Showing posts with label විසිරි කවි. Show all posts
Showing posts with label විසිරි කවි. Show all posts

Thursday, March 21, 2024

මාවතක පා නගන තවත් එක සැඳෑවක



අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක

අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න

පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක

ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....


රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට

හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට

මාවතක පා නගන තවත් එක සැඳෑවක

කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....

Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

Saturday, November 12, 2022

2022 (05) මං තාම වැස්සට ආදරෙයි ❤️

 මං තාම වැස්සට ආදරෙයි ❤️




වප් මහේ අනෝරා වැහි ඇල්ල

හඬවමින් අහස බිමටම හැළෙයි...

අධිවේග ගමන් මග රියක් තුළ කුසීතව 

නිදිකිරා වැටෙන ගොමුවක ඉඳිමි...


අගුල් ලූ කවුලුවට එහා පස මාවතම 

පිරි පිරී හැලෙන මහ දිය ගඟකි 

වින්ඩ්ස්ක්‍රීනය මතින් මැකි මැකී යළි ඇඳෙන වැහි බිංදු මල් රටා  කෝටියකි....

මල් කුඩේ හකුලන්න මොහොතකට පෙරාතුව

ගත පුරා දඟ පෑව වැහි මලකි...

ඒ සිහිල වසර බෝ ගණනකට ඉහත්තේ 

දැරියකගෙ වැහි මතක අවුස්සයි....


පාවහන් නැති දෙපා දිය කඩිති සිසෑරූ

සිහිල අදටත් හිතේ පණ ගසයි...

තණපතග පිණි මලක සිහිල දෙතොලග තැබූ කුඩා හිත සාද මිහිරක් ගෙනෙයි....

බිමට බරවූ ඇට්ටේරියා මල් කිණිති

හිස හලන වැහිමලක කෙළි හිතක් සැලී යයි...

වැහි හීන මතක මැද උණුසුම්ම ළමාවිය....

මගෙ හිතේ දේදුණු රටා මවාලයි..


ඉතින්..මං වැස්සට තාම ආදරෙයි ...


© කිත්මා වාසනා දහනායක

(විසිරි සිහින)

Tuesday, September 27, 2022

2022(04) ඔබ නොදුටු මසිත




ඉතින් පවසමි
ඔබට නොව
හිස් අහසට
කෑල මල් පිරි ගොමුවට
බටිති කූජන අහුරට
මම ඔබට පෙම් කල වග....
.
ඉතින් සසැළෙමි හිත මත
කියාගත නුහුණු මේ පෙම ගැන
ලියා තබනෙමි ඉතින් රහසෙම..
ඒ සොඳුරු වූ ඔබ ගැන ..
.
ඔබ ....කිසිදු විට නොකියවන
මේ මගේ සිතමය....

විසිරි ❤

Sunday, September 25, 2022

2022(3) අනේ නුඹ කවියක් වුනා නම්



දෙතොලතර හෙමි හෙමින්
පැටලී සිටින්නට
නෙතු අතර ඉසියුම්ම කඳුලක රැඳෙන්නට
හස බිඳක ජීවිතේ මේ යයි කියන්නට
අනේ නුඹ කවියක්
වුනා නම් සිතෙයි මට.......

පදරුතක නෙතු දවටමින් සිත දවන්නට
මියැසියක තත් සුසර කරමින් ගැයෙන්නට
සෙනෙහසේ මුදු ස්වර දැහැන් වී රැඳෙන්නට
අනේ නුඹ කවියක්
වුනා නම් සිතෙයි මට.....

විසිරි ❤️


Friday, August 5, 2022

2022 (2) නුඹ තරම් සෙනෙහසක්









කෙහෙකැරළි අතැඟිලෙන් කන්පෙතග රඳවමින
උණුසුම්ම සුසුමකින් ළං ළංව නෙතුසිඹින
දෝත පා මලක් සේ ළයට තුරුලුව තබන
නුඹ තරම් සෙනෙහසක් කොහේ කොහි නම් විණිද .....?

නෙත් පුරා නුහුරු හැඟුමන් ඉතින් අරන් එන
ලවන් උණුසුම් වෙමින් මුදු දෙතොල් තුළ රැඳෙන
හිස හොවා ගෙල මුලට ආදරේ කියාදෙන
නුඹෙ සුවඳ තවමත්ම මගේ ඇසුරෙම රඳන

අතැර යනු නොහී ලොබ බඳින සෙනෙහෙන් දැවෙන
ළය හොවා මහිස යළි සිඹ සෙමින් පිරිමදින
ළං ළං ව දෑස් තුළ කිමිද සෙනෙහස සොයන
අනේ නුඹ මා පැතූ සිහිනයම විය සබඳ......


කිත්මා වාසනා දහනායක 
විසිරි ❤️

Monday, July 25, 2022

2022 (01) ප්‍රේමයක තතු



නිහඬ තත්පර රැසක අවසන
නෝක්කඩු පිරි නුඹේ වුවනත
පසක් කරදෙයි ප්‍රේමයක තතු
ජීවිතේ බෝ අසීරුම කල.....

විසිරි

Tuesday, November 23, 2021

2021(31) නාඳුනන්නෙකු හට පෙම් කළෙමි

නාඳුනන්නෙකු හට පෙම් කළෙමි.....





එදවස ....
මම උන්නේ වේදිකා බිමකය..
ඔහු උන්නේ...වේදිකා අසුනේය....
එකදු ඇස් බැල්මක් නොලද මුත් ...
මම ඒ රුවට බැඳුණෙමි...
සිත ඇදුණු එදවස..
ප්‍රේමයක් වීදැයි නොදනිමි....

පසු දිනක...
උනුන් අසලින් හිඳ ගතිමු...අපි..
කතාවන් සිනාවන් බෝ විය..
ඉඳහිටක නෙතුසරක් විහිදුණි...
බොහෝ ලොබ වීමි එයටද
එහෙත්...
ප්‍රේමයක් වී දැයි නොදනිමි....

නොසිතූ පැයක කෙළවර
නාඳුනන කෙටි පණිවිඩයක
සිත තිගැස්වන සටහනක් විය...
" අවසන...මම ඔබ සොයා ගත්තෙමි...."
විපිළිසර මතක පොත ඇහැරිනි...
" මා ඔබට රහසින් පෙම්කරන්නා වෙමි...."
එහි එසේ ලියවුණි....
ඉදින්...
මම දනිමි...
අප අතර ප්‍රේමයක් ඇතිවුණි......

අපි ඉනික්බිති සමුගතිමු....
ඉදින්..ප්‍රේමය ම ඉතිරි විය..

විසිරි ❤

Wednesday, November 10, 2021

2021(30) කවි මතක






සියුම් තැතකින් පාරා
ජීවිතේ දුක්ම මතකයන් පිටට ගමි
තව තවත් ගැඹුරටම හද පලා
සැඟව ගත් සෝ සුසුම් ඇද බලමි...

ඒ මතක අකුරු කර සිනාවෙන්
සෙනෙහසක දවටමින් හැඩ බලමි
ඉනික්බිති ලේ ගලන ඒ අකුරු
ඔප දමා ලෝකයට විසි කරමි.....
.
එවන් අකුරට බැඳෙන දහස් දන
"ඒ මමද....මා නොවෙද..." කියනු දැක....
රිදුම් දුන් මතක අමතක කරමි
සිතක් සෙනෙහසින් යළි පුරවමින්
නෙතු පියා සිත මගේ වසාළමි......

කිත්මා වාසනා දහනායක 
විසිරි ❤️

Saturday, August 14, 2021

2021 ( 25 ) ඉතින් තනිමග යමි


සංසාර තීර්ථය මේ තරම් ගණඳුරුද

සුස්මකින් ගල්ගැහෙන තරමට

කිසිත් නොදැනෙන

කිසිත් නොහැඟෙන

හැඟීමක ඇවිද යමි

හැපි හැපී දිවෙන මිනිසුන් අතර


අර ඈත දිලි දිලෙන

ආලෝකයම නෙත රඳන

තරුවක්ව ඒ දිලෙන්නේ ...ඔබමද 

ඇස් වසා අඳුරටම හුරුවෙමි

කවියකට ගිනිතබා එළියගෙන 

මට පුරුදු ගමන් මග ම යමි


විසිරි 

Friday, July 30, 2021

2021 (24) අයෙමත් එක් වරක්




ඉස්සරම ඉස්සර දවසක වගේ
ඇයි අපිට බැරි හොඳම යාලුවො වෙන්න
අතෝරක් නැති කතාවන් හිනාවන්
ඇඬුම් එනකල් කරපු විහිලු..
ඔක්කෝම අමතකද දැන් ඉතින් ......

අතින් අත නොඅල්ලා ඇවිද ගිය
නොදන්නා මාවතක අතරමග
නෙත් දිහා බලා උන් ඒ දවස්
මට මිසක ඔබට දැන් අමතකද.....
ඉතින් අපි ආයෙමත්
හොඳම යාලුවො වෙමුද.....

ආදරය ආ දවස් වල පටන්
අපි අතර නුහුරු හැඟුමක් වෙමින්...
අර තිබ්බ යාලුකම කෝ කොහෙද
මං තාම හොයනවා ඇත්තටම
අනේ අපි අයෙමත් එක් වරක්
හොඳම හොඳ යාලුවන් වෙමු ඉතින් .....

විසිරි


Friday, July 9, 2021

2021 (18) ප්‍රේමය


ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් බරද හිතට..
මහමෙරක් තරමටම බර වැඩියි නොකියමි..
ප්‍රේමයේ අනුහසින් මා වලාකුළක් සේ ඉගිල යන හෙයින්........

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් උසද....
හිමගිරක සේ උස යැයි නොකියමි..
ඔබේ ප්‍රේමය අසල මා කුරාකුහුඹුවකු හෙයින....

ඉතින් ඔබ අසයි...
ප්‍රේමය කෙතෙක් නම් ගැඹුරුද...
කිසිත් නොපවසමි...
ඔබ දෑස් දෙසම ඇස් පිය නොහෙළා බලා ඉමි...
ඒ..ප්‍රේමයේ ගැඹුරයි..
අනන්තයටත් එහා අප අතරමං කොට තබන....

විසිරි ❤

Tuesday, June 29, 2021

2021(12) ඔය සිනහ සුන්දර






නෙතු දෑල වෙහෙසවන
තරමට
ඔය සිනහ සුන්දරද ඔපමණ
ඉතින් නුඹ වෙත බැඳෙන අරුමය
සිහිනයක් තරමටම සොඳුරුය

විසිරි ❤

Monday, February 15, 2021

2021(8) බලා හිඳීමත් ප්‍රේමය යැයි






කිසිවක් ම නොකියා දෑස් දෙස 
බලා හිඳීමත් ප්‍රේමය යැයි මම වටහා ගත්තේ ඔබෙනි.......
.
ඉඳහිටක එන ඇමතුමක
ජංගමයේ තිරය මත දිස් වෙන
ඔබේ සිනහවක් නැති ඔය රුව
ඉඳහිටක වදනකුදු නොකියාම
මා දෙසම බලා ඉන්නා ඔය නෙත...
ඉතින් ඒ ආදරයමැයි...
නොහිතාම ඉන්නද මම.....

.
සමුගන්න මොහොතකට කලියෙන්
යළි යළිත් ඇමතුමේ මා රඳවන...
එහෙත් කිසිවක්ම නොකියන
ඉවසීම ගිලිහෙන්න පෙරාතුව
ඔය වතෙහි උතුරන සිනහව
ඉතින් ඒ ආදරයමැයි
නොහිතාම ඉන්නද මම.....

.
ඇමතුමක නිහඬ බව බිඳලන
ඉනික්බිති එන කෙටිම කෙටි සලකුණ
ම 'සිත නුහුරෙන් පුරවන
KIT ......Keep In Touch ...
ඉතින් ඒ ආදරයමැයි
නොහිතාම ඉන්නද මම....
.


විසිරි ❤

Monday, January 25, 2021

2021(6) මතක පමණක් ...







කඳු ශිඛර , ගිරිහෙල්ද
තැනිතලා මල් තුහින
ඉසියුම්ම සොඳුරු තැන් කැටිව 
එක්කොට තබා ගත් රූ
දහක් අතරේ තිබුණේම නැත.....
.
නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි...
වදනකට රතුව ගිය මගේ වත බිම ට හැරවුණ හැටි..
ඇවිද ගිය මං පෙතක අහම්බෙන් අතැඟිලි ගැටුන හැටි....
දෙඋර පොරවා සීතලෙන් ඉන්නා විටක දෑස් නොපියා 
 දුරක සිට සෙනෙහසින් බලා උන් හැටි...
.
ඒ කිසිත් රූ නැත...
මතක පමණක් ඇත....

විසිරි

2021(5) ඒ තරම් අපූරුම දවස්







අහම්බය....
එතරම්ම සොඳුරු වූ ඒ දවස්...
නාඳුනන නුඹද මා ළං කල...
හිනාවක කතාවක දවසැරිය
ඒ තරම් අපූරුම දවස්....
යළි නොඒදැයි සිතෙන
ඒ දවස්....

විසිරි

Sunday, January 24, 2021

2021 (04) ජීවිතේ සුන්දරම දවස්








ඒ දවස්....
අපි ලඟින් උන්
ඒ දවස්...
අතින් අත නොගෑවී
ඇවිද ගිය සොඳුරු මාවත්...
නෙතු ගැටුණ මොහොතක
සිනාවන් මතුව සැඟවුණ
තත්පරයන්...
ඔව්..
ඒ තමයි ...
ජීවිතේ සුන්දරම දවස් ....

විසිරි
❤️

Friday, April 3, 2020

149. ඒ මගේ හැටි

පුංචි දේටත් හිත රිදෙන කොට 
කඳුලු නොසලා ඉන්නෙ කොහොමද
ඒ වෙලාවට හිතට තරහක් 
මවාගන්නට දන්නවා..
ඔබ නොදන්නා ගැහැණු ගතියක්
මගේ ගාවත් තියනවා......

හුදෙකලාවේ තනිව යනවිට
මිතුරු ඇසුරක් ලඟ නොමැති විට
කාලයේ මහ නරුම සිතුවිලි 
හිතට මහ බර ගෙනෙනවා..
කවුලු දොරකින් පෙනෙන ඈතක
මගේ සිතුවිලි ගලනවා....

සල්පිලක එති දුහුල් සලුපිලි
එකින් එක ගෙන අතාරින සඳ
කවටකමකට ඇදෙන මගෙ හිත 
යළිත් සඟවා තබනවා..
ඔබ නාඳුනන මිතුරු සිත මම 
ඉතින් අකුලා තබනවා.........

විසිරි 

146. අතරමග කවි








ඉස්සරම කවි උනපු හිත්වල
කවි හැඟුම් මැලවුනේ කොහොමද...
ඉර හඳත් තරු කිසිත් නොවෙනස්
ඔබත් මා මෙන් සිටින ලොවකදි......

හිස් ව යන හිත පලා සැතෙකින්
කවි සොයමි සැඟවී මැකී ගිය
සුසුම් අතරට කඳුලු බොඳවුණ
කටු අකුරු එකිනෙකක් හමුවිය......

හිනා අහුරමි..කවි නැතුදු සිත
පෙමින් සරසමි කඳුලු වියළමි
ඔබ යනෙන මග මගේ කවියක්
අතරමං වී ඇතැයි සිතනෙමි......


විසිරි 

145. කවි

ඉපල්වී ගිය සිහින සුරකින
අරටුවක මුල් බැස්ස ප්‍රේමය
තබා හදවත සිඳී යන තුරු
රැකගත්තු ඒ දවස් මතකද.....

ළයට තුරුලුව නුඹේ සෙනෙහස
විඳිනු නොහැකිව ගෙවූ යුගයක
ප්‍රේමයක් සතු සියලු වත්කම්
කෙසේ කිකලෙක සිඳි නැසුණිද.....

සිඳී සිඳු දොර නැගෙන කඳුළක
පැතුම් අහුරමි ඉතින් තනිවම
ප්‍රේමයට හිමි තනි ගමන් මග
රැඳෙමි නුඹ මතකයේ සුව දෙන..

විසිරි