Showing posts with label විසිරි සිතුවිලි. Show all posts
Showing posts with label විසිරි සිතුවිලි. Show all posts

Saturday, October 14, 2023

පුරු පුරු කතා

 පුරු පුරු කතා


උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....

මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....

කලුපාට දිග කලිසම  පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස්‍ රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....

අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන්  වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...

අදටත්  පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....

ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....

විසිරි

Saturday, October 7, 2023

පුංචි සතුටු කතාවක්...❤️

 පුංචි සතුටු කතාවක්...❤️








තරුවක ලියවුන කවියක් ලියලා ඉවර වෙලත් කාලයක් ගිහින්. ජීවිතේ හුඟක් වෙනස්කම් වුණා. මගේ පවුල, මගේ ආදරණියයන් ගෙන් සමු අරන් දුර රටකට ඇවිල්ලා ගත වෙන දෙවැනි මාසයත් උදා උනා.මේ රටට ආව නිසාම නොවෙයි, ඒ උනාට මගේ ලිවීමේ මන්දගාමී බවක් වෙන්න අරන් දැන් ටික කාලයක්. එහෙම කාල අපි හැමෝටම එනවා. ඉතින් කලක් ගිහින් හරි ඒ රික්තකයෙන් මම මිදේවි කියල මම බලාපොරොත්තු වෙනවා.

මම මෙහෙට ඇවිත් දෙවැනි මාසයත් උදා වුනා. ගෙදර , මගේ ආදරණිය ස්වාමිපුරුශයාණෝ වගේම කොල්ලෝ දෙන්නා...මගේ බලු කෙල්ල...ඇතුළු සහෝදරයෝ, නෑදෑයෝ ඔක්කොම ගෙන් දුරස් වීම හැරෙන්න මට මෙහෙ ජිවිතේ ඇත්තෙන්ම අමාරු නැහැ. රැකියාව අවුරුදු විසි අටක් කල එකමම නිසා පරිසරයට අදාලව රටට අදාලව භාෂාවට අදාලව වෙන වෙනස්කම් හැරෙන්න ඒකෙ මහා අභියෝගයක් මට ඇත්තෙත් නැහැ.

මං හැමදාම ආසා කලේ සතුටින් ඉන්න. මගේ ජිවිතේ ඇත්තෙන්ම සරල එකක්. ඉතින් සරල වෙනකොට ඒ සතුට හොයාගන්න එකත් ලේසියි. ඒ වගේම තමයි මම හැම තිස්සෙම ලංකාවේදී උනත් සතුටින් ඉන්න හුඟාක් කාරනා මගේම අවටින් හොයාගත්තා. මාව දන්නා ඔයාලා එක මගේ මුහුණු පොතෙන් පවා දකිනවනේ. මලක, කුඩා කෘමියෙක්ගේ, කොලයක, දියපාරක...ඔය ඕනෑම දෙක මට සතුට සොයාගන්න පුළුවන් කමක් තිබුනා.

ඉතින්...මං  ලිව්ව කතා වල උනත් මං දකින විඳින සතුට මම ලියලා තිබුණා හැමවිටම. මෙහෙට ඇවිල්ලත් සුපුරුදු ඇවිදිල්ල , පින්තුර ගැනිල්ල අඩුවක් නොකරම කලත් ලිවීම කෙරුනෙම නැති තරම්. 

නමුත් හැමම හැම දවසක්ම මට ලියන නිමිති අරන් ආව දවස්. ඒත් මං හිතන්නේ මම කාලය ගත්තා. ලියන්න අවශ්‍ය වගේම සුදුසු වෙලාවක් එනකල්.අද එහෙම දවසක්. ඔව් නොලියාම බැරිම දවසක්.ඉතින් මගේ නිහඬ බව මොහොතකට බිඳලා මම මේ සටහන  ලියනවා.

ආව දවසට දවස් ගානකට පස්සේ ඉඳන් මම මෙහෙ රෝහලක වැඩ පටන් ගත්තා. ඉතින් මට රැකියාව කියන එකේ අභියෝග වලට සෑහෙන්න මුහුණ දෙන්න වුනා. භාෂාව ගැටළුවක් නොවුනත් කාර්ය මණ්ඩලයෙයි , රෝගීන් ගෙයි උච්ඡාරණය කියන්නෙම අපබ්‍රංශ තත්වයක් අරන් ආවා හුඟක්  වෙලාවට. 

ඒත් හැම කෙනෙක්ම මට කිව්වේ එක දෙයයි. 

No hurry, Take your time...

නමුත් මෙහෙ වැඩට එන හැම දවසකම මට නොඅඩුවම ලැබෙන එක දෙයක් තිබුණා. ඒ තමයි හා දොළොස් දෙනෙක්ගේ සිනා මුහුණෙන් එන සුබ පැතුම්.

hello ... how are you? how was your week end? how's your day?

විවිධාකාර මාදිලියෙන් අහන එකම දෙය. මම ඇත්තම කියන්න ඕනේ..මම රැකියාව කල කිසිම සේවා ස්ථානයක මට ගැටළු සහගත කාර්ය මණ්ඩල හමුවෙලා නැති තරම්. විශේෂයෙන්ම කිව්වොත් අවසානයට මම සේවය කල ස්ථානය. එතන මට තිබුනේ මගේ දෙවැනි ගෙදර , මගේම පවුලක හැඟීම...

ඒත් ..මම දැන් ඇත්තෙන්ම දන්නවා එතැනදී පවා මට හැමදාම හැම කෙනෙක්ගෙන්ම  "ඔයාට අද කොහොමද?" කියලා අහන්න ලැබුනේ නැහැ.

ඒකෙ වැදගත්කම කොච්චරද කියන්න මට අද වෙනකොට හොඳින්ම තේරෙන්න අරන්....

ඉතින් අද වෙනස්ම දවසක්...මේ ඔක්කොම උනේ හවස වැඩ ඉවර වෙලා බස් එකට එන අතරේ. බස් නැවතුම් පලට යන්න පාර පනිනකොට බස් දෙකක් මට එහායින් මාරුවෙනවා දෙපසට. ඒ රියදුරු මහතුන් දෙදෙනා එකිනෙකාට ආචාර කරමින් මාරුවෙනකොට මට ඇත්තෙන්ම සිනහවක් මගේ මුහුණට එන්න ඇති. ඒක දැක්ක මගේ පස බස් රථයේ රියදුරු මහතා මට ලොකුම ලොකු සිනහවක් එක්ක අත  වැනීමක් කළා.

ඒක ඇත්තෙන්ම හරි ලස්සන හැඟීමක් මට එකතුකලා. ඉතින් ඔහුටත් අතවනාගෙන පාර මාරුවෙලා මට අදාළ බසය එනකල් මම බස් නැවතුමේ ඉන්නකොට මට අදාල බසය එනකල් මට වටපිට බලන්න හුඟක් දේවල් තිබුනා. මගේ රෝහල ආසන්නයේ කඳු ගැටයක් එක්ක ලොකු වන රොදක් තියනවා. ඒක ඇතුලේ බංකු වල ඉඳහිට අයෙක් වාඩිවෙලා විවේක ගන්නවා.

මට අදාල බස් රථය ආවම ඒ බසයට නැග්ග හැම කෙනාටම ඒකෙ රියදුරු මහතාගේ සිනහව එක්ක අර සුපුරුදු කතාබහ එනවා...

hello how are you today?

මේක නිතරම අහන්න ලැබෙන්නේ නැහැ බස් එකේදී නම්. නමුත් මේ බසය ටිකක් කාර්ය බහුල බවින් අඩු එකක්. තරමක් දුර ගියාට පස්සේ එක නැවතුමකදී බසයෙන් බැස්ස වයසක මගියෙක් ආපහු ඉදිරි දොරෙන් රියදුරු වෙතට ගියා.

ඔහු රියදුරු මහතාට ස්තුති කල වාර ගණන හත් අට වතාවක්.පැහැදිලි හේතුවක් මම නොදැන උන්නත් ඔහු කියූ දේ නම් මට හොඳින්ම ඇසුනා.

thank you , thank you so much..yes I have to say..you are one of best driver i have ever met...thnak you...thank you...

හේතු කාරනා මොකක් උනත් ඒක දන්නේ ඒ දෙන්නා විතරයි. සමහර විට බස් එකේ යන කාඩ් එක ඉවර වෙලා ඒ නිසා එක්ක යන්න ඇති...එක්කෝ දුර ඉඳන් දුවල එනකල් නවත්තන ඉන්න ඇති...ඔය මොකක් හෝ එකක්...

නමුත් ඒ ස්තුතිය රියදුරු මහතාට විතරක් නෙවෙයි අහන් උන්න මටත් ඇතිකළ සතුට කියා නිමකරන්න බැරි තරම්.

මගේ දෙවනියට මාරු වුන බසයේ මට එහා පසින් සිටි කාන්තාව පකිස්තානු ජාතික කතක්. ඇය රටට අලුත්..මං වගේම...නමුත් ඇය උන්නේ ගැටලුවක.බහින නැවතුම් පල ගැන අවබෝධයක් නැතිව. ඇයගේ සැමියා ඇයට දුරකතනයෙන් උපදෙස් දෙන බවක් පෙනුනත් ඇය ට  බියක් නොසන්සුන් කමක්...තිබුනේ.

භාෂාව පිලිබඳ ගැටළුවකුත් තදින්ම ඒ මොහොතේ ඇයට තිබුනා.

help me...

ඇය මවෙතට හැරී කීවේ ඇයට බසින්නට අවශ්‍ය නැවතුම් පල ගැන ඇයට සොයාදෙන ලෙස. මාසයක් බස් වල ගිහින් පොඩි වැඩකාරියෙක් බවට මම මේ වෙනකොට පත්වෙලා උන්නත් මුල්ම දවස්වලත් මාත් කන්දෙක රතුකරන් තමයි බස් වලට මාරුවුණේ.

අවසානයේ ඇය බහින්නට යන මොහොතේදී ඇය මට කිවේ එක දෙය යි...

I will never forget you my lifetime...

සමහර විට ඇය මට ජීවිත කාලය තුල යලි හමුවෙන්නට ඇති ඉඩකඩ ලක්ෂයකින් පංගුවක්.ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඇයට ආයේ දවසක බස් එකකට නගින කොට මාව මතක් වෙයි..අනිවාර්යයෙන්ම. ඇයට ජංගම දුරකතනයට බාගත කරගන්නට දුන් සෙවුම් මෙවලම දකින කොට ඇයට මාව මතක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.

නමුත් එහෙම නොවුනත්.....ඉතින් අද දවසම මට එක්කළේ සතුටක් කියන එක මට අමතක වෙන එකක් නැහැ.

සතුට ...ආදරය..හෘදයාංගම බව..බෝවෙන සුළුයි...අන්න ඒකයි මට කියන්න ඕන වුන දේ. සමහරක් විට මට අර මූලික අත්දැකීම් නොවුනා නම් මාත් විඩාබර ව බසයේ ජනේලයට ඔලුව තියන් නිදාගන්න තිබුනා. නැත්නම් මුහුණු පොතේ යමක් බලන්න තිබුනා. එත් මේ හැම දේම උනේ අර මුලින්ම මගේ හිතට සතුට ගෙන ආව ඒ අය නිසයි...

මං උගත් පාඩම අන්න ඒක ...සතුටින් ඉන්න...සතුට බෙදන්න..ඒක බෝවෙන සුළුයි....



මම 

විසිරි සිහින

Tuesday, March 31, 2020

126. ඒ ආදරය අමතක කල හැකිද....?

ඒ ආදරය අමතක කල හැකිද....?



ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්....කෙනෙක්ට තමන්ව තමන්ව ලබා දෙන්න වගේම තමන්ට තමාව අහිමි කරලන්නටත් මේ ආදරය කියන දේට මහ බලයක් තියනව....

අපි ජීවිත කාලෙදි හමුවුණ විවිධාකාර අයට විවිධාකාර පරිමාණ වලින්, අර්ථකථන දෙමින් ආදරය කරනව....සමහර ඒවා හිමි කරගැනීමේ ආත්මාර්ථයෙන්ද...සමහරක් ඒවා එසේ නොමැතිවමද හට ගන්නා ඒවා....

ඒත් කෙනෙක් ජීවිතයේ ආදරය වටහා ගන්නේ උපන් දා සිට...අම්ම තාත්ත කියන්නේ ඒ ආදරයේ උල්පත්. නමුත් හුඟක් අය ජීවිතයේ වැඩෙන කොට ඒ පළමු ආදරණීය හිත් වලට ඇති වටිනාකම ටික ටික අඩු වේගෙන යනවා....තමන්ට ඇති වගකීම්, යුතුකම් එක්ක අර මුල්ම ආදරණීයයන් මඳකට පසෙකට යැවෙන්න ගන්නව.... සමහර සාධාරණීකරණය කල හැකි හේතු මෙතන නැතිවා නොවෙයි...

න්‍යෂ්ටික පවුලකට වඩා විස්තීර්ණ පවුලක වටිනාකම දන්නේ එහෙම පරිසරයක උන්න අය...මම මගෙ සීයලා ආච්චිලාට මගෙ අම්මා තාත්තා සලකපු හැටි දෑසින්ම දැක්කා.. ඒ ආදරය අපරිමාණයි...

ඒත්....සමහරක් දෙමවුපියන් දරුවන්ගේ ජීවිත වලින් එළියටම වැටෙනවා...ඒකට සමහරක් විට හේතු වෙන්නෙ දෙමවුපියන් ගේ අතීත ගැටලු සහගත භාවයන් වෙන්න පුලුවන් ...එහෙමත් නැත්නම් දරුවන්ගේ ජීවිත වල ඇති දුෂ්කරතා වෙන්නට පුලුවන් .. ඒ කිසිවක්ම නැතිව දරුවන්ට දෙමවුපියන් අත හැරී යන්නත් පුලුවන් .......

ඒත්...අපේ මේ ජීවිතය හරි ම කෙටියි...ආදරය කියන්නේ ඒ කෙටි ජීවිතය ට ආශීර්වාදයක් ...ඒ නිසා ඔබේ දෙමවුපියන් ඔබට ලබා දුන් මේ ජීවිතයට මුලින්ම ස්තුති වන්ත වෙන්න...ඔවුන්ගෙන් ඔබව යම් තැනකදි අතහැරුණා නම් ඒක දැන් අමතක කරන්න.....

ඔබෙන් ඔවුන්ව අතහැරී ගොස් නම් ඒ දේ හදාගන්න...ඒකට එක් කාරුණික වදනක්...දුරකතන ඇමතුමක්...ප්‍රමාණවත්....

පසු ගිය දාක මගෙ තාත්තා එක්ක අපි පොඩි විනෝද චාරිකාවක් ගියා.... වියපත් වේගෙන යන වයසේ උන්නත් තාත්තා එදා අපි එක්ක අපෙ දරුවන් එක්ක උන්නෙ අමුතුම ජීවි බවකින්.....

තාත්තා ඒ ගමන අතරෙදි එක තැනකදි මෙහෙම කතාවක් කීවා....

" මෙහෙම දරුවො ටිකක් හදපු එකේ සතුට කොච්චර ද කියල මට දැනෙන්නෙ දැන් දෝණී..."

ඊට එහා ජීවිතේ ට අහන්න සුන්දර දෙයක් වෙන තියද ...දරුවෙක්ට

විසිරි සිහින

125. සිහින වලට පාට දෙන්න...

සිහින වලට පාට දෙන්න...

ජීවිතයේ ඉලක්ක වලට අපි යනකොට අපිට තියන ලොකුම ගැටලුව තමයි ඉවසීමක් නැති කම...ඒ වගේම සෑහීමකට පත් වෙන්නෙ නැති කම....
ඉතින් මෙන්න මේ කාරණා දෙක ගැන මට ටිකක් ලියන්නට හිතුණ...

ඇයි අපි අපේ ඉලක්ක වලට යනකොට සම්පූර්ණ ටාගට් එක ට යනකල්ම අපි සාර්ථක බව පිළි නොගන්නෙ... අවසානය දක්වාම ඇයි නොසන්සුන්...නොඉවසිලි.....

ඇයි කෙනෙක්ට බැරි....ඉලක්කයට යන මාවතේ මග හමුවෙන ජය කණු වලදී හදවතින්ම සතුටු වෙන්න.....

සැතපුම් සියයක් නම් ඔබ යන ගමන එයින් සැතපුම් දහයක් ගියා කියන්නෙ 10% ක ඉලක්ක සපිරීමක්....ඒත් ඒ දහය ගැන සතුටු වෙනවා වෙනුවට අපි ඉතුරු 90% ගැන කාන්සාවෙන් වද වෙනවා

ඉවසීම බොහෝම අඩුයි..අපේ හැම ඉලක්කයක්ම SMART වෙන්න ඕන...

SMART කියන්නෙ මේකට

S = SPECIFIC
M = MEASURBLE
A = ACHIEVABLE 
R = REALISTIC
T = TIME BOUND

ඉතින් මේ අංශ පහට ඔබේ ඉලක්ක අදාල වෙනවා නම් අදාල කාල පරාසය ගැන ඉවසීමෙන් හිතන්න ඕන...ඕනම ඉලක්කයකට නිශ්චිත සහ සාධාරණ කාලයක් වෙන් කරන්න.....

ඔබේ හැම සාර්ථකම පියවරකදි ඔබ ඔබ ගැනම සතුටු වෙන්න....ඒක ඔබට ඔබ වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම ප්‍රසංශාව....

විසිරි සිහින

Sunday, April 7, 2019

105. ආදරය පමණක්......දෙන්න.

ආදරය පමණක්......දෙන්න.

උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා.....
මට මතක් වුනෙ

ඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ....සිංදුව..
ඒත් ...මේ මගේ සාරි පොටෙන් අදින්න එහෙම අය නැති නිසා හැරිලා බැලුවෙ විමසිල්ලෙන්....

අපූරු ඉලන්දාරියෙක්...
ඇස් වලින් ඉඳලම හිනාවෙනවා....
මං ඇහුවා .....ඇයි මොකද කියලා....
සාරි පොට උදුර ගන්න ගමන්.....
මගෙ කටහඬින් තවත් උද්දාමයට පත් වෙච්ච එයා මගෙ වටේ නටන්න ගත්තා ඒ ගමන....
.
ඔව් ..ඔව් ..මේ අපූරු බලු ඉලන්දාරියෙක් ගැන මං කියන්නෙ....
ඇත්තෙන්ම හරි හුරතල්...නමුත් නොදන්නා සතෙක් නිසා " හා හා ඔයා ගෙදර යන්න " කියලා මං හැරිලා ආවත්..මෙයා මා එක්කම එනවා....

බෑගයේ උදේ කෑම එක මතක් වෙලා හෙමින් කෑම පෙට්ටියෙන් පාන් පෙත්තක් අතට ගත්තා දෙන්න....හැරිල බලන කොට එයාට අලුත් යාලුවො හම්බෙලා....

ආච්චි අම්මා එක්ක ගමනක් යන්න එන පොඩි ගෑණු දරුවො දෙන්නෙක්....
එයාට හිතෙන්න ඇති ...අන්න මගෙ වයසෙ කෙලි පොඩ්ඩො දෙන්නෙක්..මෙයා ඕන්නෑ මං එයාල ලඟට යනව කියල....මට දක්වපු පිලිගැනීමට එහා ඒ දැරිවියන්ට මෙයාගෙ තිබුණෙ...එක නැටිල්ලයි....ආච්චි අම්මා අමාරුවෙන් දරුවො අරන් ස්ටේශමට ආවා....අරයාව එළවලා.....

පසු ගිය දාක අහන්න ලැබුණ අවාසනාවන්ත සිද්ධිය ගැන මට ආයෙම මතක් වුණ....මටත් බලු සුරතලුන් දෙන්නෙක් ඉන්නව....ඇත්තෙන්ම ඔවුන් ගෙදර සාමාජිකයන් ගණනට ම වැටිලා ඉන්නෙ...

ඔවුන් අපිව තේරුම් ගන්න ආකාරය, අපිට ආදරය කරන ආකාරය කොන්දේසි විරහිතයි...උදේ ගෙයි ඉස්සරහ දොර අරිනකොට මාස ගාණකින් දැක්කා වගේ ඇඟට පණින්නෙ...ඔලුව අතගාලා ආදරේ පෙන්නලා උයන්න යනකොට දෙන්නා ඇවිත් කුස්සියෙ දොර ළඟ ඉඳන් එයාලගෙම භාෂාවෙන් එක එක සද්ද දානවා...උදේට වැඩට යන වෙලාවට පස්සෙන් ගේට්ටුව දක්වා පස්සෙන් එන්නෙ සමුදෙන්න...ආයෙ හවස එන වෙලාවට ගේට්ටුව ලඟ ඉඳන් පසු ගමන්....කඩේට ගියොත් ආයෙ එනකල් ගේට්ටුව ලඟ.....කිසිම දෙයක් බලාපොරොත්තු නොවී....එකම ආදරණීය වචනයක් ඔවුන්ට ප්‍රමාණවත්......

එහෙම සතුන් ට ආදරය කරන හිතට අර වගේ ආරංචියක් දරා ගන්න අමාරු වුණා...
ඉස්සර අපේ සීයා ....ගෙදර හරක් හැදුවා...කිසිම සතෙක්ට ගහල නැ...පුතා කියල කතා කලේ...පුදුම සැලකිල්ලකින්....

මිනිස්සුන්ගෙ මිනිස්කම් මෙහෙම ගිලිහිලා යන්නේ....ඇයි ...
කෲරත්වය මිනිස් හිත් වලින් අතුගෑවිල යන්න අවශ්‍යම කාලයක් මේක...
මනුෂ්‍යයෙක් ට වගේම සතා සීපාවාටත් ගහ කොලටත් ආදරය විඳින්න...ආරක්ෂාව ලබන්න...අයිතිය එක සේම තියනවා....

ආදරය පමණක් දෙන්න...ඔවුන් බලා ඉන්නේ එය පමණයි

විසිරි සිහින