Saturday, May 27, 2017

59. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 3


දිරිමත් බවේ  රහස 




" හොඳයි ඔබ සිතනවා ...මම ධෛර්යවන්තයි  කියල....." ඇය ඇසුවා ....

" ඔව්..මම එහෙම හිතනවා..."

" සමහරවිට ....ඔව්, එහෙම වෙන්න ඇති....මට හිටියා ජිවිතයට ආලෝකයක් දෙන මගේ ජීවිතයට මග පෙන්වන ගුරුවරුන්..මම ඔබට ඉන් එක්කෙනෙක් ගැන කියන්නම්...
බොහොම කාලයකට පෙර මම ස්වෙච්ඡා සේවකයකු ලෙස  ස්ටන්ෆොර්ඩ් රෝහලේ සේවය කළා ...මට එහිදී හමු වුනා ...ලීසා කියල පුංචි ගැහැණු ළමයෙක්...ඇය ඉතා දුර්ලභ ඒ වගේම බරපතල රෝගයකින් පෙළෙමින් උන්නේ ..ඇයට ජිවත් වෙන්නට තිබුණ එකම අවස්තාව වුනේ....අයගෙම පස් අවුරුදු වියැති සහෝදරයා ගෙන්  රුධිර පාරවිලයනයක් කිරීම.....

ප්‍රාතිහාර්ය යකින් වගේ මෙම රෝගයෙන්ම ඇයගේ  සොහොයුරා සුවවී තිබුණා ..එම නිසා රෝගයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ ඔහුගේ රුධිරයේ තිබීමයි මෙම පාරවිලයනයට හේතුව .....

වෛද්‍යවරයා විසින් ලිසා ගේ කුඩා සොහොයුරාට මේ තත්වය පැහැදිලි කර දී ඔහුගෙන් ලීසා ට රුධිරය ලබා දීමට හැකි දැයි විමසුවා.....

මම දුටුවා ඔහු පිළිතුරක් දීමට මඳක් පැකිලෙන අයුරු....නමුත් ඉන් පසු ගැඹුරු හුස්මක් ගත ඔහු ප්‍රකාශ කළා මෙන්න මෙහෙම ...." ඔව් මම එයට කැමතියි....මට එයින් ලීසා ගේ ජීවිතය ගලවාගත හැකි නම්  ...."

" රුධිර පාරවිලයනය සිදුවෙන අතර තුර ....කුඩා පිරිමි ළමයා සිනා මුසුව ලීසා ට යාබද සයනයේ ..සිට  ලීසා දෙස බලා උන්නා....ලීසා ගේ කම්මුල් වල පැහැය යතා තත්වයට පැමිණෙන අයුරු අප සියල්ලන්ම දුටුවා....ඒ සමගම පිරිමි ලමයාගේ මුහුණ සුදුමැලි වෙමින් පැවතුනා ..ඔහු ගේ සිනහව අඩුවෙන්න පටන් ගත්තා....ඔහු වෙවුලන කටහඬින් වෛද්‍ය වරයාගෙන් මෙලෙස ඇසුවා ...."

" හ්ම්ම්...දැන් එහෙනම් මට මියයන්න සිදුවෙනවා නේද....? "

දරුවා කුඩා වියෙහි වු නිසා ඔහු වෛද්‍යවරයා ගේ ප්‍රකාශය තේරුම් අරන් තිබුනේ ..වැරදි ආකාරයට ....ඔහු සිතාගෙන උන්නේ ලීසා ට රුධිරය පාරවිලයනයෙදී..ඔහුගේ සියලුම රුධිරය ඇයට දියයුතු බව හා එය  කළ පසු ඔහු මිය යන බවයි....."


" ඔව් ඉතින් මම ධෛර්යවන්තයි......මට එවැනි මගහෙලි කළ ගුරුවරුන් ජීවිතයේදී හමුවුන නිසා....." ඇය යළිත් සිනාසී පැවසුවා ....


පරිවර්තනය .....chicken soup for the soul

Tuesday, May 23, 2017

58. ජිවිතය සහ ආදරය ගැන පුංචි කතා 2

එක වරකට එක්කෙනයි....




දිනක් එක් පුද්ගලයෙක් . ..වියලි ගිය මැක්සිකානු මුහුදු වෙරල තිරයේ ඇවිද යමින් උන්නා.....ඔහු ඇවිද යන අතරමග දුටුවා ...ඔහුට තරමක් ඈතින් තවත් මිනිසෙක් සිටිනවා.ක්‍රම ක්‍රමයෙන් මෙම පුද්ගලයාට ලං වෙද්දී ඔහු දුටුවා එම මිනිසා ස්වදේශිකයකු බව...ඔහු බිමට නැඹුරු වෙමින් යම් දේවල් අසුලමින් නැවත ඒවා දියට විසි කරමින් උන්නා.....කාලයත් එක්කම ඔහු මේ දේ නොකඩවා කරමිනුයි උන්නේ...

මුලින් කි තැනැත්තා මේ පුද්ගලයා ට ලං වෙත්ම ඔහු දුටුවේ ස්වදේශිකයා තාරකා මාළුවන් (star fish ) අසුලමින් මුහුදට විසි කරන බවයි...මේ තාරකා මාළුවන් මුහුදු දිය සමග වෙරළට ගසා ගෙන ආ සතුන් ....ඔහු ඔවුන්ව නැවත විසි කරමින් උන්නා....

පළමු තැනැත්තා ස්වදෙශිකයාට ලංවී මෙලෙස ඇසුවා..." යාලුවා..ඔබ මේ කරන්නේ කුමක්ද කියන එක මට හිතාගන්න අමාරුයි..."

" මම මේ තාරකා මාලුවන්ව නැවත මුහුදට විසි කරනවා...ඔබට පේනවා ඇති දැන් පවතින්නේ බාදිය අවස්ථාව....මේ තාරකා මාළුන් හට නැවත මුහුදට දැන් යන්නට බැහැ ...ඔවුන් වෙරළේ රැඳිලා....මම ඔවුන්ව මෙසේ මුහුදට විසි නොකලොත් ඔවුන් ඔක්සිජන් හිඟ කමින් මෙතන මිය යන්නට පුළුවන්..."

" ඔව්..මට තේරෙනවා...." මුල් පුද්ගලයා පැවසුවා...

" නමුත් මේ වගේ තාරකා මාළුවන් දහස් ගණනක් මේ වෙරල තීරයේ ඇති....ඔබට ඔවුන් සියල්ලම මෙලෙස විසි කරන්න බැහැ නැවතත්....මේක එක අතකට සරලයි...ඔබට හිතාගන්නවත් බැහැ නේද..මේ සාගර වෙරල තිරයේ දහස් ගණනක් තවත් වෙරළවල් ඇති...ඒවායේ තව කොපමණ ඇත්ද.....
ඔබට හිතන්නට බැරිද....ඔබට මෙම තත්වයෙහි වෙනස සිදු කරන්නට බැරි බව....."

ස්වදෙශිකයා මන්ද සිනහවක් පෑවා....නැවත බිමට නැඹුරු වී තාරකා මාලුවෙක් අතට ගෙන සයුරට විසි කරන ගමන් මෙලෙස කීවා....

" මම අන්න අර තාරකා මාළුවාට වෙනසක් ඇති කළා....."


~~~~  විසිරි ~~~

පරිවර්තනය...chicken soup for the soul

Sunday, May 21, 2017

57. ජීවිතය සහ ආදරය ගැන පුංචි කතා 1




chicken soup for the soul නමැති පොත සහ එහි සිංහල පරිවර්තනය කියවලා ඇති ඔබ .....පසු ගිය දිනෙක කියවූ එම පොතෙහි ඇති කුඩා කතාන්දර ටික හෙමි හෙමින් පරිවර්තනය කරලා ලියන්නට හිතුනා..ඉතින් මේ එහි මුල් කතාව 
මේ කතා ඉතා කෙටියි...නමුත් කියවන්නට හා හිතට ගන්නට ඇති දේ බොහෝයි...

ආදරය ...නිර්මාණාත්මක බවේ ශක්තියයි...

වතාවක් මහාචාර්යවරයෙක් සමාජ විද්‍යාව උගන්නා තම සිසුන් බැල්ටිමෝරයේ පැල්පත් වල වසන තරුණ පිරිමි ළමුන් 200කගෙ දත්ත හා තොරතුරු සමීක්ෂණයකට යැව්වා...මෙම සිසුන්ට පැවරුන කාර්යය වුනේ ..මෙම සෑම පිරිමි ළමයෙක්ගේම අනාගතය සම්බන්ධ ඇගයීමක් කිරීමයි....

මෙම සියලුම වාර්තාවල සිසුන් සඳහන් කර තිබුනේ...." ඔහුට අවස්තාවක් නැත " යන්නයි....

මේ සිදුවීමෙන් වසර විසිපහකට පමණ පසු තවත් සමාජ විද්‍යාව උගන්වන මහාචාර්යවරයෙක්ට අහම්බෙන් මේ සමීක්ෂණ තොරතුරු ඇස ගැටුනා...ඔහුත් ඔහුගේ සිසුන්ව මේ සමීක්ෂණයෙ පසු විපරම සඳහා යැව්වා ..පෙර කි තරුණයන්ට සිදු වා ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට 

එම 200 දෙනාගෙන් 20 ක් පමණ මිය ගොස් හෝ වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී තිබුණ අතර ඉතිරි 180න් 176ක්ම  නීතිවේදීන්..වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් ලෙස ඔවුන්ගේ පරණ ජන මට්ටමෙන් ඉහලට ගොස් තිබුණා 

මේ ප්‍රතිපලයෙන් විශ්මයට පත් වු මහාචාර්යවරයා වැඩි දුරටත් මේ ගැන සොයා බැලුවා ...වාසනාවකට මෙන් පෙර කි 176 දෙනාම ඒ අවට ප්‍රදේශයේ විසූ නිසා එක්එක් පුද්ගලයා සමග වෙන වෙනම කතා කළ හැකි වුනා 

" ඔබේ සාර්ථකත්වයේ රහස කුමක්ද ..? " ලෙසින් ඇසූ හැම පැනයටම ලද පිළිතුර ...
"එක ගුරුවරියක් " යන්නයි......

වාසනාවකට මෙන් ඇය ජිවතුන් අතර උන්නා...මහාචාර්යවරයා ඇයගෙන් මේ මායාකාරී බලය..පැල්පත් සිසුන් සාර්ථක කළ රහස විමසුවා....

ඇයගේ ඇස් දිදුලන්නටත් ..දෙතොල සිනාවෙන් හැඩවෙන්නටත් පටන් ගත්තා.....

" ඒක ඉතාම සරල දෙයක්.." 
ඇය මිමිණුවා....
" මම ඔවුන්ට ආදරය කළා..."

( පරිවර්තනයකි ....chicken soup for the soul)


Wednesday, May 17, 2017

56. කපුටු අම්මාගේ වලප


එල්පින්ස්ටන් හන්දියේ කහ ඇහැළ ගස මත කූඩු හැදුවා 
කළා කෙත ළඟ උපත ලැබුවට මගේ පැටවට ගීත බැරුවා 
අයාලේ යන කෙවිලියක් විත් හොරෙන් බිජුවට දමා තිබුණා
මගේ පැටවුන් වගේමයි උන් නොදැන පෙම් සිත් වඩා හැදුවා...... 

මවක් නැතිවුණ පියෙක් නැතිවුණ කොවුල් පැටවුන් යසට හැදුණා
ඇහෙන නාටක ගීත අහලම උනුත් තාලෙට තාල තැබුවා 
කතන්දර වල කොතෙක් කිව්වට කිසිත් ගැහැටක් අනේ නැතුවා 
මගේ උන් ලෙස අනේ සෙනෙහෙන් උනුත් මම ආදරෙන් වැඩුවා.....

ඉකුත් දවසක අලුත් නාටක ගීත හඬකුත් එහෙන් ඇහුනා 
අලුත් තටු ඇති මගේ කෙවිලිය ..දුවේ  නුඹ ඒ දෙසට ඇදුනා 
එහා ඉම සිට ඇදුන එළියක් ඇහැට ගිනිකණ එවා තිබුණා
තුඩග ගොළුවුන ගීතයක් ගෙන මගේ දූ මග මැරී වැටුණා......


2017/05/ 18 

Saturday, May 13, 2017

55. පොත්ගුල්ලියකගේ මතක 1




ඉස්සරම දවසක මම මුහුණු පොතට ලිව්වා පොඩි සටහන් පෙළක්...පොත් ගුල්ලියකගෙ මතක කියලා....එක තව ආලවට්ටම් ටිකක් එහෙම දාල බ්ලොගේට ලියන්න හිතුනා ඉතින් ...ඒ කලින් ලිව්වට වඩා තව මතක තියධ කියල අවුස්සන්න ත් ඕන...නමුත් ළමා කාලේ කියන්නේ කොච්චර මතක ගොඩක් තියන සුන්දරම කාලයක්ද නේද.....

කියවීම....
ඒක නිකම්ම නිකම් කියවීමක් නම් නොවෙයි....
මේ අවදිවන්නේ පොත් කියවීමක් ගැන මතක....


ඉස්සරම පොඩිම කාලේ ම පටන් පොත් කියවන්න මගේ තිබුනේ නොනවතින පිපාසයක්...
ඒක කොහොම ඇති වුනාද කියලා කියන්න මම දන්නේ නැහැ 

නමුත් සම්පත් ඉතා සීමිත වු ඒ වගේ කාලයක වුණත්  අතට අහුවෙන පත්තර කැබැල්ල පවා ..ලෝබකමින් අකුරක් නෑර කියෙව්ව යුගයක් ඒක...

පාසල අහවර වී ගෙදර ආවමත් බත් පිගාන එක අතකටත් පත්තරය අනෙක් අතටත් අරගෙන තමා කන්න සුදානම් වෙන්නේ ...අපේ තාත්තා අදටත් කියන්නේ ...මම කාල තියෙන්නේ පත්තර කියලා....

අද වගේ විවිධාකාර පත්තර සඟරා ඒ කාලේ තිබුනේ නැහැ...නමුත් තිබුණ සීමිත ප්‍රමාණය ..අර්ථ රසයෙන් අනුනයි ...ඒ ලිපි එක්ක...මගේ මතකය අවදි වන්නේ ඒ පතපොත එක්ක....

ඉස්සරම පුංචි කාලේ ..සූකිරි...මීපැණි ..සුරතලා....ඔන්න ඔහොම පත්තර තිබුණා මතකද....
හරිම සරල සුන්දර ළමා පත්තර ..
සුරතලා පත්තරේ චිත්‍ර ඇන්දේ පියල් උදය සමරවීර මහත්මයා...එයා ඒ කාලේ උන්නේ මාතර...අපේ ලොකු මල්ලී එක පාරක් වෙසක් කලාපයක එයාගේ යාලුවෝ එක්ක...ඒකෙ කතාවක උන්නා...

මල් මාමා..බූ බබා ..බටකොළ ආච්චි ..ඔන්න ඔය වගේ කල්පිත චරිත අපේ ළමා කාලේදි පත්තර හරහා අපේ ලෝකෙට ආව ...
ඉන් පස්සේ විජය මිහිර...පත්තර ...දැනුම් සාගරයක් එක්ක ..
මගෙත් මල්ලිලාගේත් පත්තර එකතුව කාලයක්ම අපේ මහා ගෙදර සුරක්ෂිතව තිබුණා....මම එයින් සමහර කලාප මගේ දරුවන්ගේ පාසල් වැඩ සදහා අරගෙනත් ආවා....
අද කාලේ වගේ පින්තුර අච්චු ගහල කොළ ප්‍රින්ට් කරලා නැති ඒ කාලේ..පාසල් පැවරුම් සම එකටම පත්තර ගොන්න පෙරලගෙන රූප සහ කරුණු සොයන අපි මට දැනුත් මැවිලා පේනවා 

ප්‍රහේලිකා පිරවීම්....ඒවාට තෑගි ලැබුනත් නොලැබුනත් ඒවා පුරවා යවන්න ඒ කාලේ මම හරිම ආසයි..අදටත් පත්තරයක් අතට ගත්තම ප්‍රහේලිකාවක් තියේ නම් එක පුරවන්න යන්නේ ඒ පුරුද්දට 

ළමා පුවත්පත් වලට කවි කෙටි කතා රචනා ලියන්නට අපේ ළමා කාලේ උන්න ළමයි හරිම ආසයි...දෙමවුපියන් වුණත් එකාට අපිට බලකලා....උනන්දු කළා...ඒත් දැන් මේ යුගයේ දරුවන් එහෙම ලියන්න හරිම මැලි බවක් දක්වන්නේ... ඒ කාලේදී තමනේ නිර්මාණයක් පල වුනාම සතුටු වෙන්න වගේම තවකෙක්ගේ නිර්මාණයක් කියවලා දැනුමක් සතුටක් ලබන්නත් අපි පුරුදු වුනේ එතනිනුයි....

මගේ ළමා වියේ පොත් ගොන්නේ තිබුනේ රුසියන් ළමා කතා... දැන් තියෙන්නේ ඒවායේ දෙවැනි තුන් වෙනි වට ..ඒ කියන්නේ ආයේ ආයෙම මම ඒ පොත් ගන්නවා....කාට හෝ ඒවා පිරිනමන්න..ලස්සන වසිලිස්සා....රුසියන් ළමා කතා....බොහෝ පොත්..ඒ එකතුවේ තිබුණා...

ඒ වගේම සිංහල ගත කතුවරුන් වුන...ලාල් ප්‍රේමනාත් ද මැල්  මහතා වගේ අයගේ රහස් පරීක්ෂක ළමා කතා...

කල්ලන්දුවේ මුතු කොල්ලය ...ආදී ළමා කතා ...වීරත්වය දනවන සුළු....කතා චිත්ත රුප මවමින් ...අප වෙත ආව....ඒ වගේ ළමා යොවුන් සාහිත්‍යයක් එදා තිබුණා.....
මතකයේ අහුමුලු අතර සැරිසරන ඒ කතා එක්ක මම තාමත් ජිවත් වෙන්න ආසයි...ඒ කතා සාහිත්‍යය එක්ක අපේ ලිවීමේ හැකියාවන් දියුණු වුනා...මගේ රචනා හැකියාව ..පාසල් කාලයේ හැකියා...දියුණු වුනේ ඒ සාරයෙන් ...
මඩොල් දුව ..අඹ යාළුවො වැනි කතා..අදටත් කියවන්න හිතෙනවා..නේද....ඒ කතාවල ගැමි පරිසරය..චිත්ත රූප මවන හැටි....අමතක නොවෙන්නේ ඒ නිසාමයි...ගැමි පරිසරය හා බැඳුනු අසිරිය ඒ කතාවල නොඅඩුව තිබුණා...




අනෙක් අපුරුම දේ තමයි...ඉස්සර අපිට පත පොත කියවන්න තිබුණ පරිසරය...ගස් ගල් උඩ නැගල හරි සොබා දහම එක්ක අනුගත වෙලා අපි නිදහසේ කියෙව්වා....අද වගේ අපිට දියූ තාක්ෂණික මෙවලම් තිබුනේ නැහැ...අඩුම ගානේ මුල්ම අවධියේදී රුපවාහිනී යන්ත්‍රයක් වත් අපේ නිවෙස්වල තිබුනේ නැහැ...ඒ නිසා.පොත් පත් කියවීමට ලොකු කාලයක් ඉතුරු වුනා...

අතීත මතක අවුස්සාගෙන පොත් පත් කියවන මේ ලිපි පෙලට තව ටිකක් එක්කාසු කරන ඉක්මනට එන්නම්...මේ සටහන් පෙලට ඔබේ අත්දැකීම් ....මතක් වෙනවා නම් ලියන්න ...අතීතය තුළ සැරිසරන එක කොච්චර සුන්දරද කියලා මඳක් සිතන්න
 ........


ඉතින් පොත් ගුල්ලියගේ දෙවන කොටසින් එන්නම් ඉක්මනට .......

Saturday, May 6, 2017

54. ලිවීම




මම මේ දවස් වල බ්ලොග් එකේත් විසිරි සිහින මුහුණු පොතේත් ලියාගෙන ලියාගෙන යනවාය...

ඒ ලිවිල්ල බලාගෙන ඉන්න අයට වෙලාවකට මං මේ පිස්සෙක් වගේ ලියන්නේ ඇයිද යන ප්‍රශ්නය ඇතිවෙන්නට ඉඩ ඇත....

ඊයේ එක්කෙනෙක් මගෙන් ඕක ඇහුවාම මම කටට ආ උත්තරේ ලෙස දුන්නේ .... වෙන කරන්න දෙයක් නැති නිසා එන ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලියනවා " කියාය.. ..  

ඒත් ඊට පස්සෙ මම ම කල්පනා කලේ මට ලියනවා හැර කරන්නට ඕන තරම් වැඩ තියනවා නේද කියාය.....උදේ 4ට නැගිට රෑ 11 ට නිදාගන්න...ගෙදරත් රැකියා ස්ථානයේත් අටෝරාශියක් වැඩ තියන මට ....කරන්න දෙයක් නැති කමට ලියනවා කීම අමු බොරුවක් බව මම නොදන්නවා නොවේය.

නමුත් ලිවීම කියන්නේ ස්ට්‍රෙස් අඩු කරන්නට කියාපු බේතකි...මට සම්බන්ධව එය එසේමය...තරහක් සතුටක් දුකක් විනෝදයක්..ඔය එකී මෙකී නොකී ඕනම හැඟීමකට ලිවීම මාර උත්තේජනයක් සපයයි..එය තරහ සමබ්න්ධයෙන් releasing factor එකක් වන අතර සන්තුශ්ටි දායක වෙලාවකදී....bursting factor එකකි.....

මම පරණ බ්ලොගෙන් මිදී විසිරි සිහින ලියන්නට ආවේද...පසු කාලයක විසිරි සිහින මුහුණු පොත් ගිණුමකට ආවේද මෙන්න මේ ලිවීමේ අභිලාශයෙන්ම පමණි...

මට ලිවීමේදී නිදහස ඕනෑමය..සමහරක් විට නන්නාඳුනන චරිතයක්ව සිටීම ඒ නිදහසට backup එකකි.....

නැත්නම් ලියන සේරම මටත් මගෙ ගෙදර අයටත් අදාල කරගෙන රස්සාවටත් අදාල කරගෙන විස්සෝප වන්නෝ එමටය....ලිවීම යනු එලෙස විය යුත්තක් නොවෙන නිසා මම මෙසේ ලියමි......

ලිවිම ගත්තාම ඉස්සර අපේ ආච්චි කිව්වේ..මොනවා ලිව්වත් මැල්ලුම් මිටියක් ලියාගන්නත් ගෑනු ළමයෙක් උනාම පුළුවන් වෙන්න ඕනය කියාය...ඒ කාලේ බැරි උනත්...දැන් නම් හීනියට මැල්ලුම් මිටියක් ලියන එකත් සිම්පල්ය ....අත ලියාගන්නේ නැතුව  කොළ මැල්ලුම් ලියනවා මෙන්ම.....හිතට එන අදහස් ද පරෙස්සමින් ලිවිම කලාවකි...පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ලියවෙන්නේ හිත්ය....

පාරේ ඇවිද එන විට ...බස් එකක කෝච්චියක යන විට....පොතක් පතක් කියවන විට...මිනිසුන් සමග කතා කරන විට....ලියන්නට එක එක නිමිති එනවාය...ඒවා සමහරක් විට ෆෝන් එකේ එවෙලෙම කොටාගන්නා අතර...සමහරක් ඒවා මනසේ කටු සටහනක් ඇඳගන්නවාය.....

ෆෝන් එකට බ්ලොගර් ඇප් එක දමා ගත්තාම ටික ටික මෙන්න මෙහෙම සටහන් දමා ගත හැක....මගෙ ලියවිලි ලියවෙන්නේ එහෙමය.....

ලිවීම ගැන කියන විට කොළවල ලිවීම අතහැරීද නැත...මම මේ අවුරුද්දේ අරමුණ කරගත්තේ පොතක් ලියන්නය...ඒක තාම පරිච්ඡේද තුනකට සීමා වී ෆයිල් එක තුළටවී නිසොල්මනේය....බෝල බෝල අකුරු වලින් සටහන් තබා ගන්නට ආස නිසා...පොත් කීපයක කවි ටික මම ලියා තබනවාය....තවත් වයසට යනවිට බෝල අකුරු හැකියාව නැති වුණ කාලෙක බලා සතුටු වන්නට හැකි අකුරු ගොඩක් මගෙ එකතුවේ ඇත.......

ලිවීම මගේ ජීවිතය ට බොහෝ දේ ලබා දෙයි...
ඒකාකාරී ජීවිතය පීඩනයෙන් මුදවන්නට ලිවීම මට සහය වේ.....

මගේ සමහර ලියවිලි ....මුහුණු පොතෙන්..බ්ලොගෙන් එහාට ගොස් පත්තර වල වෙබ් අඩවි වලට යනවිට ...විශේෂයෙන්ම සෞඛ්‍ය ලිපි....මම එයින් තවකෙකු දැනුවත් වන දෙස බලා තෘප්තිමත් වෙමි....

හාස්‍යය ..විනෝදය සඳහා එදිනෙදා දකින..සහ...අත්දකින...දේ ලිවීමද අපූරුම දෙයකි.....මම ආසම දේ මටම හිනා වෙන්නට කුමක් හෝ ලිවීමය...

ඉතින්...මේ මගේ ලිවීමය ......

Wednesday, May 3, 2017

53. හිතන්නට යමක්








ඔබ ඔබම මිස මා නොවේ.....
මා මා මිස ඔබ නොවේ.....

මේ හැඟීම ඔබට දැනිලා තියද.....?

මගේ වෘත්තීය ජිවිතයේ වැඩිම කලක් ගත වුනේ ලෙඩ්ඩු එක්ක.....දැන් පුහුණු පාසලේ ආචාර්ය වැඩේ කලාට ලෙඩ්ඩු එක්ක උන්න කාලේ තාම අමතක නැහැ ....

හිටපු ගමන් අතීතය ට හිත දුවන කොට ....මතකයට එනවා...සමහරක් රෝගීන් එක්ක සබැඳුණු මතකයන්....

මේ එහෙම එකක් ....

සමහරක් විට හිතට එන සුළු නිමේෂය ඇති ...දීර්ඝ ව හිතලා....සටහනකුත් ලියා තබන්නට...

ඉස්සර මගේ අංශයට ආව රෝගීන් අතර උන්නා ...සුමනා කියලා කාන්තාවක්...මේක අන්වර්ථ නාමයක්...
මගේ අංශයෙන් ප්‍රතිකාර දුන්නේ ස්නායු ආබාධයන්ට ලක් වූ යට තමයි විශේෂයෙන්ම ...

ඇය පැමිණියේ...අංශභාග රෝගය නිසා ...

ඉතින් බාහිර පෙනුම ගත්තම සුමනා ටිකක් මහත කාන්තාවක්.....

අංශභාගය හැදුනම ශරීරයේ එක පැත්තක්ම අප්‍රාණික වෙනවනේ ...එතකොට මුල් අවධියේදී මේ ය ප්‍රතිකාර කටයුතු වලට ගේන්නේ රෝද පුටුවෙන් ...ව්‍යායාම ප්‍රතිකාර සඳහා තැනින් තැනට රෝද පුටුවෙන් මාරු කරන්න ගියාම රෝගියා ගේ සහය නැත්නම් ...පුදුම සටනක් කරන්න වෙනවා 

සුමනා අන්න එහෙම කෙනෙක්..කිසිම උවමනාවක් නැහැ...බලන් ඉඳලා බැරිම තැන මම ඇයට කිව්වා..." අනේ සුමනා මෙහෙම ඉඳල නම් බැහැ ....ඔයා ටිකක් උනන්දු වෙන්න ඕන .." කියලා....

සුමනා ගත් කටටම කිව්වේ....

" මිස් නම් කියයි...මිස්ට ඔය යස අගේට ඇවිදින්න පුළුවන්නේ..මගෙනේ ඇඟ පණ නැත්තේ....මිස්ට තේරෙනවය ...මගේ අමාරුව.." කියලා....

මේ වගේ ප්‍රතිචාර අපේ රැකියාවේදී හරිම සුලබයි...හෙන ගහන්නා වගේ මෙහෙම කිව්වම තරහ නොගෙන ඉන්නත් සංයමයක් තියෙන්න ඕන .....එක නම් කාලයක්ම වැඩ කරලා ඕනෑවටත් වඩා තියනවා......

මම ඉතින් සුමනාට මේක හෙමින් තේරුම් කරලා දුන්නා...

මම හිතන්න ගත්තේ ඉන් පස්සෙයි......

අනුන්ගේ ප්‍රශ්නයක් තමන්ගේ ඇසින්  දකින්න අපිට පුලුවන්ද ....?

ඒ දකින විදියේ තියෙන වෙනස් කම් මොනවද...? 
මේ දෙවිදිය සමාන කරගන්න නම් අපි තුළ තිබිය යුතු ගුණාංග මොනවද...?

මම දිගටම හිතුවා....




අද කාලේ මම වැඩ කරන්නේ...ඊළඟට රෝහල් වල සේවයට යන පරම්පරාවට දැනුම දෙන්න....කාලය එක්ක පරම්පරාව වෙනස්....ආකල්ප වෙනස්...ඒ නිසා මේ දේවල් ඔවුන්හට කියල දෙන්නම මේවා මට උදාහරණ වෙනවා...

ආබාධිත තත්වයට පත් වුවෙක්ගේ හැඟීම් තේරුම් ගන්නට නම් අපි ඒ ආබාධය ගැන පුළුල් අවබෝධයකින් සිටිය යුතුයි.....බොහොමයක් ආබාධ තත්ත්ව වලදී...ඒවා සහ සබැඳුණු...මානසික පසුබිමක් තියෙන බව අමතක නොකළ යුතුයි....
තමන් මුලින් හිටපු තත්වයෙන් බොහෝ පහලට වැටෙන්න වුනාම ..ඇති වන මානසික අව පීඩන තත්වය හුඟක් අයගේ සුලබ ලක්ෂණයක්..ඉන් මිදෙන්නේ බොහොම කීප දෙනයි......මේ තත්වය අපිට තේරුම් ගන්න බැරි නම් ...ඒ තත්වයට පත් වු කෙනාගේ හැඟීම් නිවැරදි ඇසින් දකින්න අපිට බැහැ ...

ආබාධිත බව තියන අයෙකුගේ පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුගේ හැඟීමක් නිවැරදිව නිසි ආකාරයෙන් තේරුම් ගන්න නම් අපි ඒ තත්වයට මනසින් ගොඩ වැඩිය යුතු වෙනවා..නැත්නම් අපි හැම විටම මේ හැඟීම් වලට දෙන්නේ වැරදි අර්ථකතනයක් වෙන්න පුළුවන්....
මම ආබාධ සහිත තැනැත්තන් ගැන ලියන්නේ මගේ වෘත්තීය එක්ක මට අත්දැකීම් තියෙන්නේ ඒ අංශයෙන් නිසි...ඇත්තටම මේ වගේ ය සමග කටයුතු කිරීමේදී මනසින්.....මෙහෙම දෙයක් මට වුනොත් කොහොම වෙයිද කියලා කියන හැඟීම ලබා ගත යුතු වෙනවා...

කෙනෙක්ගේ අතක් නැති වුනොත් අපි ඔහුට ප්‍රතිකාර කරද්දී හිතනවා....මේ දේ මට වුනා නම් මම කොහොමද ඉදිරි වැඩ ටික කරගන්නේ කියලා....කෙනෙක්ට රෝද පුටුවක් දෙන්න සිද්ද වෙන වෙලාවක ඒ කෙනාගේ මනස ඒකට හැඩගස්  වන්න කලින් අපි හිතන්න ඕන ...මේ දේ මට වුන නම් මට එන අභියෝග මොනවද කියන එක... 

ඒ නිසා කෙනෙක්ට ගැලපෙන ප්‍රතිකාර තීරණය කරන විට අපි ඒ රෝගියාගේ තත්වයට මනසින් ගොඩ වදිනවා....


ඉතින් ඔබ ඔබම වන තුරු....මා මා ම වන තුරු ...අපි කොහොම නම් අනෙක් අයගේ හැඟීම් ඒ අන්දමින්ම තේරුම් ගන්නද......?