මගේ නම රයිලි....
ඇයි නිකම් කට ඇද කරන් බැලුවෙ...ඒක අහල නැති නමක්ද...ඔයාල දන්නෙ නැත්නම් ඒක ඔයාලගෙ දුර්වලකමක්...
මේ ලෝකෙ අපේ වර්ගයේ අයට නම් තබන ලිස්ට් බැලුවම ජනප්‍රියතම නමක් තමයි ඒක....
හරි...
ඒකෙන් මේකෙන් කමක් නෑ...ආයෙ එහෙම මේ විදියට කිසිම කෙනෙක් දිහා කට අද කරල බලන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න ඕන...
නැත්නම් මගෙ හිතේ තියන මේ අටෝරාසියක් කතන්දර ...මෙහෙම ජනගත කරන්න මම කැමති නෑ
ඔයාලා මාව දන්නෙ නැති වෙන්න පුලුවන්....ඒත් අපෙ අම්මාගෙ ( දැන් ආයෙ කට ඇරන් බලනවා...ඔව් ඔව් මේ විසිරි සිහින ද මොකක්ද එකක් ලියන එක්කෙනාට මං කියන්නේ අම්මා කියලා....) ෆේස් බුක් ගිණුමෙ මම හරි ජනප්‍රියයි.....හරි ඔයාල එයාගෙ යාලුවො නම් ගිහින් වෙලාවක ඒකෙ බලන්නකො...
එයාටත් වෙලාවකට පිස්සු අනේ....මාව එහෙට මෙහෙට හරව හරව ෆොටෝ ගන්නව..ඕවා ෆේස් බුක් එකේ දැම්ම ම එයාගෙ යාලුවො කොමෙන්ට් දාන ඒවා මටත් ඇහෙන්න කිය කිය එයා හිනා වෙනවා....සමහර ගෑණු ලමයි අනේ එයා හරී ස්වීට් කියලා කියද්දි නම් මටත් පොඩි මෙව්වා එකක් එනවා
කොහොම හරි මේ කතා ටික ඔයාලට කියන්න ඕන වුණෙ එයාටමයි..මම කලේ අනුමැතිය දීපු එක විතරයි...ඒක දුන්නෙ නැට්ට වනලද කියල නේද අර හිතුවෙ.....මට නිකම් ඕන්නැති විහිලු එපා...මගේ ජාතියෙ අයට නැට්ටක් නෑ...මම ඔලුව හරෝලා මගෙ තාලෙට කැමැත්ත පල කලේ....
මම මෙහෙ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි...ඒ කාලෙ ඉඳන්ම වෙච්ච සමහරක් දේවල් මම කියන්න කැමතියි....අම්මා ඉඩ ඇති විදියට ඒවා ලියාවි...හැබැයි ඉතින් ඒ ලියන මනුස්සයා ගැන හිතලා..මටත් ආඩම්බරයක් දැනෙන්න ....කොමෙන්ට් එකක් එහෙම ඔයාල දෙන්න ඕනා...හොඳ ද...
මාව ඇක්වේරියම් එකක ඉඳලා තමයි ඔය අපේ අම්මාගෙ මහත්තයා...( එයාට මම තාත්තා කියන්නෙ නෑ...බුදු අම්මේ හතර හන්දි කඩාගන්න පොටක් ඒක..) මාව මෙහෙ ගෙදරට එක්ක ආවෙ...ආරංචියෙ හැටියට මෙහෙ උන්නාලු තඩි ඇරවානෙක්..අලි විසාල ටැංකියක...මේ ගෙදර ඉන්න කොලු ගැටව් දෙන්නා...( ඒ දෙන්නටත් මං අයියලා කියන්නෙ නෑ....)...මහ ලොකුවට ඔය ටැංකිය ගෙනාවට ඇහැක් ඇරල බලන්නෙ නෑ...ඒ නිසා අම්මට වැඩ වැඩි වුනා කියලයි අම්මා නම් කියන්නෙ
අන්තිමේදි ඇරවානයි ටැංකියයි වෙනුවට හුවමාරුව උනේ මම...මාත් එක්ක අපෙ අයියාත් එකම කූඩුවෙ උන්නා..ඒත් බලන්න ආව අරයා ( අම්මාගෙ මහත්තයා ) මාවයි තෝර ගත්තෙ...අම්මාට සප්‍රයිස් වෙන්න කියලා...ඔන්න දවසක් අම්මා ගෙදර එන වෙලාවට මෙයාල මාව එහෙට කූඩුව පිටින්ම අරන් ගියා...
මම හොඳාකාරවම දන්නවා අම්මා මාව ගේනවට එච්චර කමැත්තක් දක්වුවෙ නෑ කියලා....රස්සාවට යන්නයි ගෙදර වැඩයි එක්ක...ඒ මදිවට මෙහේ ලොකු හාදයෙක් උන්නා නෙ ජෙෆ් කියලා...එයා ජර්මන් ශෙපඩ් එක්කෙනෙක්....තව අය ඕන්නෑ කියලමයි අම්මා කිව්වෙ...ඒත් අනික් අයගෙ මතය උනේ...අම්මාට කොල්ලො දෙන්නා ලොකු වෙද්දි බල්ලෙක් හරි ගෙනල්ලා දෙන්න ඕන හුරතල් කරල හදන්න කියලා...ලු
සාරි පොටත් කරේ ගහන් ආව එයා මගෙ දිහා බැලුවෙ එච්චරම ලෙන්ගතු බැල්මකින් නෙවේද මන්දා ඉස්සරෝම දවසෙ...හ්ම්ම් නරකම නෑ..කියාගෙන ගෙට ගියාම මට අර කූඩුවෙ කම්බියකින් බෙල්ලෙ වැල දාගන්න හිතුනෙ...ඒ මදිවට අර ජර්මන් ශෙපඩ් ලොක්කා බෙල්ලෙ මයිල් පුම්බන් වටේට කැරකෙනව...හරියට අම්මාගෙ අය්තිකාරයා එයායි කියන්න වගේ...
මගෙ ඇස් වලට කඳුලු ආවෙ මගෙ අම්මාව මතක් වෙලා...අම්මාගෙ උණුසුමේ මම උන්නෙ කී දවසද....අයියා එක්ක ඇක්වේරියම් එකේ ඉද්දි නම් අපි දෙන්නා ඒ ගැන ඉඳහිට කතා කලා...ඒත් අයියා මා එක්ක ඒ හැටි සුහදකමක් කොහොමත් දක්වුවෙ නෑ...
ටිකකින් ගෙදර ඔක්කොම අය ආවා කූඩුව ගාවට...අම්මා ත් ආවෙ නාලා ගවුමක් එහෙම ඇඳගෙන....කෝ බලන්න මෙයාව...කියාගෙන එයා කූඩුව ගාවට ආවම මට දත් විලිස්සුනා....අපේ ජාතියෙ අය හිනා වෙනව කියන්න එයාලට තේරෙනවයැ...මෙයා ටිකක් වස ජාතියක්ද මන්දා...අම්මා අඩියක් පස්සට ගියා...
ඔන්න එතකොටයි එයාගෙ මහත්තයා මගෙ වර්ණනාව කියවන්න ගත්තෙ...මගෙ වර්ගය කොකස්පැනියල් ලු...මගෙ ජාතියෙ අය ඔය බිම්බෝම්බ හොයන්න වගේ ඒවට යොදාගන්නවාලු....ඔන්න ඔහොම මහ අදාල නැති කතා ත් එයා කිව්වා....,මේ ගෙදර කොහෙද අනේ බිම්බෝම්බ කියලා මට අහන්න හිතුනා...
ඉතින් ඔන්න ඉලන්දාරි දෙන්නයි එයාලගෙ තාත්තයි අම්මයි වට වෙලා මගෙ ගැන කතාව...මම තාම කූඩුවෙ ඉඳන් එයාලව නිරීක්ෂණය....
ඒ අය ගැන ඉතින් වෙන වෙනම විස්තර ටිකක් මහන්සි ඇරල එහෙම කියන්නම්...
මම කතාව කිව්වට මේක මම ලියනවා වගේ ලියන්නෙ අම්මා...
විසිරි....ඔව් එයා තමයි