පුංචි සතුටු කතාවක්...❤️
තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.
මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.
මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.
ඉතින්...මං ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්.
නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන ලියනවා.
ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක් වෙලාවට.
ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි.
No hurry, Take your time...
නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.
hello ... how are you? how was your week end? how's your day?
විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...
ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.
ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....
ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත වැනීමක් කළා.
ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.
මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...
hello how are you today?
මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.
ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.
thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...
හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...
නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.
මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට බියක් නොසන්සුන් කමක්...තිබුනේ.
භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.
help me...
ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.
අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...
I will never forget you my lifetime...
සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.
නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.
සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...
මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....
මම
විසිරි සිහින