Tuesday, November 30, 2021

2021(32). මතක සුවඳ

උදේම ඇහැරලා මිදුලට බහින කොට ඈතින් එන මල් සුවඳක් නැහැ පුඩු සිසාරලා හමා ගියා...

නම නොදන්නා ...හිතාගන්න බැරි මලක සුවඳක් වෙන්න ඕන ඒක.....ඔන්න ඉතින් විසිරිගෙ හිත ඉගිල්ලෙන්න ගත්තා.....

ඉස්සරම ගෙදර ට එහා පැත්තෙ පොඩි කඳු කෑල්ලක කෝපිගස් යායක් තිබුණා ....එක කාලෙකට සුදුපාටට අතුදිගේම කෝපි මල් පිරෙන්න ගන්නවා.....
මගෙ කාමරේ ජනේල පලු දෙක ඇරියාම උදේට හීන් සුලඟක දැවටිලා එන්නෙ ඒ කෝපි මල් සුවඳ....
වෙන වෙනම ගත්තාම රුවෙන් ඒ හැටි හැඩක් නැතත්....කෝපි මල් අහුරක තිබ්බේ ලස්සනම හැඩයක්.....




අපේ ගෙදර මිදුලේ ඇහැල ගහක් තිබුණා...මහ විසාල කඳක් තිබ්බ ලොකු ඇහැල ගහක්...මල් රෑන් පිපුණාම ඔලුවෙ ගෑවෙන ගානට අතු පහත් වෙලා.....
ඇහැල මල් සුවඳ දැනෙන්නෙ පාන්දරට....
ඉදලකුත් අරන් සුදු වැලි පොලවෙ වැටුණ ඇහැල මල් පෙති සීරුවට අතුගාන කෙට්ටු කෙල්ලෙක්.....ඒ සුවඳ පෙනහලු වලට ඇදගන්නවා ....මට තාම දැනෙනවා.....




ඉස්සර ගෙදරට එන පාර කෙලවර තිබ්බා ඇට්ටේරියා ගහක්..මල් පිපෙන කාලෙට සුවඳ ....හැන්දෑවට පොහොට්ටු දිග හැරෙන්න ගන්න කොට මම මල් වට්ටිය අරන් ගහ යටට යනවා...හුස්ම පොරෝගෙන වට්ටිය පිරෙන්න නෙලාගන්න කැකුලු පිපෙන්නෙ රෑ වෙනකොට...ඉස්තෝප්පුවෙ ඉඳන් බලන් ඉන්න කොට අඳුරේ ඒ මල් ගහ සුදට දිලිසෙනවා...ඉස්කෝලෙ යන්න බස් එක එනකල් පාර අයිනට ගියාම ගහ හෙමින් හොලවලා රේණු හතර අතට විසුරවන්න...තරම් දඟ කමකුත් හිතේ තිබ්බා..




අපිට තිබ්බෙ පොඩි කුඹුරු කෑල්ලක්....ඒකෙ අස්වැන්න ගෙදර පරිභෝජනයට ඇති උනා...
කුඹුරෙ ගොයම් කපන කාලෙට කැපෙන ගොයම් ගස් වලයි..ඉන් පස්සෙ ඉතුරු වෙන ඉපනැල්ලෙයි සුවඳට මං කැමතියි...
ඒක එන්නෙ පොළව මහී කාන්තාවගෙ හුස්ම එක්ක කියලා මට ඉස්සර ඉඳන්ම හිතුණෙ...
නියරක් උඩින් වාඩිවෙලා වෙල්දෙනිවල හුලඟේ එන මඩ මුසු ඉපනැලි සුවඳට මං ඉව අල්ලනවා.....
තාමත් ගමට දුවන්න ආස ඒකයි....

කුඹුර අයිනෙන් අලුත කපපු ඇලක නිල් මානෙල් පිපෙනවා...
දම් පාට ලොකු පෙති මැද කහ රේණු.....ඒ අස්සෙ එහෙ මෙහෙ සරන මීමැස්සො....
වතුරෙ ඉන්න දඟ මාලුන්ගෙ විසේට මල් උඩට වැටෙන දිය බිංදු....
වෙල් යාය මැද තියන ගොඩ කෑල්ලෙන් දෙබලක් තියන කෝටුවක් කඩන් මම මානෙල් මල් කඩාගන්නවා....
මල් නටුව දිගේ පටලවලා ඇද්දම එන ඒ මල නටුව දිග ඇතුව කඩාගන්නවා....
ඇල අයිනෙන් වාඩිවෙලා ඇලට කකුල් දාගෙන ...මානෙල් මල් සුවඳ විඳින අර කෙට්ටු කෙල්ල ..මගෙ මනසින් ආයෙ එහෙ යං කියලා අදිනවා........




වෙල් දෙණි ගානෙ ඇවිදලා එක එක කොළ ජාති පොඩි කර කර ඒවාට ආවේණික සුවඳ බලන්න..
නියර දිගේ ඉබේ හැදුණ වෙල් මුකුණුවැන්න...වැල් ගොටුකොල කඩන්න....
සෙරෙප්පු නොදා නියරවල් ගානෙ මඩ චිරි චිරි ගාගෙන දුවන්න.....මට ඒ පුරුදු සුවඳවල් අතවනනවා........

මම
අතීතයේ සැරිසරන විසිරි......


Tuesday, November 23, 2021

2021(31) නාඳුනන්නෙකු හට පෙම් කළෙමි

නාඳුනන්නෙකු හට පෙම් කළෙමි.....





එදවස ....
මම උන්නේ වේදිකා බිමකය..
ඔහු උන්නේ...වේදිකා අසුනේය....
එකදු ඇස් බැල්මක් නොලද මුත් ...
මම ඒ රුවට බැඳුණෙමි...
සිත ඇදුණු එදවස..
ප්‍රේමයක් වීදැයි නොදනිමි....

පසු දිනක...
උනුන් අසලින් හිඳ ගතිමු...අපි..
කතාවන් සිනාවන් බෝ විය..
ඉඳහිටක නෙතුසරක් විහිදුණි...
බොහෝ ලොබ වීමි එයටද
එහෙත්...
ප්‍රේමයක් වී දැයි නොදනිමි....

නොසිතූ පැයක කෙළවර
නාඳුනන කෙටි පණිවිඩයක
සිත තිගැස්වන සටහනක් විය...
" අවසන...මම ඔබ සොයා ගත්තෙමි...."
විපිළිසර මතක පොත ඇහැරිනි...
" මා ඔබට රහසින් පෙම්කරන්නා වෙමි...."
එහි එසේ ලියවුණි....
ඉදින්...
මම දනිමි...
අප අතර ප්‍රේමයක් ඇතිවුණි......

අපි ඉනික්බිති සමුගතිමු....
ඉදින්..ප්‍රේමය ම ඉතිරි විය..

විසිරි ❤

Wednesday, November 10, 2021

2021(30) කවි මතක






සියුම් තැතකින් පාරා
ජීවිතේ දුක්ම මතකයන් පිටට ගමි
තව තවත් ගැඹුරටම හද පලා
සැඟව ගත් සෝ සුසුම් ඇද බලමි...

ඒ මතක අකුරු කර සිනාවෙන්
සෙනෙහසක දවටමින් හැඩ බලමි
ඉනික්බිති ලේ ගලන ඒ අකුරු
ඔප දමා ලෝකයට විසි කරමි.....
.
එවන් අකුරට බැඳෙන දහස් දන
"ඒ මමද....මා නොවෙද..." කියනු දැක....
රිදුම් දුන් මතක අමතක කරමි
සිතක් සෙනෙහසින් යළි පුරවමින්
නෙතු පියා සිත මගේ වසාළමි......

කිත්මා වාසනා දහනායක 
විසිරි ❤️

Sunday, November 7, 2021

2021 (29) අහන් ඉන්න අහගෙන ඉන්න




අපි හැමෝම ජීවිතේ හැල්මෙ දුවන අය....ඒත් සමහර වෙලාවට අපිට මග නැවතිලා බලන්න සිද්ද වෙන අවස්ථාවන් ජීවිතේ එමට එනවා ....
.
අද දවසේ හුඟක් මුහුණු පොත් බිත්ති වල හමුවන්නේ එකම පුවතක්.. සිය දිවි නසා ගැනීමක්...තරුණ නලුවෙක්....සිත්වල කම්පනය විවිධාකාර ලෙසින් ලියවෙනවා....

ඔබ අඩුමගානේ දවසකට එක අයෙක්ට හෝ සවන්දෙනවද?


ඔව් අපි ඇහුම්කන් දෙන්නෝ.....නිවසෙදි..රැකියාවෙදි... සමාජයේදි...මගතොටදි....විවිධාකාර ලෙස අපිට ඇහුම් කන් දෙන්න වෙනව....ඉතින් එතනිනුත් චුට්ටක් ඔබ්බට හිතන්න ඕන අපි....
.
යමෙක් ඔබ වෙතට ඒ නම්....
" මට චුට්ටක් කතාකරන්න පුලුවන් ද ....?" කොයිම හෝ වෙලාවක අන්න ඒ වචන ඔබට අහන්න ලැබුණොත් ඒ මොහොත මග හරින්න එපා....සමහර විට ඔබ ඉතාම කාර්‍යබහුල වෙන්න පුලුවන් ....ඒත් ඔබෙන් අර විදියට අසන්නාට වචනයක් දෙකක් කියන්න....ඒ වචන වලින් එකම මොහොතක් අංශක180ක්ම හරවල දාන්න පුලුවන් වෙනව....
.
සමහර අය වාචිකව කියන දේ සමහර අයගෙන් එන්නෙ අවාචිකව....
ඒක තේරුම් ගන්න අපිට ඕන කරන්නෙ පොඩිම අවධානයක් පමණයි....මගෙ සිසුන් මට කියන්නෙ...
" මැඩම් එක්ක හැරෙන්න වත් බෑ හොරෙන්...." කියන කතාව ඇතුලෙ මම මගේ සිසු දරුවන්ව නිරීක්ෂණය කරල තියන බව මටම සාක්කි දෙනව...ඒ බොහොම අවදානම් වයස් වල ඉන්න ලොකු විවිධත්වයක් ඇති සිසුන් සමූහයක්. කොරෝනා සමයේ ඔවුන් සියල්ල එක පොකුරක රැඳවීම තුළ ඔවුන් මානසිකත්වයෙන් නොවැටෙන්න ලොකු ක්‍රියාදාමයක අපි නියැලුණා.....
Whatsap ගෲප් එකේ ....
How are you all...hope all of you stay safe and happily ...කියලා දවසකට දෙකකට පාරක් උදේම යැව්වම...ඔය පනහම රිප්ලයි කරනව....බොහොම කැමැත්තෙන් ......

අනෙක ඔබ සහ මම අවශ්‍යම විට ඒ සඳහා ඇහුම්කන් දෙන්න සුදුසු අයෙක්ව හඳුනාගන්නත් ඕන...ඒක හරියට ඇහුම්කන්දෙන්න වගේම එහෙම කෙනෙක් තමාට හොයාගන්න යන කාසියෙ දෙපැත්ත .....
.
ඔබ කෙනෙක් ගැන විශේෂම අවධානයකින් ඉන්න බව දැනුනම ඔවුන් ඔබව විශ්වාස කරන්න ගන්නව..... සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ නමින් ඒ කෙනා හඳුනගන්න...අමතන්න...ඔබේ අකුරු වල වචන වල ඔබේ ස්වරයේ ආදරය කරුණාව දයාව ඉතුරු කරන්න.....
.
සිදුවීමක් සිදුවෙලා පැය විසි හතරක් යනවිට ඒක සාමාන්‍ය කරණය වෙනව...ඕනම සියදිවි නසා ගැනීමක් එහෙමයි....ඒ නිසා....ජීවිතේ ගෙවෙන හැම දවසම තව අයෙක්ට ඇහුම්කන් දෙන්න ඉඩක් තියාගන්න....ඒකෙන් හුඟාක් අනාගත ව්‍යසන ඇහිරිලා යාවි....ඉතින් ඒ නිසා මේ සිදුවීම සිදුවුණ උණුසුම් මොහොතේ පමණක් මේ කාරණය ගැන කතාකරල ඒක අමතක උනාම ආයෙම අතෑරල නොදා ඇහුම් කන් දීම පුරුද්දක් කරගන්න....
.
ඔබ දන්නවද.... ඔය ඕනම දේකට ලොකුම බෙහෙත තියෙන්නෙ අපේ ආදරය ඇතුලෙ....එතනින් පටන් ගන්න .....ඔබ ට එය කල හැකියි .....
.
මම 

කිත්මා වාසනා දහනායක 

විසිරි ❤️

Thursday, November 4, 2021

2021 (28 ) නැහැ සහ බැහැ කියන්න හුරුවෙන්න






අපි පොඩිකාලෙ ඉඳන් අහල තියන කතාව මාතෘකාවට හාත්පසින්ම වෙනස් එකක් නිසා ඔබ සමහරක් විට මේ දිහා විමසිල්ලෙන් බලාවි..

ඔව් අපිට අපේ දෙමවුපියන් වැඩිහිටි අය,ගුරුවරුන් ඔය හැමකෙනාම කියාදුන්නෙ

"නෑ බෑ කියන්න එපා.ඒක හොඳ පුරුද්දක් නෙවෙයි" කියන එක.

නමුත් ඔබ ජීවිතේ යම්කාලයක් ගෙව්වාට පස්සෙ වටහා ගතයුතු එක දෙයක් තමයි මේ මාතෘකාවට අදාල වෙන්නෙ.

ඔබ යම් මොහොතක ඔබට වැදගත් නොවන්නාක්වූ දේකට පවා නෑ ,බෑ නොකියනවා කියන්නෙ ඔබ ඔබට ඉතා වැදගත් දේකට පවා නෑ, බෑ කියන එක.මොකද ඔබ අර නොවැදගත් දේට එසේ නොකීමෙන් මගහැරගන්නේ ඔබට වඩා වැදගත් දෙයක් වෙන්න පුළුවන් .

ඉතින් හුරුවෙන්න..

උදාහරණයක් විදියට

ඔබේ මිතුරෙක්/ මිතුරියක් ඔබට අඬගසාවි කෝපි කෝප්පයක් බොන්න යන්න...හැබැයි ඒ එක්කම ඇය/ ඔහු ඔබට කියාවි .. .අහවලා ගැන නියම ඕපාදූප ටිකක් තියනවා කියන්න කියල...

ඉතින් ඒකට "මට එන්න බැහැ" කියන එක ඔබට බලපාන්නෙ හොඳ අතටද නරක අතටද කියල හිතන්න....

ඔබේ කාර්‍යාලීය සගයෙක් සමහර විටෙක ඔබට ඔහු / ඇයගේ සෘනාත්මක සිතුවිලි එක්කරන්න හදන මොහොතක ...ඔබ එය ප්‍රතික්ෂේප කලොත්....එය "නැහැ ...මම ඒකට එකඟ නැහැ" කියන එක ඔබට බලපාන්නෙ කොහොමද කියල හිතන්න....

ඔබේ සිහින ,ඔබේ ඉලක්ක, ඔබේ අරමුණු වලට හිනාවෙන අය...ඔව් සමහර විට ඒ ඔබේ ලඟම නෑයෙක් වෙන්න පුළුවන් ...ඔවුන් ඒ හිනාවීමෙන් ඔබට ඔබේ සිහින, අරමුණු සහ ඉලක්ක ගැන සැකසංකා ඇතිවෙන්න යනව නම් එතනදි "නෑ ....ඔබ වැරදියි...ඔව් මම ඒක කරනව" කියන එක ඔබට බලපාන අන්දම හිතන්න...

ඔබේ ජීවිතේ වැඩසටහන ආපස්සට අදින ඕනම කෙනෙක්ට ,ඕනම දේකට නෑ, බෑ කියන එක ඇයි ගැටලුවක් වෙන්නෙ කියලා ආයෙම හිතන්න

ඔබට හැමකෙනාටම අවශ්‍ය ,ගැලපෙන විදියෙ කෙනෙක් වෙන්න අමාරුයි .ඔබ එහෙම වෙන්න අවශ්‍යත් නැහැ . නමුත් ඔබ ඔබට අවශ්‍ය පුද්ගලයා වෙන්න. ඔබේ මූලිකත්ව වටහා ගන්න.ඔබේ ඉලක්ක හඳුනාගන්න.

ඉදිරි සතිය, මාසය, අවුරුද්ද යන කාලවල ඔබ ඔබට යාහැකි හොඳම තැනට යන්න අරමුණු කරගන්න.අන්න එතනදි...නෑ හරි බෑ හරි කියන්න වෙන වෙලාවල ඒක කියන්න පසුබට වෙන්නත් එපා.

ඔව්...

මේ නෑ සහ බෑ දෙක නිසා සමහරක් අය ඔබ එක්ක පොඩ්ඩක් අසතුටුවේවි....ඉතින් ....

ඔබම තීරණය කරන්න....

අන් අයව සතුටින් තියන්න ඔවුන් ගේ අවශ්‍යතා වෙනුවෙන් නෑ බෑ නොකියා කටයුතු කරනවාද එහෙම නැත්නම් ඔබේ සිහින, ඉලක්ක කරායන්නට අන්න ඒ නාස්තිකරන කාලය යොදාගන්න නොපැකිලව නෑ සහ බෑ කියනවද කියල.....

Everytime you say YES to something that is unimportant , you say NO to something that is important.

ඉතින් මම ....

මට කල නොහැකි , මට කාලය වෙන්කරන්න බැරි බොහෝ දේට 

නෑ...සහ බෑ කියන්න හුරුවෙලා ඉන්නවා....

ඔබ කොහොමද ?

(අන්තර්ගත අදහස් රොබින් ශර්මා ලියූ the greatness guide පොත ඇසුරින්.  මෙය පරිවර්තනයක් නොව අනුවාදයක් බව සලකන්න)

© කිත්මා වාසනා දහනායක

Tuesday, November 2, 2021

2021 ( 27) The seven forms of wealth

 The seven forms of wealth


මගේ නිතර කියවන පොත් එකතුවේ තියන එක් පොතක් තමයි රොබින් ශර්මාගෙ The greatness guide.

මොකුත්ම කරන්න නොහිතෙන කම්මැලිකම ඉහවහා යන වෙලාවක මම හුඟක් වෙලාවට කරන්නෙ ඒකෙන් එක කොටසක් කියවන එක.

අද මේ මොහොතෙදි මම කියවූ එක් පරිච්ඡේදයක් සිංහලට පරිවර්තනය කරල මගෙන් අඩුමකුඩුම ටිකකුත් දාල හැඩකරල ගන්න හිතුණා ඔන්න.

ඒකෙ 71 වෙනි කොටස the seven forms of wealth.

මේකෙ කියවෙනවා කෙනෙක් ධනවත් වෙන විදි හතක් ගැන.ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් කෙනෙක් ධනවත් කියන්නෙ ඒ කෙනාට මුදල් ඇතුලු භෞතික සම්පත් තිබීමනෙ.

නමුත් කෙනෙක් ධනවත් කියන්න පුලුවන් විදි බොහොමයක් තියනවා මේ සටහනට අනුව.

අපි බලමු ඒ මොනවද කියල.

01. අභ්‍යන්තරිකව ධනවත් වීම.ඒ කියන්නෙ inner wealth 

මේකෙදි අපි කෙනෙක් තමන්ගේ ධනාත්මක මානසික පසුබිමක සිටීම, තමන් හට ගරු කිරීම , ආත්ම ගෞරවය ඉහලින් සැලකීම , අභ්‍යන්තරිකව පවත්නා සාමකාමී බව මෙන්ම ආධ්‍යාත්මික භාවයේ ඉහළ තත්වයක පැවතීම විග්‍රහ කරල තියනව.

ටිකක් බරසාර වැඩියි වගේ නේද ?

අපි මෙහෙම හිතමුකො 

ඇත්තෙන්ම අපි අපේ සිතුවිලි එක්ක රැඳෙන මොහොතක ,අපි අපි ගැනම තබාගන්න ඉහල තක්සේරුව මෙන්න මෙතනදි වැදගත් වෙනවා.මොකද මුලු ලෝකෙම ඔබට ඉහල තක්සේරුවක් දුන්නට පලක් නෑ ඔබ ඒ දේ ඔබට දෙන්නෙ නැත්නම්....



02. දෙවැන්න තමයි කායික ධනවත්බව...ඒ කියන්නෙ physical wealth එක...

ඔබේ නීරෝගී බව තමා ඔබේ ධනය..

නීරෝගිකම හැර ධනයක් ලොවේ කොයින්දා ...කියල අහල තියනවනෙ.

Your health is your wealth....

ඔබ ඔබේ රැකියාව හෝ එයින් ලැබෙන පීඩනය නිසා රෝගී වෙනව නම් ඒ රැකියාව කොපමණ ඉහළ තනතුරක් උනත් පලක් තියද ?

ඇයි ඔබ රෝහලක නවතින්නට සිදුවෙන හොඳම ව්‍යාපාරිකයෙක් වෙන්නෙ...?

ඒ වගේම ඔබ ඉක්මනින් සමාදානයේ සැතපෙන්න නම් කොපමණ පෝසතෙක් උනත් පලක් නෑනේද ?

ඉතින් ඔබේ ධනවත් කම ඔබේ නීරෝගී බවම කරගන්න...



03. පවුල සහ සමාජීය ධනවත්බව

Family and social wealth 

ඔබ ඔබේ පවුල තුල සතුටින්නම්....ඔබ වඩා හොඳින් වැඩකරන අයෙක් වෙයි ඉබේම.එසේ නොමැතුව ජීවිතේ අන්තිම මොහොතට එනකල්ම ඉඳලා අනේ මට පවුල වෙනුවෙන් කැපවෙන්න බැරිඋනා කියල දුක්වෙලා පලක් නැහැ.

හැමවිටම ඔබේ පවුල, මිතුරන් සහ ඔබේ ආසන්නතම අය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න...ඒ ධනවත්බව ඔබව තෘප්තිමත් කරාවි....

මේ සමාජ කවයට ඔබ අනුගමනය කරන අය ...ඒ කියන්නෙ ඔබේ mentors ලා එහෙමත් එක්කරගන්න අමතක කරන්න එපා.



04. රැකියාවේ ධනවත් බව

Career wealth

ඇත්තෙන්ම රැකියාව කියන්නෙ ඔබට ආභරණයක් වෙන්න ඕනෙ.ඔබේ වටිනාකම තව තවත් ඉන් වැඩිකරදෙන්න හැකිවෙන්න ඕනෙ .හැමවිටම හොඳම පුද්ගලයාවන්න උත්සාහයක් දරන්න...හොඳම කෙනෙක් වෙනව කියන්නෙ අනෙක් අය පාගගෙන ඉහලට යනඑකට නම්       නෙවෙයි ඔන්න.....


 



05.ආර්ථික ධනවත් බව

Economical wealth

ඔව් මුදල් අත්‍යාවශ්‍ය දෙයක් ජීවිතේ ට.එය ජීවිතේ අතිශය ම වැදගත් දේ නෙවෙයි නමුත් ඒක ඉතා වැදගත් දෙයක්.හොඳ ආර්ථික පසුබිමක් තියේ නම් ජීවිතේ සැපපහසුයිනෙ.අතමිට හොඳින් මුදල් ගැවසෙනවා නම් ඔබට ඔබ කැමති භෞතික සැපසම්පත් පහසුවෙන් ලබාගන්න පුළුවන් 



06. විනෝදාස්වාදී ධනවත්බව

මේක ඉතින් ඔබේ adventure එකක්...ඔබ අභියෝග බාරගන්නවද ?

සතුටින් ඉන්න ඔබ කෙතෙක් දේ කරනවද කියල මොහොතකට හිතන්න...

සංචාරයේ යෙදෙන එක...විනොදාංශ ආදිය මේ දේවල් ජීවිතේට ඕනම දේවල්නෙ...



07. Impact wealth ..මේක ටිකක් සංකීර්ණ එකක්...මේකට සිංහල වචනයක් මට හිතාගන්න බැරිඋනා...

ඔබේ හදවත ගැන මොහොතක් හිතන්න...ඇත්තෙන්ම එය ක්‍රියාත්මක වෙන්නේ එය ජීවයෙන් පිරිලා තියන අතරේ තවත් බොහෝ ඉන්ද්‍රියයන් ජීවත් කරන්න...

ඔබ හිතන්න ඔබ ගැන...ඔබ වෙනසක් කරන්න....යමෙක් වෙනුවෙන් වෙනසක් ඇතිකරන්න සමත්වෙලා තියද ? ඒක කොච්චර වෙනස් එකක් , හැඟීමක් ද කියල ඔබට මොහොතකට දැනිල තියද ?

ආපස්සට ජීවිතේ හැරිලා බැලුවාම ...මම එහෙම කරල තියනවා කියන දේ මට පේන්න ගන්නව....ඒ මගේ රැකියාව මට දීලා තියන තැන....බිංදුවටම වැටිලා අපේක්ෂාවක් නැති අයෙක්ට පොඩිම හරි බලාපොරොත්තුවක් දෙන්න ,නගා සිටුවන්න අපිට පුළුවන් වෙන්න ඕනෙ.



ඉතින් අපි මේ අසීරුම කාලයක ....ධනවත් වෙලා ඉන්නෙ ඉහත කී බොහෝ දේ අඩුවැඩි ඇතුව.ඔබ ඔබේ ධනවත්බව ගැන තෘප්තිමත් ද ?

© කිත්මා වාසනා දහනායක