Tuesday, March 29, 2022

11.එකොලොස් වෙනි කොටස ( හසරැල් සැලුනාවේ)

 


සරෝජ් හිරිපිටිය නීති විද්‍යාලයෙන් සමත්වී නීතිඥවරයෙකු වශයෙන් කාලයක්ම ජනප්‍රියතාවය හිනිපෙත්තේ ඉහළටම නගිමින් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කරගනිමින් උන්නේය. මා හට නොදැනෙන්නට රත්නායක නිවසට ඉඳහිට පැමිණ ගොස් තිබූ ඔහු මානවී සුරතල් කරන්නේ පුදුමාකාර බැඳීමකින් බව ඉඳහිටක මෙන් රත්නායක යුවළගෙන් ඉබේ මෙන් කියවිය.

ඒ කිසිවක් ගණන් නොගන්නා සේ උන්නද විටෙක හද පතුලේ ඇමිණී ගිය කටුවක් මෙන් රිදුම් දුන්නේ අමතක කළා යැයි සිතාගෙන ඉන්නා මුත් කිසිදා අමතක කළ නොහැකි අතීතයයි .එහෙත් ඔහු මා සම්බන්ධයෙන් යම්කිසි අදහසක් හිතේ තබාගෙන සිටියහොත් එය ඔහුටම කරන අසාධාරණයක් බව මම සිතීමි .එහෙයින් කිසි කිසි සේත් ඔහුට බුරුලක් නොදෙන්නට මම තරයේ තීරණය කොට ගත්තෙමි .

මේ වකවානුවේ සරෝජ් හිරිපිටිය දේශපාලනයට පිවිසීම ද නිරායාසයෙන්ම සිදු විය.මා අතීතයේ සිටම බෙහෙවින් අකමැති වූ දේශපාලනය යන මාතෘකාව අවසානයේ ඔහු තෝරා ගත්තේ මගෙන් මිදී ගිය ජීවිතයට විකල්පයක් වශයෙන්දෝ යැයි මට විටෙක සිතුණි.මේ අයුරින් ඔහු සිය ජීවිතය ඉදිරියට ගෙන යන විට මා ඔහුගේ ජීවිතයෙන් සදහටම පැත්තකට තල්ලු වී යා යුතු බව මම විශ්වාස කළෙමි. සරෝජ් හිරිපිටිය වසර ගණනාවකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් දා රත්නායක නිවසේද කිරිබතක් හැදුණි.

"සරෝජ් පුතා කියන්නේ මේ රටේ මිනිස්සුන්ට මොකක්හරි හොඳ දෙයක් කරන්න පුළුවන් උණුවෙන හදවතක් තියෙන මනුස්සයෙක්.පවතින දේශපාලනයට අනුගත වෙලා ජරාජීර්ණ මඩ ගොහොරුවේ ගිලෙන්නේ නැතුව රටට යමක් කරන මනුස්සයෙක් වුනොත් ඒ ඇති"

රත්නායක මාමා පැවසුවේ සරෝජ් සම්බන්ධයෙන් ඔහු තුළ වූ දැඩි බැඳියාව වචන වලට හරවමිනි. කවදත් රත්නායක මාමා සරෝජ් හට සැලකුවේ සිය පුතුහට තරම්ම ආදරයෙනි.

"අපි කොච්චර කාලයක් මේ දරුවාව දන්නවද? ඇත්තෙන්ම රටට වැඩක් වෙන මනුස්සයෙක් වේවි ඒ දරුවා මහත්තයා"

රත්නායක නැන්දා ද ඌන පූර්ණයන් සැපයුවේ මා නිහඬව බලා සිටියදීය. මේ කතාබහට කෙතෙක් එකඟ වුවද මගේ මුනිවත දරාගන්නට මට ඒ මොහොතේ සිදුවිය. පාර්ලිමේන්තුවට යන ප්‍රථම දවසේ දී සරෝජ් හිරිපිටිය රත්නායක නිවසට පැමිණියේ කිරිබත් කටක් කා යන්නටය .මම මුළුතැන්ගෙයෙහි දොර රෙද්දෙන් මුවාවී නිහඬව උන්නෙමි. මානවී සුපුරුදු පරිද්දෙන්ම ඔහු දුටුවිට තාත්තා හඬ නගමින් පෙරට දිව ගියාය. කෙසේ හෝ මේ ආමන්ත්‍රණය නැවැත්විය යුතුය .පාර්ලිමේන්තුවට යන පුද්ගලයෙකු වශයෙන් හා නැවත මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයකු ලෙසින් ඔහු දිනන්නට යන ජීවිතයට මේ ආමන්ත්‍රණය පවා අහිතක් විය හැක.මානවී පෙර පාසල් යන වයසේ සිටින්නියක් නිසා ඇයගේ තාත්තා යන සංකල්පය ඇයට නම් දැන් ටිකෙන් ටික අවශ්‍යතාවයක් වී පවතී

"අම්මා, ටීචර් කිව්වා my family අඳින්න කියලා .අපි අඳිමු ද?"

මානවීගේ පළමු බෝම්බය පිපිරුණේ අන්න ඒ ආකාරයෙනි .මේ වන විට ඇය සිව් හැවිරිදි වියේ පසුවූවාය.රැකියාවෙන් නිවාඩු ලැබුණු ඉරිදා දිනයේ මම ඇය සමගින් පෙර පාසල් කටයුතුවල යෙදෙමින් උන්නෙමි.මානවීට හා මට ආහාර වේල් සැකසීම ඉතා පහසු විය .ඇය සාදා දෙන ඕනෑම දෙයක් කිසිම කරදරයක් නොමැතිව කන දැරියක් වූවාය .ඇයගේ ළමාසිතේද බොහෝ ආශාවන් තිබෙන්නට ඇත .ඉඳහිටක ඇය පිටතට රැගෙන ගිය ද මගේ හිතේ සැමවිටම දුවණියගේ ආරක්ෂාව පිළිබඳව විශාල බියක් තිබුනි .එහෙයින් ඇය හා මා තනිව පිටතට ගමන් යන සීමාව මා විසින්ම පනවාගෙන තිබුණි .කොහේ හෝ යන්නේ නම් රත්නායක නැන්දා සහ මාමා සමඟ මිසක තනිව නොයන්නට මම වග බලා ගත්තෙමි .

මානවී සමගින් කුඩා මේසය අසල සිට ඇයගේ සිතුවම නිර්මාණය කරන්නට සහාය දෙමින් උන් මා හට කාමරයට යන්නට සිදුවූයේ ජංගම දුරකථනයට ආ ඇමතුමකට සවන් දීමටය .එම ඇමතුම විනාඩි දහයක් පමණ දිගට පැවතුණ පසු මා යළිත් එනවිට මානවී සිතුවම සම්පූර්ණ කරමින් උන්නාය.

"කෝ බලන්න චූටි දූ අපි බලමුකෝ චිත්‍රය"

මානවී සිතුවම මා වෙත දිගු කළාය .එහි වූයේ ඇය සහ මා පමණක් නොව වැඩිහිටි පිරිමි පුද්ගලයෙකි. මගේ ළය වේදනාවෙන් ඔද්දල් වී ගියේය .

"පුතේ කවුද ඉතිං මේ?" 

මම ඇසට පිරුණාවූ කඳුළු වළකා ගනිමින් ඇයගෙන් ඇසීමි. 

"තාත්තා" 

මානවී වරදක් කලා සේ මගෙන් ඇස් සඟවමින් පැවැසුවාය .

"අපිට තාත්තා කෙනෙක් නෑනේ පුතේ"

කෙසේ හෝ කුඩා දියණියට එය ටිකෙන් ටික පහදා දිය යුතුව ඇත.ළමා මනසට දරාගන්නට අපහසු බවක් ඇත .එහෙත් මේ මුලාව මේ බොරුව තව කෙතෙක් කාලයක් ඇයට කරන්නද?

"ඉන්නවා" 

මානවී තරමක් තදින් පැවසුවාය.මම විමසුම් දෑසින් ඇය වෙත බලා උනිමි.

"ඉන්නවා?"

මම එහෙම ප්‍රතිරාවය කළෙමි.

"ඔව් මගේ තාත්තා ඉන්නවා. ඔයා ඔෆිස් ගියාම එයා එනවා මාව බලන්න" 

මානවී මේ පවසන්නේ සරෝජ් ගැන විය යුතුමය.මා හට ඇති වූයේ දුකක්ද වේදනාවක් ද බියක්ද තරහක් ද යන්න මටම සිතාගත නොහැක .දියණිය මතින් මේ තරහ පිට කර ගැනීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැත . මෙය ඔහුට මා විසින්ම තදින් ප්‍රකාශ කළ යුතුව ඇත .

"දෝණි චිත්‍රය අඳින්නකෝ මම කුස්සියට ගිහින් එන්නම්" 

ඡංගම දුරකථනයට රැගෙන මුළුතැන් ගෙය වෙත ගියෙමි .සරෝජ්ගේ ජංගම දුරකථන අංකය ඇමතුවේ මේ කරුණු කාරණා යළිත් වරක් ඔහුට පහදා දෙනු රිසියෙනි. ඇමතුම් වාර කිහිපයක්ම නාදවී විසන්ධි වුවද එය සම්බන්ධව නොතිබුණි. අවසානයේදී මා උත්සාහය අතහැර දමා සිත සැහැල්ලු කර ගත්තේ සුසුමක් හෙළමිනි.

හවස් යාමයේ නිවස ඉදිරිපිට සරෝජ් හිරිපිටියගේ කැබ් රථය නැවත්වුයේ මා මානවී සමගින් මිදුලට වී සිටිනා විටය. එකත් එකටම මවිසින් නොනවත්වා දුන් ඇමතුම් ඔහු මා වෙත රැගෙන එන්නට හේතුවන්නට ඇත. මම නිහඬව නැගී සිටියේ ඔහු ගෙතුළට පියමනිද්දීය. මා මිදුළේ සිටිනවා දැකදැකත් ආඩම්බර ලීලාවකින් සිය නිවසට ඇතුල් වන්නාසේ ඔහු එහි පිවිසුණේය.කුඩා සාලයේ සෝපාවට බරදුන් සරෝජ් හිරිපිටියගේ ඇකයට වැදුනේ මානවීය.

"තාත්තා.."

ඈ අතෝරක් නැතිව ඔහු සමගින් සුරතල් වෙමින් සිටියාය.මම නිහඬවම දොරට හේත්තු වීමි.

"නිවී ඇයි මට දිගටම කෝල් කරල තිබුණේ?ඒකයි මම ආවේ හදිස්සියේම. උදේ පාර්ලිමන්ට් එකේ හිටියේ. පර්සනල් ෆෝන් එක කැබ් එකේ තියලා ගියේ"

සරෝජ් හිරිපිටිය දියණියගේ හිස අතගාමින් මවෙතින් ඇසුවේ එක එල්ලේම මගේ දෑස් දෙස බලමිනි.

මම දෑසින් දියණිය පෙන්වූ විට සරෝජ් හිරිපිටිය ඔහු රැගෙන ආ රසකැවිලි පාර්සලය දියණිය අත තැබුවේය.

"චූටි දූ කාමරේට ගිහිල්ලා එහෙනම් මේක කන්නකෝ" 

ඔහු දියණිය සිය තුරුලෙන් මුදාහරිමින් පැවසුවේය. දියණිය රසකැවිලි පාර්සලයද සමගින් ගෙතුළට දිව ගියාය.මම නිහඬව ඔහුගේ ඉදිරි අසුනේ ඉඳ ගත්තෙමි.

"මොකක්ද ප්‍රශ්නය?" 

සරෝජ් සිය සුපුරුදු නිවුණු හඩින් ඇසුවේය. මම මොහොතකට නැගිට ගොස් මානවී ඇඳි සිතුවම ගෙනැවිත් ඔහු අත තැබුවෙමි. සරෝජ් හිරිපිටිය එම සිතුවම දෙස මොහොතක් බලා සිටියේය. ඔහුගේ මුහුණේ ඇදුනේ අපූරු සුන්දර සිනහවකි. එය මා හට තව තවත් මාගේ ආවේගය අවුලන්නක් විය .

"දරුවට තේරෙන දේ අම්මට තේරෙන්නේ නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නය"

ඔහු සිය සුපුරුදු සිනහව අතරින් පැවසුවේය.

"මේක විහිළුවක් නෙමෙයි.ඇයි ඔයා මේක තේරුම් ගන්නේ නැත්තේ? දරුවා මේ විදියට ඔයාට තාත්තා තියන්න ගියාම ඉස්සරහට කොච්චර ප්‍රශ්න ඇති වෙනවාද කියන එක ඔයා තේරුම් ගන්න" 

මම තදින් ඔහුට පැවසුවෙමි. සරෝජ් හිරිපිටිය සිය දණහිසට අත් දෙක තබා ඉදිරියට නැවුණේය.

"මොකද තියෙන ප්‍රශ්නේ? මෙතන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ හිතුවක්කාර කම තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය"

ඔහුගේ ස්වරය දැඩි වෙමින් පැවතුණි. සරෝජ්ගේ ඒ දැඩි වදන් හමුවේ මම කවදත් තිගැස්සී යමි.

"හිතුවක්කාර කමට වඩා තියන උද්දච්චකම" 

ඉන්පසු ඔහුගේ හඬට කෝපයක්ද එක් වෙමින් පැවතුණි.ඔහු කෝප ගන්නේ බොහෝ කලාතුරකිනි. මම මොහොතක් නිහඬ වීමි .

"නිවේතා තේරුම් ගන්න .දරුවාට මේ තාත්තා කෙනෙක් ඕනම කාලේ .මොන්ටිසෝරියට ගියාම අනෙක් දරුවන්ගේ තාත්තාලා ඉන්නකොට දරුවාට මොනවද හිතෙන්නේ? ඇයි ඔයා ඔයාගෙ දරුවාගේ මානසිකත්වය ගැන හිතන්නේ නැත්තේ?"

සරෝජ් ඇසූයේ මගේ දෑසින් දෑන් මුදා නොගනිමිනි. 

"මං හිතනවා..හිතුවා කියලා මේ ප්‍රශ්න විසඳන්න ක්‍රමයක් නෑ.ඒ ප්‍රශ්න කොහොම වෙතත් ඔයා මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ කියන එක මම මුල ඉඳලම ඔයාට කිව්වා .මේ විදියට අපේ ජීවිත වලට එන්න එපා .ඔයාට ඔයාගේ ගමනක් යන්න තියෙනවා .මේක තේරුම් ගන්නේ නැත්තේ?" 

මම ඔහුට පැවසුවේ ඔහුගේ හැඟීම්බර හඬින් හිත එහෙමෙහෙ දුවන්නට ඉඩ නොදීය .ඔහු මේ කිසිවක් තේරුම් ගන්නේ නැති බව මම දැන උනිමි . මා එක්වරක් හිතුවක්කාර වේ නම් ඔහු දහ වතාවක් හිතුවක්කාර වන තත්ත්වයට ඔහු පැමිණ තිබුණි .ඉතින් මේ සියල්ලටම විසඳුමක් මා විසින් සොයා ගත යුතුය. 

සරෝජ් එදවස සමුගෙන ගියේ අමනාපයෙන් බව මම දැන උනිමි .එහෙත් ඔහු දියණිය බැලීමට රත්නායක නිවසට පැමිණීම අතහැර ගොස් තිබුණේ නැත .මේ සම්බන්ධයෙන් මා නිලීකා සමඟ කතාබහ කිරීමට 

කීපදිනක්ම උත්සාහ ගත්තද ඇයට උන්නේ සරෝජ්ගේ මතයේය .

'නිලී. එක දෙයක් තේරුම් ගන්න .මේ විදියට ගියොත් මට දරුවාත් අරන් කොහේ හරි යන්න සිද්ධ වෙනවා .මට මේ රස්සාව කරගෙන මේ දරුවව හදා වඩා ගන්න නිදහසක් දෙන්නෙ නැත්තේ ඇයි?"

මා පැවසුවේ ඉවසීමේ අන්තයටම ගිය දිනයකය.

"හරි හරි උඹ කලබල වෙන්න එපා .මං අයියට කියන්නම්කෝ"

ඇතැම් විට නිලීකා මා කලබල වීම ගැන බිය වන්නට ඇත .මන්ද යත් විටින් විට මා පාලනය කරගත නොහැකි තරමේ ආවේගයන්ට ලක්වීම තවමත් සිදුවන බැවිනි .එහෙයින් මා කේන්ති ගස්සා ගැනීමට වඩා ඉවසීමෙන් කටයුතු කරන්නට මා අවට සිටි සෙසු පුද්ගලයෝ උත්සුක වූහ .

මේ වන විට නිලීකා සිටියේ ඔස්ට්‍රේලියාවේය.ඇය සිය ස්වාමියා සමගින් එහි ගත කළේ සුවපහසු දිවියකි.වසරකට වරක් මව්බිමට පැමිණෙන නිලීකාගේ වැඩි කාලයක් ගත වූයේ මානවී සමඟිනි .ඇය රැගෙන එන්නාවූ ගමන්මලු ගොන්නේ ,මානවී වෙනුවෙන් බොහෝ දෑ තිබුණි .අම්මා තරමටම මට ආදරය කරන්නා වූ නැන්දා කෙනෙක් සිටීමම මානවීගේ වාසනාවට හේතු විය.

ජීවිතයේ සිදුවන බොහොමයක් කාරණා යහපත් අතට වෙමින් තිබියදී නොසිතූ අන්දමේ කරදරද කඩා පහත්වෙමින් තිබුණි. මා සිටිනා තැන පාලිකා අක්කාට කුඩම්මාට සහ තාත්තාට අනාවරණය වූයේද මේ අතරතුරදීය .ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු බව කිය වෙන්නා වූ පුරාතන කතාවට සාක්ෂි සපයමින් තාත්තා කුඩම්මා සමග පාලිකා අක්කා මා නිවසට කඩා වැදුනේ එහෙව් දිනයකය .ඉරිදාවක් වූ හෙයින් මා නිවසේ ගත කළේ මානවී සමගින් බොහෝ නිදහසේය.

ඉරිදාව යනු මානවීගේ සහ මගේ දිනයය. එදිනට අප දෙදෙනා අපේම ලෝකයේ සියලු සතුටු පෙති එක්කාසු කරමින් නිදහසේ සිටින්නෙමු. ආසා කරන රසමසවුලක් හදන්නට මානවී සිය සිඟිති දෑත පා මා හා එක්වන්නීය. ඉතින් ඇයගේ සෙල්ලම් ගෙදර ඇය අම්මා වී මම ඇයගේ දියණිය වෙමින් ගතකළ මොහොතකි එය.

උදෑසන දහයට පමණ ගේට්ටුවට තදින් ගසන්නාවූ හඬකින් අපගේ කුඩා සාලයේ සෙල්ලම් කරමින් උන් මානවී ඉදිරිපස ජනේලය මදක් විවරකොට ගේට්ටුව දෙස බැලුවාය.
"අම්මා අන්න කවුද ඇවිල්ලා"

මානවීගේ පසුපසින් ජනේලය වෙත පැමිණි මා තිගැස්සී ගියේ ගේට්ටුවට එපිට සිටින්නා වූ අය දැකය. මගේ ජීවිතයෙන් සදහටම ඈත් කර තිබූ මේ නරුම මිනිසුන් යළිත් මා පසුපස පැමිණෙන්නේ කුමන හේතුවකට දැයි මට ඉතා බියක් ඇති විය. ඔවුන් කෙසේ මා ඉන්නා තැන සොයාගත්තේදැයි මට ඉමහත් බියක් දැනුණි.

වහ වහා ජංගම දුරකථනය අතට ගත් මම රත්නායක මාමාහට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන්නේ මේ කඩා වැදීම සම්බන්ධවය .

"පුතේ මායි නැන්දයි දැන් ඉන්නේ කොළඹ ඇවිල්ලා .අපි එන්න ගියොත් තව පැයකට මෙහා අපිට එන්න වෙන්නේ නැහැ ට්‍රැෆික් එක නිසා .ඉන්න මං මොකක් හරි ඉක්මනට කරන්නම් කලබල වෙන්න එපා . ෆෝන් එක ඕෆ් කරන්නත් එපා. ඕකෙ රෙකෝඩින් ඔන් කරගන්න" 
රත්නායක මාමා පැවසුවේ මඳක් කලබල ස්වරයෙනි. ඇත්තෙන්ම මේ වන විට මා හට මගේ ජීවිතයේ කිසිදු බයක් නැති වුවද මානවී සම්බන්ධයෙන් මා හට ඇති වූයේ පුදුමාකාර බියකි.

"නිවේතා දුව ඔයාගේ විසිටර්ස්ලා වගයක් ඇවිල්ලා" 
ඒ වනවිට ගෙහිමි කාන්තාව වූ රීටා ඇන්ටී ගේට්ටුව විවර කොට ඔවුන් ඇතුළට ගෙනද හමාරය .ඉතින් තවදුරටත් මාහට තුළ සැඟවී සිටින්නට නොහැකි විය.සිනා නොමැති වතින් ඉදිරි දොර විවෘත කළෙමි.

"ආ මේ ඉන්නේ මොකද හැංගිලා?" 
කුඩම්මා අනවසරයෙන්ම නිවස තුළට ගොඩවැදුණාය .මානවී බියෙන් මෙන් මගේ පිටුපසට වූවාය.ඇය කවදත් දැකුම් බැල්මෙන්ම මිනිසුන් වටහා ගන්නීය.නොගැලපෙන නුසුදුසු යැයි දැනෙන්නාවූ පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්නීය .මම කිසිත් අදහසක් නැති වතින් ඔවුන් දෙස බලා උන්නෙමි .තාත්තාද ඇය පිටුපසින් පාලිකා අක්කාද නිවස තුළට ගොඩ වූයේ මම හරියටම ඔවුන්ගේ නිවසක සිටින්නාක් සේය.

"පෙනෙන විදිහට නං එච්චර ලොකු කරදරයක් නෑ වගේ .මේ යස අගේට ඉන්නෙ"
තාත්තා පැවසුවේ අත් දෙක පිටුපසට බැඳ ගෙන සාලය පුරා ඇවිදිමිනි .මොවුන් මේ අන්දමින් මගේ ජීවිතයට එබිකම් කරන්නේ යළිත් මා බියපත් කොට කුමන අයිතියක් හෝ ලබා ලබාගැනීමට දැයි මට සිතා ගත නොහැක.

"බබා කෝ ඔයා මෙහාට එන්න කෝ" 
පාලිකා අක්කා අත දිගුකරමින් මානවීට කතා කළ ද ඇය එය ප්‍රතික්ෂේප කරමින් තව තවත් මා පිටුපසට වූවාය.

"එයා අදුරන්නැති අයට කැමති නැහැ" 
මම දියණිය මගේ ගතට ළං කරගනිමින් පැවසුවෙමි.

"අඳුනන්න දෙයක් නෑ .බැලූ බැල්මටම නම් ඒ ඩෙන්සිල්ගෙ දුව කියලා පේනවා .ඉතින් මොකද අඳුනන්නැත්තෙ .ඒ අයිතිය තියෙන්නේ අපිටනේ" 
පාලිකා අක්කා කියවාගෙන ගියා ය .ඒ මොහොතේ දී මා හට වැටහුනේ මොවුන් මේ පැමිණි කාරණය මා සිහිනෙකින්වත් නොසිතූ දෙයක් බවය.

"මොන ඩෙන්සිල් කෙනෙක් ගැන ගැනද මේ කියන්නේ .මේ පාලිකා අක්කේ මං මෙච්චර කාලයක් බොහොම ඉවසීමෙන් ගත කලා .මගේ ජීවිතයේ ඕගොල්ලොන්ට තවදුරටත් ඉඩක් නැහැ .ඒ දරුවා මගේ මිසක් කාගෙවත් නෙමෙයි .අන්න ඒක මතක තියාගන්න" 
මම ඉවසීමෙන් එහෙත් තදින් ඇය වෙත පැවසීමි .

"හරි හරි කලබල වෙන්න එපා .ඒවා අපි ටිකක් ඉවසීමෙන් කතා කරමු .අපෙන් වැරදි වුණා තමයි .ඔය දේවල් දැන් අමතක කරමු"
තාත්තා පැවසුවේ සිය ආධිපත්‍යය එතැනට හසු කර ගනිමිනි .ජීවිතයේ කිසිම දවසක මා හට දුවේ කියා අමතා නැති මේ අරුම පුදුම පුද්ගලයා මේ මොහොතේ දී මේ තරම් සිල්වත් බවක් පාන්නේ කුමකටදැයි මම දෙගිඩියාවෙන් සිතුවෙමි .
කෙසේ හෝ මේ සියල්ලම මා විසින් ක්‍රියා විරහිත නොකල ජංගම දුරකථනයෙන් පටිගත වෙමින් පැවතුණි.

"නිවේතා මෙන්න මේකයි දැන් සිද්ධිය .ඔයා දන්නවා පාලිකාට ඩෙන්සිල්ගෙන් දරුවෙක් නොහිටිබව. ඇත්තෙන්ම පාලිකා ගේ ගර්භාශයේ ප්‍රශ්නයක් නිසා එයාට දරුවන් හදන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ඔයාට මොන විදියකින් හරි ඩෙන්සිල් ගෙන් දරුවෙක් හැදුනා .ඉතින් ලබන මාසේ ඩෙන්සිල් හිරෙන් නිදහස් වෙනවා.අපි එයාට විශේෂ සමාවක් ගත්තා .ඩෙන්සිලුයි පාලිකායි ඔයාට වන්දියක් දෙන්න කැමතියි.ඒ වෙනුවට මේ දරුවව අපට දෙන්න.පාලිකා අම්මා වෙලා දරුවව බලා ගනීවි නීත්‍යානුකූලව .ඉතින් ඩෙන්සිල් කොහොමත් තාත්තනෙ?"
අතට හසු වූ යමකින් දමා ගසන්නට තරම් කෝපයක් මගේ හිතේ ඇවිලෙමින් තිබුණි .මේ මොහොතේ මා හට මොවුන් තිදෙනාම මරා දමන්නට තරම්ම බිහිසුණු භාවයක් ආරූඪ වෙමින් තිබුණි.

"මගේ යකා අවුස්සන්නෙ නැතුව ආව විදියටම තුන්දෙනාම එළියට බහින්නයි කිව්වේ" 
මම දැඩි ලෙස වෙව්ලමින් කෑගැසීමි.ඒ මොහොතේ අනෙක්සියේ ගේට්ටුව අසල වේගයෙන් තිරිංග තද කොට නැවතුණේ සරෝජ් හිරිපිටියගේ රථයය. වහා පිටුපස අසුනෙන් බැස නිවසට එන සරෝජ් හිරිපිටිය දුටු මා හට ඒ මොහොතේ ඇතිවුනේ කිනම් හැඟීමක්ද යන්න මටම අදටත් වටහා ගන්නට නොහැක.එහෙත් මා තනිව නැතැයි යන හැඟීමක් හිතට හයියක් ඒ මොහොතේ මට ඇතිවන්නට ඇත.

"මොකද මෙතන වෙන්නේ?"
අනවසරයෙන්ම සාලයට ගොඩ වැදුන සරෝජ් හිරිපිටිය ඇසුවේ මගෙනි. මම දියණියද සමගින් අඩියක් පසුපසට තැබීමි.

"ආ , මේ ඇවිල්ල ඉන්නේ මනමාලයා . මේ මහත්තයා වතාවක් පොලිසි උසාවි ගිහින් ලැජ්ජා වුනා මතක නැද්ද? මේක අපේ පවුලේ කාරණයක් . ඔබතුමාට මේකේ අතදාන්න දෙයක් නෑ . කරුණාකරලා ආ අතක් බලාගෙන යන්න හොඳයි" 
තාත්තා කෙතෙක් නම් නරුමදැයි මට වඩාත්ම හොඳින් වැටහුනේ ඒ මොහොතේය . අහස පොලව නුහුලන අපරාධයක් කල ඩෙන්සිල් තවමත් නිවැරදි කරනා තාත්තා , සරෝජ් නොකළ වරදකට පොලිසි උසාවි ගානේ ගෙනගොස් ඒ මදිවාට වහසි බස් ද පවසයි.

"මිස්ටර් මේ , ඔයා නිවේතාගේ නමට තාත්තා උනාට ඔයා හයක් හතරක් නොදන්නා කාලේ ඉඳන් නිවේතාට සලකපු හැටි ඔයත් නොදන්නවා නෙවෙයිනේ. මේ ඔයා කරන්නේ බරපතල වරදක්.මට මතක හැටියට නම් පොලිසියෙන් ඔයාලට අවසානයේදීත් අවවාද කළා නිවේතාට කරදර නොකරන විදියට"
සරෝජ් හිරිපිටිය දියණියට දෝත පැවේද මානවි හඬාගෙන ඔහු තුරුල්ලට පැන්නේද ඒ මොහොතේමය.

"තමන්ගේ ජරාගති ඕනතැනක ප්‍රසිද්ද කලාට කමක් නෑ මිස්ටර්.එත් මේ කිරිදරුවෙක් ඉස්සරහ මේ කරන වැඩේට නම් තමුන්ලා ඔක්කොම පොලිසියට බාරදෙන්නයි වටින්නේ"
සරෝජ් හිරිපිටිය මානවි නලවාගන්නට වෙර දරමින් පැවසිය.

"එක එකා මේ ගෙවල් අස්සෙ දමාගෙන නටන නාඩගම් අපිටත් එහෙන් මෙහෙන් ආරංචි වුණා. අපි දරුවාගෙ අයිතිය ඉල්ලල නඩු කියනවා" 
කුඩම්මා ඒ මොහොතේ සිය මෝඩකම යළිත් ප්‍රදර්ශනයට ගෙන ආවාය.

"අනිවාර්‍යයෙන් නඩු කියමු. ඔප්පු කරන්න හුඟාක් සාක්ෂිත් ඇතිනේ.හැබැයි නඩුව පැරදුණාම නිවේතාට ගෙවන්න වෙන වන්දිය සුලු පටු එකක් කියලා හිතන්න නම් එපා. මොකද නිවේතාගෙ පැත්තට ලංකාවේ ඉන්න හොඳම ලෝයර්ස්ලා ඉන්නවා" 
මා තුෂ්ණිම්භූතව වදනකුදු හෝ නොදොඩා බලා සිටිද්දී සරෝජ් හිරිපිටිය මා වෙනුවෙන් හඬ අවදිකළේය.සිතට දැනුණේ සවියකි. සැබවි.එහෙත් මේ මිනිසුන් නිසා සරෝජ්ගේ ජීවිතයට මෙන්ම දේශපාලන ගමනටද වෘත්තියටද කලු පැල්ලමක් එක්වුවහොත් එය මා දරාගන්නේ කෙලෙසකද?

මගේ ජීවිතය ඉදින් නාස්තිව ගොස් හමාරය.එහෙත් සරෝජ් ..ඔහු තවමත් කීර්තිය උපයා ගනිමින් මිනිසුන් අතර ජනප්‍රිය වෙමින් සිටින්නෙකි.
සමාජ මාධ්‍ය ජාලවලට මෙවන් පවත් උණු කැවුම් සේ අලෙවියට සහ තලුමරන්නට වටී.එක් රැයකින් සරෝජ්ගේ අභිමානයට පහර නොවැදේද ?
අවසානයේ බොහෝ ලෙසින් අවලාද කියමින් කුඩම්මා තාත්තා සහ පාලිකා අක්කා සමගින් මා නිවසින් පිටව ගියහ.ඔවුන් මේ දක්වා කරන ලද අකටයුතුකම් මෙන්ම ඉදිරියේදිත් මාහට සැනසීමෙන් සිටින්නට ඉඩ නොදෙන බව මට සක්සුදක් සේ විශ්වාසය. ඔවුනට දැනගන්නට නොලැබෙන සේ මෙතුවක් කල් මා ගෙවූ අදෘෂ දිවිය කෙසේ හෝ ඉතින් සමාප්ත විය.

ඩෙන්සිල් හිරෙන් නිදහස් වී පැමිණි පසු පාලිකා අක්කා මානවී ඔවුන් වෙත ලබා ගැනීමට සියලුම වෙර වීරිය දරන බව මට විශ්වාසය. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔවුන් මා හට කෙතරම් පහත් චෝදනාවන් ගොනු කරයිදැයි අනුමාන කරන්නට ද නොහැකි තරම්ය.
එහෙයින් මා ඉන් පෙර තීරණයක් ගත යුතුය. මා මුහුණ නොදුන්නද සරෝජ් හිරිපිටිය මවෙතින් සමුගෙන ගියේ කිසිසේත්ම බිය නොවන්නටයි යළි යළිත් පවසමිනි. නිහඬවම බිම බලාගෙන සිටියෙමි .

"ඔය තරම් බය වෙන්න ඕනේ නැහැ නිවී. ඔය මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මම ඉන්නවනෙ."
කුඩම්මාගේ සහ පාලිකා අක්කාගේ කෑගැසීමට බිය වී හඬා වැටුණු මානවී සරෝජ් අයියාගේ උරහිසේම හිස ගසාගෙන නින්දට වැටී තිබුණි.මම ඔහු වෙතින් දියණිය ගෙන සයනයේ සතපවා ලූයෙමි.

"මං එවුන්ට දරුවාව ගන්න ඉඩ තියන්නේ නැහැ. ඔයා බයවෙන්න එපා"
නිවසින් බැහැර වී සිය රථයට පිය මනින්නට පෙර එකම එක බැල්මක් මවෙත හෙලූ ඔහු තමාටම මෙන් පවසාගත්තේය.මන්ද මා හා ඔහු අතර සංවාදශීලී බවක් නොවූ හෙයිනි.එය කපාහැරියේ මා විසිනි.මා බෙහෙවින් උද්දච්ච ගැහැණියක්‍ යයි කවදා හෝ මේ සටහන් දුටුවිට මානවී පවා සිතනු ඇත.එහෙත් මා මේ සියල්ල කරන්නේ එදා පටන්ම මා ගැන සිතා නොව අනුන් ගැන සිතනා හෙයිනි.

සරෝජ් හිරිපිටිය නිවසෙන් නික්ම ගිය වහාම මම ඉදිරි දොර වසා අගුලුලන්නට වීමි.එහෙත් ගෙහිමි කත..රීටා ඇන්ටී ඒ මොහොතේ පැමිණියේ සිදුවූ සිද්ධි දාමය ඇයට යම් පමණකින් වැටහුණු නිසා වන්නට ඇත.හිතේ උතුරා යන කේන්තිය සමගින් මට හැඬුම් එන්නට ඔන්නමෙන්න මොහොතේදි එයද වලකාගනිමින් මම යළි නැවතුණෙමි.

"නිවී..මොකද පුතේ ඒ වුණේ? මං ඇත්තෙන්ම හිතුවේ ඒ රිලේශන්ස්ලා කියල.නැත්නම් මම කීයටවත් ගේට්ටුව අරින්නෙ නෑ.අනේ සොරි පුතේ"
ඇය කම්පා වූයේ අවංකවමද නැතහොත් මා හට අනුකම්පාවක් දක්වා සිදුවීම දැනගන්නටද යන්න මම නොදනිමි.කෙසේ වතුදු ඇයට සිදුවීමේ සාරාංශයක් පවසා යළි දොරවසාගන්නට මට හැකිවිය.

මානවී සිහිනෙන්ද ඉකිගසන්නීය.ඇය හැදුණේ වැඩුණේ බෙහෙවින් නිහඬ පරිසරයකය.කෑකොස්සන් ගැසීම්, ද්වේශ සහගත වදන් ඇයට නුහුරුය.ඉතින් මේ සිදුවීම ඇයව කම්පනයකට පත්කරන්නට ඇත.මම ඇය ගත මතින් අතක් දමා ගෙන ඇය ලඟින් ඇලවුණෙමි. මගේ දෙනෙතින් කඳුලු ගලා යන්නට විය.

ජංගම දුරකතනය ඒ මොහොතේ නද දුන්නේ නිලීකාගේ නම්වරයෙනි.මම එය සවනතට තබාගෙනම ඇඳෙන් නැගිට කාමරයෙන් පිටතට ආවෙමි. මානවීට නෑසෙන්නට මේ දේවල් කතාබහ කරගත යුතුය.
"මොකක්ද බං වුණා කියන්නෙ?" 
නිලීකා අසන්නීය.එකත් එකටම සරෝජ් මේ සියල්ල ඇයට හෝ රත්නායක නිවැසියන්ට දැනුම් දී ඇත.මම සුසුමක් හෙලීමි.

"තාත්තා මට කෝල් කලේ.සරෝජ් අයියව එවල තියෙන්නෙ තාත්තා.අම්මයි තාත්තායි කොළඹ නිසා ලඟම උන්න අයියාට කියල තියෙන්නෙ බලන්න කියලා"
නිලීකා පැවසුවාය.

"නිලී , මු න් මගෙන් කෙල්ලව ගනීද නිලී? මම එහෙම වුණොත් නම් එක මොහොතක් ඉන්නෙ නෑ"
මම හිතුවක්කාර හඬකින් පැවසීමි. මාහට දැන් ඇති එකම බිය එයය.

"උ ඹ පණ්ඩිත වෙන එකෙන් තමා මේ ඔක්කොම.අර මිනිහෙක් ඉන්නවා ඌ ත් උ ඹට ඕන එකක් කරගන්න දීලා ඔහෙ ඉන්නවා.සරෝජ් අයියා මෙච්චර බලන් ඉන්න එකේ ඒකට කැමතිවෙය න් නිවී.වෙන විසඳුමක් නෑ" 
නිලීකා දිගින් දිගටම කියවාගෙන යන්නට වූයේ මගේ තරහා තවත් අවුස්සමිනි.උදාවී ඇති ප්‍රශ්නය පසෙක තබා නිලීකා මේ පවසන දෑ හේතුවෙන් මාහට ඉමහත් තරහක් ඇතිව එමින් තිබුණි.

"තියන ප්‍රශ්න මදිවට තව ඇදප න්කො.ඒවායින් කමක් නෑ. මෙච්චරයි වෙන්න ඕනෙ. දැන් මං IELTS ත් කලානෙ. දැන් අර කළ බේසික් ඉන්ටීරියර් ඩිසයින් කෝස් එකත් ඉවරයි.නිලී , මට ඔහෙට එන්න ඕන.ඉක්මනින්"
මම ස්ථිරසාරව පැවසුවෙමි.වෙනත් විකල්පයක් නැත. කුඩම්මා,තාත්තා සහ පාලිකා අක්කා ඉක්මන් වන්නට පෙර මා පියවර ගත යුතුය.

"හරි හරි මේ මම ඔක්කොම ඩොකියුමන්ට්ස් හදාගෙන යන ගමන්. ඒත් නිවී මම අන්තිම වතාවටත් ඉල්ලන්නේ ඔය තීරණය ගැන ආයේ සැරයක් හිතන්න කියලා. සරෝජ් අයියාට දැන් අවුරුදු තිස්පහක් පැනලා.ඒ මනුස්සයට ගෙදරින් බඳින්න කිය කිය වද දෙනවා. උඹ ගැන හිත හිතම ඒ මනුස්සයා ගේන යෝජනා ඔක්කොටම බෑ කියනවා"
නිලීකා පැවසුවේ මාගේ තීරණය කෙසේ හෝ වෙනස් කරන්නට අදිටන් කරමින් විය යුතුය.එහෙත් එම කාරණයම මා හට සරෝජ් හිරිපිටියගේ ජීවිතයෙන් ඈත්වී සිටීමට තවත් හේතුවක් ලබා දුන්නේය.ඔහුගේ නිවැසියන් ඔහුට විවාහයක් කර දීමට පිඹුරුපත් සකසන්නේ නම් එය ඔහුගේ යහපතට ම විය යුතුය. 

සරෝජ් හිරිපිටියට තිබුනේ බෙහෙවින් ආදරණීය පවුලකි. ඔහුගේ දෙමව්පියන් එකම වතාවක දී මා හට නිලීකාගේ නිවසේ දී හමු විය.ඒ ඔහු නිලීකාගේ නිවසේ නවාතැන්ගෙන මාස කිහිපයක් ගිය දවසකය. ඒ වන විටත් සරෝජ් සහ මා අතර පැහැදිලි ළෙන්ගතුකමක් ඇති වන්නට පටන් ගෙන තිබුණි .ඒ ඔහු විසින් මා හට විෂයානුබද්ධ සටහන් සහ ප්‍රශ්න පත්‍ර ගොනු නිලීකා සමගින් ගෙනවිත් ලබාදුන් දවස හේතුවෙනි.
අහම්බෙන් දිනයක නිලීකාගේ නිවසට ගොඩවැදුනු මා හට හමුවූයේ සිත තිගැස්වන අන්දමේ ගාම්භීර පෙනුමක් ඇති හිරිපිටිය මන්ත්‍රිතුමා සහ ඔහුගේ භාර්යාවයි. පරම්පරාවෙන්ම දේශපාලනයේ අත් පොත් තැබූ ඒ පරපුරේ අය ගැන එවකට මා අසා තිබුණි.

මේ දෙමව්පියන් අතර විද්‍යාමාන වූ සැබෑ ලෙන්ගතුකම සහ ගරුත්වය මා කිසි දිනක තාත්තා සහ කුඩම්මා අතර දැක නැත.මගේ අම්මා ජීවතුන් අතර සිටි කාලයේ අම්මා සහ තාත්තා අතර එවන් බැඳීමක් තිබුණේ යැයි මා අසා ඇත්තේ ද නැත. 
උනුන් ඇසුරේ සැබෑ ලෙන්ගතුකමකින් කතාබහ කළ සහ පැවතුණු ඒ දෙමව්පියන් මෙන්ම සරෝජ් ගේ වැඩිමහල් එකම සොහොයුරිය ඉතා කරුණාවන්ත පුද්ගලයන් වූහ. මා පිළිබඳව නිලීකාගේ අම්මා විසින් විස්තර කරන ලදුව ඔවුන් මා වෙත දැක්වූයේ ඉමහත් ළෙන්ගතු කමකි.

ඒ කෙසේ වුවත් සරෝජ් හිරිපිටිය යනු පැහැදිලි අනාගතයක් ඇති පුද්ගලයකු බව මම යළි යළිත් මගේ සිතටම සනාථ කොට දෙමින් පැවතුණෙමි. මා හට ඒ දවසේ දී කෙතරම් ලෙන්ගතු වුවත් කාරුණික වුවත් කිසිම දිනයක මෙවන් අත්දැකීමකට පාත්‍ර වූ ගැහැනියක් වන මා ඔවුන්ගේ එකම පුතනුවන් හට සරණ පාවා දෙන්නට කැමැත්තක් ඒ දෙමව්පියන් තුළ ඇති වේ යැයි සිතීමට උගහටය.

අනෙක් අතට දියණියක්ද සහිත මවක් වන මා සරෝජ් හිරිපිටිය ගේ ධනය සහ ප්‍රසිද්ධිය මෙන්ම ජීවන තත්ත්වයන් ද සලකා බලා ඒ නිසාම ඔහු හා බැඳෙන්න ඇතැයි නිරපරාදේ චෝදනාවක් ලැබීමට මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූයෙමි.

"නිලී, තව සිය දහස් වතාවක් උ ඹ ඇහුවත් මගේ තීරණය මේකම තමයි. මට ඕනේ ඩොකියුමන්ට් ටික ඉක්මනින් ලෑස්ති කරලා මාව ඔය රටට ගන්න. ඩෙන්සිල් ඇප ලබාගෙන හරි එළියට ආවොත් තාත්තාලා ආපහු පටන් ගන්නේ මානවී මගෙන් එයාලට උදුරගන්න.එහෙම වෙනවාට වඩා හොඳයි මම .."

ඉතින් එතනින් ඔබ්බට කිසිවක් කියා ගත නොහුණු මා ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තෙමි. මානවී මා වෙතින් ඈත් කරන්නට ඔවුන්ට සාක්ෂි සොයා ගන්නට ඔවුන් ඕනෑම දෙයක් කරනු ඇත.මා අදටද අතීතයේ දී මා පත්‍ වූ මානසික අවපීඩන තත්ත්වයට ප්‍රතිකාර ගනිමින් සිටිමි. එහෙත් ඒ කාරණය ඔවුන්ට කෙතරම් වාසිදායක වනු ඇතැයි මට සිතා ගන්නටවත් නොහැක.මන්ද අදාල කරුණු කාරණා කාරනා අතරට මා හට මානවීට ආරක්ෂාව, රැකවරණය සහ නඩත්තුව දීමට නොහැකි යැයි ඔවුන්ට ඔප්පු කරන්නට ඒ හොඳම සාක්ෂියකි.

දරුවකු සහ මව අතර ඇති බැඳීම ඉතා සවිමත්ය. පෙකනි වැලෙන් වෙන් වූ දා පටන් මවක දරුවකු අතර පවතින්නේ ආත්මීය බන්ධනයකි. අද දවසේ පුවත්පත්වල සිය දරුවන් ද ජීවිතක්ෂයට පත් කොට සියදිවි නසාගන්නා මව්වරුන් ගැන කරුණු සුලබය . අවශේෂ ලෝකයා කෙතරම් පැවසූවද එහි මොහොතට පත්වන්නාවූ ගැහැනියකගේ ඇතුළාන්තයේ පවතින්නාවූ වේදනාව අසරණභාවය කිසිවකු නොදකියි.

ඉතින් මම බියපත් වුණෙමි.මානවී මා හට ඇති එකම බලාපොරොත්තුවය.සිනහ වෙන්නට හෝ හඬන්නට ඇය මා වෙත සිටිය යුතුය. මගේ දවස පටන් ගන්නේත් අවසන් වන්නෙත් ඇයගේ සුරතල් සිනහවක් සමගය.ඇය මා වෙතින් වෙන් කිරීම යන සිතුවිල්ල මගේ සිතට ගෙන එන අවිනිශ්චිත භාවය ගැන බොහෝ සෙයින් බිය වෙමි.කවදා හෝ මා ද පෙර කී මවක් වී එවන් තීරණයක් ගනීදෝ යැයි මටම බියක් ඇතිවෙයි.

මේ කරුණු කාරණා මට නිලීකාට පවසන්නට නොහැක. එවන් වදනක් පැවසූ වහාම එක්කෝ නිලීකා මේ සියල්ලම සිය දෙමව්පියන්ගේ සහ සරෝජ් හිරිපිටියගේ කනේ තබනු ඇත .නැතහොත් ඊළඟ ආසන්නම ගුවන් යානයෙන් ලංකාවට පැමිණෙනු ඇත. එහෙයින් හැකිතාක් දුරට මා බලාපොරොත්තු වන්නාවූ විදෙස්ගත වීම සම්බන්ධව ඇය උනන්දු කරවීම පමණක් මම දිගින් දිගටම කරන්නෙමි.

තත්ත්වය බෙහෙවින් භයානක තත්ත්වයකට පත් වන්නට වූයේ වැඩි කාලයක් නොගොසින්ය. පාලිකා අක්කා මානවීගේ පෙර පාසලට සහ සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණෙන්නට පටන් ගත්තේ මේ අතරේදීය. පෙර පාසල නිමාවී මානවී මේ වන විට එහිම වූ දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ රැඳුණාය. මා විසින් පෙර පාසලට සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට කල්ඇතුව දැනුම්දීම්කර තිබූ නිසා ඇයට දියණිය හා මුසු වන්නට ඉඩක් නො ලැබී තිබුණි .

ඇත්තෙන්ම ඇය පත්ව තිබුණේ මඳ උමතු බවකටය.එක් පසෙකින් ඇයට සිය කුටුම්භයේ ඩෙන්සිල් රඳවාගැනීමට එක උපක්‍රමයක් ලෙස මානවී අවැසි විය.අනෙක් අතට දරුවකු පිළිසිඳ ගැනීමේ හැකියාවක් අහිමි වුණ ඇය මානවී හමුවේ දරු සෙනෙහසින් උමතු වන්නට පටන් ගත්තා විය හැක.

" ලබන සතියේ ඩොකියුමන්ට් ෆයිනලයිස් වෙනවා.මම ටිකට් එක රෙඩි කරන්නම්.වීසාවලට අවුලක් වෙන එකක් නෑ"
නිලීකා පැවසුවේ ඉහත සිදුවීමෙන් හද ගිනිගෙන තිබූ මොහොතේය. ගතවන හැම විනාඩියක් පැයක් පාසාම පාලිකා අක්කා සහ කුඩම්මා ඔවුන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගනු වස් කුමක් හෝ කරන බව මම දැන උනිමි.එහෙයින් ඔවුන්ට පෙර මා ඉදිරියට පය තැබිය යුතුය.

"මේකෙන් වෙන්නේ සරෝජ් අයියා මා එක්ක තරහාවෙන එක. කොහෙද උඹ කිසි විස්තරයක් ඒ මනුස්සයට කියන්න දෙන්නෙ නැහැ නේ"
නිලීකා පැවසුවේ සියලුම කරුණු කාරණා කතාකරගත්තාට පසුවය.මා නිසා ඇයට සරෝජ් හට මේ කිසිවක් කියන්නට නොහැක.එනමුදු මේ සියල්ල ඔහු වටහාගන්නා දිනයක් වේ යැයි මම විශ්වාස කරමි.

"මං ෆ්ලයිට් එකට නැග්ගට පස්සේ උඹ එයාට කෝල් එකක් දීලා කියපන්. බැන්නත් කරන්න දෙයක් නෑ නේ"
මම සුසුමක් හෙලමින් පැවසුවෙමි. ඉතින් ජීවිතය මා ඇදගෙන යන්නා වූ දිශාවට මම ද ඔහේ පියමනින්නෙමි.මෙසේ කවදා හෝ මානවී හට යහපත් අනාගතයක් සකසා දී මට කුමක් වුවත් ඉතින් කම් නැත.

විදෙස් ගමන වෙනුවෙන් සියලු කටයුතු සම්පාදනය කොට හමාරවන තුරුත් සරෝජ් හිරිපිටිය මේ කිසිවක්ම නොදැන උන්නේය. නිලීකා මගේ බලවත් පෙරැත්තය මත සිය දෙමවුපියන් හට පවා එය නොපවසා උන්නාය. ඇයට මේ කටයුතු සම්බන්ධයෙන් හැම අතින්ම දොස් අහන්නට සිදුවන බව පමණක්ම මම දැන උන්නෙමි.
ඉතින් ඇය නිදොස් කළ යුතු හෙයින් මම සියලු විස්තර අඩංගු කොට සරෝජ් හිරිපිටිය වෙත ලිපියක් ලියා තැබුවෙමි. අඩුම තරමේ කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ ඇති තැපැල් හලකින් හෝ එය තැපැල් කරන්නට මම සිතා උනිමි. එහෙත් ඒ ඉතා කෙටි ලිපිය මේ දක්වාම මා ලඟම තිබුණේ තැපැල් කරන්නට නොහැකිවූ එක් හේතුවක් නිසාවෙනි.
 
විදෙස් ගතවන්නට පෙරදවසේ සැන්දෑව වන විට මම සියලුම බඩුබාහිරාදිය බෑගයන්ට අසුරා සකස් කොට තිබුණෙමි.ඉතින් ගෙහිමි කතට සියල්ල පහදා දන්වන්නට අවැසි හෙයින් මම මානවීද සමගින් ඇය වෙතට ගියේ සවස පහට පමණය.රාත්‍රී දොළහට පමණ ගුවන්‍ යානයේ වේලාව ඇති හෙයින් මා හට අටට පමණ කැබ් රථයක් කැඳවාගැනීම සෑහුණි.

"ආ නිවී දුව, එන්න එන්න" 
ගෙහිමි කත වූ රීටා ඇන්ටී මා පිළිගත්තේ සිනහවක් පාකර හරිමිනි.

"චූටි දූ කොහොමද මැණික?" 
ඇය ඇත්තෙන්ම දියණියටද බොහෝ ලෙන්ගතු වූවාය.සිය දරුවන් විවාපත්ව විදෙස් ගතව උන් හෙයින් ඇයගේ පාලුව තනිකම මඟහැරුණේ ඇනෙක්සියේ උන් අපගෙනි.මානවී රීටා ඇන්ටීගේ සුරතල් බලුපැටවා සොෆ්ටී සමගින් සෙල්ලම් කරන්නට පටන්ගත්තාය.ඇයට සොෆ්ටී දුටුවිට මාද අමතකය. 

" ඉතින් දුව ඔයා හදිස්සියේම ඇයි?" 
මගේ ස්වරූපයේ ඇති වූ වෙනස නිසාද රීටා ඇන්ටි මා පසුපසින් ආලින්දය වෙත පිය මැන ආවාය.
ඒ වන විටත් ඇය පසුගිය වකවානුවේ කුඩම්මා සහ පාලිකා අක්කා විසින් නිවසට පැමිණ කළ කලබලය නිසාවෙන්ම යම් ප්‍රමාණයකට මාගේ ගැටලුව ගැන තතු දැනගෙන උන්නාය.

"ඇන්ටි, අන්තිම මොහොත වෙනකම් මං මේක රහසක් විදියට තියා ගත්තට ඇන්ටි මා එක්ක තරහ වෙන්න එපා.මේ හැමදේම රහසක් විදියට මම තියාගත්තෙ මගෙත් දුවගේත් දෙන්නගෙම ආරක්ෂාවට .අපි අද රෑට ලංකාවෙන් යනවා.මම ඇන්ටිට ඉස්සරහ මාස හයටම ගෙවල් කුලිය ඩිපොසිට් කරා අද.ඒ නිසා හොඳ කෙනෙක් හොයා ගන්නකම් ඇන්ටිට හය මාසයක් කල් තියෙනවනේ."
මම බොහෝ නැවතිල්ලේ ඇයට සිදුවූ පවත් පැවසුවෙමි.

"මට සල්ලි නෙමෙයි දරුවෝ වැදගත් .ඔයයි චූටි මැණිකයි නිසා මගේ ජීවිතේ පාළුව නැති වුණා.මේ ගෙවල් මහා පරිමාණයට හදලා තිබ්බට දරුවෙක්ගේ සද්දයක් නැතුව මොන තරම් පාළුවට ගිහින්ද තිබුණේ"

"මං දන්නවා ඇන්ටි , මායි චූටි දුවයි කිසිම බයක් නැතුව මේ ගෙදර පුදුම සතුටින් ආරක්ෂාවෙන් උන්නා. ඉතින් මේ ප්‍රශ්න තව තවත් වැඩි වෙන එකත් ප්‍රධාන ගැටලුවක් වගේම චූටි දුවගේ අනාගතය ගැන මම හිතන්න ඕනනෙ ඇන්ටී. ඒ නිසා මං එක්ක තරහ වෙන්න එපා මේ අන්තිම මොහොත වෙනකම් නොකියා උන්නා කියලා"

රීටා ඇන්ටි මා වෙත පැමිණ මා වැළඳ ගත්තේ ඇයගේ සිතේ කිසිදු කහටක් නැති බව පෙන්වමිනි.ඇය සමගින් කතාබහ කරමින් සිටිනා විට ඇනෙක්සියේ ගේට්ටුව අසල නවතා ලු කළු පැහැති වෑන් රථය අප දෙදෙනාගේම අවධානයට ලක්විය.වෑන් රථයෙන් බිමට බැස්සේ පාලිකා අක්කාය.ඒ සමගින් කුඩම්මා ද තාත්තාද ඉන් අනතුරුව බැස්සේ ඩෙන්සිල්ය.

"නීවී අර ඇවිල්ල තියෙන්නේ අර ගොල්ල නේද?"
රීටා ඇන්ටි වහා මා සමගින් ගෙතුළට පැමිණියේ ඔවුන්ගේ නෙතට හසු වන්නට පෙරය.
"මේ නං ඇවිල්ලා තියෙන්නෙ හොඳකට නොවෙයි. ඔයා මේ පිටිපස්ස පැත්තෙන් ඇනෙක්ස් එකට ගිහිල්ලා ඔයාගේ බෑග් ටිකයි ඕන කරන දේවලුයි අරං අපේ ගෙදර පිටිපස්සේ කාමරයට යන්න .මම කියනකං එළියටවත් බහින්න එපා"
රීටා ඇන්ටි වහ වහා මා යොමු කළේ ගේ පිටුපසින් ඇති ඇනෙක්සිය දොර වෙතටය.

"මං ගිහිල්ලා පුළුවන් තරම් ගේට්ටුව ගාව ඉඳන් කතාවට අල්ල ගන්නම්" 
ඇය මානවිද මා පසුපසින් යවමින් පැවසුවාය.මම ශබ්ද නොනැගෙන සේ සියලුම බෑගයන් සහ අදාළ ලියකියවිලි සහිත ගොනුව ද රැගෙන මානවී සමගින් රීටා ඇන්ටිගේ ගෙය පිටුපස කාමරයට වූයෙමි. 
පැය භාගයකට නොඅඩු කාලයකදී වෑන් රථය සැර දමාගෙන පිටත්වී යනු ඇසුනි.
රීටා ඇන්ටි පැමිණියේ හති දමාගෙනය.

"නිවී අනේ නිවී.ඉක්මනින් මෙතනින් යන්න .උන් දැන් ගියේ ආපහු එන්න. මම කිව්වා ඔයා දුවත් එක්ක ටවුන් එකට ගියා කියලා.ඉන්න තව පැය භාගයක් වත් යයි කියලා මම කිව්වා .උන් ඇවිල්ල තියෙන්නේ අර එහා ගමේ හෙංචයියලාත් එක්ක.උන් මහා අණක් ගුණක් නැති මිනිස්සු"

"නිවී පුතේ මම ඉක්මනින්ම කැබ් එකක් කතා කරන්නම්. ඔයා ඕන කරන ඔක්කොම දේවල් ගත්තා නේද? ඔයා දැම්ම චූටි දුවත් එක්ක පිටත් වෙන්න. ගිහිල්ලා කටුනායක එයාපෝට් කිට්ටුව තියෙන හොටෙල් එකක නවතින්න.වැඩිම උනොත් තව පැයක් වැඩියෙන් යාවි.ඔයාට එයා පෝට් එක ඇතුලෙ උනත් ඉන්න පුළුවන්නෙ"
ඒ මොහොතේ දී රීටා ඇන්ටි මාහට පැවසුවේ කළ යුතුම දේය. කර කියා ගන්නට දෙයක් නොමැතිව වික්ෂිප්තභාවය උන් මා හට ඇය මේ උපදෙස් ඒ මොහොතේ දී බෙහෙවින් වටිනා දේවල් විය .මොනයම්ම හේතුවක් නිසා වත් මා හට සරෝජ් හිරිපිටියට ඇමතීමක් දී මේ පවත් කියන්නට නොහැකිය .මන්ද මා රටින් පිටත්ව යන බව ඔහු වත් නොදන්නා හෙයිනි .

රීටා ඇන්ටි ගෙන්වා දුන් කැබ් රථයට නැගී මානවී සමගින් මා පිටත්ව ආවේ ඇයගේ නිවසේ පිටුපස ගේට්ටුව අසලින් නික්මී ය .මා පිටත් වන මොහොතේදී ඇනෙක්සියේ ඉදිරිපස ගේට්ටුව වෙත වාහනයක් පැමිණි නාදය මට හොඳින්ම ඇසුණි. සිදුවන ඕනෑම දෙයක් රීටා ඇන්ටිට අයහපතක් නොවන බව මම දැන උන්නෙමි.
මන්ද ඔවුන් සොයන්නේ මා සහ මානවීය .මා හට පහර දී අඩන්තේට්ටම් කර හෝ මොවුන්ගේ අභිප්‍රාය වූයේ මානවී ගෙනයාමය.ඉතින් මා හට රීටා ඇන්ටිට මා නැති විට ඔවුන්ගෙන් කිසිදු ගැටළුවක් නොවන බව සක්සුදක් සේ විශ්වාසය.

ඉතින් එදා අනපේක්ෂිත සිදු වීම හෙයින් සරෝජ් හිරිපිටියට මා ලියූ කෙටි ලිපිය ඔහු අත පත් කරන්නට මට නොහැකි විය.


*****************************************************************************************************************************************  

යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක 
( විසිරි සිහින)

Thursday, March 24, 2022

10. හසරැල් සැලුනාවේ (දහ වෙනි කොටස )

 



එදා මා රාත්‍රී වනතුරුද නිවසට නොපැමිණි හෙයින් කුඩම්මා සහ පාලිකා අක්කා බෙහෙවින් කලබල වී තිබුණි. ඔවුන් එසේ කලබලව තිබුණේ මා හට ඇති ආදරයකට නොව එදා දවසේ රාත්‍රී ආහාරය පිසගන්නට නොහැකිවීම නිසාය.තාත්තාද නිවසට පැමිණි පසු ඔවුන් නිලීකාගේ නිවසට ගොස් තිබුණේ මා සම්බන්ධව තොරතුරක් දැන ගන්නටය. මා නිවසට ගොස් ඇමතුමක් දෙන තුරු බලා උන් සරෝජ් හිරිපිටිය ද ඒ වන විට නොසන්සුන්ව සිටින්නට ඇත. අවසානයේ ඔවුන් සිදු කර තිබුනේ මා අතුරුදහන් වීම සම්බන්ධයෙන් කෙලින්ම චෝදනාව සරෝජ් හිරිපිටිය වෙතට එල්ල කිරීමය .අවසාන වතාවේදී මා නිලිකාගේ නිවසට ගොස් සිටියදී අතුරුදහන්වීම ගැන පොලීසියෙන් සරෝජ් හිරිපිටිය අත්අඩංගුවට ගෙන තිබුණි.

                                                                                   *** 

නිවේතා විසින් දීර්ඝ ආකාරයෙන් සටහන් කොට තිබූ එම සටහන් පෙළ සහිත පොත වසා දැමූ සරෝජ් හිරිපිටිය මදකට දෑස් පියා ගත්තේ මේ කියවූ සියලු සටහන් ඔහුගේ සිතට එක් කර තිබුණේ දැඩි පීඩනයක් හෙයිනි.නිවේතා අතුරුදහන් වූ පසු සිදු වූ සිදුවීම් සියල්ල ඔහු ආවර්ජනය කළේ දෑතින්ම තරයේ පුටු ඇන්ද මිරිකා ගනිමිනි.

එදින නිවේතා යන්නට ගිය පසු සරෝජ් හිරිපිටිය සිතේ ඇති වී තිබූ ආනන්දනීය සිතුවිල්ල හේතුවෙන් මොහොතක් මිදුලේ ම ඉඳගෙන උන්නේය.

"මොකෝ කිව්වේ කෙල්ල කැමති වුණාද?"

නිලීකා ඇසුවේ ඔහුගේ මුහුණ දෙස විමසිල්ලෙන් බලමිනි. 

"හරියකට වචනයක් කෙලින් කතා කරන ගෑනු ළමයෙක් නෙමෙයිනෙ එයා.බලෙන් ආයෙ කටට වචන දිදී අහන්ඩ වුණේ නැහැ .මං මගේ අදහස එයාට පැහැදිලිවම කිව්වා .අකමැත්තක් පෙන්නන්න තරම් දෙයක් දැක්කෙත් නැහැ .අපි බලමු"

සරෝජ් බොහෝ සන්සුන් සිනහවක් පාමින් පැවසුවේය. නිවේතා නිවසට ගොස් කෙටි පණිවිඩයක් හෝ තබන තුරු ඔහු බලා උන්නේය .එහෙත් සිදුව තිබුණේ නොසිතූ විරූ දෙයකි .රාත්‍රී හත අට වන තුරු නිවේතා නිවසට ගොස් තිබුණේ නැත. ඇයට උපරිම වශයෙන් නිවසට යන්නට ගත වන්නේ පැයක පමණ කාලයකි.

නිවසේ ගේට්ටුවට තදින් පහරදෙන ශබ්දයෙන් නිලීකාගේ මව සහ පියා සමගින් සරෝජ් ද වහා ඉදිරි දොර විවෘත කොටගෙන මිදුළට බැස්සහ .

"ආ මොකද මිස්ටර් ජයසේන .ඇයි මේ කලබලයෙන් වගේ?"

නිලීකාගේ පියාවූ රත්නායක මාමා ඔහුව හඳුනාගෙන පෙරට ගියේය.

"කලබල.කලබල නෙමෙයි කෙල්ලව එළියට දෙනවා .තමුන්ලාගේ ගෙදරට එනවා කියලා උදේ ආව කෙල්ල තාමත් නැහැ .මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගෙන හිටියා .ඒකෙන් මේකෙන් කමක්නෑ කෙල්ලව දෙනවා" 

ජයසේන නම් නම් වූ නිවේතාගේ පියා කතා කළ ස්වරය සරෝජ් හිරිපිටියගේ ආවේගය අවුස්සා ලූවේය .

"නිවේතා අද මෙහෙම් ගියේ හවස හතරට .නේද දුව?" 

ඒ වනවිට රත්නායක මාමා පසුපසට පැමිණ සිටි නිලීකාගෙන් රත්නායක නැන්දා ඇසුවේ මේ පවසන හතර බීරි කතාවේ අගක් මුලක් වටහා ගන්නට නොහැකි වූ හෙයිනි.

"හතරට ආවනං රෑ නමය වෙනකම් මේකි කොහෙද ගියේ. ඔය ඉන්න බැංකු මහත්තයගෙන් මං මේ අහන්නෙ .ඔය මහත්තයා පොත් එහෙම එවලා සැලකිලි කරනකොට මම දැනගෙන හිටියා නිවේතා මෙතනට රිංගන්න එන්නේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා .අපි යනවා පොලීසියට"

නිවේතාගේ කුඩම්මා පැවසුවේ කුරිරු හඬකිනි. මේ පවසන්නා වූ අභූත චෝදනාව හිතා ගන්නට බැරිව සරෝජ් හිරිපිටිය උඩ බිම උඩබිම බැලුවේය.

"ඔයාලට ඇත්තටම ඔල්මාදෙද ?නිකන් නිකරුනේ මිනිස්සුන්ට චෝදනා කරන්න එපා .ඔයාලා යන්න පොලිසි අපිත් යනවා"

රත්නායක මාමා පැවසුවේ ඉහවහා ගත නොහැකි කේන්තියකිනි .කෙසේවතුදු පසු දින වන විට සිදුව තිබුණේ නිලීකාගේ පියා සහ කුඩම්මා විසින් අභූත චෝදනාවන් රැසක් එකතු කොට පොලිසියේ පැමිණිල්ලක් දමා තිබීමය.ඔවුන් විසින් හවුල් කර ගන්නා ලද යම් යම් පොලිස් නිලධාරීන්ගේ පිහිට හේතුවෙන් චෝදනාව සරෝජ් හිරිපිටිය වෙතට හැරවීමට ඔවුන් බොහෝ ලෙසින් උත්සුක වූහ .

"තාවකාලිකව හරි මේ ප්‍රශ්නෙට අපිට මිස්ටර් සරෝජ් අත්අඩංගුවට ගන්න වෙනවා .කරන්න දෙයක් නැහැ නමුත් මිස්ටර් රත්නායක මෙයා වෙනුවෙන් ඇප ලබාගන්න ඉදිරිපත් වෙන්න. පැය 24ක් ඇතුලත අපි උසාවියට දානවා"

සරෝජ් හිරිපිටිය කැඳවාගෙන යන්නට පැමිණි පොලිස් නිලධාරියා පැවසුවේ රත්නායක මාමා දෙස බලමිනි .අහල පහල නිවෙස් වල සිටින්නාවූ සියල්ලෝම තාප්ප ගේට්ටු අයිනට පැමිණ බලා උන්නේ සරෝජ් හිරිපිටිය මහා අපරාධකාරයකු සේ පොලිසියට කැඳවාගෙන යන අයුරුය.ඉතින් ආරංචි වලට තටු ගසා ඉගිලෙන්නට බොහෝ කාලය තිබුණි .අභූත චෝදනාවක් එල්ල වීම හේතුවෙන් පැයකට හෝ රිමාන්ඩ් භාරයට පත් වීම ජීවිතයේ සිදු වූ ඉමහත්ම ලැජ්ජාව ය. මෙම ආරංචිය ලැබූ වහාම පොලිස් ස්ථානය වෙත පැමිණියේ සරෝජ්ගේ වැඩිමහල් සොයුරියගේ සැමියාය .ඔහු ඒ වන විට ද විටද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලයක පසු වූවෙක් විය .

"මොකද බං මේ කරගත්තු හරිය?"

සරෝජ් හිරිපිටිය ඇපමත නිදහස් කර ගන්නා ලදුව සිය රියට නංවා ගත් දේවක දිසානායක ඇසුවේ නිස්කලංක ස්ථානයක සිය රිය නවතා ලමිනි .

"මං දන්නෑ අයියේ .මේක මේ අහස පොළොව උහුලන්නෙ නැති කාරණයක් මෙහෙම චෝදනාවක් මගේ ජීවිතයේ කවදාවත් ඇවිල්ල නැහැ .නිලීකාගේ යාළුවෙක් නිසා මං ඒ ගෑනු ළමයට ඉගෙනගන්න බොහොමයක් උදව් කරා තමයි .නමුත් ඔය කියන විදියේ සම්බන්ධයක් වත් අපි දෙන්නා අතරේ තිබුණේ නැහැ"

සරෝජ් හිරිපිටිය අවසාන දිනයේ දී නිවේතාට සිය අදහස ඉදිරිපත් කළ බව පමණක් සගවා සෙසු සියල්ල සත්‍ය වශයෙන්ම සිය මස්සිනා වෙත පවසාලූයේය .

"මුං දැනං උන්නෙ නැහැ මං ඉන්නේ පොලිසියේ කියලා. කියක් හරි අතමිට මොලවපුවාම දෙකට නැමෙන එවුන් කොතනත් ඉන්නවා .මං ඌවත් බලා ගන්නමකෝ .උ ඹ සතියක් නිවාඩු දාපන්. දාලා අපේ ගෙදර හිට පං .මේ ඔක්කොම මං ගානට මගේ ක්‍රමයට විසඳන්නම් .ඔතන පොලිස් කේස් එකක් යනවනේ .ඒ නිසා ඔය කෙල්ලගෙ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේශන් එකක් යන්නම ඕන" 

දේවක දිසානායක පැවසුවේ බොහෝ සෙයින් කලකිරීමට පත්ව හිස අත් බදාගෙන සිටින සිටිනා සිය බිරිඳගේ සහෝදරයා දෙස බලමිනි .තමාගේ බිරිඳගේ සොහොයුරා වුවද සරෝජ් හිරිපිටිය කෙතරම් ලබැඳි පුද්ගලයෙකුද යන්න දේවක දිසානායක මැනවින් වටහාගෙන උන්නේය .එහෙත් චෝදනාවක් යනු චෝදනාවක්මය .සැකයකට කෙනෙක් ලක් වූ පසු එය තමන්ගේ හෘදයාංගම පුද්ගලයෙක්ද ලබැඳියෙක්ද යන්න නීතියට අදාළ කාරණයක් නොවේ .ඉතින් සොයා ගත යුතු දේ බොහෝ ඇත .දේවක දිසානායක කල්පනාවෙන් හිස ඉහළට හා පහළට වනමින් ඇමතුමක් ගත්තේය .

"මේ කේස් එක බාර වෙලා ඉන්නේ කවුද .මට වහම ඒ ඔෆිසර්ට කියන්න කෝල් කරන්න කියලා"

ජංගම දුරකථනය විසන්ධි කොට පසෙක තැබූ දේවක දිසානායක සිය බිරිඳගේ සොහොයුරාගේ උරහිසට සෙමින් තට්ටු කළේ ඔහුට ආත්ම විශ්වාසයක් ඇති කර දෙන රිසියෙනි. එම මොහොතේම ඔහුගේ දුරකථනයේ යළිත් නාද විය 

"ජයසුමන කියන්න,..ඕකේ ඔයා නම් ඒ කේස් එක බාරව ඉන්නේ .හරි මේ කේස් එක හරියටම පොයින්ට් එකටම කෙරෙන්න ඕනෙ .මම දැන් පොලිසියට එනවා මට මේක සම්බන්ධයෙන් තියෙන රිපෝට් ටික ඔක්කොම පෙන්නන්න"

දේවක දිසානායක යනු පොලීසියේ ඉහළ නිළධාරියෙකු වූ හෙයිනි මේ කරන්නට යන පරීක්ෂණ සියල්ල ගැන සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහිතව ඔහු උන්නේය. එහෙත් සරෝජ් හිරිපිටිය පසුවූයේ සිතා ගන්නට නොහැකි වික්ෂිප්ත භාවයකින් යි .නිවේතාහට සිදුවූයේ කුමක්ද යන්න තවදුරටත් අභිරහසක්ම විය .දේවක දිසානායක හට තවදුරටත් සඟවා ගන්නට කිසිවක් නොවූ තැන සියලුම කාරණා ඔහු වෙත පැවසීය .ඩෙන්සිල් සම්බන්ධයෙන් සැකයේ ඇස ක්‍රමානුකූලව දිස්වෙද්දීත් දෙවක දිසානායක නිහඬව උන්නේ පැටලුම ලිහා ගත යුත්තේ සෙමින් හෙයිනි.කෙසේවතුදු ඩෙන්සිල් පවා සියලුම සාක්ෂි ඉතුරු නොවන සේ තම ක්‍රියාකාරිත්වය කරගෙන ගිය හෙයින් නිවේතා සම්බන්ධ සිදුවීම තවදුරටත් අභිරහසක් ව පැවතුණි .

ඒ කාරණය හේතුවෙන් සිය බැංකු රැකියාවෙන් ඉවත් වූ සරෝජ් හිරිපිටිය කිසිදු කාරණයක් ඔප්පු කරගත නොහැකි වූ හේතුවෙන් නිවේතා සම්බන්ධයෙන් යොමු වූ චෝදනාවෙන් ද නිදහස් විය .එහෙත් ජීවිතයේ තමන්ගේ තුරුණු වියේ හැඟීම් අවදි කළ ඒ අසරණ කෙල්ල සම්බන්ධව සරෝජ් හිරිපිටිය බොහෝ ලෙසින් කම්පා විය .ඇයගේ දෑස් අවසාන දිනයේ දී දිදුලන්නට වූයේ තමා විසින් පුදකළ ප්‍රේමයේ ආශ්වාදනීය බව නිසා විය යුතුය .ඒ ආදරයක් නොලද්දිය, සැමදාම නිවසේ වූ අප්‍රමාණ ගැහැට හේතුවෙන් බිඳෙන්නට වූ චරිතයක් වූ ඇය තමා ඇසුරේ දී බොහෝ සෙයින් නිවී සැනසුන බව සරෝජ් හිරිපිටිය දැන උන්නේය .කෙසේවතුදු ඇය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු කාරණා තමන්ගේ ක්‍රමයටද සෙවිය යුතු බව සරෝජ් හිරිපිටිය තමන්ගේ සිතටම ඒත්තු ගැන්වූයේය .

සිදුවූ සිද්ධි දාමයෙන් ඇතිවූ කලකිරීම හේතුවෙන් සරෝජ් හිරිපිටිය සිය බැංකු රැකියාවට සමුදුන්නේය .මේ කාරණය නිසාමත්ම හේතුවෙන් නොව ඔහු බැංකු රැකියාවට යොමු වූයේ තාවකාලික ව හෙයින් මේ කාරණයත් පාදක කොටගෙන ඔහු සම්පූර්ණයෙන්ම බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත් විය .සරෝජ් හිරිපිටිය ඒ වන විටත් නීති විද්‍යාලයේ අවසන් විභාගය සමත්ව සිටියේය .

නීතීඥයෙක් වශයෙන් දිවුරුම් දීම සිදුකළ පසු ඔහු සිතාගෙන උන්නේ පූර්ණකාලීනව දේශපාලනයට යොමු වීමටය .මේ සම්බන්ධයෙන් සරෝජ් හිරිපිටිය ගේ නිවසින් ද ඔහුට තිබුණේ බලවත් සහයෝගයකි .දේශපාලනයට වක්‍ර මාර්ගය සම්බන්ධ වූ පවුලක් වූ හෙයින් හිරිපිටිය පවුලේ අක් මුල් පැතිරී තිබුණේ ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයට සෘජුවම සම්බන්ධ වී ය .නිලීකා සම්බන්ධයෙන් සිදු වූ කාරණය කළු පැල්ලමක් වුවද එය අවසානයේ සරෝජ් හිරිපිටිය ගේ නිර්දෝෂීභාවය ඔප්පු වීම හේතුවෙන් ඔහුට ගැටලුවක් ගැටළුවක් නොවුවද දේවක දිසානායක මෙම පරීක්ෂණයන් අතහැරියේ නැත .

ගෙවී ගිය මාස කිහිපයේදීම දේවක දිසානායක සිය උකුසු ඇස යොමු කොට ගෙන තිබුණේ ඩෙන්සිල්ගේ ක්‍රියාදාමයට ය .පාලිකා සහ ඩෙන්සිල් ගේ විවාහය යොදාගත් දිනටම සිදු වුවද එම විවාහයේ ද යම් යම් පලුදු ආදිය ආරංචි විය.පාලිකා හට විවාහ ජීවිතයක වගකීම් සහ යුතුකම් දරා ගන්නට හැකියාවක් තිබුණේද නැත.අනෙක් අතට ඩෙන්සිල් ගත කළේ බෙහෙවින් සල්ලාල දිවියකි.

මාස ගණනක ඇවෑමෙන් මත්ද්‍රව්‍ය ජාවාරමකට අත්අඩංගුවට ගන්නා ලද චුට්ටේ සහ සහ සුද්දා නම් වූ දාමරිකයන් දෙදෙනාගේ ප්‍රශ්න කිරීම් අතරේදී ඩෙන්සිල් විසින් සිදුකරන ලද නිවේතාගේ පැහැර ගැනීම ද හෙළිවූයේ ඒ වන විට ද චුට්ටේ සතුව තිබුණේ නිවේතා පරිහරණය කළ ජංගම දුරකථනය වූ හෙයිනි .එහිවූ සිම් පත ඉවත් කර වෙනත් සිම් පතක් යොදා භාවිතා කළ ද දේවක දිසානායක විසින් සරෝජ් හිරිපිටියගෙන් ලබා ගත් ඉමි නම්බරය හේතුවෙන් මේ පුද්ගලයා අත තිබූ ජංගම දුරකථනයේ අනන්‍යතාවය සොයා ගන්නට හැකිවිය.

"මු න්ගෙන් ඉතින් ගැලපෙන ක්‍රමයට අහනකොට ඉබේම වෙච්ච සිද්ධිය කිව්වා"

දේවක දිසානායක සරෝජ් සමගින් පැවසුවේ සරෝජ් හිරිපිටිය එම පුවත් අසා වේදනාවෙන් කම්පිත ව සිටියදී ය.

"ඔය ඔය ඩෙන්සිල් කියන මි නිහා කෙල්ලට කරදර කළ බව වටින් ගොඩින් ආරංචි වේගෙන එනකොට තමයි මම මේ මෙයාට මගේ හිතේ තියෙන අදහස කිව්වේ .ඒත් ඒ කියපුම දවසෙ තමයි මේ සිද්ධිය සිද්ද වුණේ.ඒත් ..ඒත් ..කෝ එතකොට කෙල්ල?" සරෝජ් හිරිපිටිය දේවක දිසානායකගෙන් විමසීය .

"මොවුන් කෙල්ලව දෙනියාය පැත්තේ පාරක් අයිනේ අතෑරලා දාලා ගිහින් තියෙනවා. වෙච්ච කිසිම දෙයක් හොයා ගන්න ලැබුණේ නැහැ .මම හෙට යනවා දෙනියායට උ ඹත් එනවද?"

දේවක දිසානායක සිය බිරිඳගේ සොහොයුරාගෙන් පැවැසුවේ මේ ගමනේ ඇතැම් දේවල් සරෝජ් හිරිපිටිය දෑසින්ම දැක ගැනීම ද ඉතා උචිත යැයි ඔහුට සිතුණු බැවිනි 

"යමු මම එනවා" සරෝජ් අවධාරණයෙන් ප්‍රකාශ කළේ ඔහුට ද සිදුවන සියල්ල දෑසින්ම දැක ගත යුතුව ඇති හෙයිනි. 

දෙනියායට ගොස් මාස ගණනකට පෙර සිදු වූ එම සිදුවීම් දාමය විමසීමකට ලක් කළද ඔවුන්හට විස්තරයක් දැන ගන්නට අසීරු විය .එහෙයින් ඩෙන්සිල් පොලිස් ආරක්ෂාව මත දෙනියාය ප්‍රදේශයට රැගෙන එන්නැයි දේවක දිසානායක සිය සහය නිලධාරියාහට අණ කළේය .ඩෙන්සිල් විසින් නිවේතා වාහනයෙන් ඇද දමා ගිය ප්‍රදේශය ආසන්න වශයෙන් පෙන්වා දුන් අතර සරෝජ් හිරිපිටිය ඩෙන්සිල්ගේ මුහුණ වත් නොබලා ඉවත බලා සිටියේ පොලිස් ආරක්ෂාව යටතේ සිටින්නා වූ පුද්ගලයකුට පහර දීම ගැටලුවක් වන හෙයිනි .නැත්නම් ඔහුට ඒ මොහොතේ පැවතුනේ ඩෙන්සිල්ගේ ගෙල මිරිකා දැමීමට තරම් ආවේගයකි .

"මට මූව දකිනකොට බෙල්ල මිරිකන්න හිතෙනවා අයියෙ" දේවක දිසානායක අසලට ගිය සරෝජ් පැවසුවේ පාලනය කරගත නොහැකි දැඩි ආවේගයකිනි .

"ඉවසල හිට පං. අපි ඉස්සෙල්ලා මේකෙ අග මුල හොයාගන්න ඕන මුන්ට කොහොමත් ගැලවීමක් වෙන්නේ නැහැ මේ සැරේ නම්"  දේවක දිසානායක සිය සොහොයුරාගේ උරහිසට තට්ටු කරමින් පැවසුවේය.

ගම්වාසීන්ගෙන් විවිධාකාර අන්දමින් ආරංචි කිරීම් කරගෙන යද්දී දේවක සහ සරෝජ් ඉන්නා ඉසව්වට පැමිණියේ සුදු අත්තම්මාය. ඇය ඒ වන විට යම්කිසි කායික රෝගයකින් පෙලෙමින් සිටි අතර බොහෝ දුබලව උන්නාය. ගම්වාසීන්ගේ සහාය ඇතිව ඔවුන් හමුවීමට පැමිණි සුදු අත්තම්මා හෙළි කළේ ඇය නිවේතාව රැක බලාගත් අන්දමයි .

"මේ අම්මට ගොඩක් පින් .මේ වෙනකොට එහෙනම් නිවේතා ඉන්නේ අංගොඩ .එහෙම නේද?"

දේවක දිසානායක සුදු අත්තම්මාට ස්තුති කරමින් සමු ගන්නට මොහොතකට පෙර විමසීය.

"පුළුවන් කමකට මම ඒ කෙල්ලව බාරදීලා ආවා නෙවෙයි මහත්තයෝ .ඒ ගෙවිච්ච කාලෙදිම ඒ දරුවා හිටියෙ මගේ දරුවෙක් වගේ .නමක් ගමක් කිසිම විස්තරයක් දැනගත්තේ නැතිවුනත් මගේ ලෙයින් වදපු දරුවෙකුට හා සමානව මං මේ දරුවාට සැලකුවා"

"පොඩි දරුවෙක් එක්ක මට එයාගෙ මානසික ප්‍රශ්නය බලාගන්න බැරි හින්දයි මම ඉස්පිරිතාලෙන් කියපු දේට එකඟ වුණේ. අනේ මහත්තයලට බුදු බව අත් වෙයි මගේ කෙල්ල ඉන්න තැනකින් පරිස්සමින් බාර ගන්න" 

සුදු අත්තම්මා කඳුළු පිරුණු දෑසින් යුතුව පැවසුවාය. සරෝජ් හිරිපිටිය දේවක දිසානායක සමගින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පැමිණියේ නිවේතා දකිනු රිසියෙනි .ඇය කුමන ආකාරයක කුමන තත්ත්වයක උන්නද ඇය තමාගේ සිතේ ආදරයක් ඇති කළ යුවතිය බව සරෝජ් අමතක කළේ නැත.

"මල්ලි දැන් උඹේ තීරණය මොකක්ද? ඒ කෙල්ලට දරුවෙකුත් ඉන්නවා"

දේවක දිසානායක ඇසුවේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ගේට්ටුවෙන් සිය රථය ඇතුල් කරන අතරේය.

"ඒ දරුවා කාගෙ දරුවෙක් උනත් මට ප්‍රශ්නයක් නැහැ අයියේ .නිවේතා කැමතිනම් මම එයාව බාරගන්නවා" 

සරෝජ් හිරිපිටිය තරයේම ප්‍රකාශ කළේ සිය මතයයි .එම අදහස තවත් ප්‍රශ්න ගොඩකට අනාගතයේ දී මුහුණ පාන්නට සිදුවන දෙයක් බව ඔහු දැන ගත්තේය .එහෙත් තමාගේ සිතට එකඟව තමා හට කළ හැකි දේ එය බව ඔහු තරයේම සිතුවේය .

"අපි ගිහින් බලමු ඉස්සෙල්ලා අපි දන්නේ නැහැනේ එතන තත්ත්වය මොකක්ද කියලා" 

දේවක රියෙන් බසිමින් සිය සොහොයුරාට පැවසුවේය. විශේෂඥ වෛද්‍යතුමාගේ අවසරය සහිතව නිවේතා සිටින වාට්ටු පරිශ්‍රයට ගිය දෙසොහොයුරන්ට දකින්නට ලැබුණේ මිදුලේ ගසක් යට බංකුවක හිඳගෙන සිටින නිවේතාය. ඇය අත කුඩා සිඟිත්තියද විය.සිය හදවත රිදුම් දෙද්දී සරෝජ් හිරිපිටිය දේවක දිසානායක සමගින් ඇය අසලට ගියේය. නිරූපා නම් වූ හෙද නිලධාරිනියද ඇය ආසන්නයේ සිටියාය. 

දේවක සිය උගුර පෑදීමත් සමග හිස ඔසවා බැලූ නිවේතා මොහොතකට තිගැස්සී ගියාය .ඇයගේ විශාදීය තත්ත්වය යම්තාක් දුරකට ඖෂධ ප්‍රතිකාර සහ චිකිත්සාමය ප්‍රතිකාර හේතුවෙන් සුවපත් වෙමින් පැවතුණි. දේවක දිසානායකට යොමු වූ ඇස් ක්‍රමානුකූලව සරෝජ් හිරිපිටිය වෙතට යොමු වද්දී නිවේතාගේ දෑස් විසල් වූයේ මවිතයෙනි. 

ජීවිතයේ යම් යම් සිදුවීම් අමතක වී යැයි සිතාගෙන උන්නද ඒ සියල්ල මතක ගබඩාවේ එය කොහේ හෝ තැනක යටපත් ව සිටී .සරෝජ් පිළිබඳ මතකයද නිවේතාගේ මනසේ එසේ තරයේම ගබඩා වී තිබූ මතකයකි. 
සරෝජ් හිරිපිටිය නිවේතාගේ විශාල වූ දෑස් දෙස බලා සිනහසෙන්නට උත්සාහ ගත්තේය .ඒත් ඒ ලොකු දෑස් වල කඳුළක් පිරී ඉතිරී යනු මොහොතකට පසුව ඔහු දැකගත්තේය. 

"නිවී කොහොමද ? අපි ඔයාව බලලා යන්න ආවේ" 

සරෝජ් හිරිපිටිය සුසුමකට පසු පැවසුවේ බොහෝ ඉවසීමෙනි. නිවේතා සුසුමක් හෙලා කිසිවක් නොකියා ඉවත බලා ගත්තාය. මේ සිදුවීමෙන් පසු ඇය ප්‍රතිචාර දැක්වීම අවම කොට තිබුණාය .

"නිවේතා නංගි මම දේවක දිසානායක. සරෝගේ අක්කා බැඳලා ඉන්නෙ මම. මම වැඩ කරන්නේ පොලිසියේ .අපි ඔයාව හැමතැනම හෙව්වා අන්තිමේදී ඔයාගේ සුදු අත්තම්මාගේ විස්තරයට අනුව තමයි අපි ඔයා මෙතන ඉන්න බව හොයාගත්තේ. ඔයාට මොනවා හරි කියන්න තියෙනවද?" 

දේවක දිසානායක රාජකාරී මට්ටමින් මොහොතකට මිදී සිය හඬ මෘදුව කළේය .නිවේතා හිස දෙපසට වනා අසුනෙන් නැගී උන්නාය .

"මෙයාලට යන්න කියන්න මිස් .මම කවුරුවත් හම්බවෙන්න කැමති නැහැ කියලා කියන්න" 

නිවේතා ආපසු හැරී සිය වාට්ටුව වෙත පිය මැන්නේ දරුවාද හෙදියගේ අතින් රැගෙනය .නිරූපා නම් වූ එම හෙද නිලධාරිනිය සිය සහය සේවිකාවක් නිවේතාගේ පසුපසින් යන ලෙස ඇසින් ඉඟි කොට දේවක සහ සරෝජ් සමග කතාබහට එක් වූවාය.

"නිවේතා තාමත් ඉන්නේ සම්පූර්ණ සුවයකින් නෙමෙයි .මෙයා දරුණු විදිහට අපහරණයට ලක් වෙච්ච කාන්තාවක්. ඒ උනාට එයා තාම දන්නේ නැහැ එයාට ඒ දේ කලේ කවුද කියලවත්. මොකද ඒ තරමටම ඒ මිනිස්සු මෙයාට මත්ද්‍රව්‍ය ඇඟට ඇතුල් කරලා තියෙනවා. ඒ නිසා මෙයාගේ පියවි සිහිය හුඟක් දුරට ඈත් වෙලයි තිබුණේ මෙහෙට ගේනකොට" 

හෙද නිලධාරිනිය විස්තර කරමින් සිටියදී සරෝජ් හිරිපිටිය සිය දෑත මිට මොලවා ගත්තේ ඇතිවූ ආවේගය පාලනය කර ගන්නටය. දේවක දිසානායක සිය සොහොයුරාගේ උරහිසට තට්ටු කරමින් ඔහු සන්සුන් කරවන්නට තැත් දැරීය. 

"ඇත්තෙන්ම කියනවනම් මේ පොලිස් පරීක්ෂණ නිසා මෙයාගේ නම ගම විස්තර දැනගත්තත් මෙයා කවුද කියන්නවත් ඇත්තටම අපි දැනගෙන හිටියේ නැහැ. මෙහෙට බාර දීල තිබුණෙ මෙයාව බලාගෙන හිටපු සුදු අත්තම්මා කියන කෙනා මෙයාට දීල තිබුණ නමත් එක්කයි. ඒ දවස්වල සේපාලිකා කියලා කතාකළොත් විතරක් මෙයා ඔලුව උස්සලා බැලුවේ.නිවේතා කියන නමට මෙයා ප්‍රතිචාර දක්වන්නේ නැති මට්ටමක තමයි මෑතක් වෙනකල්ම හිටියේ"

හෙද නිලධාරිනිය විස්තර කොට පැවසුවාය. නිවේතාහට ජීවිතය ගෙන දී තිබුණේ ඉතාමත්ම දරුණු අන්දමේ හිරිහැරයන් ය.ඇය බහු පුද්ගල අපහරණයට ලක් වී තිබුණා පමණක් නොව ඒ හේතුවෙන් කායිකව සහ මානසිකව බොහෝ වියවුලකට ලක්ව උන්නාය. කෙසේ හෝ ප්‍රතිකාර ඇසුරෙන් නිවේතා මඳින් මඳ සුවපත් වී සිටිය ද ඇය තමාගේ අතීතයට සම්බන්ධ වූ කිසිම පුද්ගලයකු ගැන කතාබහ කළේ නැත .එහෙත් මේ මොහොතේ දී සරෝජ් හිරිපිටිය දුටු මනසින් ඇයගේ මුහුණෙහි ඇති වූ ඉරියව්වල වෙනස්කම නිරූපා නම් වූ හෙද නිලධාරිනිය ද වටහා ගත්තාය .ඇත්තෙන්ම සුබ ලකුණක් බව ඇය ඔවුන් හට ද ප්‍රකාශ කළාය.

"අපි ඉවසීමෙන් ඉදිරියටත් මේ ප්‍රතිකාර කටයුතු කරගෙන යමු. මිස්ටර් සරෝජ් ඔයාලා වරින්වර මෙයාව බලන්න එනවා නම් හොඳයි. ඒ වගේම මෙයාට හිරිහැර කරපු අය නෙමෙයි මෙයාව හොඳින් රැක බලා ගත්තු ගත්තු, මෙයා කැමති අයව පොඩ්ඩක් මෙයාව බලන්න එක්කන් එන්න"

ඉන්පසු ද විටින් විට වාර කිහිපයක්ම සරෝජ් හිරිපිටිය නිවේතා හමුවන්නට ඇය සිටි රෝහල වෙත ගියද ඇය ඔහු හමුවන්නට පැමිණීම ප්‍රතික්ෂේප කළාය. පුදුමයකට මෙන් මානවී සරෝජ් අතෙහි නැලවෙන්නට බොහෝ ප්‍රියවූවාය .ඇතැම් දිනවල සරෝජ්ගේ අතට යන මානවී ඔහුගෙන් යළි මුදා ගැනීමට කාර්‍ය මණ්ඩලයට මහත් සටනක් කරන්නට විය. නිවේතා මේ කිසිවක් නොදුටු ලෙසින් ඉවත බලාගෙනම උන්නාය . 

එසේ පැමිණුන එක් දිනයක සරෝජ් හිරිපිටිය සමගින් නිලීකාද පැමිණියාය.නිලීකා , නිවේතා වෙත පැමිණ ඇය අභිමුව දිස්වන මොහොතේදී නිවේතාගේ දෑස් වලින් කඳුළු ගලා හැලෙන්නට පටන් ගත්තේ නොනවත්වාය .සිය මිතුරියගේ උරහිසට හිස තබා ගනිමින් ඉකිගසා හඬන නිවේතා සනසන්නට නිලීකා බොහෝ වේලාවක් උත්සාහ ගත්තාය .

"අනේ කෙල්ලෙ ඔය ඇති ඇඬුවා ඉතින් ..කෝ පොඩ්ඩක් ඔලුව උස්සන්නකෝ අපි ටිකක් කතා කරමුකෝ"

නිලීකා සිය මිතුරියගේ කොපුල් හරහා ගලා හැලෙන කඳුළු බිඳු පිස දමමින් පැවසුවේ සිය දෙනෙතින් ද කඳුලු රූරා ගලායද්දීය .සරෝජ් හිරිපිටිය මේ දෙදෙනාගේ කතාබහට හවුල් නොවී මානවී සුරතල් කරමින් මඳක් ඈතට ඇවිද ගියේය .

දෙමිතුරියෝ බොහෝ වේලාවක් කතාබහ නොකර සුසුම් ලමින් එකිනෙකාගේ දෑත් වල පැටලී බලා උන්හ.

"නිවී වෙච්ච හැමදේම වුණා .අපි ඔය දේවල් අමතක කරමු .අර චූටි දරුවා මේ කිසිදේකට වග කියන්න ඕන කෙනෙක් නෙමෙයිනේ .අපි එයාව ලස්සනට හදා ගමු .සරෝජ් අයියා.."

නිලීකා මොහොතකට තම කතාව නවතා සරෝජ් ඉන්නා දෙස දිහාව බැලුවාය .මානවී ඔහුගේ හිසකෙස් වලින් අදිමින් සුරතල් වන්නීය .ඇයගේ කටහඬ තාත්තා තාත්තා ලෙසින් කිරි සිනහවක් ද සමගින් ඇසෙයි. සරෝජ් ඇයගේ වත සිප ගනිමින් සුරතල් කරන්නේය.

"නිලී සරෝජ් අයියට මෙහෙ එන්න එපා කියන්න.මම කැමති නැහැ එයා එනවට"

නිවේතාගේ ස්වරය ඉතා දැඩි විය. නිලීකා විමතියෙන් මෙන් ඇය දෙස බැලුවාය .තවමත් නිවේතා ඉන්නේ පියවි සිහියෙන්දැයි ඇයට සැකයක් උපදී.

"ඇයි මං දිහා ඔහොම බලන්නේ? මං කියන දේ වැරදිද? හරි මොනවා හරි දෙයක් වුණා තමයි .ඒත් සරෝජ් අයියා මොකටද මෙහෙම එන්නේ .එයාගෙයි මගෙයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැනේ" 

නිවේතා පැවසුවේ හොඳ සිහිකල්පනාවෙනි. 
"නිවී මේ අහන්න , ඔයා නොදන්නවා නෙවෙයිනේ, සරෝජ් අයියා ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ.එදා අන්තිමට අපේ ගෙදර ආව දවසේ ඔයාට එයා එයාගේ හිතේ තියෙන දේවල් ඔක්කොම කිව්වනේ .ඉතින් තාමත් එයා වෙනස් වෙලා නැහැ .එයා ඔයාවයි දරුවයි දෙන්නම බාර ගන්න එයා කැමතියි"

නිවේතා නිලීකා දෙස හැරුණේ දැඩි කෝපයක් ඇස්වල රඳවාගෙනය .

"නිලී, ඔයාට පිස්සු හැදීගෙන එනවද? කාගෙවත් පව් කොහෙවත් යන කෙනෙක්ගෙ පිට පටවන්න මට ඕනකමක් නැහැ. සරෝජ් අයියට තමන්ගේ ජීවිතය ගැන බලාගන්න කියලා හරියට ඔයා කියන්න. මම දරුවත් හදාගෙන මට පුළුවන් විදියට ජීවත් වෙන්නම්"

නිවේතා පැවසුවේ හිඳ උන් අසුනෙන් නැගී සිටිමිනි. තවදුරටත් නිලීකා සමගවත් කතා කිරීමට ඇයගේ අවශ්‍යතාවයන් නොවූ හෙයින් වහ වහා ඇය වාට්ටුව තුලට වැදුනේ රෝහල් සහායිකාවකට දරුවා ඇසෙන් පෙන්වමිනි. 

"කොච්චර කිව්වත් වැඩක් නෑ සරෝජ් අයියේ.මේකි මහ ගලක් වගේ ගෑනියෙක් .තීරණයක් අරගත්තොත් අරගත්තම තමයි ඉතිං .අපි තව ටිකක් හෙමිහිට උත්සාහ කරලා බලමු"

නිලීකා සරෝජ් හිරිපිටියට පැවසුවේ ආපසු එන අතර මඟදීය .

"නිවේතාගෙ පැත්තෙන් ගත්තොත් ඒක අසාධාරණ නැහැ නංගි. එයා ශාරීරිකවත් මානසිකවත් සෑහෙන්න දුර්වල වෙච්ච කෙනෙක් .මේ වෙලාවේ වෙලාවෙත් එයාට මං වුණත් සමීප වෙන්න යන එක එයාට කරදරයක් වෙන්න පුළුවන් අපි.එයාට ගොඩනැගෙන්න ඉඩ දෙමු"

සරෝජ් හිරිපිටිය මේ මොහොතේදී වූයේ දැඩි අවබෝධයක් ඇතිවය .එහෙයින් තවදුරටත් ප්‍රතිකාර වල යෙදෙන නිවේතාහට සිය ජීවිතය ගොඩනඟා ගන්නට සහාය විය යුතු බව ඔහු තීරණය කළේය. මේ අතර ඩෙන්සිල්,විවිධ ආකාර නීති විරෝධී ක්‍රියා වල මෙන්ම නිවේතා අපයෝජනය කිරීමේ හේතුව යන කාරණා දෙක මතම දීර්ඝකාලීනව සිර දඬුවම් ලබන්නට විය. 

"ඕකට ඔහොම වෙලා මදි .ඇත්තෙන්ම එළියෙ හිටියා නම් මනුස්සයා මා අතින් මැරෙන්නත් ඉඩ තිබුණා" 

සරෝජ් හිරිපිටිය දේවක දිසානායක සමගින් පැවසුවේ ඩෙන්සිල් රැගෙන යන බන්ධනාගාර බස්රථය දෙස බලාගෙනය. ඔවුන් අසලට පැමිණ හැඬූ කඳුළෙන් සහ රැවුම් බැල්මෙන් බලා සිටිනා පාලිකා ඔවුන් දුටුවේ ඒ මොහොතේය. 

"මේ කරපු දේට හොඳක් නම් වෙන්නෙ නැහැ . අර කොහෙවත් යන ගෑනියෙක් නිසා අන්තිමට මමයි තනිවුනේ .මම ගිහිල්ලා ශාප කරනවා ත මු සෙලා ඔක්කොටම"

පාලිකා තවදුරටත් කියවමින් ආපසු හැරී ගියාය .

"පේනවා නේද? කොච්චර ගුටි කෑවත්, වෙන වෙන ගෑ නුන්ගේ පස්සේ ගියත්, බිවුවත් ඒ ගෑණු මනුස්සයාට ඕන තමන්ගේ මනුස්සයාවමයි. එතනදි නිවේතාට වෙච්ච දේ පාලිකාටත් ගානක්වත් නැහැ"

දේවක දිසානායක පැවසුවේ ඔහුගේ අත්දැකීම් වලට එක් වූ තවත් අත්දැකීමක් ලෙසින් පාලිකාගේ හැසිරීම ගණන් ගෙනය.
කාලය ගතවී යෑමත් සමගින් නේවාසික ප්‍රතිකාර සමයෙන් මිදී බාහිර ප්‍රතිකාර සඳහා නිවේතාව කැඳවිය හැකි බව රෝහලින් දැනුම් දුන්නේ සරෝජ්ට සහ නිලීකාටය. මේ වන විට සරෝජ් නිවේතා බැහැදකින්නට යෑම පාලනය කොට තිබුණේ ඔහු දකින දකින වාරයක් පාසා නිවේතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමකට ලක්කළ හෙයිනි .

"නිවී අපේ ගෙදර ඉන්න කැමති නැහැ .ඉතින් අපි මොකද මේකට කරන්නේ?" 

තීරණයක් ගැනීමට නොහැකිව නිලීකා තවදුරටත් කල්පනා කරමින් සරෝජ් හිරිපිටිය සමගින් පැවසුවාය. 

"එයා අකමැති දෙයක් කරන්න අපිට බැහැනේ නංගි , අපි එයාට සේෆ් තැනක් හොයමු ඇනෙක්ස් එකක් වගේ. ඔයාගේ ගෙදරින් දැනට වියදම දරන විදියක් පෙන්වන්න. මම දෙනවා කිව්වොත් නිවී කීයටවත් සල්ලි බාරගන්නේ නැහැ. එයාට ජොබ් එකකට යන්න , ඉගනගන්න හරි එයා හිතන,එයා කැමති ඕනෑම දේකට අපි ඉඩදීලා බලන් ඉම්මු "

සරෝජ් පැවසුවේ මේ මොහොතේ වඩාම ගැලපෙන්නාවූ විකල්පය එය හෙයිනි. ඇයට කායික ,මානසික දෙඅංශයෙන්ම යළි නැගෙන්නට අවැසි බව ඔහු වටහාගෙන සිටියේය. නිලිකා විසින් සොයනු ලදුව කුඩා ඇනෙක්සියක් නිවේතා සහ දියණිය වෙතට සකසාගනු ලැබුවේ කෙටි කාලයක් තුලදීය. නිවේතාහට කාර්යාලයක ලිපිකාරිනියක ලෙස රැකියාවක් සොයාදෙන්නට සරෝජ් හිරිපිටිය ක්‍රියාකළේ ඇයට නොහැඟෙන්නටය .මන්ද..ගතව ගිය කාලයේදී හෝ නිවේතා ඔහුව මඟ හැරියා විනා මුහුණ දෙන්නට හෝ අකමැති වූවාය .

"මකුණෙක් කෑවම පුටුව පොලවේ ගහනවා වගේ වැඩක් තමයි නිවී උඹත් මේ කරන්නේ. කාලකන්නි       යකෙක් කළ දේකට අර රත්තරන් වටිනා මනුස්සයෙක්ගෙන් පලිදරන්නේ ඇයි නිවී?"

කේන්තිය ඉහවහාගිය දවසක නිලීකා ඇසුවේ තවදුරටත් නිවේතාගේ හිතුවක්කාරකම ඉවසා දරාගන්නට නොහැකි තැනය .

"සරෝජ් අයියා වගේ ගුණයහපත් මනුස්සයෙකුට මං වගේ කෙනෙක්ට කරගහලා අසාධාරණයක් වෙන්න දෙන්නද උඹ කියන්නේ?"

නිවේතා ද එකට එකම පැවසුවාය.

"හරි සාධාරණ අසාධාරණ කතාව පැත්තක තියපන්කෝ උඹ සරෝජ් අයියට කැමතිද නැද්ද?" 

නිලීකා ඇසුවේ නිවේතාගේ මුහුණටම එබෙමිනි . නිවේතා නිලීකාගේ දෑස් මගහැර ඉවත බැලූවාය.

"ඇයි අහක බලාගන්නේ කෙලින් මගේ මූණ දිහා බල පං.බලලා මං අහපු දේට උත්තර දී පන්"

නිලීකා නිවේතාගේ මුහුණ දෙපසින් දෑත් යවා තමා වෙතට හරවා ගත්තාය. ඇයගේ දෑත් එක් වනම දෙපසට ගසා දැමූ නිවේතා, 

"කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන තියෙන කාරණය .එයා මට ළං වෙන්ඩ ඕන නැහැ .මගේ දරුවාට ළං වෙන්න ඕනත් නැහැ .ආදරේ කියන්නේ බොරුවක්. මේ වගේ දෙයක් වුණාට පස්සෙත් කිසිම වටිනාකමක් නැති ගෑණියෙක්ගේ පස්සේ එයා එනවා කියන්නේ එයාගේ වටිනාකමක් නැති වෙන එක"

නිවේතා වියරුවෙන් මෙන් පවසා සිටියාය .ඇයව තවදුරටත් කේන්ති ගැස්සවීම යනු තවමත් සියයට සියයක්ම සුවපත් නොවූ ඇයගේ විශාදිය තත්ත්වය යළි මතු වීමක් බව දන්නා හෙයින් නිලීකා නිහඬ වූවාය. ඇතැම් විට තවමත් ඉඳහිට හඬාවැටෙන, හූල්ලන නිවීගේ ඇතුළාන්තය, වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගනිමින් තිබුණි.

නිවේතාහට සොයා දුන් ඇනෙක්සිය තිබුනේ නීලිකාගේ නිවසට ආසන්නයේ හෙයින් රැකියාවට යන විට සිඟිති මානවී බලාගැනීමේ ගැටලුව විසඳී ගියේද නීලිකාගේ අම්මා සහ තාත්තාගෙනි.

"මේ වයසක අපි දෙන්නට තාම දරුවො බලාගන්න හයිය තියනවා පුතේ.චූටි දෝණි අපි දෙන්නට හුඟක් එකතුයිනෙ.ඔයා බය නැතුව වැඩට යන්න"

රත්නායක නැන්දා සහ මාමාගේ අනුදැනුම නිවේතාට සහයක් වූයේ එලෙසිනි.සිඟිත්තිය බහතෝරන්නාවූ කාලයේදී පටන්ම රත්නායක නැන්දා සහ මාමා ඇසුරේ ඉතා කැමැත්තෙන් පසුවූවාය.


                                                                               ***
සරෝජ් හිරිපිටිය කල්පනා ලෝකයෙන් මිදුණේ රාත්‍රී මැදියමටද ආසන්න මොහොතේය.කෙටි නින්දක් දෑසට අවැසි වුවද නිවේතා ලියූ සටහන් පොත කියවා මිසක නින්දට යෑමට සිත නොකියයි.එයින් ඔහු දෙවැනි පොතද සිය සුරතට ගත්තේය .රාත්‍රී මැදියමේ මුළු ලෝකයම නිහඬ වූ මොහොතක සරෝජ් හිරිපිටිය නිවේතා විසින් ලියූ ඇගේ ජීවිතය යළිත් කියවමින් උන්නේය.


                                                                         *** 
                                                   (නිවේතාගේ සටහන්)


මේ සියල්ලටම පසු සරෝජ් හිරිපිටිය මේ සියල්ලම දැන දැනත් මා පසුපසින් පැමිණීම මට ඉමහත් වදයක් වෙමින් පවතී .කවුරුන් හෝ මිනිසුන් බහුතරයක් වෙතින් දරුණු ලෙස අපහරණයට ලක්වූ මා හට සියල්ල අමතක යැයි ඔවුන් සිතනවා ඇත .එහෙත් ශරීරයේ තැනින් තැන ඇති තුවාල කැලැල් දකිනා විට මට මගේ ජීවිතයම එපා වී යයි .පියවි සිහියෙන් නොවුන්නාවන්නට ඇත .එහෙත් මාගේ අභ්‍යන්තරය අභ්‍යන්තර මෙන් ම බාහිර ද බෙහෙවින් කිලුටට පත් වී ඇතැයි මට සිතේ. 

නිලීකා මාගේ අභ්‍යන්තරයේ ඇති සිතුවිලි වෙනස් කරන්නට බොහෝ ලෙස තැත් දරන්නීය. එමෙන්ම සරෝජ් හිරිපිටිය තවදුරටත් මා ගැන සහ දියණිය ගැන බලාපොරොත්තු තියාගෙන සිටින බව පවසමින් ඔහු මවෙත ළංකරන්නට බොහෝ ලෙසින් වෙර දරන්නීය. එහෙත් මේ සියල්ලම සිදු වූ පසුත් මට තවදුරටත් සරෝජ් අයියා වෙත ළඟාවන්නට කිසිම අවශ්‍යතාවයක් ඇති නොවේ .මන්ද ඔහු කෙතරම් වටිනා පුද්ගලයෙක් දැයි යන්න මට අමතක කළ නොහැක.

නිලීකාගේ අම්මා සහ තාත්තා දියණිය බලා ගැනීමට එක සිතින්ම ඇපකැප වූහ . මා හට රැකියාව ලෙස තාවකාලිකව හෝ කාර්යාලයක ලිපිකාරිනියක ලෙස රැකියාව ලැබීමම ජීවිතයේ මොහොතක් ඉදිරියට තල්ලු කරන්නට අත්වැලක් විය .

"උඹට පළවෙනි ,දෙවැනි පඩි හම්බෙනකන් මම මේ ඇනෙක්ස් එකේ ගණන ගෙවන්නම් .මං දන්නවා උඹ කාටවත් අතපාන්න කැමති කෙනෙක් නෙමෙයි .ඒ උනාට නෙවි චුට්ටක් හයිය වෙනකන් මට පුළුවන් උඹ බලාගන්න.ඒ නිසා මේ ගැන මොනවත් නොහිතා මේ මුල මාස කීපය මට ගෙවල් කුලී ගෙවලා උඹට අවශ්‍ය දේවල් දෙන්න ඉඩ දීපන්" 

නිලීකා පැවසුවේ ඉස්සරම දවසක මෙන්ම ඇයගේ තිබූ සහෝදර සිතිනි .මේ සියල්ල පිටුපස සරෝජ් අයියා සිටීයැයි මට වරක් දෙකක් සැක සිතුනද දිගින් දිගටම මේ සැක කිරීම එතරම් සුදුසු නොවන බව පමණක් මම දැන උන්නෙමි. එහෙයින් සියල්ල නිහඬව ඉවසා ගෙන ජීවිතයේ ඔලුව උස්සාගන්නට කළ හැකි දෙයක් කරන්නට මම හිත සවි වඩා ගතිමි.

මා රැකියාවට යන අතර කාලයේදී දියණිය රත්නායක මාමා සහ නැන්දා විසින් බලා ගත් හෙයින් මට හිතේ නිදහසින් රැකියාවට යන්නට පුළුවන් විය. ඇත්තෙන්ම මානවී කිසිදු වදයක් දෙන දියණියක් නොවූවාය .ඇය පිළිබඳ මගේ සිතේ ස්නේහය වැඩෙන්නට පටන් ගත්තේ මාගේ විශාදීය තත්ත්වය ක්‍රමක්‍රමයෙන් මිදීයන්නට ගත් පසුය. මාගේ නොසැලකිල්ලට මුල්ම කාලයේ දී ඇය ලක්වන්නට ඇත. මානවී ඒ කිසිවක් තේරුම් ගත් දැරියක් නොවූවාය .මට යාන්තමින් මතක ඇති කාලය වන විට ද මා විසින් ඇය ගණන් නොගන්නා මොහොතක දී පවා මානවී සිය බෝල දෑස් ලොකු කරමින් මා දෙස බලා සිනාසුනාය. 

එහෙත් ඇය බොහෝ ප්‍රිය කළේ සරෝජ් හිරිපිටියම විය .ඔහු දකින විට තාත්තා කියමින් කෑගසමින් ඔහුගේ ඇඟේ එල්ලෙන්නට ඉතාමත්ම කුඩා වියේදී පටන් මානවී හුරුවී සිටියාය. කිසිම කාරණයකට හඬා දොඩා වැලපී කෑ නොගැසූ මානවී මා විසින් සරෝජ් වෙතින් ඇය මුදා ගන්නට තැත් දරන මොහොතේදී නම් මගේ මුහුණට ද පහර දෙමින් කොනිති ගසමින් පහුරුගාමින් කෑගසා හඬන්නට වූවාය. මේ හේතුව නිසාම මානවී මා වෙතින් පහරක් දෙකක් ද කන්නට ඇත .

"කෙල්ලට ගහනවත් එක්ක .අන්තිමට කෙල්ල අඬනවා.මානවීට තරහ යන්නෙත් ඒකයි.නිවීට පුදුමාකාර කේන්තියක් එන්නේ ඒ වෙලාවට. ඒ නිසා මම දරුව බලන්න යන එක අඩු කරන්න ඕනේ. නැත්නම් නිවී විතරක් නෙවෙයි දරුවත් ඩිප්‍රෙස් වෙන්න පුලුවන්." 

එබඳු කතාවක් සරෝජ් ඉතා වේදනාවෙන් පැවසූ බව නිලීකා මාහට පැවසුවා ය .පලක් නැති බැඳීමක අඩිතාලම දැමීමම වේදනාවක් බව මා දන්නා හෙයින් මානවී හඬවා හෝ එයින් මුදා ගන්නට මම තැත් දැරුවෙමි. ඇය කාලය සමගින් මේ සියල්ල වටහාගනු ඇත.

නිලීකා විසින් මා හට සොයාදුන් ඇනෙක්සිය ඇත්තෙන්ම කුඩා හුරුබුහුටි එකක් විය .තනි කාමරයක්, කුඩා මුළුතැන්ගෙයක් සහ නාන කාමර වැසිකිළි සමගින් කුඩා සාලයක් තිබූ එම ඇනෙක්සිය දියණියට සහ මට හොඳින්ම ප්‍රමාණවත් විය .අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ ද එහි තිබූ හෙයින් මානවීට සහ මට අවශ්‍ය ප්‍රමාණයට කෑම සාදාගැනීමට පමණක් මා හට අත්‍යාවශ්‍ය බඩු ගැනීමට සිදුවිය. ඒ සියල්ල ද නිලීකා විසින් මුල්ම අවධියේදී නිවසට ගෙනවිත් දැම්මාය .

මානවී කිසිදිනෙක කෑම තෝරන්නට බේරන්නට හුරු නොවී උන්නාය. ඇය නඩත්තු කරන්නට ද ඉතා පහසු දැරියකි. වයස අවුරුදු තුන වන විට මානවී මගේ පෙනුමම ගත් අනුරුවක්ව උන්නාය .ඇය මගේ හැඩරුව ගැනීම මගේ හිතට සහනයක් විය.එසේ නොවී කිනම්හෝ පීතෘ ස්වරූපයක උන්නේ නම් ඇය සම්බන්ධයෙන්ද ද්වේශයක් මට හටගන්නට බොහෝ විට ඉඩ තියෙන්නට තිබුණි.

මානවීට වසර තුනක් පිරෙන කාලය වන විට බොහෝ වෙනස්කම් මා සහ මගේ ජීවිතයට එක්ව , නොඑක්ව උන් අයට සිදු වන්නට විය . නිලීකා විවාපත් වූයේ නිවසින් ගෙනා යෝජනාවකට අනුවය.ඇය සරසවියට ගිය ද එහි දී ඇතිවූ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් අතරමඟදී අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තාය.එම පෙම් සබඳතාවය බිඳී යාම හේතුවෙන් දැඩිසේ කම්පනයට පත්වූ නිලීකා අවසානයේදී උපාධිය අතහැර දැමුවේ නිවසින් ගෙනා විවාහ යෝජනාවකට කැමැත්ත පළකර විවාහ වී විදෙස් ගත වීමට තීරණය කළ හෙයිනි.

"ගෑනු අපිව රවට්ටන්න එන දාහක් පිරිමි නිසා අපේ ජීවිතය අතරමග නවත්ත ගන්න ඕන නැහැ කියලා දැන් මට තේරෙනවා. කොහොමින් කොහොම වුණත් මගේ උපාධිය අතරමඟ නැවතුණා.ඒත් මම ගිය එකා මත්තේ නැහිලා තවත් මගේ ජීවිතය නාස්ති කරගන්න ඕන නැහැනේ. ඒ හින්දා මම අම්මලා ගෙනාව ඒ යෝජනාවට කැමැති වෙනවා.කොහොමත් කාලයක් ආදරේ කළා කියපු නරුමයා නිසා මට ලැබිච්ච දෙයක් නැහැ. ඊට වඩා මේ මනුස්සයා ලෝකය දැකපු කෙනෙක්. මං හිතන්නේ නැහැ මට කරදරයක් වරදක් වෙයි කියලා."

විවාපත් වී ටික කාලයකින් විදෙස්ගත වූ නිලීකා සමුගන්නට පෙර මා හට පැවසුවා ය.එසේ වුවද ඇය මා සම්බන්ධයෙන් සොයා බැලීම අතහැර දැමුවේ නැත.

"ලෝකෙ කොහේ හිටියත් මම උඹවයි කෙල්ලවයි බලාගන්නවා. කවදහරි ලංකාවේ ඉඳල ඇති වෙච්ච දවසක් කියපං මං උඹලව එහාට ගෙන්න ගන්නවා."

ඉන්පසුවත් වසරකට වතාවක් දෙකක් පමණ නිලීකා ලංකාවට පැමිණියේ මානවී බැලීමේ ප්‍රධාන අරමුණ ඇතිවය .දෛවය කෙතරම් සරදම් කරන්නේද යත් නිලීකාහට මවක් වීමේ භාග්‍යය ලැබුණේ නැත. කාලයක් තිස්සේ කෙතෙක් කම්පනයට ලක් වුවද ඇය අවසානයේ හිත හදා ගත්තේ මානවීට ආදරය කිරීමෙනි.

*********************************************************************************************************** **************

ඉතින් යලිත් හමුවෙමු 

මම 
කිත්මා වාසනා දහනායක 
(විසිරි සිහින) 

මාර්තු මස 26 වෙනිදින මගේ දෙවන නවකතාව " තුමුල නෙත් පවුරු " එළි දකියි. මින්සර, දයාවංශ ජයකොඩි, සූරිය ,සරසවි  ඇතුළු බොහොමයක් පොත් හල්වලින් ඔබට අවැසි නම් එය ලබාගත හැක.

Thursday, March 17, 2022

09. නව වෙනි කොටස (හසරැල් සැළුනාවේ )

 




දින ගණනාවක් ගත වූ පසු යාන්තමින් ගතෙහි වූ තැලුම් පහරවල්වල නිල් පැහැය මැකී යද්දී යළි දිනයක නිලීකාගේ නිවසට ගියෙමි. පාලිකා අක්කාගේ විවාහ මංගල්‍යය යෙදී තිබුණේ ඉන් සතිදෙකකට ඔබ්බෙනි. හිතට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක් බව ඇත්තය. ඩෙන්සිල් ඉන්පසු මා සිටිනා මොහොතේ දී නිවසට පැමිණියේ ද නැත .එහෙත් ඔහුගේ කුරිරු තර්ජනය මට අමතක වූවා නොවේ .එදින නිලීකාගේ නිවසට මා යන මොහොතේ දී නිවසේ සිටියේ නිලීකා සහ සරෝජ් හිරිපිටිය පමණි.

"කෝ අම්මයි තාත්තයි" 

මම ඇසූවේ නීලිකා සමඟ මුලුතැන්ගෙයට වී සිටින මොහොතේදීය .

"අම්මලා ගියා නැන්දලාගේ ගෙදර ගිහින් එන්න .ඔයා එනවා කිව්ව නිසයි මම නැවතුනේ .නැත්තං අයියා විතරයිනේ ගෙදර" 

නිලීකා දෑසම නටවමින් පැවසුවාය.මම නිහඬව බිම බලාගෙන උනිමි .

"නිවී මොකද ඔය අත්කකුල්වල පැල්ලම්?" 

නීලිකා ඇසුවේ තේ හදන්නට සියලුම දෑ සූදානම් කර තබා මා වෙතට පැමිණෙමිනි .මම අසරණව සිනාසුනෙමි. නිලීකාට කීමට නොහැකි කිසිවක් මට නොමැත.

"මුන් මහ තිරිසන්නුනෙ දෙයියනේ. මෙහෙමත් ගහනවද? අනේ නිවී උඹ ඔතන නම් ඉන්න එපා තවදුරටත්"

නිලීකා මා ගත වූ පැල්ලම් අතගාමින් පැවසුවාය .

"මං කොහේ කියලා යන්නද බං? මට මෙහෙ ඉන්න පුළුවන්.එතකොට අර තාත්තා කියන මනුස්සයා අන්තිමට කරන්නේ මොකක්ද කියල මම දන්නවා. එයා උඹලටත් විරුද්ධව පැමිණිල්ලක් කරාවි පොලිසියට ගිහිල්ලා .මොකද මම නැති උනොත් කුඩම්මාට උයාගන්නවත් ගෙදර කිසිම වැඩක් කරන්නවත් කවුරුත් නැහැනේ.ඒ නිසා කීයටවත් මාව ගෙදරින් යවන්න නම් කුඩම්මාගේ ඉඩ දෙන්නේ නැහැ. ඒක නිසාමයි මම කොහොම හරි රස්සාවක් හොයාගෙන ගෙදරින් යන්න හදන්නේ"

මම බොහෝ ඉවසීමෙන් සිදුවූ පවත් නිලීකාට පැවසුවෙමි. නීලිකා සහ මා මිදුලේ අඹ ගස යටට වී සිදුව ඇති දේ කතාබහ කරමින් සිටින විට සරෝජ් අයියා එතැනට පැමිණියේය.නිලීකා තේ කෝප්පය රැගෙන ගෙතුළට ගියේ එහෙනම් දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකෝ පවසමිනි.

"මං ඔක්කොම අහගෙන උන්නේ .ඔය තිරිසන්නු එක්ක ඔයාට ඔතන ඉන්න බැහැ නිවී. මට මගේ යාළුවෙක් කිව්වා එයාගේ ඔෆිස් එකේ ක්ලැරිකල් වේකන්සි එකක් තියෙනවා කියලා.මං මේ මොකද කරන්නෙ කියලයි කල්පනා කරේ ඔයාට කැම්පස් යන්නත් ඇප්ලිකේශන් දාන්න පුළුවන් එකේ"

"ඔයා කැම්පස් සිලෙක්ට් උනාමම ඒකට යන්න කියන්න කියලයි මං හිත හිතා උන්නේ. ඒ වුනාට මේ තියන තියන තත්වය එක්ක තවත් ඉන්න බැරි බව නම් මට තේරෙනවා. අපි ලබන සතියේ තැනට ගිහිල්ලා බලමු නේද?"

මේ මොහොතේ සරෝජ්ව මට පෙනුණේ මා වෙනුවෙන්ම සුරලොව සිට පැමිණි දේවදූතයකු සේය.සියලු බලාපොරොත්තු බිඳී යන මොහොතක දී රැකියාවක් ලැබීම යනු මා හට ඇති එකම සතුට විය .

"අනේ පින් සිද්ධ වෙනවා අයියේ. මට මේ රස්සාව හරිගස්සලා දෙන්න. මම බෝඩිමක නවතින්න ලෑස්ති වෙන්නම්"

මා පැවසුවේ සිතේ ඇති වූයේ මහත් බලාපොරොත්තු සහිතවය. සරෝජ් හිරිපිටිය මොහොතක් නිහඬව මදෙස බලාඋන්නේය.ඔහුගේ වතෙහි සලකුණු කියවාගන්නට නොහැකිව මම බලා උන්නෙමි.

"නිවී, මං මේ දේ කියන්න හුඟ කාලෙක ඉඳල බලාගෙන උන්නා .ඒත් ඔයා ඉන්නේ ප්‍රශ්න ගොඩක් මැද්දේ නිසා මට මේ දේ කියන්න ලොකු හයියක් ආවේ නැහැ"

සරෝජ් හිරිපිටිය පානය කොට අවසන් නොවූ තේ කෝප්පය පසෙක තබමින් නැගී උන්නේය. යළි මා ඉඳ උන් බංකුවේ එහා පසින් ඔහු හිඳගත් විට මා හා ඔහු අතර තිබුණේ අඟල් කිහිපයක පරතරයක් පමණි. මම හිතාගන්නට බැරි හැඟීම් ගොන්නකින් සසැලී ගියෙමි.

"අයියේ?"

මගේ හඬ කෙඳිරුමකට සමාන වන්නට ඇත. සරෝජ් හිරිපිටිය බංකුව මත තිබූ මගේ සුරතින් මොහොතක් අල්ලා ගත්තේය .සිය දහස් අකුණු හතර වට පුපුරා යන්නා සේ මා තිගැස්සී ගියෙමි .මේ සිදුවන්නට යන්නේ කිනම් වූ අරුමයක් දැයි මට නොතේරෙයි .මම ඔහු අතට ග්‍රහණය වූ මගේ සුරත ඇදගන්නට වෙර දැරීමි .දෑසින් තරවටු බැල්මක් මා වෙත හෙල්ලූ සරරෝජ් හිරිපිටිය මගේ අත නොහැරම මොහොතකට මා දෙස හැරුණේය.ඒ දෑස් වල වෙනදා නොවූ විරූ තරම් කාන්තියක් දිස්වන්නට විය .මම ඒ ඇස් බැල්මෙන් දියවෙන්නට පෙර බිම බලා ගතිමි.

"නිවී ඔලුව උස්සලා මා දිහා බලන්න .මට කතා කරන්න ඕනේ ඔයත් එක්ක" 

සරෝජ් හිරිපිටිය වෙනදාටත් වඩා නිවුණු ස්වරයෙන් ඇමතුවේය. මම දෑස් එක පුරා එන කඳුළු වළකා ගනිමින් බිම බලා සිටියෙමි.

"මම ඔයා ගැන විශේෂයක් දක්වනවා කියන එක ඔයාට නොතේරී ඉන්න බැහැ නිවී. ඒ උනාට මම දන්නවා ගෑනු ළමයෙකුට මේ හැමදේම ආගන්තුකයි.විශේෂයෙන්ම ඔයා වගේ අහිංසක පාඩුවේ හැදෙන ළමයෙකුට. ඒ නිසා තියෙන කරදර අතරට තවදුරටත් ඔයාට හිතට බරක් දෙන්න මම තීරණයකට ආවේ නැත්තේ.ඔක්කොම ඉගෙන ගෙන ඉවර වෙලා හැමදේම පැහැදිලිව කතා කරන්න ඕන කියන එක මම තේරුම් අරන් තීරණය කරගෙන හිටියේ ඔයාව දැක්ක මුල්ම දවස්වල"

තාත්තා කෙනෙක් කුඩා දැරියකට කතන්දරයක් කියන්නාක් මෙන් බොහෝ ඉවසිල්ලේ සහ නැවතිල්ලේ සරෝජ් හිරිපිටිය සිය කථාව කියාගෙන ගියේය. මමද බිමටම යොමු වු නෙතින් යුතුව එවදන් වලට ඇහුම්කන් දුන්නෙමි. මගේ හිත ඇතුලේ ඇති වී තිබුණේ මෙතැන ඉම්දෝ නොඉම්දෝයැයි හිතා ගන්නට බැරි අන්දමේ ඝට්ටනයකි. ඉතින් මට ඔහු ඇසුරේ රැඳෙන්නට ඕනෑවිය. එසැණින්ම මෙතැනින් පලා ගොස් දෑස් පියාගෙන මේ ආගන්තුක හැඟීම වින්දනය කරන්නට ද ඕනෑ විය .

"නිවී වැඩිය කතා කරන්නේ නැති ලමයෙක්.ඒ වගේම හොඳම ඇහුම්කන් දෙන්නියක්.ඒ නිසා තව තවත් පහු කරන්නෙ නැතුව මේ දේවල් ඔයාට කියන්න ඕන නියම කාලයට මම ආවා කියලා මම හිතනවා.ඒ නිසා අද මේ හොඳම දවස අපි කතා කරමු"

සරෝජ් හිරිපිටිය නිවස දෙසට ද බැල්මක් හෙලමින් පැවසුවේය. ගෙදරට ගියේ තුළට ගියේ නීලිකා යළි පැමිණෙන්නේ නැති බව මට විශ්වාසය. මන්ද ඇය මේ සියලුම දේවල් අද සරෝජ් අයියා මා සමගින් කතා කරන බව දැන ඉන්න ඇත.

"මට ගෑනු ළමයි කියන එක ආගන්තුක කතාවක් කියලා මම කියන්නේ නැහැ නිවී. මම ඉස්කෝලේ ගියේ මික්ස් ස්කූල් එකකට. ඉන්පස්සෙ කැම්පස් අවුරුදු පහක් හිටපු කෙනෙක්. මම ඉස්සරවෙලාම යාලුවෙන්න කැමතිවුන ගෑනු ළමයා ඔයා කියලා මම කියන්නේ නැහැ. මේ වෙනකොට මට කෙටි කාලීන සම්බන්ධකම් පහක් හයක්වත් තියෙන්න ඇති"

සරෝජ් හිරිපිටිය කලාතුරකින් සිය මුවේ මැවෙන්නාවූ ඒ අයස්කාන්ත මද සිනහව අහස දෙසටම විසුරුවා හරිමින් පැවසුවේය .ඒ කෙසේ වුවත් මගේ ගැහැණු සිත සුළු වශයෙන් හෝ රිදුනා යැයි මම කිව යුතුය.මන්ද මගේ ලෝකය ඉතා පටු එකකි .ආදරය යන වචනයෙ ඉසව් මම අතික්‍රමණය කර තිබුණේ නැත.මා හට සමාජ ආශ්‍රයක් තිබුණේද නැත .ඉතින් කෙටිකාලීන හෝ සම්බන්ධතා පහ හයක් තරුණයෙකුට තිබුණා යැයි කීමම මාත් යම්තාක් දුරට රිදුවන්නක් විය .

"ඔය හිත රිදෙන්නට ඇති .ඔව් ඔයා ඒ වගේ හරි සුමට කෙල්ලෙක් .ඒ උනාට තේරුම් ගන්න නිවී මට දැන් අවුරුදු 28ක් වෙන්න එනවා .කවදාවත් කොල්ලෙක් මේ වගේ කාලයක් ගෑනු ළමයෙක් යාලු නොවී නම් ඉන්න විදියක් නැහැනේ .නමුත් මං කියන්න ඕනේ එකම කාරණයක් තියෙනවා ඒක තමයි ඔයාට ඉතාමත්ම වැදගත් වෙන්නේ"

සරෝජ් හිරිපිටිය සිය දණක් නවා බංකුවේ මා වෙතට හැරුණේය. ඒ ඉරියව්ව හේතුවෙන් ඔහුගේ මගින් පරතරය තව තවත් පටු විය .මම බැංකුවේ මදක් ඈතට ඇදී යන්නට උත්සාහ දැරුව ද අතේ ග්‍රහණය මාහට එයට ඉඩ දුන්නේද නැත .

"මෙච්චර කාලයක් ඔය වගේ ඈතින් ඈතින් හිටිය ඇතිනේ. දැන් මගේ ළඟට වෙලා ඉන්න පුරුදුවෙන්න" 

ඔහුගේ සුසුම් පවා මගේ කන් පෙති අතරට දැවටෙන්නට විය.ඒ උණුසුමෙන් මා ගත සැලී ගියේය. 

"ඔයාට වඩාම වැදගත් වෙන දේ තමයි මෙන්න මේක. ඔයා මීට අවුරුදු තුනකට විතර කලින් මට හමුවුණාට පස්සේ මම කිසිම ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් විහිළුවකටවත් පටන් අරගෙන නැහැ නිවී"

ඔහු පවසන්නේ අවංකවම සත්‍යයක් බව මට නොරහසක් විය .මන්ද සරෝජ් සම්බන්ධයෙන් මේ අවුරුදු තුනක මා යම් කිසි විශ්ලේෂණයක් කර තිබූ හෙයිනි. ඇත්තකි .. කිසිම පුද්ගලයෙක්.. ගැහැනියක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා කිසිම පුද්ගලයෙක් මේ අන්දමින් තක්සේරුවක් කොට විශ්වාස කරන්නට අප හට එක්වරම නොහැකි බව. නමුත් සරෝජ් හිරිපිටිය මගේ ලෝකයේ මට ළඟම උන් පුද්ගලයාය. එමෙන්ම මා දැඩි ලෙසම විශ්වාසය තබන්නට උගත් පුද්ගලයාය .

"ඔයා ඉගෙනගෙන ඉවර වෙනකම් වගේම ඔය ගෙදර තියෙන කරදර ඔක්කොම දන්නා නිසා මම ඔයාට කවදාවත් වචනයකින්වත් මේ හැඟීම කරදරයක් වෙන්න ඉඩ තිබුනෙ නැහැ නිවී.නමුත් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ කරදර අලුත්ම පැත්තකට යන කාලේකට. මේ නිසා තවදුරටත් මං මගේ අදහස පමා කරගෙන ඉන්නවා කියන එක සුදුසු දෙයක් නෙමෙයි"

සරෝජ් අයියා මගේ අත් දෙක සිය දෝතටම ගත්තේය .මින් ඉදිරියට ඔහු කියන්න යන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වුවත් සසැලී ගියෙමි .

"මම ඔයාට ජොබ් එකක් හෙව්වා .මේ මම ඔයාට පොඩි ඇනෙක්ස් එකක් ඒ එක්කම හොයන්නම්. ඔයා දැන් අවුරුදු දහ අටට වැඩි ගෑනු ළමයෙක්.නාමික භාරකාරත්වයක් ඔයාගේ තාත්තටයි කුඩම්මටයි ඔයා ගැන තිබුනට මේ සියලුම දේවල් අපිට පොලිසියට දැනුම් දීලා ඔතනින් ඔයාට ඉවත් වෙන්න පුළුවන් .වැඩට යන ගමන් කැම්පස් යන්න පුළුවන් වෙන විදියට අපි හැමදේම සකස් කර ගම්මු"

සරෝජ් හිරිපිටිය පවසන හැම වදනක් පාසාම මම මගේ අනාගතය ගැන සියලු බලාපොරොත්තු ගොඩ නගා ගනිමින් සිටියෙමි.

"මිනිස්සු ආදරය කරන්නේ වචනයෙන් විතරක් කියලම නෙමෙයි නිවී.මේ ගතවෙච්ච අවුරුදු තුනට ඔයාට මම කොච්චර විශේෂත්වයත් දැක්වුවද කියන එක ඔයා හොඳටම දන්නවා .මට දැන් අවුරුදු විසි නමයක් වෙන්න එනවා ඒ උනාට ඔයාට තාම අවුරුදු විස්සයි .ඔයා වෙනුවෙන් තවත් අවුරුද්දක් දෙකක් තුනක් බලා සිටින්නට මට බැරි කමක් නැහැ .ඒ වුණත් අපි අපි ගැන හරි තීරණයකට එන්න ඕනේ .ඉන් පස්සේ ඔයා කැම්පස් යන්නත් ඕනි"

මගේ ජීවිතයේ සියලුම අපේක්ෂාවන් අරමුණු සහ බලාපොරොත්තු සියල්ලම සරෝජ් හිරිපිටිය සිය ග්‍රහණයට ලක් ගනිමින් සිටියේය .මේ තරම් කාලයක් ජීවිතයේ අවුරුදු විස්සක් ගත වුව ද මගේ තාත්තා හෝ කුඩම්මා මට යායුතු මාර්ගය පෙන්වා දෙන පහන් කණු නම් වූයේ නැත.ඔවුන් හැමදාමත් කළේ මගේ ජීවිතය අඳුරට හෙලා දැමීම පමණි.ඉතින් මම සරෝජ් හිරිපිටිය විසින් පෙන්වා දෙන්නා වූ මගේ අනාගතය ගැන බොහෝ සුභ සිහින මවා ගන්නට උත්සාහ දැරීමි .

වචනයක් හෝ කතා නොකර ගොලුවකුසේ ඔහුගේ දෑතට හසුවී ඇති දෑත් දෙස බලා සිටින්නා වූ මා එකම මොහොතක හිස ඔසවා බැලුවේ මගේ හිතේ තදින්ම පොදි ගැහෙන්නා වූ ඒ ප්‍රශ්නය අසන්නටය. ඒ ඇස් කාන්තිමත්ව දිළිසෙනු මම ළංළංව දිටිමි. මොහොතකට ගොලු වුවද හඬ යළි ආයාසයෙන් නගා ගත්තේ නිහඬබව අබිභවා යා යුතුව ඇතිහෙයිනි.

"අයියෙ, ඔයා දන්නවා මං මොන වගේ කෙනෙක්ද කියලා. ඒ වගේම මගේ ගෙදර අය ගැන. ඔයා හිතනවාද ඔයාගෙ ගෙදර අය මං වගෙ කෙනෙකුට කැමති වෙයි කියලා" 

මම ආයාසයෙන් වචන එකතු කරගනිමින් ඇසුවේ මගේ හිත තුල තෙරපි තෙරපී තිබූ පැනයයි. සරෝජ් ඔහුගේ එක අතක් මගේ නිකට යටින් තබා මගේ මුහුණ ඔසවා මගේ දෑස් ඔහුගේ දෑසින් අල්ලා ගත්තේය. විශ්වාස කරන්න..ඒ සියුම් ස්පර්ශය පවා මාහට ජීවිතයේ ඉමිහිරි බව පසක් කළේය.

"ප්‍රශ්න එයි. අනිවාර්යෙන්ම ප්‍රශ්න එයි. ඒත් ඒ දේවල් නොදැන මම මේ ඔයා එක්ක කතා කරනවා නොවෙයි නිවී. මේ වගේ ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්න ගැන මම හොඳටම හිතලා බලලායි තියෙන්නේ"

"නිවී මේ වෙනකොට මගේ පවුල ගැන දන්නවා. අම්මයි තාත්තයි මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න විදිය මම දන්නවා. සමහරක් විට ඒ ගොල්ලෝ මේ සම්බන්ධයට විරුද්ධ වෙන්න පුළුවන්.මේ වෙනකොට එයාලා මට විවාහ යෝජනාත් ගෙනෙමින් ඉන්නේ" 

ඔහු සුසුමක් හෙලුවේය.මගේ සිත දැවී ගියේය .

"මං අම්මා නැතුව හැදුණු ළමයෙක්. තාත්තා කෙනෙක් උන්නා කියලා තාත්තාගෙන් මට කවදාවත් ආදරයක් කරුණාවක් සැලකිල්ලක් ලැබිලා නැහැ අයියේ . ඒ ගොල්ලෝ මට ඉන්න හිටින්න කන්න අඳින්නයි දුන්නා තමයි. ඒ උනාට අයියේ ඔයාගේ පවුල එහෙම තැනක් නෙමෙයි .ඉතින් ඔයාගේ අම්මට තාත්තට විරුද්ධ වෙලා මං වගේ තේරුමකට නැති කෙල්ලෙක් ගැන බලාපොරොත්තු තියාගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි" 

සිතට විරුද්ධව වුවද මම ඔහු ඉදිරිපිට සත්‍යය දිගහරිමින් උන්නෙමි. උඩු සිත කෑගසා කීවේ ලෝකයම එරෙහි වුව මට ඔබ ඇත්නම් කියාය.එහෙත් යටිසිත හැඟීම්වලට වඩා ප්‍රබල තහවුරු කිරීම් කරමින් උන්නේය. 

"නිවී ඔය කියන හැමදේම ඔයාට කලින් මම හිතලා තියෙන්නෙ. මේ අහන්න ,මගේ පැත්තෙන් ඇති වෙන ප්‍රශ්න ඔක්කොම කාගෙවත් හිත රිද්දන්නෙ නැතුව විසඳගන්න මම උත්සාහ කරන්නම්"

"අපි කතා කරන්න ඕන අපි දෙන්නා ගැන ඉස්සෙල්ලාම. එහෙම නැතුව රටේ ලෝකේ ඉන්න හැමකෙනා ගැනම නෙවෙයි.කෝ ඉතිං ඔලුව උස්සලා මගේ දිහා බලලා අඩු තරමේ එක සැරයක් හරි මට කැමතියි ආදරෙයි කියලා කිව්වා නම් නේද හොඳ?"

කතාව ඉතා තදින් පටන් ගත්තද ගත්ත ද ඔහුගේ ස්වරය මඳින් මඳ මුදු වන්නට වූයේ ඔහු කියන දේවල් සමගය. මගේ දෙකොපුලට රත් පැහැයක් ගලා එන්නට විය .ජීවිතය හා හා පුරා මා හට පිරිමි ළමයෙකු ප්‍රේමය ප්‍රකාශ කළේ මේ දවසේය. මගේ පවුල් පසුබිම සහ අසරණ භාවයත්, මගේ පෙනුම ආදී සියල්ලම හේතු කොටගෙනම ගෙන මගේ නව යොවුන් වියේදී නම් කිසිම විටෙක කිසිදු පිරිමි ළමයකු මා සම්බන්ධයෙන් අදහසක් ඇති කරගෙන නොඋන් බව මම හොඳටම දනිමි. මගතොට එද්දී රස්තියාදු වන ඉලන්දාරියෙකු ඉඳහිට විහිළුවක් කළද ඒ කිසිම විහිළුවක් මා හට ආදරයක් ප්‍රේමයක් හෝ යම්තාක් කිසිම විශේෂ සැලකිල්ලක් නොගෙනා බව පමණක් මම දනිමි.

ඉතින් මේ හැඟීම මට ආගන්තුකය .මම මෙතැනින් දිව ගොස් සැඟවීමේ බලාපොරොත්තුව සිතින් තද කොටගෙන තවදුරටත් බිමටම යොමුවුණ මගේ දෙනෙත්වලට කඳුළු පුරා එන්නට පටන් ගත්තේ මේ නැවුම් මොහොත සම්බන්ධයෙන් හිතේ ඇතිවූ ආශාව බිය වැනි සියළුම හැඟීම් වල සංකලනයක් හේතුවෙනි.

"නිවී.." 
මගේ සවන් අසල බොහෝ මන්ද්‍ර ස්වරයෙන් සරෝජ් හිරිපිටියගේ හඬ ඇසෙද්දී මම නෙතින් රූරා හැලෙන කඳුළු ද සමගින් හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.

"අයියේ.." 

මගේ හඩ කෙඳුරුමකට සමාන වන්නට ඇත.

"මේ හැමදේම හුඟාක් මගේ හිතට බර වැඩියි. ඒ වුණත් අයියේ මං ඔයාව විශ්වාස කරනවා. මගේ ජීවිතේ එපා වෙලා තිබුණු කාලයක ඉගෙන ගන්න වගේම මේ හැම දුක් කරදර දරාගන්නම උදව් වුනේ ඔයා" 

"ලෝකයම එපා වෙලා ඉන්න මොහොතක උනත් ඔයාගෙ පොතක අකුරක් හරි මට ජීවිතෙන් නොවැටී ඉන්න හේතුවුණා. ඇත්තෙන්ම ඔයා කියන්නෙ මට හීනයක් අයියේ"

මම ඔහුගේ මුදාගත් එක අතකින් ගලා හැලෙන කඳුළු පිස දැමීමි. ඔහු මට හඬන්නට ඉඩ දී සවන් දුන්නේය. ඔහු හැමදාමත්ම මට හඬන්නට අවැසි මොහොතේදී හඬන්නට දුන්නේය. හඬා අවසන කඳුළු පිස දා ගන්නට ද සහය වූයේය .මේ මොහොතේ දී පවා මා හඬනා විට ඔහු මට හඬන්නට එපා යැයි කීවේ නැත. විනාඩි ගණනාවක් තිස්සේ මා හැඬූ පසු ඔහු යළිත් හඬ අවදි කළේය .

"ගැනියෙක්, මිනිහෙක් උනාම ජීවිතය අඬන්න වැළපෙන්න ඕන අවස්ථාවල් තියෙනවා .ඔයාට ඒවා අනවශ්‍ය තරමටත් වඩා ලැබුණා. ඉතින් ඒ වගේම ගෑනියෙක් උනාම හිනා වෙලා ඉන්නත් පුරුදු වෙන්ට ඕන. මෙතනින් එහාටවත් ඔයාගෙ ජීව්තේ ඔයාට ඕන විදිහට සැලසුම් කරගන්න උත්සාහ කරන්න"

සරෝජ් හිරිපිටිය පැවසුවේ මගේ දෑස දෙසම බලා ගෙනය .මගේ හිතට කාන්දු වූයේ පෙරදා නොවූ විරූ තරම් ධෛර්යයකි. මම කඳුළු පිස දා ගෙන සිනාවෙන්නට උත්සාහ කළෙමි .

"ඉතින් මං දැන් කිව්ව දේට මොකද කියන්නේ?"

සරෝජ් හිරිපිටිය මා සිටි මානසික තත්වයෙන් මුදවා ගනු වස් සිනහසෙමින් ඇසුවේ මගේ දෑසට එබීගෙනය .මම යළිත් යළිදු ලැජ්ජාවෙන් මුකුලිත වෙමින් සිටියෙමි.

"හරි හරි දැන් ඔතන මොකද වෙන්නේ? මං ආවට කමක් නැද්ද?" 

නිලීකා පැමිණියේ සිසිල් බීම වීදුරු දෙකක් ද අරගෙනය .මම මොහොතකට ඔහුගෙන් ඈත් වන්නට උත්සාහ කළෙමි. සරෝජ් හිරිපිටිය සිය සුරතේ ග්‍රහණය වැඩිකර මා අල්ලාගෙනම උන්නේය .

"අවුරුදු ගණනක් තිස්සේ තෙපර බාපු කතන්දරේ දැන්වත් කියා ගත්තද?" 

නිලීකා ඇසුවේ සරෝජ්ගේ උරහිසට ඇඟිල්ලෙන් අනිමිනි. 

"ඔව් ඔව් මං නම් අමාරුවෙන් කියා ගත්තා.තාම උත්තරේ හම්බ වුණෙ නැහැ"

සරෝජ් අයියා මා අතවූ සිසිල් වීදුරුව බොන්නටයැයි හිසින් ඉඟි කොට පැවසීය. සිසිල් බීමකට වඩා මගේ දිවිය මේ වනවිට ඔහු රසවත් කොට ඇතිබැව් ඔහුම නොදනී.මම නිහඬ සිනහවකින් නිලීකා දෙස බැලූවෙමි.

"ලබන සතියේ රස්සාවක් හම්බ වෙනවයි කියන එක මගේ ජීවිතයට ලොකුම දෙයක් .ඒත් එයින් පස්සේ මට ටිකක් නිදහස් නිදහසේ ජීවත්වෙන්න හම්බෙන එකම ඇති" 
ඔහුගේ අදහසට වචනයකුදු නොකියා මම මට වර්තමානයේ දී ඇති පහසුම හා සුදුසුම මග ගැන කතා කළෙමි. ඒ මොහොතේ පටන් ගත වූ සම්පූර්ණ කාලය පුරා මා උන්නේ ප්‍රීතියෙනි .සරෝජ් ඉන්පසු මම ඔහුට කැමැතිදැයි හෝ අකමැති දැයි වචනයෙන් ඇසුවේ නැත. එහෙත් ඔහු හැසිරුණේ මා හට ඔහුගේ අදහස කියා පෑමෙන් පසු බොහෝ සැහැල්ලුවෙනි. ඔහු ගැන මා දන්නා තරමට අනුව සරෝජ් හිරිපිටිය යනු කිසිසේත්ම මා හට බලපෑම් කරන්නෙක් නොවේ. ඉතින් ඒ අද නිදහස මමද උපරිමයෙන් වින්දෙමි .

"හවස් වෙන්නත් එනවා මම යන්නද ?"

නිලීකා සහ සරෝජ් දෙදෙනාම ඉන්නා තැන මා ඇසුවේ විශේෂයෙන්ම සරෝජ් දෙසට හැරෙමිනි.

"මම ගිහින් ඇරලවන්නම්" 

ඔහු අසුනින් නැගී සිටියේ මා දෙස බලමිනි. සියුම් අයිතිවාසිකමක ස්වරය ඒ හඬේ විය. එහෙත් මේ ගත්වන්නේ බොහෝ අසීරු දවස් කිහිපයකි. මම අතවූ තැලුම් තුවාලයක් පිරිමදිමින් කතාකළෙමි.

"එපා අයියේ මම යන්නම්. මේ දවස්වල විදිය අනුව පාලිකා අක්කට කොණක් හරි දැක්කොත් ඇති රණ්ඩුවක් පටලවගන්න .ඒ නිසා මම පුරුදු විදිහටම බස් එකේ යන්නම්"

මම ඔහුගේ සිත නොරිදෙන පරිද්දෙන් කියා නැගී සිටියෙමි. නිලීකා නිවස තුළට දිව ගියේ මගේ බෑගය රැගෙන එන්නටය. ඒ අතර මොහොතේදී මා සුරත අල්ලාගත් සරෝජ් හිරිපිටිය මොහොතක් මගේ දෑස් දෙස බලා උන්නේය. ඒ මොහොත මට ගෙන ආවේ ලොව්තුරු සුවයකි .මම දෑසට පිරෙන කදුළු අතරින් ඔහු දෙස බලා සිනාසුනෙමි. ජීවිතය නම් මේ යැයි ඒ දෑස් මට කියාදුන්නේය.

"පරිස්සමෙන් යන්න එහෙනම් ගිහිල්ලා මට මැසේජ් එකක් දාන්න. හැබැයි ඒත් පරිස්සමින්"

ඔහු මා හිසට සිය සුරත තබා පැවසුවේය .මොහොතකට ඔහුගේ ළය මතට මගේ හිස තබා සැනසෙන්නට මට අවශ්‍යතාවයක් නො වූවා යැයි මට කිව නොහැක. එහෙත් මා ඔහු තරමටම කලබල වී සිටියෙමි. කුලුඳුලේ පෙම්වතියක් වූ මට අද දවසේ සිහින මවන්නට මේ ඇතිදේ ඕනෑවටත් වැඩිය.

"අතින් වත් අත නොඅල්ලා
අපි කොහොම බැඳුණාද මන්දා.."

ගීපදවැලක කොටසක් මතක් වී මා දෙතොළගට සිනහවක් මෝදුවිය.


************************************************************************** 


බස් නැවතුම්පළට එන විටත් හවස හතර පසුවී තිබූ හෙයින් පාරේද ඒ තරම් සෙනඟක් සිටියේ නැත. මහා වැහි බීරමක්ද අහස වසා ගනිමින් පැවතුණි. ගෙදරට යන පාර බෙහෙවින් ජනාකීර්ණ එකක් නොවූ හෙයින් බස් රථයක් යන්නේ පැයකට වතාවක් පමණි .බොහෝ දෙනකුට තමන්ගේ පෞද්ගලික මෝටර් රථ මෙන්ම ත්‍රීරෝද රථ ද අවශ්‍ය ප්‍රමාණයට තිබූ හෙයින් බස්රථයක අවශ්‍යතාවය තිබුණේ එහෙමත් අයෙකුට පමණි. සරෝජ් අයියා සමගින් එක අතකට මට යන්න තිබුණානේදැයි මට සියදහස් වරක් සිතෙන්නට පටන් ගත්තේය.

විනාඩි ගණනක් ගතවද්දී බස් නැවතුම්පොළ අසල නැවතුණේ කළු පැහැති වෑන් රථයකි. ජනෙල් වීදුරු සියල්ල කලුකොට ඇති එතුළ ඉන්නා කිසි කෙනෙක් බාහිරයට පෙනෙන්නේ නැත.මම ඉවත බලාගත් වනම උන්නෙමි.මොහොතකින් එයින් බැස මා ඉදිරියට ආවේ ඩෙන්සිල්ය .මම දැඩිසේ බියපත්වීමි .ඒ මොහොතේ කිසිවෙක් පේන මානයක සිටියේද නැත.ජංගම දුරකථනය බෑගයෙන් රැගෙන සරෝජ් අයියාට ඇමතුමක් දෙන්නට මට මොහොතකට සිත්වුද ඊට පෙර ඩෙන්සිල් මා අසලටම පැමිණියේය.

"ආ කුමාරිහාමි කොහෙද මේ වඩින්නේ?" 
ඔහු පැවසුවේ මගේ මුහුණටම එබෙමිනි.ඉතාම පිළිකුල් සහගත මත්පැන් ගඳකින් මගේ මුහුණටම හුස්ම පිඹිමින් කතා කළ ඔහු මග හැර මම අඩියක් දෙකක් පසුපසට තැබුවෙමි. මේ නොසන්ඩාල මිනිසා ගැන මහිතේ ඇතිවන අප්‍රසාදය ඉහවහා යමින් පැවතුණි.

"කෑවනම් බීවනම් පාඩුවේ යන්න ඩෙන්සිල් අයියේ .කරදර කරන්න එපා" 

මම ඔහු මගහැර ඉවතට අඩියක් දෙකක් තැබුවේ මෙතැනින් මිදී පයින් හෝ කෙටි දුරක් යෑමේ අටියෙනි.

"කරදර කරන්න එපා. කරදර කරන්න එපා..නේද ? මං හිතන්නෙ කුමාරිහාමි උඹට මතක නැතුව ඇති එදා මගේ කම්මුලට දුන්න පාර.මතකනේ මං උඹට කිව්වා මං කවද හරි මේකට පළිය ගන්නවා කියලා .ඒයි චුට්ටෙ වරෙන් .අද තමයි දවස. මේකිට අද හොඳ පාඩමක් මං උගන්වනවා"

මගේ ගැහැණු ඉවට පැමිණියේ අනතුරක ලකුණුය. මම පසු නොබලා දුවන්නට ඔහු මඟ හැර ඉදිරියට පැමිණියෙමි. එහෙත් වෑන් රථයේ දොරවල් විවර කොටගෙන බැස්සේ ඩෙන්සිල් බඳුම තවත් හැඩි දැඩි පිරිමින් දෙදෙනෙකි. ඔවුහු මා යන මඟ අවුරා සිටියෝය. අහල පහලක හෝ පේන මානයක කිසිදු මිනිසෙක් සිටියේ නැත .මම ඔවුන් තල්ලු කරගෙනම දුවන්නට වෙර දැරීමි.ඒ මොහොතේ දී මට වඩා ඔවුහු සවිමත් වූහ.ඔහු සමග සමග පොරබදිමින් දඟලමින් කෑගසමින් මිදෙන්නට හැදුවද කම්මුලට තදින් පහරක් දෙකක් ගැසුවේ ඒ චුට්ටේ නැමැත්තා විය යුතුය.ඒ පහරට මගේ දෑස් නිලංකාර වෙමින් යද්දී මා ඔසවාගෙන වෑන් රථයට දමා ගනුද ඉක්මනට යමන් චුට්ටේ යයි ඩෙන්සිල් කෑගසනුද මට ඇසුනේ අවසිහියෙන් මෙනි.

ඉදින් සියල්ල නිර්මාණය වී තිබුණේ නරකම අතට විය යුතුය.ඔවුන් මා රැගෙන ගොස් තිබුණේ නොදන්නා ඉසව්වක වූ පාළු නිවසක් වෙතය.එහෙත් ඉන් පසුව සිදු වූ කිසිවක් මට වචනවලින් කියන්නටත් අපහසුය.ඇත්තෙන්ම සිදුවූ කිසිවක් මම අවබෝධ කොට නොගත්තෙමි.මා පියවි සිහියෙන් උන්නේ කොයි මොහොතේදැයි මම සිතා ගන්නට උත්සාහ දැරුවෙමි .නමුත් මා පියවි සිහියෙන් උන්නාට වඩා අවසිහියෙන් ගතකළ මොහොතවල් වැඩි බව මම දනිමි. සිහිය එන හැම මොහොතකදීම මා හට යම් කිසිවක් පානය කිරීමට ඔවුන් බලෙන්ම සැලසූ බව පමණක් මම ඉතා අවසිහියෙන් යුතුව තේරුම් ගතිමි.ගත පුරා දිවෙන අතිශය වේදනාකාරී බවක් පමණක් මත්බවින් මිදුණු මොහොතක මට දැනුණි.

ඉතින් ඒ ගතවී ගොස් තිබුණේ කිනම් කාලයක් දැයි මම නොදත්තෙමි.අවසානයේ මා අතහැර ගොස් තිබුණේ නොදන්නා පළාතක පාළු මාවතක් අසලය. දින ගණනින් ගණන් කලත් ඒ කාලය සතියක් හෝ දෙකක් වන්නට ඇත. මා පිළිබඳ සොයා බැලුවෙත් වූවෙක් වේදැයි මම නොදනිමි.කෙසේවතුදු ශරීරයට ඇතුළත් වී තිබූ අධි මාත්‍රික මත්ද්‍රව්‍ය වල හේතුවෙන් මම සිහි විකල් වන්නියක් බවට පත්ව තිබුණි.මා පසුව දැනගත් තරමින් එමකාලයේදී ඩෙන්සිල් සහ ඔහුගේ සහචරයන් විසින් මා දැඩි ලෙස අපහරණයට ලක් කර තිබිණි .මා දැනගත් අන්දමට ශාරීරිකව බරපතල ලෙස තුවාල වලින්ද යුක්ත වී සිට ඇත. 

කවුරුවත් නොදන්නා පරිසරයක මහමග දමා තිබූ මා අවසානයේදී හමුවී තිබුණේ කාත් කවුරුවත් නොමැති වයසක කාන්තාවකටය. ඇයට ගම්වාසීන් සියල්ලන්ම ඇමතුවේ සුදු අත්තම්මා යන නමිනි. ඇය මා ඇයගේ නිවසට රැගෙන ගොස් සුවපත් වනතුරු බලා ගත්තද මට මා කවුදැයි යන්න එවකට සිහියට නැගී තිබුණේද නැත. බොහෝ විට ශරීරගත කළ අධි මාත්‍රික මත්ද්‍රව්‍ය හේතුවෙන් මගේ සිහිය විකල්ව යන්නට ඇත. මගේ සියලුම මතකයන් මට එවකට අහිමි වී තිබුණි.

මුළු දවසක් පුරා ඇයගේ කුඩා නිවසේ ආලින්දයට වී මම ඔහේ බලා සිටියෙමි. මුළු ශරීරයේම වනයක් මෙන් රිදුම් දෙන මොහොතක දී පවා මම හඬා නොවැටෙමින් ඔහේ බලා උනිමි. මගේ සියලු සංවේදනාවෝ ඉතින් අතුරුදහන් වී තිබුණි.

මේ මොහොතේදීද ඒ අතීත සිදුවීම් මාහට එකින් එක මතක් වෙයි.

උදාසීනව අරමුණක් නොමැතිව සිත්පිත් නැති අප්‍රාණික ජීවියෙක්ව මම ඒ කාලය ගෙවා දමන්නට වීමි.එය වෙනස්කරන්නට සුදු අත්තම්මා බොහෝ වෙර වීරිය දැරුවාය.

"මැණිකේ මෙහෙ එන්නකෝ පුතේ.එන්න අපි අර පල්ලෙහා ලිඳට ගිහිල්ලා නාමු.ඒකෙ නිල්කැටේට වතුර. මගෙ පුතා ආස වෙයි"

සුදු අත්තම්මා මට කතා කළේ මා ඔහේ බලා ඉන්නා විටය. සුදු අත්තම්මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නමට ගැලපෙන රුවකින් යුතුවූවාය. ඇයගේ හිසෙහි වූයේ සුදුම සුදු පුලුන් ගොඩක් මෙන් ගණව වැවුණ කේශකලාපයකි. සමේ වර්ණයද සාමාන්‍ය ගම්වාසීන්ට වඩා පැහැපත් එකක් වූ අතර ඇය සැමවිටම පිළිවෙලකට පිරිසිදු වතින් සැරසී උන්නාය. ගම්වැසියන් ඇය වෙත දැක්වූයේ බෙහෙවින් බය පක්ෂපාත සැලකිල්ලකි.

ඇත්තෙන්ම ඇයගේ රැකවරණය සහ සැලකිල්ල නොමැති වී නම් උදෑසන දහවල රාත්‍රියේ අතර වෙනස පවා මට නොවැටහුණේය. සුදු අත්තම්මා මා හට රසනහර පිනායන කෑම වර්ග උයා දෙන්නට වූවාය.ඇයට වූයේ අපූරු අත්ගුණයකි. මහා රාත්‍රියක මහමග වැටී සිට පැමිණි අතිශයින්ම දූෂණයට ලක්වූ මා හට ඇය රහසිගතවම ප්‍රතිකාර කළේ ඇය වෙද පරම්පරාවකින් පැවතගෙන එන්නාවූ කාන්තාවක් වූ හෙයිනි.ඉතින් මාගේ අනන්‍යතාව හෝ බාහිර පරිසරයට ඇය නිරාවරණය නොකළ ඇය මා කවුරුන්දැයි යන්න සොයා බැලුවේ රහසිගතවය .නමුත් මාගේ බෑගය ඇතුළු සියලුම දේ මට අහිමි වූ මොහොතක මං කවුරුන්දැයි කියන්නට මාද නොදන්නා මොහොතක ඉතින් මම තවදුරටත් අනන්‍යතාවයක් නොමැති ගැහැනියක් පමණක්ම වීමි.

"මේක කළේ එවුන්ට ඉක්මනින්ම පටිසන් දෙනවා. මේ කෙල්ලට දීලා තිබුන වදයක්. දෙයියනේ දවස් කීයක් මම තුවාල ටික සනීප වෙනකම් බෙහෙත් කලාද?"

ගතවූ තුවාළ කැළල්හි ශේෂයන් පිරිමදිමින් විටෙක ඈ දොස්නැගුවේ කාටහෝ නොදත් පිරිසකටය. මට ඒ සම්බන්ධව කිසිදු තේරුමක් නොවූ බව මට මතකය.

"ඉස්පිරිතාලයකට ගිහින් දැම්මත් අන්තිමට මේ දැරිවිට කාත් කවුරුවත් නැති හින්දා අසරණ වෙන්න ඉඩ තිබුණා. අපේ රටේ මෙහෙම එකක් වුණාම සමහර පත්තරකාරයොයි ටීවී එකෙනුයි ආයෙ ඕකම පතුරු ගහන්න ගන්නවා. අනේ දරුවො මට උඹ වැඩි නැහැ .කවදහරි උඹේ භාරකාරයෝ හොයලා දීලා මම නිදහස් වෙනකන් උඹ මගේ ගාව හිටපන්"

රාත්‍රී කාලයේ බියෙන් ඇහැරී කෑ ගසන්නා වූ මා අතගාමින් සුදු අත්තම්මා පැවසුවේ ආදරයෙනි. මා හට නින්ද යනතුරු මුදු ස්වරයෙන් පිරිත් සජ්ජායනය කළ ඈ මා හිස මුදුව පිරිමදිමින් ලඟටම වී උන්නාය.
අහල පහල සිටින මිනිසුන් ඇය දෙන්නා මා කවුරුන්දැයි විමසන විට ද ඇයගේ දුර ඥාතියෙකු වන බව පවසා ඔවුන් නිහඬ කළේ තව දුරටත් ඒ ගැන ප්‍රශ්න නොකරන සේය.

"මගේ දුරින් නෑදෑවෙන දරුවෙක් පොඩි කරදරයක් වෙලා ඇවිල්ල තියෙන්නේ. මේ දරුවා මාත් එක දිගටම ඉඳීවි. උඹලා උඹලගෙ පාඩුවේ හිටපල්ලා .කතාබහක යන්න මේ දරුවා කැමැති නැහැ. ඕනනැති ප්‍රශ්න අහන්නේ නැතුව පාඩුවේ හිටපල්ලා" 

සුදු අත්තම්මා කෙතරම් කාරුණික වුවද ඇයගේ දැඩි ස්වරයට අහල පහල සිටින්නා වූ සියල්ලෝම ගරු කළ බව මම දිටිමි. ගම්වාසීන් සියල්ලන්ම විවිධ රෝගාබාධයන්ට සෙත්ශාන්තීන් කරගන්නට සුදු අත්තම්මා සොයා නිතර පැමිනුණහ.එහෙයින් ගම්මානය තුළ ඇයට තිබුණේ ඉමහත් පිළිගැනීමකි.
මගේ මනස කාලය සමගින් ඔහේ පාවී ගියේය .ඉතින් මා හට උදෑසන සිට රාත්‍රිය වන තුරු කරන්නට හෝ හිතන්නට කිසිවක් තිබුණේ නැත. සුදු අත්තම්මා මට කිසිම දේකට බල කළේද නැත .ඇය මොහොතක්වත් මා අතහැර ඉවත නොගියාය . ඉඳහිටක මා ලඟට කතා කරගෙන ඇය විවිධාකාර රසකැවිල්ලක් හදන්නට මා හවුල් කර ගත්තාය .එහෙත් මා හට කිසිම දෙයක් කිරීමට තරම් අවශ්‍යතාවයක් තිබුණේ නැත .මා උන්නේ පියවි සිහිය අහිමි වු උන්මත්තක ගැහැනියක් ලෙසය .

සති ගණනක් ගත වී ගියද මා පිළිබඳ සෙව්වෙක් නොවීය .ඉතින් මම සුදු අත්තම්මාගේ මිනිබිරීම වීමි. ටිකෙන් ටික මානසිකව සවිමත් වූ මා සුදු අත්තම්මා සමගින් නිවසේ වැඩ කටයුතු කරන්නටත් ඇය සමගින් ඇයගේ දේශීය ඖෂධ ආදිය කොටන්නට අඹරන්නට සහ බෙහෙත් ආදිය හදන්නට සහය වන්නට ටික ටික පටන් ගතිමි .සුදු අත්තම්මා සමගින් එක්වී ඇයගේ ගෙමිදුලෙහි වගා කටයුතු කිරීමට ද මම ටිකෙන් ටික හුරු වී ගියෙමි.

එහෙත් කුමක් හෝ හේතුවක් හෙයින් සුදු අත්තම්මාට සහ මා හට දෙදෙනාටම මගහැරී ගිය දෙයක් විය. එහි ප්‍රතිඵලය මාස දෙකකින් පමණ උදාවිය. උදෑසන නැගිටින විට ඇඳෙන් බැසීමට නොහැකිව කරකැවිල්ලක් බඳු ගතියකින් මම ඔහේ සයනයට වී එදවස හිඳගෙන උනිමි. සුදු අත්තම්මා මුළුතැන්ගෙයට නොපැමිණි හෙයින් මා ඇයහට බත් පිඟානක් බෙදාගෙන යන්නට පැමිණි විට මට ඔක්කාරයට පැමිණි හෙයින් ඇයවද තල්ලු කොට ගෙන මිදුලට දිව ගියෙමි.

"පුතේ මොකද රත්තරනේ උනේ?" 

සුදු අත්තම්මා මා පිටුපසින් මිදුලට පැමිණියේ කලබලයෙනි. දෑස් පුරා කඳුළු පිරී ගෙනෙද්දී මම පපුව ද අතගාමින් ඔක්කාර කරන්නට උත්සාහ ගනිමින් සිටියෙමි.

"සීවරං දෙයියනේ..එහෙනම් ඒක සිද්ද වෙලාද ?මං දිපු බෙහෙත් එකකින්වත් වැඩක් වෙලා නැහැ" 

සුදු අත්තම්මා දෑසේ පිරී ගිය කඳුළින් යුතුව මා වත්තම් කොට ගත්තාය. ඇය පැවසුවේ කුමක්දැයි යන්න මට සිතාගත නොහැක. එම කාලයේ මාහට මාගේ මාශ් ශුද්ධිය වීම ගැන පවා අවබෝධයක් තිබුණේ නැත .කෙටියෙන්ම කිවහොත් මා එය සුදු අත්තම්මාට දැනුවත් කර තිබුණේ ද නැත .සුදු අත්තම්මා මා රැගෙන ආපසු මා හට විවිධ ආකාර දේශීය අත් බෙහෙත් ලබාදී තිබුණද ඒ සියල්ලම මැඩ පවත්වා ගනිමින් මා කුස දරුවකු පිළිසිඳ ගෙන තිබුණි.

දරුවකු කුස පිළිසිඳ ගත්තායැයි කියන සුන්දර අර්ථය පවා මාහට අහිමිව ගියේ එලෙසිනි .ජීවිතයේ කවදාහෝ සුන්දර පවුලක් ගොඩනඟාගෙන ජීවත් වන්නට මා හට බලාපොරොත්තු නොතිබුණා නොවේ .සියල්ල සුනුවිසුණු වී යන්නට ඇත්තේ මාගේ අවාසනාවන්ත ජීවිතයේ තවදුරටත් මා හට විඳවන්නට දේවල් ඉතුරුව ඇති බැවින් විය යුතුය.

දරුවකු කුස පිළිසිඳ ගත්තද මා කවුරුන්දැයි පවා නොදන්නා මට එම දරුවා පිළිබඳව හෝ දරුවාගේ පීතෲ භාවය සම්බන්ධයෙන් කිසිදු අදහසක් සිතට ඇතුළු නොවීය. පූර්ව ප්‍රසව සංකූලතා ඇතිවන සමයේදී විටෙක මා ප්‍රචණ්ඩව හැසිරුණ බව පවා සුදු අත්තම්මා පසුව මා හට පැවසුවාය. ඒ වෙනුවට ඇය සියල්ල ඉවසා දරාගෙන මා හට වඩ වඩාත් ආදරය පෑවාය. ගම්මානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හරහා මා හට අවශ්‍ය කරන්නාවූ ලියා පදිංචි කටයුතුද සිදුකළ සුදු අත්තම්මා අවශ්‍ය කරන සායනයන් වෙත පවා මා රැගෙන ගියේ ඇයගේ ශක්ති පරිමාණයටය. ඇය නීත්‍යානුකූල ගැටලුවලට මුහුණ දුන්නේ කෙසේදැයි යන්න මම නොදනිමි.එහෙත් කල් සපිරි මා කුසින් මානවී මෙලොවට එළිය දකින දා තෙක්ම සුදු අත්තම්මා මා අත නොහැර මා සමග උන්නාය.
 
මාගේ දරු ප්‍රසූතිය සිදු වූයේ රජයේ ප්‍රාදේශීය රෝහලකය. ඉතින්...සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා මානසිකව නුසුදුසුව උන් මා සිසේරියන් සැත්කමක් වෙනුවෙන් නගරයේ රෝහලකට යැවීමට වෛද්‍යවරු තීරණය ගෙන තිබුණි. සුදු අත්තම්මා සියලු දුෂ්කරතා මධ්‍යයේ මා සමග නගරයේ වූ රෝහල වෙත නියමිත දින පැමිණියාය. දරු ප්‍රසූතිය ගැන මට කිසිදු අවබෝධයක් නැතද සිහිය ලද මොහොතේ පටන් මා බොහෝ ලෙස කලබල කර ඇත්තේ යළි මා පෙළූ මානසික අවපීඩනතාවය මතුව පැමිණ තිබූ හෙයිනි.පසු ප්‍රසව විශාදී ලක්ෂණ ඉස්මතුවෙමින් කලබල කරන්නට ගත් මා හට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සැලසීම අවැසි විය. ඉදින් ප්‍රසූතියට සතියක් ගෙවෙන මොහොතේදී සිඟිත්තිය සමගින් ගිලන් රථයක නංවා මා අංගොඩ ජාතික මානසික විද්‍යායතනය වෙත යවා තිබුණි.

සුදු අත්තම්මා ඉකිගසමින් හඬද්දී වාට්ටු බාර වෛද්‍යවරයා ඇයට මා පත්ව ඉන්නා වාතාවරණය පවසා මා මෙන්ම දරුවා හටද නිශ්චිත ප්‍රතිකාර සහ රැකවරණය ලබාදීමට ඉඩසලසා දීම අවැසි බව තේරුම් කොට දී තිබුණි.කුසින් නොවැදූ දියණියක වුව මා දෑස මෙන් ආදරයෙන් රැකගත් සුදු අත්තම්මා අවසානයේ හිස් දෑතින් ගමට ගොස් තිබුණි.

මගේ කුඩා දියණියට මානවී මන්දහාසි ලෙසින් නම තබා තිබුණේ මා දරු ප්‍රසූතිය කරන ලද රෝහලේ වාට්ටු භාරව සිටි විශේෂඥ වෛද්‍යවරිය විසිනි.ඇත්තෙන්ම මානවී කුඩා කල සිටම සිටියේ මදහසක් මුව රදවාගෙනමය. ඇයගේ අම්මාට අහිමිවූ ඒ සිනහව ඇය හේතුවක් නැතුවම නිතරම මුහුණේ රඳවා ගත්තාය.
මා රඳවා සිටි මානසික රෝහල් පරිශ්‍රයේ ද කුඩා දියණිය රැකබලා ගන්නට සියලුම සේවක මණ්ඩලය බොහෝ කැමැත්තක් දැක්වූයේ ඇය එතරම්ම සුරතල් වූ හෙයිනි .මා පත්ව තිබූ දැඩි මානසික අවපීඩන තත්ත්වය හේතුවෙන් දියණිය සම්බන්ධයෙන් මා හට එතරම් ලොකු බැඳීමක් හෝ සැලකිල්ලක් නොවූ හෙයින් නිරතුරවම කාර්ය මණ්ඩලය ඇය රැක බලා ගන්නට මෙන්ම ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් ද කැප වී උන්හ. මන්ද මාගේ දැඩි මානසික අවපීඩනය පීඩනය හේතුවෙන් ඇතැම්විට දියණියට මා අතින් හානියක් වේ යැයි ඔවුන් සැක කළ හෙයිනි .

මා නැවතී සිටී වාට්ටුවේ සිටි හෙද නිලධාරිනියක් බොහෝ සෙයින් සමීප වූයේ දියණිය සම්බන්ධයෙන් ධනාත්මක සිතුවිලි සහ ආදරණීය සිතුවිලි මගේ සිත තුලට ඇතුල් කරමිනි. ඇය නිරූපා මිස්ය .

"මේ අහන්නකෝ ඔයාගේ මේ චූටි දුව මං දැකපු ලස්සනම හුරතල්ම ළමයෙක් .ඔයා මේ බබාට ආදරෙයි නේද?"
             
ඇය නිරන්තරයෙන් මගේ මනසට ඇතුල් කළේ දියණිය ගැන සුන්දර සිතුවිලිය .ඖෂධ සහ චිකිත්සාමය ප්‍රතිකාරවල හේතුවෙන් මම ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටියෙමි .දියණිය දිහා ආදරණීය ඇසකින් බලන්නට මම ක්‍රමක්‍රමයෙන් හුරුවුනෙමි. ඇත්තෙන්ම ඇය සුන්දර දරුවෙකි.වාට්ටුවල සහ ප්‍රතිකාර අංශ වල සියලුම දෙනාගේ සැලකිල්ල සහ අවධානය නිරායාසෙන්ම හිමිකරගත් චූටි දුව සියල්ලන්ගේම චූටි දුව බවට පත් වන්නට වූවාය .

මේ අතර කාලයේදී මාගේ අනන්‍යතාවය පිළිබඳ රෝහල් අංශ සැලකිලිමත් වූයේ සුදු අත්තම්මාගෙන් ලබාගත් කරුණු කාරණා ප්‍රමාණවත් නොවූ හෙයිනි .ඇත්තෙන්ම මා දැඩි ලෙස අපහරණයට ලක් කළ ඒ නරුමයන් මා අතහැර ගොස් තිබුණේ කොළඹින් බොහෝ දුර දෙනියායට කිට්ටු ගම්බද පළාතකය. ඉතින් මා පිළිබඳ කිසිදු අනන්‍යතාවයක් නොවූ හෙයින් සුදු අත්තම්මා මා රැක බලා ගත්තේ ඇයගේ තිබූ මානුශිකත්වය නිසාම මිස ඇයට සිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවෙන බව සියල්ලෝම අවබෝධ කරගත්හ.

"නමුත් මේ ළමයාගේ මේ සැබෑ තත්වය මොකක්ද කියන එක අපිට හොයන්න වෙනවා .ඒ නිසා අපි රෝහල් පොලිසිය හරහා ලංකාවෙම තියෙන පොලිස් ස්ථාන දැනුවත් කරමු" 

විශේෂඥ මනෝ වෛද්‍යවරයා මා ඉදිරිපස සිටියදී එසේ පැවසුවේය.

"ඔයාට මොකුත්ම මතක නැද්ද ඔයා ගැන ,ඔයාගේ අම්මා තාත්තා ගැන සහෝදර සහෝදරියන් ගැන ?එතකොට ඔයාගේ ඉස්කෝලේ යාලුවෝ?" 

නිරූපා නම් වූ එම හෙද නිලධාරිනිය මා වෙතින් මගේ මතකාවර්ජනයට බොහෝ සෙයින් උත්සහ දැරුවද එය නිශ්ඵල ම ක්‍රියාවක් විය. ඇතැම්විට ඔවුන් සිතන්නට ඇත්තේ මා අයත්වන පවුල ගැන සුබවාදීවය. මා පවුලෙන් පැහැරගෙන ගොස් මෙවන් ඉරණමකට පත්වන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරන්නට ඇත. කෙසේ හෝ අවසානයේ දී මා පිළිබඳ තොරතුරු පොලිස් ස්ථානවලට යමින් තිබියදී මා සම්බන්ධව සිදුව තිබුණේ නොසිතූ අන්දමේ ප්‍රබල සිදුවීමකි.





යලි හමුවෙමු 

කිත්මා වාසනා දහනායක
 ( විසිරි සිහින)

Sunday, March 6, 2022

08. අට වෙනි කොටස ( හසරැල් සැලුනාවේ )





 පාසලෙන් පිටත් වී බස් නැවතුම්පළට පැමිණි මොහොතේ දී මට සිහිපත් වූයේද සරෝජ් හිරිපිටියයි .ඔහු මට මුණ නොගැසී මාස ගණනක් ගත වන්නට ඇත. නිලීකා ඉඳහිටක ඔහු ගැන පවසන යමක් විනා මාහට ඔහු යළිදු මුණගැසුණේ නැත. ඔහු යළිත් දැකගැනීමේ සියුම් ආශාවක් මගේ සිත තුළ නොතිබුණේයැයි මට කියන්නට නොහැක. මගේ ඇතුළාන්තය තුළ සැඟව උන් ආදරණීය ස්ත්‍රී චරිතය ප්‍රේමයක්යයි නොදන්නා හැඟීමකින් ඇහැරෙමින් තිබිණි.

"මදැයි ඉතින් මනෝ ගැහුවා. නැගපන් කාරෙකට"

මගේ සවනත අද්දරින්ම කෑගැසූ ඒ හඬ නිලීකාගේය.මම තිගැස්සී ගියෙමි. නිලීකා පැමිණ උන්නේ සරෝජ් හිරිපිටියගේ මෝටර් රථයෙනි. රියැදුරු ආසනයේ සිට දෑස් වලින් සිනාසෙමින් මදෙස බලා උන්නේ ඔහුය. මම ලැජ්ජාවෙන් රතු වී ගියෙමි. දෙකොපුල පුරා ගලා එන්නාවූ රත් පැහැය මුළු මුහුණටම පැතිරීයන්නට ඇත.

"අපෝ ...ඇති බං ඇති ඔච්චර ලැජ්ජ වුණා නැගපන්" නිලීකා යළිත් කෑ ගැසුවාය .

"මං ගෙදර යන්න ඕනේ .පරක්කු වුණොත් දන්නවනේ" 

මම රිය අසලට අඩියක් තබා පැවසුවෙමි. එහෙත් මේ අහම්බය මා සිතතුළ අපූරු චමත්කාරයක් මවමින් තිබුණි. යළිත් වතාවක් සරෝජ් දෙස බලන්නට හිත කෙතෙක් බලකළද නොදන්නා නුහුරු බවකින් මම කෝළ වීමි.

"ඔය නල්ලමලේ බස්සෙක එන්න කලින් අපි බස්සන්නම් උඹව ගෙදරට. මට බඩගිනියි යකෝ නැගපන් ඉක්මනට"

නිලීකා කෑගැසුවේ ඇයගේ සුපුරුදු දගකාර හඬිනි. මම නිහඬවම සරෝජ් හිරිපිටියගේ රියෙහි පිටුපස අසුනට නැග්ගෙමි.

"මට මාර බඩගිනියි සරෝජ් අයියේ. කොහෙන් හරි මොනවා හරි කන්න අරන් දෙනවකෝ"

රියදුරු අසුනට යාබද අසුනේ සිට නිලීකා පැවසුවේ සුපුරුදු හඬ මොහොතක් හෝ අඩු නොකරය .

"හරි හරි අරන් දෙන්නං කෑ නොගහ ඉන්නවා නංගි.බලනවා තමුසෙ වාහනේට නැග්ග වෙලේ ඉඳන් එක පොඩ්ඩකට කට වැහුවද කියල" 

සරෝජ් හිරිපිටිය රිය පණ ගන්වමින් පැවසුවේය. එහෙත් ඒ හඬෙහි හෝ බැල්මෙහි කිසිදු නුරුස්සන බවක් ගෑවීවත් නොතිබුණි.

"නිවීට ඉක්මණට යන්නත් ඕන නිසා..මොනවා හරි ඉක්මනට කන්න පුළුවන් දෙයක් ගම්මු" නිලීකා යළිත් පැවසුවේ මදෙසට අඩ වශයෙන් හැරීමෙනි.

"අපි රිසාල්ට්ස් දන්නවා. කන්ග්‍රැජුලේශන්ස්" නිලීකා පැවසුවේ අතක් දිගුකොට මගේ කොපුලක් මිරිකමිනි.

"ඔයාගේ කොහොමද?"මම ඇසුවේ ඇයගේ අත අල්ලා ගනිමිනි.

"සෙකන්ඩ් ශයි කරන්න වෙනවා බං. සයන්ස් කරන්නම් පුළුවන් වෙයි හැබැයි ඉංජිනේරින් යන්න බෑ" නිලීකා පැවසුවේ ඇයගේ ප්‍රතිපල සටහන මා අත තබමිනි.

"නිවී දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ. ඔයාට ඔය රිසල්ට් එකෙන් අනිවාර්යෙන්ම කැම්පස් යන්න පුලුවන්" නිලීකා පැවසුවේ සරෝජ් අයියා අපහට කෑම රැගෙන එන්නට රියෙන් බැස ගිය පසුය.

"මට කැම්පස් යන්න කීයටවත් කුඩම්මගෙ ඉඩ දෙන්නේ නෑ කෙල්ලෙ.ඒ නිසා මට දැන් ඕන මොකක් හරි රස්සාවක් කරන්න" 

මම උපාධියක් ලබා ගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු එවකටද අතහැර උන්නෙමි. සරෝජ් හිරිපිටිය රැගෙන ආ කෑම පාර්සල් සහිතව පිටුපස අසුනට බරවූයේ මා නොසිතූ පරිද්දෙනි. මම අසරණ වූ දෑසින් ඉදිරිපස අසුනේ වූ නිලීකා දෙස බලා උන්නෙමි.

"අයියේ එතන වොෂ්‍ රූම්ස් තිබුණනේ? මට වොෂ් රූම් එකට දුවලා එන්න පුලුවන්නේ?" 

නිලීකා සරෝජ් හිරිපිටියගෙන් එකදිගටම ප්‍රශ්න කීපයක් අසා ඔහුගෙන් පිළිතුරක් එනතුරු හෝ නොසිට රියෙන් බැස දිව්වාය.මම තව තවත් බියෙන් චකිතයෙන් ඇකිලී ගියෙමි. රිය නවතා තිබුණේ අවන්හලට අයත් රිය ගාලේ බොහෝ දුරට වන්නටය. මුළු පරිසරයම සෙවන කොට තිබුණේ අතුපතර විහිදී ගිය සියඹලා ගසකිනි. අසල කිට්ටුවක පේන මානයක කිසිවෙකු නොවූ හෙයින් මම සුසුමක් හෙලා ළය සැහැල්ලු කරගන්නට උත්සාහ දැරීමි.

"ඇයි බයෙන් වගේ .මෙතනට එක්ක ආවේ කවුරුත් දකින්නෙ නැති නිසා. මං දන්නවා කවුරු හරි දැක්කොත් නිවීට ප්‍රශ්නයක් වෙනවා කියලා ගෙදරින්"

සරෝජ් අයියා ඔහු අතවූ කෑම බෑගයන් මා අත පත්කරමින් පැවසුවේය. මම සිනාසෙන්නට තැත්දැරුවෙමි

"දැන් ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ?" මා අත වූ ආහාර බෑගය දෙසට ඇසින් ඉඟියක් පා කෑම ගෙන කන්නටයැයි පවසමින් සරෝජ් හිරිපිටිය මගෙන් විමසුවේය .

"මට තේරෙන්නේ නැහැ අයියෙ මොනව කරන්නද කියලා. කැම්පස් යන්න කොච්චර රිසල්ට්ස් තිබ්බත් අපේ ගෙදරින් ඒකට ඉඩ දෙන්නේ නැහැයි කියන එක මම දන්නවා .මට ඕනේ දැන් රස්සාවක් කරල මේ ගෙදරින් එළියට යන්න.ගෙදර ඉදං කවදාවත් මට රස්සාවක් කරන්න කුඩම්මා නම් ඉඩ දෙන්නෙ නැහැ" මම ඔහේ කියවාගෙන ගියෙමි .

"මේ තරම් රිසල්ට් එකක් තියාගෙනත් කැම්පස් යන්නේ නැහැයි කියන්නේ මෝඩ කමක් කියලා නිවීට හිතෙන්නේ නැද්ද?" 

අයියා පැවසුවේ ඔහු අත වූ බීම වීදුරුව නිසොල්මනේ පානය කරමිනි .වාහනයෙන් බැස දිව ගිය නිලීකා තවමත් පැමිණියේ නැත. ඇය මේ සියල්ල කළේ හිතාමතා බව මට නොතේරුනා නොවේ.එහෙත් තරුණයකු සමග රියක පිටුපස අසුනේ පාසල් නිලඇඳුමින් මෙසේ සිටීමම කවුරුන් හෝ දකිනා කෙනෙකුගේ ඇස ගැටීමත් මට ඇතිකරනුයේ සිතා ගන්නට බැරි අනර්ථකාරී ප්‍රතිඵලයක් නොවේද?

"මට ඔයා ඉන්න තත්වේ නොතේරෙනවා නෙමේ. බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා"

සරෝජ් අයියා පැවසුවේ සුසුමක් හෙළමිනි .

"අයියාට පුලුවන්නම් මට ජොබ් එකක් හොයලා දෙන්න. කොළඹින් හරි කමක් නැහැ .මට එතකොට බෝඩිමකට ගිහින් එතන ඉඳන් රස්සාව කරන්න පුළුවන්. එතකොට පස්සේ කාලෙක හරි එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් කරන්නවත් හිත හදාගෙනයි මම ඉන්නේ"

මම මගේ සැලසුම් නිසොල්මනේ ඔහු වෙත දිගහරිමින් උන්නෙමි. සරෝජ් හිරිපිටිය මොහොතක් දෙකක් මදෙස බලා උන්නේය.මම ඒ ඇස් බැල්මට බෙහෙවින් තිගැස්සී ගියෙමි. තව දුරටත් ඔහුගේ දෑස් දෙස බලා උන් නොහී බිම බලාගත් මට ඔහු හෙමින් සැරේ පවසනු ඇසුනේ 

"හරිම ලස්සන වෙලා" කියන වදන් පමණි. 

ඕනෑම බාලිකාවක් හා හා පුරා තරුණයකු වෙතින් එවදන් අසද්දී ඇතිවන සතුට සහ තිගැස්ම මගේ සිතේද ඒ මොහොතේදී ඇති වෙමින් තිබුණි .සරෝජ් හිරිපිටිය ඔහු පානය කළ බීම වීදුරුව අවසන් කළේ මා වෙතටම යොමු වූ නෙතද ඇතිවය.

"හරිද?දැන් දෙන්නා කතා කර ගත්තද?යමු නේද එහෙනම්?" නිලීකා දුවගෙන විත් මෙන් අසුනට වූයේ පැය භාගයක පමණ කාලයක් ගත වූ හෙයිනි .

"මේක තියාගන්න" සරෝජ් හිරිපිටිය මා අත තැබුවේ කුඩා පාර්සලයකි.මා ඒත් ඒ දෙස විමසිල්ලෙන් බැලුවෙමි .

"පොඩිම පොඩි ෆෝන් එකක්. හදිස්සියකට හරි උවමනාවකට හරි කතා කරන්න දැන් ඔයා ගාව මෙහෙම එකක් තියෙන්න ඕනෑ. ඕක පරිස්සං කරලා හංගලා තියාගන්න කිසිම කෙනෙකුට නම්බර් එක දෙන්න එපා අපි දෙන්නට හැරෙන්න. මම කාර්ඩ් එකක් දාල නම්බර් දෙක සේව් කරලයි තියෙන්නේ. අර දෙන්නට අහුවෙන්නේ නැතිවෙන්න ඕක පරිස්සමින් තියාගන්න. ඔයාට අවශ්‍ය වෙලාවට විතරක් මට කෝල් එකක් ගන්න බොහොම පරිස්සමින්. මමත් නිලීකාවත් ඔයාට කෝල් ගන්නෙ නැහැ ඔයා ගන්නකං ඉඳලා මිස"

සරෝජ් හිරිපිටිය අවසානයේ ඉදිරිපස අසුන වෙත ගියේ එකම එක වතාවක් මගේ හිස සෙමින් අතගාය. මම නිනව් නැතිව ඔහු දෙස බලා උන්නෙමි. මේ සිදුවන්නට යන්නේ කුමක්දැයි මටද සිතා ගන්නට නොහැක . ජීවිතය මා කැඳවාගෙන යන්නේ කුමනාකාරයේ දිසාවකටද යන්න මට සිතා ගන්නට නොහැක .මට වෙන දෙයක් වුණාවේයැයි සිතනු මිස දුරදිග සැලසුම් සකස් කිරීම මගේ ජීවිතයට ආගන්තුකය.

නිවසට හැරෙන්නට මීටර් සියයක් දෙසියයක් පමණ තබා මා රියෙන් බැස්ස වූ නිලීකා සහ සරෝජ් හිරිපිටිය මගෙන් සමුගෙන යන්නට ගියෝය. මම ඉතිරි දුර නිවසට ආවේ කඩිනම් වේගයකිනි .පාලිකා අක්කා හෝ කුඩම්මා දැක ගන්නට පෙර ජංගම දුරකථනය සඟවා තබන්නට මට ඇවැසිය.මගේම වෙලාවට ආගන්තුකයන් පිරිසක් නිවසට පැමිණ සිටිය හෙයින් මුළුතැන්ගෙය පැත්තෙන්ම මට කාමරයට යන්නට හැකි විය.

"ඉක්මනින් ඇඳුම් මාරු කරලා වරෙන් මොනවා හරි උයන්න ඕන" කුඩම්මා කාමරයට හිස පොවා පැවසුවේ මා විගසින් ඇඳුම් මාරු කරන්නට තැත් දරමින් සිටියදීය.

                                                                        ***

ඒ පැමිණ සිටියේ කුඩම්මාගේ දුරින් නෑදෑයන් වන කිහිපදෙනෙකි. මා සම්බන්ධයෙන් රහස් පරීක්ෂක කටයුතු කරන්නට පාලිකා අක්කාට හැකිකමක් නොවූයේද ඒ ඥාති සමූහයා පැමිණ සිටි හෙයිනි. ඇය බොහෝ උද්දාමයෙන් ඔවුන් අතර සැරිසැරුවාය. කුමක් හෝ විශේෂ යමක් සිදු වන බව මට හැඟෙමින් තිබුණි. 

කාලය ගතවී ගොස් තිබුණේ දහවල් එක පමණ වන්නටය.සරෝජ් හිරිපිටිය විසින් කෑමට සහ බීමට රැගෙන දී තිබූ නිසා මට කුසගින්නක් නොදැනුණි. එහෙයින් වහ වහා කුඩම්මා සමග එක්වී ආහාර පිසින්නට මම සූදානම් වුනෙමි. කුඩම්මා සමග එක්වී ආහාර පිසිනවා යැයි කියූවද ඇය කළේ මා හට අණ දීම පමණි. ඇත්තෙන්ම නිවසට පැමිණෙන්නා වූ ඇයගේ පාර්ශ්වයේ බොහෝ දෙනා කෑමට සහ බීමට ඉමහත් අභිරුචියකින් යුක්ත වූවෝය.ඉතින් එවන් දවසක මට හුස්මක් කටක් ගන්නට තරම් තරම් වත් වේලාවක් නොවීය.

"වැනි වැනි ඉන්න වෙලාවක් නැහැ.ටිකක් අත ඉක්මන් කරලා උයන්න ගන්නවා"

කුඩම්මා පිළියෙල කරන්නට අවශ්‍ය එළවළු සහ මස් මුළුතැන්ගෙයෙහි මේසය මතට තබමින් පැවසුවාය. 

"ආන්ටි කවුද මෙයා?"

මා තිගැස්සී ගියේ එක්වනම ඇසුනු හඬකිනි.මුළුතැන්ගෙහි දොරකඩ අසල සිට මා දෙසට නෙත් යොමා හිටියේ වයස තිස් ගණනක් පමණ වන පිරිමියෙකි. ඔහුගේ දෑසේ වූයේ හිතා ගන්නටත් බැරි කාමුක පෙනුමකි. මම සසැලී ගියෙමි. බිමට පහත් වී පොල්ගාන්නට තැත් කරමින් උන් මට හැඳ උන් චීත්ත ගවුමෙන් දෙපා වසා ගන්නටවත් සිහියක් නොවූ තරම්ය.ඔහුගේ දෑස් යොමු වී තිබුණේ මගේ දෙපාවලට බව දුටු මොහොතේදීම මම වහ වහා ගවුම පහළට ඇද ඉවත බලා ගතිමි.

"ආ..ආ..මේ අපේ දුර ගැන නෑ වෙන ගෑනු ළමයෙක්නේ පුතා. ඇයි පුතා මෙහෙට ආවේ අන්න පාලිකා ඉස්සරහ ඉන්නව යන්න යන්න"

කුඩම්මා මා වෙතටද රැවුම් බැල්මක් හෙලමින් ඔහු ආපසු යවන්නට තැත් දැරුවාය. 

"නෑ මං ආවෙ බීම එකක් ඉල්ලගන්න.මෙහෙ මාර රස්නෙනෙ අප්පා. ඒසී කරලා වත් නෑනේ"

ඔහු අනවසරයෙන්ම මුළුතැන් ගෙට පැමිණ ශීතකරණය විවෘත කළේය. ජීවිතයේ කිසිදා නොදුටු පුද්ගලයෙකු මෙසේ මුළුතැන්ගෙයටම පැමිණ ශීතකරණය විවෘත කරන තුරුත් කුඩම්මා නිසොල්මනේ බලා සිටීම මට සිතා ගන්නට නොහැකි විය. පාලිකා අක්කා පෙනෙන්නට ද නැත.ඔහු යළිත් මවෙත අමුතුම බැල්මක් හෙළා බීම වීදුරුවක් ද ගෙන සාලයට ගියේය. කුඩම්මා මවෙතට පැමිණ හෙමින් ඇයගේ පාදයෙන් මට ඇන්නාය .

"ගවුමක් හරියට හරිගස්සගෙන ඉඳගන්න පුරුදු වෙයන්.එක එකාට පේන්න ඕවා එලියෙ දාගෙන ඉඳලා අන්තිමට අපි නරක මිනිස්සු වෙන්නේ"

මෙතැනදී ද වැරැද්ද එල්ල වුණේ මා හටය මම නිහඬව බිම බලාගෙන වේගයෙන් පොල් ගාන්නට පටන් ගතිමි.

"ඔය ඇවිල්ලා ඉන්නේ අපේ අක්කගෙ මහත්තයගෙ නංගිගෙ පුතා.හොඳ සල්ලිකාර මිනිස්සු.අපේ පාලිකා ගැන යෝජනාවක් අරගෙනයි ඇවිල්ලා තියෙන්නේ. නිවේතා මං උඹට මේ හොඳින් කියන්නේ ඉස්සරහ පැත්තට එහෙම යනවා නෙමෙයි"

කුඩම්මා මා මුළුතැන්ගෙයි තනිකර නැවත සාලයට ගියේ නෑදෑයන් සමග එකතු වන්නටය .අනේ දෙවියනේ පාලිකා අක්කාට මේ කටයුත්ත නම් හරි යන්න ඕනෙ..මම යටිසිතෙන් ප්‍රාර්ථනා කළෙමි. කෑම කාමරයට කෑම පිළිගැන්වීමට සූදානම් කොට මා මුළුතැන් ගෙයට යාබද මගේ කාමරයට වී සිටියේ යලිත් ඒ පැමිණි කිසිවකුගේ ඇස නොගැටෙන්නය. මන්ද ඔවුන්ගේ ඇස ගැටීම පවා මට ප්‍රශ්න කෝටියකට මුහුණ දෙන්නට හේතුවක් වනු ඇත.

හවස් වී ඔවුන් නික්මී ගිය පසු මම සුසුමක් හෙලා නාන කාමරයට යන්නට එළියට බැසීමි.

"බලන්නකෝ අම්මා .මාව බලන්න ආපු මිනිහත් අහනවනේ අරකි කවුද කියලා.මේ හොල්මන මේ ගෙදර ඉන්නකං මට නම් දෙයක් කරගන්න ලැබෙන්නෙ නැහැ"

පාලිකා අක්කා දුම්මල වරම ගත්තාක් මෙන් පරලවන්නට පටන් ගෙන උන්නාය.

"ඉතින් නිවී ඉස්සරහටවත් ආවෙ නෑනෙ සුදු දුව. කුස්සියේ පොල් ගගා ඉන්නකොට තමයි ඩෙන්සිල් පුතා ඔය ආවේ බීම එකක් හොයාගෙන. වැරැද්ද ඔයාගෙනෙ. එයාට තිබහ උනාම ඔයා දැනගන්න ඕනෑ බීම එකක් අරගෙන යන්න .පිටරටවල හිටපු මිනිස්සුනේ කොයිවෙලාවෙත් කොකාකෝලා අරවා මේවා බිබී තමයි ඉන්නවා ඇත්තේ"

කුඩම්මා පැවසුවේ මා වෙත එන්නට තිබූ දෝෂාරෝපණය මදක් හෝ ලිහිල් කරන අටියෙනි.ඒ මොහොතේ මම හදවතින්ම ඇයට ස්තුති කළෙමි. මම වහවහා නාන කාමරය වෙත දුව ගොස් දොර.වසාගත්තෙමි .අවසානයේ කුමන පැත්තකින් යන ගැටලුවක් වුවද පැමිණෙන්නේ මගේම කරපිටට බව මට වැටහුණි.

කෙසේ හෝ රැකියාවක් සොයාගෙන මේ නිවසින් පිටව යන්නට වත් හැකිකමක් වෙයි නම් එය මට වාසනාවකි.

"මීට පස්සෙ ඩෙන්සිල් එන වෙලාවට උඹ එහෙම මේ ගෙදර ඉන්නේ නැහැ තේරුණාද?"

පාලිකා අක්කා රාත්‍රී කාලයේ මුළුතැන් ගෙය අස් කරමින් සිටි මා වෙත පැමිණ අතකින් ඇද පසෙකට කර පැවසුවාය. ඇයගේ මුහුණේ තනිකරම දැවටුණේ ද්වේශයකි.තමා හට සතුවිය යුතු යමක් මා උදුරා ගන්නට තැත් දරනවා සේ ඇයගේ මුහුණේ වූයේ මහා විකෘති පෙනුමකි.

"මම එළියටවත් ආවේ නැහැනේ අක්කේ. මම අදත් උන්නේ කාමරේට වෙලා." මම පැවසුවේ හඬ නෑසෙන හඩිනි.

"කාමරයට කුස්සියට නෙමෙයි උඹ එයා ආයෙ එන දවසට මං කලින් කිව්වම ගෙදර වත් ඉන්න බැහැ.අර උඹේ නල්ලමලේ යාලුවගෙ ගෙදරට පලයන්.නැත්තම් මේකෙන් වෙන්නේ මට මේ මඟුලවත් කරගන්න වෙන්නේ නැහැ" පාලිකා අක්කාගේ හඬ බෙහෙවින් කුරිරු විය.

"අනේ ඉතිං ඒ මනුස්සයා සතියට දවස් දෙකක්වත් එනවා නම් හොඳයි.මට මේ ගෙදරින් දවසක් දෙකක් හරි එළියට ගිහින් ඉන්න"  මම යටි සිතින් සිතා ගත්තෙමි. ඇත්තෙන්ම ඩෙන්සිල් නැමැත්තාගේ ඒ එදා මා දුටු එකම බැල්ම මට මහත් බියක් මෙන්ම පිළිකුළක් සිතට දැනවීය.ඉදින් ඔහු දකින්නටවත් මසිත කිසිසේත්ම ප්‍රිය නොකළේය.

එපරිද්දෙන්ම ඩෙන්සිල් පාලිකා අක්කා හමුවන්නට පැමිණෙන හැම දවසකම මට කල් ඇතුව දැනුම් දුන් පරිදි නිලීකාගේ නිවසට යාමට හැකියාවක් ලැබුණි. ඇතැම් දිනවල සරෝජ් හිරිපිටිය නිවසේ සිටි අතර අනිත් දිනවල සේවයට ගියද ඔහු මා නිලීකාගේ නිවසෙන් හවස නික්මෙන්නට මොහොතක් හෝ තියා පැමිණියේය. එහෙත් කිසිම දිනක ඔහු මට ඔහුගේ කිසිදු විශේෂිත හැඟීමක් මට පළකළේ නැත. ඔහු නිතරම මා අනාගතයට කරන්න යන්නේ කුමක්ද යන්න විමසා බැලූවා පමණි.

නිලීකා ඒ වන විට දෙවන වාරය සඳහා පෞද්ගලික පන්ති යමින් උන්නාය .මා බොහෝ විට නිලීකාගේ නිවසට ගොස් නිකම් ඉන්නට බැරි හෙයින් ඔවුන්ගේ නිවෙස අස්පස් කර දැමීම ආදී කටයුතු වලට නිලීකාගේ අම්මාට සහය වුණෙමි.

"දරුවෝ ඒ ගෙදර නැහිලා නැහිලා මෙතෙනට ආ වෙලාවෙවත් පොඩ්ඩක් විවේකයකින් ඉන්නකො" නිලීකාගේ අම්මා කිසිදු විටක මගෙන් වැඩක් ගැනීමට අකමැති වූවාය. ඇයට අවශ්‍ය වූයේ මා පහසුවෙන් සැනසීමෙන් සිටිනු දකින්නටය.

"මට දැන් පුරුදු වෙලා ඉන්නේ නිකන් ඉන්නම බැහැ" මම සිනාසෙන්නට තැත් දරමින් පැවසුවෙමි.ඉතින් එවන් දිනක මා එහි යනවිට නිලීකා පෞද්ගලික පන්ති ගොස් තිබුණු අතර සරෝජ් හිරිපිටිය ද නිවසේ නොසිටියේය.

"අනේ දූ එහෙනම් හොඳ ළමයා වගේ අර අපේ සරෝජ් පුතාගේ කාමරය පොඩ්ඩක් අස් පස් කරල දාන්න. මේ දරුවා නීති විභාගයකට සූදානම් වෙන නිසා කාමරය අස්පස් කරගන්න ලොකුවට වෙලාවක් නැහැ."

නිලීකාගේ මව මට එදා පැවැසුවාය. යටි සිතේ ඇති බලවත් ආශාව ද මැඩපවත්වා ගනිමින් මම ඔහුගේ කාමරය වෙත ඇදුනේ කොස්සක් සහ තවත් රෙදි කැබැල්ලක් නිලීකාගේ මවගෙන් ඉල්ලා ගෙනය . එහෙත් එම කාමරයේ අස් කරන්නට යැයි කියා මහා ලොකු දෙයක් තිබුණේ නැතද මම සෙමින් සෙමින් බොහෝ වේලාවක් කාමරය පුරාම සැරි සැරුවෙමි.

සරෝජ් හිරිපිටියගේ කාමරය එතරම් විශාල එකක් නොවුවද බොහෝ පිළිවෙළකට සකසා තිබුණේ අනවශ්‍ය ගෘහ භාණ්ඩ කිසිවක් එයට ඇතුළත් නොවන සේය. ගෙන ආ කොස්ස පසෙක තබා මම ඔහුගේ ඇඳ ඇතිරිලි කොට්ට උර සියල්ල ගලවා ඉවත් කොට අලුතින් ආවරණ සැකසුවෙමි. එකම රැල්ලක් හෝ නොසිටින සේ ඇඳ ඇතිරිල්ල සහ කොට්ට උර දමා පොරෝනය ද නවා තැබූ පසු එතැන තවත් පිළිවෙල යැයි මට සිතුනි .පසුව ඔහුගේ පොත් මේසය වෙතට හැරුණු මම මේසය මත ඒ මේ අත දමා තිබූ පොත් එකින් එක අසුරා තබන්නට වූයෙමි.සරෝජ් හිරිපිටියගේ සියලු සටහන් හා ලිපි ද්‍රව්‍ය සියල්ලම පුදුමාකාර අන්දමේ පිළිවෙලක් සහිත වූ ඒවා විය. මම පොතක් දෙකක් පිටු පෙරලමින් ඔහේ බලා උනිමි. ඔහු වෙතින් මා උගත් ප්‍රධානම දෙය නම් පිළිවෙලකට වැඩ කිරීමෙන් ජීවිතයට ඇති අනේකවිධ යහපත් දේවල්ය .

පොත් මේසය අස්කොට තබා කොස්ස ද රැගෙන මුළු කාමරයම සෙමින් අතුගාමින් මම උන්නේ වෙනම මනස් ලෝකයකය.මට අවට ලෝකයේ සිදු වූ කිසිම දෙයක් ගැන ඒ මොහොතේ දී අවබෝධයක් නොවූ තරම්ය .මුලු කාමරයම අතුගා හමාර වී නාන කාමරය ද සෝදා දමා ආපසු කාමරය වෙත පැමිණෙන මා දුටු දෙයින් එක්වනම තිගැස්සී ගියෙමි.ළය මත දෑතම බැඳගෙන දොරට හේත්තු වී මා දෙස සිනහවක් නැති මුවින් බලාගෙන උන්නේ සරෝජ් හිරිපිටියයි.

ඔහුගේ මුහුණේ වූයේ මා නොකළ යුත්තක් කළා බඳු වූ අමනාප පෙනුමකි. මට ඇතිවූයේ බලවත් වරදකාරී හැඟීමකි. ඔහු මා ගැන වරදවා හිතන්නට ඇත . එහෙත් මා මේ කළේ නිලීකාගේ අම්මා විසින් මාගෙන් ඉල්ලා සිටි දේමය. එනිසා සුසුමක් හෙලා ඔහු දෙස බලා මඳ සිනහවක් පාන්නට මම වෙර දැරීමි.

"මොනවද නිවී මේ කරන්නේ ?" සරෝජ් අයියා මගෙන් ඇසුවේ තරවටු කරන අන්දමේ ස්වරයකිනි. ඒ ස්වරය මඳක් නොපහන් වීදැයි මට සිතුණි.

"ඇන්ටි මගෙන් ඇහුවා කාමරය පොඩ්ඩක් අස්-පස් කරන්න පුළුවන්ද කියලා.ඉතින් මටත් වැඩක් නැති නිසයි මම මේ කාමරේ පොඩ්ඩක් අස් කළේ" මම නොපැකිළව පිළිතුරු දුන්නේ ඔහුගේ සිතේ යම්කිසි බරැති හැඟීමක් ඇති වී නම් එය මකා දමනු රිසියෙනි. මා වරදක් නොකළ හෙයින් මට කිසිදු චකිතයක් නම් නොවීය.

"නෑ නෑ කාමරයට ආව එක ගැන නෙමේ මම කියන්නේ.ඔයා පොඩ්ඩක් හරි නිදහසේ ඉන්නෙ මෙහෙට ආවට පස්සේ. ඉතින් මොකටද මෙහෙත් ඇවිල්ලා මේ තරම් වැඩ කරන්නේ. පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න තියෙන දවස නේද?"

සරෝජ් හිරිපිටිය කාමරයට තුළට පැමිණෙමින් පැවසුවේය.මම කාමරෙන් පිටත් වී යන්නට සූදානම් වූයේ බෙහෙවින් රිදුණු සිතිනි. කිසිම තැනක කිසිම විටෙක මා පැසසුමක් ලබන්නේම නැත. අනෙක් අයගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවුණද සරෝජ් වෙතින් මෙවැනි වදන් මම බලාපොරොත්තු නොවීමි.

"ඉතින් මං ආපු ගමන් දුවන්න හදන්නේ ඇයි ?" දොර අසලින් මෑත් වන්නට අසලින්ම ඈත්වන්නට ගිය සරෝජ් අයියා ඇසුවේ ආපසු සිටි තැනින්ම නැවතීගනිමිනි.ඉතින් ඔහු එසේ සිටිනා විට මා හට ඔහු පසුකොට දොරෙන් පිටතට යාමට නොහැක. මම නිහඬව පසෙකට වීමි.මා තිගැස්මෙන් මෙන් බලා සිටිනා හෙයින් සරෝජ් හිරිපිටිය කාමරය තුළට පැමිණ ඔහුගේ සයනයේ හිඳගත්තේය. ඉන්පසු විසින් මා හට කාමරය තුළ වූ පුටුව දැක්වීය.මම එහෙත් හිඳනොගෙනම බිත්තියට හේත්තු වී සිට ගතිමි.

"කොහොමද දැන් ගෙදර තත්වෙ?" සරෝජ් අයියා ඇසුවේ සපත්තු යුවල ගලවා ඇඳ අයිනේ තබමිනි. මම සුසුමක් හෙලුවෙමි. නිවස සම්බන්ධයෙන් මා හට කියන්නට කිසිදු සුබදායී කාරණයක් නැති තරම්ය.අප අතරට පැමිණ සිටින ඩෙන්සිල් මාහට තවත් කරදරයක් වෙමින් පවතින බව සරෝජ් හිරිපිටියට කියන්නටද නොහැක . 

"කියන්නට තරම් විශේෂයක් නෑ අයියෙ.වෙනදා වගේම ගෙදර වැඩ ටික කරගෙන මං ඔහේ ඉන්නවා" මම කල්පනාවෙන් යුතුව ම හඬ අවදි කළෙමි .

"කැම්පස් දාන්නත් දැන් කාලෙ හරි නේද?"  සරෝජ් හිරිපිටිය අසන්නේ මාහට කිසිදු විසඳුමක් නැති අංශයක් ගැනය .කිසිදා මා හට විශ්වවිද්‍යාලයට යන්නට අපේ ගෙදර නිවැසියන්ගෙන් කිසිම අවස්ථාවක් නොලැබෙන බව දැන දැනත් ඔහු මා වෙතින් මෙයම විමසා සිටීමම මට විටෙක මහ නොරිස්සුමක් ඇති කරයි .

"කවදාවත් කැම්පස් යන්න දෙන්නේ නැති බව දැන දැනත් මම මොකටද දැන් ඒක ගැන හිතන්නේ අයියේ. මට දැන් ඕන කොහොම හරි රස්සාවක් හොයාගන්න. පුලුවන්නම් මට දන්න කියන කෙනෙක්ගෙන් හරි ගැලපෙන රස්සාවක් හොයල දෙන්න" මම ඔහුහට පවසා යළි හැරී ආවෙමි.

                                                                         ***


එදින මා ආපසු නිවසට පැමිණෙන විටත් ඩෙන්සිල් උන්නේ සාලයේ පාලිකා අක්කා සමගින් පිළිසඳරෙහි යෙදෙමිනි.මම ඔවුන් මගහැර මුලුතැන්ගෙය පසින් නිවස තුළට ඇතුළු වී කාමරයට වැදුනෙමි.ටික වේලාවකට පසු පාලිකා අක්කා මුළුතැන්ගෙයට පැමිනියාය.පාලිකා අක්කාගේ මුහුණේ හා හැසිරීමේ වෙනසක් මට දිස්වුවද බැලූ බැල්මටම ඒ කිමෙක්දැයි මට වටහා ගන්නට නොහැකි විය.

"නිවී මට උණුවතුර එකක් රත් කරලා දෙනවා ඇඟ සෝදගන්න" පාලිකා අක්කා ආපසු කාමරය වෙත අපහසුවෙන් මෙන් යමින් පැවසුවාය. මම උණු වතුර එකක් රැගෙන ඇයගේ කාමරයේ ඇති නාන කාමරය වෙත ගෙන ගොස් එය තබා ආපසු එන විට පාලිකා අක්කා නාන කාමරයට වහවහා ඇවිද ගියාය.

එකම එක බැල්මකින් මුළු කාමරය එක් ඇස් බැල්මකට ග්‍රහණය කරගන්නට මොහොතේ මට හැකි විය. පාලිකා අක්කාගේ සයනයේ ඇඳ ඇතිරිලි පොඩි වී ඇඹරී ගොස් තිබිණි .කොට්ට දෙකක් බිමය. කුමක් හෝ සිදුවිය යුත්තක් සිදුවී ඇති බව මට වැටහී තිබිණි. මේ කිසිවක් මට අදාළ දේවල් නොවේ. එසේ වූයේ කිමෙක්දැයි අසන්නට හෝ අදහස් විමසා බැලීමක් කරන්නටවත් මට අයිතියක් නැත. ඉතින් මම නිහඬව මගේ කාමරය වෙත ඇවිද ගියෙමි. 

ඩෙන්සිල් පැමිණෙන විට කුඩම්මා නිවසෙන් මඟ හැර යෑමම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් යැයි මගේ මොළයටද වැටහෙමින් තිබුණි. තමන්ගේ දියණියට කිනම් හෝ අසාධාරණයක් සිදු වන්නට ඉඩ දී හෝ ඇයව ඩෙන්සිල් ගේ කරේ එල්ලා තැබීම කුඩම්මාගේ පරමාර්ථයයි. වන්නාට වෙන දෙයක් උනාවේ යැයි සිතා මම සුපුරුදු නිහඬ වෘතයම රැක්කෙමි.

පාලිකා අක්ක සමගින් ඩෙන්සිල් අයියාගේ කිනම් සබඳතාවයක් සිදුවුවද එය මට ගැටලුවක් නොවූයේය.නමුත් ඉතා හදිසියේ හෝ අහම්බෙන් නොදන්වා නිවසට පැමිණෙන ඔහුගේ කාමුක ඇස්බැල්මවල් සහ ගණනකට නොගන්නා මෙන් ඉඳහිට තමා අසලින් යන අතරේ ඇඟේ අතක් හෝ වද්දවා ගෙනයන අප්‍රසන්න හැසිරීම මට එක් කළේ පුදුමාකාර බියකි.කිසිදු විටෙක නිවසේ මා තනිව සිටින වෙලාවක හෝ පුද්ගලයා පැමිණේ යැයි මා උන්නේ පුදුමාකාර බයකිනි.එහෙත් කුඩම්මා මා නිවසේ තනිකොට දමා පිටට ගියේ නැති තරම්ය. 

කෙසේ වතුදු පාලිකා අක්කාගේ විවාහයටද දින නියම වෙමින් තිබුණි.පාලිකා අක්කා උන්නේ පුදුමාකාර සන්තෝසයකින් වුවද දිනෙන් දින පාලිකා අක්කාගේ ශරීරයේ හැඩ තලයන්හි මට පෙනෙන්නා වූ අමුතුම හැඩය දැන මම සැක පහළ කළෙමි. ඇය පෙන්වූයේ යුවතියකගේ දැනුමක් නොව වැඩිහිටි කාන්තාවකගේ ශරීර ස්වභාවයකි.එසේ දෙයක් සිදුවන්නට ඉඩක් නැතැයි මම තරයේ විශ්වාස කරන්නට පටන්ගෙන උන්නෙමි .නමුත් එක් දිනයකදී පාලිකා අක්කාගේ කාමරය අතුගාන මොහොතක ඇයගේ ඇඳ යට තිබී මට හමුවූයේ හිස් උපත් පාලන පෙති පැකට්ටුවකි.ඉතින් ඇය ගැන ශරීර ස්වභාවය ගැන ම'හිත ඇතිවූ සැකය නිවැරදි විය. පාලිකා අක්කා සහ ඩෙන්සිල් අයියා අතර ඇති සම්බන්ධතාවය බොහෝ දුරදිග ගිය එකක් බව දැන් නොරහසකි .සියල්ල සිදු වනු ඇත්තේ කුඩම්මා දැනුවත්වය. එසේනම් ඔවුන්ගේ විවාහය ඉක්මන් වීම වඩා සුදුසු බව මම ද තරයේ විශ්වාස කළෙමි.

මේ අතරතුර දී එකදිනක ඩෙන්සිල් අයියා නිවසට පැමිණෙන විට පාලිකා අක්කා සහ මා පමණක් නිවසේ උන්නේ කුඩම්මා ටවුමට ගොස් ඒමට ගිය හෙයිනි. පාලිකා අක්කා උන්නේද නාන කාමරයේය.දොරේ සීනුව වදින විට දොර හරින්නට ගිය මා හට ඩෙන්සිල් අයියා දුටුවිට ඇති වූයේ මහත් අප්‍රසන්න හැඟීමකි. මා ආපසු හැරුනේ කාමරය වෙත ඉක්මනින් ගොස් දොර වසා ගනු රිසියෙනි. එහෙත් ඩෙන්සිල් ඉක්මන් වුයේ මට පෙරය. ඔහු නිවෙස තුලට වහා ගොඩ වැදුනේ මා අතකින් අල්ලාගනිමින්මය. මම අතගසා දමන්නට වෙර දැරුවද ඔහුගේ ශක්තිය හමුවේ එයද අසාර්ථක විය. 

"අතාරින්න අයියේ , මේ මොන විකාරයක්ද?" මම පහත් එහෙත් තද හඬකින් පැවසුවෙමි. 

"මොකද ඔච්චර ගණන් ආ? පොඩ්ඩක් ඇල්ලුවම ගෙවෙනවද උඹේ?" නැහැදුන චර්යාවටම ගැලපෙන නැහැදුන කටක් ඇත්තා පවසුවේ මා වැළඳගන්නට වෙර දරමිනි. ඔහුගේ අතක් ගසා දමමින් පසෙකට පැන්නද මේ මිනිසා මා යලි සිය ග්‍රහණයට හසුකරගන්නට වෙර දැරුවේය. ඉවසා දරාගන්නට නොහැකි වේදනාවෙන් සහ අප්‍රසන්නවූ හැඟීමෙන් ඔද්දල් වී ගොස් උන් මාගේ දකුණත ඔහුගේ කම්මුල හරහා වැරයෙන් පහරක් තැබුවේ ඒ මොහොතේමය.  එය මා හට සිතාමතා නොව මගේ ශරීරයේ ආරක්ෂාව මතම ඉබේම සිදුවූ ක්‍රියාවක් වන්නට ඇත. ඒ මොහොතේ පාලිකා අක්කා නාන කාමරයෙන් පිටට එන හඬ ද ඇසුනි.

"හොඳයි , උබ නයාට ගහල පොල්ල වැරැද්ද ගත්තා කියල හිතාගනින් හරිද.? මේ කම්මුල් පාරට වඩා සිය දහස් ගුණයක් උඹට ඉක්මනින්ම විඳවන්න නොවුනොත් මම ඩෙන්සිල් නෙවෙයි"

දණ්ඩෙන් පහර කෑ සර්පයකු සේ ගුගුරා හැලුන ඔහු වහා මිදුලට බසිනා විට මම කාමරයේ දොර අගුලු ලා එයට පිටදී ඉඳගත්තේ ඉකිගැසී හැඬෙන වේදනාවෙනි. ඒ තර්ජනය කෙතරම් භයානක එකක්දැයි සිතද්දී මගෙ ඇඟ කිලිපොලා යමින් පැවතුණි .මේ සියල්ල මා හට කියන්නට හෝ ඇත්තේ නිලීකා පමණි. නිලීකාට හෝ මේ දේ ගැන කියන්නට මට ඇත්තේ මහත් චකිතයකි.හැකිතාක් ඉක්මනින් පාලිකා අක්කාගේ විවාහය සිදුවී ඇය ඩෙන්සිල් අයියාගේ නිවෙසට පැමිණියහොත් මේ ගැටලුව බොහෝ ලෙසින් සමාප්ත වේ යැයි මට සිතුනි.

මේ සම්බන්ධයෙන් සරෝජ් හිරිපිටිය දැනුවත් කිරීමට මා හට කිසිදු හැකියාවක් නොමැත.එක අතකට ඔහුට මා සම්බන්ධයෙන් ඇති වගකීම කුමක්දැයි මට සිතෙයි. කෙසේ හෝ රැකියාවක් ලද හොත් මේ නිවසින් බැහැර වී එම රැකියාවේ පිහිටෙන් බෝඩිමක හෝ ජීවත්වන්නට මට හැකිය. නමුත් උසස් පෙළ සමත්වීම පමණක් රැකියාවකට සුදුසුකමක් නොවන අතර මම තවදුරටත් අවදානමේම ගැලෙමින් සිටිය යුත්තේ වෙමි.

පාලිකා අක්කා ඩෙන්සිල් අයියා ගිය පසු මා වෙත පැමිණියේ යකින්නියකසේ කෝප ගෙනය.

"උඹට මොකද වෙලා තියෙන්නෙ .ඩෙන්සිල් ආව වෙලාවේ ඉඳලම උඹ ඒ මනුස්සයාගේ වටේ කැරකි කැරකි ඉන්නවා කියලා ඩෙන්සිල් මට කියනවා. ඇත්තටම උඹට හැදිල තියෙන පිස්සුව මොකද්ද මම දන්නේ නැහැ ඒ උනාට මගේ මිනිහගේ ඇඟේ එල්ලෙන්න නම් හිතන්න එපා මං උඹව ඉතුරු කරන්නේ නැහැ" 

අවසානයේ ඩෙන්සිල් ඉතා පහත් ලෙස මා උගුලට හසුකොට ගෙන ඇත.පාලිකා අක්කා මා හට පහර දෙමින් පැවසුවේ පාලනය කරගත නොහැකි තරම් කෝපයෙනි .ඩෙන්සිල් කළ නොපනත් ක්‍රියාව හෙයින් කෝපයෙන් පසුවූ මටද ඒ මොහොතේ ඇති වූයේ දැඩි ආවේගශීලී තත්වයකි.

"මේ මොන පිස්සුවක්ද අක්කෙ. ඔයා ඔයාට පුලුවන් හැටියකට ඩෙන්සිල් අයියව හදාගන්න. ඒ මනුස්සයා මට ඉන්න දෙන්නේ නැහැ .දකින දකින තැනින් අල්ලන්න එනවා.මේ පාඩුවේ ඉන්න මටද කියන්නේ මනුස්සයාගේ කරේ එල්ලෙන යනවා කියලා"

මම ඉතා වේගයෙන් සහ වේදනාවෙන් යුතුව කියවා ගෙන ගියෙමි. එයින් වූයේ පාලිකා අක්කා වියරු වැටීමම පමණි.

"නැහැදිච්චකම තියෙනවා මදිවට තව ඒ මනුස්සයාට කතන්දර හදන්නත් එනවද ? හිටපන්කො උඹට මම හොඳ දෙයක් කරන්නම්"

ඇය ඩෙන්සිල්ව එතරම්ම විශ්වාස කළාද නැතහොත් මේ වන විට ඩෙන්සිල් හැර ඇයට වෙන විකල්පයක් නොවූ හෙයින්ද ඇය කුපිතව උන්නේ උන්මත්තක විලාසයෙනි.පාලිකා අක්කා අතට අසුවූ කොස්ස ගෙන මා හට පහර දෙන්නට වූවාය .ඇත්තෙන්ම එදින උදැසන සහ දිවා ආහාරය දෙකම මා හට ගන්නට නොහැකි වූයේ කුඩම්මා උදයේ සිට එක දිගට මට වැඩ පවරා තිබූ හෙයිනි.එහෙයින් ඇඟත් අප්‍රාණික වී තිබුණු අතර මාලිකා අක්කාගේ දැඩි පහරවල් පිළිගන්නට මට ශක්තියක් නොවීය. අවසානයේ පියවි සිහිය නැතිවන්නට ඔන්න මෙන්න තිබියදී පාලිකා අක්කා මට පහර දීම නවතා කැඩුණු කොසු කැබලි පසෙකට විසිකර දමා කාමරයට වැදුණාය .මාගේ දෑත් දෙපා පුරාවටම නිල් පැහැ ගැන්වී තිබුණි.ඉතින් වේදනාව ඉවසා හඬා වැටෙනු මිසක මා සම්බන්ධයෙන් මේ ගැන සොයා බලන්නට මෙහි කිසිවෙකු නොමැති බව මම හොඳින්ම දැන උන්නෙමි.

*********************************************************************************************************************************************** 

යලිත් හමුවෙමු 

කිත්මා වාසනා දහනායක
 ( විසිරි සිහින)