Friday, May 29, 2020

07. හය වෙනි දිගහැරුම.(සඳක් සේ)



අලුත් ප්‍රාදේශීය ලේඛම් තුමා ගේ සභාව ඇමතීම සියල්ලන්ගේම සිත් ඇදගන්නා සුලු එකක් වූ අතර... සරලව සැහැල්ලුවෙන් එහෙත් තදින් කී බොහෝ කාරණා සේවක මණ්ඩලයේ හිත් මඳක් තිගැස්සීමට ලක් කර තිබිණ.....
.
ඉන් පසු පැවැත්වූ තේ පැන් සංග්‍රහයේ දීද සියල්ලන්ගේම කතාවේ ප්‍රධාන මාතෘකාව වූයේ නව ප්‍රධානියා ගේ කඩවසම් බවත් ඔහුගේ වාග් විලාශය සහ නීතිගරුක බවත් ය.....
.
" දන්නවද අලුත් සර් එයාගෙ පර්සනල් ස්ටාෆ් එක එයාම තෝරගන්නව කීවාලු.... " ආයතන අංශයේ නීලිකා සමග මිසිස් පෙරේරා මඳක් හඬනගා කීවේ සඳමිණි ට ඇසෙන්නට ම බව ඇයට වැටහුණි....
.
" ඔන්න නීලිකා  ..පොඩ්ඩක් මහන්සි වුණොත් ඔයාට බැරි නෑ සෙක්‍රටරි පෝස්ට් එකට පැනගන්න..මොකෝ කලින් අයම ඉන්න ඕන කියලයැ..."

බියංකා සඳමිණිගේ අතින් අල්ලා මිරිකාගනිමින් සිනාව වලකා ගත්තාය....
.
"හොඳයි එහෙනම් හෙට උදේ අටට දේශනාගාරයේදී කෙටි හමුවීමක් පැවැත්වෙන බව නව ප්‍රාදේශීය ලේඛම් තුමා පවසනව....එහිදී සිය කාර්‍ය මණ්ඩලය ගැන හඳුන්වාදිමක් කරාවි වෙනස්කම් සමග.... දැන් තම තමන්ගේ අංශ වෙත යන්න..." රණවීර මහතා සභාව අමතමින් පැවසු පසු සියල්ලෝම වෙන්වී ගියහ...
.
සඳමිණි කාර්‍යාලයට ආවේ සිහිනයක පාවෙමින් සේය...හිත පුරා නැගෙන නොසන්සුන් හැඟීම යටපත් කරගන්නට ඇය දැඩි වෙහෙසක් දැරුවාය....කාර්‍යාල කාමරයේ දොර විවෘත වී ඇතුළට පැමිණියේ රණවීර මහතාය.ඒ පසුපසින් පැමිණෙන රුව දුටු විට කටේ අන්තිම කෙල බිංදුවත් සිඳී ගියේය...
.
"එන්න මිස්ටර් මඩුගල්ලෙ...මේ තමයි ඔෆිස් එක...පොඩි පර්සනල් ඒරියා එකක් තියනව එහා පැත්තෙ..මම ඉතින් එච්චර ඕවා භාවිත කලේ නම් නෑ.... කාර්‍යාලයේ රැඳුණෙත් අඩුවෙන්මනෙ...." රණවීර මහතා සිනාමුසුව පවසමින් ප්‍රධාන ආසනය අලුත් සර්ට පෑවේය....
.
" නෑ නෑ මිස්ටර් රණවීර ඉඳගන්න...මට මෙහෙම හොඳයි...." ඔහු පසෙක වූ අසුනක හිඳ ගත්තේ මඳ සිනහවක් සහිතවය....
.
" ඉතින් කාමරය අවශ්‍ය අන්දමට හදාගන්න .. ආ ...සඳමිණි පොඩ්ඩකට එන්න දරුවො.... මිස්ටර් මඩුගල්ලෙ මේ තමයි මගෙ සෙකට්‍රි ...මිස් සඳමිණි දිසානායක... මගෙ රාජකාරි වල සාර්ථකත්වය ට එක හේතුවක් මේ දරුව..... "
.
සඳමිණි  හෙමින් ඔහු අසලට විත් දෑත් එක්කර ආචාර කලාය....ප්‍රති ආචාරය අසුනෙන් නැගිට පලකල ඔහු යළිත් ඉඳගත්තේය...සඳමිණි හිතේ ඇති..චකිතය මැඩගනිමින් බිම බලා උන්නාය....
.
" එක්ස්කියුස් මී මිස්ටර් මඩුගල්ලේ ...මම විනාඩියෙන් එන්නම්...." ජංගමයට ආ ඇමතුමක් සමග අවසර ලබාගෙන කාමරයෙන් රණවීර මහත නික්ම ගියේ සඳමිණි තවත් අසරණ කරමිනි...
.
" මිස් දිසානායක ගෙ සර්විස් එක කොච්චර කල්ද....? "  ඒ ගැඹුරු හඬින් සඳමිණි ගැස්සී පියවි ලොවට යළි කඩාවැටුණි....
.
" සර්.... ම..මම මෙහෙට නම්....අ...අ..අවුරුද්දයි....ඊ..ඊට කලින් පා.පා..පානදුරේ උන්නා අ..අ..අවුරුදු හතරක්..." ගොත ගැසෙන වෙවුලන හඬින් සඳමිණි පිළිවදන් දුන්නාය ....
.
" මිස් දිසානායක ....ආ යූ ඕල්‍ රයිට්...එනි ප්‍රොබ්ලම් විත් යූ....හියර්...?" මඩුගල්ලේ මහතා අසුනෙන් නැගී සඳමිණි ඉදිරියට පැමිණ ඇසීය....
.
" අනේ ස ..සර් සමාවෙන්න ...උදේ මම සර්ව දැක්කෙ නෑ....ක..කලබල්ලේට ෆයිල් එක අරන් දුවපු නිසයි හැප්පුණෙ....සමාවෙන්න සර්.."  සඳමිණි ඇඬුම් ස්වරයෙන් කියා දැම්මාය.....
.
" ඔහ්...මේ ඒකද.... මිස් දිසානායක මම ඒ සිද්ධිය එතනින් අමතක කරල ආවෙ....මිස් ඒක මේ වෙනකල් අරන් ඇවිල්ලනෙ.... අනවශ්‍ය ගැටලු ඔහොම ඔලුවෙ පුරවගන්න එක සාමාන්‍යයෙන් හැටිද ....නැත්තං ...???"  මඩුගල්ලේ මහතා සඳමිණි ගේ දෙසට නැඹුරු වෙමින් සිනාවෙමින් පැවසීය.....
.
" ජස්ට් ලීව් ඉට්... සිම්ප්ලි...." ඔහු මඳ සිනහවකින් යළිත් පැවසීය....
.
හිතේ වූ මහා ගින්න දිය දහරකින් නිවී යන්නා සේ සඳමිණි ට හැගුණි....

***************************

" උඹට කියන්න බී...මං ඇඬිල උන්නෙ..." සිදුවූ සියල්ල බියංකා හමුවේ සවිස්තරව කියාගන්නට හැකිවූයේ හවස වැඩ ඇරී යන ගමන් ය....
.
" ලොක්කා වස පාට උනාට හොඳ මනුස්සයෙක් වගෙ නේද ....කට්ටියට හිතූ හිතූ තාලෙට නම් නටන්න හම්බෙන්නෙ නැති හැඩයි... මං දැක්ක නිහාල් ලොක්කාගෙ එහෙම මූණු ඇද වෙනව ....කතාවෙදි.... "බියංකා සිනහවෙමින් පැවසුවාය.....
.
" හෙට මට කොතනට විසි වෙන්න වෙයිද කියල මම මේ හිතන්නෙ....සර් හිතුවද දන්නෑ මං මෙලෝ වගකීමක් නොගන්න පිස්සු හෝන්තුවක් කියල....."
.
" පලවෙනි කෑල්ලට එකඟ විය නොහැක...නමුත් දෙවැන්නට අනිවාර්යයෙන් එකඟ වෙමි..... උඹ පිස්සු හෝන්තුවක් තමයි...." බියංකා අඩියක් දුරින් තබා කීවාය....සඳමිණි කුඩය ගෙන පාරක් ගසන්නට ඇය දෙසට පැන්නාය....
.
පිටුපසින් නාද වන රියක නලා හඬ යෙහෙළියන්  දෙදෙනාම තිගැස්සවීය...පාරේ අයිනකින් මෙතුවක් ගමන් කල දෙදෙනා කතාවද සමග මඳක් පාර මැදට විත් බව වැටහුණේ එවිටය....දෙදෙනාම මාවත අයිනට පැන්නේත් රිය එක්වනම ධාවනය වූයේත් මොහොතක් වෙලා ගනිමිනි....
.
" හරිනෙ.... ඇයි බං අපිටම මෙහෙම වෙන්නෙ...අර ගියෙ අලුත් සර් නේද.....ඉවරයි ...ඉවරයි ...මාව හෙට කොහෙට හරි අනිවාර්යයෙන් යවනව...බලපන්කො..." සඳමිණි ඔලුවේ අතගසා ගනිමින් කීවාය......බියංකා ද ඉහලට ගත් හුස්ම බිමට හෙලා තුෂ්නීම්භූතව බලා උන්නාය.....


06. පස් වෙනි දිග හැරුම(සඳක් සේ)



සඳුදාව බෙහෙවින්ම කලබලය.. සඳමිණි වෙනදාටත් කලින් කාර්‍යාලයට පැමිණියේ තව නොබෝ දිනකින් විශ්‍රාම ගන්නා ප්‍රාදේශීය ලේඛම් තුමා ගේ ලිපි ලේඛන වැඩ කටයුතු සියල්ල සකස් කලයුතු හෙයිනි...
.
ඉතා කාරුණික මිනිසත් බවෙන් පිරිපුන් රණවීර මහතා කවදත් සඳමිණිට සිය දුවෙකුට සේ සැලකුවේය.. තම පෞද්ගලික සහකාර ලිපිකාරිණිය ලෙස සේවය කළ සඳමිණිගේ උසස් අධ්‍යාපන කටයුතු ආදියට නිතර උනන්දු කරවීම් ලැබුණේ රණවීර මහතාගේ වදන් ඔස්සේය....
.
සුධීර හා විරසකය දුර දිග ගිය දින ඔහුගෙන් වෙන්ව වෙනම ජීවත් වන්නට පටන් ගත්දා.... 
උඹ එහෙනම් මම මලා කියලා හිතාගනින්...මට දුවෙක් නෑ....
යයි මහා තරහකින් වෛරී ස්වරයකින් කෑගැසූ...ඉන් පසු තමා අතැර දැමූ තාත්තා ගේ අඩුව....
අපි ඉස්සරහට මොකද වෙන්නෙ බලමු...ඔය දරුවා හිත හදාගන්නැයි.... කියා හිස මත අත තබා සැනසුවෙ රණවීර නම් වූ මේ මහා සෙවනැල්ලයි...සඳමිණිගේ දෑස යළිත් සිහින් කඳුලකින් තෙත් වීයන්නට විය....
.
" ආ දරුවො...ඊයෙ රෑත් මෙහෙද උන්නෙ...." දොර විවෘත කරමින් කාර්‍යාලය තුලට පැමිනෙන රණවීර මහතා සිනහවෙමින් ඇසීය...

" අනේ නෑ සර්..ටිකක් උදෙන් ආවා...සර්ගෙ මේ ඩොකියුමන්ට් ටික ඔක්කොම පිළිවෙලට හදන්න ඕන නිසා...." සඳමිණි ආයාසයෙන් සිනහවක් රඳවාගෙන පිළිවදන් දුන්නාය....
.
" හෙට උදේ මීටින් එකට ඔක්කොම හරිද සඳමිණි...."

" ඔව් සර්....ඔක්කොම කලා...ඒත් සර් ආයෙ බලන්න ඔය මේසෙ උඩ ඔක්කොම මම තියල තියෙන්නෙ " සඳමිණි අතැති ලිපිගොනු නැවත කබඩයට දමමින් පැවසුවාය....
.
" ඔයා ගෙ වැඩක කවදාවත් දෙපාරක් බලන්න දෙයක් තිබුණෙ නෑනෙ දරුවො...බදාද ඉඳන් අලුත් ප්‍රා.ලේ තුමා එක්ක තමා සඳමිණි ට වැඩ කරන්න වෙන්නෙ..." රණවීර මහතා සිනහසෙමින් පැවසීය....
.
" අනේ සර්...." සඳමිණි බිඳුණ හඬින් ස්වරය අවදිකලාය....
" අලුත් සර්.... අපේ සර් වගේ ම වුණොත් හොඳයි....ඒත් ...මට හිතට හරි අමාරුයි සර්....මගේ ජීවිතේ නරකම කාලෙ...මගෙ තාත්තා මාව අතාරිද්දි....මට තාත්තා වුණේ සර්...ඒත් දැනුත් මම ජීවිතේ මහ අමාරු කාලෙක ට ඇවිල්ල ඉන්නෙ ....සරුත් ගියාම....හ්ම්ම්ම්...." 

කිසිම දිනෙක ඕනෑම දෙය
ක් පැකිලීමකින් සැකයකින් අවිශ්වාසයකින් තොරව රණවීර මහතා හමුවේ දිගහැරි සඳමිණි යළිත් එසේ දොඩමලු වූවාය...
.
" අපි හැමෝම ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන්න හුරු වුණ අය සඳමිණි ...බය වෙන්න එපා අලුත් කෙනා මට වඩා හොඳ කෙනෙක් වෙයි...හැබැයි මං තරම් වයසක පප්පෙක් නම් නෙවේ කියලයි ආරංචිය...නීතියට අකුරට වැඩ කරන කෙනෙක් කියල හාහෝවක් ආවා....බය වෙන්න දෙයක් නෑනෙ....ඉතින් එතකොට ..." රණවීර මහතා මඳක් හඬනගා සිනහවෙමින් පැවසීය....
.
දිවා අහර විවේකයේදී බියංකා සමගින් ආහාර ගන්නා අතර සඳමිණි රණවීර මහතාගේ විශ්‍රාම ගැනීම ගැන යලි ත් හඬ අවදි කලාය.
.
" තාත්තෙක් වගෙ උන්න මනුස්සයා බී....මට මාරම දුකයි.... එන සර් මොන වගෙ කෙනෙක් වෙයිද මන්ද....මට මේ තියන ප්‍රශ්න එක්ක අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන් කෙනෙක් වුණොත් හොඳයි...."
බත්පතට හිස යොමාගෙනම සඳමිණි ශෝකයෙන් මිමිණුවාය....
.
" බයක් නොගෙන හිටපන්...හෙට මීටින් එක නේද...අලුත් ලොක්කාත් එනව ඇතිනෙ...බලමු ආවම....ටිකක් ඇන්ටනාව දාල මොන වගෙද කියල..." බියංකා සිනාවූවාය....
.
.
***************************

උදෑසන රැස්වීම් ශාලාව කඩිමුඩියේ පිරීයන්නට පටන් ගෙනය...
සඳමිණි පිවිසුම් දොරට කලබලෙන් ඇවිද ආවේ රැස්වීම පටන් ගන්නට තවත් ඇත්තේ විනාඩි දහයක් පමණක් වන හෙයිනි.... කල්වේලා ඇතිව සියල්ල කලද අවසාන මොහොතේ රණවීර මහතා ට අවශ්‍ය ලිපිගොනුවක් රැගෙන ඒමට යළි කාර්‍යාලයට දුවන්නට විය....
.
පිවිසුම් දොර අසලදී තවකෙකුගේ ගත වැදී විසිව යන්නට ගිය සිරුර වාරුවූයේ දැඩිව අල්ලාගත් අතකිනි.....
.
" ආ යූ ඕකේ....මිස්...?" නෙතට ම නැඹුරු වූ දෑසකින් ගැඹුරු හඬකින් විමසනු  ඇසී සඳමිණි වසා ගත් දෑස හැරියාය....
.
" සස්...සස්....සමාවෙන්න ...මම දැක්කෙ නෑ එනව..." 
.
" ඒකට කමක් නෑ...ඇතුළට නෙ යන්නෙ...ලේඩීස් ෆස්ට්..." මඳ සිනහවක සේයාවක් පමණකින් රැස්වීම් ශාලාව දෙසට අත දිගු කල ඔහු ආපිට හැරුණේ...තවකෙකුගේ විමසීමකට පිළිතුරු දෙමිනි....
.
ස්තුතියක් වත් බලාපොරොත්තු නොවී ආපිට හැරුණ පුද්ගලයා දෙස තත්පර කීපයක් බලාඋන් සඳමිණි වහා රණවීර මහතා අසලට දිව ගියාය....නොසන්සුන් හැඟීමකින් හිත කලබල වී ඇත....
.
ඒ වචන කවදා හෝ මෙලෙසින්ම අසා ඇත....ඒ කවරදාක දැයි සිහියට නගා ගත නොහැකි තරම්‍ ය...
.
සඳමිණි උඩු තොලෙහි නැගි දාඩිය බිඳු අත්ලේන්සුවෙන් පිස දමා පසෙක වූ අසුනට බරවූවාය....
.
රැස්වීම ආරම්භයේදී කඩිනමින් විත් රණවීර මහතා පසෙකින් හිඳගත් ඔහු දුටුවිට සඳමිණිට හදවතේ ගැස්ම සිය ගුණයක් වැඩිවෙමින් දැනෙන්නට විය....
.
දෙයියනේ ඒ අලුත් සර් ද...එතකොට මං පිස්සියෙක් වගෙ ඒ හැප්පුණෙ සර්ගෙ ඇඟේද...දෙයියනේ මං මොකද කරන්නෙ...." වායු සමීකරණය කල ශ්‍රවණාගාරයේ දීද මහා දහඩියක් දමන්නට පටන් ගෙනය....
.
බියංකා හෝ ලඟක උන්නා නම්....අතකින්වත් අල්ලාගෙන හිත සනසා ගන්නට තිබුණි...ඇයද  දේශන ශාලාවේ අනිත් කෙලවරකය....
.
පස්සෙ සර්ගෙන් සමාව ගන්නව ....හිතල කල දෙයක් නොවෙයිනෙ මං....
සඳමිණි මුමුණා ගත්තාය... සභාවේ අස්කොන් සිසාරා යන ඒ තියුණු දෑස් වතාවක් හෝ දෙකක් තම වුවනත මත රැඳී යළි වෙනතකට යොමු වෙනු සඳමිණි තැතිගැන්මෙන් යුතුව බලා උන්නාය.....




05. හතරවෙනි දිග හැරුම....(සඳක් සේ)



සෙනසුරාදා සහ ඉරිදාව කාර්‍යාල සේවයෙන් මිදෙන දින දෙක හෙයින් සඳමිණි කාමරය අස්පරස් කරදමන්නට වූවාය.... කියන්නට තරම් අස්පරස් කිරීමක් නැතද... කාන්සිය මගහරවා ගන්නට කිසිදු දෙයක් කරන්නට ඇත්තේද නැති තැන....කාමරයේ බඩුමුට්ටු එහෙට මෙහෙට අදිමින් වෙනසක් කරන්නට සඳමිණි ආයාසයක් දැරුවාය....... 
.
"දරුවෝ ... සඳමිණි දූ...." 
ප්‍රධාන ගෘහයේ ගෙහිමි කාන්තාව දොර අසලට විත් අමතනු ඇසේ...සඳමිණි කඩිනමින් දොර වෙත දිව ගියාය....
.
" මොකෝ පුතේ මේ දාඩියත් දමාගෙන...." 
ඇය ඇත්තෙන්ම ප්‍රියමනාපය....සිනාමුසුව මෞහත් ගුණයෙන් සිටින්නීය...
.
" කාමරේ චුට්ටක් එහෙට මෙහෙට කලා ඇන්ටී...එකම විදියට තියෙද්දිත් කම්මැලී නේ...." සදමිණි ඇය ගේ අතින් අල්ලාගෙනම තෙපළුවාය....
.
" එහෙම තමා ඉන්න ඕන...හැම දේම වෙනස් වෙන්න ඕන...මෙන්න මේ වගෙම....මගෙ දූට වරදින්නෙ නෑ දූ...." ගෙහිමි කාන්තාව අතේ වූ පීරිසිය සඳමිණි අත තැබුවාය...
.
"අන්නේ.....පෑන්කේක් ....තැන්ක් යූ සෝ මච් ඇන්ටී.. "

" මං දන්නවනෙ පෑන් කේක් හැදුවම ආසම කෙනා කවුද කියල....ඉතින් හවස හැදුවම ඔන්න පංගුව ගෙනාවා ...."
.
නැවත වරක් සඳමිණි ගේ හිස අතගාගෙනම ඇය නික්මී ගියාය... සියලු වැඩ පසෙක ලා වැරැන්ඩාවේ පුටුවට බරවූ සඳමිණි පෑන්කේක් කොටසක් මුව ලා ගත්තාය.....
.
"තමුසෙ නම් හදන්න බෑ සඳමිණි...මොන ජරාවල් ද මේ කන්නෙ..... " පෙර දවසක නිවසේදී පෑන්කේක් සෑදූ දිනක සුධීර ගෝරනාඩු කල අන්දම විදුලි කොටන්නා සේ මනසේ ඇඳී මැකී ගියේය..... තමන් ආසා කල කිසිම දෙයකට සුධීර කැමති වූවාදැයි තමන්ටම සිතාගත නොහැකි අන්දම සඳමිණි කල්පනා කරන්නට වූවාය...
.
බොහොමයක් සුන්දර මතකයන්හි අසුන්දර සේයාවන් දැවටුවේ සුධීරමය. අද ඒ අසුන්දර මතකයන් වෙතින් ජීවිතය නිදහස් වී ඇත....එහෙත් ජීවිතයේ සුන්දරත්වය විඳගන්නට තිබූ අපූරුම අවුරුදු ගණනාවක් නිකරුනේ නාස්ති වී යාම දුකක්මය...
.
ප්‍රේමය කුමක්දැයි ජීවිතය ට හඳුනාගන්නට කිසිවිටෙකත් දෛවය ඉඩ තැබුවේ නැත. පාසල් ඉගනීම හමාර කර විශ්ව විද්‍යාලය ට ගියද ප්‍රේමයේ සෙවනැල්ලක් ජීවිතයට වැටෙන්නට තාත්තා ඉඩ දුන්නේම නැත. ඒ දරදඬු පාලනය නිසාම ප්‍රේමය හිත අහලකටවත් එන්නට කිසිදු ඉඩක් සඳමිණි තබාගත්තේද නැත ...කෙතෙක් දරදඬු වුවත් අම්මා නැති වූ දා පටන් තමා ලොකු මහත් කලේ ...රැක බලාගත්තේ තාත්තා හෙයින් ....සඳමිණි ට තාත්තා ගැන අහිතක් හිතුණේද නැති තරම්මය.....
.
ජීවිතය ගලා ගියේ මෙයාකාරවය....ඒ සියලු දේ ඉතින් දැන් අයිතිවන්නේ අතීතයට මිස කවරකටද ....? සඳමිණි සුසුමක් හෙලා ළය සැහැල්ලු කොට ගෙන නැගී උන්නාය....
.
කාමරයේ සාංකාව මැකී යන්නට ජංගමයේ ගීත ගබඩාව ක්‍රියාත්මක කල ඇය දොරවසා ලූවාය....
.
ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී 
සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමී
නුඹට සිත බැඳි කාරනේ මං තවම සොයන්නෙමී.......
.
ගීතයේ පද අතරින් නිදිසුව දෑසට එන විටත් ....සිහින් සියුම් සිනහවක් ඒ දෙතොල් අග යාන්තමට මෝදු වෙමින් තිබිණ......



04. තුන්වැනි දිගහැරුම (සඳක් සේ)



බත් පත එහෙන් මෙහෙන් කුරුටු ගාන්නාක් සේ අතපත ගාන සඳමිණි දෙස බියංකා මහත් සොවින් බලාඋන්නාය... ඇයව හඳුනාගෙන වසරකි... එහෙත් කල්ප කාලාන්තරයක් දැන උන් තරමට ඇය සිතට සමීපය...
.
සඳමිණි ගේ චාම් බව මෙන්ම ලෙන්ගතු හැසිරීම් ද බියංකා ඇය තම හොඳම මිතුරිය කරගන්නට යද්දී හේතු සාධක වූ බව පසක් කරගත්තාය..රාජකාරිමය වශයෙන් කිසිම විටක අඩුලුහුඬු කමක් ඇතිවන්නට ඉඩ නොතැබූ සඳමිණි පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් කිසිවක් සේවා ස්ථානයට රැගෙන ආවේ නැත....
.
" කට කැඩිච්ච ගෑනි....උඹ දුන්න උත්තරේ නියමයි...ගණන් ගන්න එපා බං...." සඳමිණි ගේ අත්බාහුවෙන් සෙමින් අල්ලා ගත් බියංකා මිමිණුවාය...
.
" නෑ බී....එයා අපහාසෙට කිව්වත් ...ඒක ඇත්ත...ඉස්සරහට අමාරු කාලයක් එයි...අනිවාර්යයෙන් ම...තනිවෙච්ච ගෑණියෙක් දික්කසාද වෙච්ච ගෑණියෙක් කීවම ලෝකය බලන හැටි....ප්‍රතිචාර දක්වන හැටි අපිත් දන්නවනෙ බී...." සඳමිණි මහත් ශෝකාකූල ස්වරයකින් මිමිණුවාය ...
.
" හ්ම්ම්....අපි බලමුකො බං ...ඔය හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...යං යං ඉක්මනින් කාල වැඩ පටන් ගන්න...." ....

සඳමිණි සිය අසුනට විත් ලිපිගොනු ටික පිළියෙළ කරන්නට සූදානම් වූවාය...කෙතෙක් ගැටලු ජීවිතය ට තිබුණද එය රාජකාරිය ට අදාල නොවේ...ඇය සුසුමක් හෙලා ලිපිගොනුවක් පෙරළා ගත්තාය....
.
කාලය ගෙවී ගියේ ඉබි ගමනින් දැයි සඳමිණි යළිත් අත බැඳි ඔරලෝසුව දෙස බලමින් කල්පනා කලාය...එක්කෝ මේ සිත තුළ ඇති කාන්සිය නිසාය...ජීවිතය නිදහස් වීම සම්බන්ධව සිත තුළ ඇත්තේ අප්‍රමාණ සන්තෝෂයක් වුවද ...සමාජීය වශයෙන් එන්නට පටන් ගන්නා අඳුරු සෙවනැලි....හිත අධෛර්යමත් කර ඇත...
.
කාර්‍යාලයෙන් නික්මී මගක් එනතුරු බියංකා සමගින් ආවද හතරමං හන්දියේදී සුපුරුදු ලෙස දෙදෙනා වෙන් වෙයි...
.
"බඩුමුට්ටු ඉවරයි බී....යනගමන් සුපර් මාකට් එකට ගිහින්ම යනව.... "
සඳමිණි සමුගනිමින් පැවසුවාය....
.
ට්‍රොලියද තල්ලු කරගනිමින් රාක්ක අතරේ ඇවිද යන අතර අවැසි බඩු එකිනෙක පුරවමින් ඇය කඩිනම් වූවාය...ඊයේ මෙන්ම අදත් මහ වැසි වැටුණ හොත් ත්‍රී රෝද රථය ඇනෙක්සියේ ගේට්ටුව වෙත වත් ගන්නට නොහැක....
.
බඩු මුට්ටු අඩකින් පිරි ට්‍රොලිය කවුන්ටරය වෙත රැගෙන යන විටම තවත් ට්‍රොලියක් ඒ හරහා විත් ගැටෙන්නට විය.... කඩිනම් බවකින් යුතු ඒ තැනැත්තා සඳමිණි දෙස එක් වරක් පමණක් බලා ට්‍රොලිය පසෙකට ඇද අතින් ඇයට යන ලෙස සන් කලේය...
.
"කමක් නෑ...හදිසි නම් ඔයා යන්න." සඳමිණි සෙමින් කීවාය...
.
" නෝ මැඩම් ඉට්ස් ඕකේ....ලේඩීස් ෆස්ට් ප්ලීස්...." මඳ සිනහවකින් යුතුව පිළිවදන් දුන් එම තැනැත්තා ට යළිත් ස්තුති කල සඳමිණි ඉක්මනින් කවුන්ටරය වෙත ලඟාවී බඩු බාහිරාදිය ඇය අතවූ ග්‍රොසරි බෑගයට දමාගත්තාය....
.
ආපසු හැරී නැවත ස්තුති කිරීමට බැලුවද ඔහු දුරකතන ඇමතුමකය...සඳමිණි ඉක්මනින් ත්‍රී රෝද රථයක් කැඳවාගෙන ඇනෙක්සිය වෙත පිටත් වූවාය....
.
ඇනෙක්සියට පැමිණ හෝරා භාගයක් යන්නට පෙරාතුව මහ හඬින් වැසි ඇද හැලෙන්නට විය.. අකුණු ගසමින් සුළං ඇඹරෙමින් බියකරුව කඩාහැලෙන වැස්ස ....දෙස තවත් බලා සිටිය නොහැකි තැන සඳමිණි පොරෝනයද ගෙන ඇඳට වැටුණාය....
.
නින්ද නොනින්ද අතර....ජීවිතය පුරා සිහිනෙන් ගෑ සුවඳක් බඳු අම්මා ගේ මතකය යළි යළිත් හිත පාරවමින් නෙත් අද්දර රටා මවන්නට විය...
.
අනේ අම්මේ ඔයාවත් උන්නා නම්....මං තනිවෙලා නෑනෙ එහෙනම්....
.
සඳමිණි ගේ ඉකිගැසුම මහා වැසි අතර සැඟවී නිසොල්මන්ව ගියේය.....


03. සඳක් සේ ( දෙවෙනි දිග හැරුම)



අවසන් වරටත් කණ්නාඩිය ඉදිරිපස වරක් හැරී බැලූ සඳමිණි ගෙතූ කොණ්ඩය වම් උරහිසෙන් ඉදිරියට දමා ගත්තාය.. හෑන්ඩ් බෑගය කරට දමා ගත් පසු කාමරයේ දොර සහ ඉන් පසු ඇනෙක්සියේ පිට දොර වැසීම අනිච්ඡානුගව සිදුවෙයි...
.
සතියකින් පමණ දිවා කෑම පිළියෙල නොකල නිසා ශීතකරණය හිස්ව ඇත   .
.
අද එද්දි එලවලු  චුට්ටක් අරන් එන්න ඕන.... හිතින් හිතාගනිමින් ඇය මිදුල ඔස්සේ පියමැන්නාය...පෙරදා වැස්සේ සුන්බුන් මිදුල පුරාමය...අතුගෑම කල යුත්තේ හොඳින්ම වේලුණ පසුවය...පොළවට ඇලී ගත් කොළ අතර ඇහැල මල් ද විසිරී ඇත....උදාසන සුලඟට මුසු වන ඇහැලැ මල් සුවඳ හැමෝටම නොදැනෙන්නේ මන්දැයි සඳමිණි ට සිතාගන්නට හැකිවූයේත් නැත  ..ඉස්සර පාසල් යනවිට ඇහල මල් සුවඳයි කී විට කෙල්ලන් සිනාවූ හැටිත් මතකයට එයි.....
.
බස් නැවතුමේ සෙනග එතරම්ම නැත...තරමක් උදෑසනින් මාවතට ඒම නිසා තදබදයෙන් තොරව කාර්‍යාලයට යාමේ හැකියාව සැලසේ....තව පැය බාගයක් යනවිට ඊස්මීස් නැතිවෙන අන්දමට බස් නැවතුම පිරීයයි.....එතනින් එහාට බසයට නැගීමම යුද්ධයකි....බහින විට සාරිය අතට ගෙන බහින්නට සිදුවෙන තරම්‍ ය ....
.
බසයේ අසුනකට බරවෙමින් ජීවිතය ගැන යළි යළිත් ආවර්ජනයට සඳමිණි ගේ සිත දිවයන්නට විය... සුධීරගේ ආගමනය සහ වෙන්වීම අතර ගතවූ අවුරුදු පහ.... කිසිත් පලක් නැති කාලයක් ම විය.... ජීවිතයේ තමාට හෝ රටට කිසිත් පලක් නැති ව ගතවූ වටිනා ම අවුරුදු පහ ගැන සිත විස්සෝප වන්නට පටන් ගෙනය....
.
"ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ගාව බහින්නෝ....."
එජීඔප්පීස්...ඒජීඔප්පීස්....
.කොන්දොස්තර කොලුවාගේ බෑඟිරි හඬ සමග දෙපා පුරුදු ලෙසම ඉදිරි දොරවෙත ඇදේ  .....
.
ආ මිසී..... කටකමිස්සිරියාවක් නැති කොන්දොස්තර කොලුවා කෑගසන්නේ පුරුදු ලෙන්ගතු කමටය....
.
සඳමිණි සිනහවකින් පිළිතුරු දෙමින් බසයෙන් බැසගත්තාය ...පාරේ දුම් වලාවක් නගමින් බසය ඇදීගොසිනි....
.
" අහ් මැණිකෙ....ආවද උඹ...?" බියංකා සිනා අහුරක් ගෙන ඉදිරියට එන්නීය ..පුරුදු සොහොයුරු ලෙන්ගතු කම ...කිසිම විට අවුරුදු ගණනටම නොවෙනස් වූ දයාව හිත සැහැල්ලුවකින් පුරවාලයි ..
.
"යමං යමං ...බඩගිනී....මං උඹට එක්ක කන්න ගෙනාව අදත්  .. හැබැයි රජෝ හෙට ඉඳන් උඹෙ ටර්න් එක.... "
.
බියංකා කෑම පාර්සලයද අතට ගෙන ඉස්සර වූවාය.....
සඳමිණි බෑගයද කුඩයද මේස ලාච්චුවට දමා යතුරු ලා බියංකා සමගින් එක්වූවාය ....
..
" ආ ...නඩුව ඉවරලු නේද සඳමිණි...." ආයතන අංශයේ පෙරේරා මිස්....පලමු බත් කට උගුරෙන් පහළට යන්නට පෙරම මේසය වෙත විත් මහ හඬින් ඇසුවාය....හත් අට දෙනෙක්ගේ ඇස් නිතැතින් ම සඳමිණි දෙසට එල්ලවිය  ..ඇය සිනහවක් පමණක් හෙලා බත්පතට මුහුණ හැරවූවාය....
.
"ගෑණියෙක්ට ඉතින් දික්කසාද උනා කියන්නෙ ....ඉස්සරහට බොහොම අමාරු කාලයක්...වෙනව...හ්ම්.."
.
අඬන්න සිටින්නාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් වෙන්නට යන බව දැන් ඉතින් පැහැදිළිය  ...
.
" අමාරුවක් කාලයක් ආවොත් මම මිසිස් පෙරේරට කියන්නම්කො...දැනට මොකුත් ගැටලුවක් නෑ....අනේ ස්තුතියි මිසිස් පෙරේරා .." කටට කොහෙන් වචන ආවාදැයි සඳමිණිම නොදත්තාය....බියංකා හිචිස් ගා අහක බලාගත්තීය.. මිසිස් පෙරේරා ආ වේගයට වඩා වේගයකින් ගස්සාගෙන යනු සඳමිණිගේ නෙත් කොණට හසුවිය..
.
සිහින් සිනාවකට යටින් දැවිල්ලක් සේ මතුවන ලැජ්ජාවක සේයාවක් ඇයට දැනෙන්නට පටන් ගත්තේ එවිටය....





02. පලමු වෙනි දිග හැරුම (සඳක් සේ)



දින ගණනාවක් තිස්සේම වැස්ස පොළවට කඩා වැටුණේ...තරහක් පිරිමහන්නාක් මෙනි...මුලු පරිසරයම වැස්සෙන් හෙම්බත් වුවත්....වැස්ස නොකඩවාම තුරු පත් මතට පහර දෙන්නේ...කිසිදු අනුකම්පාවක් නැතිලෙසිනි....මිදුල පුරා ම තැන තැන දියකඩිති අලුතින්ම සෑදීගොසිනි...ඇනෙක්සියේ මිදුල හරහා ප්‍රධාන ගෘහයේ මිදුලෙන් එන වතුර පාර ගලාගොස් පාරේ කාණුවට වැටෙන හඬ වැස්ස අතරින් ඇසේ....
.
දෑත උරහිසේම දවටාගෙන නිනව් නැතිව බලාඋන් කාලය තත්පර, විනාඩි ඔස්සේ පැය වලටත් හැරෙන්නට ආසන්නය..කිසිවක් කරගන්නට හිත ඉඩනොදෙන අඳුරු කුසීත කමකි...
.
ජංගමය හෙමින් හඬතලනු ඇසේ....පියවර ගණනාවක් දෙපා ඇදෙන මොහොතට එය විසන්ධිවී ගොස්...දෙවන වරට හඬනගන්නට පටන් ගෙනය....
.
" නින්ද ගිහින් ද උන්නේ...." බියංකා සිනහවෙමින් අසන්නීය....
.
" නෑ බං ....වහින දිහා බලන් උන්නා...පුදුම කම්මැලි කමක් එන්නෙ...."
.
" සඳ.... උඹ තාම ඉන්නෙ අවුලෙන්ද.....අද වෙච්ච දේට...."
සඳමිණි ට බරැති සුසුමක් හෙලුණේ....ඇස් කෙවෙණි පැටලෙන තෙතමනය සමගිනි.....
.
" අවුලක් නෑම කියන්නත් බැහැ.... ඒ වුණාට එච්චර ම ගාණකුත් නැහැ...." සඳමිණි සිනාවෙන්නට තැත්දරමින් තෙපලුවාය....
.
" උඹ මේ සමාජයට හොඳ වැඩියි බං.... නොකල වරදකට දුක් විඳින්නෙ ....නිකරුණේ....."
.
" කමක් නෑ බී.... කවදාහරි ඇත්ත එළිවෙනවනෙ...මට අද හරි හිතට සැනසීමයි....මෙච්චර කාලයක් මං උන්නෙ තීරණයක් ගන්නෙ නැතුව...හිරවෙලා .... අද මං නිදහස් ...."
.
සඳමිණි සැබවින්ම සැහැල්ලුවෙමින් සුසුමක් හෙලුවාය ....ජීවිතේ ගතවූ තිස්පස් වසරටම නොවිඳි තරමේ සැහැල්ලුවක් ජීවිතය පුරා පැතිරෙමින් තිබේ ......
.
" මම වන්දියක් නොඉල්ලාම පැත්තකට වුණේ.. මේ නිදහස මට වටින නිසා බී.....වන්දි ඉල්ලුව නම් සුධීර තව මේක අදිනව...."
.
" ඒක ඇත්ත....ඌ මහ කුණෙක්....අන්තිමේ ඌ ඌට වාසිවෙන්න තීන්දුවත් ලියාගත්තා .....උඹට අනාගතයේදි ඕක පාඩුවක් වෙන එකක් නැද්ද සඳ....." බියංකා නොඅසා අසන දේ සඳමිණි එකලෙසින්ම වටහා ගත්තාය .....
.
" මොන පාඩුවක් ද බී.... මට ආයෙ චරිත සහතික ලියවගන්නද....නැත්තං ආයෙ කසාදයක් බඳින්නද....ඔය දෙකටනෙ ....ඕක බලපානව නම් .....මට ඒ දෙකම අදාල නෑනෙ බී...."
.
" මේ මේ....එක අයින් කරපන්....මොකෝ දෙක...අපි දන්නවෑ කාලයක් යද්දි...ජීවිතේ සරසන්න මල් දුන්නෙන් කවුරු හරි විදීද කියලා...." බියංකා ගේ හිනාව සඳමිණිගේ මුවෙහිද බොහෝ වේලාවකට පසු හිනාවක් උපදවාලන්නට විය....
.
" අනේ පලයන් බං.....විදින්න .....මේ විදපු තුවාල වල අමාරුව මතක තියන කල්....ජීවිතේ ට පිරිමි නම් එපා....."
සඳමිණි හෙලූ සුසුමේ බර සහ වේදනාව බියංකා ට මැනවින් වැටහිණ...
.
" හරි හරි හෙට වැඩට එනවනෙ... දැන් ඇති කෝප්ප හේදුව...මොනව හරි උයල කාපන්කො...මම තියන්නම්....බුදුසරණයි වස්තුවෙ... "
.
" බුදුසරණයි බී....ගුඩ් නයිට්..." සඳමිණි ජංගමය හෙමින් පසෙක ලා නැගී උන්නාය...රාත්‍රිය උදාවී හෝරාවක් දෙකක් ගතව ගොසිනි....කෑමට යමක් රත් කරගත යුතුව ඇතත් හිතේ ඇති අලස බව එයට ඉඩ නොදේ....
.
කාමරයේ පසෙක ඇති මිනි ශීතකරණය හැර යෝගට් පානයක් අතට ගත් සඳමිණි වැරන්ඩාවේ කොණක ඇති පුටුවට හෙමින් බරවූවාය....
.
ජීවිතය මහා පරීක්ෂාවකි....එය දන්නා කලක සිටම තමා පරීක්ෂාවට ලක් කරමින් සිටී...සුධීරගේ නීත්‍යානුකූල වෙන්වීම ජීවිතයේ ලොකු වෙනසක් ලෙසින් සඳමිණිට නොහැඟෙන්නට වූයේ වසරකට නොඅඩු කාලයක් සුධීරත් තමා ත් උන්නේ වෙන්ව ජීවත් වෙමින් නිසාවෙනි....එහෙත් හෙට සිට තමා දික්කසාද වූ ගැහැණියකි....ලෝකය තමා දෙස බලන්නේ අවලංගුවූ කාසියක් ආකාරයෙන් නොවේදැයි ඇයට සිතිණ...
.
ඒ හැඟීම සිත පෙලන්නට පෙර ..... ජීවිතයේ මේ ඉක්මනින් ලැබුවාවූ නිදහසේ සැනසීම.....සඳමිණි ගේ සිත පහන් කරවමින් උතුරායන්නට විය....
.
ඈත කොහේ හෝ එකොලහේ කණිසම වදිනු ඇසේ....සඳමිණි වැරන්ඩාවේ දොර පියන වසා දමමින් කාමරයට ඇතුල් වූවාය....
.
හෙට දවස ....එන විදියකට බාරගන්නට සිත ට හයිය ඇති තරම ගැන තමාටම විශ්වාසය....ඒ සුවදායක හැඟීමද සිත දවටාගෙන සඳමිණි සෙමින් දෑස් වසාගත්තාය .....



01. සඳක් සේ - නවකතාව

ජීවිතය ආදරයෙන් මිදීගිය දවසක ලෝකය කෙතරම්ම අවර්ණ වේද....?
.
ආදරය.... ජීවිත පුරා සෙනෙහසින් වර්ණ ගන්වන විට.... ඉතින් කෙලෙසක එය ප්‍රතික්ෂේප කරන්නද.... ?

සඳමිණි දිසානායක....

ඇය.....
ජීවිතය සහ ආදරය අතර පරීක්ෂාවන්ට අනන්ත අප්‍රමාණව ලක්වෙමින් සන්තුෂ්ටියේ මාවත සොයායන්නීය.....
.
උදාර මඩුගල්ලේ.....
.
ඔහු...
රාජකාරිය දේවකාරියට වඩා ඉහළින් තබා....
එයින් ජීවිතය දකින්නේය....
.
ඉතින් ඒ හැරුණු විට අවශේශ බොහෝ චරිතයන් සමගින්.....
.
මගේ පළමු සයිබර් නවකතාව....

මෙසේ ලියාතබමි

* සඳක් සේ *