙක්.ඒ වුනාට වැරැද්දට අසාධාරණයට මම හිටගන්නෙ නිවැරදි පැත්තෙ.මම කිසිදේකට බය නෑ මහත්තයා.ඕනම වෙලාවක මම එනව පොලිසියට උනත්"

ඔහු පැවසුවේය.

"එහෙම මිනිස්සුත් මේ රටේ තාම ඉන්නව බං."

නිසල් පැවසුවේ අවංකවම හිතට ආ පැහැදීමෙනි.

"සෑම් කාරයා මාවත් දන්න මිනිහා වෙද්දි මෙහෙම එකකට අතගැහුවෙ ඇයිද මන්දා?" 

විශ්ව පැවසුවේ කල්පනාවෙනි.

"උඹ තාමත් හිතන්නේ මේක ටෙරන්ස් ගෙ වැඩක් කියලද ?" නිසල් ඇසුවේ විශ්ව දෙස බලමිනි.

"නැහැ කොහෙත්ම නැහැ .මෙතන යන්නේ වෙනම ගේමක්. මොකද කියන්නේ ඌව හම්බවෙන්න යනවද ? නැත්තං කෝල් එකක් දෙමුද ?" 

විශ්ව කාර්යාලයට පැමිණ නිසල් ගෙන් ඇසීය.

"මේ වෙලාවේ උඹ එහෙ මෙහෙ යන එක එතරම් නුවණට හුරු නැහැ.එහෙන් ටෙරන්ස් කාරයා ඇහැ ගහගෙන ඉන්නෙ මොන ගිනි ගෙඩියක් දෙන්නද දන්නේ නැහැ . අපි ඒ හින්දා කෝල් එකක් දීලා බලමු" 

නිසල් ගේ ඒ අදහස වඩා කාලෝචිත බව විශ්ව අවබෝධ කරගත්තේය 

ජංගම දුරකථනයේ ස්පීකරයද ක්‍රියාත්මක කොට කාර්යාලයේ දොර අගුළු දැමූ විශ්ව සෑම්හට ඇමතුමක් ගත්තේය.

"හෙලෝ කවුද මේ කතා කරන්නේ?"

ජංගමයේ එහා පසින් ගොරෝසු කටහඬක් පිළිතුරු දුන්නේය.

"ආ සෑම් මම මේ විශ්ව මහත්තයා කතා කරන්නේ." විශ්ව ආයාසයෙන් කෝපය මැඩ පවත්වා ගනිමින් කතා කළේ නිසල්ගේ උපදෙස් පරිදිය.

"අ..ආ..ආ...වි..ශ්..ව..මහත්තයා.

හරි හරි මතක් උනා.මම මේ හෙන කල්පනාවක පැටලැවිල්ලක උන්නෙ.එකපාරටම මට කටහඬ අඳුරගන්න බැරි වුණා.ඉතිං ඉතින් මොකෝ මේ හදිසියේම මාව මතක් වෙලා " 

මුල දී සෑම් ගොත ගසමින් මෙන් කතා කළද පසුව ක්‍රමයෙන් යථා තත්ත්වයට කටහඬ ගත්තේය.

" බොහොම ලස්සන පටලැවිල්ලකට ඔහේ පටලැවිල ඉන්නවා කියලා කියන්න තමයි මම කතා කළේ.තමුසෙට මොන අමාරුවකට ද මනුස්සයෝ මං බඳින්න ඉන්න ගෑනු ළමයට ඇසිඩ් ගැහුවේ. මං ඒක ලේසියෙන් අත අරියි කියල හිතන්න එපා සෑම්" 

කෙතරම් දුරට ආවේගය පාලනය කරන්නට තැත් දැරුවද සුපුරුදු කේන්තිය ඉස්මතුව එන්නේ පාරමී රෝහල් සයනයේ වැතිර උන් ආකාරය සිහි වන විට ය.

"මේ මොන පිස්සු කතාවක්ද මහත්තයා ...මං මේ හාංකවිසියක් දන්නෙනෑ..මොන ඇසිඩ් ගැහිල්ලක්ද " 

සෑම් නැමති පුද්ගලයා පැවසුවේ ගොත ගසමිනි.

" අද හවස තමුන් එතකොට මං බඳින්න ඉන්න නෝනට ඇස්වාට්ටුවෙදි ඇසිඩ් ගැහුවෙ නෑ...නෑ කියලනෙ කියන්නෙ.එහෙනම් තමුසෙ එනව හෙට පොලීසියට.මගෙ ගාව සීසීටීවී රෙකෝඩ් තියනව.ඒවයෙ ඉන්නෙ කවුද කියල එතකොට බලාගම්මුකො"

විශ්ව කෑගැසුවේ ඉමහත් කෝපයෙනි.

"හා..හා...පොලිසි යන්න කලබල වෙන්න එපා මහත්තයා ...මේක අහගන්නකො.මේවා ඉතින් අපේ නිලනොලත් රස්සාවන්නෙ.කාගෙ කවුද කින්ද මන්ද අදාල නෑ..සල්ලි ලැබෙනවනම් කියන දේ කලා.එච්චරයි .

හැබැයි ඉතින් මහත්තයාට මේක මෙහෙම මාට්ටු උනාට පස්සෙ පොලිසි යන ගානට එනවනන් මම පොලිසි එන්නෙ තනියෙන් නෙවේ....මහත්තයාගෙ අම්මා එක්ක..මොකද නෝනා තමා මට මේ වැඩේ බාරදුන්නෙ."

සෑම් පැවසුවේ ගණනකට නොගෙනය. එවන් දාමරිකයන්ගේ ස්වභාවය එසෙමය.ඉතින් අම්මා ගෙල මුලට හසුකිරීම විශ්ව ගේ කෝපාග්නිය මට්ටුකල හැකි ක්‍රමය ලෙස සෑම් වටහාගත්තේය.

"අනික මහත්තයා , මං මේවා පුරුදු වෙන්න කරන ඒවත් නෙවේනෙ.මට ඉතින් මහ උළු ගෙදර උනත් හොඳට පුරුදු තැන.හැබැයි ඉතින් යන්න උනොත් මම ලොකුනෝනාගෙ ඔක්කොම කොන්ත්‍රාත් ඉතිහාසෙම පොලිසියට දීලා තමා යන්නෙ හරිද මහත්තයා " සෑම් පැවසුවේ වක්‍රමාර්ගයෙන් තර්ජනාත්මකවය.

විශ්ව ජංගමය විසන්ධිකලේ හිසකේ ඇදගනිමින් අසුනට කඩාවැටෙමිනි.අම්මාගේ ගතිලක්ෂණ මෙසේයැයි දැන උන්නද ඇය මෙතරම්ම කුරිරු ලෙස හැසිරේ යැයි ඔහු සිතුවේ නැත.

"මොකද බං ..මම කරන්නෙ?"

විශ්ව ඇසුවේ අසරණව ගිය හඬිනි.නිසල් සියල්ල අසා උන්නේ ඒ හා සමාන කම්පනයෙනි.

"අපි පාරමී සනීප කරගෙන ඉම්මු බං .ඕක ප්‍රශ්නයක් තමයි.ඒත් මේ වෙලාවෙ අපි ඕකා පස්සෙ පන්නන්න ගියොත් ඌ කරන්නෙ අර කිව්ව දේම තමයි"

නිසල් සිය මිතුරාගේ උරහිසට තට්ටු කරමින් පැවසුවේය .

විශ්ව නිවෙසට පැමිණියේ කඩාවැටුණ මනසින් යුතුවය.පාරමී සයනයේ වැතිර උන් අසරණ භාවය තමාහට කිසිදා අමතක කල නොහැකි වනු ඇත. 

"බූරුවො...මෙච්චර හරියක් වෙලා තියෙද්දි උඹ මගුලෙ ගියාද ?" 

නිවෙසට ගොඩවදිනා විටම අම්මා විශ්වගේ ඇඟට කඩාගෙන පැන්නේය.විශ්ව ඇයදෙස බැලුවේ අධික කෝපයෙනි.

"අර කෙල්ල මැරුණෙ උඹේම අවාසනාවට.දෙයියනේ සාගරයක් වගෙ දේපල නේද ? එක්කො උඹ ඒකිව බැඳගන්න තිබ්බ කලින්."

අම්මා මේ සා කුරිරු ගැහැණියකැයි විශ්වට අදහා ගන්නටද නොහැක.ඇය මේ කම්පා වන්නේ ශෙරීනාගේ මරණය ගැන නොව අතහැරීගිය බූදල් දේපල ගැනය.විශ්ව කලකිරීමෙන්ම නිහඬව කාමරය වෙත පියමැන්නේය.

" උඹලා ගෙ පවට පින් දෙන්න බෑ.එහෙන් එල්ලගත්තා ආතක්පාතක් නැති එකියක්..."

අම්මාගේ හඬින් විශ්ව වියරු වැටුණේ පාලනය කරගන්නට නොහැකි අන්දමට ය .

"ඔව් අන්න ඒ ආතක්පාතක් නැතිඑකී ඇසිඩ් පාරක් කාල ඉස්පිරිතාලෙ..අම්මට සතුටුයි ද දැන්"

විශ්ව කෑගසා ඇසුවේ අසල වූ මල්බඳුනකට පයින් ගසමිනි.අම්මාගේ මුව විවර වූයේ මවිතයෙනි.ඇයගේ යටිසිත උදම් වූයේ සෑම් මේ සා ඉක්මනින් මේ කාර්‍යය කිරීම ගැනය.

"මං කිව්වෙ...මං කිව්වෙ...ආතක්පාතක් නැති එවුන්...හැදියාව කොහොමට ඇත්ද..?මොකක්හරි නැහැදිච්ච කමක් කරන්න ඇති නැත්නම් ඇසිඩ් පාරක් කන්න වෙන්නෙ නෑනෙ."

අම්මාගේ මුහුණේ මතුවන ප්‍රීති රේඛාවන් විශ්ව හොඳින්ම දුටුවේය.

"අම්මා දන්නව ඇතිනෙ ඒක කලේ කවුද කියල ..නේද අම්මෙ.."

විශ්ව ආපසු අම්මා වෙතට හැරී ඇසුවේය.

"මං...මං කොහොමද දන්නෙ.."

අම්මාගේ ස්වරය ගොත ගැහෙන්නට වූයේ එසැනෙනි.

"අන්න සීසීටීවී වල සෑම් ව හොඳට පේනව එතන.මං සෑම්ට කතාකලා.ඌ කියන්නෙ පොලිසි යනව නම් ඌ අම්මා එක්කම එන්නම් කියල.එහෙනං අම්මා ඌ එක්කම බලාගන්නකො ඉතුරු ටික"

විශ්ව අම්මා දෙස බැලුවේ සෝපහාසයෙනි.

අම්මා අඩක් විවර මුවින් ඔහු දෙස බලා උන්නාය.විශ්ව කාමරයට වැදී දොර වසාගත්තේ මහහඬිනි.

ඇඳ උන් ඇඳුම් පිටින්ම සයනයට වැටුණ විශ්ව සිය අතවූ ආවරණයැති කවරය පිටතට දමා පාරමීගේ අත්බෑගය ගත්තේය.ඇයගේ ආවේණිකම විලවුන් සුවඳ තවම බෑගයේ දැවටී ඇතුවාසේය.

ආපසු කාමරයේ දොරවෙත ගිය විශ්ව එය අගුලු දමා සයනය වෙත පැමිණියේය.

පාරමීගේ බෑගය තුල ඇයගේ ජංගමය ,මුදල් පසුම්බිය සහ කුඩා දිනපොතක් විය.ඒ හැරුණ විට කුඩා ප්‍රමාණයේ ඇසුරුමක පනාවක්, සුවඳ විලවුන් කුඩා බෝතලයක් සහ ටිෂූ පැකට්ටුවක් විය.

විශ්ව ඇයගේ ජංගමයේ ස්ක්‍රීනය මත ඇඟිල්ල තැබීය.එහි මුහුණතේ වූයේ ඔවුන් දෙදෙනා වැව් ඉමක දී ගත් සේයාවකි.එදා ඇය තම උරහිස බදා වැලඳගෙන මෙම සේයාරුවට මුහුණ දුන් ආකාරය ඔහුට සිහිවිය. ඇය අද සිටින්නේ ගිලන් යහනතක අධික වේදනාබරවය.විශ්ව ජංගමය නැවත බෑගයට දමා ඇයගේ මුදල් පසුම්බිය විවර කලේය.එහි විශ්වගේ සේයාරුවක් සහ අම්මාගේ සේයාරුවක් එක්පසක විය.ඇයගේ ජීවිතයේ තමා ඉන්නා තැන විශ්වට ඉතින් රහසක්ම නොවේ.විශ්ව සුසුමක් හෙලා ඇයගේ කුඩා දිනපොත විවරකලේය.

**********************************************************************************

යලි හමුවෙමු 


කිත්මා වාසනා දහනායක 

(විසිරි සිහින)



Sunday, April 23, 2023

28 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 28 කොටස


27  කොටසට මෙතනින්   27



පාරමී සිය ඇමතුම විසන්ධි ව ගිය පසු නිල නිවස වෙත පැමිණියේ කෙටි විවේකයක් සඳහාය.රහල් සහ ප්‍රසංගිගේ විවාහයට පසු රහල් නැවත විදේශ ගත වීය . ඉතින් තමාහට යලි නවක වෛද්‍යවරුන් දෙදෙනෙකු සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් පත්කොට ඒවා තිබුණි .එහෙයින් තමා හට එතරම් රෝගී සත්කාර සේවාවන්හි කාර්යබහුල තාවයක් මේ වන විට නොතිබුණි .

කෙසේ හෝ සති දෙකක ඇවෑමෙන් විවාහය ලියා පදිංචි කළ යුතු යැයි විශ්ව තදින්ම පැවසූ හෙයින් පාරමී ඒ සම්බන්ධයෙන් සිය නිවාඩු අනුමත කොට ගත්තාය .විශ්ව සහ පාරමී දෙදෙනාම අති උත්කර්ශයෙන් විවාහ මංගල්‍ය කටයුතු පැවැත්වීමට අකමැති වූ හෙයින් නීත්‍යානුකූල මාර්ගයෙන් විවාහයේ කටයුතු කොට විදෙස්ගත විය යුතුයැයි තීරණය කොට තිබිණි.

"සති තුනක්වත් නිවාඩුවක් දැන්ම ඇප්ලයි කරලා තියාගන්න පාරෝ. අපි දෙන්න ටුවර් එකක් යමු. මං දන්නවා ඔයා හරි ආසයි ඇවිදින්න . මගේ ජීවිතයෙත් ඉස්සර තිබුනේ ට්‍රැවලින් කියන එක අංක එකට .ඒත් මගේ ජීවිතේ හැමදේම මට නැති කරා .අපි ආපහු අංක එකේ ඉඳලම ඒ දේවල් පටන් ගන්න ඕන පාරෝ."

පාරමී සමගින් සංචාරය කළ යුතු රටවල් සහ සුන්දර ස්ථානයන් එකින් එක බලමින් විශ්ව සිය සැලසුම සකස් කළේය. නව විශේෂඥ පුහුණුව ලබන වෛද්‍යවරුන් වාට්ටුවල වැඩ කටයුතු බලා ගන්නා හෙයින් පාර මීට සති දෙකක නිවාඩුවක් ඉතා පහසුවෙන් අනුමත කරගැනීමට හැකි විය.


                                                                *** 

ඉරිදා රාත්‍රියේ නිමා වූයේ කිහිප දෙනෙක්ගේ අරමුණු විවිධාකාර අන්දමින් සකස් කරමිනි. එකම කාරණයක් ඔස්සේ දියත් වුණු විවිධාකාර මට්ටමේ අරමුණු සාර්ථක වීම හෝ අසාර්ථක වීම හෙට දවස මත තීරණය වෙයි .

"පාරෝ....හෙට තමයි හැමදේම ලස්සනටම අපේ වැඩ කටයුතු ටික පටන්ගන්න එක කෙරෙන්නෙ .හෙට ප්‍රොජෙක්ට් එකේ ඇග්‍රිමන්ට් එකක් සයින් කළාම අපේ ඉදිරිගමන කවදාටත් වඩා හොඳින් පැහැදිලි වෙනවා .හැබැයි අන්තිම මොහොත දක්වාම අපි ඉන්නේ risk එකක."

විශ්ව පැවසුවේ බලාපොරොත්තු රැසක් පිරි හදිනි.

"ජීවිතයේ මොන up and downs ආවත් ඔයාට මමත් මට ඔයත් ඉන්නවා විශ්ව . ඒ නිසා trust me ..හෙට ඔක්කොම ඔයාට ඕනම විදියට ලස්සනට කෙරේවි .all the best my love."

පාරමී පැවසුවේ ඉතාම ආදරයෙනි.

"ජීවිතයේ අන්තිමටම වැටිච්ච , ජීවිතයම එපාවෙච්ච, නාස්තිවෙලා උන්න මට ජීවිතේ කියල දුන්නෙ ආයෙ මෙහෙම තැනකට එන්න හයිය දුන්නේ ඔයායි පාරෝ.ඒ කාලකණ්ණි කමෙන් නාස්තිවෙලා උන්න මාව ආයෙ මොන බලවේගයකටවත් එහෙම වට්ටන්න බෑ.ඔයා මගේ ළඟ ඉන්නකල්."

විශ්ව ඇයගේ මුහුණ ජංගමයේ තිරයෙන් නොපෙනී යන මොහොතේ පැවසීය.

මේ මොහොත වන විට කල්පනා මෙන්ම ශෙරීනාද උන්නේ පසු දවසේ කුමක් සිදුවේද යන නොසන්සුන් භාවයෙනි.අදාල ගිවිසුම සම්බන්ධයෙන් කල්පනා සිය ප්‍රධානීන් දැනුවත් කොට ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නට යන්නේ සඳුදාය.ඇය සඳුදා දිනයේ විශ්ව සිය ගිවිසුම අත්සන් කරන බව නොදැන උන්නේ ඇය සතුවූ ලිපිගොනුව ව්‍යාජ එකක් වූ හෙයිනි.

විශ්ව නව පෙම්සබඳතාවක් අරඹා ඇතැයි යන්න කල්පනාගේ මනසට යම් බලපෑමක් නොකලාම නොවේ.මන්ද තමා ඔහුව අවුරුදු ගණනාවක් රැවට්ටුවද ..ඔහු තමාහට ආදරය කල අන්දම කල්පනාගේ මතකයේ පවතී.තමා වෙනුවෙන් ඔහු කැප නොකළ දෙයක් නොමැත.එමෙන්ම ඔහු ඉතා ආදරණීය උණුසුම් හැඟුමැති පෙම්වතෙකි.තමා විසින් භාරගත් කටයුත්ත ඉතා බරපතල එකක් වූ හෙයින් ඔහු ගේ නව පෙම් සබඳතාව ගැන නොහිතා සිටින්නට තැත් කළද ඇයගේ සිතෙහිද තමන්හට යමක් අහිමිව ගිය හැඟීම හැමදාමත් පැවතුණි.විශ්වගේ පරම සතුරාවූ ටෙරන්ස් නාගහවත්තගේ ග්‍රහණයට තමා හසුවූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන කාලයේදීමය.ඔහුගේ අතකොලුවක් වන්නට තමාට සිදුවූයේ ඉබේමය.අදටත් ඔහු තමා ඇමක් කොට ගනිමින් ව්‍යාපාර ලෝකයේ බොහෝ ප්‍රමුඛයන් මුලාකරමින් පාගාදමන්නට හුරුව ඇත.ඒ කෙසේ වෙතත් මැලේශියාවේ සිට සිය වෛරය තවමත් ලංකාවේ සිටින විශ්ව වෙත යොමා ඇති ටෙරන්ස් නාගහවත්ත මෙවරද කල්පනා යොමුකලේ විශ්ව හට ප්‍රහාර එල්ලකරන්නටය.ඔහු හෙට දවසේ ලංකාවට ඒමට නියමිතව ඇත.

මේ අතර විශ්වගේ මවද සිය වෛරී සිතුවිලි සමග පොරබදමින් කාලය ගතකලේ ශෙරිනා විසින් තව තවත් අවුල් කල මනසින් යුතුවය.පාරමී කෙසේ හෝ විශ්වගෙන් ඈත්කල යුතුයැයි ඇය තරයේම සිතාගත්තාය.එහෙත් ඇයට ජීවිත හානියක් කර තමාට ගැලවීමට නොහැකි හෙයින් කෙසේ හෝ ඇයව බියවැද්දවිය යුතුව ඇත.

"සෑම්...මට මේ වැඩේ අදහෙටම කෙරෙන්න ඕනෙ."විශ්වගේ මව තමා දැනහඳුනන කුලී මැරයකුගෙන් සහය පැතුවේ එබැවිනි.

"මැඩම් මොකද වෙන්න ඕනෙ...උස්සන්නද අතක් පයක් කඩන්නද නැත්නම් ඊට එහා ලෝකෙට යවන්නද...කියන්න ගාන ඉතින් වැඩේ හැටියට තමා"සෑම් නැමැත්තා විශ්වගේ මවට මින් පෙරද සිය සේවය සැපයුවේ ව්‍යාපාර ගැටලු වලදීය.

"නෑ නෑ පිස්සුද පොඩ්ඩක් බය කරල මේ අපේ එකාට එපා කරවන්නයි මට ඕනෙ.බරපතල දේවල් එහෙම හිතන්නවත් එපා."විශ්වගේ මව ඉතා කලබලයෙන් පැවසුවාය.

"හරි හරි එහෙනම් පොඩි සෙල්ලමක් දාල බයකරන්නම්කො.ආයෙ විශ්ව මහත්තය යන පාරකවත් නොයන්න හිතෙන්න බය කරන්නම්කො.පනහකට වැඩේ ශේප් එහෙනම්.හරිනෙ මැඩම්."

සෑම් පැවසුවේ අවිනීත ලෙස මහ හඬින් සිනාසෙමිනි.

ශෙරීනා සම්බන්ධ කටයුත්ත යනු විසල් ආයෝජනයක්ම හෙයින් විශ්වගේ මව දෙවතාවක් නොසිතා ඒ මුදල ඔහු අත තැබුවේය.ඔහු පිටව් ගිය පසු ඇයගේ මුහුණේ මතුවූයේ තෘප්තිමත් සිනහවකි.

"ඒ කරදරේ ඉවර උන ගමන් ශෙරීනාව මෙයාට බන්දල දෙන්න ඕනෙ.අරකි වගේ මූත් හිතුවක්කාරෙට හැදුණොත් මේ මහන්සියෙන් ගොඩනගපු ඔක්කොම ඉවරයි."

ඇය තමාටම කියාගත්තාය.

                                                                          *** 

සඳුදාව උදාවූයේ කවදාටවත් වඩා සොඳුරුවය.විශ්ව නිවෙසින් පිටත්ව ආවේ අඩුමතරමේ සුබ මොහොතක් වෙනුවෙන් සිය මවගේ ආශීර්වාදවත් නොලබාය.ඇය මේ සම්බන්ධව දැනුවත් වීම යනු ශෙරීනාහට සියල්ල වාර්තාවීම බව දැන උන් හෙයින් විශ්ව නිසල් සමගින් අදාල ස්ථානයට පැමිනියේ නිහඬවමය.

"Best wishes රත්තරන් ...ඔයාට මේ හැමදේම සාර්ථකම වෙනවා.තෙරුවන් සරණයි"පාරමීගේ ඒ ආදරණීය ඇමතුම නොලබා සිය දවස සම්පූර්ණ නොවන බව විශ්ව දැන උන්නේය.නිසල් සිනහවක් හෙලා ඉවත බලාගත්තේ මේ පෙම්වතුන්ගේ අපූරු ආදරය දැන් තමාටද නොරහසක් හෙයිනි.

"වෙලාව හරි කෙල්ලෙ.අපි ඇතුලට යනවා. ඔයා හොස්පිට්ල් යනවද?"

විශ්ව ඇසුවේ ආදරණීය හඬකිනි.

"ඔව් දැන් මම හොස්පිට්ල් ගිහින් හවස මිනිස්ට්‍රි එකට යන්න ඕනෙ .ෆොරින් ලීව් එකේ වැඩ ටික බලන්න.එහෙනම් මම ඉවර වෙලා කෝල් එකක් දෙන්නම්"පාරමී සමුගත්තේ සුපුරුදු සුබපැතුම් යළි පතාය.

"අපිට කොයින්ද දෙයියනේ රත්තරන් කියල කෝල් කරන්න අය"

නිසල් විශ්වට ඉඟිමරමින් පැවසීය.

"අර ශෙරීනාව සෙට් කරල දෙන්නද...මයි ඩාලින් කිය කිය වටේ කැරකෙයි" 

විශ්ව ඇසුවේ මහහඬින් සිනහාසෙමිනි.

"බුදු අම්මෝ බං...සදා තනිකඩ වෙන්නම්..එහෙම ගෑනුනම් එපා" 

නිසල් දෝතම එක්කර වැඳ පැවසීය.

"කොහොමද mr.ජයසූරිය ...කාලෙකට පස්සෙ අපි ආයෙ එකට හමුවෙන්නෙ මේ නේද?" 

රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් පැමිණි ඉහළ නිලධාරියා විශ්වට අතට අත දෙමින් පැවසීය.

"ඔව් මගෙ කලින් කම්පැනි එක තිබ්බ කාලෙ අපි ප්‍රොජෙක්ට්ස් තුනහතරක් කරන්න හම්බවුනානෙ"

විශ්ව පිලිතුරු දුන්නේය.

"ඒ කම්පැනි එක එච්චර ඉක්මනින් ටෙරන්ස් නාගහවත්ත අතට යාවි කියල අපි හිතුවෙ නෑ මිස්ටර් ජයසූරිය ..මොකද මිනිහා ට්‍රස්ටබල් කැරැක්ටර් එකක් නොවෙන නිසා.ෆීල්ඩ් එකේ සෑහෙන කට්ටියක් බුලි කරල මෑන් තැන හදාගෙන අන්තිමට රට පැන්නා."

ටෙරන්ස් නාගහවත්ත ගේ නම ඇසීම විශ්ව මවිතයට පත්කරන්නක් විය.ඔහු සිය විශ්වවිද්‍යාල ජීවිතයේ සිටි ප්‍රධානම ප්‍රතිවාදියායි.

"එහෙනම් ටෙරන්ස් උඹ මේ මගෙන් ගත්තේ බොහොම කාලෙකට කලින් තිබ්බ තරහකට පලියක්.එතකොට කල්පනා උඹට සෙට්වුනේ ඇයි කියන එක ඔතනදි ගණන් නොගන්න තරමටම පොඩි කාරණයක්"

විශ්ව සිතින් සිතුවේ මුහුණේ ඉරියව් වෙනස් නොකරමිනි.

"කොහොම උනත් මිස්ටර් ජයසූරිය , ඔයාගේ කම්පැනි එකත් එක්ක වැඩ කරන්න ගවර්න්මන්ට් එක කැමතියි.ඔයාගේ කලින් රිපෝට්ස් ඔක්කොම බලල තමා මේ ඩිසිෂන් එක අපි ගත්තෙ.ඔයාගේ අලුත් කම්පැනි එකට ග්ලෝබලි මාර්ක් වෙන්න හොඳම අවස්ථාවක් මේක.So..shall we meet our foreigne delegates ...come come..."

රජයේ නියෝජිතයා සමග විශ්ව පෙරට ගමන් කලේ නිසල් ද සමගිනි.

හැමවිටම ජීවිතය නරක සහ නපුර ගෙන එන්නේම නැත.වැටුණ හැම මොහොතක්ම අනාගතයට අත්වැලක් කරගැනීම තමන් සතු කාර්‍යයකි.විශ්ව දෙස් විදෙස් නියෝජිතයන් සමග ගිවිසුම් අත්සන් කලේ අනාගතය පිළිබඳ සුබ ලකුණු සියල්ලම හදවතේ සටහන් කරමිනි.

                                                                          *** 

"කවදාවත් නැතුව විශ්වගෙ ෆෝන් එක ඕෆ්..මොකද මන්දා.නිසල් කාරයා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ."

ශෙරීනා මුමුණමින් කාර්‍යාල කාමරයේ එහෙට මෙහෙට ඇවිද්දාය.

"ආන්ටි විශ්ව ඔෆිස් ආවද අද...?" අවසානයේ ශෙරීනා විශ්ව ගේ මවට ඇමතුමක් ගත්තාය.

"ඔව්නෙ දුව .උදෙන්ම ගෙදරින් ආවනෙ.ඔයා ෆෝන් එකට අරන් බැලුවෙ නැද්ද?" 

විශ්වගේ මව එතරම් ගණනකට නොගත්තේ සාමාන්‍යයෙන් විශ්ව යනඑන තැනක් ඇය නොදන්නා හෙයිනි.

"ෆෝන් එකත් ඕෆ්නෙ ආන්ටි.මම ඒකයි බැලුවේ."

ශෙරීනා ඇමතුම විසන්ධි කලේ නොසන්සුන් බවිනි.

ඇයගේ ජංගමයට ඇමතුමක් එකෙණෙහිම ආවේ කල්පනාගෙනි.

"හෙලෝ කල්පි..."

ශෙරීනා ඇමතුමට එක්වූයේ සිනාවතිනි.

"හෙලෝ...හෙලෝ තමයි..මොකක්ද ගෑණියේ මේ නටපු නාඩගම."

කල්පනාගේ කෝපාවිශ්ට හඬ ශෙරීනාහට කුමක් හෝ වරදක් වී ඇතැයි පහදාදෙමින් තිබුණි.

"මොන විකාරයක් ද මේ කියන්නෙ කල්පි..ඇයි මොකද වෙලා තියෙන්නෙ?"

ශෙරීනා ඇසුවේ කල්පනාට නොදෙවනි ආවේගයකිනි.

"තමුසෙ මට ගෙනල්ල දීල තියෙන්නෙ false document එකක්.ඒක බොරුවක්.ඒකෙ details ලොක්කා ලංකාවට ආව ගමන් චෙක්කරල.දැන් අපි දෙන්නම ඉවරවෙන්න යන්නෙ"

කල්පනාගේ හඬ ශෙරීනා බියගැන්වූයේය.

"ඉ..ඉතින් කවුද දන්නෙ එහෙම එකක්..ලොකර් එකේ තිබ්බ එකනෙ මම ගත්තෙ "

ශෙරීනාගේ හඬ ගොතගසමින් තිබුණි.

"ලොක්කාට අපේ නිදහසට කරුණු අදාලම නෑ ශෙරීනා. තමුන් කෝකටත් පරෙස්සම් වෙනවා.ඔය මිනිහා තරහ ගියාම පොලඟා වගෙ ..පන්න පන්න දෂ්ට කරන්නෙ."

අවසාන අනතුරු ඇඟවීමද කලපසු කල්පනා ඇමතුම විසන්ධිකලාය.

තමා කෙසේ හෝ අවසානයේ පැටලුණේ ලිහාගත නොහැකි පඹගාලක බව ශෙරීනාට අවබෝධවිය.ටෙරන්ස් නාගහවත්ත යනු අණක්ගුණක් නැත්තෙක් බව ඇය දැනගත්තේ කල්පනාගෙනි. මුදලට ඇති කෑදරකම හෙයින්ම එවන් මිනිසෙකුගේ කොන්ත්‍රාත්තුවකට සම්බන්ධ වීම විහින් විනාශයට අතවැනීමක් බව ශෙරීනාට වැටහෙන විට සියල්ලම සිදුවී හමාරය.ඉදින් තමා කෙසේ හෝ මේ මිනිසාගෙන් ගැලවිය යුතුය.දැන් කරන්නට ඇත්තේ සියල්ලන්ටම හොරෙන් විදේශයකට පැනගැනීම පමණි.ශෙරීනා වහ වහා ඇමතුමක් ගත්තේ තමා හඳුණන මිතුරියක් සතු සංචාරක ගමනාගමනය සම්බන්ධ ඒජන්සියකටය.

"මට ඉක්මනින්ම කැනඩාවලට ෆ්ලයිට් එකක් බුක් කරන්න."

ශෙරීනා පැවසුවේ තමාගේ පෙර වතාවේ වීසා තවම අවසන් නොමැති හෙයින් මේ කටයුත්ත ඉක්මනින් ඉවර කරගන්නටය.සියල්ලන්ටම හොරෙන් දින පහක් ඇතුලත කැනඩා යාමට ශෙරීනා සියලු වැඩකටයුතු සකසා ගත්තාය.

සියලු වැඩකටයුතු නිමාකරගත් පසු ශෙරීනාගේ මුවෙහි මතුවූයේ ජයග්‍රාහී සිනහවකි.

"කල්පනා උඹයි උඹේ ලොක්කයි දෙන්නා කරපු දේවල් වලට සම්බන්ධ වුනාට මට මෙහෙම වෙලා මදි.අන්තිමට මට දෙනව කීව සල්ලිත් නෑ.උඹ මට තර්ජනය කලා ඒ මදිවට.දැන් ඉතින් අල්ලයි මගෙ නැට්ට."

ශෙරීනා වියරු සිනහවක් පෑවේ කල්පනාගේ වදන් සිහිවීය.

"කොහොම උණත් ..මට විශ්ව කිසි වරදක් කලේ නෑ.ඒ නිසා මම ගියාට පස්සෙ විශ්වට මේ ඔක්කොම ඉන්ෆෝම් වෙන්න ශෙඩූල් ඊමේල් එකක් දාන්න ඕනෙ දැන්ම."

ශෙරීනා පරිගණකය අබියසින් හිඳගනිමින් සිතුවාය.

විශ්වගේ ජංගමය තවත් වරක් ඇමතුවද එය ක්‍රියාවිරහිතය.ඉදින් ඔහුට නොපවසාම ඉදිරි දින කිහිපය තමා සැඟවී සිටිය යුතුය.ශෙරීනා කැබ් රථ සමාගමකට ඇමතුමක් ගත්තේ කාර්‍යාල රථගාලටම වාහනයක් ගෙන්වා ගන්නටය.

මේ දින කිහිපය තමා අගනුවර හෝටලයක නවතින බව අම්මාට ඇමතුමක් දුන් ශෙරීනා කැබ් රියෙන් අදාල හෝටලය වෙත නික්ම ගියාය.

                                                                    *** 

කල්පනා සිය කණ හරහා වැදුණ තුන්වෙනි පහරට විසිවී ගොස් බිත්තියක වැදුණාය.ටෙරන්ස් නාගහවත්ත ඇයවෙත පැමිණ ඇයගේ බෙල්ලෙන් අල්ලා ඇදගත්තේය.

"උඹ මාත් එක්ක නටන්න ආවේ මං කවුද කියලා නොදැනද? "

සිය අතට ගෙල සිරව ගත් කල්පනාගේ බියපත් දෑස් දෙසම බලමින් ඔහු ගිගුරුවේය.

කල්පනා හුස්ම ගන්නට අපහසුවෙන් දඟලමින් දෑතම එක්කලාය.ටෙරන්ස් නාගහවත්ත ඇය ඉවතට තල්ලුකලේ පයින්ද පහරක් ගසමිනි.

"මේ ප්‍රොජෙක්ට් එක අතට ගත්තනම් මම ආයෙ ලංකාවම හොල්ලනවා ගෑණියෙ.උඹ ඒක දැන දැන ම වැඩේ බාරදුන්නේ කමකට නැති හෝන්තුවකට.අරුන් ඒකිව ගොනාට ඇන්දුවා.අද උන් ඇග්‍රිමන්ට්ස් සයින් කලා.මම ඉවරයි"

ටෙරන්ස් නාගහවත්ත අසල වූ පුටුවකට ඇද වැටුණේය.කල්පනා හිඳ උන් තැනම ඔහේ බලා උන්නාය.ඉදින් මේ නරුම මිනිසාගෙන් තමාහට කිසිම දිනක ගැලවීමක් නම් නොමැත්තේය.ඇය දෑසට පිරෙන කඳුළු පිසලමින් ඔහේ බලාඋන්නාය.

ටෙරන්ස් නාගහවත්ත සිය ජංගමයට ආ දුරකතන ඇමතුමකින් පසු පෑවේ වියරු සිනහවකි.ඔහු කාමරයේ ඇති රූපවාහිනිය ක්‍රියාත්මක කලේය.කල්පනා ඒ දෙස බැලුවේ ඉබේමය.

"මෙන්න විශේෂ පුවතක්...දැන් සුලු වේලාවකට පෙර දෙහිවල දුම්රිය මාර්ගය හරහා දැමූ කැබ් රථයක් දුම්රිය මාර්ගයේ සිරවීම හේතුවෙන් ඒ මොහොතේ ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රියේ හැපී එහි ගමන් ගත් තරුණියක් එතැනම මියගොස් ඇත.ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරික රියෙන්සි අතුකෝරල මහතාගේ දියණිය ශෙරීනා අතුකෝරල බව හඳුනාගන්නා ලදී.රියදුරු පොලිසියට කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කලේ වාහනය පණගන්වා ගන්නට නොහැකි වූ අතර තමා පිටතට පැනගත්තද ඇයට එසේ කරගන්නට නොහැකි වූ බවය...දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන අරඹයි."

තිරය මත වූයේ කැඩී තැලී ඇඹරී ගිය කැබ්‍ රථයයි.එම ප්‍රවෘත්තිය නැවත පරිගණක ක්‍රමවේදයන්ට අනුව සැකසූ උපකල්පන සමගින් ඉදිරිපත් වන විට ටෙරන්ස් නාගහවත්ත මහහඬින් සිනහසෙමින් රූපවාහිනිය ක්‍රියාවිරහිත කලේය.කල්පනා දෑස් විසල් කොට ගෙනම ඔහුදෙස බලාඋන්නාය.

"ඒකි යන්න උන්නෙ කැනඩාවට.දැන්ගියේ සුරපුරේට.මේ ටෙරන්ස් එක්ක හැප්පෙන්න වගේම රවට්ටන්න එන හැමඑකාටම අන්තිමට වෙන්නෙ ඕක තමයි.උඹත් ඒක මතක තියාගනින්."

ටෙරන්ස් නාගහවත්ත කල්පනා වෙත සිය දබරැඟිල්ල පාමින් පැවසුවේය.

                                                                                        *** 

ටෙරන්ස් නාගහවත්ත කාමරයෙන් පිට වී ගිය වහාම කල්පනා බිත්තියට අතගසා නැගිට්ටාය. ඒ නරුමයා පහරදුන් සියොළඟම වේදනාවෙන් පීඩිත ව ගොසිනි .විවිධාකාර හේතු අරබයා ටෙරන්ස් නාගහවත්ත මේ සම්පූර්ණ කාලය ඇතුළත තමාට කෙතරම් පහර දී ඇත්දැයි කල්පනාටම සිතා ගත නොහැකි තරම්ය . විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගතකල කාලයේදී තාවකාලික රැකියාවක් සඳහා තමා ටෙරන්ස් නාගහවත්ත වෙත අනුයුක්ත වූයේ දෛවයේ බලපෑමෙනි .එවකට ඉතා තරුණ වියේ සිටි ඔහු තමා සිය උගුලේ පටලවා ගත්තේ තමා සතු වූ විෂය දැනුම , කුසලතා භාවිතා කර ඔහුගේ අභිප්‍රායයන් මුදුන්පත් කර ගැනීමටය .

ඉතාම අගහිඟකම්වලින් යුතු මෙන්ම දරිද්‍රතාවයෙන් පිරුණු ජීවිතයක් ගතකළ කල්පනා ආර්ථික පහසුකම් ලබා ගැනීම උදෙසාම ටෙරන්ස් නාගහවත්ත විසින් තමා වෙත පැවරූ සුළු සුළු වංචනික කටයුතු නොපිරිහෙළා ඉටු කළේ එතරම් දුරදිග නොසිතාය. 

ඒ වනවිටත් ආපසු හැරෙන්නට බැරි තරමක් ටෙරන්ස් නාගහවත්ත සමග වූ සම්බන්ධතාවය දුර දිග ගොස් තිබූ හෙයින් කල්පනා ඔහුගේ අතේ නැටවෙන රූකඩයක්ම වූවාය .

ටෙරන්ස් නාගහවත්ත විසින් කල්පනා වෙත පැවරූ ප්‍රථම භාරදූර කාර්යය වූයේ විශ්ව ජයසූරියට ලංවී ඔහුගේ ව්‍යාපාර රහස් සියල්ල ඔහු වෙත ලබාදීමය.ඒ වෙනුවෙන් කල්පනා වසර තුනක් ගතකලාය.අවසානයේ විශ්ව අන්තිමටම බංකොලොත් වන්නට හැර ටෙරන්ස් නාගහවත්ත මැලේශියාවට ගියේ කල්පනාද සමගිනි.

කිසිදා විවාහයකට නොගිය අසම්මත බැඳීමක් පමණක්ම වූ කල්පනා සිය කෙලිබඩුවක්ම පමණක් නොව අන් ව්‍යාපාරිකයන් මුලාවේ දමන්නට හැකි අගනා ආයෝජනයක් ලෙස ටෙරන්ස් නාගහවත්ත සැලකීය. කෙතෙක් කායික මානසික පීඩා ලදද කල්පනාට ලැබුණේ සියලු සැපසම්පතින් පිරි සුඛෝපභෝගී ජීවිතයකි.ඉදින් ඇයද දුරදිග නොබලා ටෙරන්ස් නාගහවත්ත ගේ අවශ්‍යතාවයන් සැපිරුවාය.

ශෙරීනාගේ මරණය සැලසුම් කල නරුම අන්දම කල්පනා සසල කොට තිබුණි.කෙතරම් ධනයෙන් ආඪ්‍යවුවද තවකෙකුගේ ජීවිතය උදුරාගන්නට කෙනෙක් තැත් දරන්නේ මනුස්සකම බිංදුවටම සිඳුණ පසුවය.ඉතින් ටෙරන්ස් නාගහවත්ත සම්බන්ධව පිළිකුලක් මෙන්ම වෛරයක් කල්පනාගේ සිතේ උපදිමින් තිබුණි.

කල සැම පාපයක්ම තමා වටා කැරකෙමින් තමාහට පීඩා දෙන අන්දම කල්පනාට දරාගන්නට නොහැකි විය.ඉදින් තමා තවදුරටත් උන්නත් මලත් එකය යන අදහස කල්පනාගේ සිතතුල ඉපදී අවසන් විය.

                                                              *** 

විශ්ව සිය ජංගම දුරකතනය නැවත ක්‍රියාත්මක කලේ සියලු රාජකාරිමය කටයුතු අවසන් ව ආපසු කාර්‍යාලයට එන අතරේය.ශෙරීනාගෙන් ඇමතුම් රැසක් මෙන්ම අම්මාගෙන් මගහැරී ගිය ඇමතුම් විසිගානකි. විශ්ව ජංගමයේ මුහුණත නිසල්හට පෙන්වූයේ සිනාසෙමිනි.

"වැඩේ පත්තුවෙලාද බං...දෙන්නම අරන් තියෙන්නෙ."

නිසල් ඇසුවෙ සිනාසෙමිනි.විශ්වද දෙවුර සලා සිනාසුනේය.

"ශෙරීනා නම් අරන් තියෙන්නෙ උදේ ..ඔෆිස් නැති නිසා වෙන්න ඇති..ඒත් අම්මා දිගටම අරන්නෙ බං.මොකුත් අසනීපයක් වත්ද ?"

විශ්ව ජංගමයේ ඇමතුම් ආ වේලාවන් බලමින් පැවසීය.

"කෝකටත් ගනින්කො"

නිසල් පැවසුවේ කාර්‍යාල පරිශ්‍රයට වාහනය ඇතුල් කරමිනි.

විශ්ව අම්මාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය.

"කොහෙද බූරුවො ෆෝන් එකත් ඕෆ්කරන් ගියේ.අරකි එක්ක ඉන්න ඇති එකත් එකටම.."

අම්මා කෑගසා ඇසුවාය.ඇයගේ ස්වරයේ වූයේ හැඬුමකි.

"ම්...මොකක්...මොකක්ද අම්මා මේ කියන්නෙ...මම ෆොරීන් ඩෙලිගේට්ස්ලා එක්ක ඇග්‍රිමන්ට් එකක් සයින් කරන්න ගිහින් උන්නෙ.ඒකයි ෆෝන් එක ඕෆ් කලෙ.මොකක්ද වෙලා තියෙන්නෙ අම්මා...ඇයි?"

විශ්ව පෙර කල මෙන් තරහා නොගෙන කතාකලේය.

"අනේ දෙය්යනේ අර කෙල්ල..අර කෙල්ල ඉවරයි පුතේ.."

අම්මා මහාහඬින් හඬාවැටුණාය.විශ්ව කිසිවක් සිතාගන්නට නොහැකිව බලාඋන්නේය.අම්මා මේ පවසන්නේ කුමන විකාරයක්දැයි ඔහුට සිතාගන්නට නොහැක.

ඒ මොහොතේ කාර්‍යාලයේ කළමනාකරුවකු හා නිසල් පිවිසුම් දොර අසල කතාබහේ යෙදෙනුද නිසල් හිස අතගසා ගනුද විශ්ව දුටුවේය.එහා පසින් ඇසෙන්නෙ අම්මාගේ හැඬීමම විලාපදීමම පමණි.විශ්ව ජංගමය විසන්ධිකොට වහවහා නිසල් වෙත ආවේය.

නිසල් සිය අතෙහි වූ ජංගමයේ youtube දර්ශනය විශ්වටද පෙනෙන ලෙස නැරඹීය.ඔවුන් දෙදෙනා හිස්වල අතගසා ගත්තේ උනුන් දෙස බලමිනි.

"මේ ගෑනි දෙහිවල මොකට ගියාද බං.?"

නිසල් ඇසුවේ එම ප්‍රදේශය කාර්‍යාලය සහ ශෙරීනාහේ නවාතැන යන දෙකටම හාත්පසින්ම වෙනස්වූ එකක් හෙයිනි.

"අනික මේ ගිනිදවල් බීච්ගියා කියන්නද..? මොකක්ද බං වෙන්න ඇත්තෙ."

නිසල් විශ්ව දෙසම බැලීය.

"උඹට හිතෙන්නෙත් මට හිතෙන දේමද?"

විශ්ව ඇසුවේ නිසල්ගෙනි.ඔහු හිස ඉහලට පහලට සලා කල්පනාවේ යෙදුනේය.

"අපි යමුද ඉස්සෙල්ලම දෙහිවල පොලිසියට. "

විශ්ව ඇසුවේ නිසල්ගෙනි.

"ඔව් ඔෆිස් වෙහිකල් එකක ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යං.මේ විදියට අපි උඹේ වාහනේ ආව එකත් සෑහෙන්න ඩේන්ජරස් වැඩක්.ඊලඟ බිල්ල අපිද කවුද දන්නෙ"

නිසල් පැවසීය.

දෙහිවල පොලිස් ස්ථානය වෙත යනතෙක්ම දෙමිතුරන් උන්නේ කල්පනාවේ ගැලෙමිනි.

නිසල්ගේ මිතුරෙක් දෙහිවල පොලිසියේ සේවය කළ හෙයින් විශ්ව සහ නිසල්ට ඉක්මනින්ම ස්ථානාධිපතිවරයා හමුවීමට අවස්ථාව සැලසුණි.

"ඉඳගන්න මිස්ට ..අපි තාම investigations කරගෙන යනවා .ඒ වෙලාවෙ එතනින් වාහනය දාන්න කිසිම හේතුවක් තිබිලා නැහැ .නමුත් driver තවම හරියට මොකුත් කියන්නෙත් නැහැ. මිනිහා කියන්නේ ඔය නැතිවෙච්ච ලේඩි එකපාරටම beach side එකට වාහනේ දාමු කියලා කිව්වා කියලා. ඒත් වාහනේ රේල්පාර මැද්දෙ නැවතුනාම එයාට කොච්චර පනින්න කිව්වොත් එයා පැන්නෙ නැහැ කියලයි ඩ්‍රයිවර් කියන්නේ."

ස්ථානාධිපතිවරයා පැවසුවේ මේ දක්වා සොයාගත් විස්තරයි .

"ඇත්තෙන්ම කිව්වොත් ෂෙරීනා කියන්නේ අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක් .එයා උදේ වරුවේ ඉඳලා තියෙන්නෙත් අපේ ඔෆිස් එකේ . ඒ ඉඳලා තමයි ඔහොම යන්න ගිහින් තියෙන්නෙ. අපිට මේ සිද්ධ වෙච්ච දේ ගැන සැකයක් තියෙනවා."

විශ්ව ස්ථානාධිපතිවරයාට පැවසුවේය .

"ඔව් අපි සීසීටීවී රෙකෝඩ්ස් ඔක්කොම බලනවා. මේක ගැන දුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට බොඩි එකනම් තියෙන්නෙ කළුබෝවිල රෝහලේ .ඔයාලට අවශ්‍ය නම් ගිහින් බලන්න පුළුවන්. කෝකටත් ඔයාලා කටඋත්තරයක් දීලම යන්න."

පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන්ට සමු දෙමින් පැවසීය.

"මොකද කියන්නේ හොස්පිටල් එකට යනවද .?"

නිසල් ඇසුවේ විශ්වගෙනි .

"නොයා බැහැනේ බං දැන් අතුකෝරල අංකල්ලත් ඔතනට ඒවිනෙ.ප්‍රශ්නෙ තියෙන්නෙ මේ මනුස්සයා උදේ අපේ ඔෆිස් එකේ ඉදලානෙ ඔතනට ගිහින් තියෙන්නේ .අපිටත් කටඋත්තරයක් දෙන්න වුන එක තමයි වැඩේ. අන්තිමට ඒ කුණු ගොඩත් අපේ පිටින් යාවිද දන්නේ නැහැ."

විශ්ව පැවසුවේ රියදුරු හට කලුබෝවිල රෝහල වෙත යන ලෙස පවසමිනි.

******************************************************************************** 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)

Friday, April 21, 2023

27 කොටස - හදේ කොතැනක හෝ හිඳී ඔබ

 27 කොටස 


26  කොටසට මෙතනින්    26



"ඇන්ටී, ඔයාට ෂුවර්ද විශ්ව අර කෙල්ලත් එක්ක තියෙන සම්බන්ධය නවත්තලා කියලා" 

ශෙරීනා විමසුවේ විශ්වගේ මව සමග අවන්හලක හමුවූ අවස්ථාවේදීය.

"මට පේන විදිහට මෙයාට ඇතිවෙලා නවත්තලා වගේ"

විශ්වගේ මව පැවසුවේ තමාහට දැනගන්නට කිසිදු හෝඩුවාවක් ඒ සම්බන්දගෙන් නොවූ හෙයිනි.

"ඇන්ටි මොනවද දන්නේ ඇන්ටි .ගෙදරට වෙලා ඉන්නවා විශ්ව ඒ කෙල්ලත් එක්ක එහෙ මෙහෙ යනවා කියන එක මං හොඳටම දන්නවා"

ශෙරීනා පැවසුවේ විශ්වගේ මව තවදුරටත් අවුස්සා ලීමේ බලාපොරොත්තුවෙනි .සිතූ පරිදිම ඇය බෙහෙවින් කෝප ගත්තාය. 

"මොනවා..මොනවා දුව ඔයා කොහොමද එහෙම කියන්නේ? මට කියන්න, මම ඒක ලෙහෙසියෙන් අත හරින්නේ නැහැ.අම්මා තාත්තා නැති කාත් කවුරුවත් නොමැති ඔය දේපලක් කියලා එහෙමටත් නැති ඔය වගේ කෙල්ලෙක් කාලෙකට හරි ආශ්‍රය කරනවට මම කැමැති නැහැ.ඉක්මනට ඔයාලගෙ වෙඩින් එක ගන්න ඕන." 

විශ්වගේ මව පැවසුවේ පාරමී පිළිබඳ දැඩි තරහක් හිතේ මවාගෙනය. 

ශෙරීනාගේ සිත තුළ විශ්ව හා විවාහවීමට කිසිදු අවශ්‍යතාවයක් නොවීය .

ඇයට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඔහුගේ ධනස්කන්ධය ලබා ගැනීම පමණි .

"නෑ..ඇන්ටි අපි මෙහෙම කරමු .අපි ඔය කෙල්ලව ටිකක් බය කරලා විශ්වගෙන් ඈත් කරමු .මමත් ලයිෆ් එක enjoy කරන්න කැමැති කෙනෙක් .ඉතින් මැරි කරන එක ටිකක් පහු උනාට කමක් නැහැ" 

ශෙරීනා පැවසුවේ ඉතාමත් යාප්පුවෙනි.

"ඔයාලගෙ වයසත් යනවනේ ළමයා .ඉතින් දරුවෙක් මල්ලෙක් හදාගන්න හරි වයසදි විවාහ වෙන්න ඕන."

විශ්වගේ මව යම්තාක් දුරට නොරිස්සුම් ස්වරයෙන් පැවසුවාය. 

"මේ අම්මණ්ඩි හිතාගෙන ඉන්නේ පුතණ්ඩියට මාව බන්දලා දීලා අර ලමයි හදන මැෂිමක් කරන්නද කොහෙද?

එව්වා කොහෙද මාත් එක්ක .අනේ නැන්දම්මේ, ඔයාගේ ඇස් ඇහැරෙනකොට මං මගේ මගේ dream එකට ගිහින් ඉවරයි."

ශෙරීනා යටිසිතෙන් සිනා මවමින් සිතුවාය.විශ්වගේ මව ඇයගේ උගුලේ පැටලී හමාරය.ඉතින් විශ්ව දැලට හසුවුනත් එකය.නැතත් එකය.අත්‍යාවශ්‍ය ලියකියවිලි සියල්ල අතට ගත් පසු විශ්ව ඕනකුදයක් ගහගත්තාට තමන්ට කමක් නැත.

                                                                            *** 

"අද උඹ එන්නෙ පරක්කු වෙලා හරිද ...මගෙ වැඩ වණ නොකර කියන විදියට කරපන් "

නිසල් උදේම විශ්වහට ඇමතුමක් දුන්නේ අවශ්‍ය කාරණා මතක් කරමිනි.

"හරි හරි..උඹ මොන නාඩගමක් හරි පරෙස්සමින් නටපන් හරිද"

විශ්ව පැවසුවේ සිය මිතුරාට ඇති ලෙන්ගතු කම නිසාමය.

"බයවෙන්න එපා.හැමදේම තිතට වෙයි"

නිසල් පැවසුවේ සිනහසෙමිනි.

"විශ්ව අද ඔයා ඔෆිස් යන ගමන් අනේ මාවත් පික් කරන්නකො"

ශෙරීනාගේ ප්‍රමාණයට නොගැලපෙන හුරතලය තමන්ගේ ඉවසීම පන්නමින් සිටිනා බව විශ්වට දැනේ.

"මට අද උදේ ෆොරින් මිනිස්‍ට්‍රි යන්න ඕනෙ. සොරි ශෙරීනා."

ඔහු පැවසුවේ නොසැලකිලිමත් හඬ යටපත් කරමිනි.

"මං දන්නවා උඹට අමාරුයි කියල.ඒත් පොඩි රඟපෑමක් කරපන් ටික දවසක්.මේ අම්මණ්ඩි කට්ටයි.ලෝක කට්ටයි.ඒ නිසා පොඩ්ඩක් ගොනාට ඇඳගෙන වගෙ හිටපන්."

පෙර දවසක නිසල් පැවසුවේ තමා තදබල ලෙසම ශෙරීනාගේ ආගමනය ප්‍රතික්ෂේප කරනාවිටය.

"මොනවද බං දෙකක් කියල එලියට දාන්නෙ නැතුව.මල වදයක් උනානෙ මේක"

විශ්ව පැවසුවේ මැඩනොගත් තරහෙනි.

"නෑ මේකෙ අල්ලගන්න පොඩි දෙයක් තියේ.මට හිතෙන දේ ඇත්ත නම් history repeat බං."

එදා නිසල් පැවසුවේ තමාගේ ඇස්දෙක විසල් වන පුදුමයෙනි.

"ම්..මොකක්..මොකක්..උඹ කියන්නෙ එතකොට අර බැ....ආයෙ ගේමට ඇවිල්ල කියලද .? මං අතාරින්නෑ අහුවුනොත් ඕකිව."

විශ්ව අසුනෙන් නැගිට්ටේ කෑගසමිනි.

"පිස්සො,ඉඳගනින් ඉඳගනින්.උඹෙ මේ මූලග්ගාය නිසා තමා මොකුත් කරගන්න බැරි.සැකයක් විතරයි තාම මට.උඹ මට මේක හැන්ඩ්ල් කරගන්න දීල පාඩුවෙ දොස්තර නෝනා එක්ක ලව් කරකර හිටපන්කො" නිසල් පැවසුවේ පාරමී සිහිකොට විශ්වගේ මුව මතට එන සිනහව හොරෙන් බලමිනි.

"බලපන්කො මතක් කලත් මුනෙ තියන සිරියාව.පැණි පෙරෙනව."

නිසල් පැවසුවේ හිනැහෙමිනි.

"හරි හරි එහෙනම් මම තියනව."

පෙරදා මතක ඔස්සේ සැරිසරමින් උන් නිසල් ජංගම දුරකතනය විසන්ධි කලේ ඉක්මනින් කාර්‍යාලයට යාමටය.

                                                              *** 

"ආ ගුඩ්මෝනින් ශෙරිනා.උදෙන්ම ඔෆිස් ඇවිල්ලනේ.ගුඩ් ගුඩ්"

කාර්‍යාලයට පැමිණ විශ්වගේ කාමරයේ තමා සම්බන්ධ කල මයික්‍රෆෝනයන් නිසි අයුරින් සකසා යළි පිටතට එන නිසල්හට කොරිඩෝරයේදී හමුවූයේ ශෙරීනාය.ඇය නොරිස්සුම් බැල්මකින් ඔහු දෙස බලා "මෝනින්" කීවාය.

තමා පසුකොට යන නිසල් දෙස බලාඋන් ශෙරීනා නැවත ඔහු ඇමතුවේය. 

"මෙ..මේ නිසල්, අද විශ්ව එන්න පරක්කු වෙනවද?"

කිසිදු මිත්‍රශීලි බවක් නැති මේ ගැහැනියට "මගෙන් අහන්නෙ උඹම හොයාගනින්කො"යැයි සිතින් කියූ නිසල් මවාගත් සිනහවකින් 

"ආ.අද මොකක් ද මිටින් එකක් කිව්වා."යැයි පැවසීය.

ඇය නිසල් දෙස උඩඟු බැල්මකින් බලා ආපසු හැරී කාර්‍යාලයට පිවිසුනාය.නිසල් වහා කෙටි කොරිඩෝරයෙන් තමාගේ කාමරයට පැනගත්තේය.

ශෙරීනා වහ වහා කාර්යාලයේ දොර වසා අගුලු දැමුවාය.එසේ නම් තමා කලින්ම ආ එක හොඳය.අදාල ලිපිගොනු ඉක්මනින් සොයාගත යුතුය.තමා හමුවන්නට එන්නිය මුණගැසෙන්නට දහයටවත් one gallface යා යුතුය.

ශෙරීනා විශ්වගේ මේසය මතවූ ලිපිගොනු සියල්ලම ඇවිස්සුවාය.විශ්වගේ කාමරයේ මේ වන විටත් cctv කුඩා කැමරා සවිකොට ඇති බව ඇය දන්නේ නැත .විශ්ව නිවසේ සිට සිය ජංගමයෙන් ශෙරීනාගේ නාඩගම සිනාසෙමින් බලාඋන්නේය.දාඩියමුගුරු දාගෙන ලිපිගොනු අවුස්සන ඇය අතින් විටෙක ලිපිගොනු බිම ඇදවැටේ.කොල සීසී කඩ යයි.යළි ඇය ඒවා අහුලා ඒ තුලට දමයි.විශ්ව හිතාමතාම ලොකරයන් දෙක අගුල් නොදමාම ආවේය.ශෙරීනා වහ වහා ඒවා විවෘත කොට ලිපිගොනු ඇද බලන්නට වූවාය.

ඇයගේ මුහුණේ ජයග්‍රාහි සිනහවක් මතුවූයේ කලුපැහැ ලිපිගොනුවක් බැලූ සැනිනි.ඇය අත මිට මොලවා යස් යැයි කියා වටයක් කැරකුණාය.විශ්ව සිනහව ගිලගනිමින් බලාඋන්නේය. වහ වහා මුද්‍රණ යන්ත්‍රය වෙත ගිය ශෙරීනා ඒ සියල්ල පිටපත් කොට ගත්තාය.ඒවා ලිපිගොනුවකට ගෙන මුල් ලිපිගොනුව යලි ලොකරයට දමා ඇමතුමකට සම්බන්ධ වූවාය.

"හරි මම දහයට එතන..ඔව් ඔව් ඉක්මනින් එන්න.මෙතනින් අද පැනගන්න පුළුවන් මට"ශෙරීනා වටපිට බලමින් පැවසුවාය.නිසල් සිනහව තද කරගනිමින් අසාඋන්නේය.

නවය පසුවී විනාඩි තිහක් පමණ වන විට ශෙරීනාගේ ජංගම දුරකථනයට ආ ඇමතුම සමග ඇය වහ වහා සූදානම් වූයේ පිටතට යන්නටය.නිසල් කිසිත් නොදන්නා සේ විශ්වගේ කාමරයට ආවේ ඒ මොහොතේමය.

"ආ ශෙරීනා කොහෙ හරි යන්නද...? කෝ විශ්ව නෑනෙ තාම නේද..?" නිසල් සුහද බවින් යුතුව ඇසුවේය.

"හ්ම්.."ශෙරීනා එපමණක් පවසා සිය ආලේපන කට්ටලයද රැගෙන වහා නානකාමරය වෙත ඇදුණාය.තමා මගහරින්නට ඇය දරන තැත දැක නිසල්ට සිනහා පහල විය.

"හරි හරි නෝනා ඔහොම යංකෝ....කකුලුව නටන්නෙත් වතුර හැලිය රත්වෙනකල් විතරනෙ. ?මාත් මේ ගින්දර දානගමන් ඉන්නෙ."නිසල් තමාටම පවසාගත්තේය.

ශෙරීනා පිටව ගොස් මොහොතකින් නිසල් කාර්‍යාලයෙන් පිටව ඇය පසුපස හඹා ගියේ ඇයටද නොදැනෙන්නය.

"ශේප් එකේ වරෙන් onegallface එකට.ඇවිල්ලා ඇතුලට නොයා කා පාක් එකේම හිටපන්.මම එනකල්.උඹ කැබ් එකක වරෙන්.උඹෙ වෙහිකල් එකේ එන්න එපා."නිසල් පැවසුවේය.

දෙමිතුරන් රිය අංගනයේදී හමුවූ පසු විශ්වහට එසේම ඉන්නට හැර නිසල් ආපනශාලා ඉසව්වට ඇදුණේ ශෙරීන් පැවසූ ස්ථානය සොයමිනි.කාර්‍යාල ඇඳුමට උඩින් කබායක් පැළඳ අව්කන්නාඩි දමා උන් හෙයින් නිසල්ගේ ස්වරූපය වෙනස්වී තිබිණ.

ඔහු නිසොල්මනේ ශෙරීනා තවත් අයෙක් සමග කතාබහ කරනා ඉසව්වට ආවේ ශෙරීනාට නොදැනෙන්නටය.ඒ කල්පනාය.විශ්වගේ ජීවිතය ගිනිතැබු කාන්තාවය.නිසල්ගේ සිත ආවේගයෙන් සහ කොපයෙන් සලිත වුවද ඔහු එය මැඩ පවත්වාගෙන ශෙරීනාට මුහුණට හසුනොවන සේ ඉඳගත්තේය.

"කලබල නොවී අහපන්.මෙතන ඉන්නෙ අපි හිතපු කෙනා තමයි.මට පොඩි වෙලාවක් දීපන් මෙතන ටිකක් නෝට් කරගන්න.උඹ ආවොත් වැඩේ වණ වෙනවා."නිසල් විශ්වහට ඇමතුමක් දී පැවසුවේය.විශ්ව මැඩගත නුහුණු කොපයෙන් අතමිට මොලවා අසල වූ බිත්තියට පහරක් ගැසීය.

"උඹ ආයෙ ආවා එහෙනම්..මාව කාලා ගියා මදිවට ආයෙ ආවා.මේ නම් මගෙ ආත්ම වෛරක්කාරියක්"විශ්ව තමාටම පවසා ගත්තේය.

                                                                      *** 

ශෙරීනා සිය බෑගයෙන් අදාල ලිපිගොනුව අතට ගත්තේ ජයග්‍රාහී සිනහවක් ඇතිවය.කල්පනා එය අතට ගෙන පෙරලා බැලුවාය.දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා එක්කරන මහා ව්‍යාපෘතියක පරිසර හිතකාමී ගොඩනැගිලි සංකීරණයක යෝජනාවලිය එහි තිබිණ.ඉදින් සියලුම දත්ත තමන් අතට පත්ව ගොසින් හමාරය.කල්පනා ජයග්‍රාගී සිනහවකින් ශෙරීනාට අතට අත දුන්නාය.

"වෙල්ඩන් ගර්ල්.මෙච්චර ඉක්මනින් මේක කරගන්න පුළුවන් වෙයි කියලනම් මං හිතුවෙ නැහැ.ඒකෙන් තේරෙන්නේ එකක්.. ඔයා මං හිතුවට වඩා මාරම ටැලන්ටඩ් ..අනිත් දේ තමයි එක පාරක් මට්ටු වෙලත් විශ්ව කියන මිනිහා නම් පාඩමක් ඉගෙන ගන්නේ නැති තරම්ම මෝඩයි. මේ වගේ document එකක් තමන්ගෙ ලොකර් එකේ දාලා යන්න තරම් careless කියන්නේ කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි" කල්පනා පැවසුවේ පෙර දවසක තමා ඔහු මුලාවේ හෙලූ අන්දම සිහිකරමිනි.

"මිනිහා මේ දවස් වල ඉන්නේ ලව් එකක පීක් එකේ..ඉතින් කන්න බොන්නවත් සිහියක් නෑ ඒක ගැනමද කොහෙද හිතේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ලොකර් එක ලොක් කරලා key එකත් අරගෙන තමයි විශ්ව ඔෆිස් එකෙන් යන්නේ .ඊයෙ හවස උනේ හදිස්සියෙම මං හිතන්නේ අර girl ගෙන් කෝල් එකක් ආවා .මිනිහා ඒ කල්පනාවෙන්ම තමයි පුටුවෙන් නැගිටලා යන්න ගියේ." ශෙරීනා පැවසුවේ ඊයෙ හවස විශ්ව කාර්යාලයෙන් පිටත් වී ගිය අන්දම සිහිකරමිනි.

"අහ්..මිනිහට දැන් කෙල්ලෙක් ඉන්නවද ? " කල්පනාගේ ස්වරයේ ඇතිවූයේ තරමක ඉරිසියා සහගත හඬකි . තමා ඔහු හැරදා ගිය දින පටන් අවුරුදු ගණනාවක් යන තුරු බීමතටම ඇබ්බැහි වූ විශ්ව කිසිදු කාන්තාවක් සමග සම්බන්ධකමක් පටන් ගත්තේ නැති බව කල්පනාට විටින් විට ආරංචි විය . එම හේතුවම ඇයට තමා ගැන ඉහළම තක්සේරුවක සිටින්නට තරම් හේතු විය .තමා ඔහු එතරම්ම රවටා දමා තිබියදීත් වෙනත් කාන්තාවක් සමඟ ඇසුරක් පටන් නොගන්නේ තමා ගැන තිබූ තිබු ආදරය නිසා ඇයි ඇය විශ්වාස කළාය. නමුත් සත්‍ය හේතුව වූයේ කල්පනා විසින් සිදුකළ ඒ වංචනික ක්‍රියාවල හේතුවෙන් විශ්වට සියලුම ගැහැණු සංහතිය එපා වී තිබීමය.

" ඔවු ඔව් ආරංචි හැටියට නං ඩොක්ටර් කෙනෙක් කියලයි. මේ දවස් වල මිනිහා ඉන්නේ මාර romantic mood එකක. "

ශෙරීනා පැවසූයේ කල්පනාගේ ඉරිසියාව තව තවත් වැඩි කරමිනි.

" එතකොට විශ්වගෙ අම්මා කොහොමද ?" කල්පනා ශෙරීනා ගෙන් ඇසුවේ විශ්වගේ මව ගැන කල්පනාවෙත්ම හිතේ ඇතිවූ අධික ද්වේශයෙනි .විශ්ව සමග වංචනිකව හෝ ප්‍රේම සම්බන්ධය තිබූ කාලයේ විශ්වගේ මව තමා හට නිතර නිතර බැන වැදීම සහ ප්‍රතික්ෂේප කිරීම සහ හෙළා දැකීම නිසා තමා පත් වූයේ දැඩි අසීරුතාවයන්ට බව කල්පනාට සිහිවිය.

"එයාද ...එයාට ඒකෙනාව පේන්න බෑ කල් කදුරු වගේ .ඒ අම්මණ්ඩිට ඕනෑ ඉක්මනටම මාව විශ්වගෙ කරේ ගහන්න.මං මේ හරි අමාරුවෙන් කර ඇර ඇර ඉන්නවා." ශෙරීනා සිනහසුණේ මහ හඩිනි.

"දේපලයි බූදලේයි යනකොට අරන් යන්න හිතන් ඉන්න ඒ අම්මණ්ඩිට නම් හොඳම පාඩමක් උගන්වන්න ඕනේ . මේ වැඩේ ඉවර වෙච්ච ගමන් ශෙරීනා ඔයා මාත් එක්ක ආපහු යන්න එන්ඩ ඕනේ .ඔයාට මෙහෙ ඉන්න බැහැ.දන්නවනේ අනිවාර්යෙන්ම ලොකු රිස්ක් එකක් එනවා" කල්පනා පැවසුවේ ශෙරීනා ගේ අතින් අල්ලා ගනිමිනි.

                                                                        *** 

එහෙනම් කල්පනා ඔයයි මේකෙ ආපහු මහමොළකාරය උනේ . ශෙරීනා කියන්නේ ඔයාගේ අතකොළුවක් විතරයි. ඒ උනාට ඔයාව මේකට මෙහෙයවන්නෙ කවුද කියලයි මට දැනගන්න ඕනෙ..."

නිසල් ඔවුන්ගේ පිටුපස සිට කල්පනා කළේය .

මේ වන විටත් විශ්ව අධික නොසන්සුන්තාවයකින් රථගාලේ සිටිනු ඇති බව නිසල්ට වැටහුනි .ඔවුන් දෙදෙනාගේ කතාබහ ඉන්පසුව හැරවුනේ සාප්පු සවාරි සහ මෝස්තර නිර්මාණ ආදිය ගැන ය .තවදුරටත් මෙතන කාලය නාස්ති කළ යුතු නොවන නිසා නිසල් සෙමින්ම එතැනින් නැගිට ආපසු රථ ගාල වෙත පැමිණියේය 

"මොකද උනේ"

විශ්ව කලබලයෙන් මෙන් ඉදිරියට පැමිණ නිසල් ගේ අතින් අල්ලා ගනිමින් ඇසීය .

"යමන් මෙතනින්. මං යන ගමන් කියන්නං "

නිසල් රථයට නැග විශ්ව සමගින් පිටත් විය .

"එහෙනම් මේකයි සෙල්ලම. කල්පනා උඹ හිතුවා මට අතීතය මතක නෑ කියලා ඒක මං මලත් අමතක කරන්නේ නැහැ .ඒ සැරේ වැටුණු වැටිල්ල මං ආපහු වැටෙනව කියලා උඹ හිතාගෙන ඉන්නවනම් ඒක උඹ කරගත්තු ලොකුම වැරැද්දක්.." 

නිසල් සියලු කතාව පැවසූ පසු විශ්ව තමාටම කියා ගත්තේය 

"අපි duplicate එක විදිහට හදපු වැරදි ෆයිල් එක තමයි දැන් ඔය ෂෙරීනා පොටෝ කොපි කරගෙන ගියේ . මුන් මේකේ වැඩේට බහින්න කලින් අපි අපේ වැඩේ කරන්න පටන් ගන්ඩ ඕනේ .කවද්ද උඹට agreements සයින් කරන්න තියෙන්නේ."

නිසල් ඇසුවේ විශ්වගේ උරහිසට අත තබමිනි.

"සඳුදාට ..අපි ඒ වැඩ ටික පුළුවන් තරම් සීක්‍රට්ව කර ගන්ඩ ඕනේ.අද සිකුරාද නිසා සෙනසුරාදයි ඉරිදයි කොහොමත් කල්පනාල ඕකට අත ගහන්නේ නැහැ. ගෑනි සඳුදාට වැඩේට බහින කොට අපි මෙහේ වැඩ ඉවර කරලා තියෙන්න ඕනේ."

විශ්ව පැවසුවේය

"එහෙනම් දැනම් ඔෆිස් එකට යමු. ශෙරීනා ආපහු ඔෆිස් එකට එනකොට අපි මේ මොකුත් නොවෙච්ච විදිහට ඉම්මු.අද හවස් වරුවෙම අදාල ඩොකියුමන්ට් ටික ඉක්මනට අපි ලෑස්ති කර ගම්මු." 

නිසල් පැවසුවේ තවදුරටත් කල්පනා කරමිනි .මෙය එතරම් පහසුවෙන් හෝ සැහැල්ලුවෙන් ගණන් නොගත යුතු කාරණයක් නොවේ . 

කල්පනා සහ ශෙරීනා අර අඳින්නේ සුළුපටු කාරණයකට නම් නොවන බව නිසල්ට විශ්වාසය .එක්කෝ කල්පනා දැන් වැඩ කරන්නේ අන්තර්ජාතිකම කඩාකප්පල්කාරී සංවිධානයක් එක්කය. ගැහැනියක් වීත් මේ සා තමා පසුපසම පන්න පන්නා පහර දෙන්නට මේ ගැහැනියට ඇත්තේ පුදුමාකාර වූ වෛරයක් විය යුතුය. මේ සියල්ලේ අග මුල සොයා ගත යුතුයැයි විශ්වට දැන් දැන් සිතෙයි.

                                                                  *** 

ශෙරීනා ආපසු කාර්යාලයට පැමිණෙන විට නිසල් අදාල වැඩ කටයුතු සඳහා පිටත්ව ගොස් තිබුණේය.විශ්ව ආයාසයෙන් කේන්තිය පාලනය කර ගනිමින් ශෙරීනා එන පෙරමඟ බලා උන්නේය .

අනේ විශ්ව ඔයා හුඟක් වෙලාද ඇවිල්ල...ඔයා නැතුව මට මෙතන ඉන්න මොකද්ද වගේ අනේ ..අර නිසල් හැම තිස්සේම මේ කාමරයට එනවා ඔයා නැති උනාම .මට ඒක හරිම ඔඩ්. ඉතින් මං පොඩ්ඩක් එළියට ගියා."

ඕනෑවටත් වඩා මවාගත් ආදරයක් දැවටුණු කටහඬකින් ශෙරීනා ආවේ විශ්වගේ ආසනය අසලටමය . විශ්ව නිහඬවම ඇයගේ දෑස් දෙස බලා උන්නේය .ශෙරීන් එයින් මහත් අපහසුතාවයකට පත් වූයේ තම සිත තුළ වූ වංචනික තත්වය වැටහේද යන සැකයෙනි .

"අනේ ඉතින් ඇයි තරහෙන්ම වගේ බලාගෙන ඉන්නේ ..මං නැතුව ඔයා පාලුවෙනද උන්නේ ?"

ශෙරීනා විශ්වගේ පුටු ඇන්ද මත හිඳගත්තේ අඩමානයටය. 

"shereena this is my office ..so you have to behave well."

විශ්ව ආසනයෙන් නැඟී සිටිමින් පැවසුවේය .

"ඉතිං ඒක තමයි මම කියන්නේ ඔෆිස් එකේ නැතුව අපි නිදහසේ හම්බෙන්න කොහේ හරි යමුකෝ කියලා .මොකක්ද විශ්ව මේ ජීවිතයේ හරි බෝරින් නෙ."

ශෙරීනා සිය අසුනට යමින් පැවසුවාය 

"මට ඕනවටත් වඩා වැඩ තියෙනවා කරන්නේ ශෙරීනා .මට international ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ල තියෙන වෙලාවේ ඔයා විකාර කරන්න නම් එපා." 

විශ්ව ඇය දෙස හොරැහින් බලමින් පැවසුවේය .

"කරයි උඹ international projects .ලබන සතියේ වෙනකොට විශ්ව උඹට වහ කන්නයි වෙන්නේ."

ශෙරීනා යටි හිතින් සිනහසෙමින් සිතා ගත්තාය .

                                                                  *** 

"අනේ අනේ එක්කෙනෙකුට දැන් මාව මතක නෑ ."

ඇමතුමක් ලද වහාම පාරමී නෝක්කාඩු කියන්නට වූයේ විශ්වගේ මුවට සිනහවක් එක්කරමිනි .

"ඔන්න පටන් ගත්ත රණ්ඩුවෙන්ම...අනේ කෙල්ලේ මේ සතියේ විතරයි මට ඕනා .ඊට පස්සේ ඔන්න මගේ සම්පූර්ණ කාලයම මම ඔයාටයි දෙන්නේ .

විශ්ව පැවසුවේ සිනහා වෙමිනි 

"මං දන්නවා විශ්ව ..කොහොමද ඔයාගේ ප්‍රොජෙක්ට් එක .මේ වෙනකොට පටන්ගන්න වැඩ කටයුතු ටික ඉවරද?"

පාරමී ඇසුවේ ඉතාමත් මුදු ස්වරයක් හඬෙහි ඇතිවය 

"කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා මැණික .අපි හිතනවට වඩා ගොඩාක් ප්‍රශ්න මේ ප්‍රොජෙක්ට් එකට එනවා .නිසල් මගේ ළඟ ඉන්න හින්දා ඇත්තෙන්ම මේ වැඩ කටයුතු කරගෙන යන්න ලේසියි .නැත්තං අපි හිතනවට වඩා බොහොම භයානක තත්වයක් අපි අවට කරකැවෙන්නේ "

විශ්ව පැවසුවේ කල්පනාවෙන් යුතුවය.

"මොනව වුනත් ඔය දෙන්නම පරිස්සමින්." 

පාරමී ඇමතුම නිමා කරන මොහොතේ පැවසුවාය.

මේ ව්‍යාපෘතිය අවසන් වූ වහාම පාරමී සහ තමාගේ විවාහ ලියාපදිංචි කළ යුතුය .පෙරදා තරම් විවාහය ගැන කතා කරනා විට කණු කුණු ගෑමක් පාරමීගේ ද නැත.තමන්ගේ අම්මා වෙනස් වේ යැයි සිතමින් තව තවත් කාලය ගැනීමේ තේරුමක් නැති බව පාරමීද වටහා ගෙන ය .

ජීවිතය කෙතරම් හුදෙකලාවක ගතවීදැයි තේරුම් යන්නේ සෙනෙහස් ඇසුරත් ජීවිතයට ළඟා වූ පසුවය .උදෑසන ඇරඹුන මොහොතේ පටන් රාත්‍රියේ නින්දට යන මොහොත දක්වා ම ඇයගේ සෙනෙහසෙහි කෙටි සටහන් සිය ජංගම දුරකථනය මත දිස්වෙනන අන්දම විශ්ව කල්පනා කළේය .

තමා කෙතරම් කාර්ය බහුල වුවද ඒ හා සමානව ඇයද කාර්යබහුල බව ඔහු දනී .නමුත් පාරමී හැකි හැම මොහොතේම විශ්වගේ වැඩකටයුතු ගැන, ඔහුගේ ශරීර සෞඛ්‍යය ගැන සොයා බැලුවේ ඔහුගේ යහපත් මානසිකත්වය ගැන නිතරම සැලකිලිමත් වෙමිනි.

විශ්වගේ චර්යාවෙහි වූ නිතර නිතර දැඩි ලෙස කේන්ති යන ගතිය බොහෝසෙයින්ම පාලනය වූයේ පාරමීගේ ඇසුර හෙයින් ම ය . ඉතින් තමා ඇය තවදුරටත් බොහෝ දුරින් තබා ගෙන සිටින්නේ කුමකටදැයි විශ්ව නිතරම සිතුවේය .උදෑසන අවදි වන මොහොතේ පටන් රාත්‍රී නින්දට යන මොහොත දක්වාම ඇය තමාගේ ඇස් මානයේ දැවටිය යුතු ය.ජීවිතය ආදරයෙන් පුරවාලිය යුතුය .මෙතෙක් කල් ජීවිතයට අහිමි වූ සෙනෙහස ඇති උණුසුමක් දැඩි ලෙස අවශ්‍යව ඇත.

********************************************************************************* 

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින)