Wednesday, August 30, 2017

71. ප්‍රමෝෂන් ලමිස්සී.....




නිතින් හිස කේ අගට නෙත් බැලුම් හෙලන්නී
ඩ්‍රයි වෙලා ඩැමේජුත් කියා ඇස් පාන්නී
ශැම්පු කන්ඩිශනර්ද අත දරා සිටින්නී
ඇයයි කොස්මැටික් ලොව පෙළහරම පාන්නී..

එහෙ මෙහෙට යන ලියන් පසු පසින් දුවන්නී
අත රැඳෙන ගැල්වුමක හොඳම නිති කියන්නී
ලැබෙන සුලු ලාබයක ඇස දවටවන්නී
ඇයයි සුපිරිම හලේ ප්‍රොමෝෂන් කරන්නී....

නෙත් අඳුන් දියව යන විටෙක ගෙන ගාන්නී
අමුතු හැඩ රටාවට දෙතොල් හැඩ කරන්නී
විමසුමෙන් නිති බලා තව ලඳක් දකින්නී
යළිත් පැස අත දරා පසු පසින් දුවන්නී....

~~~ විසිරි ~~~

Thursday, August 24, 2017

70.කතා පෙට්ටි




මං බස් එකේ ගෙදර යන ගමන්..මගෙ පොඩ්ඩා..මගෙ කතා පෙට්ටිය මගෙ පසෙකින්වාඩිවෙලා...

අපි දෙන්නාට පිටුපස සීට් එකේ අම්මෙක් එක්ක පැටව් දෙන්නෙක්..
ලොක්කාට අවුරුදු හතරක් පොඩ්ඩාට දෙකක් වගෙ ඇති...
තොර තෝංචියක් නැති කුරුලු හඬින් කොල්ලො දෙන්නා අම්මගෙන් එක එක ඒවා අහනවා....එක්කෙනෙක් ඉවර වෙනකොට අනික වෙනම ප්‍රශ්නයක්...අම්මා හෙම්බත් වෙලා වගේ...ටිකක් වෙලා යද්දි අම්මාගෙ නොරිස්සුම් උත්තර තමා ඇහෙන්න ගත්තෙ....

" මං දන්නෑ ලමයො"
" අනේ කට වහන් ඉන්නකො පුතේ"
" තව කියෙව්වොත් මේකෙන් බැහැල පයින් එක්ක යනවා"....
ඔන්න ඔහොම වචන...

අම්මලා දරුවන් එක්ක ගමන් යද්දි හෙම්බත් වෙනවා තමයි...මට මගෙ පොඩ්ඩො දෙන්නගෙ අතිතය මතක් උනා...
ළමා කාලය මහ විමසුම් ඇස් තියන හුඟාක් දේ වෙනස්ව හිතන කාලයක්..

දකින හැමදේකම ප්‍රශ්න කරන්න අලුත් සිතුවිලි දරුවන් ගාව තියෙනවා ..
මොන තරම් හෙම්බත් උනත්......ඔබෙන් කිසිවිටක අයහපත් නොරිස්සුම් සහගත ප්‍රතිචාර දරුවන්ට එන්න දෙන්න එපා....

එයින් ඔවුන් තමන් තුළට නැවෙන නිහඬ චරිත වෙනවා...
ඉඩ දෙන්න ලෝකය ගවේශනය කරන්න
ඉඩ දෙන්න ඒ ගැන විමසන්න
ඉඩ දෙන්න ...ඔබට යමක් උගන්වන්න...ඔව්..ඔවුන් පුංචි ගුරුවරු අපේ....

කතා පෙට්ටි වහන්න එපා......ඒ හැම කුරුලු හඬකම ලෝකයේ ලස්සනම දේ තියෙනවා....


~~~ විසිරි ~~~

Tuesday, August 22, 2017

69 . මල් මතක




උදේම මිදුලට පැන මල් කීපයක ෆොටෝ ගන්නට සහ ඒවා කොමෙන්ට් ලෙස දමන්නට ගිය එකෙන් මතක රැසක් ඇවිස්සුනි...

ඉස්සරම අපේ ගෙදර හවසට පිපෙන හෙන්දිරික්කා මල් මහ යායක් තිබුණි..කහ පාට, සුදු පාට සහ තද රෝස පාට හෙන්දිරික්කා හවසට පිපෙන කොට සුලඟත් එක්ක හීන් සුවඳක් මට දැනේ..

.අපේ ආත්තම්මාගේ අණ ලැබෙන්නට පෙර මල් වට්ටිය පිරෙන්න හෙන්දිරික්කා නෙලන්නට මම එළියට බහිමි.වට්ටියක් පිරෙන්න මල් නෙලුවාට ඒවා ඔහේ වට්ටියේ දාගෙන බුදුපුදට යන්නට බැරිය...නැටි යටට සිටින සේ ඒවා ලස්සනට ඇසිරිය යුතුය....

කහ පාට වටේටත් ....මැදට තැනින් තැන අනෙක් පාටත් තබා එක එක මෝස්තරේට මල් වට්ටිය සැදුවාට ......බුදුහාමුදුරුවන් මා දෙස බැලුවේ එකම කරුණාබර ඇසකිනි......

හෙන්දිරික්කා මල් මතකයේ අපූරුම දෙයක් නම්.....ගස මැරෙන්නට පෙර අල ගලවා අපි කල පරික්ශණයන් ය .....පාට දෙකක අල ගලවා මැදින් බාග කපා තුනී රෙදි පොටකින් ගැටගසා එකට තද කර වැලලූ පසු නැවත එන ගසේ පාට දෙකකින් මල් පිපුණි.සමහර මල් වල පාට දෙකම විය......


මේ පින්තුර නම් අන්තර්ජාලයෙනි ....

මල් ප්‍රෙස් කරන කලාවට ඉතා අසීරු වෙන් එන හෙන්දිරික්කා මල් ......සියුම් වැඩිය.මම දැන් ආයෙත් හෙන්දිරික්කා වවමි...තාම ලඟ ඇත්තේ තද රෝස පාට පමණි...අනෙක් පාටත් සොයා ගත යුතුය.......

සමහරක් මල් පාඩුවේ පිපෙයි....තනිව පිපෙනවාට වඩා ගහක් පිරෙන්න පිපෙනවිට පුදුම ලස්සනය...
හෙන්දිරික්කා .....ඒ වගේමය...


~~ විසිරි ~~

Saturday, August 19, 2017

68. හීන ඉසව්වක්




ඔබ එක්ක තනිවෙන්න මේ වගේ ඉසව්වක 
හීන කප්පරක් දුටු හිතක් තිබුණා මටත්
එකින් එක පැතු හීන ඉදිරිලා වැටෙන කොට 
අලුත් හීනයක් ඇස් මායිමට යළි ඇවිත් ....

තාම ආසයි ඉතින් මේ වගේ ඉසව්වක 
කාත් කවුරුත් නැතුව තනි වෙන්න මට ඉතින් 
හුදෙකලාවට ඉතින් ළඟ ඉන්න අරන් යමි
කටු අකුරු ගලපන්න පන්හිඳක් කොළ ගොඩක් ......



~~~~~ විසිරි ~~~~

Saturday, August 5, 2017

67. හදවතේ ගීතය

හදවතේ ගීතය...





එකමත් එක කාලයක බොහොම වටිනා මිනිසෙක් උන්නා...ඔහු ඔහුගේ සිහින වල ජීවත් වූ ගැහැණිය සමග විවාහ වූවා..ඔවුන්ගේ ආදරය එක්ක...ඔවුන් පුංචි දැරියක් නිර්මාණය කලා...ඇත්තෙන්ම ඇය හරිම දීප්තිමත් සුන්දර කුඩා දැරියක්...අර මිනිසා ඇයට බොහෝ ආදරය කලා.....
දැරිය කුඩා කලදී.....ඔහු ඇය ඔසවා ගෙන ..සියුම් සංගීත ස්වරයක් මුමුණමින් ..ඇය සමග කාමරය පුරා නටන්න පුරුදුවී උන්නා....ඔහු හැමවිටම...." මං ඔයාට ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ..." කියන්න හුරු වෙලා උන්නා.....

දැරිය ක්‍රමයෙන් වැඩෙද්දි..මිනිසා ඇය වැලඳගෙන ඇයට මෙහෙම කිව්වා.." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." .දැරිය ඔහුට තොල් නොපිට පෙරලා මෙහෙම කිව්වා..." මම තව දුරටත් පුංචි කෙල්ලෙක් නෙවෙයි..."
මිනිසා මහ හඬින් සිනාසෙමින් " ඒ වුනාට මට...හැමදාම ඔයා මගෙ පුංචි කෙල්ල..." කීවා....

කුඩා දැරිය තව දුරටත් පුංචි කෙල්ලක් වුණේ නෑ...ඇය නිවසින් බැහැරව ලෝකයට ගියා...ඇය තමා ගැන වඩ වඩා ඉගන ගන්නා අතර මිනිසා ගැනත් වඩා ඉගන ගත්තා....ඇය වටහා ගත්තා...ඒ මිනිසා ඇත්තෙන්ම බොහෝ ශක්තිමත් ..උසස් අයෙක් බව....එමෙන්ම ඔහුගේ හැකියාවන් හා ශක්තීන් ඇය හඳුනාගත්තා.....ඔහු සතුවූ එක් වටිනා ශක්තියක් වූයේ පවුලට ඔහුගේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි.....දැරිය නිවසින් ලෝකයට ගියත්....මිනිසා ඇයට දුරකතනයෙන් කතා කර..." මං ඔයාට ආදරෙයි...මගෙ පුංචි කෙල්ලේ..." කියන්නට හුරුවෙලා උන්නා....

එක් දිනක් උදාවුනා....දැරියට තව දුරටත් දුරකතන ඇමතුම් නොඑන දිනක්.....
මිනිසා අනතුරකට පාත්‍ර වී තිබුණා..ඔහුට ආඝාතය ක් වැලඳී තිබූ අතර තව දුරටත් කතා කිරීමේ හැකියාව ඔහු සතුවුණේ නෑ...

වෛද්‍යවරුන් ඇයට පැවසූ පරිදි ඔහුට කියන දේ පවා නොවැටහෙන තත්වයක් උදා වී තිබුණා...තව දුරටත් ඔහුට ඇවිදින්නට..හිනාවෙන්නට ..නටන්නට..වැලඳගන්නට...ඒ කිසිවක් හැකි වුණේ නෑ....එපමණක් තියා තව දුරටත් " මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ...." කීමට ඔහුට නොහැකි උනා....

දැරිය ඔහු බලන්නට රෝහලට ගියා..තව දුරටත් ඔහු ඒ ශක්තිමත් මිනිසා නොවේ...ඇයට ඔහු පෙනුනේ ඉතා කුඩාවට..දුබලවට...ඔහු ඇය දුටු මනතින් ඇයට කතා කරන්නට තැත් කලද ...එය අසාර්ථක උනා...

දැරිය ඇයට කල හැකි වූ දේ කලා..ඇය සෙමින් ඇඳට නැග මිනිසා පසෙකින් වැතිරුණා...ඔවුන් දෙදෙනාගේම ඇස් වලින් කඳුලු ගලා ගියා...දැරිය ඇයගේ දෑත් මිනිසාගේ කඩාහැලුණ උරහිස් වටා යවා ඇයගේ හිස ඔහුගේ පපුව මත තැබුවා.....

ඇයට සිහි උනා...ඔවුන් ගත කල ඒ සුන්දර කාලය...ඇය කෙතරම් ඔහු තුළ ආරක්ෂාකාරී වූවාද යන බව ..ඒ ආදරය...

ඇයට ඇසෙන්නට ගත්තා මිනිසාගේ හදවත ගැහෙන හඬ .....මොළයට සිදුවූ හානිය ගැන කිසිත් ගණනකට නොගත් ඒ උතුම් හදවත පෙරසේම මාධූර්‍යයෙන් ගැහෙමින් තිබුනා...
ඒ හඬට සවන් දෙමින් ඉන්නා දැරිය විශ්මයට පත් කරමින් හදවත මුමුණන්නට වුනේ...

මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ...
මං ආදරෙයි ..මගෙ පුංචි කෙල්ලේ ...
මං ආදරෙයි..මගෙ පුංචි කෙල්ලේ....

මිනිසා ට මුවින් පවසන්නට බැරිවුණ දේ හදවත තාල නගමින් තිබුණා.....ඇය පෙර සේම ඒ ආදරයෙන්.....සැනසුණා.....


~~~ විසිරි ~~~

පරිවර්තනය chicken soup for the soul වෙතිනි