Showing posts with label මතකයේ රැඳෙන පොත්. Show all posts
Showing posts with label මතකයේ රැඳෙන පොත්. Show all posts

Monday, February 27, 2017

38. මොකෝ...?





මොකෝ...?
මෙහෙම ඇහුවම පෝස්ට් එක කියවන්න ආව අය හැරිලා යාවිද මන්දා..
අනේ යන්න නම් එපා...
ඇයි මොකෝ ?... කියලා ආපහු අහලම මේක කියවන්නකෝ

මොකෝ කියන්නෙ මම ආසම කරන පොතක්...මේ පොත මම මිලදී අරන් තියෙන්නෙ 2004 අවුරුද්දෙ...ගත්තු දිනේ බැලුවම 2004.06.25 කියලා ලියලා තියනවා.
මේ කාලය මගේ ජීවිතේ මහා කුණාටුවක් ආව කාලයක්
ඇත්තෙන්ම ඇයි මම මේ පොත ඒ කාලෙ ගත්තේ කියලා දැන් මටම හිතාගන්න බැහැ..දින වකවානු එක්ක බලද්දි මගෙ අම්මා අපෙන් සමුගෙන සතියක් වගේ මේ කාල සීමාව..

සමහර විට මම මේ පොත ගන්න ඇත්තෙ ඒ කාලයෙ මගේ මනසේ තිබ්බ ප්‍රබල කඩා වැටීම කියන එකෙන් මිදෙන්න වෙන්නට ඇති

කමක් නැහැ..හේතු කාරණා ඒ කෙසේ වෙතත්..අපි මොකෝ ගැන පොඩ්ඩක් කතා කරමුකො
මොකෝ කියන්නේ උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරන ලද පොතක්

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්..එවකට නම් මිල රුපියල් 180යි..මුල් කතෘ වරයා   JOSTEIN GAARDER කියලා කෙනෙක්...පොතේ මුල් කෘතියේ නම Hello...is anybody there ?

මේ පොතේ පිදුම හරිම ලස්සනයි...


ආදරණීය දරුවන්ට සහ විශ්වය පුරා ඇති චමත්කාරය පුදුමය හා සුන්දරත්වය රස විඳිය හැකි ළමා මනස දැනුමෙන් හා ගෞරවයෙන් විනාශ කර නොගත් වැඩිහිටියන්ට ආදරයෙන් පිරි නමමි....

අපි ගැනයි මේ කියලා තියෙන්නෙ එහෙම නේද....


මම මේ පොත කියවපු වාර ගනන නම් මෙතෙකැයි කියන්න බැහැ..ඒ වගෙම මගේ යහලු යෙහෙලියන් බොහොම දෙනෙක් මෙය කියෙව්වා...මගෙ අදහස අහලා...ඔවුන්ගෙන් පවා ලැබුණේ ඉතාම සුන්දර ප්‍රතිචාර

මේ තමයි ඒ පොතේ මුල් කෘතියේ පිට කවරේ..මට ඉංග්‍රිසි පොත කියවන්න ලැබුණෙ නෑ...



සිංහලට හරවපු එක මට විටෙක හිතෙනවා පරිවර්තනයක් නොවෙයි අනුවාදයක් කියලා..මොකද උපාලි උබයසේකර මහත්මයා ඒක අපේ ලමයින්ගේ මනසට ගැලපෙන්න හරි අපූරුවට ලියලා තියෙන නිසා

මේ පොත කියවද්දි මට හිතෙන එක දෙයක් තමයි දැන් මේ ඔලු කුරුවල් වෙන වැඩිහිටි අවධියට වගේ නෙවේ ඒ කාලෙ අපි හැම පුංචි කරුනක් ඔස්සේම පරතෙරටම ගිහින් හෙව්වා බැලුවා නෙද කියන එක

සමහර තැන් වලදි හිනා යන්න ගත්තාම නවත්වන්න බරි තරම්ම කතුතුමා අපිව කතාව තුළ රඳවන් ඉන්නවා...ඉංග්‍රිසි පොතෙන් ඒ හැඟීම ගන්න හැකිවෙන එකක් නැහැ..බොහෝ විට...මොකද මේකෙ කටවහර හරිම සුන්දරව ගලපලා ලියලා තියන නිසාවෙන්

මේකෙ තියන රසවත් තැන් ටිකක් මම උපුටලා ලියන්නම්කො...
මුල්ම පිටුවල එන සිද්දියක් තමා ...චක්‍රවාටය ගැන..

මේ කතාවේ සංවාදයට එන්නෙ උපාලි කියන පිරිමි ලමයෙක්..(සමහර විට ඒ අපේ කතුතුමාම ලමා කාලෙදි වෙන්න ඇති...) සහ මොකෝ කියන පිටසක්වලින් ආව අමුතු ලමයා

මේකෙදි කියනවා... "කියමුකෝ...අවුරුදු සිය ගණනක් ගිහිල්ලා සමහර විට දුවට....( ආ..මට අමතක වුනානෙ...මේ කතාව කියන්නේ මාමා කෙනෙක් එයාගෙ දුවෙක්ට කියන විදියටයි...)...තවත් පණ තියන සතුන් ජීවීන් ඉන්න ග්‍රහ ලෝකෙකට යන්න පුලුවන් වුණා කියලා

එහෙම ජීවීන් හිටියත් කිකිලියෙක් නම් එහෙ ඉඳීවි කියලා හිතන්න බොහොම අමාරුයි...බිත්තරයක් නම් හම්බ වෙන්න ඉඩ තියනවා..ඒත් ඒ බිත්තරෙන් කුකුලු පැටියෙක් නම් එලියට එයි කියලා හිතන්නවත් බෑ...මේ මුලු සක්වලේම කිකිලියෙක් ඉන්න එකම තැන මේ අපේ ලෝකේ..අපේ මහ පොලවේ විතරයි


මෙන්න මේ ටික කියවද්දි අපි අර මුල් පිදුම කොටසේ ඉන්න වැඩිහිටියන් නොවී දැනුමෙන් හා ගෞරවයෙන් ඔලුව උදුම්මා ගත්තු වැඩිහිටියන් වෙලා නම් ඉන්නෙ අපි අනේ මේ මොන විකාරයක්ද කියලා මේ පොත අහක දාවි...

මට නම් මේ පොත කියවන්න හිතුනේ ..මේ පොත දිගේ මම මගේ ලමා කාලයට ..මගේ මල්ලිලාගේ ලමා කාලයට වගේම මගේ දරුවන්ගේ ලමා කාලයට සිතින් සිය දහස් වරක් ගමන් කල නිසා....කාලයකට පස්සේ පොත් කියවන්න ඇබ්බැහි වුණ අපේ ලොකුම ලොකු ලමයෙකුත් දවසක් ඔන්න ඕක කියවනවා මං දැක්කා...ඒ අපේ තාත්තා..එයා ඕක කියවද්දි මූනෙ ඇඳුන හිනාව දැක්කම නම් මට හිතුණෙ එයාත් චක්‍රාවාට ගානක් එහා ලෝකෙකට ගිහින් වගේ

පොඩි කාලෙ මට ත් තිබ්බ ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි මේ ලෝකෙ ගෝලාකාර නම් ..ඒක නැවතිල්ලක් නැතුව කැරකෙනවා නම්..ඔය කැරකෙන වෙලාවක ඔලුව පහලටත් හිටින යාමෙක..මගේ කකුල පැටලිලා වැටුනොත් එහෙම මම කොහේ ගිහින් නවතීද දන්නෑ කියන එක...එතකොට මේ ගුරුත්වාකර්ශණය කියන ලොකු වචනේ තේරුම මාත් දැනගෙන උන්නෙ නෑ...මේ පොතේ ඒ සංකල්පය කියාදෙන්නෙ හරිම සරලව...උඩ යට මාරුවීම කොයි තරම් සරල සිද්ධාන්තයක්වුනත්..ඒක පොඩි දරුවෙක්ට කියාදෙන්න හරිම අපහසුයි...



ස්නායු ගැන...ශරීරයේ ක්‍රියාකාරිත්වය ගැන..පරිණාමය ගැන..දෙවියන් ගැන..ඔන්න ඔය වගේ පුංචි කාලේ අපි කෙලවරක් නැතුව ඔලුවේ ප්‍රශ්න මවන් උන්න දේවල් ගැන උපාලියි මොකෝයි දෙන්නා ගෙ අරුම සංවාදයක් යනවා...මම මේ පොත කියවද්දි...මනසින් ඒ දෙන්නගේ සංවාදයට එක් වෙනවද කියලා හිතුන වාර අනන්තයි

මේකේ අන්තිම හරියට මං හරිම ආසයි..ඔන්න ඒ හරියෙන් කෙටි සටහනක් තියලාම පෝස්ට් එක නිමා කරන්නයි මම හිතුවෙ

 මට දැන් හිතෙනවා..අපේ හුඟක් වැදගත් හමුවීම් සිද්ද වෙන්නේ නිදාගෙන ඉන්නකොට කියලා...අපිට සිද්ද වෙන සමහර බොහොම ටිකක් දේවල් විතරක් ජීවිතේට වෙන්න බැරි තරම් පුදුම දේවල් කියලා අපිට හිතෙනවා'..

මට හිතෙනවා ...අපි හැමදාම රෑට නිදාගත්තම අපි ගත කරපු ජීවිතෙන් චුට්ටක් අපිට මතක වෙලා යනවා කියලා...හැබැයි ඒ වෙලාවෙම අපේ හිත බොහොම තදට වැඩ කරන්නට පටන් ගන්නවා


මම හිතන්නේ...අපි නිදාගත්තම අපිට අමතක වෙලා ගිහින් හැදෙන හිස් තැන පුරවන්න අපි හීන දකිනවා ඇති..
උදේට ඇහැරුණාම අපේ හීනේ නිකම්ම දියවෙලා යනවා...හරියට හිරු රැස් වලට පිණි දිය වෙනවා වගේ

අපි මොන තරම් දේවල් ඇහැ ඇරගෙන දකිනවද....මන් හිතන්නේ ඒ දකින දේවල් හුඟක් වැඩි නිසාහීන වලට ඉඩක් නැතුව යනවා ඇති අපේ ඔලුව ඇතුලේ...

හීනයක් මතක තියාගන්න එක හරියට නීල කොබෙයියෙක් නැත්නම් පුන්චි දඟකාර බට්ටිච්චෙක් අල්ලලා අල්ල උඩ තියාගෙන ඉන්නවා වගේ වැඩක්....හැබැයි ඒ වාගේ ලස්සන කුරුල්ලෙක් එයාටම හිතිලා පියාඹගෙන ඇවිත් ...දුවගේ උරිස්සේ වැහුවොත්......?

මොකෝ කියන්නේ....?....ම්ම්ම්ම්ම්ම්


මම හිතන්නේ මොකෝ ගැන මම ආයෙමත් තවත් ලියන්න ඕන නෑ...ඔබම හිතන්න...ඔබ ගැන....මම මතක් කර දෙන්න ආවේ අන්න ඒකයි,......ඔබ මොන විදියේ වැඩිහිටියෙක්ද...?

Saturday, December 31, 2016

22. අරණකට සම වදිමින්






සමහරක් පොත් කියවන්නට ගියාම ජීවිතේ බොහෝ සුන්දර ඉසව් මතක් වෙනවා....සිහිනයෙන් වගෙ හිත ගාව දැවටෙන සමහරක් මතක ......අපූර්ව පරිසරයන්..එක්ක ජීවත් වෙනවා වගේ දැනෙනවා......

කාලයක් තිස්සේ අත හැරිලා ගියපු පොත් කියවීම ට ආයෙ ඇබ්බැහි උනාම මටත් උන් හිටි තැන් අමතක වෙනවා වගේ....උදේට හවසට බසයෙ හෝ දුම්‍ රියේ අසුනකට බර වෙලා ලෝකයම අමතක කරලා කියවන්නට මම ආපහු පටන් ගත්තා.....

සමාරම්භය ලෙස අතට ගත්තේ  චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය වංග බසින් සිංහලට පරිවර්තනය කරපු විභූතිභූෂණ බන්ද්‍යෝපාධ්‍යාය විසින් ලියන ලද ආරණ්‍යක් නවකතාවෙ " අරණකට පෙම් බැඳ " කෘතියෙන්.....

පුස්තකාලයෙන් මින් පෙර කියවා තිබුණ මෙම පොතට මම ආයෙත් ඇලුම් කල නිසා එය පසු ගිය දවසක මිළ දී ගත්තා....සමහරක් පොත් වලට අපි ලෝබයි....සතු කරගන්න ආසයි....

උදෑසන කලබල කොළඹට බසය..දුම්‍ රිය හැල්මෙ ඇදෙද්දි ...මම මනසින් ඒ සුන්දර
වන අරණට ගොඩ වදිනවා...මනසින් ධ්‍යානගත වෙන්න අපහසු කඨෝර බස් සංගීත මැද්දෙ ලොබ්ටූලියාවේ පිපෙන මල් හිතෙන් මවා ගන්නට මම උත්සාහ කරනවා......

*******************************************************************************


සොබා දහම් රැජිනිය තමා කෙරෙහි භක්තිමත් වූවන්ට දෙන්නේ අමිල ධනයකි.කාලයක් තිස්සේ නොකඩවා ඇයට සේවය කලොත් මිසක කිසිවෙකුට එම ධනය නොලැබේ.සොබා දහම් රැජිනිය ඊර්ෂ්‍යා සහගත බවක්ද පලකරයි....ස්වභාවික පරිසරයට ඇලුම් කරන තැනැත්තා ඒ සමගම විසිය යුතුය....ඒ අතර වෙනත් අතකට හිත යොමු කලොත් අමනාපයට පත් වන ඇය තමාගේ මුහුණ ඔහුට නොපෙනෙන්නට සලු පොටකින් සඟවා ගනියි.
එසේ වුවත් යමෙකු සියල්ල අමතක කොට ස්වභාව සෞන්දර්‍යයේම ඇලී ගැලී සිටී නම් ඇය ඒ තැනැත්තාට ආනන්දයේද , සෞන්දර්‍යයේද , ශාන්තියේද , වරප්‍රසාද නොමඳව ලබා දෙයි.කෙනෙකු උමතු කරවන තරම් වූ සුන්දරත්වයක් පෙන්වා දිවා රෑ දෙකේ විවිධාකාරයෙන් ඔහුව වශී කරවයි.ඔහු තුළ නව දෘශ්ටියක් අවදි කරවයි.මනසේ ආයුෂ වැඩි කරවයි.සුර ලොවක සීමාවන් කරා ඔහුව කැඳවාගෙන යය

********************************************************************************
මේ මා මහත් අභිරුචියකින් කියවූ ...නැවත නැවත කියවූ...එක් පරිච්ඡේදයකි....
ජීවිතේ ඇතැම් කාලවල ඉඳහිටක ඇවිද ගිය නිස්කලංක බිම් කඩවල් මේ සටහන් සමග හිතේ යළි උත්පාද වේ....එහෙත්....මේ තරම් නිහඬ නිසල පරිසරයක තනිව හිඳින්නට පිනැත්තෝ අල්පය....
එහි තවත් එක් පරිච්ඡේදයක මෙලෙස කියවේ....

********************************************************************************
කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පත් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය.ස්වභාව ධර්මයේ මෝහනීය වූ මායාකාරී බව මිනිසා නිවසින් ඉවත් කිරීමට සමත්වේ.එය ඔහු උදාසීන , හුදෙකලා., විරාගී ,ඉබාගාතේ යන කෙනෙකු  බවට පත් කරයි.....හැරී ජොන්ස්ටන්,මාර්කෝ පෝලෝ ,හඩ්සන් ,ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි....සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි...

******************************************************************************
මේ පරිච්ඡේද තුළ ජීවිතයේ සියලුම කියවීම් ඇතැයි...මට සිතෙයි....
මේ එවන් වූ උන්මාදනීය කියවීමකි....